අද, 2018 පෙබරවාරි 26 දින, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවත් වූ විශේෂ සාකච්ඡාවකදී, නීතිය සහ සාමය විෂය පථයට අදාළ ත්‍රිපුද්ගල කමිටු තුනක් පත් කර තිබේ. 
ඒ අනුව, දුෂණ වංචා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කිරීම සඳහා රාජිත සේනාරත්න, DM ස්වාමිනාදන් සහ අජිත් P පෙරේරා ත්, අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා, අග්‍රාමාත්‍යවරයා ගේ සභාපතිත්වයෙන්, තලතා අතුකෝරළ සහ සාගල රත්නායක ත්, පොලිස් දෙපාර්තුමෙන්තුවේ දේශපාලන පළිගැනීම්වලට අදාළ  අභියාචන කඩිනම් කිරීමේ කමිටුව සඳහා තිලක් මාරපන, රංජිත් මද්දුමබණ්ඩාර සහ සාගල රත්නායකත් පත්කොට තිබේ.
මේ අතර සුවිශේෂ වන්නේ, දුෂණ වංචා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ කමිටුවය. එමගින් බලාපොරොත්තු වන්නේ, දැනටමත් නීතිය ඉදිරියේ දිගහැරෙමින් තිබෙන මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නීතිමය ක්‍රියාදාමය අවහිර කිරීමද යන සාධාරණ සැකය මතුවන්නේ, ආරම්භයේ පටන් අදාළ සිදුවීම් පෙළ ගැසෙන ආකාරය නිරීක්ෂණය විට දීය. 
විශේෂයෙන් ම, අදාළ ආර්ථික අපරාධය සම්බන්ධයෙන් එහි සැලසුම් කරුවා ලෙස චෝදනා එල්ල වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට ය. කමිටු සාමාජිකයෙකු වන අජිත් P පෙරේරා ට ද, කෝප් කමිටු විමර්ශන කටයුතුවලදී  ''ෆූට් නෝට් කල්ලි'' චෝදනාව එල්ල වී තිබේ. අමාත්‍ය රාජිත සේනාරත්න ද අදාළ වංචාව සාධාරණීකරණය කරමින්, ඒ වෙනුවෙන් පෙනීසිටි අයෙකි. ඒ අනුව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පැවරීම ට අමතරව මෙවැනි කමිටුවක් පත් කිරීමද බරපතළ සැකයකට තුඩු දේ. 
තවද, අද බොහෝ මාධ්‍ය වාර්තා කළේ, අර්ජුන ඇලෝසියස් සිංගප්පුරු නිවසේ නොමැති බැවින් ඔහුට යැවූ නොතිසි යළි මෙරට ට ඒවා ඇති බවය. ඒ  අතර ම, අද, මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කර සිටියේ, අදාළ අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා ට පවරා ඇත්තේ තාවකාලිකව බවත් එය ඉක්මනින් වෙන කෙනෙකු භාර ගැනීමට නියමිත බවත් ය.
 
එසේනම්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ උත්සහ කරන්නේ, සංවිධානාත්මකව, අදාළ මහ පරිමාණ වංචාව යට ගැසීමට ද යන බරපතළ සැකය මතු වීම කිසිසේත් ම වැළක්විය නොහැකිය.