Monday, July 31, 2017

CHAPA at Bogala, July 22, 2017, Part 1

සුජිත්! ඔබ මොනව ද දැන් කරන්නෙ?

හිතවත් සුජිත්! 
සුජිත් අක්කරවත්ත! 
මම එක පාරට ම මෙහෙම ඔබට ලියන්න කල්පනා කෙරුවෙ, ඔබ දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙ කතා ලියමින් ඉන්න බව කීප දෙනෙක්ම කියපු නිසයි. ඒ කතාව ඇත්ත ද? ඔබ සිංහල භාෂාව හසුරුවන්න දක්ෂ නිසා, එහෙම රාජකාරී කටයුත්තක්, ඔබට පැවරුණා වෙන්න පුළුවන්. 
ඒත් මේ ආරම්භ කරන්න සුදානම් වන සාකච්ඡාව ඒ වෘත්තීය සීමාවෙන් එපිට ට විහිදෙනවා.
ඔබ සිංහල භාෂාව ප්‍රමුඛ රටේ අනන්‍ය සංස්කෘතිය ගැන දිගින් දිගටම අදහස් ඉදිරිපත් කරන පුද්ගලයෙක්. රටේ ඉතිහාසය සහ විශේෂයෙන් ම බුදු දහම ගැන ඔබේ උනන්දුව මා දැක තිබෙනවා. ඒ ගැන, ඔබ ලියන සහ කතා කරන දේ ගැන මගෙ පුද්ගලික අධ්‍යනයකුත් තියෙනවා.
ඔබට මතකද ? 2010 ජනාධිපතිවරණය ට පෙර දවසෙ රාත්‍රිය! ඔබ සහ මම ඒ මොහොතෙ හිටියෙ Max රුපවාහිනී සජීව මැදිරියෙ, නුගේගොඩ. පහුවැනි දා පැවැත්වීමට නියමිතව තිබූ ඒ ජනාධිපතිවරණය ගැන අපි දීර්ඝ සජීව සංවාදයක නියැලුණා.
ඔබ, නම් සඳහන් නොකර, එහෙත් ඍජුවම පෙනී හිටියෙ ජෙනරාල් ( එදවස ) සරත් ෆොන්සේකා වෙනුවෙන්. ඔබේ මුලික තර්කය වුණේ, රට තුළ ඒකාධිපති දුර්දාන්ත පාලනයක් පවතින නිසා, එය පරාජය කළ යුතු බවයි. ඔබ එදා පාලනය විස්තර කෙරුවෙ, අශිෂ්ට අසික්කිත ක්‍රියාවලියක් ලෙසයි. ඊට එරෙහිව, ජාතික සම්මුතියක් ඇතිකරගත යුතු බව සහ එමගින් ශික්ෂාකාමී දේශපාලන ප්‍රවාහයක් ඇතිකළ යුතු බව ඔබ අවධාරණය කෙරුවා. ඔබේ අවසාන ඉලක්කය වුණේ, යහ ගුණය පිරි ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ස්ථාපිත කිරීමයි. ඒ සඳහා, මහින්ද රාජපක්ෂ ට එරෙහිව, ඒ මොහොතෙ ඔබේ තේරීම වුණේ සරත් ෆොන්සේකා.
මම, අද වගේම ඒ මොහොතෙත් කියමින් හිටියෙ, මේ පුද්ගල මාරුවෙන් රටේ කිසිදු වෙනසක් වෙන්නෙ නැහැ කියන එකමයි. රට වෙනස් කරන්න නං දීර්ඝකාලීන සමාජ පරිවර්තනයක් සඳහා ජනයා බලගන්වනන්න ඕන කියන යෝජනාව මම දිගට ම ඉදිරිපත් කරමින් හිටියා, ඔබට මතක ඇති. 
එය මම දකින්නෙ, වෙළෙඳපොළ බලවේගයක් බවට පත්වන ගෝලීය දේශපාලනයට එදිරි ඓතිහාසික අරගලයක් විදිහට.
ඔබ එදා, මිනිස්සුන්ට කිව්වෙ, උදෙන්ම ගිහිං තමන්ගෙ බලගතු ඡන්දය, ඔබ යෝජනා කරන තේරීම සඳහා පාවිච්චි කරන්න කියලයි. එය තමන්ට ලැබෙන අවසන් අවස්ථාව වගෙ අදහසකුත්, ඔබ ඔවුන්ට ඒත්තු ගන්වන්න උත්සහ ගත්තා. මම කියමින් හිටියෙ, ඡන්දය දැමීම කෙසේවෙතත් එයින් රට වෙනස් දිශාවකට හැරවෙන්නෙ නැහැ කියන එක. අපි දෙන්නම හැබැයි, ප්‍රචණ්ඩත්වය ට විරුද්ධව පෙනී හිටියා.
එදා සංවාදයෙන් පස්සෙ අපි කොහෙදිවත් යළි මුණ ගැහුණේ නැහැ. ඔබ එදා මෙදා කරමින් හිටපු දේ ගැනත් මම දන්නෙ නැහැ.
ඒත්, මම ඔබෙන් දැන් සරල ප්‍රශ්නයක් අහනවා! 
ඔබ එදා දිගින් දිගටම අවධාරණය කරපු, ''ජාතික සම්මුතියක් ඇතිකරගත යුතු බව, එමගින් ශික්ෂාකාමී දේශපාලන ප්‍රවාහයක් ඇති කළ යුතු බව, අවසන යහ ගුණය පිරි ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව'' මේ වනවිට ක්‍රියාවට නැංවී තිබෙනවා ද? එවැනි හෝඩුවාවක් හෝ ඔබට දැනෙනවා ද?
හැබැයි, ඔබ සම්බන්ධයෙන් මම දැනගත්තු අර ආරංචිය එහෙම නෙවෙයි නං ඒ කතාව පැත්තකට දාලා වුණත් අපට තවදුරටත් කතා කරන්න හුඟාක් දේවල් තියෙනවා.
හේතුව, මට අනුව නං අපේ රට වේගයෙන් යළි ගොඩ ගන්න බැරි මට්ටමේ අඳුරු අගාධයකට තල්ලු වෙමින් තියෙනවා!
එන්න! අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරමු! අපි කාටවත් මේ ඓතිහාසික සංවාදයෙන් ගැළවෙන්න බැහැ!
CHAPA 
2017ජුලි 31
 

Sunday, July 30, 2017

ඔව්! අපි කොහොමත් මැරිලා!

