මේ වනවිට ඉතා විධිමත් ලෙස හෙළිදරව් වී ඇති මහ බැංකු බැඳුම්කර සිද්ධියේ මහා මොළ කරුවෙකු සහ ප්‍රධාන චුදිතයෙකු වන, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවේ සිටින බව කියැවෙන අතර, අවශ්‍ය නීතිමය කටයුතු සඳහා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට ලංකා රජය අපොහොසත්වී තිබේ. ඒ අතර, ලංකාවේ පස් පාගන්න යළි තමා නොඑන බව, අර්ජුන මහේන්ද්‍රන් පැවසුවේ යැයි ද මාධ්‍ය හරහා දැන ගන්නට ද ලැබේ. 
ඊට සමගාමීව, මිග් යානා ගනුදෙනුව සහ තවත් දුෂිත ගනු දෙනු සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව සඳහන්, රුසියානු හිටපු තානාපති, උදයංග වීරතුංග, සමාජ මාධ්‍ය ඔස්සේ ලංකා රාජ්‍යයේ හැසිරීම සහ ඔහුට එදිරිව ක්‍රියාත්මක කිරීමට නියමිත ලංකාවේ නීතිය බරපතළ ලෙස හාස්‍යයට ලක් කරමින් සහ ඊට අභියෝග කරමින් සිටී.
මෙයින් පෙනී යන්නේ, ලංකාවේ නීතියේ ආධිපත්‍ය බරපතළ බිඳ වැටීමකට ලක් වෙමින් තිබෙන බව සහ එය වරප්‍රසාද ලත් එක් පිරිසකට අතිශය පක්ෂපාතීව ක්‍රියාත්මක වන බව තව තවත් තහවුරු වීමය. මෙසේ රට තුළ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ඉතා දරුණු ආකාරයකට පිරිහෙමින් තිබීම ජාත්‍යන්තර වශයෙන් ද රටට විශාල අවාසි සහගත තත්වයන් නිර්මාණය වීමට හේතු වේ.    
.