Wednesday, January 25, 2017

    කට්ටිය?!


මාධ්‍යයකට සම්බන්ධ එක මිත්‍රයෙක් මට වරින්වර කියනවා, ''ඔයා මහින්දව බේරලා රනිල්ලාට ගහනවා කියලා කට්ටිය කියනවා!'' කියලා. එතකොට මම ඔහුට කරුණු එක්ක පෙන්නනවා ඒක එහෙම නෙවෙයි කියලා. යම් යම් වැඩසටහන් උපුටා දක්වමින් ඒ බව ඔප්පු කරන්න උත්සහ කරනවා. ''ඔයා මාව විධිමත්ව අධ්‍යනය කරන්න!'' මම ඔහුට යෝජනා කරනවා. ඔහු එතකොට කියනවා, මට ඒක තේරෙනවා, මට නං ඒ කතාව අදාළ නැහැ කියලා.
මම මෙහෙම ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කරමින් අනතුරක් නැතුව ඉන්නෙ කොහොමද කියල කට්ටියක් අහනවා කියලත් ඔහු නිතර කියනවා. මම ගේම් ගහන්නෙ නැති එක තමයි මගේ ආරක්ෂාව කියලා මම ඔහුට කරුණු පැහැදිලි කරනවා. උදාහරණත් දෙනවා. එතකොටත් ඔහු කියනවා, ''මට ඕක තේරෙනවා, ඒ උනාට කට්ටිය කතාවෙනවා...'' කියලා. 'නැහැ..' කියලා හිතුණාට මටත් වෙලාවකට ඕක ප්‍රශ්නයක් තමයි කියලත් ඔහු මද සිනහාවෙන් ඒ අතර කියනවා.
ඔහුගෙ ඊළඟ ප්‍රශ්නය මම කාගෙන්වත් උදව් ගන්නෙ නැතුව කොහොමද මෙහෙම ස්වාධීනව පවතින්නෙ කියන එක. මම, මගේ දක්ෂතා යොදාගෙන, තෝරාගත්තා ආයතන කීපයක් එක්ක, මාධ්‍ය සහ මානව සම්බන්ධතා පැත්තෙන්, අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරන විදිහ සහ ඒ සීමිත අදායමෙන් ජීවිතය කළමනාකරණය කරගන්න විදිහ ගැන මම ඊළඟට ඔහුට කරුණු පෙන්වා දෙනවා - සාක්ෂිත් පෙන්නනවා. නෑ, අනේ! මට තේරෙනවා...ඒත් කට්ටිය එහෙම අහනවා කියන එකනෙ මම මේ කියන්නෙ! කියලා ඔහු එතකොට කියනවා.
ඔයාට ඉතිං මේ හැම දේම තේරෙනවා නං, ඇයි කවුරුහරි එහෙම කියනකොට මම වෙනුවෙන් හිටගන්නෙ නැත්තෙ? කියලා මම ඔහුගෙන් අහනවා. දැන් කාලයක් ගත වෙලා, තවම ඒ ප්‍රශ්නයට උත්තරයක් නැහැ. ඒත් අර කලින් ප්‍රශ්න ටික තවම ඔහු නැවත නැවත අහනවා - මමත් ඒ ටිකම කියනවා.
සමහර කට්ටිය ඔයා එන වැඩසටහන්වලට එන්න කැමති නැහැනෙ! ඔහු කියනවා. ඉතිං ඒක එයාලගෙ ප්‍රශ්නයක්නෙ, මම නං ඕන යකෙක් එක්ක සංවාදයට එනවා. මම උත්තර දෙනවා. ඔයා ඒ ගොල්ලො ප්‍රශ්න කරන්න! ඒකනෙ අපේ සංවාදය. මම යෝජනා කරනවා. ''ඇකඩමික් අය විශේෂයෙන්ම!'' ඔහු මතක්කරලා දෙනවා. ඇකඩමික්! බම්බුවේ ඇකඩමික්! ඔය කට්ටියක් ඇකඩමික් මාෆියාවක් හදාගෙන රටට කෙළවනවා, මම ඔවුන්ට තමයි අභියෝග කරන්නෙ. අපි අදාළ සංවාද මණ්ඩපවලදි මූණට මූණ මුණ ගැහෙමු. ''ඒක නේද අපට ඕනෙ, හරි දේ එළියට ගන්න?'' මම අහනවා. ඔහුත් අහගෙන වගේ ඉන්නවා.
''ඔයා හැම විෂයක් ගැනම කතාකරන්නෙ ඇයි, ඒ කොහොමද? කියලා'' ඊළඟට ඔහු අහන්න පටන් ගන්නවා.
කට්ටිය එහෙම කියනවා ඔහුට ඇහෙනවලු!
මාධ්‍යවේදියෙක් කියන්නෙ හැම විෂයක්ම හදාරන්න ඕන වෘත්තිකයෙක් කියල මම පෙන්වා දෙනවා. ඒ වගේම මම දේශපාලන ක්‍රියාකාරිකයෙක්! ලෝකය වඩා යහපත් තැනකට ඔසවා තබන්න මම මැදිහත් වෙනවා. ඒ සඳහා හුඟාක් දැනුම් පද්ධති ඇසුරු කරන්න ඕන කියලා මම ඔහුට පැහැදිලි කරනවා. ඔහුගෙ ලොකු විරෝධයක් නැහැ, ඒත් කට්ටිය එහෙම හිතනවා කියන එකයි ඔහුගෙ ප්‍රශ්නය. සංවාද මගේ අතට ගන්න එක, මාතෘකා අනවශ්‍ය විදිහට පළල් කරන එක වගෙ චෝදනාත් ඒ අතර තියෙනවා.
මේ පුද්ගලික කතාබහක් වුණාට පොදු තත්වයක හරස් කඩක්. ඔහු කියන මේ 'කට්ටිය' අතර ඔබත් ඉන්න පුළුවං. ඒ නැතත් ඔහු කට්ටියක් වෙනුවෙන් තනියෙන් හිතන දේ ඔබට වැදගත් වෙන්නත් පුළුවං. මේ සටහන අන්න ඒ අනුමානය වෙනුවෙන්!
CHAPA

No comments:

Post a Comment