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි! කියලා ඔබ ලියනකොටම, නෑ! මේ, අප ඔබ වෙන් කෙරුණු නගරයයි! කියලා, අපි ඔබට වෙඩි තියලා මරා දැම්මා.
ඔබ කිව්වෙ, අපි වෙන්වෙමු අපේ රහස් අහස් තලයට පවරා! කියලා. 
ඔව්! අපි ඒක ඒ විදිහටම කෙරුවා.
ඔබ මරා දාපු කතාව සදාකාලික රහසක් විදිහට එහෙම ම හිස් අහස් තලයට පැවරුණා!
1989 ජුලි 31!
හරියට ම අද වගෙ දවසක්...
අනේ ඒ මූසළ දවස උදා නොවුණා නං!
ඔබ මරා දැම්මෙ, ජවිපෙ ද, හඩ්සන් සමරසිංහ ද තවත් කවුරුහරි ද කියලා අපි තවම හරියට දන්නෙ නැහැ. ඒත්, සහතිකයි! අපි ඔබට වෙඩි තිව්වා, ඔබ මරා දැම්මා. කිසිවෙකුටත් හිංසාවක් නොකරපු ඔබ, කතා කියමින්, ගී ලියමින් අප සැනසූ ඔබ, අපි මරා දැම්මා. 
අපට සමාව නං දෙන්න එපා!
ප්‍රේම්! ඔබ, වියෝව ගැන සහ විරහව ගැන අපට හුඟාක් දේවල් කියා දුන්නා. ඒත් ඔබට, ඔබේ වියෝව දැනුනෙ කොහොමද? 
මම දන්නවා ඒක හරිම නරුම ප්‍රශ්නයක්. ඒත් ඔබ දැනගෙන හිටියද, දවසක අපි ඔබට ඔහොම කරයි කියලා? තුවක්කුව ඔබට ඉලක්කය ගන්නකොට, ඔබ මොහොතක් ගොළු වෙන්න ඇති, ඔබට ගැඹුරු සුසුමක් පිටවෙන්න ඇති. ඔබ පොඩි දරුවෙක් වගෙ ඉකි ගහන්න ඇති, ඒත් වැළපෙන්න කලින් උණ්ඩය ඔබ පසාරු කරන්න ඇති!
ඔබ මරා දැම්මෙ ඇයි? අපි ජීවත්වෙන්නෙ ඇයි? ඔබ කළ සහ අප නොකළ වැරැද්ද මොකද්ද? මේ ප්‍රශ්නය හරිම බරපතළයි. මුළු මානව ඉතිහාසය පුරාම ඔබ වගෙ අය දස දහස් ගණනින් ඇති. 
දේශපාලනය, සමාජය, අරගලය, ජීවිතය!
අනේ ප්‍රේම්! මේ ගැන කතාකරන්න, ඔබ දවසක ආපිට එනව නං!? ඒත්, එපා! අපි අනිවාර්යනම ඔබට ආයෙත් වෙඩි තියයි, එක්කො එදා වගේම වෙඩි තියනවා බලාගෙන ඉඳියි! 
අපි දන්න ජීවිතයක් නැහැ! ඔව්! අපි කොහොමත් මැරිලා...
CHAPA 
2017 ජුලි 31

 

 

CHAPA at Bogala on ''lovely life!'', July 22, 2017

මාර කතා!

සමහරු කියනවා fb posts දදා ඉන්නෙ පාරට බහිමුකෝ! කියලා. තවත් අය, මම දැනටමත් යම් යම් සම්බන්ධතා පවත්වන, ජනප්‍රිය මාධ්‍ය ආයතන වලට බනිනවා, ඒවාට යන්නෙ මොකද? අහනවා.
මාර කතා!
2001 දි 'රාවය' පත්තරෙනුත් අයින් වෙලා, ඒ වන විට ආ ගිය ජනප්‍රිය මාධ්‍ය ආයතනත් අත් හැරලා 'නිදහස්' මාධ්‍ය දේශපාලන පෙරමුණක් ගොඩ නගන්න, මම පාරට බැස්සනෙ. ඊට පස්සෙ වීදි දිගේ, නගර අහුමුළුවල, ගම් පුරා, ඔය එහෙ මෙහෙ ඇවිදිමින් 'මිනිස්සු' බලගන්වන්න පටන් ගත්තනෙ.
''දැන් රාවයෙ නැතිලු නේද? වෙන රස්සාවක් කරනවද?''
''පත්තර විකුණලා ජීවත් වෙන්න අමාරු ඇති නේද?''
''ඇයි දැන් tv වැඩසටහන් වලට එහෙම කතා කරන්නෙ නැද්ද?''
''පත්තරේ රුපියල් විස්සක් නේද? මේක ඉතිං නොමිලෙ දෙන්න බැරිද?''
''මේක NGO එකක්ද?''
ඔන්න එතකොට අහන ඒවා!
2001 - 2011, අවුරුදු 10 ක් ම වගෙ ඔය ''මාර කතා!'' අහපු නිසා, දැනට මෙහෙම හොඳයි!
මාර කතා! තමයි...
CHAPA
2017 ජුලි 30

Saturday, July 29, 2017

ගමේ සුවඳ!

