Sunday, May 29, 2016

CHAPA on CSN with Lalith Ellawala, May 25, 2016

මුස්ලිම් අන්තවාදයට එරෙහිව! 

මහනුවර, මඩවල, මදීනා ජාතික පාසලේ සිංහල ගුරුවරුන්ට එරෙහිව ක්‍රියාත්මක බව කියැවෙන මුස්ලිම් අන්තවාදී ක්‍රියාන්විතය ( ? ) සම්බන්ධයෙන් අපේ දැඩි අවධානය යොමුවෙන්න ඕනෙ. අපේ කියන්නෙ, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝගෙම. මේ පුංචි ලංකාව ඇතුළෙ සියවස් ගණනාවක්ම - මේ හැම ජාතියක්ම එකට ජීවත් වුණා.
1930 දශකය වගෙ වෙනකොට බ්‍රිතාන්‍ය කිරීටය යට සර්වජන ඡන්ද බලය පිළිබඳ සාකච්චාව ඇතුළෙ තමයි මේ ජාතිවාදී හැඩතල මුලින්ම නිල වශයෙන් ලංකාවෙ මතු වෙන්න පටන් ගන්නෙ. ඊට පෙර රටේ ජාතීන් අතර තිබුණු ආරවුල් ඒ තරමට සංකීර්ණ නැහැ. එහෙම බලනකොට පැහැදිලි වෙනව, මේ රට, යටත් විජිත සමයෙදි ලේසියෙන් ගොඩ එන්න බැරි ආරවුල් ගණනාවක පටලැවෙන වග. රටේ සිංහල - දෙමළ ඡන්ද සටනක් ඇතිවෙලා ගොඩනැගෙන අස්ථාවර තත්වය ඒ අතර තීරණාත්මකයි. දෙමළ අන්තවාදයක් නිර්මාණය වෙලා එය අන්තිමට බිහිසුණු ත්‍රස්තවාදයක් බවට හැරෙන්නත් ඔය පසුබිම හේතු වෙනව. හරියටම බැලුවොත් මේ තමයි බ්‍රිතාන්‍යයන්ගෙ එදා සිහිනය, dividing and governing! බෙදා පාලනකිරීම. ලංකාවෙ අපිට මේ අදටත් ඒ මර උගුලෙන් ගැලවෙන්න බැරිවෙලා. ඒ වගේම දැන් එංගලන්තය ඇතුළු යුරෝපා රටවල්, විශේෂයෙන්ම ඇමෙරිකාව මේ තත්වයෙන් අපිට ගොඩ එන්න බැරිවෙන්නම හිට ගන්නව. වෙළඳ පොළ පුළුල් කර ගැනීම සහ සම්පත් කොල්ලය තමයි ඔවුන්ගෙ අරමුණ, ඒ අතරෙ ඒ ඒ රටවල ක්‍රියාත්මක දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ඒ ඒ රාජ්‍යයන්ට බලපෑම් කරන්න පුළුවං තත්වයට අද වර්ධනය වෙලා.
