Monday, April 23, 2018

CHAPA with Indika Anuruddha, MP on Insight, Ada Derana, April 15, 2018, ...

ඒ පැත්ත මේ පැත්ත!?

වර්තමාන පාර්ලිමේන්තුව ට සිදුවන්නේ කුමක් ද යන්න නිශ්චය කිරීම ට තව අමතර කාලය අවශ්‍යව තිබේ, එහෙත් රට ට සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද යන්න ඉතා ම පැහැදිලිය.
2015 ජනවාරි 8 සිදුවූ Regime Change ව්‍යාපෘතියේ ඉලක්ක සැලකිය යුතු ප්‍රමාණයකින් සහ සැලකිය යුතු වේගයකින් ඉටු වී අවසන් ය. එනම්, ඉන්දියානු - චීන බලය සමව කළාපය තුළ සහ ශ්‍රී ලංකාව ට අදාළ ව ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය, බෙදුම්වාදී ආකෘතියකට මාරු කර දුර්වල කිරීමෙන් විදේශ වෙළෙඳ තැරව් කරුවන් ට වඩා වාසි සහගත වෙළෙඳ පොළ අවස්ථා නිර්මාණය කර ගැනීම පිළිබද ක්‍රියාදාමය දැන් සාර්ථකව ඉදිරියට යමින් තිබේ.
ඒ සඳහා, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විපක්ෂයක් නැති ඊනියා - ජාතික ආණ්ඩුව ක් පිහිටුවීම, දැනටමත් කෙටුම්පත් කර ඇති බව ට තහවුරු වන නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා සමස්ත පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර ගැනීම, විදේශ  රටවල් සමඟ අත්සන් කරන ගිවිසුම් හෙළිකරගත නොහැකි නීතිමය බාධකය පැනවෙන ඊනියා - තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කර ගැනීම, ආරක්ෂක යාන්ත්‍රණය දියකර දැමීමට අවශ්‍ය ඊනියා - අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටු වීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ට අත්සන් කිරීම, පළාත් පාලන මැතිවරණ සංශෝධනය හරහා යෝජිත බෙදුම්වාදී ව්‍යවස්ථාව ට අවශ්‍ය සීමා නිර්ණය කෙරුණු ගෝත්‍රික බිම සකස් කිරීම, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර අර මුදල ලබා දෙන උපදෙස් වලට අනුව, තව දුරටත්, රට ට ආර්ථික සංශෝධන හඳුන්වා දීම දැන් ඉතා විධිමත් ව සම්පුර්ණ කර තිබේ.
මෙම ක්‍රියාන්විතය සඳහා විවිධ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්, ඇතැම් මාධ්‍ය හිමිකරුවන් ඇතුළු ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ තැරව් කරුවන්, විවිධ වෘත්තිකයන් සෑහෙන ප්‍රමාණයක් දැන සහ නොදැන සම්මාදම් වී තිබේ. එසේම, පක්ෂ අභ්‍යන්තර ආරවුල්, රටේ සාමාන්‍ය මහජන හැඟීම් සහ විශේෂයෙන් ම සිංහල බෞද්ධ පාරම්පරික සමාජ සාධක හේතුවෙන් රට පුරා මතුව තිබෙන දේශපාලන අවිනිශ්චිත බව හේතුවෙන් අදාළ ක්‍රියාන්විතය ඉදිරියට ගෙන යෑම, මේ වන විට ප්‍රබල අභියෝගයක් බවට පත්ව තිබෙන බව ද පැහැදිලිය. 
අවසන් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය, මේ අතර ඉතාමත්ම තීරණාත්මක වේ. කුමන හේතු මත හෝ, ආණ්ඩුවට ට එරෙහි පොදු ජන විරෝධයක් රට පුරා නැගෙමින් තිබෙන බව ඒ හරහා තහවුරු වෙයි. 
අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වීම සහ එය පරාජය වීම, එමගින් අගමැතිවරයාගේ පාර්ලිමේන්තු විශ්වාසය තහවුරු වීම, එකී සිදුවීම් දාමයේ ම කොටසක් ලෙස රනිල් - සම්බන්න්ධන් රහස් ගිවිසුමක් ඇති වීම, එහිම තවත් කොටසක් ලෙස චන්ද්‍රිකා  - රාජපක්ෂ යුග දෙකෙහිම ප්‍රධාන සහ කූට ඒජන්තවරයෙකු වූ SB දිසානායක ප්‍රමුඛ ශ්‍රීලනිප 16 ක් අමාත්‍ය ධුර අත හැර ආණ්ඩුවෙන් නැගිට යෑම, ඔවුන් භාර ගැනීම ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එකාබද්ධය සුදානම් වීම, ශ්‍රීලනිප ය තුළ උද්ගතව ඇති තත්වය ට පිළියම් සෙවීම ට, චන්ද්‍රිකා - රාජපක්ෂ යුග දෙකෙහිම තැරව්කාර ප්‍රබලයෙකු වන සරත් අමුණුගම ට පවරා දීම වැනි සිදුවීම් ඔස්සේ අප තේරුම් ගත යුත්තේ අන්න ඒ - පෙර සඳහන් දේශපාලන සන්දර්භය තුළ ය.
ඒ අනුව, 2015 ජනවාරි 8 න් විධිමත්ව ආරම්භ වූ ''රට වට කිරීම'' තව දුරටත් සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ට, අදාළ ක්‍රියාන්විතය ට දැන සහ නොදැන සම්බන්ධ පෙර කී සියලු කණ්ඩායම් දැන් විවිධ වේශයන්ගෙන් තම තමන්ගේ භූමිකාවන් ඉටු කරමින් සිටින වග බැලූ බැල්මට ම පෙනේ.  
ඒ අනුව, 2019 ජනාධිපතිවරණයෙන්, මෛත්‍රීපාල සිරිසේන ම යළිත් වතාවක් හෝ එවැනිම පොදු අපේක්ෂකයෙක් අළුතෙන් ජන වරම් ලැබ ජනාධිපති පුටුවේ අසුන් ගැනීම ට නියමිතය. නොඑසේ නම් ප්‍රතිවිරුද්ධ බව පෙන්වන වෙනත් පාර්ශ්වයකින් හඳුන්වා දෙන නියෝජිතයෙක් හෝ ඊට හිමිකම් කියනු ඇත. ඉන් අනතුරුව එළැඹෙන මහා මැතිවරණයෙන්, ඔය දෙපැත්තට පනින එක ම කණ්ඩායම ජන වරම් ලැබ හෝ නොලැබ විවිධ හේතු මත දෙපැත්තට වන්නට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතය. ජවිපෙ, තමන්ගේ ආණ්ඩුවක් හැදීමට ඡන්දය නොදෙන ජනතාව ට යස පාඩම! යනුවෙන් කියමින් තවත් පැත්තක සිට පවතින තත්වයන් ම ශක්තිමත් කරනු අත. එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, ඔවුන්ට ම සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ජාලය, රටේ වෙළෙඳ ආධිපත්‍ය පතුරුවමින් සිටින ඉන්දියානු - චීන මෙහෙයුම්, තවත් බහු ජාතික සමාගම් ක්‍රියාන්විත, ලෝක බැංකු - ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊනයා ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි රස පහස විඳිමින් මේ අසිරිමත් දිවයින නැත්තටම නැති කරනු ඇත. සියලු ස්වභාවික සම්පත් කොල්ල කනු ඇත. නිදහස් අධ්‍යාපනය සහ එහිම අනන්‍ය කොටසක් වූ සෞඛ්‍ය සේවාව ඇතුළු සුභ සාධන රාජ්‍ය අවස්ථා මුළුමනින් ම හකුළුවා, නැති බැරි සාමාන්‍ය පොදු ජනයා නොමරා මරා දැමෙන වට පිටාවක් රට තුළ නිර්මාණය වනු ඇත!
ඉතිං! චන්ද්‍රිකා, මහින්ද, රනිල් - මෛත්‍රී, අනුර, හකීම්, සම්බන්ධන්...අභිබවා යන, පක්ෂ දේශපාලන සීමාවන් බිඳ දමන දේශපාලන
​සංවාදයකට අප වහා පිවිසිය යුතුය! ඒත් ඒ කොහොමද?
CHAPA, April 23, 2018    

Saturday, April 14, 2018


බක් මහේ වියළි සිනහ...



​2018 අලුත් අවුරුද්ද සමරන මේ මොහොත, තව දුරටත්, ඉතාමත් ම තීරණාත්මකයි! හේතුව, ''බක්මහ සැණකෙළි!'' පිටුපස ක්‍රමානුකුලව, එහෙත් වේගයෙන් මරා දැමෙන, එහි පදනම වන ''ගොවිකම සහ ගොවි තැන'' පිළිබඳ දේශපාලන සංවාදය ගොඩ නගා ගැනීමට, අපට ''රටක් සහ සමාජයක්'' ලෙස තවමත් නොහැකිවී තිබීමයි.
වසර දහස් ගණනක දීර්ඝ කෘෂි ඉතිහාසයකට සම්බන්ධ මේ රට ඉදිරියටත් සංවර්ධනය කළ යුත්තේ සහ කළ හැක්කේ කෘෂි ආර්ථික පදනමක් මත බව මේ අද වෙසෙන ඊනියා උගතුන් ට සහ බුද්ධිමතුන් ට 'තවම' කිසි විටෙකත් අවබෝධ වී නැත. වඩා නිවැරදිව කිව්වොත්, ඔවුන් සමස්තයක් ලෙස, රට වට ලා සිටින ආර්ථික ඝාතකයන්ගේ, ආර්ථිකය සම්බන්ධ වැරදි දැනුම් පද්ධති කර තබා ගනිමින් වැරදි දිශාවකට රටේ ආර්ථිකය හරවමින් සිටිති. එය ඇත්තෙන්ම තම තමන්ගේ පවුල් ජයග්‍රහණය කරවා ගැනීම සඳහා ඔවුනොවුන් අනුගමනය කරන ක්‍රමයක් ලෙසට ද විග්‍රහ කළ හැකිය. 
වරෙක ඉතා ශක්තිමත් වැව් බැඳී රාජ්‍යයක්ව ද පැවතී ලාංකේය කෘෂි ඉතිහාසය, ස්වභාවික ලෝකය තුළ, ගොවිතැන සහ ගොවිකම පවත්වා ගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෑ ඉගෙන ගත හැකි, අති දැවැන්ත පර්යේෂණ වැඩබිමකි. කාලිංඝ මාඝ ආක්‍රමණ, පෘතිගීසි - ලන්දේසි - ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ දරුණු බිඳ වැටීමකට ලක් වූ ඒ විද්‍යාත්මක ලාංකේය ලෝකය යළි ගොඩ ගන්නවා වෙනුවට අපි මේ කරමින් සිටින්නේ, ඒ ආර්ථික ඝාතකයන්ගේ ම වර්තමාන ඒජන්තවරුන්ගේ ''ණය කොන්දේසි මග පෙන්වීම'' ඔස්සේ රට අයාලේ මෙහෙයවීමය.
ඒ අනුව, ජර්මනිය සහ ඇමරිකාව ප්‍රමුඛ රසායනික යෝධයන් ට සහ බීජ යෝධයන් ට නතුව අපි මරණාසන්නව හුස්ම හෙළමින් සිටින්නෙමු!
අපි ඒ අතර, වැව්, ගංගා, ඇළ දොළ විනාශ කරමින් සහ ඒවායේ ජල පෝෂක ප්‍රදේශ ඇතුළු අතිශය සංවේදී මහා වන තීරු විනාශ කරමින් පාදඩ ආර්ථිකයක් ගැන උදම් අනමින් සිටිනෙමු.
මේ වනවිට ලෝකය පුරා ජීවත් වන්නේ, සංවර්ධනය යනු කුමක් ද! යන්න විසඳා ගැනීමට නොහැකි අනාථ පෘථිවි වැසියන් පිරිසක් බව අප වටහා ගත යුතුය. තම තමන්ගේ රටවල් ආරක්ෂා කර ගනිමින් අනෙක් රටවල් කොල්ල කෑමට සියලු ප්‍රයත්නයන් දරන මේ ''නූතන මිනිසා'' එමගින් තම තමන් ට සිදුවන්නට නියමිත මහා විනාශය ගැන කිසිදා දැන ගන්නේ ද නැත. මේ අතර, ස්වීට්සර්ලන්තය ප්‍රමුඛ ලෝකයේ එක් පසෙක පවතින රටවල් යම් ප්‍රමාණයක් තම තමන්ගේ රටවල් තුළ හෝ පොළොව ආරක්ෂා කර ගනිමින් ස්වභාවික තත්වයන් තුළ කෘෂිකර්මාන්තය පවත්වා ගැනීමට විද්‍යාත්මක ක්‍රම වේදයන් අත් හදා බලමින් සිටින බවද අපේ මෝඩ උගතුන් සහ බුද්ධිමතුන් දන්නේ නැතුවා සේය. අනෙක් අතට, ලෝකයේ බලවත් බව කියන සෑම රටක් ම කෘෂි ආර්ථිකය ශක්තිමත් ව පවත්වා ගැනීම ට සියලු වෙර දරන ආකාරය හෝ අපේ රට කරවන එවුන් ට පෙනෙන්නේ නැත.
මේ සියලු කතා මැද, 2018 අය වැය යෝජනාවලිය දක්වා වූ සියලු ආර්ථික ගමන් මාර්ග ඔස්සේ රටේ කෘෂි ආර්ථිකය විනාශ කෙරෙන ''මෙගා ලූ සිහින'' පෙන්වන බව තේරුම් ගන්නෙ කීයෙන් කී දෙනා ද?!
ඒ අතර, ලාංකේය ජාතිය ම ගොඩ නගන ''ජල සංස්කෘතිය'' අමු අමුවේ මරා දමමින් ජලය විකිණෙන ඓතිහාසික ආර්ථික අපරාධය ළඟ ළඟ ම! 
කෙටියෙන් මෙහෙම කියන්නං!
ගොවිතැන, ගොවිබිම...මේ සියල්ල විනාශ වන තැන, අස්වනු නෙලා ගන්න අස්වැසිල්ලක් නැති කල සහ අඩු තරමේ කොහා ට ළගින්න ගහක් කොළක් නැති තැන, අපට සමරන්න ට ලැබෙන්නේ සුපිරි වෙළෙඳ සැල් හි, අවුරුද්දට ගෙදර යන්න බැරුව ලතවන, රෙදි හැට්ට හැඳගත් තරුණියන් ගේ සහ සරම් බැනියම් හැඳ ගත් තරුණයන් ගේ වියළි සිනහව පමණි! 
ඒ තමයි, මාරාන්තික ගමනාන්තයක පෙර මග ලකුණ!
April 13, 2018           

