Sunday, June 25, 2017

මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසමට ලියමි!

2017 ජුනි 21 දා, SAITM ජාවාරමට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු පියවරක් නොගන්නා පසුබිමක සහ ආණ්ඩුව, එකී ජාවාරම් කරුවන් ආරක්ෂාකරන පසුබිමක, ඊට එරෙහිව විරෝධතා දක්වමින් අදාළ අමාත්‍යවරයා මුණගැසීමට, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වුණු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, STF ප්‍රමුඛ විශේෂ පොලිස් බල ඇණියක් ම්ලේච්ඡ අකාරයෙන් පහර දෙන ආකාරය මේ වනවිටත් ජනමාධ්‍ය ඔස්සේ සමාජ ගත වි අවසන්.
( මේ සමඟ ඕබෙ අවධානයට යොමු කරන්නේ, එදින හිරු නාලිකාව ඉදිරිපත් කළ අදාළ ප්‍රවෘත්තියේ උපුටා දැක්වීමකි ).
මේ පහරදීමට අදාළ රූප රාමු හොඳින් පරීක්ෂා කරන විට, එකී පොලිස් භටයන් චේතනාන්විතව, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හානිකරන අරමුණෙන් පහර දෙන බවත්, විශේෂයෙන්ම ඔවුන්ගෙ හිස් එල්ලකරමින් දරුණු බැටන් ප්‍රහාර එල්ල කරන බවත් සනාථ වේ. මේ මොහොතට සම්බන්ධ වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිරායුධ බවත් ඔවුන්, කිසිවෙකුගේ ජීවිත හානිකිරීමට හෝ මහජන දේපොළ හානිකිරීම ට නොපැමිණි බවත්, සමස්ත සිදුවීම් මාලාව පරීක්ෂා කරන විට, පැහැදිලි වේ.
ඒ අනුව, එකී විරෝධතාකරුවන් ගේ මානව හිමිකම් ඉතා බරපතළ ලෙස උල්ලංඝනය වී තිබෙන බව අවිවාදිතය. මෙම ක්ෂණික ප්‍රහාරය ට අණදීමෙන්, අදාළ දේශපාලන බල අධිකාරිය සහ ඊට සහභාගිවීමෙන් සහ එකී අණ, තම සිතැඟි පරිදි පිළිපැදීමෙන්, අදාළ පාර්ශ්වයන්, බරපතළ අපරාධයක් සිදුකර තිබේ. විශේෂයෙන්ම, අදාළ ස්ථානයෙන් ඉවත් වෙමින් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන් පහරදෙන ආකාරය අනුකූල වන්නේ රටේ කුමන නීතියකට ද?
මැරයින් ලෙස ක්‍රියාකරන මේ පොලිස් භටයන් නිදහසේ සිටිද්දී, විවිධ චෝදනා නගමින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන නීති ආධිපත්‍යයක් යටතේ ද?
මේ සම්බන්ධයෙන්, ඔබ ට පැමිණිළි ලැබුණත් නැතත් සමාජ යුක්තිය වෙනුවෙන් ඊට මැදිහත්වීම ට, මහජන මුදලින් නඩත්තු වන ඔබේ ආයතනවලට අනිවාර්ය වගකීමක් තිබේ!
මේ සම්බන්ධයෙන් ඔබ ගන්න ක්‍රියාමාර්ග කවරේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු!
CHAPA
June 25, 2017

CHAPA against the Police Attack on University Students !

Wednesday, June 21, 2017

SAITM විරෝධය!

June 22, 2017

Love in Politics! ( Ada Derana, June 21, 2017 )

   අරගලය ඉදිරියටම!

පාලකයිනි!

මේ ශිෂ්‍ය මැදිහත්වීම අවතක්සේරු කරන්න එපා!
ආණ්ඩුව හිතනවා නං ශිෂ්‍ය මර්දනය හරහා SAITM ඇතුළු බරපතළ ප්‍රශ්න යට ගහන්න, ඒ වැරදිලා!
සිද්ධ වෙන්නෙ එකම එක දෙයයි, ඊළඟට මතු විය හැකි ශිෂ්‍ය කැරළි සහ ඒ මත ක්‍රියාත්මක වෙන්න නියමිත මිලිටරි බලය නිසා, 71, 88 - 89 වගෙ තවත් තරුණ ජීවිත සිය දහස් ගණනක් රටට අහිමි වේවි! එච්චරයි...
පාලකයිනි!
උඹලාට ඕන ඒකද?

ම්ලේච්ඡ පහර දීමක්! 

ආණ්ඩුවේ මේ අමන ප්‍රතිචාරවලින් සිසු අරගලය තව තවත් ශක්තිමත් වෙනවා! යළි පිළිසකර කරන්න බැරි මහා ඓතිහාසික අපරාධයක් සිද්ධවෙනවා!

මාර වැඩේ කියන්නෙ කොල්ලනේ, මේ වැඩිහිටියන්ට උඹලාට තේරෙන සරල යථාර්ථය තේරුම් ගන්න බැහැනෙ!
ඒ මදිවාට, එදා වේල හරියට සරි කර ගන්න බැරි, නැති බැරි අන්ත අසරණ එවුනුත් අහනවනෙ, මොකද්ද ප්‍රශ්නය කියලා! සල්ලිවලට ඉගෙන ගත්තට මොකද, සල්ලි දීලා බෙහෙත් ගම්මුකො කියලත් කියනවා, කිසි දෙයක් නිකං දෙන්න හොඳ නැහැ කියලත් ඒ අස්සෙ කියනවා.
එක්කො මුන් මරු කියවනවා වෙන්න ඇති!
 පාලකයිනි!
උඹලා 71 විශාල තරුණ සංහාරයක් කෙරුවා. 88 - 89 ඊළඟට. ඒ මිනී පිච්චෙන පුළුටු ගඳ අතීතයෙන් වර්තමානයට ගලාගෙන ඇවිත්, අනාගතයට රිංගන්න මේ හදන්නෙ.
මේ තරුණ ජීවිත එක්ක කරන සෙල්ලම නවත්තපල්ලා!
උන් උඹලාගෙන් ඉල්ලන්නෙ, වඩා සාධාරණ සහ යුක්තිගරුක රටක්. කඳුළු ගෑස් ගහලා, පොලිස් පොලු වලින් තඩි බාලා, උන්ගෙ ඔළු පළලා උඹලාට ලැබෙන්නෙ මොනවාද?
උඹලාට ඉතිහාසය තුළ කවදාවත්ම සමාවක් නං ලැබෙන්නෙ නැහැ!
CHAPA
2017 ජුනි 21


CHAPA against SAITM, life or death! May 15, 2017, Thangalla

Monday, June 19, 2017

  ඥාණසාර හාමුදුරුවන් ට ලියමි!


