බ්‍රිතාන්‍යයේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යයාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී දෙමළ ඩයස්පෝරාවේ උදහසට ලක්වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 2018 පෙබරවාරි 21 දින ආපසු කැඳවීමට පියවර ගැනීම, ''රනිල් - මෛත්‍රී'' ආණ්ඩුව, දෙමළ ඩයස්පෝරාවට කෙතරම් භය පක්ෂපාතීත්වයක් දක්වන්නේ ද යන්න පැහැදිලි වන සිද්ධියක් බව පෙන්වා දිය යුතුය.
බ්‍රිගේඩියර්වරයා, කටුනායක ගුවන් තොටුපොළට පැමිණි පසු, හමුදාව, රහසිගත ආකාරයෙන් ඔහු රැගෙන ගිය දර්ශන මාධ්‍ය ඔස්සේ විකාශය වූ අතර ඔහුට එරෙහිව කුමන පියවරක් ගන්නේද යන්න තවමත් පැහැදිලි නැත.  
පසුගිය පෙබරවාරි 4 දා, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කර තිබු නිදහස් උත්සවය ට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ සමාජිකයන් පිරිසක්, එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවත් වූහ. ඒ අවස්ථාවේ, අදාළ බ්‍රිගේඩියර්වරයා හැසිරුණු ආකාරය දෙමළ ඩයස්පෝරාවේ උදහසට ලක්වීමෙන් ආරම්භ වුණු මෙම ක්‍රියා දාමය ට ඉක්මන් සහ පුළුල් සමාජ අවධානයක් ලැබෙන්නේ සමාජ මාධ්‍ය ජාලා ඊට මැදිහත්වීම හේතුවෙන්ය.
ඒ අතර, අදාළ හමුදා නිලධාරිවරයාගේ සේවය අවසන්කොට ඔහු යළි මෙරටට ගෙන්වීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කළ බව මාධ්‍ය ඔස්සේ වාර්තා  කෙරුණු අතර, ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයට සුදානම් වෙමින් සිටි ඒ තීරණාත්මක මොහොතේ එකී පුවත ආණ්ඩුවට අවාසි සහගත තත්වයක් නිර්මාණය කරන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබිණි. එබැවින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණ වේදිකාවල කියාසිටියේ, තමන්ටත් නොදන්වා, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය ගත් එම තීරණය අවලංගු කොට අදාළ නිලධාරිවරයා වහා පෙර රාජකාරියේ ම පිහිටුවීමට තමන් උපදෙස් ලබා දුන් බවය.
කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මැතිවරණ වේදිකාවල, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ආරක්ෂාකරන බවට කළ ප්‍රකාශය, හුදු මැතිවරණ බොරුවක් බව මෙයින් තහවුරු වන අතර, රනිල් - මෛත්‍රී ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවට දක්වන භය පක්ෂපාතීතත්වයද මෙමගින් පැහැදිලි වේ.
එසේම, දෙමළ ඩයස්පෝරාව අදාළ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය ට ද පැමිණිළි කරමින් ප්‍රබල මෙහෙයුමක් දියත්කර තිබියදී, ලංකාවේ ඒකීයබව, අභිමානය සහ ජතිකත්වය පිළිබඳ උනන්දු බව කියන ක්‍රියාකාරී කණ්ඩායම් නිද්‍රාශීලීව සිටීම බරපතළ තත්වයකි. තවද, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ජෝන් රයන් සහ සිමොන් මැක්ඩොනා වැන්නවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද සක්‍රීය ලෙස දෙමළ ඩයස්පෝරාවට සහය දෙන පසුබිමක ලංකාවෙ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය ප්‍රමුඛ දේශපාලන බල අධිකාරිය හසිරෙන ආකාරය ඉතාමත්ම නින්දා සහගත බව මෙහි දී පෙන්වා දිය යුතුමය.