ග්ලයිෆොසේට් එපා!රතන හාමුදුරුවොත් එපා!!

ග්ලයිෆොසේට් ( Glyphosate ) කෘෂි රසායනික යෙදවුමට එරෙහි තහනම ඉවත් කිරීමට ආණ්ඩුව සුදානම් වන්නේ, තම මැතිවරණ පරාජ ආරම්භ වීම ට, එකී තහනම ද මුල් වන්නට ඇතයි කෙරෙන අනුමානය ට අනුවය. මෙම අනුමානය එක පැත්තකින් බැහැර කළ හැක්කක් ද නොවේ. හේතුව ශ්‍රී ලාංකේය ජන මනස හැසිරෙන ආකාරය ඇතැම් විටෙක පුදුමාකාර වීමය. ''උඹල අපට අරක දුන්නෙ නැහැ, මේක දුන්නෙ නැහැ, ඒ නිසා අපේ ඡන්දෙත් උඹලට නැහැ!'' යනුවෙන් සිතන තත්වයන් ද ඒ ජන මනස තුළ ඇතිවීම පුදුම වීම ට හේතුවක් නොවේ. 
ග්ලයිෆොසේට් තහනම ඉවත් කෙරුවොත් ආණ්ඩුව පෙරළන බව කියන රතන හාමුදුරුවො, යළිත් ජනමාධ්‍ය අවධානය ට ලක් වන්නේ ඒ අතර වාරයේදී ය. රසායනික යෙදවුම් සමඟ මේ මහා පොළොව විෂ වී සමස්ත ජෛව ගෝලය ම පියවරෙන් පියවර විනාශ වන ආකාරය අප දැනටමත් හොඳින් අත් විඳිමින් සිටින්නෙමු. රජ රටින් පටන් ගෙන රට පුරා ගොවියන් මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩා විඳ මරු මුවට පත්වන ආකාරය ඊට අදාළ සහ අපට 'සංවේදී' ම තත්වයයි. එහෙත් අපේ ගොවියන් තවමත් රසායනික පොහොර ම ඉල්ලා සටන් වදිති. එක අතකට, අපි මැරුණත් කමක් නැහැ, ගොවිතැන නැත්තං කොහොමත් මැරෙන්න වෙනවා! යැයි අහිංසක ගොවියෙකු කල්පනා කරන්නේ, නූගත් කමකට ම නොව වෙන තෝරා ගත හැකි විකල්පයක් ද නැති බැවිණි. එසේම ඒ සම්බන්ධ යම් දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් තුළ සංවාදයක් ගොඩ නගමින් ගොවි ජනයා බල ගැන්වීමට ත් දේශපාලන බල අධිකාරිය කිසිදු ආකාරයකින් උත්සහ කරන්නේ නැත. 
මේ සියල්ල සිද්ධ වන්නේ අහම්බයක් ලෙස නොව, රසායනික යෝධයන්, බීජ තැරව් කරුවන් සහ ලෝක බැංකුවේ  - ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආර්ථික ඝාතකයන් එකට එක්ව දියත් කර තිබෙන මහා ආර්ථික සංහාරය තුළ, එහි අනිවාර්ය සිදුවීම් දාමයක් ලෙසය. ඊටම සම්බන්ධ දෙස් විදෙස් වෘත්තිකයන් රැසක් ද මේ ක්‍රියාන්විතය තුළ වැඩ කරමින් සිටී. කෘෂි රසායනික යෙදවුම් නිසා ඇතිවන වකු ගඩු රෝගය, දැන් ''නොහඳුනන වකුගඩු රෝගයක්'' බවට පත්ව ඇත්තේ ඒ අනුව ය. ''එහෙම නං අපි කෝකටත් ගයිෆොසේට් ගැන හොයන්න විද්වතුන්ගෙ මණ්ඩලයක් පත් කරමුකො!'' යනුවෙන් ජනාධිපතිවරයා කල්පනා කරන්නේ ද ඒ අනුවය. රුසියානු ඇස්බැස්ටෝස් තහනම, කුරුමිණියා සහ ලංකාවෙ තේ තහනම මෙන්ම ඒ සම්බන්ධයෙන් ලංකාවෙ විශේෂ වෘත්තිකයන් පිරිසක් රුසියාවට ගොස් පරීක්ෂණ පවත්වා ආපසු පැමිණීම, දෙපැත්තේම තහනම් ඉවත් වීම පිළිබඳ ආසන්න කතාව ද, මෙතැනට ම අදාළ ය.
 
එනම් මේ අප මුහුණ දෙන්නේ ජාත්‍යන්තර රසායනික මාෆියාවකටය!
මේ සිදුවීම් දාමය කෙතරම් සංකීර්ණ ද යත්, කෘෂි රසායනික යෙදවුම් සහ ගොවි වකුගඩු රෝගය පිළිබඳ හඬ නැගූ පුරෝගාමී චරිතය වන මහාචාර්ය නලින් ද සිල්වා අවසානයේදී ඒ පරීක්ෂණ ක්‍රියාවලිය 'නාථ'  දෙවියන් ට ලඝු කිරීමන් සිදු වූ විශාල හානිය පිළිබඳව ද ගණන් බැලිය යුතුව තිබේ.
මීට සමගාමීව, බොහෝ රටවල ජන මාධ්‍ය මෙන් ම, මෙරට ජන මාධ්‍ය ද පොදුවේ, රසායනික යෙදවුම් හිමි බහු ජාතික සමාගම් වල කීකරු ගෝලයන් බව ට පත්ව තිබීම හේතුවෙන්, තත්වය තව තවත් බරපතළ වී තිබේ. ඊළඟට, යුක්තිය පසිඳලන මෙරට අධිකරණ පද්ධතිය ද, අන් බොහෝ රටවල මෙන් ම, මේ සම්බන්ධයෙන් සංවේදී නොමැති බව මේ වන විට ත් තහවුරු වී තිබේ. 2013 අගොස්තුව වන විට, ගම්පහ දිස්ත්‍රීක් උසාවිය තුළ විභාග වූ, 'ෆොන්ටෙරා' සමාගමේ කිරි නිෂ්පාදනයන් ට එරෙහි නඩුව විමර්ශනය කිරීමෙන් ම ඒ බව මනාව තහවුරු කර ගත හැකිය. අවසානයක් නොමැති වූ ඒ  නඩුව ට මුල් වූ, අදාළ කිරි නිෂ්පාදන තුළ DCD ( the toxic agricultural chemical dicyandiamide) අඩංගු චෝදනාව දැන් බොහෝ දෙනෙකුට අමතක අතීත කතාවක් පමණය. ඒ කිරි නිෂ්පාදන සහ තවත් සමාගම් වලට අදාළ තවත් කිරි නිෂ්පාදන වැඩිහිටි අපි මෙන්ම විශේෂයෙන්ම කුඩා දරු පරම්පරාව කිසිදු චකිතයකින් තොරව තව දුරටත් පරිභෝජනය කරන ආකාරය කෙතරම් අවාසනාවන්ත තත්වයක් ද?
 
මේ අතර තුර ආණ්ඩු මාරු වෙමින් සහ අදාළ දේශපාලන නායක ඉත්තන් මාරු කර ගනිමින්, රට තුළ දීර්ඝ කාලීනව ක්‍රියාත්මක මෙම  ''ආර්ථික - ජෛව සංහාරය'' ට අවශ්‍ය වට පිටාව සකස්කර දෙන විවිධ ව්‍යපෘති ක්‍රියාත්මක වන බව පැහැදිලිව දැක ගත හැකිය. 2015 ජනවාරි 8 සිදු වූ Regime Change ව්‍යාපෘතිය ඉන් එකකි. පැවති පළාත් පාලන මැතිවරණයෙන්, කුමන හේතු මත හෝ ආණ්ඩුව ට එරෙහි ව එල්ල වුණු ප්‍රබල ජන විරෝධය පාමුළ හිර වී සිටින ආණ්ඩුවට එරෙහිව නැගෙන, අතුරලියෙ රතන හාමුදුරුවන්ගේ ග්ලයිෆොසේට් විරෝධය, ඊළඟ මැතිවරණ සමය තුළ ''අනිත් පැත්තට'' පය තැබෙන බවට නැගෙන සංඥාවක් ද යන්න විමසා බැලිය යුතු වන්නේ ඒ අනුව ය. එනම්, 2015 Regime Change ව්‍යාපෘතියට අදාළව ක්‍රියාත්මක වූ චම්පික, උදය සහ අතුරලියෙ රතන හිමි ඒකාබද්ධව මෙහෙය වූ''ලෙන් දොර ඇරීම!'' වැනි දේශපාලන ව්‍යාපෘතියක් ද යන්න අධ්‍යනය කර බැලිය යුතුය. 2015 ජනවාරි 8 ට පෙර රාජපක්ෂ පාලනයේ සිට සහ ඊට පසුව ඇරඹෙන මෛත්‍රී - රනිල් ආණ්ඩු ව්‍යාපෘතිය දක්වා රට තුළ සිදුවෙමින් තිබෙන ඓතිහාසික දේශපාලන අපරාධයන් ට, විශේෂයෙන්ම පෙර සඳහන් මහා ආර්ථික - ජෛව සංහාරයට අතුරලියෙ රතන හිමියන් ද සෘජුව වග කිව යුතු බව දැනටමත් රටේ බොහෝ දෙනෙකු ට අමතකය. අඩුම තරමේ, රතන හාමුදුරුවන්ගේ ගමන් සගයා වූ අශෝක අබේගුණවර්ධන, ඒ හිමියන්ගේ ද උපදේශකත්වයෙන්, මහජන මුදල් කාබාසිනියා කරමින් පවත්වාගෙන යන  Strategic Enterprise Management Agency at Presidential Secretariat ආයතනය කරන්නේ කුමක් ද යන්න හෝ බොහෝ දෙනා නොදන්නා පසු බිමක, ඊළඟ ආණ්ඩු ව්‍යාපෘතියේ ද මේ චරිත, ප්‍රබලයන් ව, සැබෑ ජන නැගිටීමකට ඉඩ කඩ ද හරස් කරමින්, රටේ ඉදිරි විනාශය තව දුරටත් ශක්තිමත් කරනු නිසැකය!

