ග්ලයිෆොසේට් ( Glyphosate ) කෘෂි රසායනික යෙදවුමට එරෙහි තහනම ඉවත් කිරීමට ආණ්ඩුව සුදානම් වන්නේ, තම මැතිවරණ පරාජ ආරම්භ වීම ට, එකී තහනම ද මුල් වන්නට ඇතයි කෙරෙන අනුමානය ට අනුවය. මෙම අනුමානය එක පැත්තකින් බැහැර කළ හැක්කක් ද නොවේ. හේතුව ශ්‍රී ලාංකේය ජන මනස හැසිරෙන ආකාරය ඇතැම් විටෙක පුදුමාකාර වීමය. ''උඹල අපට අරක දුන්නෙ නැහැ, මේක දුන්නෙ නැහැ, ඒ නිසා අපේ ඡන්දෙත් උඹලට නැහැ!'' යනුවෙන් සිතන තත්වයන් ද ඒ ජන මනස තුළ ඇතිවීම පුදුම වීම ට හේතුවක් නොවේ. 
ග්ලයිෆොසේට් තහනම ඉවත් කෙරුවොත් ආණ්ඩුව පෙරළන බව කියන රතන හාමුදුරුවො, යළිත් ජනමාධ්‍ය අවධානය ට ලක් වන්නේ ඒ අතර වාරයේදී ය. රසායනික යෙදවුම් සමඟ මේ මහා පොළොව විෂ වී සමස්ත ජෛව ගෝලය ම පියවරෙන් පියවර විනාශ වන ආකාරය අප දැනටමත් හොඳින් අත් විඳිමින් සිටින්නෙමු. රජ රටින් පටන් ගෙන රට පුරා ගොවියන් මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩා විඳ මරු මුවට පත්වන ආකාරය ඊට අදාළ සහ අපට 'සංවේදී' ම තත්වයයි. එහෙත් අපේ ගොවියන් තවමත් රසායනික පොහොර ම ඉල්ලා සටන් වදිති. එක අතකට, අපි මැරුණත් කමක් නැහැ, ගොවිතැන නැත්තං කොහොමත් මැරෙන්න වෙනවා! යැයි අහිංසක ගොවියෙකු කල්පනා කරන්නේ, නූගත් කමකට ම නොව වෙන තෝරා ගත හැකි විකල්පයක් ද නැති බැවිණි. එසේම ඒ සම්බන්ධ යම් දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් තුළ සංවාදයක් ගොඩ නගමින් ගොවි ජනයා බල ගැන්වීමට ත් දේශපාලන බල අධිකාරිය කිසිදු ආකාරයකින් උත්සහ කරන්නේ නැත. 
මේ සියල්ල සිද්ධ වන්නේ අහම්බයක් ලෙස නොව, රසායනික යෝධයන්, බීජ තැරව් කරුවන් සහ ලෝක බැංකුවේ  - ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආර්ථික ඝාතකයන් එකට එක්ව දියත් කර තිබෙන මහා ආර්ථික සංහාරය තුළ, එහි අනිවාර්ය සිදුවීම් දාමයක් ලෙසය. ඊටම සම්බන්ධ දෙස් විදෙස් වෘත්තිකයන් රැසක් ද මේ ක්‍රියාන්විතය තුළ වැඩ කරමින් සිටී. කෘෂි රසායනික යෙදවුම් නිසා ඇතිවන වකු ගඩු රෝගය, දැන් ''නොහඳුනන වකුගඩු රෝගයක්'' බවට පත්ව ඇත්තේ ඒ අනුව ය. ''එහෙම නං අපි කෝකටත් ගයිෆොසේට් ගැන හොයන්න විද්වතුන්ගෙ මණ්ඩලයක් පත් කරමුකො!'' යනුවෙන් ජනාධිපතිවරයා කල්පනා කරන්නේ ද ඒ අනුවය. රුසියානු ඇස්බැස්ටෝස් තහනම, කුරුමිණියා සහ ලංකාවෙ තේ තහනම මෙන්ම ඒ සම්බන්ධයෙන් ලංකාවෙ විශේෂ වෘත්තිකයන් පිරිසක් රුසියාවට ගොස් පරීක්ෂණ පවත්වා ආපසු පැමිණීම, දෙපැත්තේම තහනම් ඉවත් වීම පිළිබඳ ආසන්න කතාව ද, මෙතැනට ම අදාළ ය.
 
එනම් මේ අප මුහුණ දෙන්නේ ජාත්‍යන්තර රසායනික මාෆියාවකටය!
මේ සිදුවීම් දාමය කෙතරම් සංකීර්ණ ද යත්, කෘෂි රසායනික යෙදවුම් සහ ගොවි වකුගඩු රෝගය පිළිබඳ හඬ නැගූ පුරෝගාමී චරිතය වන මහාචාර්ය නලින් ද සිල්වා අවසානයේදී ඒ පරීක්ෂණ ක්‍රියාවලිය 'නාථ'  දෙවියන් ට ලඝු කිරීමන් සිදු වූ විශාල හානිය පිළිබඳව ද ගණන් බැලිය යුතුව තිබේ.
