Sunday, July 31, 2016

අර්ජුන කෝ?

අර්ජුන මහේන්ද්‍රන් ට එරෙහිව මහ බැංකු බැඳුම්කර පිළිබඳ බරපතල චෝදනාවක් තියෙනව, ඒ ගැන COPE විමර්ශනය අවසාන නැහැ. ඔහු මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කෙරුවත් දැන් අගමැතිවරයගෙ උපදේශකයෙක් විදිහට, අර මුල් වරදාන සහ වරප්‍රසාද එක්කම තව දුරටත් වැඩ කරගෙන යන බව අන්තර්ජාල තොරතුරු හෙළිදරවු කරනව. එහෙම නං මේ රට ගමන් කරන්නෙ මොන දිශාවකටද? පක්ෂ කතා පැත්තක තියල අපි සමාජයක් හැටියට මේ වගෙ බරපතළ තත්වයන් ගැන අවධානය යොමු කරන්න ඕනෙ! නැත්තං රට ඉවරයි!!
CHAPA 

Thursday, July 21, 2016

මොන පා ගමන් ද ?

මේ මොහොතෙ අපේ පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නැහැ!
ඒකාබද්ධ විපක්ෂය කියන්නෙත් එක විදිහක දේශපාලන විකෘතියක්. ආණ්ඩුව කියන්නෙ හරියටම ගත්තොත් පාර්ලිමේන්තුවෙ 225 ම. පක්ෂ විපක්ෂ විදිහට ජනතා අභිලාෂයන් එහි නිරූපණය වෙන්න ඕනෙ, ජනතා අභිලාෂයන් මැනගන්න වෙන්නෙ අදාළ මැතිවරණ ප්‍රකාශන සහ ඒවාට ලැබෙන ඡන්දය මත. එහෙම බලනකොට මේ ඉස්සරහට යන්නෙ සම්පුර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළක්.
දැන් බලන්න! ඊනියා ජාත්‍යන්තරයට අවශ්‍ය රාජ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වුණා, විපක්ෂයක් නැහැ, ඔක්කොම එකයි! මේ ජනතා අභිලාශය විකෘති කිරීමක්. තොරතුරු දැනගැනීමේ පනත මුළුමනින්ම රටට හානි ගෙනදෙන ඊනියා පනතක්, ඡන්ද විමසීමකින් තොරව එය සම්මත වුණා, ඒ කොහොමද? කෝ ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වුණා!? මේ, නාට්‍යයක්! මේ හැමෝම, තම තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් රට ඉවරකරන ගමනට සහය දෙනව, සමහර අයට විරුද්ධ වෙන්න ඕන වුණත් එහෙම කරන්න බැරි cases තියෙනව. මේ යන්නෙ තනිකර 'ගේමක්'.
සරල උදාහරණයක් ගත්තොත්, බෙදුම්වාදී ව්‍යවස්ථා වෙනසක් වෙනුවෙන් වාසු, ඩිව්, විතාරණ...වගෙ සෑහෙන පිරිසක් දිගටම පෙනී හිටිනව. මහින්ද, හිටපු ජනාධිපතිවරයත් ඒ ගැන පැහැදිළි ස්ථාවරයක නැහැ.ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ඒ සමග එන එක්සත් ජාතීන්ගෙ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ ගැනත් එහෙමයි. විපක්ෂයට හෝ ඒකාබද්ධ විපක්ෂයට ඒ කිසිම දෙයක් ගැන පැහැදිළි ස්ථාවරයක් නැහැ, දැන් අර්බුදය හරිම පැහැදිළියි.
පා ගමන් පැත්තක දාලා මෙන්න මේ මහා දේශපාලන සංවාදය ගොඩනගන්න විපක්ෂයෙ හෝ ඒකාබද්ධ විපක්ෂයෙ අය මැදිහත් වෙන්න ඕනෙ, ඒ තමයි ඔවුන්ගෙ වගකීම!
ජනයා පෙළගැහෙන්න ඕනෙ ඔවුන්ව අන්න ඒ හරි පාරට තල්ලු කරන්නයි!
CHAPA 

Monday, July 18, 2016

අභූත චෝදනා!

