රජයේ විගණන සේවා වෘත්තීය සමිති එකමුතුව අද, 2018 පෙබරවාරි 23 පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවක් පැවැත් වූ අතර ඊට ආසන්නතම හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ, රජයේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු, 
විගණකාධිපතිවරයාට දේශපාලන බලපෑම් එල්ලවීමය.
මේ අතර, විගණකාධිපති, HM ගාමිණී විජේසිංහ, පසු ගිය 7 වැනිදා ( 2018 පෙබරවාරි 7 ) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ, ගෙවුණු දශකයක පමණ කාලය තුළ  රාජ්‍ය ණය කළමනාකරණය නිසි පරිදි සිදු නොවූ නිසා, රටේ ආර්ථිකය ට අදාළ බරපතළ අස්ථාවර තත්වයක් නිර්මාණය වී ඇති බවය. 
ඔහු පෙන්වා දෙන පරිදි, මුදල් අමාත්‍යංශය ට අනුව, 2016 දෙසැම්බර් 31 වන විට, රට ට්‍රිලියන 8.9 ක් ණය වී ඇති බවත්, 2017 මහා බැංකු වාර්තාවට අනුව එය ට්‍රිලියන 10.3 ක් වන බවත් ය. මෙම පරස්පරය පිළිබඳ පැහැදිලි කරමින් විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ, රට ණය වී ඇති ප්‍රමාණය කිසිදු ආකාරයකට නිවැරදිව ගණනය කළ නොහැකි බවය. කෙසේ වෙතත් පවතින පොදු තත්වය අනුව 2016 දෙසැම්බර් 31 දා ට, එක් පුද්ගලයෙකු ණය වී ඇති මුදල රුපියල් 4 17 000 ක් ලෙස ගණනය වන බව ද ඔහු පැහැදිලි කළේය.
මෙම පසුබිම තුළ, රට වැටෙමින් තිබෙන අතිශය අනතුරුදායක තත්වය ඉතා පැහැදිලිය!
විවිධ පැති වලට මාරු වෙමින්, රටේ පොදු පැවැත්ම පිළිබඳ කිසිදු දැනුමක් හෝ හැඟීමක් නොමැතිව ආණ්ඩු කරන මෙම පාලකයන්ට අවශ්‍ය පීඩනය එල්ල කරමින්, රාජ්‍ය මුල්‍ය පාලනය සහ ණය කළමනාකරණය විධිමත්ව සිදුකිරීමට, රාජ්‍ය නිලධාරීන් මෙසේ මැදිහත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. 
එසේම, විගණකාධිපතිවරයා ප්‍රමුඛ අදාළ නිලධාරීන් ද කිසිදු දේශපාලන පක්ෂ න්‍යායපත්‍රයකට අනුගත නොවී, අඛණ්ඩව සහ සද්භාවයෙන් ම මෙම මැදිහත් වීම පවත්වා ගත යුතු බවත්, ඒ සඳහා සෙසු රාජ්‍ය නිලධාරීන් ද ඒකාබද්ධ විය යුතු බවත් අපි අවධාරණය කරන්නෙමු!
එසේම, මෙතරම් වැදගත් සිදුවීම් පෙළක් රටේ ජනප්‍රිය මාධ්‍ය සඳහා උණුසුම් ප්‍රවෘත්ති සම්පාදනය නොකිරීම ද මෙහි දී දැඩි සැලකිල්ලට ගත යුතුය.