2017 ජුලි 26, පහු ගිය බදාදා, මම හිටියෙ කුලියාපිටියෙ.
ඊට කලින් කතා කරගත්තු විදිහට එදා රෑ මම බුද්ධික ගෙ ගෙදර ගියා. ADLanka ආයතන හිමිකරු, අරියදාස ත් ඒ ගමනට එකතු වුණා.
බුද්ධික පදිංචි ඒ නගරය ට යාබද තැනක.
බුද්ධික, බුද්ධික ගුණවර්ධන වැඩ කරන්නෙ විශ්‍රාම දෙපාර්තමේන්තුවෙ, ඔවුන්ගෙ වැඩමුළුවකට ආමන්ත්‍රණය කරන්න ලැබෙන අවස්ථාවක දී තමයි, මට ඔහු මුණ ගැහෙන්නෙ.
මේ ලියාගෙන යන්නෙ, ඔහු ගැන නෙවෙයි.
ඔහුත් ජීවත්වෙන ඔහුගෙ මහගෙදර ගැන. ඔහුගෙ අම්මා සහ තාත්තා ගැන.
ඔහුගෙ ගේ පිහිටලා තියෙන්නෙ හරිම නිස්කලංක වටපිටාවක, වටේට ම ගහ කොළ. හරිම සුවදායක යි. ගමේ සුවඳ ඒ හැමතැනම තියෙනවා. නගරයෙ හති වැටෙන ජීවිතය, මොන ජීවිතයක් ද! කියලා එහෙදි ඉබේම හිතෙන්න ගන්නවා.
බුද්ධිකගෙ අම්මා අපට රසම රස කෑම හදලා තිබුණා. ඇය ඉතාම කරුණාවන්ත අම්මා කෙනෙක්. තාත්තා ත් එහෙමයි. ඔවුන්ගෙ මනුස්සකම මට නං තවම හොඳටම දැනෙනවා. එදා රෑ එහෙ ගතකරන්න, වයඹ විශ්වවිද්‍යාලයෙ කථිකාචාර්යවරයෙක් වන කිත්සිරි ත් ගිහිං හිටියා. අපුරු මුණ ගැහීමක්.
කෑම කන්න කලින් බුධික, සර්පිනාව වයමින් ගී ගැයුවා. ඒ අතර ඒ ගීත ගැන විචාරයකුත් කෙරුවා. බුද්ධිකගෙ ගෙදර ඉන්න පූසා ත් ගෙදරම සාමාජිකයෙක් වගෙ. බුද්ධික කතා කරන, ගයන වයන දිහා එයා ත් බැරෑරුම් බැල්මක් දාගෙන බලාගෙන හිටියා, ''වරද්දන්න නං එපා පුතෝ!'' වගෙ ගතියක් ඒ බළල් ඉරියව්වෙ තිබුණා. කොච්චර සුන්දර රාත්‍රියක් ද?
අපි රෑට කාලා ඉවර වෙලා මිදුලට වෙලා සීනි අනෝදා ත් හොඳට කෑවා. පුදුම රසක්. බුද්ධිකගෙ අම්මා සීනි අනෝදා ගෙඩි කීපයක් ඒ වෙලාවෙම මට කඩලා ත් දුන්නා. මම ඒවා කාලා ඇට ටික අපේ වත්තෙ තැන තැන විසි කරනවා, ඒවා පැළ වුණා ම බුද්ධිකලාගෙ අම්මාට කියන්නංකො!
අපි එකිනෙකා සමුගත්තෙ එක විදිහක මිහිරි අත් දැකීමක් අහිමි වෙන හිස් හැඟීමකුත් එක්ක, ඔව්! ආයෙ දවසක එහෙ යන්න ඕනෙ!
CHAPA
2017 ජුලි 29

                                                                                         

CHAPA at Bogala on ''lovely life!'', July 22, 2017

Thursday, July 27, 2017


දැනුණා? බම්බුව!!

