දැනට පාර්ලිමේන්තුව සතු සහ මුදල් අමාත්‍යවරයා සතු, මුදල් පිළිබඳ බලය අග්‍රාමාත්‍යවරයාට පැවරීම සඳහා ඉදිරිපත්කර තිබෙන ''සක්‍රීය බැරකම් කළමනාකරණ පනත'' දැනටමත් අර්බුදයට ලක්වෙමින් තිබෙන රටේ මුල්‍ය ස්ථාවරය මුළුමනින්ම බිඳ දැමීමට හේතු වන බැවින් එය වහා හකුළා ගැනීමට ආණ්ඩුවට බල කරමු!
අදාළ පනත ක්‍රියාත්මක වුවහොත්, රජය නොපිය වූ ණය මුදලින් 10% ක ප්‍රමාණයක්, තම අභිමතය පරිදි සහ තම අභිමත කොන්දේසි මත ඕනෑම පාර්ශවයකින් ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයාට හැකිවේ. එවැනි ක්‍රියාදාමයකදී මතුවන කිසිදු අගතිගාමී තත්වයක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ට එරෙහිව අපරාධ හෝ සිවිල් නඩුවක් පැවරීමට කිසිවෙකුට හෝ බලයක් ද නොමැති වන්නේය. 
මේ වනවිට, මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසම ඉදිරියේදී ද කරුණු හෙළිදරව් වී ඇති පරිදි, සිදුවූ මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සමස්ත වගකීම පැවැරෙන වර්තමාන අග්‍රාමාත්‍යවරයා ට මෙවැනි අත්තනෝමතික බලයක් ලැබීම අතිශය භයානක වන අතර, ඊට අමතරව ද, ඕනෑම අග්‍රාමාත්‍යවරයෙක් හෝ වෙනත් තනි බල ඒකකයක් කේන්ද්‍රකොටගෙන මෙවැනි පනතක් ක්‍රියාවට නැංවීම රටේ ආර්ථික පැවැත්ම භයානක ලෙස අනතුරේ දැමීමකි. එසේම එවැනි පනතක් ක්‍රියාත්මක කිරීම, ප්‍රජාතන්ත්‍රවැදී පාලනයකට කිසිසේත්ම අනුකුල නොවන බව ද පෙන්වා දෙමු.  
එසේම, 2016 දෙසැම්බරය වන විට සම්මත කර ගැනීමට සුදානම් කෙරුණු ''සංවර්ධන ( විශේෂ ) පනත් කෙටුම් පත'' මගින් උත්සහ කෙරුණේ ද, ජාතික ප්‍රතිපත්තිය සහ ආර්ථික කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම වටා කෙන්ද්‍රගතවන ආකාරයේ ඊනියා ආර්ථික ප්‍රතිසංවිධානයක් රට තුළ ඇති කිරීමටය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඒ අතර, තමා යටතේ පවතින සහ අග්‍රාමාත්‍යවරයා ද නියෝජනය කරන''ජාතික ආර්ථික සභාව'' මගින් රටට නව ආර්ථික සැලැස්මක් ඉදිරිපත්කරන බව 2018 පෙබරවාරි 20 දින පැවැත් වූ සැසි වාරයේදී පැවසීම ද ගැටළු සහගතය.
.