හලාවත, ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇස්බැස්ටස් වර්ගයේ තහඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් පිටවන අධික දුර්ගන්ධය සහිත විෂ වායුන් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී තිබේ. ඊට එරෙහිව, අදාළ කර්මාන්ත ශාලා ප්‍රධාන පිවිසුම ඉදිරිපිට, ඊයේ, 2018 මාර්තු 2 වැනි දින, ගම්වාසීන් විරෝධතා දැක් වූ අතර පොලීසිය මැදිහත් වී, එකී පාලන අධිකාරිය සමඟ එකඟතාවකට පැමිණ ගම්වාසීන්ට දන්වා ඇත්තේ, ලබන අඟහරුවාදා දක්වා අදාළ කර්මාන්තශාලාවේ කටයුතු එලෙසම පවත්වා ගෙන යෑමට ඉඩ දෙන ලෙසය.
මහජන සාමය සහ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු පොලිසිය කළ යුතුව තිබුණේ, කිසියම් නීත්‍යානුකුල ක්‍රම වේදයක් අනුගමනය කරමින් සහ අදාළ පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කරමින්, කර්මාන්ත ශාලාවේ ක්‍රියාන්විතය තාවකාලිකව හෝ අත් හිටුවා මහජන පීඩාව අවම කර දීමට කටයුතු කිරීමය. ඊට අමතරව, එකී පරිසර දුෂණය ට එදිරිව, වගකිව යුතු බලධාරීන් සමඟ එක්ව නිසි නීතිමය පියවර ගැනීමය.
මෙම කර්මාන්තශාලාව ඉදි කිරීමට එරෙහිව ද, 2015 පෙබරවාරි 28 දින, කොළඹ පුත්තලම A3 මාර්ගය ද හරස් කරමින්ම විශාල විරෝධතාවක් පැවැත්විණි. යෝජිත කර්මාන්ත ශාලාව හරහා මෙවන් පාරිසරික හානියක් සිදුවන බවත්, එමගින් සාමාන්‍ය ජන ජීවිතයට සෞඛ්‍ය ගැටළු ඇතුළු බරපතළ පාරිසරික ව්‍යසනයකට මුහුණ දීමට සිදුවන් බව අවධාරණය කෙරිණි. එසේම, ආනවිලුන්දාව කුරුළු රක්ෂිතය ට ද එමගින් විශාල හානි සිදුවන බව පෙන්වා දුනි. ඊට අමතරව අදාළ කර්මාන්තශාලාව සඳහා, භූගත ජලය දිනකට ලීටර් 1 65 000 ක් පමණ භාවිතයට ගැනීම සිදුවන අතර කර්මාන්ත කටයුතුවලි බැහැර වන විෂ ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජල මුලාශ්‍ර විනාශ වීමේ තර්ජනය ද අවධානය ට ගත් විරෝධතා කරුවන් ආණ්ඩුවට බල කර සිටියේ යෝජිත කර්මාන්ත ශාලාව ආරම්භ නොකරන ලෙසය.
ආණ්ඩුව මේ සියලු විරෝධතා නොසලකා හරිමින් සහ පිළිගත් සියලු නීතිමය තත්වයන් ද උල්ලංඝනය කරමින් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට අදාළ ආයෝජකයන් ට ඉඩ ලබා දුනි.   
ශ්‍රී ලංකා පොලීසිය දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියා කරමින් සිටින්නේ ද, ඉහළින් ලැබෙන ඕනෑම අණක් කොන්දේසි විරහිතව ඉටුකර දීමට සහ වෙනත් පටු අරමුණු සඳහා පෙනී සිටිමින් හෝ පොදු ජනයා පීඩාවට පත් කිරීමටය. විශේෂයෙන් ම, කර්මාන්තකරණය හේතුවෙන් විවිධ රෝගාබාධ ප්‍රමුඛ නොයෙක් පීඩාවන්ට ලක්වන මහ ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කර දීම ට මැදිහත්වීම වෙනුවට, අදාළ කර්මාන්ත කරුවන් සහ පාලකයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය දීමට ඔවුන් පෙළඹී සිටීම අපි තරයේ හෙළා දකිමු! 
මහජන මුදලින් නඩත්තු කරන ස්වාධීන පොලිස් කොමිසම ද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් රටේ ජන සමාජය දිනෙන් දින බරපතළ අසහනයකට පත් වෙමින් සිටින බවත් එය පුපුරා යෑම මගින් සමස්ත සමාජය ම අනතුරේ වැටීමට ඉඩ කඩ සකස් කෙරෙමින් තිබෙන බවත් අපි අවධාරණය කරන්නෙමු!
එසේම, ලෝකයේ විවිධ රටවල තහනමට ලක්වන කර්මාන්ත මෙන්ම අධික ලෙස භූගත ජලය යොදා ගන්නා කර්මාන්ත විශාල ප්‍රමාණයක් දැනටමත් රට පුරා පවත්වාගෙන යන බව වාර්තාවන අතර, විදේශ ආයෝජකයන් මත අන්ධ විශ්වාසයක් තබා රට අනතුරේ හෙළන විනාශකාරී කර්මාන්තකරණය ට විරුද්ධව මහ ජනයා සහ විශේෂයෙන්ම වෘත්තිකයන් එක පෙළට සිට ගත යුතු බව අපි තව දුරටත් අවධාරණය කරන්නෙමු!