 ලංකාවෙ දෙමළ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කෙරුණත් එහි සෙවණැලි දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් දැන් සංවිධානාත්මකව ඉස්සරහට යනව. ඔය අතර තමයි මුස්ලිම් අන්තවාදය රට තුළ හිස ඔසවන්නෙ. කොහොමත් ලෝකය පුරාම විවිධ නම් වලින් මේ මුස්ලිම් අන්තවාදීන් ක්‍රියාත්මකයි. ISIS කියන්නෙ මේ මොහොතෙ වැඩි අවධානයක් දිනාගත්ත ත්‍රස්තවාදය, ඒ හැර තවත් කණ්ඩායම් ඉන්නව. දේවත්වයට ම්ලේච්ඡත්වය ආදේශකරන මේ ආගමික අන්තවාදය වර්තමාන ලෝකයම අස්ථාවර කරනව, මේ පිටිපස්සෙත් නැවත තියෙන්නෙ අර නුතන යටත් විජිත බළල් අත් - ඛනිජ තෙල් සම්පත මෙතැනදි ප්‍රධාන සාධකයක් බවට පත්වෙලා, හරියටම ගත්තොත් මේ ආගමික අන්තවාදීන් නුතන ලෝක දේශපාලනයෙ ගොදුරු, ඒත් නුගත් ඔවුන්ට මේ යථාර්තය කොහොම වැටහෙන්නද?
මේ පසුබිම යටතෙ ලංකාවෙ නැගෙනහිර පළාතෙන්, මධ්‍යම පළාතෙන් ළඟ ළඟ එන මේ සංඥා මීට වඩා සීරුවෙන් අපි තේරුම් ගන්න ඕනෙ, ඒ සඳහා ලංකා රාජ්‍ය මීට වඩා සංවිධානාත්මකව සුදානම් වෙන්න ඕනෙ. ඒත් එකිනෙකා මරාගෙන තමන්ගෙ තැන පමණක් හදාගන්න හදන නරුම දේශපාලනඥයන් ඉන්න රටක එහෙම කොහොම වෙන්නද? අඩුම තරමෙ ව්‍යාපාරිකයන් කියන්නෙ ධනවාදී සේනාංකය, එත් මේ රටේ Halal මාෆියාව හරියටම ක්‍රියාත්මක වෙන්න ඇරල අනිත් ව්‍යාපාරිකයො ඔළුව පහත් කරගෙන ඉන්න එකෙන්ම පේනවා අපි ධනවාදයවත් හරියට තේරුම් අරගෙන නැති වග. ඊළඟට ඉඩම් මිලදීගැනීම් හරහා මුස්ලිම් අන්තවාදීන් රටපුරා වේගයෙන් ව්‍යාප්ත වෙනව. ව්‍යාපාරික ලෝකය වේගයෙන් අත්පත් කරගන්නව. දීර්ඝ කාලීන ව්‍යප්තවාදයකට වට පිටාව සකස් කරනව. කවුරුවත් විරුද්ධ නැහැ!
ඒ අස්සෙ විවිධ නම් වලින් සිංහල බෞද්ධ කණ්ඩායම් හැදිල තත්වය තවත් සංකීරණ කරනව. මේ අනුව රට එන්න එන්නම අවිනිශ්චිත දිශානතියක් කරා ගමන් කරන බව පේනව.
අපි කොහොමද මේ මහා ඛේදවාචකයෙන් ගොඩ එන්නෙ? සිංහල, දෙමළ, මුස්ලිම් අපිට එකම ජාතියක් විදිහට, ඒකීය රටක් විදිහට නව යටත්විජිතවාදයට එරෙහිව හිටගන්නම වෙනව, එත් ඒ කොහොමද?  CHAPA  