මගේ වෘත්තීය සහ පොදු ජන ජීවිතයේ අභූත චෝදනා ලැබූ අවස්ථා කිහිපයක් තිබේ.
ප්‍රථම අවස්ථාව උදා වූයේ මෙරට වාමාංශික නායකයකු යයි ප්‍රකට ඩිව් ගුණසේකර නිසා ය. 95 වර්ෂයේ ඔහු ITN සේවයේ සභාපති ලෙස පත් වී ආ අතර, වෙළෙඳ අංශයේ මුදල් ජාවාරමක් සිදු වන බව පවසා, මා ගෙන් සහ උදය රාජපක්ෂ නමැති මිතුරා ගෙනුත් ලිඛිත තොරතුරු ඉල්ලා ගත්තේ ය.
මසකට පමණ පසු අදාළ මුදල් ජාවාරමට සම්බන්ධ නිලධාරියකු අප දෙදෙනා ඔහු ගේ කාමරයට කැඳවා ‘තමුසෙලා දෙන්නා සභාපතිතුමාට දුන්න ලියුම දැන් මා ළඟ තියෙනවා‘ කියා, අප දෙදෙනා දොට්ට දැම්මේ ය.
දෙවැනි අවස්ථාව උදා වූයේ ජාතික ගුවන්විදුලියේ දී ය. ‘පවන‘ ගුවන්විදුලියේ සේවය කරන අතරවාරේ ‘කුණු දේශපාලනය ගුවන්විදුලියට ගේන්න එපා‘ යයි කී වරදට එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා ව සිටි අනුර ප්‍රියදර්ශන යාපා ගේ චක් ගෝලයෙක් ‘කුමාර කියන්නෙ UNPකාරයෙක්‘ යනුවෙන් කේලමක් කියා මා ගුවන්විදුලියෙන් දොට්ට දැම්මේ ය. ඇමතිවරයාට කරුණු පහදා නැවත මා සේවයට ගනු ලැබුවේ එවකට ජාතික ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ව සිටි කරුණාරත්න පරණවිතාන විසිනි. (කරු පරණවිතාන නො වේ.)
තවත් අවස්ථාවක් තිබේ.
ඒ සිද්ධාලේප සමාගමේ ය. එහි බෙදාහැරීම් වාහන 67ක් සහ රියදුරුවරුන් 80ක් පමණ මා යටතේ සේවය කළ අතර, ඔවුන් ගේ වෘත්තීය ගැටලු මානුෂික ලෙස විසඳන්නට උත්සාහ ගනිද්දී, ‘වෘත්තීය සමිතියක් අටවන්න ද හදන්නේ?‘ යයි කී විට, ‘සෑම ගෙදරකම සිටිය යුතු වෙදමහත්මයාට‘ බැණ රැකියාවෙන් ඉවත් වී ආවෙමි.
මේ සිදුවීම් ජාලයට දැන් අලුතෙන් සිද්ධි දෙකක් එකතු වී තීබේ.
එක් අයෙක් වෛද්‍යවරයෙකි. අනෙකා මාධ්‍ය සගයෙකි.
ඇත්ත දැන දැන අදාළ වෛද්‍යවරයා, මා හට අස්ථානයේ චෝදනා කරමින්, ඇරියස් එකක් අල්ලන්නට දඟලමින් සිටී. එය පසුව විස්තර කරමි.
පුදුමය මාධ්‍ය සගයා කී දේ ය.
‘කුමාර කියන්නෙ ගේම් ගහපු කෙනෙක් නෙවෙයි, තමන් ගේ වැඩක් කර ගෙන හිටපු කෙනෙක්, අවුල් කෙනෙක් නෙවෙයි‘ කියමින් සිටි ඔහු, ‘කුමාර කියන්නෙ ලෝක බැංකු කුමන්ත්‍රණයක කොටස්කාරයෙක්‘ යනුවෙන් ලෝක පරිමාණ බේගලයක් ඇද මගේ නම කැත කිරීමට ඔහු උත්සාහ ගනිමින් සිටී.
වෛද්‍යවරයාට තිබෙන්නේ ‘සිරිසේන සින්ඩ්‍රෝමයයි.‘
මාධ්‍ය සගයාට තිබෙන්නේ ‘ෆොන්සේකා සින්ඩ්‍රෝමයයි.‘
පුදුමයට කරුණක් නො වන්නේ, වෛද්‍යවරයා සිරිසේන ගේ අමාත්‍යාංශයේ වැඩ කර තිබිම ය. මාධ්‍ය සගයා ෆොන්සේකා ගේ හමුදාවේ වැඩ කර තිබීම ය.
- කුමාර ලියනගේ

July 18, 2016,  චාපා වන මම කුමාර ලියනගේට මෙසේ ලියමි...       

කුමා, එන්න අපි ව්වෘතව කතා කරමු!