මේ මොහොත වන විට, ඔබ වහන්සේ ඉන්නෙ කොහෙද? කරන්නෙ මොනවද? කියල මං දන්නෙ නැහැ. ජනමාධ්‍ය ඔස්සෙ පේන ඇහෙන විදිහට නං, පොලිසිය ඔබ වහන්සේ ව අත් අඩංගුවට ගන්න හොයන අතරෙ ඔබ වහන්සේ කොහේ හරි සැඟවිලා ඉන්නවා.
ඒ අතර, ජනමාධ්‍ය තුළ මේ ගැන වැඩි වැඩියෙන් ප්‍රවෘත්ති මැවෙන්න පටන් ගන්නවා. පක්ෂ විපක්ෂ සෑහෙන පිරිසක් මාධ්‍ය කැමරා සහ මයික්‍රෆෝන් ඉස්සරහා ඔබ වහන්සේ ගැන විවිධ අදහස් ඉදිරිපත් කරමින් ඉන්නවා. 
සිංහල බෞද්ධ මතවාදයක් සහ එවැනි ජනතාවක් නියෝජනය කරන බව කියන, පාඨලී චම්පික රණවක සහ උදය ගම්මම්පිල ඇතුළු යම් සෑහෙන පිරිසකුත් ඒ අතර ඉදිරියෙන්ම ඉන්නවා.
මේ පසුබිම තුළ, ඔබ වහන්සෙගෙ භූමිකාව පිළිබඳ ''පොදු විග්‍රහයෙ, හරය'' මෙහෙම වෙන් කරගන්න කෙනෙකුට පුළුවන්;
1. රටේ සිංහල බෞද්ධ ජනතාව සහ ඊට සම්බන්ධ ජාතික උරුමයන් වෙනුවෙන් මෙන්ම ඊට එරෙහි අන්තවාදී මැදිහත්වීම්වලට එරෙහි අවංක මැදිහත්වීමක්.
2. ඉහත ( 1 හි සඳහන් ) සටන් පාඨය පෙන්වමින්, කලින් කලට විවිධ ''පක්ෂ දේශපාලන ව්‍යපෘති'' දියත් කිරීමක්.
3. ඊනියා ජාත්‍යන්තර උවමනාවන් වෙනුවෙන්, රට අවුල් කරන ඒජන්තවරයෙක්.
4. ඉහත සඳහන් 2 - 3 එකතුවක්.
මේ පිළිබඳ කියවීම කොහොමත් අයිති ඉතිහාසයට!
ඒ අතර, අවසානයේදී, මේ නිර්මාණය වී තිබෙන තත්වය කුමක් ද? රටට වැදගත් වෙන්නෙ එයයි.
රට මේ මොහොත වනවිට, එක පැත්තකින් දරුණු ආර්ථික ඝාතනයකට ලක් වෙමින් තියෙනවා. ඒ දේශපාලන කුමන්ත්‍රණයෙම කොටසක් විදිහට, තවත් පැත්තකින්, රාජ්‍යය දුර්වල කෙරෙන ව්‍යුහාත්මක වෙනස්කම් ක්‍රියාවට නැංවෙමින් තියෙනවා. 
දෙමළ බෙදුම් වාදය සහ මුස්ලිම් ව්‍යප්තවාදය කියවගන්න වෙන්නෙ මෙන්න මේ ''මූලික තත්වය'' තුළ. 
1960 දශකය වගෙ වෙනකොට දෙමළ සන්නද්ධ ව්‍යාපාරවල මුල් බීජ වැටිලා, අන්තිමට බිහිසුණු LTTE සංවිධානය නිර්මාණය වුණෙත්, එය මිලිටරිමය විදිහට පරාජය වෙනකොට, රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ඒ 'කොන්ත්‍රාත්තුව' භාර ගන්නෙ ත් අන්න ඒ දීර්ඝ කාලීන පසුබිම ට අදාළ ව තමයි. 
මේ කුමන්ත්‍රණකාරී දේශපාලනය, හරියටම ගත්තොත්, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහට පවතින කාලය හරහාත් ඉස්සරහට එනවා. එහි ඓතිහාසික මූලයන් තවත් එපිටට. තීරණාත්මක තැන තමයි, ලංකාවට ඡන්ද බලය ලැබෙන සහ ඒ නිසාම ජාතිය මුල් කරගත්තු පක්ෂ බිහිවෙන්න අවශ්‍ය පදනම වැටෙන හරිය. 
මේ '' ආගන්තුක දේශපාලනය'' ලංකාව බෙදා පාලනය කරන්න හොඳටම හොඳ බව එදා 'සුද්දා' දැනගෙන හිටියා. 
1948 න් පස්සේ ඇරඹෙන නව යටත් විජිත පාලනය තුළ, මේ අදටත් ක්‍රියාත්මක වෙන්නෙත් අන්න ඒ දේශපාලනය ම තමයි.
රටට සිද්ධවෙන්න යන මේ මහා ඛේදවාචකය හරියටම තේරුම් ගත්ත දේශපාලනඥයින් ඒ මඟ අතරින් පතර හිටියා. CWW කන්නංගර ඒ අතර ප්‍රධානයි. ඔහු එදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉස්සරහට එන්නෙ ''අනාගත ශක්තිමත් ජාතියක්'' ගොඩනගන්න. 
''Lasting Value to the Nation! - ජාතියට නියත වටිනාකමක්!''  කන්නංගර න්‍යාය! 
හිතන්න, අදටත් කිසි කෙනෙක්, කන්නංගර ජාතිවාදියෙක් කියල නං කියන්නෙ නැහැ. එදා ඔහු හඳුනවා දීපු සහ අද වන තෙක් මේ රට මෙහෙමවත් කෙළින් තියාගන්න හේතු වුණු ප්‍රධානම සාධකය, ''නිදහස් අධ්‍යාපනය'' මේ වෙනකොට ක්‍රමනුකුලව දියකර දැමෙමින් තියෙනවා. සිංහල බෞද්ධයො එහෙම නං පොළොවෙ පස් කාලා, ඒ වෙනුවෙන් සටන් කරන්න එපායැ! එහෙම වෙනවද?