Friday, May 27, 2016

වසන්ත මොරගොඩ දැක්කද?
වසන්ත මොරගොඩ දක්ෂ නළුවෙක්, රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහටත් හොඳයි, ඒ කියන්නෙ ඔහුට ඕන නං මේ හුඟක් මාධ්‍ය තුළ යමක් කරන්න පුළුවං. මම, ඔහුගෙ මේ හැකියාවට කැමතියි.
මට කාලය හරියටම මතක නැහැ, 2004 දී වගෙ දවසක ඔහු නුගේගොඩ, නාවල පාරෙ 'නිදහස්' කාර්යාලයට ගොඩවුණා. ඒ එකවිදිහක අහම්බයක්. ඔහු හිටියෙ තවත් කෙනෙක් දෙන්නෙක් එක්ක. අපි ඉතිං හුඟක් දේවල් ගැන කතා කෙරුව, 'නිදහස්' කිසිම ස්ථිර අදායමක් නැති, රාජ්‍ය නොවන ආයතනවල අරමුදල් ගන්නෙත් නැති, මාධ්‍ය අත්හදා බැලීමක්, පුවත් පත සහ වෙනත් ප්‍රකාශන විකිණීම හරහා සහ වරින් වර කරන වාණිජ නිර්මාණ කටයුතු වලින් ලැබෙන අදායම පදනම් කරගෙන අඛණ්ඩව කෙරෙන දේශපාලන මාධ්‍ය මැදිහත්වීමක්! 'මේක මාර වැඩක්!' වසන්තගෙ ඇස්  පුදුමයෙන් ලොකු වුණා, ' මම මේ පාර පත්තරේට රුපියල් 10 000/- ක් දෙනව...' ඔහු ඒ අතරෙ අධිෂ්ඨානශීලීව කිව්ව. ඒක ලොකු දායකත්වයක් වෙලාවෙ හැටියට, අපිට සතුට දරාගන්න බැහැ. 'මම පොඩි වැඩ වගයක් කරගෙන යනව, පත්තරේ ඒ ගැන ප්‍රචාරණ දැන්වීමකුත් දාමුකො. ඉතිං හොඳනෙ! අපි හිතුව. අපි ඒ වෙනකොට අදාළ මාසයෙ පත්තරය සැලසුම් කරල ඉවරයි, එත් මේ අවස්ථාව වැදගත් නිසා මුද්‍රණය ටිකක් පරක්කුකරගෙන බලාගෙන හිටිය, දවස, දෙක, තුන ගෙවෙනව...ම්හු! වසන්තගෙන් ආරංචියක් නැහැ, දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේත් නැහැ, මිනිහට කරදරයක්වත්ද? අපි කතාවුණා.
'අය්යෝ..ඔයගොල්ලො මිනිහගෙ ජෝක් එකකට අහුවෙලා..පිස්සුනෙ!' වසන්තව දන්න කියන පාසල් ගුරුවරයෙක් මට කිව්ව. ඈ! ජෝක් එකක්! 'නිදහස්' කාර්යාලය ඇතුළෙ ඒ දවස්වල ඒ වචන දෝංකාර දුන්න, එච්චරයි! ඔන්න ඉතිං අවුරුද්දෙන් අවුරුද්ද කාලය ගෙවුණා, 2010 වගෙ වෙනකොට නිදහස් ක්‍රියාකාරකම් නැවතුණා, වසන්ත මොරගොඩවත් ඉබේම අමතක වෙලා ගියා. එත් සෑහෙන කාලයකට පස්සෙ, ගිය අවුරුද්දෙදි ආයෙත් ඔන්න වසන්ත මගෙ ඔළුවට එනව. ඒ,ඔහු මොකද්ද ටීවී චැනල් එකක් කරනව කියල කෙනෙක් කියපු නිසා, දවසක මම ඉතිං වසන්තට දුරකථන ඇමතුමක් දුන්න, අපිට වැඩකරන්න වේදිකානෙ ඕනෙ.