''අභූත චෝදනා!'' නමින් ඔබ post කරන සිදුවීම් අතර සිටින 'මාධ්‍ය සගයා' මම කියල, අපි දෙන්නම පැහැදිලිව දන්නව, මුලින්ම මම යෝජනා කරන්නෙ මීට වඩා වගකීමකින් සහ පිළිගත් මට්ටමකින් සංවාද ගොඩනගන්න කියල. ඉන්න! මම දැන් ඔබ උපුටා දක්වනව;  
''මේ සිදුවීම් ජාලයට දැන් අලුතෙන් සිද්ධි දෙකක් එකතු වී තීබේ. එක් අයෙක් වෛද්‍යවරයෙකි. අනෙකා මාධ්‍ය සගයෙකි.
ඇත්ත දැන දැන අදාළ වෛද්‍යවරයා, මා හට අස්ථානයේ චෝදනා කරමින්, ඇරියස් එකක් අල්ලන්නට දඟලමින් සිටී. එය පසුව විස්තර කරමි.
පුදුමය මාධ්‍ය සගයා කී දේ ය.
‘කුමාර කියන්නෙ ගේම් ගහපු කෙනෙක් නෙවෙයි, තමන් ගේ වැඩක් කර ගෙන හිටපු කෙනෙක්, අවුල් කෙනෙක් නෙවෙයි‘ කියමින් සිටි ඔහු, ‘කුමාර කියන්නෙ ලෝක බැංකු කුමන්ත්‍රණයක කොටස්කාරයෙක්‘ යනුවෙන් ලෝක පරිමාණ බේගලයක් ඇද මගේ නම කැත කිරීමට ඔහු උත්සාහ ගනිමින් සිටී.
වෛද්‍යවරයාට තිබෙන්නේ ‘සිරිසේන සින්ඩ්‍රෝමයයි.‘
මාධ්‍ය සගයාට තිබෙන්නේ ‘ෆොන්සේකා සින්ඩ්‍රෝමයයි.‘
පුදුමයට කරුණක් නො වන්නේ, වෛද්‍යවරයා සිරිසේන ගේ අමාත්‍යාංශයේ වැඩ කර තිබිම ය. මාධ්‍ය සගයා ෆොන්සේකා ගේ හමුදාවේ වැඩ කර තිබීම ය''
මේ වාර්තාකරණයෙ නිවැරදි බව, සාධාරණ බව සහ ඔබේ, 'සින්ඩ්‍රෝම' පිළිබඳ දැනුම අපි පස්සෙ සාකච්චාවට ගම්මු, දැන් මේ කතාවට අදාළ සිදුවීම් මාලාව කෙටියෙන් මතක් කරගනිමු!
පහුගිය සතියක, එක රාත්‍රියකදී, ඔබ, මම සහ තවත් මිත්‍රයන් දෙනෙක් අතර ඇතිවන සාකච්චාවකදී, සේපාල් අමරසිංහ ප්‍රකාශයට පත් කරපු 'පැපරාසියා' සඟරාවට, මම ( චාපා) ගැන,  ඔහුම ( සේපාල් ම) ලියපු ලිපියක් ගැන සාකච්ඡාවක් ඇතිවුණා. ' නිර්මාංශ චාපා කුකුළු ඝාතකයන් සමග' වගෙ මාතෘකාවකින් සේපාල් ඒ ප්‍රශ්න කරල තිබුණෙ මම වෙන්නප්පුවේ Maxies එකට වැඩකරන එක, මම ඊට දක්වපු ප්‍රතිචාරයත් සේපාල් ඊළඟ කළාපයෙ පළ කෙරුව. ඒ සාකච්ඡාව මගෙ 'කුඹි' සහ 'තව දුරටත්...' පොත් හරහාත් ඉදිරියට යනව.
