Monday, August 1, 2016

පොලිස්පතිවරයාට ලියමි!

ඔබට, මේ රටේ පොලිස්පති ධුරය ලැබෙන ආකාරය කුමක් වුණත් දැන් ඔබ මේ රටේ 'පොලිස්පති' වරයාය!
පොලිස් වෙබ් අඩවිය දක්වන පරිදි ම, මහජන මිත්‍රශීලී, වෘත්තීයම ය, අභිමානවත් පොලිස් සේවයක් සඳහා! නායකත්වය දීම ඔබේ රාජකාරියයි.
' අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බියෙන් තොර, විශ්වාසයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් දෙසට!' රට හැරවීම ඔබේ වගකීමයි.
'ශ්‍රී ලංකා පොලීසිය, රටේ නීතිය බලාත්මක කරමින් පවත්වාගෙන යෑමට විශ්වසනීයව සහ කැපවීමෙන් ක්‍රියාකරයි. මහජන සාමය රැක ගැනීමට, කිසිවෙකුට පක්ෂපාතී නොවී අපරාධ සහ ත්‍රස්තවාදය වැළක්වීම සියල්ලන්ට සමානව...' යනුවෙන් ද ඔබ නායකත්වය දෙන පොලීසිය සපථ කර තිබේ.
මේ සියල්ල සමග අපට ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය ගැන දීර්ඝ සංවාදයක් ගොඩ නගා ගත හැකි මුත් මේ වෑයම ඒ සඳහා නොවේ - පසු ගිය ආණ්ඩු යටතේ පොලිස්පතිවරු සහ පොලිසිය ක්‍රියාකළ ආකාරය විමසා බැලීමට ද නොවේ.
මේ වෑයම, 'යහපාලනය' ක් වෙනුවෙන් පොලිස්පතිවරයාගේ කාර්යභාරය සඳහා පත්කොට තිබෙන ඔබේ හැසිරීම පිළිබඳ සාකච්චා කිරීමට ය.  පොලිස්පතිවරයා ලෙස පැවැත් වූ ප්‍රථම ප්‍රවෘති සාකච්ඡාවේ දී ඔබ කළ ප්‍රකාශ වෘත්තීය මට්ටමක නොතිබුණු අතර ඒ නිසාම පොලිස් සේවාව පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු නොවිණි. ඉන් පසුව වාර්තා වුණු ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ද ජනතා විශ්වාසය පළුදු වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඒ අතර ඔබ ආසන්න දිනක දී, ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව සම්බන්ධයෙන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශය ද ඉතාමත්ම ප්‍රාථමික ය.
පොලිසියට භාර මහජන ආරක්ෂාව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙන මොහොත, සියළු සමාජ කොන්දේසි බිඳ වැටෙන්නට පටන් ගන්නා මොහොතයි. එබැවින් ඔබ යළි කල්පනා කළ යුතුය! මේ මොහොත යළි කිසිදා එළඹෙන්නේ නැත. සිදුවන වරදක් යළි නිවැරදි කිරීමට ද ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඉතිං ඔබ වඩා පොදු සහ යුක්තිගරුක ආකෘතියකට මාරු විය යුතුය!
එසේ නොමැතිවන්නේ නම් ඉතිහාසය ඔබට ද කිසි දා සමාව නොදෙනු ඇත!
CHAPA