'මචාං චාපා...කොහොමද?' වසන්තගෙ සුහද වදන් - වසන්ත පිළිබඳ අමිහිරි අතීත මතකය එකවර මකල දැම්ම. 'උඹ ආවෙ නියම වෙලාවක...ඒක නං කතා කරගෙන සිද්ධ වුණා වගෙ. මාරයි!' ඔහුගෙ ගෙදරදී අපි හම්බ වුණාම ඔහු කියාගෙන ගියා, ඉතාම සුහද පිළිගැනීමක්! ඔන්න ඉතිං අපි කතාකරන්න පටන් ගත්ත. මම නොදන්න කාලය ඇතුළෙ ඔහු අසනීප වෙලා, ඔත්පලවෙලා වගෙත් හිටියලු, ඔහු කතාකරනකොට ඇස් දෙකෙන් කඳුළු කැට කඩා වැටුණ, මට පුදුමාකාර දුකක් ඇතිවුණා. ඔහු චිත්‍රපටයක් කරන්න ගිහිං ලොකු නීතිමය ප්‍රශ්නයකටත් කොටුවෙලා. 'මාර පව් වැඩක්!' ටීවී චැනල් වැඩෙත් අසාර්ථක වෙලා. ඔහු ඊළඟට කියන්න ගත්තෙ දැන් කරන අළුත් වැඩක් ගැන, ඔහු පුද්ගලික බැංකුවක් එක්ක, ආර්ථිකය කළමනාකරණය කරගන්න හැටි මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් මාලාවක් පටන් ගන්න යන්නෙ. මටත් ඒ වැඩේට සම්බන්ධ වෙන්න කිව්ව. 'අපිට එකතු වෙලා ලොකු වැඩක් කරන්න පුළුවං...' ඔහු කියනව. මගෙ මැදිහත්වීමට ඔහුගෙ ව්‍යාපෘතියෙන් නිශ්චිත ගෙවීමක් වෙන් කරන හැටිත් ඔහු පැහැදිලි කරනව. ඔව්! එහෙම දේවල් ඉතිං කරන්න වෙනව මේ වගෙ වැඩ ඇදගෙන යන්න නං...මමත්  එකඟ වෙනව. ඔන්න ඉතිං අපි වැඩේට බැස්ස.
පළවැනි වැඩසටහන කුරුණෑගල. අපි ගියා, වැඩේ හොඳට කෙරුණා, පාන්දර ගිහින් මහා රෑ ආපහු ආව. 'වැඩේ නියමයි, අපි දිගටම මේක කරමු, මම හෙට උදෙන්ම චෙක් එක කෑෂ් කරල ඔයාගෙ පේමන්ට් එක කරන්නං..' වසන්ත සමු ගන්න අතරෙ කිව්ව. ඒ පහුවෙනිද ආයෙ කවදාවත් ආවෙ නැහැ.' මචං තව පොඩ්ඩකින් මම උඹට ගන්නවා..' ' ම්ම්ම්..හරි දැන් එන්න පුළුවංද? එක්කො..නෑ! ඉන්න මම ටක් ගාල අනිත් පැත්තට ඔයාට ගන්නං..' ඔය වගෙ කතා, එක වෙලාවක ඔහු චෙක් එක මාරු කරගන්න බැංකු පෝලිමක ඉන්න හින්ද රහසෙන් වගෙ උත්තර දෙනව. මට හිතාගන්න බැරි අර බැංකු සේවක වැඩමුළුවෙදි මිනිස්සු ගොඩනැගෙන්න ඕන විදිහමනෙ මේ මනුස්සය කතා කෙරුවෙ.
 'ආ..උඹත් ඌට අහු වුණාද? අය්යෝ..' ඒ පාර ඔය 'අය්යෝ' කතාව කියන්නෙ සේපාල් අමරසිංහ. 'මිනිහ උඹ එක්ක කතා කරද්දී ඇඬුවද?' සේපාල් බලාගෙන හිටිය වගෙ අහනව. අරහෙම කිව්වද - මෙහෙම කිව්වද? ඔහු තවත් ඒව අහනව. හරි නේන්නං! ඒ ඔක්කොම හරි!! 'ඔය වසන්ත මොරගොඩගෙ හැටි, මිනිහ හැමෝටම ඕව කරනව...' ඒ සේපාල්. 'එතකොට මිනිහ ලැජ්ජවෙනවනෙ, හැමෝම දැනගන්නවනෙ, එතකොට...' එතකොට තමයි එයා ආසා, මිනිහට ඒ ලැජ්ජාව හරි මොකක් හරි එක තමයි ඕන..සේපාල් කියනව. ඈ!? මේ...ඔය කවුරු හරි වසන්ත මොරගොඩ දැක්කද?
CHAPA  