ඔය කතාබහ අතරෙ, ඔබ කියනව, සේපාල් මට ( චාපා ට) කරපු දේමයි, මම ඔබට කෙරුවෙ කියල. ඒ, 2005 ඔක්තෝබරයෙ දි, 'නිදහස්' පත්තරේ ට ( 1- 2 පිටු ) ලියවෙන සහ පසුව 'ජල රකුසන්ට එරෙහිව' කෘතියට ( පිටු 262 - 253 ) උපුටා දැක්වෙන ලිපියක් සම්බන්ධයෙන්.
ඔබ කියන විදිහට, S - LON සමාගම වෙනුවෙන් තාමත් ඔබ ඉදිරිපත් කරන, 'දියසර' සාර සංග්‍රහයෙ 1 වැනි වෙළුමෙ 3 වැනි කළාපයෙ 'ජලයෙ හෙට දවස' යනුවෙන් ලියවෙන ලියවිල්ල තමයි ඒ.
(උපුටා දැක්වීම)
'පිරිසිදු ජලය අවශ්‍ය පුද්ගලයන්ට  දීමේ අභියෝගයන්ට මුහුණ දීම පුද්ගලීක අංශයට බරපතළ කටයුත්තක් වනු ඇත.එහි ප්‍රතිඵලයක් වශයෙන් වඩා කාර්යක්ෂමව ජලය පරිහරණය කිරීමට මිනිසුන්ට අවශ්‍යතා ඇතිවන අතරම එසේ කිරීම තුළින් ජලයට නියම වටිනාකම ඔවුන් ගෙවනු ලැබෙතැයි අපේක්ෂා කළ හැකිය...'
'...පානීය ජලය සහ සනීපාරක්ෂාව සඳහා දරාගත හැකි මිලකට ජලය ලබා ගැනීමේ මුලික අයිතිය සෑම මිනිසෙකුටම අයත් බව 1992 බ්‍රසීලයෙ රියෝ නගරයෙ පවතී මිහිතල සමුළුවේදී අනුමත කළ අවසාන ප්‍රකාශනයෙන්ද පිළිගනු ලැබීය'
( උපුටා දැක්වීම අවසන්)
ජලය විකිණීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට, ලංකා පොළොවට අදාළ කෘෂි - සංස්කෘතික ඓතිහාසික මුලයන් සමග බද්ධ කරමින් ඉදිරිපත් කෙරෙන ඒ ප්‍රකාශයට ඔබ, Concept/ Design/ Sketches යනුවෙන් සම්බන්ධ වන බව තමයි එකී ලියවිල්ලෙ තියෙන්නෙ. අපි එදා සාකච්චා කරමින් හිටියෙ අන්න ඒ ක්‍රියාවළිය ගැන. ඔබ ඉතාමත්ම ආවේගශීලී විදිහට එතැනින් පිට වුණා, ඒත් අපේ සංවාදය තවමත් එහෙමම යි!
මම, ඔබ ‘කුමාර කියන්නෙ ලෝක බැංකු කුමන්ත්‍රණයක කොටස්කාරයෙක්‘ කියල කිව්වෙ නැහැ, නමුත් ඒ සංකීර්ණ 'තත්වය' දිගටම ප්‍රශ්න කරනව.
Maxies, මම සහ සේපාල් අතර ඇතිවන සිදුවීමත්; S - LON, ඔබ සහ මම අතර ඇතිවන සිදුවීමත් සමානයි කියල ඔබ හිතන එකට විරුද්ධව මම පෙනීහිටිනව, දිගටම.
තමන්ට තේරුම් ගන්න බැරි අයට, විරුද්ධ අයට විවිධ ලේබල් ගහමින් මේ වගෙ ප්‍රාථමික තැනකට වැටෙන්න එපා!
අපි මේ ගැන වඩා ශිෂ්ට විදිහට සහ වඩා විවෘතව සාකච්චා කරමු!
CHAPA          

