තෙල්දෙණිය කේන්ද්‍රගත කර ගනිමින් ආරම්භ වුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඒවා තව දුරට ත් පැතිරීම පාලනය කිරීම මගින් අදාළ නොසන්සුන් සමාජ තත්වය කළමනාකරණය කර ගැනීමට පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ මේ වන විට සමත්ව තිබේ. 
එහෙත්, එකී සිදුවීම් දාමය, මේ වනවිට ත් ජිනීවා හි පැවැත්වෙන 37 වැනි එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ සැසිය දක්වා ගමන් කොට, රටේ පැවැත්ම ට එදිරිව ක්‍රියාත්මක වෙමින් තිබෙන ''ඊනියා ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළ'' තව දුරටත් ශක්තිමත් කොට තිබේ.
 
අප මීට පෙර  http://nidahaslanka.lk/view-article.php?n_id=152 ලියැවිල්ලෙන් පෙන්වා දී ඇති පරිදි ම, අදාළ සිදුවීම් දාමය හුදු ජනතා ක්‍රියාකාරීත්වයක් නොව, ඉතා සංවිධානත්මක දේශපාලන ව්‍යාපෘතියක් බව, එකී සිද්ධීන් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරු ඒකාබද්ධව නිකුත් කළ නිවේදනය සහ එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අදාළ සැසියට ඉදිරිපත් කළ ප්‍රකාශය නිරෙක්ෂණය කිරීමේදී තව දුරටත් පැහැදිලි වේ.
 
2018 මාර්තු 7 දින යුරෝපා සංගමය වෙනුවෙන් නිකුත් වූ එකී තානාපති නිවේදනය අනුව අදාළ සාපරාධී අපරාධ කරුවන් නීතිය ඉදිරියට පැමිණවීම වැදගත් ය. බැලූ බැල්මට මෙය ඉතා සරල සහ සාමාන්‍ය කටයුත්තක් ලෙස පෙනුනද, ශ්‍රී ලංකාව ට එරෙහිව යුරෝපා සංගමය පැන වූ  GSP+ කොන්දේසි සහ හදිසියේ මෙසේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමේ විලාශය එකිනෙක සසඳා බලන විට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය ට ඍජු ලෙස බලපෑම් කරන ආකාරය තහවුරු කර ගත හැකිය. 
එසේම, ඊට සමගාමී ව, එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් හුසේන් සැසිය අමතා කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ, සුළු ආගමික සහ ජන කොටස් ඉලක්ක කර කළහකාරී තත්වයක් ඇති වී තිබෙන බවත්, එවැනි තත්වයන් එහි යළි යළිත් ඇති වීම නිසා තමා දැඩි තැති ගැන්මකට ලක්ව සිටින බවය. එහිදී ඔහු, අම්පාර සහ මහනුවර නගර දෙකෙහි ම සිදුවීම් පිළිබඳ සඳහන් කළ අතර,දින 10 ක් සඳහා හදිසි නීතිය පැනවීම ගැන ද මතක් කළේය. අදාළ පහර දීම් සහ ඊට අනුබල දුන් පුද්ගලයන් ට දඬුවම් දිය යුතු බව අවධාරණය කරන ඔහු, ශ්‍රී ලංකාව, මානව හිමිකම් අපචාර වැළක්වීම සඳහා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්නේය. 
ඒ සමග ඔහු කළ අතිශය වැදගත් ප්‍රකාශය වන්නේ, ශ්‍රී ලංකාව ට, ඒ පිළිබඳ අර්ථාන්විත ක්‍රියාවලියක් නොමැතිවීම සම්බන්ධයෙන් තමා කණගාටුවන බවත්, ශ්‍රී ලංකා රජයේ මේ ක්‍රියාකළාපය, අන්තර්ජාතික අධිකරණ ක්‍රියාවලියක් සංදහා, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ධෛර්යමත්කරන බවත්ය.
මේ අනුව, අම්පාර සහ තෙල්දෙණිය නගර හරහා පැතිරුණු ප්‍රචණ්ඩ ක්‍රියා, නියත වශයෙන් ම, ඊනියා ජාත්‍යන්තරය සඳහා, විශේෂයෙන් ම ජිනීවා සැසිය සඳහා ම, සංවිධානය කරන ලද ''සංවිධානාත්මක දේශපාලන ව්‍යාපෘතියක්'' විය යුතු බවට බරපතළ සැකයක් මතු වේ.
මේ වනවිට, රට තුළ fb ප්‍රමුඛ සමාජ මාධ්‍ය අවහිර කර තිබෙන අතර, 2018 ජනවාරි 25 දිනැති, ලංකාව ට එරෙහි  මානව හිමිකම් පිළිබඳ වාර්තාවේ 50 වැනි වගන්තිය යටතේ ද එවැනි ඉඟියක් පළ කොට තිබේ. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, 2018 මාර්තු 8 දින, තෙල්දෙණිය පිළිබඳ නොවිධිමත් කතා මැද, ''බලහත්කාරයෙන් අතුරුදන් කිරීමන් ආරක්ෂා කිරීම සඳහා වූජාත්‍යන්තර සම්මුතිය'' ට අදාළ පනත ඉතා සුක්ෂම ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ සම්මත විය. මේ සඳහා, පාර්ලිමේන්තුව කිසිදු ආකාරයකින් දැනුවත් නොකර, 2015 දෙසැම්බර් 10 දින, වැඩ බලන ස්ථිර නියෝජිත ලෙස කටයුතු කළ AS ඛාන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් නිව්යෝක් නගරයේදී අදාළ සම්මුතිය සඳහා අත්සන් තැබීය. අදාළ පනත සම්මත වන්නේ ද, අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවා, අදාළ නිලධාරීන් ද පත් කිරීමෙන් අනතුරුව ය.
 මීට අමතරව, මේ සිදුවීම් ආරම්භ වීම ට ආසන්නව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට,  නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය හදිසියේ භාරදුන් ආකාරය සහ එය නැවත 2018 මාර්තු 8 දින රංජිත් බණ්ඩාර ට භාර දීම ද ඉතා අසාමාන්‍ය බව මෙහි ලා සඳහන් කළ යුතුය.
මේ අනුව, අවසානයේදී සිදුව තිබෙන්නේ, ''දැන සහ නොදැන'' ශ්‍රී ලාංකිකයන් ම, ශ්‍රී ලංකාවට එරෙහි ඊනියා ජාත්‍යන්තර මැදිහත්වීම වඩා ශක්තිමත් කිරීමය!