විශ්වාසභංගය ! රනිල් ට?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එදිරි විශ්වාස භංගය දැන් පාර්ලිමේන්තු විවාදය ට සුදානම් කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට එරෙහි ව කලෙක පටන් ඉදිරිපත් වෙමින් තිබු විවිධ චෝදනා තර්කානුකුල තැනකට පැමිණෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව ට අදාළ ක්‍රියාදාමය සමගය. ඒ අතර එජාපය තුළ ද රනිල්ගේ පක්ෂ නායකත්වය අභියෝගය ට ලක් කෙරෙන පසුබිමක් ද ගොඩනැගෙමින් තිබිණි. සජිත් ප්‍රේමදාස සහ කරූ ජයසුරිය වෙන් වෙන් ව කේන්ද්‍ර ගත කරගනිමින් එජාප පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවට යම් යම් පාර්ශව හඬ නගමින් සිටි බව පෙනිණි. ඒ කිසිදු තත්ත්වයක් තුළ එජාප නායකත්වය වෙනස් නොවුයේ රනිල් සතු විශේෂ හැකියාවක් නිසා ද, ඔහුට එරෙහි ‘පක්ෂ කැරලි’ සැබෑ නොවන නාට්‍යමය සිදුවීම් නිසා ද යන්න දැනට පැහැදිලි නැත. ඊට ආසන්නතම උදාහරණය වන්නේ රංගෙ බණ්ඩාර සහ වසන්ත සේනානායක ‘හොඳින් හෝ නරකින්’ රනිල් පක්ෂ නායකත්වයෙන් නෙරපා දමන බව ප්‍රසිද්ධියේ පවසා පසුව නිහඬ සීතල  ස්ථාවාරයකට පැමිණීමය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ට එල්ල වූ අනපේක්ෂිත ජන විරෝධය, යළි රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය ධුරය ට නිරායාසයෙන්ම සම්බන්ධ විය. එහි කිසියම් වූ තර්කානුකූල බවක් නොතිබුණත්, බැලු බැල්මට ම ‘රනිල් තමයි ප්‍රශ්නය!’ යනුවෙන් පෙනෙන තරමට ‘ආණ්ඩු ජන විරෝධය’ ‘රනිල් විරෝධයක්’ බවට පත් වෙමින් හෝ පත් කෙරෙමින් තිබිණි. ජනාධිපතිවරයා ප්‍රමුඛ යහ පාලන ආණ්ඩුව ට එරෙහි ජන විරෝධය රනිල්ගේ ගිණුමට බැර කිරිමෙන්, අවසන සිදු වුයේ ආණ්ඩුවේ පැවැත්ම. යම් කාලයකට හෝ ස්ථාවර විමය. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය, පාර්ලිමේන්තු මුල්‍ය බලය අග්‍රාමාත්‍ය වරයාට පැවරෙන සක්‍රීය බැරකම් කළමනාකරණ පනත කරලියට පැමිණීම ඇතුළු ඊනියා ජාත්‍යන්තරය ට සහ ආර්ථික ඝාතකයන් ට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඒ අතර අදාළ ඉලක්ක වෙත රැගෙන යාම ට හැකිවීම මෙහිදී බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුය.
තවද, එජාප නායකත්වය ට සහ අගමැතිධුරය ට  එදිරි රනිල් සාධක ද්විත්වය, මහා පොළොවේ සැබෑ ජන විරෝධය එක්තරා විකෘතියකට ලක්කොට තිබේ. එනම් රනිල් නුසුදුසු වන්නේ එජාප නායකත්වයටද, අගමැතිධුරයටද යන අතාර්කික සංවාදය ඒ අතර අනවශ්‍ය ජන අවධානයකට ලක් කර තිබේ. ජනමාධ්‍ය තුළ ද මේ සම්බන්ධව විශාල අනවශ්‍ය ඉඩක් වෙන් කෙරිණි.
සනාථ කළ නොහැකි, එහෙත් තර්කනුකුලව පිළිගත හැකි තත්ත්වය වන්නේ, රනිල් තවදුරටත් අගමැතිධුරයේ තැබිය යුතු බවට ඇමරිකානු - ඉන්දියානු දේශපාලන බලපෑම් ඇති වූ බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ‘අගමැතිධුරයෙන් ඉවත් වෙන්නෙ මොකටද?’ යනුවෙන් රනිල්ගෙන් ඇසුවේ යැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම ද ඇතැම් විට විහිළුවක් නොවිය හැකිය. ඊට සමගාමීව ජනාධිපතිවරයා ප්‍රමුඛව සහ තවත් තැන් වල එක දිගට පැවැත්වුණු සංදර්ශනාත්මක සාකච්ඡා ද ඒ වේගයෙන්ම හැකිළී ගිය බව පෙනිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට නීතිය හා සාමය අමාත්‍යධුරය පිරිනැමීම, තෙල්දෙණියේ ජාතිවාදී ගැටුම්, එක්සත් ජාතීන්ගේ 37 වැනි මානව හිමිකම් සැසිය හා බැඳෙන රට ට අවැසි සිදුවීම් පෙළ සංසන්දනාත්මකව බලන විට ද සියල්ල පිටුපස විධිමත් දේශපාලන රටාවක් තිබෙන බව පෙනේ.
ඒකාබද්ධ විපක්ෂය රනිල්ගේ අග්‍රාමාත්‍ය ධුරය ට එරෙහි විශ්වාසභංගය, කතා නායකවරයාට භාර දෙන්නේ මේ අතරවාරයේදීය. එය ඉතා විධිමත් සංවිධානාත්මක අභ්‍යාසයක් බවත් එමගින් රනිල්, ‘විශ්වසනීය අග්‍රාමාත්‍ය වරයෙක්’ බවට තහවුරු කර දීම ඉතා පහසුවෙන් සිදුවිය හැකි බවත් ඉතා පැහැදිලිය. එනම් ඊනියා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුකුල දීර්ඝ කාලීන සහ අඛණ්ඩ වැඩ පිළිවෙලට අවශ්‍ය කටයුත්තක් ලෙස මෙම විශ්වාසභංගය ඉතිහාස ගත වනු ඇත. විවිධ සාධක හේතුවෙන් හිටිවන සංකීර්ණ තත්ත්වයන්ට මාරු වන ඉතිහාස ගලනය ට අදාළව ඇතැම් විට මේ පුස් වෙඩිල්ල ඇත්ත වෙඩිල්ලක් බවට පත්වීමටද ඉඩ තිබෙන බව ට තම සාක්ෂි සපයා දෙන බවද ඒ අතර ම කිව යුතුය!

විශේෂ අධිකරණ එපා!

මේ වන විට ත් සම්මත කර ගැනීමට නියමිත ව තිබෙන, 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත, මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තව දුරටත් විකෘති කිරීමට බරපතළ ලෙස හේතු වන බැවින් එය පරාජය කළ යුතු බව අපි අවධාරණය කරන්නෙමු!
 
විෂය භාර අමාත්‍යවරිය, තලතා අතුකෝරල මගින් 2017 සැප්තැම්බර් 19 දින ඉදිරිපත් කරන ලද අදාළ සංශෝධනය අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පිහිටුවන අතර ඊට නඩු යොමු කිරීම, නීතිපතිවරයා සහ අල්ලස් හෝ දුෂණ වැළක්වීමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් සිදු කෙරේ. එවැනි නඩුවකට එරෙහිව ඉදිරිපත් කෙරෙන අභියාචනයක් සලකා බැලෙන්නේ, සාමාන්‍ය පරිදි අභියාචනාධිකරණය විසින් නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
මේ අනුව, අදාළ නව අධිකරණය, මෙරට ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය සහ එහි පිළිගත් යුක්තිය පසිඳලන ක්‍රම වේදය මුළුමනින් ම අභියෝගයට ලක් කරන අතර එකී විශේෂ අධිකරණය  පිහිටුවීමේ අරමුණ ද, පවතින දේශපාලන තත්වයන් ට අනුකුලව පොදු සමාජ යහපත වෙනුවෙන් නොව පුද්ගලවාදී ඉලක්ක අරමුණුකොට ගත් ද්වේශ සහගත වූවක් බව පැහැදිලි වේ.
මේ පනත් කෙටුම් පතට එරෙහි පෙත්සම් 7 ක් ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙමින් තිබෙන අතර, රටේ යෝජිත යහ පාලනය, දේශපාලන විකෘතියක් වීම වළක්වා ගැනීම සඳහා, අදාළ පනත් සංශෝධනය ට එරෙහිව මහජන විරෝධයක් වහා මතු විය යුතුය.
සැබවින් ම සිදු විය යුත්තේ, පුද්ගල පළිගැනීම් හෝ විරුද්ධ වාදීන් දඩයම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලිය යොද ගැනීම නොව, සමාජ යුක්තිය තහවුරු කිරීම සඳහා එකී ක්‍රියාවලිය ශක්තිමත් කිරීමය, විධිමත් කිරීමය. අවසන් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන නීතියේ ආධිපත්‍ය තුළ යහ පාලනයක් සහ යහ සමාජයක් ගොඩ නගා ගැනීමය. ඒ සඳහා පුළුල් දේශපාලන සංවාදයක් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ.

සමාජ මාධ්‍ය මර්දනය ට එරෙහිව!

තෙල්දෙණියෙ සිදුවීම මුල් කරගෙන, fb ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලා කීපයකට තාවකාලික වාරණයක් පැන වූ ආණ්ඩුව, අවසානයේ දී එය පුර්ණ මාධ්‍ය මර්දනයක් දක්වා රැගෙන යෑම අපි තරයේ හෙළා දකින්නෙමු! ඊට එරෙහි වන්නෙමු!
ජනාධිපති ලේකම් ඔස්ටින් මුණසිංහ ප්‍රමුඛ ව, ජනාධිපති ලේකම් කාර්යාලය ට සහ විදුලි සංදේශ නියාමන කොමිසම ට සම්බන්ධ නිලධාරීන් යොදවා, ආණ්ඩුව අදාළ සමාගම් නියෝජිතයන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත්තේ, මෙරට සමාජ මාධ්‍ය නියාමනය කළ හැකි ක්‍රම වේදයක් සහ ඊට අනුරූප ආයතනික ව්‍යුහයක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව බව, 2018 මාර්තු 15 දින, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙන් සනාථ වේ.
එම නිවේදනයේ අන්තර්ගතය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු ප්‍රකාශකයන් ඉදිරිපත් කරන අදහස් එකිනෙක ගළපා බැලීමෙන් පැහැදිලි වන්නේ, ''වර්ගවාදී ආගම්වාදී වෛරී ප්‍රකාශන පැතිර යෑම නියාමනය කිරීම'' ට මුවා වී, පොදුවේ ආණ්ඩුව ට එරෙහිව මේ වන විට වර්ධනය වෙමින් තිබෙන පුළුල් ජන විරෝධය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැවෙන බවය.
ආණ්ඩුව මෙවැනි ක්‍රියා මාර්ග ගැනීම ට ප්‍රධාන හේතුව, පසු ගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් ආණ්ඩුව ට එල්ල වූ දැඩි ජන විරෝධය බව අවිවාදිතය. ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් සැබෑ ජනමතය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා මෙවැනි සියලු උත්සාහයන් පරාජය කිරීම ට, ප්‍රජාතන්ත්‍රවාදය අරුත් ගැන්වීම ට උත්සහ කරන සියලු දෙනා මැදිහත් විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු!
එසේම, සමාජ පරිහානිය ට හේතු වන ක්‍රියාකාරකම් කරමින් ආණ්ඩුවේ මෙම මර්දනකාරී ක්‍රියාදාමය ශක්තිමත් නොකර, පොදු සමාජ ප්‍රගමනය සඳහා මෙම නුතන මාධ්‍ය අවකාශය යොදා ගන්නා ලෙස ද, පොදුවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු! 