රටේ කෘෂි ආර්ථිකය නගා හිටුවන්න ඕන කියලා කල්පනා කරපු DS සේනානායකලාත්, ඒ අර්ථයෙන් නං, ඒ 'ජාතිය ගොඩනගන්න දායක වුණු'' ලැයිස්තුවට ගන්න පුළුවන්. අතීත සිංහල ලෝකය මහා වංශයක් බවට පත් කරපු, රජවරුන්ගෙ ස්වීය ගොවිකම! අඩු තරමෙ DS ලා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා.
මේ සංවාදය තවත් පුළුල් කරන්න, නිකමට, පුරාවිද්‍යා ගවේෂක සෙනරත් පරණවිතාන ගැන හිතන්න. ඔහු මතුකරමින් හිටපු ''ලංකාවට අනන්‍ය ඉතිහාසය'' ලෝකය පිළිගත්තෙ නැද්ද?
එහෙම ගත්තොත් සුනිල් ශාන්ත ලා, එදිරිවීර සරත්චන්ද්‍ර ලා, මහගම සේකර ලා, අමරදේ ව ලා, තවත් විවීධ වෘත්තිකයන් සහ කලා කරුවන් සිය දහස් ගණනක්, එදා - මෙදා, මේ මෑත ඉතිහාසය තුළ, ''නුතන ජාතිකත්වයක්'' වෙනුවෙන් වූ, තම තමන්ගෙ ඓතිහික කාර්යභාරය සම්පුර්ණ කරලා තියෙනවා.
මේ කතාව ඔබ වහන්සේට අදාළ නොවෙන්න පුළුවන්!
ඒත්, කරන්න ඕනෙ ජාතිය ගොඩනගන එක, එතකොට ජාතිවාදි බෙදුම්වාදි ප්‍රශ්න එන්නේ නැහැ. සිංහල බෞද්ධ ගුරුවරු, ( අඩුම තරමෙ තමන්ගෙ ජාතියෙ දරුවන්ට ) උගන්වන්න අවංකව ම මහන්සි වෙනවද? අනෙක් වෘත්තිකයො? තම තමන් නියැලී සිටින ක්ෂේත්‍ර තුළ වත්! 
මේ රට ගොඩනගන්න පුළුවන් කෘෂිකාර්මික පදනමකමයි. කෝ? මොන සිංහල බෞද්ධ බලවේගය ද ඒකට මැදිහත්වෙන්නෙ? 
මම, දේශපාලන ක්‍රියාකාරිකයෙක් විදිහට මුහුණ දෙමින් සිටින තිත්ත අත්දැකීමක් ගැනත් කියන්න මට දැන් ඉඩ දෙන්න!
ලංකාව වැව් බැඳී රාජ්‍යයක්! සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ගොඩ නැගෙන්නෙ ම ජලය මුල් කරගෙන. ගමයි - පන්සලයි - වැවයි - දා ගැබයි කියන්නෙ අන්න ඒ සංස්කෘතික ආර්ථික සුත්‍රය. කොටින්ම, ලංකාව, ජලයෙන් පෝෂණය වුණු සංස්කෘතික මධ්‍යස්ථානයක්. මේ වෙනකොට, රටේ සියලු භූ ගත සහ මතු පිට ජලය ( ජල සම්පත්! ) ඒකක මිලකට නතු කරලා, විකුණුම් භාණ්ඩයක් බවට පත් කරන්න සැලසුම් ක්‍රියාත්මක වෙනවා, ඔබ වහන්සෙ දන්නව ද? මේ තමයි එහෙම ගත්තොත් සිංහල බෞද්ධකමේ මළ ගම! මොන බෞද්ධ බලවේගය ද! මොන බෞද්ධයා ද! මේ මහා ආර්ථික අපරාධයට විරුද්ධ වෙන්නෙ? 2000 අවුරුද්දෙ සිට මම කකුල් ගෙවෙනකම් ඇවිද ඇවිද මේ ගැන මිනිස්සුන්ට කියනවා. අතින් වියදම් කරගෙන ''ජල රකුසන්ට එරෙහිව!'' පොත ලියලා මුද්‍රණය කරලා නොමිලෙ ත් බෙද බෙදා මිනිස්සුන්ට කතාව කියනවා, කාටද මේක දැනෙනනෙ? ඒ පොතට විරුද්ධව, NGOs කල්ලියක්, 5 දෙනෙක් වෙනුවෙන් කෝටි 15 ගණනෙ අපහාස වන්දි ඉල්ලලා නඩු දැම්මා, එහෙම නං සිංහල බෞද්ධයො අධිකරණය වටකරන්න එපායැ! කෝ? කවුරුවත් ආවෙ නැහැ, මම විතරයි! 
අපට ඕන ඇති රටක්, ජාතියක් නැහැ! චම්පිකලා, උදයලා...ඔය තවත් අය සිංහල බෞද්ධ විදිහට සුදු ඇඳගෙන කරන්නෙ පට්ට බොරුවක්!
ඔබ වහන්සෙ අයිතිවෙන්නෙ අර ඉහත සඳහන් 1. විග්‍රහයට නං, ගන්න තිබුණෙ ජාතිය ගොඩ නගන ප්‍රවේශයක්. ඔබ වහන්සේ කොහොම හිතාගෙන හිටියත්, දැන් වෙලා තියෙන්නෙ, 2., 3. හෝ 4. අතර දෙයක්. එතකොට සිංහල ජාතිය තවත් පුංචි වෙනවා, ඊනියා ජාත්‍යන්තරය ඉදිරියෙ. ඔය රාජ්‍ය නොවන සංවිධාන නඩයට ඕනෙ අන්න ඒ දේ තමයි. 
දැනටමත්, නෝර්වේජියානු සහ තවත් විදේශ කණ්ඩායම්, ලංකාවෙ ආගමික නිදහස නැහැ සහ ඒ මර්දනය ක්‍රියාත්මක කරන්නෙ හාමුදුරුවරු කියන එක තහවුරු කරන්න අවශ්‍ය සාක්ෂි හදනවා. ඒ සඳහා, ඔවුන් යොදා ගන්නෙ ඔබ වහන්සේ ප්‍රමුඛ හාමුදුරුවරුන් ගෙ විවිධ ක්‍රියාකාරකම්. ඒ වෙනුවෙන් නිෂ්පාදනය කරන විවිධ විඩියො පට ඔවුන් අන්තර්ජාලය ට මුදා හැර තියෙනවා. 
එතකොට, ඔබ වහන්සේ දැන හෝ නොදැන ඔය කරන්නෙ ඓතිහාසික වැරද්දක්!
අපි මේ ගැන තව දුරටත් විවෘතව කතා කරමු!
CHAPA 
June 20, 2017