පහුගිය 24 වැනිදා රෑ වෙනකම්ම වගෙ අපි හිටියෙ ලිප්ටන් වට රවුමෙ, අපි කියන්නෙ ඉතිං සිය ගණනක්! ඒ අතර මම, විදර්ශන, භූපති, ඔවුන්ගෙ තවත් මිත්‍රයෙක් සහ තවත් පොදු මිත්‍රයෙක් ''බඩ ගිනියි...තේ එකක්වත් බොමු ද?'' කියලා දවටගහ පල්ලිය පැත්තට ඇවිදගෙන ගියා. පල්ලිය පැත්තෙම දෙවැනි කඩේට තමයි ඒ වෙලාවෙ අපි ගොඩ වුණේ.
කඩේ නං අන්තිම අපිරිසිදුයි, ඒත් පොඩි රස්තියාදුකාරකමක් එක්ක වෙනස් සාමුහික විඳීමක් හිතට දැනුණා.
''චාපා ගෙ මේ මැදිහත්වීම් ගැන ප්‍රශ්නයක් නැහැ, මං කියන්නෙ මේක පැහැදිලියි..ඒ වුණාට...''
විදර්ශන ඔන්න තේ බොන අතරෙ කතාවක් පටන් ගත්තා.
'' හරි, අපි ඒ ගැන කතා කරමු! ඉස්සර අපි කතා කරන්න ගිහිං එක් තැනක හිර වුණා, මතකද?''
මමත් ප්‍රතිචාර දක්වනවා.
''ඔව්! අපි කතා කරන්න ඕනෙ...''
මාක්ස්, සාත්‍රේ, සිමොන්...
''අපෝ මචං දැන්නං ඕක පටන් ගන්න එපා!''
''මේක වෙනම කේස් එකක්''
භූපති සහ ඔහුගෙ මිත්‍රයාත් අර අනිත් පොදු මිත්‍රයාත් පොඩි පොඩි කොටස් කතාවට එකතු කරනවා.
අපි කොහොමත් එතැන එච්චර වෙලා හිටියෙ නැහැ. ඒත් අපට තේ ගෙනත් දීපු මහත රවුම් මුණක් තියෙන මැදි වයසෙ පුද්ගලයා අපේ කතා බහ නිසා වෙනස් වෙනවා මම දැක්කා. අපි එළියට ඇවිත් අතිශය පුංචි වැඩකට ආයෙත් ඇතුළට යන අතරෙ ඔහුගෙ මුහුණෙ එක විදිහක අමුතු වෙනසක් මම හොඳටම දැක්කා.
''අපි කතා කරපු දේවල් නිසා ඔහු තුළ යම් වෙනසක් ඇති වෙලා?''
'' ඒත් ඒ කොහොමද?''
මම මගෙන් ප්‍රශ්න කරනවා.
'' ඔයගොල්ලෝ ඔය කතා කරන දේවල් අපිටත් තේරෙනවා, ඒත් මොනවා කරන්නද?''
ඒ එහෙම හැඟීමක් වෙන්න පුළුවන් ද?!
කොහොමහරි ඒ මුහුණ මට දැනුණා.
''දැනුණා? බම්බුව තමයි! බිල 350/- යි...ඉතුරු 650/- ගන්න අමතක වුණා! ඒක ඔන්න මං ගත්තා! හු...හු...''
ඇත්තම තමයි. අර මහත රවුම් මුහුණෙ අමුතු හැඟීම ඒකම වෙන්න ඕනෙ.
මට පහුවෙනිදා එක වෙලාවක එක පාරටම හිතුණා.  
ඔහු එදා බිල ගෙනත් දෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් ඒක ගෙවන්න උත්සහ කරන අතරෙ මම දාපු දාහෙ කොළයෙ ඉතුරු සල්ලි ආපහු ගෙනත් තිව්වාට ඒක ගන්න බැරි වුණා.
දැනුණා? බම්බුව!
CHAPA
July 26, 2017
                                                   

Saturday, July 22, 2017

   Dark Room?එළියට එන්න!


 
ඊයෙ ''ඩාක් රූම්'' බලන්න ලුම්බිණියට ගියා. නාට්‍යය ඉවර වුණාම, එහි නිර්මාණ කරුවා, නාලක හපුආරච්චි මට ආරාධනාවක් කෙරුවා, ඒ නාට්‍යමය අත්දැකීම ගැන අදහස් ඉදිරිපත් කරන්න කියලා. ඒ අවස්ථාව නං ඉතිං ටිකක් වෙනස්. 
කොහොම වුණත්, ඒ මොහොතෙ මම වේදිකාවට ගොඩ වෙලා ඉදිරිපත් කරපු අදහසේ දිගුවක් විදිහටම මේ සටහන තියන්න හිතුවා.
මේ වේදකා නාට්‍යය තුළ දිග හැරෙන්නෙ, වත්මන් ශ්‍රී ලාංකේය සමාජය හිරවෙලා තියෙන 'තැන' පිළිබඳ එක විදිහක විග්‍රහයක්. Dark Room හෙවත් කළුවර කාමරය ලෙස ඔවුන් පෙන්වා දෙන්න හදන්නෙ අන්න ඒ හිරවීම.
රාජ්‍ය, ආණ්ඩුව, ආගම් ප්‍රමුඛ සංස්කෘතිය, ආර්ථික විෂමතාව, පිරිමි ගැහැනු අතරින් මතුවන ලිංගිකත්වය වගෙ සාධක නාට්‍යය අන්තර්ගතයට සම්බන්ධ කරගෙන තියෙනවා.  ඒ විෂය පරාසය ඉතාම පුළුල්. රංගනයට සම්බන්ධ වුණු ශිල්පීන් අනාගතයෙ තව දුරටත් ගොඩනැගෙන්න නියමිත දක්ෂ අය. පසුතල නිර්මාණය, සංගීත සහ තවත් නාද රටා සුසංයෝගයත් හොඳ මට්ටමක තිබුණා. 
ඔව්! හොඳ උත්සහයක්!
ඒත් අර කලින් කියපු ''දේශපාලන විෂය පරාසය'' අදාළ නාට්‍ය පිටපත තුළ ග්‍රහණය වෙලා තියෙන විදිහෙ බරපතළ ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් විදිහට 'ආගම' දේශපාලනික විග්‍රහයකට ගන්නවා වෙනුවට සිද්ධ වෙන්නෙ, ක්‍රිස්තියානි කතෝලික සහ ඉස්ලාම් ආගම් ගැන යන්තමින් සඳහනක් කරලා, නාට්‍ය පුරාම වගෙ බුධාගමට විශේෂයෙන් පහර දීම. මේ තත්වය බරපතළ ප්‍රශ්නයක් වෙන්නෙ, ඒ අතර නිර්මාණය පුරාම සමලිංගනය සහ ඊටම අදාළ ලිංගික නිදහස ගැනත් අවිචාරවත්ව කතාකරන්න පටන් ගන්න නිසා. ඒ සඳහා යොදාගන්න සංනිවේදන උපක්‍රමත් යම් ප්‍රාථමික මට්ටමක තිබුණ නිසා සමහර වෙලාවට එක විදිහක ජුගුප්සාජනක ගතියකුත් මතු වෙන්න ගන්නවා.
මේ වෙලාවෙ, රට මත ක්‍රියාත්මක, රාජ්‍ය ව්‍යුහාත්මකව විකෘති කිරීමේ උත්සාහය සහ ඒ නිසාම, බුද්ධාගමට අවිචාරවත්ව පහර ගැසීම සහ එහි සංස්කෘතික ලක්ෂණ අවිද්‍යාත්මකව හෑල්ලුවට ලක් කිරීම මෙන්ම විශේෂයෙන්ම ඒ සඳහා සමලිංගනය සහ ලිංගික නිදහස ඉස්මතුකිරීම කියන දේශපාලන බලහත්කාරයනිසා මේ Dark Room ගැන යළි යළිත් කල්පනා කරලා බලන්න වෙනවා.
මේ එවැනි NGO වැඩක් නං, ඒ ගැන කතා කන්න දෙයක් නැහැ, ඒ දේශපාලනය ගැන කතාකරනවා මිසක්. හැබැයි, අත්දැකීම් අඩුකම සහ දැනුමේ සීමාවන් නිසා එහෙම වැඩකට අහුවෙන, යමක් ඇත්තටම කරන්න ඕනෙ කියලා හිතන තරුණ නිර්මාණකරුවන්ගෙ ගොඩට මේ නාලකලාත් වැටෙන්න ඉඩ කඩ වැඩියි. කොහොම වුණත්, සමාජය Dark Room එකෙන් එළියට ගන්න ඉස්සර වෙලා, ඒ ගැන නිර්මාණ කරන අය තමන් හිරවෙලා ඉන්න Dark Room එකෙන් එළියට එන්න ඕනෙ, නැත්තං ඔවුනුත් පවතින අර්බුදයෙම කොටසක් වෙනවා. පරිස්සමෙන්!
CHAPA 
2017 ජුලි 23
 