හුසේන් ට අවසන් ජය!

තෙල්දෙණිය කේන්ද්‍රගත කර ගනිමින් ආරම්භ වුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඒවා තව දුරට ත් පැතිරීම පාලනය කිරීම මගින් අදාළ නොසන්සුන් සමාජ තත්වය කළමනාකරණය කර ගැනීමට පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ මේ වන විට සමත්ව තිබේ. 
එහෙත්, එකී සිදුවීම් දාමය, මේ වනවිට ත් ජිනීවා හි පැවැත්වෙන 37 වැනි එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ සැසිය දක්වා ගමන් කොට, රටේ පැවැත්ම ට එදිරිව ක්‍රියාත්මක වෙමින් තිබෙන ''ඊනියා ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළ'' තව දුරටත් ශක්තිමත් කොට තිබේ.
 
අප මීට පෙර  http://nidahaslanka.lk/view-article.php?n_id=152 ලියැවිල්ලෙන් පෙන්වා දී ඇති පරිදි ම, අදාළ සිදුවීම් දාමය හුදු ජනතා ක්‍රියාකාරීත්වයක් නොව, ඉතා සංවිධානත්මක දේශපාලන ව්‍යාපෘතියක් බව, එකී සිද්ධීන් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරු ඒකාබද්ධව නිකුත් කළ නිවේදනය සහ එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අදාළ සැසියට ඉදිරිපත් කළ ප්‍රකාශය නිරෙක්ෂණය කිරීමේදී තව දුරටත් පැහැදිලි වේ.
 
2018 මාර්තු 7 දින යුරෝපා සංගමය වෙනුවෙන් නිකුත් වූ එකී තානාපති නිවේදනය අනුව අදාළ සාපරාධී අපරාධ කරුවන් නීතිය ඉදිරියට පැමිණවීම වැදගත් ය. බැලූ බැල්මට මෙය ඉතා සරල සහ සාමාන්‍ය කටයුත්තක් ලෙස පෙනුනද, ශ්‍රී ලංකාව ට එරෙහිව යුරෝපා සංගමය පැන වූ  GSP+ කොන්දේසි සහ හදිසියේ මෙසේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමේ විලාශය එකිනෙක සසඳා බලන විට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය ට ඍජු ලෙස බලපෑම් කරන ආකාරය තහවුරු කර ගත හැකිය. 
එසේම, ඊට සමගාමී ව, එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් හුසේන් සැසිය අමතා කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ, සුළු ආගමික සහ ජන කොටස් ඉලක්ක කර කළහකාරී තත්වයක් ඇති වී තිබෙන බවත්, එවැනි තත්වයන් එහි යළි යළිත් ඇති වීම නිසා තමා දැඩි තැති ගැන්මකට ලක්ව සිටින බවය. එහිදී ඔහු, අම්පාර සහ මහනුවර නගර දෙකෙහි ම සිදුවීම් පිළිබඳ සඳහන් කළ අතර,දින 10 ක් සඳහා හදිසි නීතිය පැනවීම ගැන ද මතක් කළේය. අදාළ පහර දීම් සහ ඊට අනුබල දුන් පුද්ගලයන් ට දඬුවම් දිය යුතු බව අවධාරණය කරන ඔහු, ශ්‍රී ලංකාව, මානව හිමිකම් අපචාර වැළක්වීම සඳහා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්නේය. 
ඒ සමග ඔහු කළ අතිශය වැදගත් ප්‍රකාශය වන්නේ, ශ්‍රී ලංකාව ට, ඒ පිළිබඳ අර්ථාන්විත ක්‍රියාවලියක් නොමැතිවීම සම්බන්ධයෙන් තමා කණගාටුවන බවත්, ශ්‍රී ලංකා රජයේ මේ ක්‍රියාකළාපය, අන්තර්ජාතික අධිකරණ ක්‍රියාවලියක් සංදහා, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ධෛර්යමත්කරන බවත්ය.
මේ අනුව, අම්පාර සහ තෙල්දෙණිය නගර හරහා පැතිරුණු ප්‍රචණ්ඩ ක්‍රියා, නියත වශයෙන් ම, ඊනියා ජාත්‍යන්තරය සඳහා, විශේෂයෙන් ම ජිනීවා සැසිය සඳහා ම, සංවිධානය කරන ලද ''සංවිධානාත්මක දේශපාලන ව්‍යාපෘතියක්'' විය යුතු බවට බරපතළ සැකයක් මතු වේ.
මේ වනවිට, රට තුළ fb ප්‍රමුඛ සමාජ මාධ්‍ය අවහිර කර තිබෙන අතර, 2018 ජනවාරි 25 දිනැති, ලංකාව ට එරෙහි  මානව හිමිකම් පිළිබඳ වාර්තාවේ 50 වැනි වගන්තිය යටතේ ද එවැනි ඉඟියක් පළ කොට තිබේ. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, 2018 මාර්තු 8 දින, තෙල්දෙණිය පිළිබඳ නොවිධිමත් කතා මැද, ''බලහත්කාරයෙන් අතුරුදන් කිරීමන් ආරක්ෂා කිරීම සඳහා වූජාත්‍යන්තර සම්මුතිය'' ට අදාළ පනත ඉතා සුක්ෂම ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ සම්මත විය. මේ සඳහා, පාර්ලිමේන්තුව කිසිදු ආකාරයකින් දැනුවත් නොකර, 2015 දෙසැම්බර් 10 දින, වැඩ බලන ස්ථිර නියෝජිත ලෙස කටයුතු කළ AS ඛාන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් නිව්යෝක් නගරයේදී අදාළ සම්මුතිය සඳහා අත්සන් තැබීය. අදාළ පනත සම්මත වන්නේ ද, අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවා, අදාළ නිලධාරීන් ද පත් කිරීමෙන් අනතුරුව ය.
 මීට අමතරව, මේ සිදුවීම් ආරම්භ වීම ට ආසන්නව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට,  නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය හදිසියේ භාරදුන් ආකාරය සහ එය නැවත 2018 මාර්තු 8 දින රංජිත් බණ්ඩාර ට භාර දීම ද ඉතා අසාමාන්‍ය බව මෙහි ලා සඳහන් කළ යුතුය.
මේ අනුව, අවසානයේදී සිදුව තිබෙන්නේ, ''දැන සහ නොදැන'' ශ්‍රී ලාංකිකයන් ම, ශ්‍රී ලංකාවට එරෙහි ඊනියා ජාත්‍යන්තර මැදිහත්වීම වඩා ශක්තිමත් කිරීමය! 

ප්‍රචණ්ඩත්වය එපා!

තෙල්දෙණිය ප්‍රදේශයේ මේ වනවිට ඇති වී තිබෙන නොසන්සුන්තාව ට මුලික හේතුව, පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම බව තහවුරු වේ.  
2018 පෙබරවාරි 22 දින, පුද්ගලික ආයතනයක ට සේවය කරන රියදුරෙකු පදවමින් සිටි ලොරියක් ඉස්සර කිරීමට නොදුන්නේ යැයි සඳහන් කරමින් ඒ පිටුපස පැමිණි ත්‍රී රෝද රථයක සිටි පිරිසක් එකී රියදුරාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක්, මෙම නොසන්සුන්තාව ට හේතු විය. පහර කෑම ට ලක් වූ අදාළ පුද්ගලයා, මහනුවර රෝහලට ඇතුළත් කර තිබියදී, මාර්තු 4 දා, එනම් ඊයේ උදෑසන මිය ගිය සැනින් ප්‍රදේශය පුරා මෙම නොසන්සුන්තාව උත්සන්න විය. සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී, පොලීසිය වහා ක්‍රියාත්මක වෙමින් එකී අපරාධය ට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුව ට ගෙන නීතිය ක්‍ෂණිකව ක්‍රියාත්මක කළේ නම් මෙවැනි දරුණු මට්ටමට වර්ධනය වීම ට පෙර, නොසන්සුන්තාව කළමණාකරණය කර ගත හැකිව තිබුණු බව අපේ නිරීක්ෂණයයි.
මෙසේ පහර කා මිය ගිය පුද්ගලයා සිංහල ජාතිකයෙකු චීම සහ පහර දුන් පුද්ගලයන් මුස්ලිම් ජාතිකයන් වීම හේතුවෙන් මෙම සිද්ධිය ට ජාතිවාදී අර්ථයක් ලැබීම, රටේ පවතින පොදු තත්වයන් අනුව අනිවාර්යයෙන් ම සිදු වේ. ඒ පිළිබඳ කිසිදු මුලික අදහසක් හෝ සංවේදී හැඟීමක් පොලිසිය ට හෝ, අදාළ අනෙක් පාර්ශව තුළහෝ නොතිබීම බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතුව තිබේ. ඒ අනුව, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය ද, මතු වී තිබෙන මෙම අතිශය අයහපත් තත්ත්වය ට ඍජු ලෙස වග කිව යුතුය. 
අනෙක් අතට, සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජන කොටස් නියම සංහිඳියාවකින් ජීවත්වන සුරක්ෂිත සමාජ වට පිටාවක් පවත්වාගෙන යෑම ශ්‍රී ලාංකිකයන් වන අප සැමගේ වගකීම සහ යුතුකම ය. 
විවිධ දේශපාලන වාසි සඳහා, ජාති ආගම් වාද යොදා ගන්නා සහ ඒ දේශපාලන වට පිටාව ම යොදා ගනිමින් ලාංකේය රාජ්‍ය අස්ථාවර කර තම ග්‍රහණය ට ගැනීමට ක්‍රියාත්මක, විදේශ දේශපාලන මෙහෙයුම් අතර, අපි එකම ජාතියක් ලෙස වඩා බුද්ධිමත් ව කටයුතු කළ යුතුය. එසේම, කුමන තත්වයකට අදාළව හෝ, ප්‍රචණ්ඩත්වය මගින් කිසිවෙකු ට කිසිදු සහනයක් හෝ යහපතක් සිදු නොවන වග ද අපි මෙහිදී දැඩි ලෙස අවධාරණය කරන්නෙමු! 
ජනමාධ්‍ය, විශේෂයෙන්ම, මෙවැනි සිදුවීම් වාර්තා කරමින් තම බාල ජනප්‍රියත්වය සොයා යන සමාජ මාධ්‍ය ජාලා ද, මෙවැනි පසුබිමකදී තම තමන් ට පැවරෙන ''අනිවාර්ය සමාජ වගකීම'' හොඳින් තේරුම් ගත යුතු බව ද වැඩි දුරටත් පෙන්වා දෙන්නෙමු! 

IMF රටෙන් පිටවෙනු! රවී ගේ 'ගරිල්ලා ප්‍රකාශය' තේරුම් ගනිමු!

