​යුද සමයේදී අතුරුදන් වුවන් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙස රජයට බලකරමින් ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් ඊයේ, 2018 පෙබරවාරි 24, වව්නියාවේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. එහිදී, විපක්ෂ නායක R සම්බන්ධන් සහ සුමන්තිරන් ගේ අනු රූ සඳහා අවසන් ගෞරව දක්වමින්, අතුරුදන්වුවන්ගේ ඥාතීන් බව පැවසෙන උද්ඝෝෂකයන් කියා සිටියේ, අදාළ දේශපාලනඥයන් තම ඉල්ලීම් ඉටු කර දීමට අපොහොසත් වී ඇති බවය. 
මේ අතර, එළැඹෙන සඳුදා, එනම් 2018 පෙබරවාරි 26 දා සිට, මාර්තු 23 දක්වා, ස්වීට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, ඊයේ දින තම වාර්තාව ඉදිරිපත් කරන මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්, සෙයිද් රාද් අල් හුසේන් පෙන්වා දෙන්නේ ද, 2015 දී එකඟ වූ පරිදි, මානව හිමිකම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශ්වාසය ගොඩ නැගීම ප්‍රමාණවත් සහ පරිපුර්ණ නොවන බවය. එනම්, ශ්‍රී ලංකාව ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහය ලබා දී නොමැති බවය. එසේම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරමින් අදාළ පනත යටතේ පැවරෙන නඩු සම්බන්ධයෙන් විසඳුමකට ඒමට ශ්‍රී ලංකාව අපොහොසත්වූ බව ද ඔහු අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
ආරම්භයේ පටන් ම එක්සත් ජාතීන් ගේ සංවිධානය සහ එහි මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය ක්‍රියාකරමින් සිටින්නේ, මෙරට දෙමළ අන්තවාදය සඳහා සහ ඒ හරහා ලාංකේය රාජ්‍ය බෙදුම්වාදී දුර්වල ආකෘතියකට මාරු කිරීම සඳහා බව අතීත අත් දැකීම් මානව ඔප්පු කර තිබේ. ලෝකය පුරාම ඔවුන් තම මෙහෙයුම් දියත්කර ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ, තෝරා ගත් ඒ ඒ රාජ්‍යයන් හි අර්බුද වර්ධනය කරමින් සහ ඒවා දුර්වල කරමින්, තම සංවිධානය මෙහෙයවන බලවත් බව කියන රටල් වල වෙළෙඳ උවමනාවන් සඳහා අවශ්‍ය දේශපාලන වට පිටාව සකස්කිරීම ඔවුන්ගේ අරමුණ බවය.
යුධ අපරාධ, අතුරුදන් වුවන් සෙවීම සහ අත් අඩංගුවේ සිටින LTTE සැක කරුවන් ට සාධාරණය ඉටු කිරීම වැනි තේමාවන් තොරෝම්බල් කරන අතර තුර, මෙරට ට  බෙදුම්වාදී දුර්වල නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ඔවුන් ඉතා සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින්නේ ද මෙම පසුබිම තුළය.  
​තවද, ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීම සඳහා දැනට පනවා තිබෙන කොන්දේසි ද ආවරණය කර තිබෙන්නේ මීට සමාන දේශපාලන තත්වයන් ය.
මේ සියල්ල එකට සසඳා බලන විට, වව්නියාව, කිලිනොච්චිය ද ඇතුළුව යාපනය තුළ ක්‍රියාත්මක දෙමළ ජන විරෝධතා, එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, රාජ්‍ය නොවන ආයතන සහ දෙමළ ඩයස්පෝරාව එකට එක්ව දියත්කරන එකම දේශපාලන මෙහෙයුමක් බව පැහැදිලිය.
ඊට බල ලෝභී දෙමළ, සිංහල සහ මුස්ලිම් යන මෙරට දේශපාලන නියෝජිතයන් ද සමස්තයක් ලෙස පුර්ණ අනුග්‍රහය ලබා දෙන බව අවිවාදිතය. මේ අනුව, ඊයේ වව්නියාවේ දී දෙමළ නියෝජිත අනු රූ සඳහා අවසන් ගෞරව දැක්වෙන්නේ ද යම් නාට්‍යමය අත් පිටපතකට අනුව විය හැකිය.
කෙසේ වෙතත් මෙම තත්වයන් ට අනුව, අහිංසක දෙමළ ජනයාට හෝ පොදුවේ රටට කිසිදු යහපතක් නොලැබෙන අතර. විශේෂයෙන් ම උතුරු  නැගෙනහිර වෙසෙන දුප්පත් දෙමළ ජනයා තව තවත් අනාරක්ෂිත සහ අසරණ තැනකට තල්ලුවීමට නියමිතය. ඒ, දෙමළ සමාජය තුළ අනිවාර්ය කුල භේදයේ අයුක්තිය ට අමතරවය. 
මෙම සාමාන්‍ය දෙමළ ජනයාගේ, විශේෂයෙන්ම යුද්ධයෙන් බැට කෑ කාන්තාවන් ගේ දරුවන් අහිමි වීම ඇතුළු සංවේදී සාධක මෙන්ම නූගත්කමද උපරිම සහ සුක්ෂම ආකාරයෙන් යොදා ගන්නා අදාළ ''දෙස් විදෙස් දේශපාලන ඒජන්තවරු'' මෙසේ භයානක ලෙස රට අනතුරට හෙළමින් තිබේ.
එසේ නම්, මේ උපවාස උද්ඝෝෂණ කරන සාමාන්‍ය දෙමළ වැසියන් එකී ඊනයා ජාත්‍යන්තර දේශපාලනයේ අහිංසක ගොදුරු බවට පත්වීම වළක්වා, ​රටේ පොදු දේශපාලනය යුක්තිසහගත යහ පාලනයක් බවට පත් කර නොගන්නේ නම්, ලාංකේය දේශපාලනය, පියවරෙන් පියවර ඉතාමත්ම අවිනිශ්චිත සහ අනතුරුදායක දිශාවකට ගමන් කිරීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි වනු ඇත. 
එබැවින්, පක්ෂ පාට ජාති ආගම් සීමාවකින් තොරව රටක් වශයෙන් සහ සිංහල, දෙමළ, මුස්ලිම් එකම ජාතියක් ලෙස, ඊනියා ජාත්‍යන්තර වෙළෙඳ - දේශපාලන උගුලේ නොවැටී, මේ අසීරු මොහොත ජය ගත යුතු බව අපි යළි යළිත් පෙන්වා දෙන්නෙමු!