මීට සමගාමීව, බොහෝ රටවල ජන මාධ්‍ය මෙන් ම, මෙරට ජන මාධ්‍ය ද පොදුවේ, රසායනික යෙදවුම් හිමි බහු ජාතික සමාගම් වල කීකරු ගෝලයන් බව ට පත්ව තිබීම හේතුවෙන්, තත්වය තව තවත් බරපතළ වී තිබේ. ඊළඟට, යුක්තිය පසිඳලන මෙරට අධිකරණ පද්ධතිය ද, අන් බොහෝ රටවල මෙන් ම, මේ සම්බන්ධයෙන් සංවේදී නොමැති බව මේ වන විට ත් තහවුරු වී තිබේ. 2013 අගොස්තුව වන විට, ගම්පහ දිස්ත්‍රීක් උසාවිය තුළ විභාග වූ, 'ෆොන්ටෙරා' සමාගමේ කිරි නිෂ්පාදනයන් ට එරෙහි නඩුව විමර්ශනය කිරීමෙන් ම ඒ බව මනාව තහවුරු කර ගත හැකිය. අවසානයක් නොමැති වූ ඒ  නඩුව ට මුල් වූ, අදාළ කිරි නිෂ්පාදන තුළ DCD ( the toxic agricultural chemical dicyandiamide) අඩංගු චෝදනාව දැන් බොහෝ දෙනෙකුට අමතක අතීත කතාවක් පමණය. ඒ කිරි නිෂ්පාදන සහ තවත් සමාගම් වලට අදාළ තවත් කිරි නිෂ්පාදන වැඩිහිටි අපි මෙන්ම විශේෂයෙන්ම කුඩා දරු පරම්පරාව කිසිදු චකිතයකින් තොරව තව දුරටත් පරිභෝජනය කරන ආකාරය කෙතරම් අවාසනාවන්ත තත්වයක් ද?
 
මේ අතර තුර ආණ්ඩු මාරු වෙමින් සහ අදාළ දේශපාලන නායක ඉත්තන් මාරු කර ගනිමින්, රට තුළ දීර්ඝ කාලීනව ක්‍රියාත්මක මෙම  ''ආර්ථික - ජෛව සංහාරය'' ට අවශ්‍ය වට පිටාව සකස්කර දෙන විවිධ ව්‍යපෘති ක්‍රියාත්මක වන බව පැහැදිලිව දැක ගත හැකිය. 2015 ජනවාරි 8 සිදු වූ Regime Change ව්‍යාපෘතිය ඉන් එකකි. පැවති පළාත් පාලන මැතිවරණයෙන්, කුමන හේතු මත හෝ ආණ්ඩුව ට එරෙහි ව එල්ල වුණු ප්‍රබල ජන විරෝධය පාමුළ හිර වී සිටින ආණ්ඩුවට එරෙහිව නැගෙන, අතුරලියෙ රතන හාමුදුරුවන්ගේ ග්ලයිෆොසේට් විරෝධය, ඊළඟ මැතිවරණ සමය තුළ ''අනිත් පැත්තට'' පය තැබෙන බවට නැගෙන සංඥාවක් ද යන්න විමසා බැලිය යුතු වන්නේ ඒ අනුව ය. එනම්, 2015 Regime Change ව්‍යාපෘතියට අදාළව ක්‍රියාත්මක වූ චම්පික, උදය සහ අතුරලියෙ රතන හිමි ඒකාබද්ධව මෙහෙය වූ''ලෙන් දොර ඇරීම!'' වැනි දේශපාලන ව්‍යාපෘතියක් ද යන්න අධ්‍යනය කර බැලිය යුතුය. 2015 ජනවාරි 8 ට පෙර රාජපක්ෂ පාලනයේ සිට සහ ඊට පසුව ඇරඹෙන මෛත්‍රී - රනිල් ආණ්ඩු ව්‍යාපෘතිය දක්වා රට තුළ සිදුවෙමින් තිබෙන ඓතිහාසික දේශපාලන අපරාධයන් ට, විශේෂයෙන්ම පෙර සඳහන් මහා ආර්ථික - ජෛව සංහාරයට අතුරලියෙ රතන හිමියන් ද සෘජුව වග කිව යුතු බව දැනටමත් රටේ බොහෝ දෙනෙකු ට අමතකය. අඩුම තරමේ, රතන හාමුදුරුවන්ගේ ගමන් සගයා වූ අශෝක අබේගුණවර්ධන, ඒ හිමියන්ගේ ද උපදේශකත්වයෙන්, මහජන මුදල් කාබාසිනියා කරමින් පවත්වාගෙන යන  Strategic Enterprise Management Agency at Presidential Secretariat ආයතනය කරන්නේ කුමක් ද යන්න හෝ බොහෝ දෙනා නොදන්නා පසු බිමක, ඊළඟ ආණ්ඩු ව්‍යාපෘතියේ ද මේ චරිත, ප්‍රබලයන් ව, සැබෑ ජන නැගිටීමකට ඉඩ කඩ ද හරස් කරමින්, රටේ ඉදිරි විනාශය තව දුරටත් ශක්තිමත් කරනු නිසැකය!