''...මම හිතන්නෙ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල...දැන් ඒගොල්ලන්ගෙ කාර්ය භාරය අවසන් නිසා මෙහෙන් යන්න පුළුවන්, මොකද අපට අවශ්‍ය සුද්දන්ගෙ ඔය කියන කටයුතු කිරීම නෙවෙයි, රට ට අවශ්‍යවන ඔබින විදිහට, අපට හිතන්න පුළුවන්, ජනතාවට පිළිගන්න පුළුවන් කටයුතු තමයි කරන්න අවශ්‍ය...'' යනුවෙන්, 2018 මාර්තු 4 දින, රවී කරුණානායක ජනමධ්‍ය කැමරා ඉදිරියේ ප්‍රකාශ කිරීම රටේ දැඩි අවධානය ට යොමු විය යුතුය!
ලෝක බැංකුව (WB) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) දශක කීපයක් තිස්සේ, ශ්‍රී ලංකා ආර්ථිකය මෙහෙයවමින් සිටින බව අපි කරුණු සහිතව පෙන්වාදෙමින් සිටින්නෙමු. 
1977 දී, JR පාලනය, රට ට විවෘත ආර්ථික ක්‍රමය කොන්දේසි විරහිත ව හඳුන්වා දුන් පසු, රටේ ස්වීය ආර්ථිකය ඝාතනය කිරීම ආරම්භ කෙරිණි. JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද සහ අද මෛත්‍රී - රනිල් පාලන කාල හරහා සංවිධානාත්මකව ඉදිරියට යන අදාළ මෙහෙයුම ට මෙරට වෘත්තිකයන් සෑහෙන ප්‍රමාණයක් ද ඍජුව සහ වක්‍රව සම්බන්ධය. ඒඅතර, චන්ද්‍රිකා - මහින්ද ආණ්ඩු දෙකෙහි ම මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කළ PB ජයසුන්දර සහ සියලු ආණ්ඩු තුළ සක්‍රීය සාධකයක් බවට පත්ව සිටින සරත් අමුණුගම ප්‍රධාන තැනක් ගනී. ඒ, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දක්වා වන සියලු මහ බැංකු අධිපතිවරුන් ප්‍රමුඛ, විෂය ට අදාළ නිලධාරී රැළකට සමගාමීවය.
එදා මෙදා තුර පාර්ලිමේන්තුවට ඉදිරපත් වූ සියලු අය වැය සකස් කෙරෙන්නේ ද ලෝක බැංකු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඍජු උපදෙස් අනුවය. මෙම මුල්‍ය ආයතන මෙහෙය වන එක්සත් ජාතීන් (UN) ද අවශ්‍ය සෑම මොහොතකදී ම අදාළ මෙහෙයුමට සම්බන්ධ වන ආකාරය පැහැදිලිව දැක ගත හැකිය. වර්තමානය වන විට යුරෝපා සංගමය ( EU ) ද ඒ සඳහා ඍජු ලෙස මැදිහත් වන ආකාරය, GSP+ කොන්දේසි නිරීක්ෂණය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. 
රනිල් - මෛත්‍රී ජාතික ආණ්ඩුවේ අදාළ කොන්ත්‍රාත්තුව පැවරුණේ මුදල් අමත්‍ය රවී කරුණානායකටය, ඒ මහ බැංකුව තම භාරයට ගත් අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වය යටතේ ය, මහබැංකු බැඳුම්කර හෙළිදරව්වෙන් පසු රවී කරුණානායක ගේ යෂ්ටිය ලැබුණේ මංගල සමරවීර ට වන අතර ඔහු ද ඉතා කීකරු ලෙස අදාළ කොන්ත්‍රාත්තුව සම්පුර්ණ කරමින් සිටී. 
මෙවන් පසුබිමක, රවී කරුණානායක, IMF රටින් පිටව යා යුතු යැයි ප්‍රසිද්ධියේ පැවසීමට ඉදිරිපත් වන්නේ ඇයි?
මේ වනවිට, පෙර කී, රටේ ආර්ථික ඝාතන ක්‍රියාදාමය ගැනත් ඊට වග කිව යුතු ලෝක බැංකුව (WB) සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ( IMF) ගැනත් රටේ මහජනයා තුළ යම් මට්මක අදහසක් ඇතිවෙමින් තිබෙන අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට එල්ල වූ දැවැන්ත විරෝධය ට එම ජනමතය ත් ප්‍රබල හේතුවක් වූ බව අපේ නිරීක්ෂණයයි. මේ අනුව, රවී කරුණානායක, එජාප ය නියෝජනය කරමින්, තමන් ද IMF මැදිහත්වීමට විරුද්ධ බව කියමින් මෙසේ පොදු ජනයා මුළා කිරීමට ''ගරිල්ලා ප්‍රචාරණ ව්‍යාපෘතියක්''  දියත්කරමින් සිටින බව අපි පෙන්වා දෙන්නෙමු. 

අතුරුදන් වුවන් සෙවීම ද? හමුදා බලය බිඳීම ද?

මේ වන විට, එනම්, 2018 පෙබරවාරි 28 දින, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන තනතුරු සඳහා අදාළ පත්කිරීම් සිදුකළේය. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, අනෙක් සාමාජිකයන් ලෙස, ජයතීපා පුණ්‍යමූර්ති, මේජර් ජෙනරාල් මොහන්ති පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරැක් රහීම්, සෝමසිරි K ලියනගේ, කනපති පිල්ලෙයි වෙන්තන් යන පුද්ගලයන්, වසර 3 ක කාලයක් සඳහා පත් කෙරිණි. 
එම කාර්යාලයේ වැඩ කටයුතු සඳහා, 2018 අය වැයෙන් රු. බිලියන 1.3 ක් වෙන්කර තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලයෙන්, 2018 ජනවාරි 25 දිනැතිව, මේ වනවිට ජිනීවා හී පැවැත්වෙන 37 වන එහි සැසිය සඳහා ඉදිරිපත් කෙරුණු, ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ ද මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබීම විශේෂත්වයකි.
අදාළ වාර්තාව සම්බන්ධ විශ්ලේෂණය ..... පිටුවෙන් සහ ..... video වෙන් වැඩි දුර අධ්‍යනය කරන්න.
මෙම අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම ආරම්භ වන්නේ 2015 දෙසැම්බර් 10 දින, නිව්යෝක් නගරයේදී, ''බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය'' ට, ශ්‍රී ලංකාව, 95 වැනි රට ලෙස ඇතුළත් කරමින්, වැඩබලන ස්ථිර නියෝජිත AS ඛාන් අත්සන් කිරීමෙන් ය. මෙම ගිවිසුම්ගතවීම සිදුවුයේ ද ඉතා රහසිගතව සහ සුක්ෂම ලෙස ය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කිසිදු ආකාරයක සංවාදයක් නොතිබුණු අතර, කිසිදු පාර්ලිමේන්තු නියෝජිතයෙක් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආකාරයක් ද නොපෙනුණි.
1972 සහ 1978 අතර කරළියට එන මෙම සම්මුතිය පිළිබඳ කෙටුම් පත, 2006 දෙසැම්බර් 20 දින, එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී සම්මත වුවද, එය ක්‍රියාත්මක තලයට පැමිණියේ 2010 දෙසැම්බර් 23 දින ය. 2007 පෙබරවාරි 6 සිට එය ඒ ඒ රටවල අත්සන් සඳහා යොමු කළ ද, 2016 ජුලි වන විට ඊට එකඟ වී තිබුණේ රටවල් 96 ක් පමණි.
විශේෂත්වය වන්නේ, මානව හිමිකම් ගැන ඉහළින් කතා කරන නවසීලන්තය, එක්සත් රාජධානිය පමණක් නොව මේ සියල්ල පිටුපස සිටින ඇමරිකා එක්සත් ජනපදය ද ඊට තවමත් අත්සන් යොදා නොතිබීමයි.
මෙවැනි පසුබිමක, 2015 ජනවාරි 8 ලංකාවේ Regime Change ව්‍යාපෘතියෙන් පසුව, දෙමළ ඩයස්පෝරාව සහ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නොවන බල ඇණිය, එකී ක්‍රියාදාමය ම ඉදිරියට ගෙනයමින්, මෙම ''අතුරුදන් වුවන් පිළිබඳ'' උගුල ක්‍රියාත්මක තලයට ගෙන ආ බව පැහැදිලිය. අදාළ කාර්යාලයේ ප්‍රධාන තනතුරකට, දෙමළ බෙදුම්වාදයට හිතවාදීව ප්‍රසිද්ධියේ පෙනී සිටින නිමල්කා ප්‍රනාන්දු පත් කිරීමෙන් ම පෙනී යන්නේ, එය අතිශය පක්ෂපාතී ආයතනයක් ලෙසම ආරම්භ කර ඇති බවය.
ශිෂ්ටසම්පන්න කිසිදු රටක මිනිස් අතුරුදන්වීම් සිදු නොවිය හැකි බව අවිවාදයෙන් පිළිගත යුතු මුත්, මෙම ක්‍රියාදාමය LTTE ය මිලිටරිමය වශයෙන් පරාජය කිරීම ම ඉලක්ක කොට සිදුකරන බව ඉතාමත් ම පැහැදිලිය. එකී පනතේ ද අදාළ යුද සමය සහ උතුරු නැගෙනහිර කළාප සම්බන්ධයෙන් වෙනම සඳහන් කර තිබීමෙන් ම එය තහවුරු වේ. එසේම, 88 - 89 ආසන්න කාලයේදී ජවිපෙ සිවිල් කැරැල්ලෙන් මිය ගිය සහ අතුරුදන් වුවන් සම්බන්ධයෙන් එකී පනතේ හෝ වෙනත් කිසිදු තැනක කිසිදු අවධානයක් යොමුකර නැත. පුදුමයකට මෙන්, ජවිපෙ ද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ අදාළ රාජ්‍ය නොවන පාර්ශව ප්‍රශ්න නොකිරීම ට වග බලාගෙන තිබේ.
සමස්ත සිදුවීම් හොඳින් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, අදාළ ක්‍රියාන්විතය සංවිධානය වන්නේ ම, LTTE ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකා හමුදාවන් බිය වද්දමින් සහ අවශ්‍ය අත් අඩංගුවට ගැනීම් කරමින් රටේ රාජ්‍ය හමුදා බලය අඩපණ කිරීම අරමුණු කරගෙන බවය. 
ඒ අතර, 2015 අංක 4 දරන, වින්දිතයන් සහ සාක්‍ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හේතුවෙන් ඕනෑම රටක සිට අදාළ විමර්ශන සඳහා පැමිණිළි ඉදිරපත් කිරීමට සහ සාක්ෂි දීම ට ද අවශ්‍ය ඕනෑම කෙනෙකු ට අවස්ථාව ලබා දී ඇති බැවින් සහ මේ සියල්ල පිටුපස වෙනත් කුමන්ත්‍රණකාරී උවමනාවක් තිබෙන බැවින්, උද්ගතව ඇති තත්වය රටේ රාජ්‍ය ආරක්ෂාව ට මෙන් ම, රාජ්‍ය හමුදා  බලයට ද අතිශය බලපෑම් සහගත වන බව පෙන්වා දෙන්නෙමු!

හලාවත කර්මාන්ත දුෂණය!