Friday, May 20, 2016

වෙසක් හඳ යට තනිව...

මහා වැසි දිගටම, සුළි සුළං පෙරහුරුවක! රටේ තැන තැන උස් බිම් මත අසරණව, අඳුරු අහස දිහා බලාගෙන හුල්ලන මිනිස්සු! විද්‍යාව හා තාක්‍ෂණය දැන් තව දුරටත් පරාදයි...බුදුදහම තමයි මේ කටුක යථාර්තය කියවගන්න පුළුවං මහා දැනුම් පද්ධතිය, එත් ඒ - මේ ජනප්‍රිය දහරාවෙ 'බුද්ධාගම් ව්‍යපෘති' හරහා නෙවෙයි. විශ්වයෙ සියල්ල අනිත්‍ය බව, ඉපදීම - ජීවත් වීම - මරණය නම් වූ 'ජීවිතය' ම දුක බව බුදුදහම තුළ පැහැදිළි කෙරෙනව. දුක - දුක ඇතිවීමට හේතුව - දුක නැතිකිරීම - දුක නැතිකිරීමේ මාර්ගය තමයි චතුරාර්ය සත්‍ය, නිවනට මග!
වඩා යහපත් ලෝකයක් ගොඩ නගන සාකච්ඡාව තියෙන්නෙ ඊට මෙපිටින්. ඒත් බුදුදහම, බුද්ධාගම වෙලා ආගමික ආකෘතියකට එනකොට එක්තරා ආකාරයක බුද්ධිමය විකෘතියක් ඇතිවෙනව, එතකොට තමයි අපි, පව් - පිං කියල කර්මය පිළිබඳ වැරදි කියවීමකට යන්නෙ, නිවන වගෙ මොකක්හරි දෙයක් ගැන හිතාගෙන එක එක දේවල් කරන්නෙ.
මේ මොහොතෙ අපි මුහුණ දෙමින් ඉන්න ස්වභාවික ව්‍යසනය තුළ අපේ ජීවිත යළි කියවගන්න නං බුදුදහම තුළ ඉස්මතු කෙරෙන නියාම ධර්ම ගැන අදහසක් ඇති කරගන්න ඕනෙ. කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, සෘතු නියාම හරහා මේ තත්වය ඉතා නිරවුල්ව කියවගන්න පුළුවං. එත් අපිට කොහෙන්ද එහෙම නිස්කලංක ඔළුවක්, හිතක්? අපි ඉතිං පිම්මෙ දුවනවනෙ.
ඊයෙ, 2016 මැයි 20 රෑ 'හිරු' නාලිකාවෙ ප්‍රවෘතියකට අනුව, ලංකාවෙ හුඟාක් පැති යටවෙලා විපතට පත්වෙද්දී බදුල්ල බේරිලා තියෙන්නෙ ඒ නාලිකාව සංවිධානය කරන ධාතු වන්දනා වැඩසටහන නිසා, බදුල්ලෙ දිස්ත්‍රීක් ලේකම් නිමල් අබේසිරි විතරක් නෙවෙයි, මුරුද්දෙණියෙ ධම්මරතන හාමුදුරුවොත් හිරු තිරය මත ඒ බව තහවුරු කරනව.
හිතන්න! බුදුදහම කොයි තරං  බරපතළ විදිහට අපට 'මිනිස්සුන්ට' මග හැරෙනවද?
වෙසක් හඳ යට මිනිස්සු තනිවෙලා යන එන මං හොයාගන්න බැරුව...
CHAPA

Thursday, May 19, 2016

වෙසක් හඳ යට...