විශ්වාසය කියන්නෙ මොකද්ද? CHAPA on Vishrama Radio (10)

Saturday, July 16, 2016

යාපනය විශ්ව විද්‍යාලයෙ සිසු ගැටුම, ඉතාමත්ම අනතුරුදායක සංඥාවක්! 

කුමන හේතුවක් මත පදනම් වුණත්, කුමන විදිහකට විග්‍රහ කරගත්තත් මේ සාමාන්‍ය සුළු සිද්ධියක් නෙවෙයි.
සිංහල - දෙමළ ජාතිවාදී කතාවක් හදාගෙන ත්‍රස්තවාදය වපුරපු සහ ඊට එදිරිව රාජ්‍ය හමුදා බලය රට පුරා විහිදුවන්න සිද්ධවෙච්ච, අවසානයේදී,  මුළු රටම මළ ගමක් බවට පත්වෙච්ච රටක් මේ! මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් වගෙම ඔවුන්ගෙ ව්‍යප්තවාදය එදා මේද තුර සහ දිගටම ක්‍රියාත්මක රටක් මේ! ඊනියා ජාත්‍යන්තරය; මුල්‍ය සමාගම්, බහුජාතික සමාගම් සහ පරිවාර රාජ්‍ය නොවන සංවිධාන ජාලය වගේම, ඒ සෑහෙන රටවල් නටවන දෙමළ ඩයස්පෝරාව මේ වෙනකොට, මේ පුංචි ලංකාව වටකරගෙන ඉන්නෙ. මුස්ලිම් අන්තවාදයට රහසේ මෙහෙයුම් උපකාර කරන රටවල් තවත් පැත්තක.
යාපනය විශ්ව විද්‍යාලයෙ සිසු ගැටුම සිද්ධවෙන්නෙ මෙන්න මේ සන්දර්භය ඇතුළෙ, ඒ නිසාම එහි මුලයන් වගෙම ප්‍රතිඵලත් සංකීර්ණයි.
මේ ආණ්ඩුව, රාජ්‍ය බලය ගන්නෙ සහ පවත්වාගෙන යන්නෙ, ලංකාව වටකරගෙන ඉන්න අර කියන බලවේගවල පොදු න්‍යායපත්‍රයට එකඟව ( 1970 දශකයෙන් පස්සෙ රටකරවපු හැම ආණ්ඩුවකටම මේ විග්‍රහය වලංගුයි, දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරපු සිද්ධිය හැර! )
මේ වෙලාවෙ රට ඇතුළෙ ප්‍රධාන වශයෙන් වෙන්නෙ වැඩ දෙකයි!
1. රාජ්‍ය, බෙදුම්වාදී ආකෘතියකට මාරුකරල දුර්වල කරන්න අවශ්‍ය කටයුතු.
2. රට, ණය උගුලෙ හිරකරල, ඔවුන්ගෙ රටවලට ලාභ ඇදගන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු.
ලංකාවේ පොදු ජනයාට, දේශපාලන නියෝජිතයන්ට සහ උගතුන්, බුද්ධිමතුන් යැයි කියාගන්න අයට මේ මහා කතාව සමස්තයක් විදිහට අහුවෙන්නෙ  නැහැ. හුඟක් අය තම පැවැත්මට මොකක් හරි කෑල්ලක එල්ලිලා ඉන්නව.
ලංකාවෙ තාරුණ්‍ය නැවත නැවතත් මේ ඓතිහාසික වට පිටාව ඇතුළෙ වැරදි පාරවල් හොයාගන්නව. යාපනයෙ විශ්ව විද්‍යාලයෙ දෙමළ ශිෂ්‍යයන්ටත් දැන් වෙන්නෙ ඔය ටිකමයි. ප්‍රභාකරන් වෙනුවට ඉස්සරහට එන සම්බන්දන් ගෙන් පටන් ගන්න දෙමළ නයකයො කරන්නෙ අර මහා න්‍යායපත්‍රය ඇතුළෙ තම තමන්ගෙ පැවැත්ම හදාගන්න ජාතිවාදය වපුරන එක, දෙමළ තාරුණ්‍ය නොමග යවන එක. මේ තත්වය එන්න එන්නම වර්ධනය වෙනව, හේතුව සරලයි, මේ අර මහා න්‍යාය පත්‍රයෙ අත්‍යවශ්‍ය අංගයක්.
යාපනයෙ විශ්ව විද්‍යාලයට සම්බන්ධ මේ සිද්ධිය ගැන, මේ දැන් ඉතා විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනෙ, ආරක්ෂක අමාත්‍යංශය, හමුදා බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා එකට වැඩකරන්න ඕනෙ. ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්න බැහැ, වරදට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනෙ. ඊළඟට පාර්ලිමේන්තුව තුළ, මේ ගැන විධිමත් සංවාදයක් ඇතිවෙන්න ඕනෙ. නැවත මෙහෙම දෙයක් නොවෙන්න අවශ්‍ය තාක්ෂණික වටපිටාව සකස් කරන්න ඕනෙ.
ඔය ඊනියා සාමවාදීන්ගෙන් නං මොකුත්ම බලාපොරොත්තු වෙන්න බැහැ!ඔවුන්ට මේ තුවාලය ඕනෙ!!
ඒ අතරෙ, මේ භයානක උගුල් වලින් බේරිලා ශක්තිමත් රටක් විදිහට ගොඩ නැගෙන්නෙ කොහොමද කියන බරපතල දේශපාලන සංවාදය ගොඩනගන්න ඕනෙ, ජනමාධ්‍ය සහය ඊට අවශ්‍යමයි...
ඒත් ඒ කොහොමද?
CHAPA  
   

Thursday, July 14, 2016

2000 - 2013, දීර්ඝ කාලයක්,  වරින් වර Jetwing Hotels සමග විවිධ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න අවස්ථා නිර්මාණය වුණා. එය සංකීරණ සහ සුන්දර අත්දැකීමක්, Jetwing සභාපති හිරාන් කුරේ සහ සංචාරක මණ්ඩලයෙ හිටපු සභාපති රෙන්ටන් ද අල්විස් එක්ක තමයි, සංචාරක ව්‍යාපාරය පිළිබඳ මටත් යම් උනන්දුවක් ඇතිවෙන්න ගන්නෙ. 

මේ අතීත සටහන් මට පසක් කරවන්නෙ එකම දෙයයි, අපිට තියෙන
ස්වභාවික සම්පත් සහ මිනිස් බලය වගෙම අතීත උරුමයන් එක්ක මේ රට
සංවර්ධනය කරන්න කොච්චර ලේසිද? අපිට හොඳ දේශීය වාණිජ ප්‍රජාවකුත් ඉන්නව, ඒත් ඔවුන් සහ ඔවුන් සමග වැඩ කරන අය තව දුරටත් ගොඩ නැගෙන්න ඕනෙ. අපිට රටක් විදිහට වරදින්න ඉඩක් ඇත්තෙම නැහැ, එන්න! අපි පාර හොයාගෙන යමු!
CHAPA 






Wednesday, July 13, 2016

අපි මහ පරයො ජාතියක්!!!