හලාවත, ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇස්බැස්ටස් වර්ගයේ තහඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් පිටවන අධික දුර්ගන්ධය සහිත විෂ වායුන් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී තිබේ. ඊට එරෙහිව, අදාළ කර්මාන්ත ශාලා ප්‍රධාන පිවිසුම ඉදිරිපිට, ඊයේ, 2018 මාර්තු 2 වැනි දින, ගම්වාසීන් විරෝධතා දැක් වූ අතර පොලීසිය මැදිහත් වී, එකී පාලන අධිකාරිය සමඟ එකඟතාවකට පැමිණ ගම්වාසීන්ට දන්වා ඇත්තේ, ලබන අඟහරුවාදා දක්වා අදාළ කර්මාන්තශාලාවේ කටයුතු එලෙසම පවත්වා ගෙන යෑමට ඉඩ දෙන ලෙසය.
මහජන සාමය සහ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු පොලිසිය කළ යුතුව තිබුණේ, කිසියම් නීත්‍යානුකුල ක්‍රම වේදයක් අනුගමනය කරමින් සහ අදාළ පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කරමින්, කර්මාන්ත ශාලාවේ ක්‍රියාන්විතය තාවකාලිකව හෝ අත් හිටුවා මහජන පීඩාව අවම කර දීමට කටයුතු කිරීමය. ඊට අමතරව, එකී පරිසර දුෂණය ට එදිරිව, වගකිව යුතු බලධාරීන් සමඟ එක්ව නිසි නීතිමය පියවර ගැනීමය.
මෙම කර්මාන්තශාලාව ඉදි කිරීමට එරෙහිව ද, 2015 පෙබරවාරි 28 දින, කොළඹ පුත්තලම A3 මාර්ගය ද හරස් කරමින්ම විශාල විරෝධතාවක් පැවැත්විණි. යෝජිත කර්මාන්ත ශාලාව හරහා මෙවන් පාරිසරික හානියක් සිදුවන බවත්, එමගින් සාමාන්‍ය ජන ජීවිතයට සෞඛ්‍ය ගැටළු ඇතුළු බරපතළ පාරිසරික ව්‍යසනයකට මුහුණ දීමට සිදුවන් බව අවධාරණය කෙරිණි. එසේම, ආනවිලුන්දාව කුරුළු රක්ෂිතය ට ද එමගින් විශාල හානි සිදුවන බව පෙන්වා දුනි. ඊට අමතරව අදාළ කර්මාන්තශාලාව සඳහා, භූගත ජලය දිනකට ලීටර් 1 65 000 ක් පමණ භාවිතයට ගැනීම සිදුවන අතර කර්මාන්ත කටයුතුවලි බැහැර වන විෂ ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජල මුලාශ්‍ර විනාශ වීමේ තර්ජනය ද අවධානය ට ගත් විරෝධතා කරුවන් ආණ්ඩුවට බල කර සිටියේ යෝජිත කර්මාන්ත ශාලාව ආරම්භ නොකරන ලෙසය.
ආණ්ඩුව මේ සියලු විරෝධතා නොසලකා හරිමින් සහ පිළිගත් සියලු නීතිමය තත්වයන් ද උල්ලංඝනය කරමින් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට අදාළ ආයෝජකයන් ට ඉඩ ලබා දුනි.   
ශ්‍රී ලංකා පොලීසිය දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියා කරමින් සිටින්නේ ද, ඉහළින් ලැබෙන ඕනෑම අණක් කොන්දේසි විරහිතව ඉටුකර දීමට සහ වෙනත් පටු අරමුණු සඳහා පෙනී සිටිමින් හෝ පොදු ජනයා පීඩාවට පත් කිරීමටය. විශේෂයෙන් ම, කර්මාන්තකරණය හේතුවෙන් විවිධ රෝගාබාධ ප්‍රමුඛ නොයෙක් පීඩාවන්ට ලක්වන මහ ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කර දීම ට මැදිහත්වීම වෙනුවට, අදාළ කර්මාන්ත කරුවන් සහ පාලකයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය දීමට ඔවුන් පෙළඹී සිටීම අපි තරයේ හෙළා දකිමු! 
මහජන මුදලින් නඩත්තු කරන ස්වාධීන පොලිස් කොමිසම ද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් රටේ ජන සමාජය දිනෙන් දින බරපතළ අසහනයකට පත් වෙමින් සිටින බවත් එය පුපුරා යෑම මගින් සමස්ත සමාජය ම අනතුරේ වැටීමට ඉඩ කඩ සකස් කෙරෙමින් තිබෙන බවත් අපි අවධාරණය කරන්නෙමු!
එසේම, ලෝකයේ විවිධ රටවල තහනමට ලක්වන කර්මාන්ත මෙන්ම අධික ලෙස භූගත ජලය යොදා ගන්නා කර්මාන්ත විශාල ප්‍රමාණයක් දැනටමත් රට පුරා පවත්වාගෙන යන බව වාර්තාවන අතර, විදේශ ආයෝජකයන් මත අන්ධ විශ්වාසයක් තබා රට අනතුරේ හෙළන විනාශකාරී කර්මාන්තකරණය ට විරුද්ධව මහ ජනයා සහ විශේෂයෙන්ම වෘත්තිකයන් එක පෙළට සිට ගත යුතු බව අපි තව දුරටත් අවධාරණය කරන්නෙමු!

මොන ආයෝජන ද? 

2018 මාර්තු 2, ඊයේ, සිංගප්පුරුවේද දී  Invest Sri Lanka සමුළුව පැවැත්වුයේ, ලංකාවට ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා ය. ඊට සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සම්මුඛ සකඡාවක දී ඉදිරිපත් කළ අදහස් වලින් තහවුරු වන්නේ, ජාතික ආණ්ඩුව තුළ බෙදීමක් ඇති විය හැකි වුවද බොහෝ අංශ වල ඇති කරමින් තිබෙන ප්‍රතිසංස්කරණ සඳහා දෙපාර්ශවය තුළ එකඟතාවක් ඇති බවය, ඉදිරියේදී ආණ්ඩු බලය ලබා ගන්නා වෙනත් කණ්ඩායම් ද මෙම ක්‍රමය වෙනස් නොකරනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.
ආයෝජකයන් ගෙන්වා ගැනීමේ අරමුණෙන්, රටේ ස්ථාවරත්වය පිළීබද ලෝකයට එවැනි පණිවිඩයක් ලබා දීම සුභදායක බව බැලූ බැල්මට පෙනුණත් එහි සැබෑ අරුත වන්නේ ද, මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මගින් අදාළ ණය කොන්දේසි මත රටට බල කර තිබෙන, ''රටේ පැවැත්ම ට අතිශය හානි කර ආර්ථික ප්‍රතිසංස්කරණ'' එලෙසින්ම ඉදිරියට ගෙන යෑමට සියළු දෙනා එකඟතාවකට පැමිණ ඇති බවය.
පාර්ලිමේන්තුවේදී 2/3 ට සම්මත වන 2018 අය වැය යෝජනාවලිය ම එම ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ මත පදනම් ව තිබෙන අතර බල පොරයේ යෙදී සිටින කිසිදු පාර්ශවයක් ඊට විරුද්ධ නොවීම අතිශය බරපතළ තත්වයකි. 
2018 ජනවාරි 12 දාතම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය නිවේදනයේ සාරාංශ සටහනෙහි අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සඳහන් වන්නේ මෙසේය; 
''Macro stabilization and two major tax reforms were the key outcomes of the first half of the program. Sri Lanka is pursuing a 3-year reform program with IMF support under the extended arrangement under the Extended Fund Facility (EFF) since June 2016. Performance has been broadly on track regarding fiscal consolidation, revenue mobilization, monetary policy management, and reserves accumulation. The government legislated in 2016 the VAT amendments which increased VAT rates and narrowed exemptions. The program’s landmark reform, the new Inland Revenue Act, was legislated in October 2017 and will be implemented in April 2018. Consistent with the objectives of the EFF-supported program, the authorities announced a new farreaching economic plan titled Vision 2025 in September 2017''
සාර්ව ආර්ථික ක්‍රමයක් රට ට හඳුන්වා දෙන බව කියමින්, 1977කොන්දේසි විරහිත විවෘත ආර්ථික ක්‍රමයේ ඉදිරි දිගුවක් ලෙස 2018 අය වැය සම්මත කර ගන්නේ මේ අනුවය. ඉතිරිව තිබෙන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලික අංශයට විකුණා දමා, රටේ දේශීය ආර්ථිකය මුළුමනින් ම බිඳ දමමින් සහ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය විනාශ කරමින් ඉදිරියට ගෙන යෑමට උත්සහ කරන මෙම ආර්ථික සංහාරය තුළ රටේ ජලය ප්‍රමුඛ ස්වභාවික සම්පත් සියල්ල ද අනතුරට ලක් වෙමින් තිබේ.
මෙම පසු බිම තුළ ''යහපත් සංවර්ධනයකට'' හේතු වන ආයෝජකයන් රටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි අතර, රටේ ස්වභාවික සම්පත් කොල්ලකෑමට සහ පාරසරික විරෝධී ඇතැම් කර්මාන්ත සහ ජාවාරම් පිළිබඳ උනන්දුවක් ඇති කුප්‍රකට ව්‍යාපාරිකයන් පමණක් රටට පැමිණීමේ අවදානමක් පවතී.  
මේ ක්‍රියාදාමය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ ඉතා ප්‍රබල භූමිකාවක් ඉටු කරන අතර ඊට එරෙහි විය හැකි පොදු ජන මනස වෙනස් කිරීමේ වැඩ කොටස ඉටු කෙරෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවේ සියළු කොටස් විවිධ වේශයන්ගෙන් ඊට සහය දෙන අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ද එකී ක්‍රියාදාමය ට විරුද්ධ නොවෙමින් ආණ්ඩු බලය ලබා ගැනීමේ උපක්‍රමශීලී වැඩ පිළිවෙළක සිටින පසු බිමක රටේ අනාගතය අවිනිශ්චිත සහ අස්ථාවර වීමේ විශාල අනතුරක් පවතී.

තඹුත්තේගම පොලිස් මැරයන් වහා අත් අඩංගුව ට ගනු!

රාජාංගනය වැවේ ජලය චීන ජල ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමේ සැලැස්මකට විරුද්ධව 2018 පෙබරවාරි 28, තඹුත්තේගම නගර මධ්‍යයයේ උද්ඝෝෂණය කරමින් සිටි ජනයා ට අමානුෂික ලෙස පහර දුන් පොලීසිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකොට, මැරයන් සේ හැසිරෙමින් සිවිල් නීතිය, ත්‍රස්තවාදයක් බවට පත්කළ පොලිස් නිලධාරීන් ට එරෙහිව නීතිමය පියවර ගන්න ලෙස අපි අදාළ බලධාරීන් ට බල කර සිටිමු! 
නීතිය සහ සාමය වෙනුවෙන් පෙනීසිටින පොලීසිය, පොදු සමාජ පැවැත්ම සම්බන්ධයෙන් ද ඉතා සංවේදී විය යුතුය. ඔවුන්ගේ මූලික කාර්යය වන්නේ සාමකාමී සහ සුරක්ෂිත සමාජ තත්වයන් පවත්වාගෙන යෑමට මැදිහත්වීමයි. එසේ නම් තම පොලිස් බල ප්‍රදේශය තුළ සාමාන්‍ය ජන සමාජය මුහුණ දෙන පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් අදාළ පොලිස් ප්‍රධානීන් දැනුවත් විය යුතුය. නීතිය සහ සාමය කඩා වැටෙන විට ඊට සම්බන්ධ මහජනයා තලා පෙළා කුදලාගෙන යෑම ට පෙර එවන් තත්වයක් ඇතිවීම වැළක්වීමට ද පොලීසිය මැදිහත් විය යුතුය. 
උදාහරණයක් ලෙස රාජාංගනය වැව සහ ඊට අදාළ මෙම ප්‍රශ්නය පිළිබඳ සංවේදී බවක් අදාළ පොලිස් ප්‍රධානීන් ට තිබුණේ නම්, වග කිවයුතු අංශ සමඟ සාකච්ඡා කොට ඊට අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට යම් ප්‍රබල මැදිහත් වීමක් කිරීමට පොලිසියට කිසිදු නීතිමය බාධාවක් තිබුණේ නැත. එය උද්ඝෝෂණය ආරම්භ වූ පසුව ද කළ හැකිව තිබුණි. එහෙත් සුපුරුදු පරිදි ම ඔවුන් එසේ කළේ නැත.
සිදුවන්නට නියමිත උද්ඝෝෂණ සම්බන්ධයෙන් පුර්ව අධිකරණ නියෝග ලබා ගන්නා පොලීසිය, එවන් ධනාත්මක සමාජ මැදිහත්වීමක් සඳහා ඉදිරිපත් නොවන්නේ වෘත්තීයමය බංකොළොත්භාවය නිසා සහ විවිධ දේශපාලන බලපෑම් ඇතුළු වෙනත් න්‍යායපත්‍ර නිසාය.
කෙසේ වෙතත්, තඹුත්තේගම උද්ඝෝෂණයට පහර දෙන පොලිස් නිලධාරීන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් (?) මැර කණ්ඩායමක් ද ක්‍රියාත්මක වීම කිසිදු නීතිමය තත්වයක් තුළ සාධාරණීකරණය කළ නොහැකිය. 
පොලිස් නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් ද අවම බලය යෙදීම වෙනුවට, ද්වේශසහගතව උද්ඝෝෂකයන් ට පහර දෙමින් අත් අඩංගුව ට ගන්නා අයුරු ජන මාධ්‍ය වාර්තා දැනටමත් තහවුරු කර තිබේ. ඇතැම් පුද්ගලයන් අත් අඩංගුවට ගත් පසුව ද, පොලිස් නිලධාරීන් සහ අනෙක් මැරයන්, එසේ අත් අඩංගුව ට පත්වූවන් ට පොලු වලින් පහර දෙන ආකාරය පැහැදිලිව දැක ගත හැකිය.
මේ සම්බන්ධයෙන්, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය භාර අග්‍රාමාත්‍යවරයා ඍජුව වග විය යුතු අතර ස්වාධීන පොලිස් කොමිසම විධිමත්  පරීක්ෂණයක් සිදුකොට අදාළ පොලිස් නිලධාරීන් ට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගත යුතුය.
ඒ අතරම, පොලීසියේ වෘත්තීයමය පෞර්ෂය නගා හිටුවීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශය ප්‍රමුඛ දේශපාලන අධිකාරිය ක්‍රියා නොකරන්නේ නම්, අනාගතයේදී, පොලිසිය ද ඇතුළු පොදු සමාජය මීට වඩා අප්‍රසන්න සහ ම්ලේච්ඡ මට්ටමකට තල්ලු වී යෑම කිසිවෙකුටත් වළක්වා ගත නොහැකි වනු ඇත.

