Saturday, April 14, 2018


බක් මහේ වියළි සිනහ...



​2018 අලුත් අවුරුද්ද සමරන මේ මොහොත, තව දුරටත්, ඉතාමත් ම තීරණාත්මකයි! හේතුව, ''බක්මහ සැණකෙළි!'' පිටුපස ක්‍රමානුකුලව, එහෙත් වේගයෙන් මරා දැමෙන, එහි පදනම වන ''ගොවිකම සහ ගොවි තැන'' පිළිබඳ දේශපාලන සංවාදය ගොඩ නගා ගැනීමට, අපට ''රටක් සහ සමාජයක්'' ලෙස තවමත් නොහැකිවී තිබීමයි.
වසර දහස් ගණනක දීර්ඝ කෘෂි ඉතිහාසයකට සම්බන්ධ මේ රට ඉදිරියටත් සංවර්ධනය කළ යුත්තේ සහ කළ හැක්කේ කෘෂි ආර්ථික පදනමක් මත බව මේ අද වෙසෙන ඊනියා උගතුන් ට සහ බුද්ධිමතුන් ට 'තවම' කිසි විටෙකත් අවබෝධ වී නැත. වඩා නිවැරදිව කිව්වොත්, ඔවුන් සමස්තයක් ලෙස, රට වට ලා සිටින ආර්ථික ඝාතකයන්ගේ, ආර්ථිකය සම්බන්ධ වැරදි දැනුම් පද්ධති කර තබා ගනිමින් වැරදි දිශාවකට රටේ ආර්ථිකය හරවමින් සිටිති. එය ඇත්තෙන්ම තම තමන්ගේ පවුල් ජයග්‍රහණය කරවා ගැනීම සඳහා ඔවුනොවුන් අනුගමනය කරන ක්‍රමයක් ලෙසට ද විග්‍රහ කළ හැකිය. 
වරෙක ඉතා ශක්තිමත් වැව් බැඳී රාජ්‍යයක්ව ද පැවතී ලාංකේය කෘෂි ඉතිහාසය, ස්වභාවික ලෝකය තුළ, ගොවිතැන සහ ගොවිකම පවත්වා ගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෑ ඉගෙන ගත හැකි, අති දැවැන්ත පර්යේෂණ වැඩබිමකි. කාලිංඝ මාඝ ආක්‍රමණ, පෘතිගීසි - ලන්දේසි - ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ දරුණු බිඳ වැටීමකට ලක් වූ ඒ විද්‍යාත්මක ලාංකේය ලෝකය යළි ගොඩ ගන්නවා වෙනුවට අපි මේ කරමින් සිටින්නේ, ඒ ආර්ථික ඝාතකයන්ගේ ම වර්තමාන ඒජන්තවරුන්ගේ ''ණය කොන්දේසි මග පෙන්වීම'' ඔස්සේ රට අයාලේ මෙහෙයවීමය.
ඒ අනුව, ජර්මනිය සහ ඇමරිකාව ප්‍රමුඛ රසායනික යෝධයන් ට සහ බීජ යෝධයන් ට නතුව අපි මරණාසන්නව හුස්ම හෙළමින් සිටින්නෙමු!
අපි ඒ අතර, වැව්, ගංගා, ඇළ දොළ විනාශ කරමින් සහ ඒවායේ ජල පෝෂක ප්‍රදේශ ඇතුළු අතිශය සංවේදී මහා වන තීරු විනාශ කරමින් පාදඩ ආර්ථිකයක් ගැන උදම් අනමින් සිටිනෙමු.
මේ වනවිට ලෝකය පුරා ජීවත් වන්නේ, සංවර්ධනය යනු කුමක් ද! යන්න විසඳා ගැනීමට නොහැකි අනාථ පෘථිවි වැසියන් පිරිසක් බව අප වටහා ගත යුතුය. තම තමන්ගේ රටවල් ආරක්ෂා කර ගනිමින් අනෙක් රටවල් කොල්ල කෑමට සියලු ප්‍රයත්නයන් දරන මේ ''නූතන මිනිසා'' එමගින් තම තමන් ට සිදුවන්නට නියමිත මහා විනාශය ගැන කිසිදා දැන ගන්නේ ද නැත. මේ අතර, ස්වීට්සර්ලන්තය ප්‍රමුඛ ලෝකයේ එක් පසෙක පවතින රටවල් යම් ප්‍රමාණයක් තම තමන්ගේ රටවල් තුළ හෝ පොළොව ආරක්ෂා කර ගනිමින් ස්වභාවික තත්වයන් තුළ කෘෂිකර්මාන්තය පවත්වා ගැනීමට විද්‍යාත්මක ක්‍රම වේදයන් අත් හදා බලමින් සිටින බවද අපේ මෝඩ උගතුන් සහ බුද්ධිමතුන් දන්නේ නැතුවා සේය. අනෙක් අතට, ලෝකයේ බලවත් බව කියන සෑම රටක් ම කෘෂි ආර්ථිකය ශක්තිමත් ව පවත්වා ගැනීම ට සියලු වෙර දරන ආකාරය හෝ අපේ රට කරවන එවුන් ට පෙනෙන්නේ නැත.
මේ සියලු කතා මැද, 2018 අය වැය යෝජනාවලිය දක්වා වූ සියලු ආර්ථික ගමන් මාර්ග ඔස්සේ රටේ කෘෂි ආර්ථිකය විනාශ කෙරෙන ''මෙගා ලූ සිහින'' පෙන්වන බව තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනා ද?!
ඒ අතර, ලාංකේය ජාතිය ම ගොඩ නගන ''ජල සංස්කෘතිය'' අමු අමුවේ මරා දමමින් ජලය විකිණෙන ඓතිහාසික ආර්ථික අපරාධය ළඟ ළඟ ම! 
කෙටියෙන් මෙහෙම කියන්නං!
ගොවිතැන, ගොවිබිම...මේ සියල්ල විනාශ වන තැන, අස්වනු නෙලා ගන්න අස්වැසිල්ලක් නැති කල සහ අඩු තරමේ කොහා ට ළගින්න ගහක් කොළක් නැති තැන, අපට සමරන්න ට ලැබෙන්නේ සුපිරි වෙළෙඳ සැල් හි, අවුරුද්දට ගෙදර යන්න බැරුව ලතවන, රෙදි හැට්ට හැඳගත් තරුණියන් ගේ සහ සරම් බැනියම් හැඳ ගත් තරුණයන් ගේ වියළි සිනහව පමණි! 
ඒ තමයි, මාරාන්තික ගමනාන්තයක පෙර මග ලකුණ!
April 13, 2018           

No comments:

Post a Comment