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ, පහළ මන්ත්‍රී මණ්ඩලයෙ කල් තැබීමේ යෝජනාවක් විදිහට, ලංකාවෙ ජනාධිපති, අගමැති සහ විදේශ ඇමති ත් සම්බන්ධ ප්‍රශ්නයක් සහ පිළිතුරක් සටහන් වෙනව. ඒ ප්‍රශ්නය, ශ්‍රී ලංකාවෙ ස්වෛරී භාවයට කෙළින්ම සම්බන්ධයි. ඒ, 2016 ජුලි 9 දා. මෙහෙම කරන්න ඔවුන්ට තියෙන අයිතිය මොකද්ද? ලංකාවෙ අපි තවමත් උන්ගෙ යටත් වැසියොද?එක්කෝ මේ රට සංවර්ධනය කරන්නෙ, පවත්වාගෙන යන්නෙ උන් ද?
ඊළඟට බලන්න! පහුගිය කාලය පුරා බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ගැලවෙන්න ඕන කියල මර හඬ නගපු ඒ රටේ පුරවැසියො වෙලා ඉන්න ලංකාවෙ අපේ මිනිස්සුන්ට, තමන්ගෙ ලේ උරුමය තියෙන මේ මව් රට ගැන යන්තං හරි හැගීමක් තියෙනවා නං ඔවුන් මේ බලහත්කාරකම ප්‍රබල විදිහට අභියෝගයට ලක් කරන්න ඕනෙ! ඒත් එහෙම වෙන්නෙ නැහැ, ඒ ඇයි?
ඊටත් කලින්, ඒ කියන්නෙ 2015 මැයි මාසය වෙනකොට, ලංකා පුත්‍රයෙක් කියන රනිල් ජයවර්ධන කෙනෙක් ව එංගලන්ත පාර්ලිමේන්තුවට යවන්න ලංකාවට අයිති, ඒත් එහෙ වෙලා ඉන්න හුඟක් අය දඟලපු දැඟලිල්ල!? ඔහු මේ දැනුත් ඒ පාර්ලිමේන්තුවෙ ඉන්නව වෙන්න ඕනෙ - නියෝජනය කරන්නෙ North East Hampshire නෙ, ඒත් ඉතිං අර තියෙනව කිව්ව ලංකාවෙ අක් මුල් ටික කෝ?
හිතල බලන්න! ලංකාවෙ අපි මොක්කුද?
මේ මට්ටමට ඓතිහාසික උරුමයන්, සම්පත් සහ උගත්කම තියෙන -  තමන්ගෙම රට, තමන්ගෙම අත්වලින්ම 'මෙහෙම පීචං තැනකට' තල්ලු කරල ආඩම්බර වෙන ලෝකයෙ එකම මිනිස්සු අපි විතරක් වෙන්න ඇති!
පෘතුවි වැසියන් හැටියට එකම විද්‍යාත්මක සමාජවාදී ලෝකයක් හදන්න බැරි නං, ඒ ඒ රටවලට තියෙන එකම පැවැත්ම තම අනන්‍යතා මත ශක්තිමත් වෙමින් සෙසු රටවල් සමග WIN - WIN ගනු දෙනුවක් හදා ගන්න එක විතරමයි! අනිත් හුඟක් රටවල් මේ දේශපාලන යථාර්තය වටහාගෙන ඊට අවශ්‍ය පදනම දාගන්න දඟලනව.
එත් අපි?අපිට රටක් ඕන නැහැ...
අපි මහ පරයො ජාතියක්!!!
CHAPA 

Monday, July 4, 2016

සල්ලි නැතුව මැරෙන්න කලින්!