රාජාංගනය වැවට 'ජල රකුසො' එන්න කලින්...

රාජාංගනය වැව, ජල බෝතල් ව්‍යාපෘතියක් සඳහා චීන සමාගමකට ලබා දීමේ සැලැස්මකට එදිරිව, 2018 පෙබරවාරි 28 දින, තඹුත්තේගම අවට ගම් වාසීන් කළ උද්ඝ්ෂණය පොලීසිය යොදා අමානුෂික ලෙස මර්දනය කිරීම අපි, පිළිකුලෙන් යුක්තව හෙළා දකිමු!
නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලීසියේ වගකීම මුත්, තමන්ට ඉහළින් ලැබෙන උපදෙස් පමණක් අන්ධ ලෙස පිළිපැදීම වෙනුවට පොලීසිය මීට වඩා සමාජ සංවේදී ආකාරයෙන් කටයුතු කළ යුතු බව අපි තව දුරටත් අවධාරණය කරන්නෙමු!
ඒ අතරම, මහ ජනයා මෙසේ අනතුරේ හෙළීම සම්බන්ධ වගකීම මුළුමනින්ම ආණ්ඩුව සහ රාජ්‍ය තන්ත්‍රය භාර ගත යුතුය.
කලා ඔය හරස්කොට බැඳී වේල්ලකින් නිර්මාණය කොට ඇති රාජාංගනය වැව, අක්කර 19 500 ක් වූ කුඹුරු සඳහා ජලය සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාරි ක්‍රමයකි. අනුරාධපුර දිස්ත්‍රීක්කයේ විශාලතම වාරි ක්‍රමය වන්නේ පදවිය ජලාශය වන අතර රාජාංගනය වැව දෙවැන්නයි. එහි ජල ඝනත්වය සාමාන්‍යයෙන් අක්කර අඩි 81 000 ක් බව සඳහන්.
යෝජනා වී ඇති චීන ජල ව්‍යාපෘතිය සඳහා දිනකට ජලය අක්කර අඩි 50 ක් පමණ අවශ්‍ය වන අතර එය මාසයකට අක්කර අඩි 1500 කි. 
ඒ අනුව, යම් හෙයකින් මෙම ජල වෙළඳාම ආරම්භ වුව හොත්,  එක කන්නයකදී පමණක් ජල අක්කර අඩි 9000 ක් අහිමි වීමෙන් කුඹුරු අක්කර 2000 ක් විනාශ වී යෑමට නියමිතය. එසේම චීන සමාගම් ලෝකය පුරා සිදුකරන වෙළෙඳ ආක්‍රමණයන් හී ස්වරූපය අනුව, මෙය රටේ දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන, ''ජලය ඒකක මිලකට යටත් කරන ඓතිහාසික වෙළෙඳ කුමන්ත්‍රණය'' වඩා වේගයෙන් ක්‍රියාත්මක තලයට පැමිණෙන එක් තීරණාත්මක ඉදිරි පියවරක් වීම අනිවාර්යය.
බැවින් එය පරාජය කිරීමට පක්ෂ පාට ජාති කුල මල පසෙක ලා රටක් ලෙස එකට නැගී සිටිය යුතු බව අපි තව දුරටත් අවධාරණය
​ කරන්නෙමු! 

CHAPA on neth fm, Balumgala, April 9, 2018

                                       රට වටකරයි!


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 37 වැනි සැසි වාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව ට අදාළ මානව හිමිකම්  වාර්තාව 2018 ජනවාරි 25 දාතම අ/HRC/ 37/23 වාර්තාව, ලංකේය රාජ්‍ය අස්ථාවර කරන සහ එහි හමුදා බලය හීන කරන, කුමන්ත්‍රණකාරී ජාත්‍යන්තර ක්‍රියාදාමය හොඳින් පිළිබිඹු කරන සහ දත්තමය දෝෂ සහිත ලියැවිල්ලක් බව අවධාරණය කරන්නෙමු.
අදාළ සැසිය 2018 පෙබරවාරි 26 දින සිට මාර්තු 26 දක්වා පැවැත්වීම ට නියමිත අතර, විවිධ නම් වලින් පෙනී සිටින දෙමළ බෙදුම්වාදීන් සහ ඔවුන්ගේ තැරව්කරුවන් ඊට උපරිම දායකත්වයක් දෙමින් ශ්‍රී ලංකාව කොටුකර තැබීමට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එකී වාර්තාව ට සමගාමීවය.
34 වැනි සැසියට ඉදිරපත් කළ A/HRC/34/20 වාර්තාව ට සම්බන්ධ බව දක්වමින් ප්‍රකාශයට පත් කරන මෙම ලියැවිල්ලේ, ලංකා හමුදාව සාම සාධක හමුදාවක් ලෙස පහුණු කර ආකාරය දැක්වෙන අතර, ඒ සඳහා මැදිහත් වන්නේ ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන බව පෙන්වා දෙයි. 
බටහිර අප්‍රිකානු රටක්ව වන මාලි රාජ්‍යයේ රත්තරං ආකාර පවත්වාගෙන යමින් එරට සම්පත් කොල්ල කෑමට මැදිහත් වී සිටින ඇමරිකාවේ උවමනාවන් සඳහා නිර්මාණය කර තිබෙන MINUSMA ( Multidimensional Integrated Stabilization Mission in Mali ), බහුමාන ඒකාබද්ධ ස්ථායිකරණ දූත මෙහෙය සඳහා, යුධ අපරාධ චෝදනා නොමැති ශ්‍රී ලංකා හමුදා පිරිස් යොදවන ආකාරය ද මෙහි විස්තර කොට තිබේ.   වාර්තාවේ 7) යටතේ සඳහන් වන්නේ, ලංකා අමත්‍ය මණ්ඩලය, අදාළ කොමිසම, යෝජිත මානව හිමිකම් පිළිබඳ එකඟතා ක්‍රියාත්මක කිරීමට බලය තිබෙන ජාතික යාන්ත්‍රණය ලෙසට පිළි ගෙන ඇති බවය.
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සහ ඊට අදාළ ක්‍රියාකාරීත්වය ගැන සඳහන් කරන වාර්තාව 2017 නොවැම්බර් 7 සංශෝධනය කළ, 2015 සම්මත කරගත් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හේතුවෙන් වෙනත් රටක සිට හෝ තමන්ගේ පැමිණිළි සහ සාක්ෂි ලබා දීමට, රට හැර ගියවුන් ට ලැබෙන අවස්ථාව අවධාරණය කරයි.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට Counter Terrorism Act හඳුන්වා දීමට ලංකා රජය ගෙන තිබෙන පියවර සහ එහි ඉදිරි ක්‍රියාකාරීත්වය ඉක්මන් කිරීම ගැන සඳහන් කරන වාර්තාව, රිමාන්ඩ් භාරයේ සිටින ත්‍රස්තවාදී සැක කරුවන් සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කරයි.  
අදාළ වාර්තාවේ, Emblematic Cases ( දෘෂ්ටාන්ත ) අනු මාතෘකාව යටතේ, පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ අතුරුදන් වීම් පිළිබඳ දෝෂ සහිත විස්තරයක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙම ලියැවිල්ල මගින් කියා සිටින්නේ ලංකාව ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවය. හිටපු නාවුක හමුදා කොමදෝරු DKP දසනායක ට අධිකරණය ඇප ලබා දීම අභියෝගයට ලක් කරන ඔවුන්, තවත් කරුණු ගණනාවක් ඉදිරිපත් කරමින් අවධාරණය කරන්නේ ලංකාවේ අධිකරණය දෙබිඩි ( Double Standards ) බවය.
රතුපස්වල සිද්ධිය ගැන සඳහන් කරමින්, ''Army brigadier general and three other officers...'' යනුවෙන් ඔවුන් සඳහන් කර තිබීමෙන් සනාථ වන්නේ ඔවුන් තැන් තැන් වලින්, විශේෂයෙන්ම, දෙමළ බෙදුම්වාදයට සහය දෙන රාජ්‍ය නොවන සංවිධාන හරහා එකතු කර ගන්න තොරතුරු දෝෂ සහිතව වාර්තා කරන ආකාරයයි. එනම්, brigadier general යනුවන් තනතුරක් ලංකා හමුදාවේ නොමැති වීමයි. මේ සඳහන් කරන්නේ, බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගැන විය යුතුය! ජාත්‍යන්තර මට්ටමේ බව පැවසෙන වාර්තාවක් මෙසේ දෝෂ සහිත විය හැකි ද?
මේ අතර ම, 2017 දෙසැම්බර් 15 හෝ ඊට තදාසන්න දිනෙක, අදාළ හමුදා නිලධාරීවරයාගේ දියණිය, ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මුණ ගැසීමට ගත් අසීරු උත්සහය සහ ඒ හමුවේ අදාළ නියෝජිතයන් මග හරිමින්, හැංගි මුත්තන් කළ ආකාරය ද මෙහි දී මතක් කළ යුතුමය.
මෙහි, (40) යටතේ, LTTE හිතවාදී රාජ්‍ය නොවන සංවිධානයක්, ජෙනරාල් ජගත් ජයසුරිය ට එරෙහිව බ්‍රසීලයේ ගොනුකර තිබෙන යුධ අපරාධ පිළිබඳ නඩු ගැන සඳහන් කරන ඔවුන්, එය ''...the tip of the ice berg...'' ලෙස විග්‍ර කරමින් කියා සිටින්නේ, මේ මොහොතේ රටට එරෙහිව විශාල ක්‍රියාන්විතයක් දියත් වෙමින් තිබෙන බවය.
මෙම වාර්තාව කෙතරම් පහත් මට්ටමකට වැටී ඇත්දැයි තේරුම් ගැනීමට (47) වැනි ඡේදය විමසා බැලිය යුතුය. එයින් කියවෙන්නේ, ඉවැන්ජලිකල් පල්ලිවලට දිගටම ප්‍රහාර එල්ලවන බවත්, රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වූ සිවිල් ක්‍රියාකාරී නීතීඥයෙක් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන විට, අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ඔහුට තර්ජනය කළ බවත්ය. මේ, දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩ සටහනක් අතර තුර සිදු වූ සංවාදයක් විකෘති කර දැක්වීමකි. ඇත්තටම සිදුවුයේ, අදාළ නීතීඥවරයා අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ජනයා නොමග යවන විට, අදාළ අමාත්‍යවරයා දුරකථනයෙන් කතා කොට එය නිවැරදි කිරීමය. 
මේ වාර්තාව අවසන් වශයෙන් අපට හඟවන්නේ, ඔවුන් ට අවනතව සහ දෙමළ බෙදුම්වාදය ට අවශ්‍ය පරිදි කටයුතු නොකරන්නේ නම්, ''...application of Universal Jurisdiction...'' ක්‍රමයට ශ්‍රී ලංකාව වට කරන බවය!

                   අගමැති රනිල්ගෙන් දුෂණ වංචා කමිටුවක්?!

