කුරුණෑගල, වාරියපොළ ''වයඹ පුහුණු මධ්‍යස්ථානයේ'' පැවති ''නායකත්ව පුහුණු'' වැඩසටහනකදී, 2018 පෙබරවාරි 17 දින, රෝහිණි කුමාරි අතපත්තු විදුහල්පතිවරිය මිය යෑමේ සිද්ධිය බරපතළ ප්‍රශ්න රාශියක් මතු කර තිබේ. පළපුරුදු ගුරුවරියක වන ඇය 53 වියේදී මිය යන විට සේවය කරමින් සිටියේ, හම්බන්තොට 'සුචී' ජාතික පාසලේය.
මේ හදිසි අනතුර සහ මරණය සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු ප්‍රශ්න කීපයක්ම තිබේ. ඇය ඇත්තට ම අනතුරට ලක්වුයේ කෙසේද? ඒ කුමන වේලාවකද? ඇයට ප්‍රථමාධාර ලැබුණේද? ඒ කවුරුන් විසින්ද, කෙසේද? ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළේ කුමන වේලාවකද? ඇය මිය යාමට බලපෑ වෛද්‍ය විද්‍යාත්මක හේතුව කුමක්ද?
මේ ප්‍රශ්න සියල්ල තුළ සිදුකරන විධිමත් පරීක්ෂණයකින්, අදාළ සිද්ධිය පිළිබඳ නියම තතු සොයාගත යුතුය, එය අදාළ අංශවල නීතිමය වගකීමකි.
ඒ හැරුණු කොට, මෙම නායකත්ව පුහුණු වැඩ මුළු ක්‍රමය වහාම ප්‍රශ්න කළ යුතුව තිබේ. එනම්, මෙවැනි වැඩසටහනක විද්‍යාත්මක පදනම කුමක් ද? එමඟින් අපේක්ෂිත අරමුණු මොනවාද? අදාළ අරමුණු ඉටුකර ගැනීම මැන බලන ක්‍රමවේදය කුමක් ද?
ඒ සියල්ල පසෙක තිබියදී 'අධ්‍යාපනය' තුළ 'නායකත්වය' අර්ථකථනය කළ යුත්තේ කෙසේද? යන්න ඉතා බරපතළ ලෙස සාකච්ඡාවට ගැනීට දේශපාලන බල අධිකාරිය සහ අදාළ අධ්‍යාපන විශේෂඥයන් යැයි කියා ගන්නා පාර්ශව නොපමාව පියවර ගත යුතු බව අවධාරණය කළ යුතුය. කැලෑ තුළ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙවීමෙන්, පුද්ගලයෙකු තුළ ගොඩනැගිය හැකි 'නායකත්වය', ඇතැම් විට සමාගමක වෙළෙඳ නියෝජිතයෙකුට අවශ්‍ය විය හැකි මුත්, එය විදුහල්පතිවරියකට කෙතරම් උචිත ද යන්න විද්‍යාත්මකව විමසා බැලිය යුතුය. 'නායකත්වය' යන ජෛව ලක්ෂණය ඒ ඒ තත්වයන් තුළ වෙනස් අර්ථ ගැන්වීම් තුළ පවතින බැවින් ජනප්‍රිය සහ අවිද්‍යාත්මක නායකත්ව වැඩ සටහන් හරහා මේ රටේ ගුරු පරපුර මේ ඇදගෙන යෑමට සුදානම් වන්නේ කෙබඳු දිශාවකටද? යන ප්‍රශ්නය, මේ මොහොතට අතිශය අදාළ වේ.