නිදහස් සෞඛ්‍ය සේවාව, තව දුරටත් රැකගෙන පෝෂණය කරන එක ජනතාවාදී අරගලයක්! මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකිරීම ප්‍රමුඛ කරුණු කීපයක් මුල් කරගෙන, මෙරට ජනතා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෛද්‍යවරු සහ වෛද්‍ය ශිෂ්‍යයන් ආරම්භ කරල තියෙන උද්ඝෝෂණ සහ වෙනත් විරෝධතා සඳහා පොදු ජනයා හැටියට අපි හැමෝම කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න ඕනෙ. ජනමාධ්‍ය සාමාන්‍යයෙන් කරන We report - you decide! කියන Business එක මේ වගෙ තීරණාත්මක මොහොතක හරියන්නෙම නැහැ. උදාහරණයක් විදිහට වෛද්‍යවරු වැඩ වර්ජනය කරනකොට අනිවාර්යයෙන්ම රෝගීන්ට රිදෙනව, එතකොට රෝගීන් වෛද්‍යවරුන්ට ශාප කරනව, ඒක ප්‍රවෘර්තියක් හැටියට වාර්තාකරන එක හරි වුණත් - හරි නැහැ!
ජන මාධ්‍ය, පොදු ජනයාගෙ යහපත වෙනුවෙන් නං, අදාළ ප්‍රවෘති ඉලක්ක කෙරෙන්න ඕනෙ වෛද්‍ය අරගලයට ජනතාවාදී විසඳුමක් හොයන්න පාලකයන්ට බල කරන විදිහට. ඒ සඳහා මාධ්‍යකරුවන් අදාළ සිදුවීම් ගවේෂණය කරන්න ඕනෙ. තොරතුරු විශ්ලේෂණය කරන්න ඕනෙ.
ලංකාවෙ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ මේ ප්‍රශ්නය, සමස්ත වෙළෙඳපොළ සහ රාජ්‍ය අතර මතු වෙමින් තියෙන ඓතිහාසික තත්වයන්ගෙ එක තැනක්. දෙවැනි මහා ලෝක යුද්ධයෙන් පස්සෙ ඉස්මතු වුණු සුබසාධන රාජ්‍ය ක්‍රමය යටතෙ හඳුන්වාදෙන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සහ තවත් ජනතා වාදී ආකෘති, 70 දශකය සමග ලෝකයම වෙලාගන්න වෙළඳ පොළ බලවේග විසින් පියවරෙන් පියවර කුඩුකරල දානව. ඒ වෙළඳපොළ ඉදිරියෙ බෙලහීන කෙරුණු ලංකාවෙ පොදු මහා ජනයාට ඉතුරු වෙලා තියෙන්නෙ තමන්ගෙ බදු මුදලෙන් පවතින සහ ඒ නිසාම තමන්ට වග කිවයුතු මේ රාජ්‍ය යාන්ත්‍රණය විතරයි. රාජ්‍ය යනු කුමක්ද? එය ජනතාවට සේවය කරන්නේ කෙසේද? වගෙ ප්‍රශ්න බේරගන්න වෙන්නෙ පස්සෙ.
මිත්‍රවරුණි! එළැඹ තියෙන මේ සංකීර්ණ මොහොත නිවැරදිව වටහ ගන්න අපි ඉතිං උත්සහ කරමු!
CHAPA            

Friday, July 1, 2016

ජගත් මනුවර්ණ ට ලියමි!

