අද, 2018 පෙබරවාරි 25, කැබිනට් සංශෝධන කිහිපයක් සිදු වූ අතර එසේ පත් වූ නව අමාත්‍යවරු ජනාධිපතිවරයා ඉදිරියේ උත්සවාකාරයෙන් දිවුරුම්  දෙන ආකාරයද ​දක්නට ලැබිණි.

ඒ අතර, ශ්‍රී ලංකා පොලීසිය ද මෙහෙයවන, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පවරා තිබීම හේතුවෙන් රට තුළ අතිශය  බැරෑරුම් තත්වයක් නිර්මාණය වන බව පෙන්වා දෙනු කැමැත්තෙමු. අග්‍රාමාත්‍යවරයා, දැනට නීතිය ඉදිරියේ යම් පසුගාමී තත්වයෙන් හෝ විමර්ශනය ට ලක් වෙමින් තිබෙන මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොළකරු ලෙසට ''කරුණු සහිත ජන මතයක්'' ඇති වී තිබෙන පසු බිමක ජනාධිපතිවරයා මෙවැනි තීරණයක් ගනු ලැබුවේ කුමන හේතුවක් මත ද යන්න බරපතළ සැකයකට තුඩු දේ.

මෙවර පළාත් පාලන මතිවරණ සමස්ත ප්‍රතිඵලය, විවිධ පැතිවලින් විග්‍රහ කළ හැකි අතර, කෙසේ වුවත් එය අනිවාර්යයෙන් ම ''ආණ්ඩු විරෝධී ජන මතය'' ප්‍රකාශ වීමක් බව විවාදයකින් තොරව පිළිගැනීමට සිදු වේ. ඊට බලපෑ විවිධ සාධක අතර මහා බැංකු බැඳුම්කර වංචාව ද ප්‍රමුව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද, පසු ගිය මැතිවරණ සමයේ ඒ සම්බන්ධයෙන් විවෘත ප්‍රකාශ සිදු කළ අතර ''හොරු සමඟ'' තමන් ට තව දුරටත් ආණ්ඩුව පවත්වා ගෙන යා නොහැකි බව ද ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර තිබේ. තව ද රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කොට වෙනත් පුද්ගලයෙකු ඒ සඳහා පත් කිරීමට කෙරුණු සාකච්ඡාවේ ජනාධිපතිවරයා ද ඉදිරියෙන් ම සිටි බව පෙනිණි.

එවැනි තත්වයක් පැහැදිලිව තිබියදී, රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයේ තව දුරටත් තබා ගනිමින් ම,  මෙවැනි තීරණාත්මක අමාත්‍යංශයක් පැවරීමට ත්  ජනාධිපතිවරයා තීරණය කළේ ඇයි?මෙම කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ද හැසිරෙන්නේ ඇල් මැරුණු ස්වභාවයකින් බව බැලූ බැල්මට පෙනේ. එසේ නම් මේ පිටුපස ඉන්දියාව සහ ඇමරිකාව ප්‍රමුඛ තවත් ඍජු සහ වක්‍ර මැදිහත්වීම් තිබේ ද?
ප්‍රශ්නය බරපතළය!