අද, 2018 පෙබරවාරි 26 දින, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවත් වූ විශේෂ සාකච්ඡාවකදී, නීතිය සහ සාමය විෂය පථයට අදාළ ත්‍රිපුද්ගල කමිටු තුනක් පත් කර තිබේ. 
ඒ අනුව, දුෂණ වංචා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කිරීම සඳහා රාජිත සේනාරත්න, DM ස්වාමිනාදන් සහ අජිත් P පෙරේරා ත්, අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා, අග්‍රාමාත්‍යවරයා ගේ සභාපතිත්වයෙන්, තලතා අතුකෝරළ සහ සාගල රත්නායක ත්, පොලිස් දෙපාර්තුමෙන්තුවේ දේශපාලන පළිගැනීම්වලට අදාළ  අභියාචන කඩිනම් කිරීමේ කමිටුව සඳහා තිලක් මාරපන, රංජිත් මද්දුමබණ්ඩාර සහ සාගල රත්නායකත් පත්කොට තිබේ.
මේ අතර සුවිශේෂ වන්නේ, දුෂණ වංචා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ කමිටුවය. එමගින් බලාපොරොත්තු වන්නේ, දැනටමත් නීතිය ඉදිරියේ දිගහැරෙමින් තිබෙන මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නීතිමය ක්‍රියාදාමය අවහිර කිරීමද යන සාධාරණ සැකය මතුවන්නේ, ආරම්භයේ පටන් අදාළ සිදුවීම් පෙළ ගැසෙන ආකාරය නිරීක්ෂණය විට දීය. 
විශේෂයෙන් ම, අදාළ ආර්ථික අපරාධය සම්බන්ධයෙන් එහි සැලසුම් කරුවා ලෙස චෝදනා එල්ල වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට ය. කමිටු සාමාජිකයෙකු වන අජිත් P පෙරේරා ට ද, කෝප් කමිටු විමර්ශන කටයුතුවලදී  ''ෆූට් නෝට් කල්ලි'' චෝදනාව එල්ල වී තිබේ. අමාත්‍ය රාජිත සේනාරත්න ද අදාළ වංචාව සාධාරණීකරණය කරමින්, ඒ වෙනුවෙන් පෙනීසිටි අයෙකි. ඒ අනුව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පැවරීම ට අමතරව මෙවැනි කමිටුවක් පත් කිරීමද බරපතළ සැකයකට තුඩු දේ. 
තවද, අද බොහෝ මාධ්‍ය වාර්තා කළේ, අර්ජුන ඇලෝසියස් සිංගප්පුරු නිවසේ නොමැති බැවින් ඔහුට යැවූ නොතිසි යළි මෙරට ට ඒවා ඇති බවය. ඒ  අතර ම, අද, මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කර සිටියේ, අදාළ අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා ට පවරා ඇත්තේ තාවකාලිකව බවත් එය ඉක්මනින් වෙන කෙනෙකු භාර ගැනීමට නියමිත බවත් ය.
 
එසේනම්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ උත්සහ කරන්නේ, සංවිධානාත්මකව, අදාළ මහ පරිමාණ වංචාව යට ගැසීමට ද යන බරපතළ සැකය මතු වීම කිසිසේත් ම වැළක්විය නොහැකිය.

                            කැබිනට් රඟපෑම භයානකයි!


අද, 2018 පෙබරවාරි 25, කැබිනට් සංශෝධන කිහිපයක් සිදු වූ අතර එසේ පත් වූ නව අමාත්‍යවරු ජනාධිපතිවරයා ඉදිරියේ උත්සවාකාරයෙන් දිවුරුම්  දෙන ආකාරයද ​දක්නට ලැබිණි.

ඒ අතර, ශ්‍රී ලංකා පොලීසිය ද මෙහෙයවන, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පවරා තිබීම හේතුවෙන් රට තුළ අතිශය  බැරෑරුම් තත්වයක් නිර්මාණය වන බව පෙන්වා දෙනු කැමැත්තෙමු. අග්‍රාමාත්‍යවරයා, දැනට නීතිය ඉදිරියේ යම් පසුගාමී තත්වයෙන් හෝ විමර්ශනය ට ලක් වෙමින් තිබෙන මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොළකරු ලෙසට ''කරුණු සහිත ජන මතයක්'' ඇති වී තිබෙන පසු බිමක ජනාධිපතිවරයා මෙවැනි තීරණයක් ගනු ලැබුවේ කුමන හේතුවක් මත ද යන්න බරපතළ සැකයකට තුඩු දේ.

මෙවර පළාත් පාලන මතිවරණ සමස්ත ප්‍රතිඵලය, විවිධ පැතිවලින් විග්‍රහ කළ හැකි අතර, කෙසේ වුවත් එය අනිවාර්යයෙන් ම ''ආණ්ඩු විරෝධී ජන මතය'' ප්‍රකාශ වීමක් බව විවාදයකින් තොරව පිළිගැනීමට සිදු වේ. ඊට බලපෑ විවිධ සාධක අතර මහා බැංකු බැඳුම්කර වංචාව ද ප්‍රමුව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද, පසු ගිය මැතිවරණ සමයේ ඒ සම්බන්ධයෙන් විවෘත ප්‍රකාශ සිදු කළ අතර ''හොරු සමඟ'' තමන් ට තව දුරටත් ආණ්ඩුව පවත්වා ගෙන යා නොහැකි බව ද ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර තිබේ. තව ද රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කොට වෙනත් පුද්ගලයෙකු ඒ සඳහා පත් කිරීමට කෙරුණු සාකච්ඡාවේ ජනාධිපතිවරයා ද ඉදිරියෙන් ම සිටි බව පෙනිණි.

එවැනි තත්වයක් පැහැදිලිව තිබියදී, රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයේ තව දුරටත් තබා ගනිමින් ම,  මෙවැනි තීරණාත්මක අමාත්‍යංශයක් පැවරීමට ත්  ජනාධිපතිවරයා තීරණය කළේ ඇයි?මෙම කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ද හැසිරෙන්නේ ඇල් මැරුණු ස්වභාවයකින් බව බැලූ බැල්මට පෙනේ. එසේ නම් මේ පිටුපස ඉන්දියාව සහ ඇමරිකාව ප්‍රමුඛ තවත් ඍජු සහ වක්‍ර මැදිහත්වීම් තිබේ ද?
ප්‍රශ්නය බරපතළය!

      දෙමළ ජනයාට එරෙහිදෙමළ දේශපාලනයෙන්, රට බේරා ගනිමු!


 ​යුද සමයේදී අතුරුදන් වුවන් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙස රජයට බලකරමින් ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් ඊයේ, 2018 පෙබරවාරි 24, වව්නියාවේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. එහිදී, විපක්ෂ නායක R සම්බන්ධන් සහ සුමන්තිරන් ගේ අනු රූ සඳහා අවසන් ගෞරව දක්වමින්, අතුරුදන්වුවන්ගේ ඥාතීන් බව පැවසෙන උද්ඝෝෂකයන් කියා සිටියේ, අදාළ දේශපාලනඥයන් තම ඉල්ලීම් ඉටු කර දීමට අපොහොසත් වී ඇති බවය. 
මේ අතර, එළැඹෙන සඳුදා, එනම් 2018 පෙබරවාරි 26 දා සිට, මාර්තු 23 දක්වා, ස්වීට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, ඊයේ දින තම වාර්තාව ඉදිරිපත් කරන මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්, සෙයිද් රාද් අල් හුසේන් පෙන්වා දෙන්නේ ද, 2015 දී එකඟ වූ පරිදි, මානව හිමිකම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශ්වාසය ගොඩ නැගීම ප්‍රමාණවත් සහ පරිපුර්ණ නොවන බවය. එනම්, ශ්‍රී ලංකාව ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහය ලබා දී නොමැති බවය. එසේම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරමින් අදාළ පනත යටතේ පැවරෙන නඩු සම්බන්ධයෙන් විසඳුමකට ඒමට ශ්‍රී ලංකාව අපොහොසත්වූ බව ද ඔහු අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
ආරම්භයේ පටන් ම එක්සත් ජාතීන් ගේ සංවිධානය සහ එහි මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය ක්‍රියාකරමින් සිටින්නේ, මෙරට දෙමළ අන්තවාදය සඳහා සහ ඒ හරහා ලාංකේය රාජ්‍ය බෙදුම්වාදී දුර්වල ආකෘතියකට මාරු කිරීම සඳහා බව අතීත අත් දැකීම් මානව ඔප්පු කර තිබේ. ලෝකය පුරාම ඔවුන් තම මෙහෙයුම් දියත්කර ඇති ආකාරයෙන් පැහැදිලි වන්නේ, තෝරා ගත් ඒ ඒ රාජ්‍යයන් හි අර්බුද වර්ධනය කරමින් සහ ඒවා දුර්වල කරමින්, තම සංවිධානය මෙහෙයවන බලවත් බව කියන රටල් වල වෙළෙඳ උවමනාවන් සඳහා අවශ්‍ය දේශපාලන වට පිටාව සකස්කිරීම ඔවුන්ගේ අරමුණ බවය.
යුධ අපරාධ, අතුරුදන් වුවන් සෙවීම සහ අත් අඩංගුවේ සිටින LTTE සැක කරුවන් ට සාධාරණය ඉටු කිරීම වැනි තේමාවන් තොරෝම්බල් කරන අතර තුර, මෙරට ට  බෙදුම්වාදී දුර්වල නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ඔවුන් ඉතා සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින්නේ ද මෙම පසුබිම තුළය.  
​තවද, ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීම සඳහා දැනට පනවා තිබෙන කොන්දේසි ද ආවරණය කර තිබෙන්නේ මීට සමාන දේශපාලන තත්වයන් ය.
මේ සියල්ල එකට සසඳා බලන විට, වව්නියාව, කිලිනොච්චිය ද ඇතුළුව යාපනය තුළ ක්‍රියාත්මක දෙමළ ජන විරෝධතා, එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, රාජ්‍ය නොවන ආයතන සහ දෙමළ ඩයස්පෝරාව එකට එක්ව දියත්කරන එකම දේශපාලන මෙහෙයුමක් බව පැහැදිලිය.
ඊට බල ලෝභී දෙමළ, සිංහල සහ මුස්ලිම් යන මෙරට දේශපාලන නියෝජිතයන් ද සමස්තයක් ලෙස පුර්ණ අනුග්‍රහය ලබා දෙන බව අවිවාදිතය. මේ අනුව, ඊයේ වව්නියාවේ දී දෙමළ නියෝජිත අනු රූ සඳහා අවසන් ගෞරව දැක්වෙන්නේ ද යම් නාට්‍යමය අත් පිටපතකට අනුව විය හැකිය.
කෙසේ වෙතත් මෙම තත්වයන් ට අනුව, අහිංසක දෙමළ ජනයාට හෝ පොදුවේ රටට කිසිදු යහපතක් නොලැබෙන අතර. විශේෂයෙන් ම උතුරු  නැගෙනහිර වෙසෙන දුප්පත් දෙමළ ජනයා තව තවත් අනාරක්ෂිත සහ අසරණ තැනකට තල්ලුවීමට නියමිතය. ඒ, දෙමළ සමාජය තුළ අනිවාර්ය කුල භේදයේ අයුක්තිය ට අමතරවය. 
මෙම සාමාන්‍ය දෙමළ ජනයාගේ, විශේෂයෙන්ම යුද්ධයෙන් බැට කෑ කාන්තාවන් ගේ දරුවන් අහිමි වීම ඇතුළු සංවේදී සාධක මෙන්ම නූගත්කමද උපරිම සහ සුක්ෂම ආකාරයෙන් යොදා ගන්නා අදාළ ''දෙස් විදෙස් දේශපාලන ඒජන්තවරු'' මෙසේ භයානක ලෙස රට අනතුරට හෙළමින් තිබේ.
එසේ නම්, මේ උපවාස උද්ඝෝෂණ කරන සාමාන්‍ය දෙමළ වැසියන් එකී ඊනයා ජාත්‍යන්තර දේශපාලනයේ අහිංසක ගොදුරු බවට පත්වීම වළක්වා, ​රටේ පොදු දේශපාලනය යුක්තිසහගත යහ පාලනයක් බවට පත් කර නොගන්නේ නම්, ලාංකේය දේශපාලනය, පියවරෙන් පියවර ඉතාමත්ම අවිනිශ්චිත සහ අනතුරුදායක දිශාවකට ගමන් කිරීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි වනු ඇත. 
එබැවින්, පක්ෂ පාට ජාති ආගම් සීමාවකින් තොරව රටක් වශයෙන් සහ සිංහල, දෙමළ, මුස්ලිම් එකම ජාතියක් ලෙස, ඊනියා ජාත්‍යන්තර වෙළෙඳ - දේශපාලන උගුලේ නොවැටී, මේ අසීරු මොහොත ජය ගත යුතු බව අපි යළි යළිත් පෙන්වා දෙන්නෙමු!