මේ වන විට, එනම්, 2018 පෙබරවාරි 28 දින, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන තනතුරු සඳහා අදාළ පත්කිරීම් සිදුකළේය. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, අනෙක් සාමාජිකයන් ලෙස, ජයතීපා පුණ්‍යමූර්ති, මේජර් ජෙනරාල් මොහන්ති පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරැක් රහීම්, සෝමසිරි K ලියනගේ, කනපති පිල්ලෙයි වෙන්තන් යන පුද්ගලයන්, වසර 3 ක කාලයක් සඳහා පත් කෙරිණි. 
එම කාර්යාලයේ වැඩ කටයුතු සඳහා, 2018 අය වැයෙන් රු. බිලියන 1.3 ක් වෙන්කර තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලයෙන්, 2018 ජනවාරි 25 දිනැතිව, මේ වනවිට ජිනීවා හී පැවැත්වෙන 37 වන එහි සැසිය සඳහා ඉදිරිපත් කෙරුණු, ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ ද මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබීම විශේෂත්වයකි.
අදාළ වාර්තාව සම්බන්ධ විශ්ලේෂණය ..... පිටුවෙන් සහ ..... video වෙන් වැඩි දුර අධ්‍යනය කරන්න.
මෙම අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම ආරම්භ වන්නේ 2015 දෙසැම්බර් 10 දින, නිව්යෝක් නගරයේදී, ''බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය'' ට, ශ්‍රී ලංකාව, 95 වැනි රට ලෙස ඇතුළත් කරමින්, වැඩබලන ස්ථිර නියෝජිත AS ඛාන් අත්සන් කිරීමෙන් ය. මෙම ගිවිසුම්ගතවීම සිදුවුයේ ද ඉතා රහසිගතව සහ සුක්ෂම ලෙස ය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කිසිදු ආකාරයක සංවාදයක් නොතිබුණු අතර, කිසිදු පාර්ලිමේන්තු නියෝජිතයෙක් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආකාරයක් ද නොපෙනුණි.
1972 සහ 1978 අතර කරළියට එන මෙම සම්මුතිය පිළිබඳ කෙටුම් පත, 2006 දෙසැම්බර් 20 දින, එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී සම්මත වුවද, එය ක්‍රියාත්මක තලයට පැමිණියේ 2010 දෙසැම්බර් 23 දින ය. 2007 පෙබරවාරි 6 සිට එය ඒ ඒ රටවල අත්සන් සඳහා යොමු කළ ද, 2016 ජුලි වන විට ඊට එකඟ වී තිබුණේ රටවල් 96 ක් පමණි.
විශේෂත්වය වන්නේ, මානව හිමිකම් ගැන ඉහළින් කතා කරන නවසීලන්තය, එක්සත් රාජධානිය පමණක් නොව මේ සියල්ල පිටුපස සිටින ඇමරිකා එක්සත් ජනපදය ද ඊට තවමත් අත්සන් යොදා නොතිබීමයි.
මෙවැනි පසුබිමක, 2015 ජනවාරි 8 ලංකාවේ Regime Change ව්‍යාපෘතියෙන් පසුව, දෙමළ ඩයස්පෝරාව සහ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නොවන බල ඇණිය, එකී ක්‍රියාදාමය ම ඉදිරියට ගෙනයමින්, මෙම ''අතුරුදන් වුවන් පිළිබඳ'' උගුල ක්‍රියාත්මක තලයට ගෙන ආ බව පැහැදිලිය. අදාළ කාර්යාලයේ ප්‍රධාන තනතුරකට, දෙමළ බෙදුම්වාදයට හිතවාදීව ප්‍රසිද්ධියේ පෙනී සිටින නිමල්කා ප්‍රනාන්දු පත් කිරීමෙන් ම පෙනී යන්නේ, එය අතිශය පක්ෂපාතී ආයතනයක් ලෙසම ආරම්භ කර ඇති බවය.
ශිෂ්ටසම්පන්න කිසිදු රටක මිනිස් අතුරුදන්වීම් සිදු නොවිය හැකි බව අවිවාදයෙන් පිළිගත යුතු මුත්, මෙම ක්‍රියාදාමය LTTE ය මිලිටරිමය වශයෙන් පරාජය කිරීම ම ඉලක්ක කොට සිදුකරන බව ඉතාමත් ම පැහැදිලිය. එකී පනතේ ද අදාළ යුද සමය සහ උතුරු නැගෙනහිර කළාප සම්බන්ධයෙන් වෙනම සඳහන් කර තිබීමෙන් ම එය තහවුරු වේ. එසේම, 88 - 89 ආසන්න කාලයේදී ජවිපෙ සිවිල් කැරැල්ලෙන් මිය ගිය සහ අතුරුදන් වුවන් සම්බන්ධයෙන් එකී පනතේ හෝ වෙනත් කිසිදු තැනක කිසිදු අවධානයක් යොමුකර නැත. පුදුමයකට මෙන්, ජවිපෙ ද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ අදාළ රාජ්‍ය නොවන පාර්ශව ප්‍රශ්න නොකිරීම ට වග බලාගෙන තිබේ.
සමස්ත සිදුවීම් හොඳින් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, අදාළ ක්‍රියාන්විතය සංවිධානය වන්නේ ම, LTTE ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකා හමුදාවන් බිය වද්දමින් සහ අවශ්‍ය අත් අඩංගුවට ගැනීම් කරමින් රටේ රාජ්‍ය හමුදා බලය අඩපණ කිරීම අරමුණු කරගෙන බවය. 
ඒ අතර, 2015 අංක 4 දරන, වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හේතුවෙන් ඕනෑම රටක සිට අදාළ විමර්ශන සඳහා පැමිණිළි ඉදිරපත් කිරීමට සහ සාක්ෂි දීම ට ද අවශ්‍ය ඕනෑම කෙනෙකු ට අවස්ථාව ලබා දී ඇති බැවින් සහ මේ සියල්ල පිටුපස වෙනත් කුමන්ත්‍රණකාරී උවමනාවක් තිබෙන බැවින්, උද්ගතව ඇති තත්වය රටේ රාජ්‍ය ආරක්ෂාව ට මෙන් ම, රාජ්‍ය හමුදා  බලයට ද අතිශය බලපෑම් සහගත වන බව පෙන්වා දෙන්නෙමු!