Monday, April 23, 2018

ඒ පැත්ත මේ පැත්ත!?

වර්තමාන පාර්ලිමේන්තුව ට සිදුවන්නේ කුමක් ද යන්න නිශ්චය කිරීම ට තව අමතර කාලය අවශ්‍යව තිබේ, එහෙත් රට ට සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද යන්න ඉතා ම පැහැදිලිය.
2015 ජනවාරි 8 සිදුවූ Regime Change ව්‍යාපෘතියේ ඉලක්ක සැලකිය යුතු ප්‍රමාණයකින් සහ සැලකිය යුතු වේගයකින් ඉටු වී අවසන් ය. එනම්, ඉන්දියානු - චීන බලය සමව කළාපය තුළ සහ ශ්‍රී ලංකාව ට අදාළ ව ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය, බෙදුම්වාදී ආකෘතියකට මාරු කර දුර්වල කිරීමෙන් විදේශ වෙළෙඳ තැරව් කරුවන් ට වඩා වාසි සහගත වෙළෙඳ පොළ අවස්ථා නිර්මාණය කර ගැනීම පිළිබද ක්‍රියාදාමය දැන් සාර්ථකව ඉදිරියට යමින් තිබේ.
ඒ සඳහා, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විපක්ෂයක් නැති ඊනියා - ජාතික ආණ්ඩුව ක් පිහිටුවීම, දැනටමත් කෙටුම්පත් කර ඇති බව ට තහවුරු වන නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා සමස්ත පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර ගැනීම, විදේශ  රටවල් සමඟ අත්සන් කරන ගිවිසුම් හෙළිකරගත නොහැකි නීතිමය බාධකය පැනවෙන ඊනියා - තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කර ගැනීම, ආරක්ෂක යාන්ත්‍රණය දියකර දැමීමට අවශ්‍ය ඊනියා - අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටු වීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ට අත්සන් කිරීම, පළාත් පාලන මැතිවරණ සංශෝධනය හරහා යෝජිත බෙදුම්වාදී ව්‍යවස්ථාව ට අවශ්‍ය සීමා නිර්ණය කෙරුණු ගෝත්‍රික බිම සකස් කිරීම, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර අර මුදල ලබා දෙන උපදෙස් වලට අනුව, තව දුරටත්, රට ට ආර්ථික සංශෝධන හඳුන්වා දීම දැන් ඉතා විධිමත් ව සම්පුර්ණ කර තිබේ.
මෙම ක්‍රියාන්විතය සඳහා විවිධ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්, ඇතැම් මාධ්‍ය හිමිකරුවන් ඇතුළු ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ තැරව් කරුවන්, විවිධ වෘත්තිකයන් සෑහෙන ප්‍රමාණයක් දැන සහ නොදැන සම්මාදම් වී තිබේ. එසේම, පක්ෂ අභ්‍යන්තර ආරවුල්, රටේ සාමාන්‍ය මහජන හැඟීම් සහ විශේෂයෙන් ම සිංහල බෞද්ධ පාරම්පරික සමාජ සාධක හේතුවෙන් රට පුරා මතුව තිබෙන දේශපාලන අවිනිශ්චිත බව හේතුවෙන් අදාළ ක්‍රියාන්විතය ඉදිරියට ගෙන යෑම, මේ වන විට ප්‍රබල අභියෝගයක් බවට පත්ව තිබෙන බව ද පැහැදිලිය. 
අවසන් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය, මේ අතර ඉතාමත්ම තීරණාත්මක වේ. කුමන හේතු මත හෝ, ආණ්ඩුවට ට එරෙහි පොදු ජන විරෝධයක් රට පුරා නැගෙමින් තිබෙන බව ඒ හරහා තහවුරු වෙයි. 
අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීම සහ එය පරාජය වීම, එමගින් අගමැතිවරයාගේ පාර්ලිමේන්තු විශ්වාසය තහවුරු වීම, එකී සිදුවීම් දාමයේ ම කොටසක් ලෙස රනිල් - සම්බන්න්ධන් රහස් ගිවිසුමක් ඇති වීම, එහිම තවත් කොටසක් ලෙස චන්ද්‍රිකා  - රාජපක්ෂ යුග දෙකෙහිම ප්‍රධාන සහ කූට ඒජන්තවරයෙකු වූ SB දිසානායක ප්‍රමුඛ ශ්‍රීලනිප 16 ක් අමාත්‍ය ධුර අත හැර ආණ්ඩුවෙන් නැගිට යෑම, ඔවුන් භාර ගැනීම ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එකාබද්ධය සුදානම් වීම, ශ්‍රීලනිප ය තුළ උද්ගතව ඇති තත්වය ට පිළියම් සෙවීම ට, චන්ද්‍රිකා - රාජපක්ෂ යුග දෙකෙහිම තැරව්කාර ප්‍රබලයෙකු වන සරත් අමුණුගම ට පවරා දීම වැනි සිදුවීම් ඔස්සේ අප තේරුම් ගත යුත්තේ අන්න ඒ - පෙර සඳහන් දේශපාලන සන්දර්භය තුළ ය.
ඒ අනුව, 2015 ජනවාරි 8 න් විධිමත්ව ආරම්භ වූ ''රට වට කිරීම'' තව දුරටත් සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ට, අදාළ ක්‍රියාන්විතය ට දැන සහ නොදැන සම්බන්ධ පෙර කී සියලු කණ්ඩායම් දැන් විවිධ වේශයන්ගෙන් තම තමන්ගේ භූමිකාවන් ඉටු කරමින් සිටින වග බැලූ බැල්මට ම පෙනේ.  
ඒ අනුව, 2019 ජනාධිපතිවරණයෙන්, මෛත්‍රීපාල සිරිසේන ම යළිත් වතාවක් හෝ එවැනිම පොදු අපේක්ෂකයෙක් අළුතෙන් ජන වරම් ලැබ ජනාධිපති පුටුවේ අසුන් ගැනීම ට නියමිතය. නොඑසේ නම් ප්‍රතිවිරුද්ධ බව පෙන්වන වෙනත් පාර්ශ්වයකින් හඳුන්වා දෙන නියෝජිතයෙක් හෝ ඊට හිමිකම් කියනු ඇත. ඉන් අනතුරුව එළැඹෙන මහා මැතිවරණයෙන්, ඔය දෙපැත්තට පනින එක ම කණ්ඩායම ජන වරම් ලැබ හෝ නොලැබ විවිධ හේතු මත දෙපැත්තට වන්නට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතය. ජවිපෙ, තමන්ගේ ආණ්ඩුවක් හැදීමට ඡන්දය නොදෙන ජනතාව ට යස පාඩම! යනුවෙන් කියමින් තවත් පැත්තක සිට පවතින තත්වයන් ම ශක්තිමත් කරනු අත. එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, ඔවුන්ට ම සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ජාලය, රටේ වෙළෙඳ ආධිපත්‍ය පතුරුවමින් සිටින ඉන්දියානු - චීන මෙහෙයුම්, තවත් බහු ජාතික සමාගම් ක්‍රියාන්විත, ලෝක බැංකු - ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊනයා ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි රස පහස විඳිමින් මේ අසිරිමත් දිවයින නැත්තටම නැති කරනු ඇත. සියලු ස්වභාවික සම්පත් කොල්ල කනු ඇත. නිදහස් අධ්‍යාපනය සහ එහිම අනන්‍ය කොටසක් වූ සෞඛ්‍ය සේවාව ඇතුළු සුභ සාධන රාජ්‍ය අවස්ථා මුළුමනින් ම හකුළුවා, නැති බැරි සාමාන්‍ය පොදු ජනයා නොමරා මරා දැමෙන වට පිටාවක් රට තුළ නිර්මාණය වනු ඇත!
ඉතිං! චන්ද්‍රිකා, මහින්ද, රනිල් - මෛත්‍රී, අනුර, හකීම්, සම්බන්ධන්...අභිබවා යන, පක්ෂ දේශපාලන සීමාවන් බිඳ දමන දේශපාලන
​සංවාදයකට අප වහා පිවිසිය යුතුය! ඒත් ඒ කොහොමද?
CHAPA, April 23, 2018    

No comments:

Post a Comment