 

Sunday, June 18, 2017

නිදහස් by CHAPAbandara: උමා ඔය! ඉතිං අපිට සමාවක් නැහැ නේද?පිදුරුතලාගල කන්ද...

නිදහස් by CHAPAbandara: උමා ඔය! ඉතිං අපිට සමාවක් නැහැ නේද?පිදුරුතලාගල කන්ද...: උමා ඔය! ඉතිං අපිට සමාවක් නැහැ නේද? පිදුරුතලාගල කන්දෙන් පැන නගින උමා ඔය, මහවැලි ගඟේ අතු ගංගාවක්. 'උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය...

නිදහස් by CHAPAbandara: උමා ඔය! ඉතිං අපිට සමාවක් නැහැ නේද?පිදුරුතලාගල කන්ද...

නිදහස් by CHAPAbandara: උමා ඔය! ඉතිං අපිට සමාවක් නැහැ නේද?පිදුරුතලාගල කන්ද...: උමා ඔය! ඉතිං අපිට සමාවක් නැහැ නේද? පිදුරුතලාගල කන්දෙන් පැන නගින උමා ඔය, මහවැලි ගඟේ අතු ගංගාවක්. 'උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය...

CHAPA with Berny

Thursday, June 15, 2017

තවත් කතා...


''මෙතුමාව දන්නවා නේද?''
දවස් දෙකක් විතර කතා බහ කරපු පුද්ගලයෙක්, තවත් පුද්ගලයෙක් එක්ක ඇවිත් මාව පෙන්නලා අහනවා.
''ම්ම්ම්...''
මිත්‍රයාගෙ මිත්‍රයා කල්පනා කරනවා.
''ඇයි අනේ...මතක නැද්ද? ඔයා දන්නවා...හොඳට බලන්න...''
''ටෙලි නාට්‍යයවල වගෙ...''
අර පුද්ගලයා අනුමාන කරන්න පටන් ගන්නවා.
''ඔයා හොඳට කල්පනා කරලා බලන්න...මෙයා මට වඩා දේශපාලනය ගැන දන්න කෙනෙක්...''
දවස් දෙකක් හම්බ වෙච්ච මිත්‍රයා තමන් ගෙ මිත්‍රයා ට කියන ගමන් මටත් කියනවා.
''ම්ම්ම්...ෆිල්ම්ස්වල වගෙ...''
''මෙයාට වෙලා තියෙන්නෙ...එක පාරටම මේ වගෙ තැනකදි ඔබ තුමාව දකියි කියල හිතන්නෙ නැහැනෙ...ඒකයි...''
අර අමුත්තා මගෙ මුණට එබීගෙන අහස පොළොව ගැට ගහන්න වගෙ කල්පනා කරනවා. අර මිත්‍රයාට කේන්ති ත් වගෙ. ඔහු තමන්ගෙ සගයාගෙ පිටට තට්ටුවක් දාන ගමන් මෙහෙම කිව්වා.
''අයියෝ!...මේ අපේ මහින්ද මහත්තයාට...''
''මොකක්?''
ඒ මගෙ හඬ.
''නැහැ...නැහැ...මං මේ කිව්වෙ...''
ඔහු තවත් මොනවද කියන්න හදනවා.
''අපි මෙතෙක් කතාකරපු දේවල් වලින් ඔයා කිසිම දෙයක් ඔළුවට අරගෙන නැහැනෙ, ඔයා කිව්වනෙ මගෙ වැඩසටහන් දිගටම බලනවා කියල...ඊටත් අපි කොච්චර දේවල් කතා කෙරුව ද? ඇයි මේ?''
මම තදින් අහන්න පටන් ගන්නවා.
''ඒ මිනිහගෙ හැටි...එයා මහින්ද මහත්තයාට පණ දීගෙන හිටියෙ...තාමත් එහෙමයි...ඉතින් කවුරු හරි මොනවා හරි කියනකොට ඒකෙන් මහින්ද මහත්තයාට වාසි දේවල් විතරයි ඔළුවට ගන්නෙ...ගණන් ගන්න එපා!''
ඒ ප්‍රතිචාරය, මේ මුල් මිත්‍රයා දවසක මට හඳුන්වලා දීපු මිත්‍රයාගෙන්.
''එහෙම මිනිසුත් ඉන්නවා එහෙනං ?''
මම ඇහුවා, ඇහුවා කිව්වට නිකං කියැවුණා
ඔය අස්සෙ දවසක මට දුරකථන ඇමතුමක් ආවා.
''ඔබ තුමා පාර්ලිමේන්තුවෙ මොකක් හරි කතාවක් කරනව ද?''
ඒ, කාලයකට කලින් මුණ හැහුණු විශාමික බැංකු නිලධාරියෙක්, ඔහු කතා කෙරුවෙ කලබලයෙන් වගෙ.
''පාර්ලිමේන්තුවෙ?''
''ඔව්! ඔව්! අපේ මේ නෝන මහත්තයා කිව්වෙ..අනේ මම අර කියපු වැඩේ...අපේ පුතාගෙ බේකරියෙ වැඩේ...ඇමතිතුමාට කියලා...''
ඔහුගෙ හඬ උනන්දුයි, හැඬුම්බරයි.
''නැහැ අනේ! මම කොහොමද පාර්ලිමේන්තුවෙ කතා කරන්නෙ? අනෙක මම ඔය කාගෙන්වත් උදව් ඉල්ලන්නෙ නැහැ කියලා ඔයා හොඳටම දන්නවා නෙ...''
''එහෙනං මේ නෝන කියන්නෙ ඔබ තුමා...මොකද්ද මේ අලුතෙන් පාර්ලිමේන්තු යන කතාවක් ටීවී එකේ ගිය කතාවක් කෙනෙක් කිව්වා කියලා...''
''අයියෝ!..අලුත් පාර්ලිමේන්තුවද? ඒ දෙරණ ටීවී එකේ දේශපාලන වැඩසටහනක්...''
''ආ...එහෙමද?''
ඔහු හෙමින් කිව්වා.
ඉන්න! තවත් පුංචි කතාවක් තියෙනවා කියන්න.
ඒ පහු ගිය මැයි දිනය දා, රෑ.
''ඇත්තටම මේ සුරාකෑම නිසා ලෝකයටම අසාධාරණයක් වෙලා තියෙනවා...''
එක ව්‍යාපරික මිත්‍රයෙක් කියන්න පටන් ගත්තා. ඔහු දක්ෂ සහ සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ දවස්වල ඔහු තමන්ගෙ ව්‍යපාරික ස්ථානයෙ හොඳට පේන තැනක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙ ලොකු ඡායාරුපයක් එල්ලගෙන හිටියා, පස්සෙ ඒ ළඟින්ම වර්තමාන ජනාධිපතිවරයා ගෙ ඡායාරුපයත් එල්ලුවා. අන්න එහෙම මොළයක් තමයි ඔහුට තියෙන්නෙ.
ආ! අර දුරකථන ඇමතුම ගැන...
වෙනදා මම ඔහොම කතා පටන් ගන්නකොට කිසිම උනන්දුවක් පෙන්නන්නෙ නැති මේ මිත්‍රයා හොඳටම වෙනස් වෙලා. කට හඬත් බැරෑරුම්.
''ඔයා ඉතිං ඔය වගෙ දේවල් ගැන උනන්දු නැහැනෙ...මටත් නොකියා කියන්නෙ මොකක් හරි කරගෙන සල්ලි ටිකක් හොයාගෙන පාඩුවෙ ඉන්න කියල නෙ...''
''එහෙම කියන්න එපා! අපි මේ ගැන හිතුවෙ නැති වුණාට...මුළු ලෝකයෙම ධනවත්ම පුද්ගලයො සුළු පිරිසකගෙ ඒක පුද්ගලික ආදායම් වල එකතුව... සමස්ත ලෝක ජනගහනයෙ ඒක පුද්ගලික අදායම් වල එකතුවත් එක්ක බලනකොට...''
ඔහු විස්තර කරන්න පටන් ගන්නවා. වෙනදා මම, දැන් ඔහු වෙලා. මාර ම වැඩක්!
''අපි මේ ගැන දිගටම කතා කරන්න ඕනෙ...''
ඔහු අවසානයට කිව්වා.
''මොකද්ද ඉතිං ඔයාගෙ අරමුණ?''
''මම කියන්නෙ...අපට ලැබෙන ලාභයෙන් අවශ්‍යම ප්‍රමාණය තියාගෙන අනිත් ඒවා වැඩකරන අයට බෙදලා දාන්න ඕනෙ....''
''එතකොට ඉතිං ඔයා, ඔයාගෙ බිස්නස් එක දියුණු කරන්නෙ කොහොමද?''
''අපි දියුණු කරන්න ඕනෙ මිනිස්සු!''
ඔහු තදින්ම කිව්වා.
මම දිගටම කල්පනා කෙරුවා. ඔහු හොඳටම වෙනස් වෙලා. ඒ කොහොමද? අපි අවුරුදු ගණනාවක් එක දිගට කතාකරපුවා ඔහුගෙ හිතට කාවැදිලා වගෙ! ඒත් මේ හදිසියේම? එහෙම වෙන්න පුළුවන් ද?
ප්‍රශ්න පේළියක්.
''ඔය කියන විදිහට වැඩකරන අයට ලාභය බෙදන ක්‍රමය මොකද්ද?''
ඒ පහුවෙනිදා උදේ.
''ඒ කිව්වෙ?''
දුරකථනය එහා පැත්තෙන් ඔහු අහනවා.
''ඔයා ඊයෙ කිව්වා විදිහට...''
''ඊයෙ?...ඊයෙ...මම ඔයාට කතා කෙරුවද? ආ...ඔව් නේද...අපි සෙට් එකක් පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා..වැඩේ ටිකක් රෑ වෙන්නම ඇදිලා ගියා..ඔව්, ඔව්...මම ඔයාට call කෙරුවා නේන්නං...මම මොකුත් වැරදි දෙයක් කිව්වෙ නැහැ නේද?''
''නැහැ නැහැ..එහෙම නැහැ...''
''අපි මොනවා ගැනද කතා කෙරුවෙ? ආ ...මට මතකයි...ම්ම්ම්ම්...''
''හරි හරි..අපි පස්සෙ වෙලාවක කතාකරමු...''
මාර ම වැඩක් නේන්නං!
CHAPA
2017 ජුනි 16








