''...මම හිතන්නෙ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල...දැන් ඒගොල්ලන්ගෙ කාර්ය භාරය අවසන් නිසා මෙහෙන් යන්න පුළුවන්, මොකද අපට අවශ්‍ය සුද්දන්ගෙ ඔය කියන කටයුතු කිරීම නෙවෙයි, රට ට අවශ්‍යවන ඔබින විදිහට, අපට හිතන්න පුළුවන්, ජනතාවට පිළිගන්න පුළුවන් කටයුතු තමයි කරන්න අවශ්‍ය...'' යනුවෙන්, 2018 මාර්තු 4 දින, රවී කරුණානායක ජනමධ්‍ය කැමරා ඉදිරියේ ප්‍රකාශ කිරීම රටේ දැඩි අවධානය ට යොමු විය යුතුය!
ලෝක බැංකුව (WB) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) දශක කීපයක් තිස්සේ, ශ්‍රී ලංකා ආර්ථිකය මෙහෙයවමින් සිටින බව අපි කරුණු සහිතව පෙන්වාදෙමින් සිටින්නෙමු. 
1977 දී, JR පාලනය, රට ට විවෘත ආර්ථික ක්‍රමය කොන්දේසි විරහිත ව හඳුන්වා දුන් පසු, රටේ ස්වීය ආර්ථිකය ඝාතනය කිරීම ආරම්භ කෙරිණි. JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද සහ අද මෛත්‍රී - රනිල් පාලන කාල හරහා සංවිධානාත්මකව ඉදිරියට යන අදාළ මෙහෙයුම ට මෙරට වෘත්තිකයන් සෑහෙන ප්‍රමාණයක් ද ඍජුව සහ වක්‍රව සම්බන්ධය. ඒඅතර, චන්ද්‍රිකා - මහින්ද ආණ්ඩු දෙකෙහි ම මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කළ PB ජයසුන්දර සහ සියලු ආණ්ඩු තුළ සක්‍රීය සාධකයක් බවට පත්ව සිටින සරත් අමුණුගම ප්‍රධාන තැනක් ගනී. ඒ, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දක්වා වන සියලු මහ බැංකු අධිපතිවරුන් ප්‍රමුඛ, විෂය ට අදාළ නිලධාරී රැළකට සමගාමීවය.
එදා මෙදා තුර පාර්ලිමේන්තුවට ඉදිරපත් වූ සියලු අය වැය සකස් කෙරෙන්නේ ද ලෝක බැංකු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඍජු උපදෙස් අනුවය. මෙම මුල්‍ය ආයතන මෙහෙය වන එක්සත් ජාතීන් (UN) ද අවශ්‍ය සෑම මොහොතකදී ම අදාළ මෙහෙයුමට සම්බන්ධ වන ආකාරය පැහැදිලිව දැක ගත හැකිය. වර්තමානය වන විට යුරෝපා සංගමය ( EU ) ද ඒ සඳහා ඍජු ලෙස මැදිහත් වන ආකාරය, GSP+ කොන්දේසි නිරීක්ෂණය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. 
රනිල් - මෛත්‍රී ජාතික ආණ්ඩුවේ අදාළ කොන්ත්‍රාත්තුව පැවරුණේ මුදල් අමත්‍ය රවී කරුණානායකටය, ඒ මහ බැංකුව තම භාරයට ගත් අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වය යටතේ ය, මහබැංකු බැඳුම්කර හෙළිදරව්වෙන් පසු රවී කරුණානායක ගේ යෂ්ටිය ලැබුණේ මංගල සමරවීර ට වන අතර ඔහු ද ඉතා කීකරු ලෙස අදාළ කොන්ත්‍රාත්තුව සම්පුර්ණ කරමින් සිටී. 
මෙවන් පසුබිමක, රවී කරුණානායක, IMF රටින් පිටව යා යුතු යැයි ප්‍රසිද්ධියේ පැවසීමට ඉදිරිපත් වන්නේ ඇයි?
මේ වනවිට, පෙර කී, රටේ ආර්ථික ඝාතන ක්‍රියාදාමය ගැනත් ඊට වග කිව යුතු ලෝක බැංකුව (WB) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF) ගැනත් රටේ මහජනයා තුළ යම් මට්මක අදහසක් ඇතිවෙමින් තිබෙන අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට එල්ල වූ දැවැන්ත විරෝධය ට එම ජනමතය ත් ප්‍රබල හේතුවක් වූ බව අපේ නිරීක්ෂණයයි. මේ අනුව, රවී කරුණානායක, එජාප ය නියෝජනය කරමින්, තමන් ද IMF මැදිහත්වීමට විරුද්ධ බව කියමින් මෙසේ පොදු ජනයා මුළා කිරීමට ''ගරිල්ලා ප්‍රචාරණ ව්‍යාපෘතියක්''  දියත්කරමින් සිටින බව අපි පෙන්වා දෙන්නෙමු.