එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 37 වැනි සැසි වාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව ට අදාළ මානව හිමිකම්  වාර්තාව 2018 ජනවාරි 25 දාතම අ/HRC/ 37/23 වාර්තාව, ලංකේය රාජ්‍ය අස්ථාවර කරන සහ එහි හමුදා බලය හීන කරන, කුමන්ත්‍රණකාරී ජාත්‍යන්තර ක්‍රියාදාමය හොඳින් පිළිබිඹු කරන සහ දත්තමය දෝෂ සහිත ලියැවිල්ලක් බව අවධාරණය කරන්නෙමු.
අදාළ සැසිය 2018 පෙබරවාරි 26 දින සිට මාර්තු 26 දක්වා පැවැත්වීම ට නියමිත අතර, විවිධ නම් වලින් පෙනී සිටින දෙමළ බෙදුම්වාදීන් සහ ඔවුන්ගේ තැරව්කරුවන් ඊට උපරිම දායකත්වයක් දෙමින් ශ්‍රී ලංකාව කොටුකර තැබීමට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එකී වාර්තාව ට සමගාමීවය.
34 වැනි සැසියට ඉදිරපත් කළ A/HRC/34/20 වාර්තාව ට සම්බන්ධ බව දක්වමින් ප්‍රකාශයට පත් කරන මෙම ලියැවිල්ලේ, ලංකා හමුදාව සාම සාධක හමුදාවක් ලෙස පහුණු කර ආකාරය දැක්වෙන අතර, ඒ සඳහා මැදිහත් වන්නේ ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන බව පෙන්වා දෙයි. 
බටහිර අප්‍රිකානු රටක්ව වන මාලි රාජ්‍යයේ රත්තරං ආකාර පවත්වාගෙන යමින් එරට සම්පත් කොල්ල කෑමට මැදිහත් වී සිටින ඇමරිකාවේ උවමනාවන් සඳහා නිර්මාණය කර තිබෙන MINUSMA ( Multidimensional Integrated Stabilization Mission in Mali ), බහුමාන ඒකාබද්ධ ස්ථායිකරණ දූත මෙහෙය සඳහා, යුධ අපරාධ චෝදනා නොමැති ශ්‍රී ලංකා හමුදා පිරිස් යොදවන ආකාරය ද මෙහි විස්තර කොට තිබේ.   වාර්තාවේ 7) යටතේ සඳහන් වන්නේ, ලංකා අමත්‍ය මණ්ඩලය, අදාළ කොමිසම, යෝජිත මානව හිමිකම් පිළිබඳ එකඟතා ක්‍රියාත්මක කිරීමට බලය තිබෙන ජාතික යාන්ත්‍රණය ලෙසට පිළි ගෙන ඇති බවය.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සහ ඊට අදාළ ක්‍රියාකාරීත්වය ගැන සඳහන් කරන වාර්තාව 2017 නොවැම්බර් 7 සංශෝධනය කළ, 2015 සම්මත කරගත් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හේතුවෙන් වෙනත් රටක සිට හෝ තමන්ගේ පැමිණිළි සහ සාක්ෂි ලබා දීමට, රට හැර ගියවුන් ට ලැබෙන අවස්ථාව අවධාරණය කරයි.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට Counter Terrorism Act හඳුන්වා දීමට ලංකා රජය ගෙන තිබෙන පියවර සහ එහි ඉදිරි ක්‍රියාකාරීත්වය ඉක්මන් කිරීම ගැන සඳහන් කරන වාර්තාව, රිමාන්ඩ් භාරයේ සිටින ත්‍රස්තවාදී සැක කරුවන් සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කරයි.  
අදාළ වාර්තාවේ, Emblematic Cases ( දෘෂ්ටාන්ත ) අනු මාතෘකාව යටතේ, පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ අතුරුදන් වීම් පිළිබඳ දෝෂ සහිත විස්තරයක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙම ලියැවිල්ල මගින් කියා සිටින්නේ ලංකාව ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවය. හිටපු නාවුක හමුදා කොමදෝරු DKP දසනායක ට අධිකරණය ඇප ලබා දීම අභියෝගයට ලක් කරන ඔවුන්, තවත් කරුණු ගණනාවක් ඉදිරිපත් කරමින් අවධාරණය කරන්නේ ලංකාවේ අධිකරණය දෙබිඩි ( Double Standards ) බවය.
රතුපස්වල සිද්ධිය ගැන සඳහන් කරමින්, ''Army brigadier general and three other officers...'' යනුවෙන් ඔවුන් සඳහන් කර තිබීමෙන් සනාථ වන්නේ ඔවුන් තැන් තැන් වලින්, විශේෂයෙන්ම, දෙමළ බෙදුම්වාදයට සහය දෙන රාජ්‍ය නොවන සංවිධාන හරහා එකතු කර ගන්න තොරතුරු දෝෂ සහිතව වාර්තා කරන ආකාරයයි. එනම්, brigadier general යනුවන් තනතුරක් ලංකා හමුදාවේ නොමැති වීමයි. මේ සඳහන් කරන්නේ, බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගැන විය යුතුය! ජාත්‍යන්තර මට්ටමේ බව පැවසෙන වාර්තාවක් මෙසේ දෝෂ සහිත විය හැකි ද?
මේ අතර ම, 2017 දෙසැම්බර් 15 හෝ ඊට තදාසන්න දිනෙක, අදාළ හමුදා නිලධාරීවරයාගේ දියණිය, ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මුණ ගැසීමට ගත් අසීරු උත්සහය සහ ඒ හමුවේ අදාළ නියෝජිතයන් මග හරිමින්, හැංගි මුත්තන් කළ ආකාරය ද මෙහි දී මතක් කළ යුතුමය.
මෙහි, (40) යටතේ, LTTE හිතවාදී රාජ්‍ය නොවන සංවිධානයක්, ජෙනරාල් ජගත් ජයසුරිය ට එරෙහිව බ්‍රසීලයේ ගොනුකර තිබෙන යුධ අපරාධ පිළිබඳ නඩු ගැන සඳහන් කරන ඔවුන්, එය ''...the tip of the ice berg...'' ලෙස විග්‍ර කරමින් කියා සිටින්නේ, මේ මොහොතේ රටට එරෙහිව විශාල ක්‍රියාන්විතයක් දියත් වෙමින් තිබෙන බවය.
මෙම වාර්තාව කෙතරම් පහත් මට්ටමකට වැටී ඇත්දැයි තේරුම් ගැනීමට (47) වැනි ඡේදය විමසා බැලිය යුතුය. එයින් කියවෙන්නේ, ඉවැන්ජලිකල් පල්ලිවලට දිගටම ප්‍රහාර එල්ලවන බවත්, රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වූ සිවිල් ක්‍රියාකාරී නීතීඥයෙක් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන විට, අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ඔහුට තර්ජනය කළ බවත්ය. මේ, දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩ සටහනක් අතර තුර සිදු වූ සංවාදයක් විකෘති කර දැක්වීමකි. ඇත්තටම සිදුවුයේ, අදාළ නීතීඥවරයා අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ජනයා නොමග යවන විට, අදාළ අමාත්‍යවරයා දුරකථනයෙන් කතා කොට එය නිවැරදි කිරීමය. 
මේ වාර්තාව අවසන් වශයෙන් අපට හඟවන්නේ, ඔවුන් ට අවනතව සහ දෙමළ බෙදුම්වාදය ට අවශ්‍ය පරිදි කටයුතු නොකරන්නේ නම්, ''...application of Universal Jurisdiction...'' ක්‍රමයට ශ්‍රී ලංකාව වට කරන බවය!