Saturday, June 10, 2017

පත්තර මිටිය හොරු අරං!


මේ මාත් එක්ක ඉන්නෙ ''ගමගේ අංකල්'', ජීවත් වෙන්නෙ කඩුවෙල. වයස 79 ක්. දැන් නිතර නිතර මුණ ගැහෙන්නෙ නැති වුණත්, ඔහු දිග කාලයක් 'නිදහස්' පුවත්පත ත් එක්ක වැඩ කෙරුවා, ඔහු තමයි පත්තර බෙදා හරින්නෙ. එහෙම කිව්වට ඒක එච්ච්චර ලේසි වැඩක් නෙවෙයි. බස්වල, කෝච්චිවල සහ ත්‍රී රෝද රථ වල පත්තර අරගෙන ගිහිං ඒ ඒ පත්තර තට්ටුවලට දාන එක, එකතු වෙච්ච් මුදල් ගණන් බලලා අරන් එන එක, ඒවා ගැන සටහන් තියා ගන්න එක.. තමයි ඔහුගෙ රාජකාරිය. ඔහු ඒ වැඩ ටික හරියටම කෙරුවා. ඔහු මේ වැඩ පටන් ගන්නකොටත් වයස 60 ගණන්. ඔහුගෙ සේවයට සාධාරණ ගෙවීමක් කරන්න පුළුවන් වුණත් ඒ දායකත්වය මුදලින් මනින්න බැහැ.
දහසක් කරදර බාධක සහ අභියෝග මැද එන 'නිදහස්' ගමනෙ, මේ ගමගේ අංකල් නොමැකෙන මතක සටහනක්.
අපි ඒ වෙනකොට පත්තර මුද්‍රණය කෙරුවෙ සීමිත ප්‍රමාණයක් නිසා එකක මිල වැඩියි. 

පත්තරයක් 27/- ට මුද්‍රණය කරලා, 20/- ට විකුණලා, එකෙනුත් 6/- ක් පත්තර මුදලාලි අරං අපට එන්නෙ 14/- යි.
මාර බිස්නස් එකක්!
ඉතිං ඒ පාඩුව පියව ගන්න සහ අනෙක් නඩත්තු වියදම් වලට මැරීගෙන වැඩ කරන්න වුණා.
ඔව්! අපි කෙරුවා, දශකයකට ආසන්න කාලයක්.
මරදානෙ Design Systems මුද්‍රණාලයෙන් තමයි ඒ මුද්‍රණ කටයුතු කෙරුවෙ. ඔවුන් ගැනත් වෙනම කතා කරන්න ඕනෙ. රාජිත (මංජු) රාජපක්ෂ සහ අජිත් අබේනායක කියන්නෙ එහි ප්‍රධානින්. 'නිදහස්' වැඩේ ඔවුන්ට ලාභ අරං දීපු වැඩක්ම නෙවෙයි. ඒ දායකත්වය නැති වුණා නං, එච්චර දිග කාලයක් ඒ ගමන එන්න බැහැ.
ඔව්! 'නිදහස්' අපි නියම කණ්ඩායමක් විදිහට වැඩ කෙරුවා. ඒ කණ්ඩායමේ වැඩිහිට්ම සාමාජිකයා තමයි මේ ගමගේ අංකල්. නිතර හිනාවෙලා ඉන්න ඔහු හරිම සුන්දර මිනිහෙක්. මම ඕන තරං බැණලා ඇති, එත් කවදාවත් මාත් එක්ක තරහා ගත්තෙ නැහැ.ටික වෙලාවක් මුණ එල්ලගෙන වගේ ඉන්නවා. එච්චරයි.
දවසක් ගමගේ අංකල් ලොකු පත්තර මිටියකුත් අරන් රෑ කෝච්චියෙ අනුරාධපුරේ ගියා. එළිවෙන අතේ මට දුරකථන ඇමතුමක් ආවා.
'' මගේ පත්තර මිටිය හොරු අරගෙන ගිහිං, මේ දැන් ටිකකට ඉස්සර වෙලත් මෙතන තිබුණා..මට ටිකක් නින්ද ගියා, ඇහැරිලා බලනකොට...''
ඔහු කලබලයෙන් කියන්න පටන් ගත්තා.
''එහෙමද? කමක් නැහැ ඒ ගොල්ලො ඒවා බෙදයි...ඔයා කොළඹ එන්න...''
''කමක් නැද්ද?''
''කමක් නැහැ අනේ! බලන්න හොරුත් දැන් අපේ පත්තරේ කියවනවා...''
''ඔයාට නං විහිළු!''
ගමගේ අංකල් ට ටික දවසක් යන තුරු ඒ වේදනාව හිතේ තිබුණා මතකයි. තමන් හොරකං කෙරුවෙ පත්තර මිටියක් කියලා දැන ගත්තට පස්සෙ අර හොරුන්ට හිතුණෙ මොකද්ද කියලා නං මම තවම කල්පනා කරනවා.
මේ සටහන තියන්න හිතුවෙ පහුගිය අවුරුද්දට ඔහු මුණ ගැහුණු නිසා යළි අවදි වුණු මතකය අතීතයට එකතු කරන්න!
ගමගේ අංකල් ට දීර්ඝායුෂ!
2017 ජුනි 11
CHAPA

CHAPA at Habarana Village, Sept 18, 2016

Friday, June 9, 2017

  රටේ කේන්දර බලන්න නං එපා!