මහා වැසි ඇද හැලෙනව, රටෙන්  කොටසක් ජලයෙන් යටවෙලා, කඳු නාය ගිහිං පවුල් පිටිං මිහිදන්වෙලා. මිනිස්සු සෑහෙන්න මැරිලා, අතුරු දහන්වෙලා, තුවාල වෙලා, ලෙඩ වෙලා, අනාථ වෙලා, දේපොළ විනාශවෙලා...අනිත් හුඟක් සත්තුන්ටත් මේ ව්‍යසනය තදින්ම දැනෙනවා. ඇයි මේ?
ඒ අතර, පොදු ජනයා සහ සංවිධානය වූ පිරිස් ස්වේච්චාවෙන්, මහන්සියෙන් - කැපවීමෙන් විපතට පත්වෙච්ච අයට උදව් කරන හැටිත් අපිට පේනවා. රාජ්‍ය මැදිහත්වීම නං තව සංවිධානාත්මක වෙන්න ඕනෙ. ඔය අතරෙ බොර දියේ මාළු බාන්න හදන ජාවාරම් කාරයොත් වැඩ පටන් අරං, ජනමාධ්‍ය ආයතන තරඟයට වගෙ සහන සේවා පටන් අරං -  පුවත් වාර්තාකරණයට එහා යමින් විපතට පත වුවන්ට ඔවුන් උදවු කරන හැටි රුපවාහිනි තිර මත රූ රටා මවනව. ඒ සියල්ල අගය කරන්න ඕනෙ, ප්‍රශ්නයකට තියෙන්නෙ ඔවුන් ජනයාගෙන් එකතු කරන ආධාර! සමහර මාධ්‍ය ආයතන සුනාමි කාලයෙ පොදු ජනයාගෙන් එකතු කරපු ආධාර, විශේෂයෙන්ම මිලියන ගණන් මුදල්; ඒ සමහර මාධ්‍ය ආයතන වංචා කෙරුවද කියන ප්‍රශ්නය එහෙම්මම තියෙනව. කොහොමත් ඒ ගනුදෙනු පාරදෘශ්‍ය නැහැ! ඒ ඉතිං වෙනම සාකච්ඡාවක්.
ඒ අතරෙ අපි සාකච්ඡා කරන්න ඕන වැදගත්ම දේ තමයි, රටේ භූගෝලීය තත්වයන්ට ගැළපෙන පාරිසරික        ( ස්වභාව ධර්මයට! ) සංවේදී දීර්ඝකාලීන සංවර්ධන සැලැස්මක් රටට ඕනෙ බව. මේ, මුළු ලෝකයටම අදාළ යෝජනාවක්! එක පැත්තකින් මේ මහා ස්වභාවික ව්‍යසනයන්ට හේතුවෙන්නෙ මිනිස්සුන්ගේ නොවිධිමත් සංවර්ධන වැඩ, හිතුවක්කාර ඉදිකිරීම් - ඉවක් බවක් නැති විනාශයන්.
හැබැයි ඒ සියල්ල අතරෙ අපි පසක් කරගත යුතු අතිශය බරපතළ තත්වය තමයි, ස්වභාව ධර්මයට අපි අනිවාර්යයෙන්ම යටත් බව, මිනිස්සු වූ පළියට - විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් අත්පත්කරගත්ත පළියට, අපිට සියල්ල දිනාගන්න බැහැ! ඇතිවන නැතිවන විශ්වීය යථාර්තය එහෙමයි, 'බුදුදහම' තමයි මේ සොයාගැනීම. ඉතිං මේ මහා ස්වභාවික විපත් මැද්දෙ ජීවිතය ගැන ආපිට සලක බලන්න එළැඹෙන වෙසක් හඳ එළිය ලෝකයටම බල කරනව, මානව ශිෂ්ටාචාරයෙ අනාගත දිශානතිය හොයාගන්න නං ඒ මහා බුද්ධිමය සංවාදය අත්‍යවශ්‍යයි, වෙන විකල්පයක් නැහැ!
ඒත් මුදල් සහ තවත් සම්පත් කබාසීනියා කරමින් බුදුදහමට එරෙහිව බුදුදහම සමරන්න පුරුදුවෙලා ඉන්න අපේ රටේ බෞද්ධ බහුතරයට නං මේ යෝජනාව නිකං විකාරයක් වගෙ දැනෙයි! CHAPA  

CHAPA on CSN 'Aththa' with Rear Admiral Sarath Weerasekara, P 3

CHAPA on CSN 'Aththa' with Rear Admiral Sarath Weerasekara, P 2

CHAPA on CSN 'Aththa' with Rear Admiral Sarath Wirasekara, P1

Sunday, May 15, 2016

Let's cry Handagama! 

