අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එදිරි විශ්වාස භංගය දැන් පාර්ලිමේන්තු විවාදය ට සුදානම් කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එරෙහි ව කලෙක පටන් ඉදිරිපත් වෙමින් තිබු විවිධ චෝදනා තර්කානුකුල තැනකට පැමිණෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව ට අදාළ ක්‍රියාදාමය සමගය. ඒ අතර එජාපය තුළ ද රනිල්ගේ පක්ෂ නායකත්වය අභියෝගය ට ලක් කෙරෙන පසුබිමක් ද ගොඩනැගෙමින් තිබිණි. සජිත් ප්‍රේමදාස සහ කරූ ජයසුරිය වෙන් වෙන් ව කේන්ද්‍ර ගත කරගනිමින් එජාප පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවට යම් යම් පාර්ශව හඬ නගමින් සිටි බව පෙනිණි. ඒ කිසිදු තත්ත්වයක් තුළ එජාප නායකත්වය වෙනස් නොවුයේ රනිල් සතු විශේෂ හැකියාවක් නිසා ද, ඔහුට එරෙහි ‘පක්ෂ කැරලි’ සැබෑ නොවන නාට්‍යමය සිදුවීම් නිසා ද යන්න දැනට පැහැදිලි නැත. ඊට ආසන්නතම උදාහරණය වන්නේ රංගෙ බණ්ඩාර සහ වසන්ත සේනානායක ‘හොඳින් හෝ නරකින්’ රනිල් පක්ෂ නායකත්වයෙන් නෙරපා දමන බව ප්‍රසිද්ධියේ පවසා පසුව නිහඬ සීතල  ස්ථාවාරයකට පැමිණීමය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ට එල්ල වූ අනපේක්ෂිත ජන විරෝධය, යළි රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය ධුරය ට නිරායාසයෙන්ම සම්බන්ධ විය. එහි කිසියම් වූ තර්කානුකූල බවක් නොතිබුණත්, බැලු බැල්මට ම ‘රනිල් තමයි ප්‍රශ්නය!’ යනුවෙන් පෙනෙන තරමට ‘ආණ්ඩු ජන විරෝධය’ ‘රනිල් විරෝධයක්’ බවට පත් වෙමින් හෝ පත් කෙරෙමින් තිබිණි. ජනාධිපතිවරයා ප්‍රමුඛ යහ පාලන ආණ්ඩුව ට එරෙහි ජන විරෝධය රනිල්ගේ ගිණුමට බැර කිරිමෙන්, අවසන සිදු වුයේ ආණ්ඩුවේ පැවැත්ම. යම් කාලයකට හෝ ස්ථාවර විමය. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය, පාර්ලිමේන්තු මුල්‍ය බලය අග්‍රාමාත්‍ය වරයාට පැවරෙන සක්‍රීය බැරකම් කළමනාකරණ පනත කරලියට පැමිණීම ඇතුළු ඊනියා ජාත්‍යන්තරය ට සහ ආර්ථික ඝාතකයන් ට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඒ අතර අදාළ ඉලක්ක වෙත රැගෙන යාම ට හැකිවීම මෙහිදී බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුය.
තවද, එජාප නායකත්වය ට සහ අගමැතිධුරය ට  එදිරි රනිල් සාධක ද්විත්වය, මහා පොළොවේ සැබෑ ජන විරෝධය එක්තරා විකෘතියකට ලක්කොට තිබේ. එනම් රනිල් නුසුදුසු වන්නේ එජාප නායකත්වයටද, අගමැතිධුරයටද යන අතාර්කික සංවාදය ඒ අතර අනවශ්‍ය ජන අවධානයකට ලක් කර තිබේ. ජනමාධ්‍ය තුළ ද මේ සම්බන්ධව විශාල අනවශ්‍ය ඉඩක් වෙන් කෙරිණි.
සනාථ කළ නොහැකි, එහෙත් තර්කනුකුලව පිළිගත හැකි තත්ත්වය වන්නේ, රනිල් තවදුරටත් අගමැතිධුරයේ තැබිය යුතු බවට ඇමරිකානු - ඉන්දියානු දේශපාලන බලපෑම් ඇති වූ බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ‘අගමැතිධුරයෙන් ඉවත් වෙන්නෙ මොකටද?’ යනුවෙන් රනිල්ගෙන් ඇසුවේ යැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම ද ඇතැම් විට විහිළුවක් නොවිය හැකිය. ඊට සමගාමීව ජනාධිපතිවරයා ප්‍රමුඛව සහ තවත් තැන් වල එක දිගට පැවැත්වුණු සංදර්ශනාත්මක සාකච්ඡා ද ඒ වේගයෙන්ම හැකිළී ගිය බව පෙනිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට නීතිය හා සාමය අමාත්‍යධුරය පිරිනැමීම, තෙල්දෙණියේ ජාතිවාදී ගැටුම්, එක්සත් ජාතීන්ගේ 37 වැනි මානව හිමිකම් සැසිය හා බැඳෙන රට ට අවැසි සිදුවීම් පෙළ සංසන්දනාත්මකව බලන විට ද සියල්ල පිටුපස විධිමත් දේශපාලන රටාවක් තිබෙන බව පෙනේ.
ඒකාබද්ධ විපක්ෂය රනිල්ගේ අග්‍රාමාත්‍ය ධුරය ට එරෙහි විශ්වාසභංගය, කතා නායකවරයාට භාර දෙන්නේ මේ අතරවාරයේදීය. එය ඉතා විධිමත් සංවිධානාත්මක අභ්‍යාසයක් බවත් එමගින් රනිල්, ‘විශ්වසනීය අග්‍රාමාත්‍ය වරයෙක්’ බවට තහවුරු කර දීම ඉතා පහසුවෙන් සිදුවිය හැකි බවත් ඉතා පැහැදිලිය. එනම් ඊනියා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුකුල දීර්ඝ කාලීන සහ අඛණ්ඩ වැඩ පිළිවෙලට අවශ්‍ය කටයුත්තක් ලෙස මෙම විශ්වාසභංගය ඉතිහාස ගත වනු ඇත. විවිධ සාධක හේතුවෙන් හිටිවන සංකීර්ණ තත්ත්වයන්ට මාරු වන ඉතිහාස ගලනය ට අදාළව ඇතැම් විට මේ පුස් වෙඩිල්ල ඇත්ත වෙඩිල්ලක් බවට පත්වීමටද ඉඩ තිබෙන බව ට තම සාක්ෂි සපයා දෙන බවද ඒ අතර ම කිව යුතුය!