ජ්‍යෝතිෂය කියන්නෙ යම් විද්‍යාත්මක ( පර්යේෂණ කළ යුතු! ) පදනමක් තියෙන එක විෂය පද්ධතියක්. මේ, ඒ ගැන නෙවෙයි.
දේශපාලනය ගැන!
දේශපාලනය කියන්නෙ, මිනිස්සු - අපි, දියුණු සංවාදයක් තුළ ගොඩනගන්න නියමිත ලෝකය. ඒ ලෝකය ට යන පාර. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා නං, ධනවාදය සමඟ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය ගළපා ගන්නෙ කියන සංවාදය ආරම්භ කරන්න ඕනෙ, මේ දැන්, මේ මොහොතෙම.
අපේ දේශපාලනඥයන්ට මේ විද්‍යාව නොතේරෙන නිසා තමයි තමන්ගෙ සහ රටේ කේන්දර බලන්න පටන ගන්නෙ. හොඳම සහ ආසන්නතම උදාහරණය තමයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඔහු අත්දැකීම් බහුල පුද්ගලයෙක් වෙලත් අර සුමනදාසට අහුවෙන විදිහ බලන්න! ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැනත් ඔය විදිහෙ කතා සෑහෙන්න තියෙනවා. පොදුවෙ අපේ දේශපාලන නියෝජිතයො ඉන්නෙ දේශපාලන විද්‍යාව සමඟ නෙවෙයි, ජ්‍යොතිෂයත් සම්බන්ධකර ගන්න මිත්‍යාවන් එක්ක. ඒ මිත්‍යාදෘෂ්ටීන් කෙළින්ම ජනතා පැවැත්මට බලපානවා.
2020 මැතිවරණයට දැන් මේ කේන්දර කට්ටිය සුදානම් වෙනවා. ඔවුන්ගෙ තැරැව් කාරයො වෙනම, ජනමාධ්‍ය ආයතන අනිත් පැත්තෙන්. අපි දැන්වත් මේ මෝඩ වැඩ අත් හැරලා දේශපාලනය කරමු ද?
CHAPA
2017 ජුනි 10

Tuesday, June 6, 2017

             කටාර් කොටුකරලා ත්‍රස්තවාදය මර්දනය කරන්න බැහැ!

 

ISIS ප්‍රමුඛ ත්‍රස්තවාදයට සහය දෙන බවට චෝදනා ලබන කටාර් රාජ්‍යයට එරෙහිව, ලිබියාව, ඊජිප්තුව, සෞදි අරාබිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, මාල දිවයින සහ මුරුසි දිවයින, මේ වනවිටත්, තම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත් හිටුවා තිබෙනවා. මේ අනුව, සැලකියයුතු ආහාර අර්බුදයකට ද මුහුණ දෙමින් තිබෙන කටාර් රාජ්‍යය, බරපතළ අර්බුදයකට තල්ලු වෙමින් තිබෙනවා. අවට ගුවන් සීමාවන් සීමාකොට ඇති බැවින් කටාර් ගුවන් ගමන් පවා අඩාල වී තිබෙන පසුබිමක, මේ සිදුවීම් පෙළ ලෝක දේශපාලන අර්බුදයකට පරිවර්තනය වෙමින් තිබීම අරුමයක් නෙවෙයි.
ඔව්! ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි!
ඒ අනුව කටාර් රාජ්‍ය, ත්‍රස්තවාදයට සහය දක්වන්නේ නම් අනිවාර්යයෙන්ම මෙවැනි දඬුවමකට ලක්විය යුතුමයි. ඒත්, පවතින ඇත්ත තත්වය මීට වෙනස්.
මේ අප අත්විඳිමින් සිටින්නෙ ''ඛනිජ තෙල්'' මුල් වූ ගෝලීය පරිමාණ අපරාද දේශපාලන ක්‍රියාවලියක තවත් එක සිදුවීමක් පමණයි.
මේ කතාවෙදි තෙල් ලේ බවට පත් වෙනවා!
වර්තමාන කතාවෙ කතානායකයා ඇමරිකා එක්සත් ජනපදය. ඊළඟට, G6, G7, G8...ආදී වශයෙන් සංවිධානය වන ලෝක බලවතුන් යැයි කියා ගන්නා ඔවුන්ගේම තවත් කණ්ඩායමක්, එක්සත් ජාතීන්, යුරෝපා සංගමය සහ තවත් එකඟතා එතැනම. ත්‍රස්තවාදය බිහි වෙන්නෙ මෙන්න මේ ලෝක දේශපාලනයෙ අනිවාර්ය අංගයක් හැටියට. කොටින්ම ඔවුන්, තම දුෂ්ට උවමනාවන් සඳහා, ත්‍රස්තවාදය නිර්මාණය කොට පෝෂණය කරනවා. අන්තවාදී ආගමික ජන කොටස් එහි නරුම ගොදුරැ බවට පත් වෙනවා. ඊට ප්‍රධාන හේතුව ඔවුන්ගෙ නූගත්කම.
පහුගිය දවස්වල, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකානු නායකයා, ජාත්‍යන්තර කැමරා ඉදිරයේ, අරාබි කඩු නැටුමක් නටන්නෙත්, මේ වෙලාවෙ කටාර් කොටු කෙරෙන්නෙත් එකම තිර පිටපතකට අනුව.ඒ අනුව, කෙනෙක් හිතනවා නං මේ විදිහට ISIS ප්‍රමුඛ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය වෙයි කියලා ඒක මහා පිස්සුවක්.
හැබැයි එක දෙයක් පැහැදිලියි!
මේ හැම එකාම, නිහඬව බලාගෙන ඉන්න අපිත් ඇතුළුව, යම් දවසක, ත්‍රස්තවාදයෙ ගොදුරු බවට පත්වෙන්න නියමිතයි! ප්‍රශ්නය තියෙන්නෙ ඒ දවස කවදා ද කියන එක විතරයි!
CHAPA
June 7, 2017

Monday, June 5, 2017

  ජුනි 5! ලෝක පරිසර දිනය ලු!