 

Tuesday, July 18, 2017

වැවයි දාගැබ යි ගමයි පන්සල යි! 

වැවයි දාගැබයි ගමයි පන්සල යි! කියන්නෙ, කවුරු කවදා නිර්මාණය කෙරුවත්, ඉතාමත්ම පුළුල් අර්ථයක් තියෙන සමීකරණයක්!
ඒ කියන්නෙ;
වැවයි දාගැබයි ගමයි පන්සලයි = තිරසාර සංවර්ධනය!
මේ තමයි මහින්දාගමනයෙන් පස්සෙ යළි සූත්‍රගතවන ලංකාව, එදා හෙළය.
බුදු දහම කියන, විශ්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණය හෙවත් ජීවිතය පිළිබඳ යථා අත්දැකීම, එදා ලංකාව ට එන්නෙ අශෝක අධිරාජ්‍යයාගෙ රාජ්‍ය දේශපාලන පණිවිඩයක් හැටියට. එය එවකට පැවති දෙවැනි පෑතිස් රජ සමය විසින් ඉතාමත් ම තර්කානුකූළ විදිහට ග්‍රහණය කරගන්නවා.
එදා හෙළය, භාරත දේශපාලනය හරහා එන 'බුද්ධාගම' තුළ තිබෙන ගැඹුරු විද්‍යාව ( අවිද්‍යාව ට එරෙහි! ) ඉතා හොඳින් වටහා ගන්න සමත් වීම, මුළු මානව සංහතියම ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම දක්වා ත් විහිදෙන ඒ ඓතිහාසික ක්‍රියාවලිය, මේ වනවිට අසම සම මහා දැනුම් පද්ධතියක් ලෝකයට දායාද කර තිබෙනවා.
එදා හෙළයෙ පාලන යාන්ත්‍රණය හෙවත් ලංකාවට අනන්‍ය ඓතිහාසික දේශපාලනය, වඩා මානවවාදී සහ විශේෂයෙන්ම ස්වභාවධර්මය සමඟ හොඳින් සුසර වන ආකාරයට ප්‍රතිසංවිධානය වෙමින් ගලාගෙන එන්නෙත් ඒ සන්දර්භය තුළමයි.
එදවස ගොඩ නැගුණු සහ අද අපට අහිමි වෙමින් යන, ගොවිබිම සහ ගොවිකම කියවා ගන්න නං මෙන්න මේ අතීතය හොඳින් කියවා ගන්නම වෙනවා.
බලන්න! ගංගා හරස් නොකළ, හෙළයෙ වැව් පද්ධතිය සහ ස්වභාව ධර්මය සමඟ සුසංයෝග වන මහා වාරි තාක්ෂණය. අපේ කෙත්වතු තුළ තිබුණු 'ජීවිතය' තමයි හෙළ සංස්කෘතිය විදිහට අපට කියවා ගන්න ලැබෙන්නෙ.
අපේ කුඹුරු තුළ දිය බැස්ම සකස් වී තිබුණු ආකාරයට පාංශු පෝෂණය තහවුරු කෙරුණා. ඒ ක්‍රමය තුළ වල් පැළෑටි තර්ජනය අවම වුණා. කෘමි උවදුර ත් ජෛව යාන්ත්‍රණය තුළ ම සමබර වුණා. ඒ අතර කුඹුර ඉස්මත්තෙ කුරුළු පාළුව ගැන හිතන්න!
මොන තරම් සුන්දර සහ විද්‍යාත්මක අත්දැකීමක් ද? ඉතිං ඒ වගා බිමෙන් පෝෂණය වන එදා ගම ගැන කුමන කතා ද?  ජෛවගෝලය සමඟ පෑහෙන ගොවිබිම සහ ගොවිකම, ස්වභාවධර්මය තුළ ජීවිතය, පන්සලේ ඝාන්ඨාර නාදය, සාමුහිකත්වය, සශ්‍රිකත්වය!
වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන්නෙ මේ සියල්ල! අපට මගහැරෙන සහ නුතන වෙළෙඳපොළ විසින් සැලසුම් සහගතව අපෙන් මඟ හරවන, ලාංකේය ජාතිකත්වයේ - මේ ඓතිහාසික සංස්කෘතික පාදම නිවැරදිව වටහා ගත්තොත්, 'ජීවිතය' සහ ජීවිතය නිරුපද්‍රිතව පවතින, ''නියම තිරසාර සංවර්ධනය'' මොකද්ද කියලා මුළු ලෝකයටම කියා දෙන්න අපට පුළුවන්!
CHAPA
July 19, 2017    

    

''මේ දරුවොත් දරුවො! තේරුණා ද?''