හඳගම, අපි අඬමු ද! 

අශෝක හඳගමගෙ අලුත්ම සිනමා කෘතිය 'ඇගේ ඇස අග - Let her cry!' හරියටම ලාංකේය සමාජය මේ මොහොතෙ මුහුණදෙමින් තිබෙන සංකීර්ණ දේශපාලන වට පිටාවෙ පිටපතක් වගෙ. මැද වයස පහුකරමින් ඉන්න ඉහළ පාන්තික විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් සහ ඔහුට පෙම් බඳින ඔහුගෙ ශිෂ්‍යාවක් වටා ගොඩනැගෙන කතාව පුරා, ඒ දෙදෙනාට අමතරව මහාචාර්යවරයගෙ බිරිඳ සහ පාසල් ශිෂ්‍යාවක් වන දියණිය, එකම 'මානසික සංකීර්ණයක්' විදිහට එකිනෙකාට අභිමුඛ වෙන හැටි හඳගම සීරුවට සිනමාවට නගනව. ආදරය, ලිංගිකත්වය, බැඳීම, සම්මතය, අසම්මතය ( තහනම වෙනුවට වසඟය ) ආදී වශයෙන් ඔහු තම ප්‍රේක්ෂකයගෙ හැගීම් සමග සියුම් ගනු දෙනුවකට යනව - ඔවුන් එහාට මෙහාට දෝලනය කරවනව. සිනමා රචනාවෙ අන්තිම පරිච්ඡේදය කැමරාවට නන්වනකං හඳගම හොඳ සංයමයක ඉන්නව, එත් ඒ සිනමාත්මක සංයමය ප්‍රේක්ෂකාගාරය අතරමං කරමින් එකවර බිඳ වැටෙනව. හේතුව සරලයි! හඳගමගෙ සිනමා භාවිතය ඔන්න දැන් සැඟවුණු දේශපාලනය බවට පත්වෙනව. එතෙක් වැඩි වෙලාවක් රූප රාමු මවන මහාචාර්යවරයගෙ ගෙදර යන්තමට පෙනෙන්නට ඉඩහරින බුදු පිළිමය සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇහෙන බණ (?) එක පාරටම පන්සල් භූමියකට මාරු වෙනව. සුදු ඇඳගෙන පන්සල් ඇවිත් බොරුවට වැදුම් පිදුම් කරන මධ්‍යම සහ ඉහල මධ්‍යම පාන්තික (?) පවුල් තුළ හිරවී තිබෙන ලිංගිකත්වයට සම්බන්ධ අවුලක් ගැන මේ හරියේදී හඳගම අමුවෙන්ම කතා කරන්න පටන් ගන්නව. දේශපාලනඥයෙක් (හෝ ඒ හා සමාන මුදලාලි කෙනෙක් ) විදිහට පෙන්නුම් වන පුද්ගලයෙකුත් තම බිරිඳ සහ ආරක්ෂකයින් සමග පන්සල් භූමියට එනව, ඒ සියලු දෙනා අන්තිමට ලොකු ගැටුමකට සම්බන්ධ වෙනව. හඳගම ඒ හරියෙදී සැහෙන්න පරදිනව, ඔහු එතෙක් සීරුවට ගොතාගෙන එන කතාව දැන් විකාරයක් බවට පත් වෙනව. මේ සිනමා කෘතිය දියුණු දේශපාලන ප්‍රකාශනයක් විය යුතුව තිබුණත්, එය අන්තිමට සිංහල බෞද්ධ ජන සමාජය නිර්දය ලෙස විවේචනය කරන හුදු දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වෙනව. ලංකාවෙ මේ මොහොත ගැන අපි දැන් පරිස්සමට බලමු! ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් වීමේ ඓතිහාසික තත්වයන් මේ වෙනකොට දැඩි අභියෝගයට ලක් වෙනව, ලංකා රාජ්‍ය ව්‍යුහාත්මකව වෙනස් කරන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු සිද්ධ වෙනව, ථෙරවාදී බුදු දහම මත වර්ධනය වුණු මහා දැනුම් පද්ධතිය සහ ඊටම ඈඳුණු කෘෂි ආර්ථිකය දිය කරලා දානව...මේ සියල්ලට සමගාමීව සංස්කෘතික සංහාරයකුත් දියත් වෙනව. ඒ, සංස්කෘතිය, ආර්ථිකයෙ ප්‍රකාශනය නිසා. මේ මෙහෙයුමට රාජ්‍ය නොවන සංවිධාන පොකුරක්ම එකට වැඩ. ලංකා රාජ්‍ය සහ ඊට සම්බන්ධ පවුල ප්‍රමුඛ සියලු අංගෝපාංග විවේචනයට ලක් කෙරෙන එක, ඒ පිළිබද පුළුල් සංවාදයක් ගොඩ නැගෙන එක අත්‍යවශ්‍යයි! ලංකාවෙ දිශානතියත් වෙනස් විය යුතුමයි, ඒත් එය හුදු ව්‍යාපෘතියක් වෙන්න නං බැහැ! ඉතිං, හඳගමගෙ 'ඇගේ ඇස අග' සිනමා වියමන කියව ගන්න වෙන්නෙම මෙන්න මේ සන්දර්භය ඇතුළෙ තමයි! එහෙම නැති වුණොත් අපිට හඳගමගෙන් අහන්න වෙන්නෙ, අපි ඔක්කොම අඬමුද කියල, මොකද, අපි කාටවත් දිනන්න බැහැ!CHAPA   