අද ත් ජුනි 5! අවුරුද්ද 2017...
අද දවස, නම් කරලා තියෙන්නෙ ලෝක පරිසර දිනය හැටියට. ඇත්තටම, මේ පරිසරය කියන යෙදුම ම වැරදියි. අපි හදන්නෙ, අපි අයිති නැති සහ අපෙන් පිට පරිසරය කියල මොකක් හරි හිතාගෙන අන්න ඒක ආරක්ෂා කරන්න, ඒකත් ඇත්තට නෙවෙයි, බොරුවට, තවත් එක බොරු ව්‍යාපෘතියක් විදිහට. 
අපි මොන මොන තර්ක විතර්ක ඉදිරිපත් කෙරුවත්, මුළු පෘථිවියම මේ වෙනකොට තියෙන්නෙ ක්‍රමානුකුලව සිද්ධවෙන මහා විනාශයක මුව විට.
විද්‍යාව හා තාක්‍ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන මානව ශිෂ්ටාචාරය, දිනාගත්තු දේ වගේම අහිමි කරගත්තු දේත් අපමණයි. හරියටම බැලුවොත්, මිනිස්සු විදිහට අපි බොහෝ දේ අත්පත් කර ගන්න අතර තුරම 'ජීවිතය' අහිමි කරගෙන. අපට අප අහිමිවන කල ඉතිං තවත් ඉතුරු වෙන්නෙ මොනවද?
එතකොට 'සංවර්ධනය' කියන්නෙ මොකද්ද? ජීවිතය අහිමි කරගැනීම ද?
මේ බරපතළ සංවාදය අපි දැනගෙනම මග හරිනවා! එහෙම නං අපට මොනවද ඕනෙ?
අප ජීවත්වන මේ මිහිතලය, එන්න එන්නම ස්වභාවික ව්‍යසනයන් ට ගොදුරුවන ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ බොහෝ ව්‍යසනයන් පිටිපස්සෙ තියෙන්නෙ මිනිස් දෑත්. සැප වෙනුවෙන් දුක නිර්මාණය කරන මිනිස් දෑත්.
අපි, ලාංකිකයො හැටියට මේ පුංචි කොදෙව්ව දිහා බලමු!
අපි මේ මොනවද කරමින් ඉන්නෙ? මහා වන වියන් විනාශ කරනවා, ගංගා ඇළ දොළ මරලා දානවා, කඳු සමතලා කරලා දානවා, භූ විෂමතා සහ ජෛව විවිධත්වය නොසලකා හැරලා අපට ඕන ඕන ඊනියා සංවර්ධන කටයුතු කරනවා. අපි කවුරුවත් කිසිවකටත් කිසිවෙකුටත් වග කියන්නෙ නැහැ. 
බලන්න! ලංකා පැරණි ඉතිහාසය පුරාවටම තියෙන්නෙ ස්වභාවධර්මය සමඟ සහසම්බන්ධයක් ගොඩ නගන මහා සංවර්ධන කටයුතු. ගංගා අවහිර නොකරන මහා වැව් විද්‍යාව සහ කෘෂි කලාව තමයි ඊට හොඳම උදාහරණය. අපි ඒ අතීත උරුමයට 'කොචෝක්' කරන තකතීරු නූතනයො. 
''අපේ නූතනත්වය තමයි අමනකම'' 
අපට වරදින තැන ගැන, මේ 'ගොන්කම' නිසාම තවම හරි හැටි අවබෝධ කරගන්න බැහැ. කතාව කෙටියෙන් මෙච්චරයි. අපේ අතීත සටහන් හරහා රට සංවර්ධනය කරන දියුණු ක්‍රම හොයා ගන්න පුළුවන්කම එහෙමම තියෙද්දි, පරාජය වුණු බටහිර සංවර්ධන ව්‍යපෘති හිස මත තියාගෙන පිස්සු කෙළින අපට ඉතිං ජීවත් වෙන්න රටක් නං ඉතුරු වෙන්නෙ නැහැ, අන්තිමට, අපි කාටවත් පවතින්න බැහැ!
එහෙම නං, අපෙන් පිට, පරිසරය කියල යමක් බොරුවට ආරක්ෂා කරන්න කතා කරනවා වෙනුවට, අපත් ඇතුළු ස්වභාව ධර්මය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම තමයි කරන්න ඕන. පරිසරය ආරක්ෂා කරන්න නෙවෙයි, 'අපි' ආරක්ෂා කරගන්න සහ ''අපේ පැවැත්ම'' තහවුරු කරගන්න කියලවත් හිතාගෙන වැඩ කරන්න පටන් ගත්තොත් ඔන්න යහපත් යමක් සිද්ධවෙයි. ඒත් ඉතිං කාටද එහෙම ඕනෙ?
අපි ඉතිං උත්සහ කරමු!
එහෙම නං ජීවත් වෙන්න පටන් ගනිමු! ඒත් ඉතිං අපි මැරිලා දැන් හුඟාක් කල්, එතකොට?!
2017 ජුනි 5

Sunday, June 4, 2017

  එන්න! අපි එකතු වෙමු!


ජාතිවාදී, ආගම්වාදී සහ වෙනත් අන්තවාදී ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කරමූ! ත්‍රස්තවාදයට හෝ වෙනත් ප්‍රචණ්ඩත්වයකට හිස ඔසවන්න ඉඩ නොදෙමු!
අපි ඒ වෙනුවට ප්‍රබුද්ධ දේශපාලන සංවාදයක් ගොඩනගමු! ඒ සමඟම සමාජ සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටිමු!
CHAPA
2017 ජුනි 5
සුසන්තිකා ජයසිංහ ට ලියමි,

සුසන්තිකා!

