2018 පෙබරවාරි 21 දින, අළුයම 5.45 ට පමණ, බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබූ NF - 9990 දරන පුද්ගලික බස් රථය, කහගොල්ල ප්‍රදේශයේදී පුපුරා ගිනිගැනීම පිළිබඳ සිදුවීම මේ වන විට විවිධ උවමනාවන් සඳහා, විවිධ අර්ථ විග්‍රහයන් ට ලක් වෙමින් තිබෙණු පෙනේ. මෙම හදිසි අනතුරෙන්, අදාළ බසයේ ගමන් ගත් මගීන් 30 දෙනාගෙන්, යුද හමුදා සාමාජිකයන් 7 ක් සහ ගුවන් හමුදා සාමාජිකයන් 5 ක් ද ඇතුළුව මගීන් 19 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණි. 
එයින් එක හමුදා සාමාජිකයෙකුගේ දෙපා අහිමි වී ගිය අතර තවත් එක් හමුදා සාමාජිකයෙක් ද බරපතළ තත්වයේ පසුවන බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ සිදුවීම ජනප්‍රිය මාධ්‍ය තුළ උණුසුම් පුවත් මැවූ අතර, හමුදා ප්‍රකාශකවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ද බොහෝ දෙනාගේ විශේෂ අවධානය ට ලක් විය. එනම්, මාධ්‍ය සාමාජිකයෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු පෙන්වා දුන්නේ, අදාළ බෝම්බ පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස පැවසීම ජනයා බිය වීමට හේතු වන බවය.
හමුදා ප්‍රකාශක වරයා ගේ එම ප්‍රකාශය ඇතැම් විට ඔහු සතු දුර්වල සංනිවේදන හැකියාව නිසා සිදු වූවා යැයි කෙනෙකුට පෙනී ගියත්, එහි කිසියම් යටිපෙළ අරුතක් තිබුණේ දැයි සැක කිරීමට නම් තවත් හේතු කීපයක් ම තිබේ. එනම්, දැනට එවැනි වග කිව යුතු පාර්ශව වලින් කියැවෙන්නේ, හමුදා සෙබළෙකු රැගෙන ආ බෑගයක තිබූ අත් බෝම්බයක් බිම වැටී පුපුරා ගියේ යැයි කියන කතාවය. එම කතාව, අදාළ පරීක්ෂණ (?) ආරම්භවන අතරම  මාධ්‍ය හරහා නිශ්චිත ලෙස ඉදිරිපත් කිරීමට අදාළ රාජ්‍ය පාර්ශව කටයුතු කිරීම බැලූ බැල්මට ම සැක කටයුතු ය.
ඒ අතරම, පසු ගිය කාලය පුරා උතුරේ වරින් වර මතු වූ 'ආවා' කල්ලිය සහ ඔවුන්ගේ බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා, කිසිදු ආකාරයකින් ත්‍රස්තවාදයට සම්බන්ධ නැති බව පෙන්වීමට ආණ්ඩුව විවිධ උපක්‍රම යොදා ගත්තේය. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය අකච්ඡා වලදී අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින නිල පාර්ශව කීපයක් ම එම සිද්ධීන් හාස්‍යයට ලක් කරමින් සමාජ අවධානය වෙනතකට හැරවීමට පියවර ගත බව පැහැදිලිය. 
මේ සියල්ල මෙසේ සිදු වෙද්දී, ''සාලාව අවි ගබඩාව'' හදිසියේ පුපුරා යෑම සම්බන්ධයෙන් ද නිශ්චිත හේතුවක් සොයා ගැනීමට, අදාළ පරීක්ෂණ සිදුකළ බව කියන කණ්ඩායම් තවමත් සමත් වී නැත. එය හදිසි අනතුරක් ද, ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂාව දුර්වල කිරීමට සැලසුම් සහගතව සිදුකරන ලද්දක් ද? දශක 3 කට වඩා වැඩි කාලයක් ඉතා බිහිසුණු සහ ම්ලේච්ඡ ත්‍රස්තවාදයකට මුහුණ දී ලක්ෂ ගණනින් මිනිසුන් සහ ගණනය කර නැති මහා දේපොළක් අහිමි කරගත් රටක් ලෙස රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා දැඩි අවධානයක් යොමු කිරීමට, ආණ්ඩුව ව්‍යවස්ථානුකුලව ම රාජ්‍යය ට බැඳී සිටින බව මෙහි ලා අවධාරණය කළ යුතුය, එය, පොදු මහා ජනයා ප්‍රමුඛ රටේ සමස්ත පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. 
මේ අතර, දරුණු මිලිටරිමය පරාජයක් ලබන දෙමළ බෙදුම් වාදය මේ වන විට ඊනියා ජාත්‍යන්තරයේ උපරිම ආශිර්වාදයෙන් වෙනත් ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක තලයට ගෙන ඒමට උත්සහ ගැනෙන පසු බිමක, මෙම බස් රථය පුපුරා යෑම සුළුවෙන් නොසලකා හැරීම, ඇතැම් විට යළි නිවැරදි කර ගත නොහැකි වරදක් ද විය හැකිය.
එබැවින්, කිසිදු පර්යේෂණාත්මක පදනමක් නොමැතිව එම සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව විග්‍රහ කරමින්, මාධ්‍ය කැමරා ඉදිරියේ හුදු දේශපාලන කතා කීම නවතා, සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කොට සත්‍ය සිදුවීම කුමක් දැයි සොයා ගැනීමේ වගකීම ''පැහැර නොහැරීමට'' ආණ්ඩුව සහ රාජ්‍ය තන්ත්‍රය වග බලා ගත යුතුය!
.