 අපේ ගෙවල් පැත්තටත් සතියකට දවසක් දෙකක් වඳුරො රංචුවක් එනවා, විශේෂයෙන්ම, කතා වෙලා වගෙ සති අන්තයට.
ඒගොල්ලො ගස් උඩින් ගස් අස්සෙන් එහාට මෙහාට පැන පැන අතු රිකිළි අග්ගිස්සෙ දළු කනවා. කෙසෙල් කැනක්, පැපොල් ගෙඩියක්, අඹ ගෙඩියක් ඉදිලා තිබුණොත් ඒවත් කනවා, ගෙඩි අරගෙනත් පැනලා දුවනවා.
වහලවල් උඩින් දුවනකොට තමයි මොකක් හරි අලාභ හානියක් වෙන්න ඉඩක් තියෙන්නෙ. එහෙම වෙලාවට ටිකක් කරදර වුණාට, ඒගොල්ලො එනකොට වට පිටාවට අමුතු පණක් එන ගතියක් තියෙනවා. වඳුරු ගැටව් වඳුරු ගැටිස්සියන්ට පේන්න වැඩ දානවා, පොඩි කට්ටිය එක එක අත් හදා බැලීම්. වැඩිහිටි අය රැළේ කට්ටිය ගැන ඇහැ ගහගෙන. ඒගොල්ලන්ගෙ නායකයා කියල හිතන්න පුළුවන් කෙනෙකුත් වරින් වර ඒ අතර දකිනවා. අම්මලා බබාලා තුරුළු කරගෙන එහාට මෙහාට යන එක තමයි මරු. ඒ අම්මලාගෙ මුහුණු වල පොඩි ආඩම්බර කමකුත් තියෙනවා. බබාලා නං මාරම බබාලා. අම්මගෙ පපුවෙ එල්ලිලා යන ගමනුත් හොරාට හොරාට කිරි උරනවා.
පුදුම ආසාවකින් ඒගොල්ලො කරන දේවල් බලාගෙන ඉන්න පුළුවන්.  ඒ වුණාට, එහා වත්තෙ ලස්සනට අතු පතර විහිදුවාගෙන හිටපු ලොකු කොස් ගස් දෙකේම අතු කපලා නිරුවත් කරලා, වඳුරො ඒ දිහා බලාගෙන හුල්ලනවා කියල මට දැනෙනවා. අපේ මිනිස්සු ගස් එක්ක තියෙන වෛරය, උන් කොහොම ඉතිං තේරුම් ගන්න ද?
අද අඟහරුවාදා. ඒත් අදත් ඒගොල්ලො ආවා. අපේ වහළ උඩින් වඳුරු අම්මා කෙනෙක් බබාවත් බඩේ බැඳගෙන, ටිකක් ලොකු තවත් බබෙකුත් මෙල්ල කර කර ඉස්සරහ ජම්බු ගහට මාරු වෙනවා මම බලාගෙන. ඒ අම්මා, ''මොකද බලන්නෙ?'' වගෙ බැල්මකුත් මගෙ පැත්තට දාගෙන ගියෙ. 
එක පාරටම, ඒ  ළඟ ගෙදරකින් රතිඥා පත්තු කෙරුවා. ඒ, ඒගොල්ලො එළවන්න. වඳුරු රංචුව ගැස්සුණා, හොඳටම බය වුණා. එයාලට යන්න එන්න පාර හොයා ගන්න ත් අමාරු වුණා. අර වඳුරු අම්මා, බය වෙච්ච පාර, ජම්බු ගහ ලඟින් ඇදෙන විදුලි කම්බියක් දිගේ එල්ලී එල්ලී වැටි වැටී ඇදි ඇදි යන්න පටන් ගත්ත. අර අනිත් බබාත් ඒ පස්සෙන් ඇදෙනවා. ඉතාම අනතුරු දායක ගමනක්! වලිගය අනිත් කම්බියෙ තවරුණා නං ඒ ගොල්ලො එතැනම ඉවර වෙනවා. දවසක් ඒ තැනම එහෙම දුක්බර සිද්ධියක් දැකපු නිසා මම හිස් වෙලා බලාගෙන හිටියා.
තුන්දෙනාම කොහොම හරි අනිත් පැත්තෙ කොස් ගහක අත්තකට ගොඩ වුණා. ඒ අම්මගෙ මුහුණෙ, හැසිරීමෙ තිබුණු තැති ගැන්ම! එතකොටම අර රතිඥා පත්තු කරපු ගෙදර තාත්තා, එයාගෙ පුංචි පුතාව උඩ දදා හුරතල් කරනවා. අර බයේ ගැහි ගැහි දරුවත් තුරුළු කරගෙන පැනලා යන වඳුරු අම්මාව පෙන්නන්න තමයි මේ පුංචි පුතාව උඩ දාන්නෙ.
ඒ සිද්ධිය නිකම්ම නිකං සිද්ධියක් නෙවෙයි! මොකක් හරි සියුම් වේදනාකාරී හැඟීමක් හිත තුළ තවම වැඩ කරනවා.
අර වඳුරු අම්මා, අනතුරුදායක ගමන ඉවර වෙලා, කොස් අත්තට ගොඩ වෙන ගමන් තමන්ගෙ පපුවට තුරුළු වෙලා ගුළි වෙලා ඉන්න දරුවගෙ ඔළුව ඉම්ඹා, මම හොඳටම දැක්කා. ඒ ගමන් අර උඩ දදා හුරතල් කරන මිනිස් දරුවා දිහාත් බැල්මක් දැම්මා. මොකද්ද ඇයට කියන්න ඕන වෙන්න ඇත්තෙ?
''මේ දරුවොත් දරුවො! තේරුණා ද?''
ඔව්! එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. අනේ මන්දා!
මේ සටහන මෙච්චරයි. වෙන මොනවා ලියන්න ද?
CHAPA
July 18, 2017
     

 

Saturday, July 15, 2017

        අනේ කුහුඹුවනේ! උඹලත් ඉතිං අපි වගේමයි... 

