රාජාංගනය වැවේ ජලය චීන ජල ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමේ සැලැස්මකට විරුද්ධව 2018 පෙබරවාරි 28, තඹුත්තේගම නගර මධ්‍යයයේ උද්ඝෝෂණය කරමින් සිටි ජනයා ට අමානුෂික ලෙස පහර දුන් පොලීසිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකොට, මැරයන් සේ හැසිරෙමින් සිවිල් නීතිය, ත්‍රස්තවාදයක් බවට පත්කළ පොලිස් නිලධාරීන් ට එරෙහිව නීතිමය පියවර ගන්න ලෙස අපි අදාළ බලධාරීන් ට බල කර සිටිමු! 
නීතිය සහ සාමය වෙනුවෙන් පෙනීසිටින පොලීසිය, පොදු සමාජ පැවැත්ම සම්බන්ධයෙන් ද ඉතා සංවේදී විය යුතුය. ඔවුන්ගේ මූලික කාර්යය වන්නේ සාමකාමී සහ සුරක්ෂිත සමාජ තත්වයන් පවත්වාගෙන යෑමට මැදිහත්වීමයි. එසේ නම් තම පොලිස් බල ප්‍රදේශය තුළ සාමාන්‍ය ජන සමාජය මුහුණ දෙන පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් අදාළ පොලිස් ප්‍රධානීන් දැනුවත් විය යුතුය. නීතිය සහ සාමය කඩා වැටෙන විට ඊට සම්බන්ධ මහජනයා තලා පෙළා කුදලාගෙන යෑම ට පෙර එවන් තත්වයක් ඇතිවීම වැළක්වීමට ද පොලීසිය මැදිහත් විය යුතුය. 
උදාහරණයක් ලෙස රාජාංගනය වැව සහ ඊට අදාළ මෙම ප්‍රශ්නය පිළිබඳ සංවේදී බවක් අදාළ පොලිස් ප්‍රධානීන් ට තිබුණේ නම්, වග කිවයුතු අංශ සමඟ සාකච්ඡා කොට ඊට අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට යම් ප්‍රබල මැදිහත් වීමක් කිරීමට පොලිසියට කිසිදු නීතිමය බාධාවක් තිබුණේ නැත. එය උද්ඝෝෂණය ආරම්භ වූ පසුව ද කළ හැකිව තිබුණි. එහෙත් සුපුරුදු පරිදි ම ඔවුන් එසේ කළේ නැත.
සිදුවන්නට නියමිත උද්ඝෝෂණ සම්බන්ධයෙන් පුර්ව අධිකරණ නියෝග ලබා ගන්නා පොලීසිය, එවන් ධනාත්මක සමාජ මැදිහත්වීමක් සඳහා ඉදිරිපත් නොවන්නේ වෘත්තීයමය බංකොළොත්භාවය නිසා සහ විවිධ දේශපාලන බලපෑම් ඇතුළු වෙනත් න්‍යායපත්‍ර නිසාය.
කෙසේ වෙතත්, තඹුත්තේගම උද්ඝෝෂණයට පහර දෙන පොලිස් නිලධාරීන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් (?) මැර කණ්ඩායමක් ද ක්‍රියාත්මක වීම කිසිදු නීතිමය තත්වයක් තුළ සාධාරණීකරණය කළ නොහැකිය. 
පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් ද අවම බලය යෙදීම වෙනුවට, ද්වේශසහගතව උද්ඝෝෂකයන් ට පහර දෙමින් අත් අඩංගුව ට ගන්නා අයුරු ජන මාධ්‍ය වාර්තා දැනටමත් තහවුරු කර තිබේ. ඇතැම් පුද්ගලයන් අත් අඩංගුවට ගත් පසුව ද, පොලිස් නිලධාරීන් සහ අනෙක් මැරයන්, එසේ අත් අඩංගුව ට පත්වූවන් ට පොලු වලින් පහර දෙන ආකාරය පැහැදිලිව දැක ගත හැකිය.
මේ සම්බන්ධයෙන්, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය භාර අග්‍රාමාත්‍යවරයා ඍජුව වග විය යුතු අතර ස්වාධීන පොලිස් කොමිසම විධිමත්  පරීක්ෂණයක් සිදුකොට අදාළ පොලිස් නිලධාරීන් ට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගත යුතුය.
ඒ අතරම, පොලීසියේ වෘත්තීයමය පෞර්ෂය නගා හිටුවීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශය ප්‍රමුඛ දේශපාලන අධිකාරිය ක්‍රියා නොකරන්නේ නම්, අනාගතයේදී, පොලිසිය ද ඇතුළු පොදු සමාජය මීට වඩා අප්‍රසන්න සහ ම්ලේච්ඡ මට්ටමකට තල්ලු වී යෑම කිසිවෙකුටත් වළක්වා ගත නොහැකි වනු ඇත.