ඔබ දැන්, ඔබේ දෑත් වලින් හදපු බව හිතන මේ යහපාලනය ගැන යම් කළකිරීමකින් ඉන්නෙ! ඒ රාජ්‍ය පාලනයට එරෙහි විරෝධාකල්ප එකිනෙක මතුව ඔබේ හිත පහුරුගාන බව, ඔබ වරින් වර මාධ්‍ය හරහා කරන ප්‍රකාශ වලින් පේනව.
ඔබ ගැන මෙහෙම සටහනක් ලියන්න මට හිතෙන්නෙ ඒ නිසාම වුණත් ඊට හේතුවන තවත් පසුබිම් කතාවක් තියෙනව. අනිත් අයටත් මේ සංවාදය ඇතුළට එන්න පුළුවං වෙන්න මම ඒ ගැන මුලින්ම ලියනව.
ඔබ, මම කැමති චරිතාංග නළුවෙක්! ඔබේ හුඟක් චරිත නිර්මාණ මම කියවනව, විඳිනව. ඊට අමතර මොකක් හරි සමීප ගතියකුත් මට ඔබෙන් දැනෙනව. ඒ අතරෙ තමයි ඔබ අර ලැම්බෝගිනි ජනප්‍රිය ප්‍රවෘත්තියත් එක්ක වෙන විදිහකට මම දකින්නෙ.'ජගත් මනුවර්ණ නං අපරාදෙ!' කියල මට නිකමට ඒ වෙලාවෙ හිතෙනවා. හේතුව රාජපක්ෂ රෙජීමය ට ඔබ විරුද්ධ වෙන්න පටන්ගත්ත එක නෙවෙයි, ඒ මොහොතෙ, ඒ රාජපක්ෂ විරෝධී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන විදිහ ගැන ඔබ නොදැනුවත් කියල හිතුන නිසා. ඊට හුඟක් කාලයකට පස්සෙ, අදින් මාස කීපයකට පෙර ඔබ දුරකථනයෙන් මට කතා කෙරුව, ඒ ලංකාවෙ ටෙලිනාට්‍ය සහ සිනමාව මුහුණ දෙන අර්බුදය ගැන සාකච්චාවකට එන්න කියන්න.
අපි ඉතිං තවත් කීප දෙනෙකුත් ඉන්න තැනකදී මුණ ගැහුණ. එතකොට තමයි ඔබ මතක් කෙරුවෙ මට ඔබව සමීපව දැනෙන අතීත කතාව.
2001 දි 'නිදහස්' පත්තරේ පටන් ගන්නකොට වගෙම, දිගට කරගෙන යන අතරෙත් අවස්ථා කීපයකදීම අපි වීදි නාට්‍ය යොදාගත්ත, සුනන්ද පුෂ්පකුමාර තමයි ඒ වීදි නාට්‍ය කණ්ඩායමේ නායකයා ( ඔහු කාලයකට පෙර, යළි නොඑන්නම ලෝකයෙන් සමුගත්ත!) ජගත් මනුවර්ණ ත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. මේ හැමෝම ඒ වැඩවලට සම්බන්ධ වුණේ වාසි ප්‍රතිලාභ බලාගෙන නෙවෙයි, එක නං නියම කාලයක්!
ඔන්න ඔය මතකය තමයි ඉතිං මගෙ හිතේ නොදන්නා තැනක හැංගිලා තිබිල තියෙන්නෙ.
හරි! ජගත්...අපි දැන් අපේ සංවාදය ගොඩ නගමු!
අපි මුහුණ දෙන සමස්ත අර්බුදය පැහැදිලියි!
කෝ අපේ තැන!?
ඔබ දැන් රාජ්‍ය නාට්‍ය උළෙල ගැන දුක්වෙනව, රාජ්‍ය බලය දියකරල දාන්න හදන ක්‍රියාවලියක් ඇතුළෙ මොන රාජ්‍ය නාට්‍ය උළෙලවල්ද? නිකමට හිතන්න, මේක සෙල්ලමක් නෙවෙයි, ' රාජ්‍ය නොවන' කියන්නෙම වෙන game එකක්. සිද්ද වෙන්නෙ මේකයි...අපි - සාමාන්‍ය මහා ජනතාව ක්‍රමානුකුලව රාජ්‍ය බැඳීමෙන් ගලවමින්, මහා වෙළෙඳපොළක පිළිකන්නෙ ගාල් කෙරෙනව. අපේ බදු මුදලින් පවත්වාගෙන යන රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල වෙන්න ඕනෙ ඊට වඩා ජනතාවාදී අවකාශයක් ඇතුළෙ විතරයි. මේ එහෙම එකක් නෙවෙයි!
ලෝක දේශපාලනය ඇතුළෙ ලංකාවෙ තැන හොයා ගන්න එක තමයි අපේ අරගලය වෙන්න ඕනෙ. සිංහල, දෙමළ, මුස්ලිම්...එකට, වෙන් නොවී! මේ දේශපාලනඥයන්(?) ට ඔය මහා දේශපාලනය තේරෙන්නෙ නැහැ. එතකොට ඔබ වටේ ඉන්න ඔය NGOs පුරවැසියන්ට ඒක අදාළ නැහැ, ඔවුන් කරන්නෙ ව්‍යාපෘතියක්. ඔබට මේ හරිය තවම අහුවෙන්නෙ නැහැ.
දීපානිලා සමනලීලා දේශපාලනය ගැන මොකක්වත්ම දන්නෙ නැහැ. සරත් විජේසූරිය, දේශපාලනය කියල මොකක් හිතාගෙන ඉන්නවද කියල හිතාගන්න බැහැ. ලක්ෂ්මන් විජේසේකරලා නං පව්! චින්තනලා විමුක්තිලා එක්ක ඔබට හැරෙන්නවත් බැහැ.
මේකත් මතක තියාගන්න ජගත්! ඔබ වටේ ඔය ඉන්න හුඟක් අය මැරිල හුඟක් කල්. මට තවම හිතෙන්නෙම ඔබ ඔය දඩබිමේ පහසු ගොදුරක් කියල(?)
ආයෙත් වීදියට බහින්න!
අලුත් පරපුරක් එක්ක, අලුත් ගමනක් පටන් ගන්න, අලුත් සංවාදයක් පටන් ගන්න! අන්න එහෙම මොහොතක අපි ආයෙත් මුණ ගැහෙමු!
CHAPA    

Hiru TV Balaya EP 150 | 2016-06-30

Right to Information! to whom? ChAPA on HIRU, June 30, 2016, P5