 ඔන්න, අපේ ගෙදර කිතුල් හකුරු දාලා තියෙන වීදුරු භාජනයට පුංචිම පුංචි කුඹී සේනාවක් ඇවිත්. ඒගොල්ලො යවන්න තියෙන එකම සරල ක්‍රමය තමයි, භාජනය අව්වෙ තියෙන එක. අව්වත් එච්චර සැර නැහැ හකුරු දියවෙන්න තරම්, ඉතිං භාජනය අව්වෙ තියල, මැස්සෙකුට එහෙම එන්න බැරිවෙන්න ලොකු දැල් පෙරණයකින් ආවරණය කරලම තිව්වා. වැඩේ හරි! අර පුංචි කුඹී සේනාව හෙමින් හෙමින් පරාජය භාර අරගෙන විසිර ගියා. ඒත් ටික වෙලාවයි ගියේ, කොහේදෝ ඉඳලා, ලොකු කුඹී සෙට් එකක් බය නැතුව ඇවිත් අර දැල් ආවරණය යටින් භාජනයට ඇතුළු වුණා.
මෙන්න ඒගොල්ලො, තමන් කලින් අරන් තියල තිබුණු හකුරු වගෙ, ලොකු කෑලි කෑලි උස්සගෙන කඩිසර ගමනින් ආපු පැත්තටම යන්න යනවා. ඒ මග නන්නත්තාර වෙලා ඉන්න පුංචි කුඹී ඒ ලොකු කුඹී දිහා බලාගෙන ඉන්න විදිහකුත් පේනවා. 
මාර වැඩේ!
''අපට තමයි ඔය සේරම නීති, උඹලට ඕන දෙයක් කරන්න පුළුවන්, ඈ!'' උන් එහෙම කියල හිත හදා ගන්නව ඇති.
'' අනේ පුංචි කුහුඹුවනේ! උඹලත් ඉතිං අපි වගේමයි...''
මම එහෙම කිව්වා! එයාලට ඇහුණා ද මන්දා!
CHAPA 
July 16, 2017

Thursday, July 13, 2017

   ආදරණීය දෙරණ!