දැන් ඉතිං ඔබ ඔය අතේ තියෙන රිදී පදක්කම වෙන්දේසි කරනවා ද ?
ඔබ ගැන දැන් නොදන්නෙ කවුද? ඔබ ධාවන ශුරියක් විදිහට බොහෝ ජයග්‍රහණ ලබා ගෙන අවසානයෙ ඔලිම්පික් නියෝජනය කරමින් තම මව් රටට ලබා දුන් රිදී පදක්කමේ අභිමානය කාටද අමතක කරන්න පුළුවන්. ඒ රිදී පදක්කම, නිකම් ම නිකං ලෝහ කැබැල්ලක් නෙවෙයි.
එය, ඔබ නිසා, ඔබේ මව් රටට ලැබුණු මිල කරන්න බැරි අභිමානයක සංඛේතයක්!
ලාංකේය මහ පොළොවෙ සාරයෙන් සහ එහි සංස්කෘතික රිද්මයෙන් ඉපිද පෝෂණය වී ශක්තිවන්තියක් වුණු ඔබ, එක දවසක වෙල් ඉපනැල්ලෙන් පටන් අරගෙන, ඔලිම්පික් දක්වා දුවපු දුර!
ඔබේ ඒ දිග ගමන ගැන ලියන්න වචන මදි සුසන්තිකා! ඔව්! ඔබ ආසියානු වෙළඹ ම තමයි!
ඒත් මම, ඔබට චෝදනා කරනවා!
ඒ ජග්‍රාහී ආසියානු වෙළඹ අන්තිමට ඔබම පරාජය කළා! කොටින්ම සුසන්තිකා ජයසිංහ කියන ක්‍රීඩිකාව, සුසන්තිකා ජයසිංහ කියන ගැහැනියට පරාජය වුණා.
ආපහු හැරිලා බලන්න, ජීවිතය දිහා. ඔබට ජීවිතය කළමනාකරණය කරගන්න බැරි වුණා. විවිධ පාලකයො, විශේෂයෙන්ම දේශපාලන බල අධිකාරිය හරහා ඔබට අසාධාරණකම් සිද්ධ වෙන්න ඇති, ඔබ ඒවාට ආත්ම ශක්තියෙන් මුහුණ දෙන්නත් ඇති. හැබැයි, පොදුවෙ රටේ ජනයා, විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔබව ඔසවාගත්තා. ඒ අතරෙ, විවිධ වෙළෙඳ බලවේග සහ දේශපාලන ව්‍යපෘති තුළ ඔබ 'පාවිච්චි' වුණු අවස්ථාත් තිබුණා. මම, පුද්ගලිකවම ඒ අත්දැකීම් විඳපු ජනමාධ්‍ය කරුවෙක්.
ඔබ ඔලිම්පික් දිව්වෙ 'කහපටියක්' පැළඳගෙන. මතකද? ඒ, එදා චන්ද්‍රිකා පාලනයට එරෙහි, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ  'ස්වර්ණබන්ධන' ව්‍යාපාරයෙ සංඛේතය. සටන් මධ්‍යස්ථානය තමයි 'රාවය'. ඒ දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණු කාලයෙ මමත් වැඩ කෙරුවෙ රාවයට තමයි. ඔබ නොදන්නවා වුණාට, ඔබ එදා ඔලිම්පික් පදක්කම අරං ලංකාවට එන වෙලාවෙ, කටුනායක සිට කොළඹ විහාර මහාදෙවි උද්‍යානය දක්වා,  ඔබව කැටුව ආ රිය පෙරහැරේ පෙරගමන් වාහනයෙ, ප්‍රචාරණ නිවේදන කටයුතු කරමින් ආවෙ මම යි.
ඒ කතාව මෙතැනට අදාළ නැහැ ඉතිං, කොහොම වුණත්.
අපි නැවත අපේ මාතෘකාවට එමු!
ඔබ එදා මෙදාතුර 'ජීවිතය' කළමනාකරණය කරගන්න අපොහොසත් වෙලා. විශේෂයෙන්ම ඔබේ ආර්ථිකය! ඔබ රටට විශාල කීර්තියක් ලබා දෙන අතරෙ, ඔබටත් සෑහෙන දේවල් ලැබෙන්න ගත්තා, විශේෂයෙන්ම ආර්ථික වාසි. මුළු ජීවිත කාලයම හොඳින් පවත්වාගෙන යන්න අවශ්‍ය ආර්ථික පදනම ඔබට වැටුණා. ඒත් කවදාවත් ඔබ සෑහීමකට පත්වෙන පාටක් පෙනුනෙ නැහැ.
අන්තිමට ඔබ, දැන්, තමන් ලබාගත්ත ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසියෙ විකුණනන්න කතා කරනවා.
ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර කියන විදිහට ඔබට අමාත්‍යංශයෙන් මාසිකව 60 000/- ක් දැනටමත් ගෙවනවා. 2020 දක්වාත් ඊට පස්සෙත් ඒ ගෙවීම කෙරෙනවා ලු. ඔහු කියන්නෙ, ක්‍රීඩාවට අදාළ ව්‍යාපෘතියක් ඔබට භාර දුන්නත් ඔබ එය නොසලකා හරිනවා කියලා.
ඇත්තටම ඔබ මේ රටේ ක්‍රීඩාව නගා හිටුවන මොනවද දැන් කරන්නෙ? ඇයි තවත් සුසන්තිකා ලා හදන්න මැදිහත් නොවන්නෙ?
ඔබට ලැබෙන්න ඕන දේවල් ගැන කියා කියා ඉන්නවා මිසක්, ඔබෙන් තවදුරටත් රටට වෙන්න ඕන දේවල් ගැන අවධානය යොමු නොකරන්නෙ ඇයි?
සුසන්තිකා! ඔය විකාර කතා නවත්තලා, රට ගොඩනගන, රටේ ජනතාව ගොඩනගන සහ විශේෂයෙන්ම ක්‍රීඩාව නගා හිටුවන්න මොනවාහරි කරන්න! හෙට පමා වැඩියි, අදම පටන් ගන්න!
CHAPA
2017 ජුනි 5

   Enough is Enough! ලු !


කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීලා, ඒ කුරිරු ත්‍රස්තවාදයට ලංකාව ගොදුරුවෙන හැටි බලමින් fun ගත්තු, ලංකාව, ජීවිත ලක්ෂ ගණනක් පුජා කරලා, ස්වශක්තියෙන් ඒ ත්‍රස්තවාදය පරාජය කිරීම දරා ගන්න බැරුව... දෙමළ ඩයස්පොරාවත් එක්ක, ලංකාවෙ, කඩවුණු බව කියන මානව හිමිකම් හොයමින් ගොන් ආතල් ගන්න, මෝඩ සුද්දො! දැන් Enough is Enough! ද? පව්!

The west after creating a helping environment for the defeated Tamil tiger terrorists and after enjoying how Srilanka was becoming a victim of such terrorist activities and after seeing  the military victory  achieved on our own by Srilanka sacrificing thousands of lives after not being able to absorb such victory attempting to create false allegations stating human rights violations in conjuction with tamil diaspora to bully us  now says 'enough is enough''. How sad ?
 
CHAPA
June 4, 2017                                                                                                                                                                    




                    


Imagine there's no heaven, It's easy if you try
No hell below us, above us only sky
imagine all the people living for today...
John Lenon

Above all, always be capable
of feeling deeply any injustice committed against anyone,
anywhere in the world.
This is the most beautiful quality in a revolutionary...
Che Guevara


ඇත්තටම, චේ සහ ලෙනන් මුණ ගැහෙන්න තිබුණා. අඩුම තරමෙ ඉතිහාසය තුළ හෝ ඔවුන් එකිනෙකා අභිමුඛ වන තැන හොයා ගන්න අපට පුළුවන් වුණොත්, මානව ශිෂ්ඨාචාරයෙ ඉදිරි දිශානතිය වටහා ගන්න යම් ඉඟියක් හොයා ගන්න පුළුවන් වෙයි!
CHAPA
2017 ජුනි 4