Wednesday, October 2, 2019

මට මගෙ ආත්මය සුද්ද කර ගන්න ඕන....!

''මං මහේෂ් සේනානායක ගැන ඔයා කරපු විඩියෝව බැලුවා...''
කමල් අද්දරාආරච්චි දුරකථනයෙන්. ඔහුට මං ඒ වැඩ සටහන බලන්න කිව්වෙ ඊට කලින් දවසක, ලින්ක් එකත් ඇරියා.
''එහෙමද, ඉතිං...?''
'' මෙහෙමයි...ඔයා යම් ෆ්‍රේම් වර්ක් එකක ඉඳගෙන කරුණු ඉදිරිපත් කරල තියෙනවා...ඒ සමහර ඒවා ගැන මටත් හිතන්න යමක් තියෙනවා...ඒත් මං වැඩ කරන්නෙ වෙන ෆ්‍රේම් වර්ක් එකක...''
ඔහු නිදහසේ කතා කරගෙන යනවා.
''මං එක පාරක්...රට හදන වැඩ පිළිවෙළක් හදලා මලික් සමරවික්‍රම අතටම දුන්නා...කරන හැටිත් කිව්වා...රනිල්ගෙ ඔෆීස් එකටත් පිටපතක් මම ම ගිහිං දුන්නා...ඒත් වැඩක් වුණේ නෑ!''
''ම්ම්ම්ම්ම්...''
මං මේ හු මිටි තියනවා.
''මගෙ තියෙන්නෙ එකම කොන්දේසියයි...ඒ මං ඉදිරිපත් කරන වැඩ පිළිවෙළේ මට බලය තියෙන තැනක් ඕන...නැත්තං බෑ!"
''එහෙමද?''
''මං කිව්වා මට රනිල් කතා කරන හැම වේදිකාවෙම කතා කරන්න දෙන්න කියල...මොකද මට මේ කතාව මිනිස්සුන්ට කියන්න ඕන...ඒත් වැඩක් වුණේ නෑ...!''
''ඊට පස්සෙ?''
මගෙන් කෙටි ප්‍රශ්නයක්.
''මං හිතුවා ආයෙ නං ඕවා ගැන හිතන්නෙ නැහැ...පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවා කියල...මොකද මං මේවා කරන්නෙ කිසිම වාසියක් ගන්න නෙවෙයි...අතිං වියදම් කරගෙන...කොටින්ම මට පාඩුයි...''
''ම්ම්ම්ම්....''
මගේ හූ මිටිය.
''එහෙම නිහඬව ඉන්නකොට තමයි මට මේකට ආරාධනාවක් ලැබුණෙ...මෙතන ඉන්නෙ අවංකව රට ගැන හිතන අය..වෘත්තිකයො...ඉතිං මං හිතන්නෙ මට යමක් කරන්න පුළුවං...''
''කමල් සමහර විට අවංකවම ඔහොම හිතනවා ඇති...ඒත් ප්‍රශ්න සේරම දේශපාලකයන්ට බැර කරලා ඔය වෘත්තිකයො කියා ගන්න අය කරන්නෙ බොරුවක්..කොන්ත්‍රාත්තුවක්...මෙහෙම හිතන්නකො කමල්...ඔය වෘත්තිකයන්ට ඔහොම ඇම්මක් ඒ ඒ තනතුරු දරනකොට තිබ්බා නං මෙලහකටත් රට ගොඩ...ඔය හමුදාපති පාස්කු ප්‍රහාරයට සෘ ජුව වග කියන්න ඕන නැද්ද? එතකොට...''
''ටිකක් ඉන්න මට එඩිටර්ගෙන් කෝල් එකක්...''
මගෙ කතාව කියාගන්න කලින් මාව ''හෝල්ඩ්'' වුණා.
''අනේ සොරි...කෝල් එකක් ආවා...ඉතිං මේකයි...මට ඕන රට වෙනුවෙන් යමක් කරන්න...මට තව ලොකු කාලයක් නෑ... අහ්! ඉන්න..ආයෙ ඒ කෝල් එක...''
ආයෙත් මාව හෝලඩ් වුණා.
''මෙහෙමයි..''
ඔන්න ආයෙ ඔහු!
''අහන්නකො කමල්...දැන් ඔය හිටපු විගණකාධිපති...එක පාරටම වීරයෙක් වෙලා රට හදන්න කතා කරන එකේ...''
මට කතාව ඉවර කරන්න බැරි වුණා.
''අනේ චාපා, ඉන්න, ආයෙ අර කෝල් එක...''
එහෙම කීප පාරක්ම වෙන දුර කථන ඇමතුම් ඇවිත් ඇවිත් අපේ සංවාදය දියාරු වුණා.
''හරි! අපි පස්සෙ කතා කරමු කමල්...''
''මට ඕන මගෙ ආත්මය පිරිසිදු කර ගන්න,,,රට වෙනුවෙන් මොකක් හරි කරන්න උත්සහ කෙරුවා කියල හිත හදා ගන්න...මොකද ඊ ළඟ ආත්මෙදි හැම එකාටම බයේ ජීවත් වෙන බල්ලෙක් හරි වෙන සතෙක් හරි වෙලා උපදින්න මට බැහැ...ඒකයි!'' 
ඔහු කලබල ගතියකින් එහෙමත් කිව්වා.
''එහෙම කියල වැරදි පාරවල් දිගේ යන්න එපා...අපෙ මේ ගැන ආයෙ කතා කරමු!''
''හරි! හරි! මට මේ එක දිගට කෝලස් එනවා..ඒකයි..ඕකේඒඒඒ...''
දුරකථන සංවාදය ඉවර වුණා. ඉතිං නිකමට මේ සටහන තිව්වා. 
එච්චරයි!
CHAPA
Oct 3, 2019