ඒ, 2015 මැද එක දවසක කලබලකාරී උදෑසනක්!
මරදාන මායිමේ විපුලසේන මාවත දිගේ රිය පදවාගෙන යන අතරෙ මට අහම්බෙන් වගෙ, ඒ පාර අයිනෙ නිවහනක වාසය කරන නිහාල් ශ්‍රී අමරසේකර, පරණ වැඩිහිටි හිතවතෙක්! මතක් වුණා. ඔහු, යම් නමක් හදා ගත්ත, වරලත් ගණකාධිකාරිවරයෙක්. අවුරුදු ගණනකට පස්සෙ ඉතිං කිසිම විශේෂ හේතුවක් නැතුව, ඔන්න මම ඔහු බලන්න ගියා. ඒත් ඔහු ඒ දවස්වල විදේශගත වෙලා. එතකොට මට නිකමට වගෙ ඔහුගෙ පුත්‍රයා මතක් වුණා. වරක් හෝ දෙවරක් ඒ ගෙදරදීම අපි අහම්බෙන් වගෙ හම්බවෙලා තියෙනවා. ඔහු, සර්වජන. ඔහුත් ඒ මොහොතෙ එහෙ හිටියෙ නැහැ. මට නිකමට හිතුණා ඔහු මුණ ගැහෙන්න.
ඒ වෙනකොට ඔහු Triad නම් වූ වෙළෙඳ ප්‍රචාරණ ආයතනයට සම්බන්ධව සිටින බවත් එතැන දි දැන ගත්තා. ඉතිං අපි මුණ ගැහුණා. එදා තමයි මට ඒ ව්‍යාපාර ජාලයෙ ප්‍රධානියා, දිලිත් ජයවීර මුණ ගැහෙන්නෙත්.
අන්තිමට ඒ මුණ ගැහීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම, ඒ ව්‍යාපාර ජාලයටම අයත් දෙරණ නාලිකාව ට ගොඩ වදින්නෙ.
මේ සටහන ඉතිං, ආදරණීය දෙරණ ගැන!
දෙරණ, නුගේගොඩ - දෙල්කඳ හන්දිය ට යාබද ව පවත්වාගෙන යන කාලයෙ, 'අවකාශය' නමින් එහි විකාශය වූ වැඩ සටහනකට දවසක් මටත් ආරාධනාවක් ලැබුණා. වැඩසටහන කෙරුවෙ නාරද බක්මීවැව. එය සොඳුරු අත් දැකීමක්!
ඊට අවුරුදු ගණනාවකට පස්සෙ යළිත් දෙරණ හරහා ජනතාගත වෙන්න මට අවස්ථාවක් හැදෙන්නෙ, ඔවුන් සංවිධානය කරපු, ''අලුත් පාර්ලිමේන්තුව'' හරහා. ඒ වන විට ඔවුන්, දැනටත් පදිංචි කොළඹ, ඩාර්ලි පාරෙ අලුත් තැනට ඇවිත් තිබුණා. මම ත් සහභාගී වුණු මුල්ම ''අලුත් පාර්ලිමේන්තුව'' වැඩසටහන, නාරාහේන්පිට ට  ආසන්න චිත්‍රාගාරයක දි ඔවුන් කලින් රූ ගත කෙරුවා. ඒ දවස මට තවම හොඳට මතකයි. ඒක දැවැන්ත වැඩක්! වැඩසටහන පටන් ගන්න කලින් දිලීත් සහ දෙරණ සභාපති ලක්සිරි ත් එහෙ ඇවිත් හිටියා. මාධ්‍ය ක්‍රියාන්විතය භාරව ඉන්න මාධව ත් හිටියා වගෙ මතකයි. විවිධ ශිල්පීන් සමඟ 30 - 40 ක විශාල පිරිසක්, කඩි  ගුලක් ඇවිස්සිලා වගෙ. නුතන තාක්ෂණික උපකරණ, උණුසුම් පිළිගැනීම්. මිත්‍රශීලී සංග්‍රහ.
ඒ සෙසු සියල්ල අමතක වුණු 'අමුතු ම' මොහොතක්!
අලුත් පාර්ලිමේන්තුව නිෂ්පාදක කණ්ඩායමේ ප්‍රධානියා, ප්‍රසාද්, වැඩසටහන ඉදිරපත් කරන ඩිල්කා සහ තවත් හුඟාක් මිත්‍රයො එදා තමයි මට මුළින් ම මුණ ගැහෙන්නෙ. නිෂ්පාදනය ට සහය වුණු කුමාර ලියනගේ ත් අවුරුදු ගණනාවකට පස්සෙ මුණ ගැහුණා. ඔවුන් ගෙ ඒ බලපොරොත්තු සහගත සුන්දර මුහුණු කවදාවත් අමතක නොවන විදිහට එදා මගෙ හිතේ ඇඳුණා.  ඔය අතරින් ප්‍රසාද් විශේෂයි. අපි, එදා මෙදා තුර දිගටම - ඉතාම හොඳ සංවාදයක ඉන්නවා. සුහද සාකච්ඡා, උණුසුම් වාද විවාද මැද අපි, ජනප්‍රිය මාධ්‍ය භාවිතය තුළ යමක් කරන්න උත්සහ ගන්නවා.
කොහොම වුණත් එදා ඒ අරම්භයත් එක්ක අද මේ වෙනකොට මම ත් නොදැනීම ඔවුන් සමඟ, අද දෙරණ Insight දක්වා සෑහෙන දිග ගමනක් ඇවිත් තියෙනවා.
මේ සටහන ලියන්න ඉතිං මා තුළ ඇතිවන විශේෂ පෙළඹවීම කුමක් ද?
ඔබ කල්පනා කරනවා, මම දන්නවා.
දෙරණ, මාධ්‍ය ආයතනයක් විදිහට, මේ ගෙවන 'මොහොත' අතිශය තීරණාත්මකයි, අන්න ඒ මොහොත තුළ ජීවත්වීමට උත්සහ කිරීම තමයි මා තුළ මේ පෙළඹවීම ඇතිකරන්නෙ.
ටිකක් ඉන්න! මම මෙහෙම කියන්නං!
'දෙරණ' කියන්නෙ, මට අනුව මහා මිනිස් ජවයක් සාමුහිකව පණ දෙන, සමාජ අවකාශයක් - දේශපාලන අවකාශයක්. මරදානෙ, ඩාර්ලි පාරෙන් හැරිලා, දෙරණ පිහිටුවා තියෙන ඉපැරණි ගොඩනැගිල්ලට ඇතුළු වෙලා, 4 වැනි මහළ ට යන්න විදුලි සෝපානයට ගොඩ වෙනකොට ම මට නං වෙනස් අමුතු හැඟීමක් ඇති වෙන්න පටන් අරන්. නිදහස, විවෘත බව, සාමුහිකත්වය, පිළිගැනීම, සුහදත්වය, සංවාදශීලීබව...ඔය ඔක්කොම එකට මුහු වුණු චමත්කාරජනක සිතුවිල්ලක්! ඒ වෙනස් වර්ණය, ඉඳ හිට ගොඩවෙන, නවම් මාවතේ පැත්තක පිහිටා තියෙන ඔවුන්ගෙම Triad ආයතනය පුරාමත් මට දැනෙනවා. එහෙම බලනකොට මේ සියල්ල වෙනස් සහ අපුරු ගොඩ නැගීම්. ඇත්තටම, අපි රටක් හැටියට මේ නවමු 'බිහිවීම්' අධ්‍යනය කරන්න ඕනෙ. ඒ අතර, දෙරණ ඉදිරිපත් කරන සමහර ජනප්‍රිය වැඩ සටහන් ගැන මගේ දැඩි විවේචන තියෙනවා. ඒත් එක්කම, ජනප්‍රිය වෙළෙඳපොළ ඉල්ලුම සමඟ තම පැවැත්ම වෙනුවෙන් ඔවුන්ට කරන්න සිද්ධ වෙන අරගලය ගැනත් හොඳට දන්නවා. හැම මාධ්‍ය ආයතනයකටම, තම පැවැත්ම හදා ගන්න සිද්ධ වෙන්නෙ, පවතින මේ කටුක යථාර්ථය සමඟ ගැටෙමින් ම තමයි. ඒ ඉතිං තවත් සංවාදයක්!
මම මේ ගොනු කරන්න හදන මුලික අදහස ඊට වෙනස්!
දෙරණ තුළ පවතින අනිවාර්ය මානව නිදහස සහ විවෘත බව, එහි මහා මිනිස් ජවයත් එක්ක තව දුරටත් නිර්මාණශීලීව ගළපා ගත්තොත්, මේ යන ගමන තවත් ශක්තිමත් වෙයි. අර්ථාන්විත වෙයි.
දෙරණ සහෘදයන් ට මේ කියන්නෙ!
මේ මොහොත මග හරින්න නං එපා!
ඔව්! ආදරණීය දෙරණ! සමඟ ගමන ඉක්මන් කරන්න! මේ ඔබේ මොහොත හෙවත් ඉතිහාසය තුළ ඔබට හිමි මොහොතයි!
CHAPA
July 13, 2017


 

 

2017 07 13 (සිද්දමුල්ල)

Saturday, July 8, 2017