නවක වදය, පරණ වදයක්!

පරණ 'නවක වදය' දැන් අලුත් මාතෘකාවක් හැටියට මාධ්‍ය හරහා යළි සමාජ ගතවෙමින් තියෙනව. 60 - 70 දශක වලදි  වගෙ ලංකාවෙ රාජ්‍යය විශ්ව විද්‍යාල කේන්ද්‍රකරගෙන පටන් ගන්න නවක වද ක්‍රියාවලිය තවමත් ඒ විදිහටම ඉදිරියට යනව. ඒ, කැළණි විශ්ව විද්‍යාලයෙ සිදිධියත් එක්ක.
විශ්ව විද්‍යාලවලට එන නවක සිසුන් ට නියත වශයෙන්ම අත්විඳින්නට සිදුවන මේ 'වදය' වෙනුවෙන් පෙනී හිටින ජ්‍යෙෂ්ඨයො, මේ හරහා නවකයින් වඩා සමාජශීලී සහ එකමුතු වන බව කියනව. සිසුන් තුළ පවතින සමාජ වෙනස්කම් ද මෙමගින් අවම වන හැටි ඔවුන් පැහැදිලි කරනව. 'සියල්ලන් සමාන විය යුතුයි!' වගෙ මූලික අදහසක් තමයි මේ නවක වද ක්‍රියාකාරකම් තුළ තියෙන්නෙ. නවක සිසුවියන්ට චීත්ත ගවුම් අන්දවා සෙරෙප්පු දැම්මවීම වගෙම නවක සිසුන්ගෙ කොණ්ඩ කොටට කප්පවා සෙරෙප්පු දැම්මවීම වගෙ අංගත් මේ අස්සෙ පොදුවෙ දකින්න තියෙනව. මේ විශ්ව විද්‍යාල අභාෂය, මේ පමණට නැතත් යම් සුළු ප්‍රමාණයකින් හරි අනුගමනය කරන්න හදන පාසල් සිසුන් සහ වෙනත් අධ්‍යාපන ආයතන සිසුන් ද ඉඳ හිට හෝ හමු වීම විශේෂත්වයක්. විශ්ව විද්‍යාල නවක වදය නිසා අකාලයෙ නැතිවුණු, අබලන් වුණු ජීවිත වගෙම අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තු ජීවිත ගැනත් ඉතිහාසය තුළ සටහන්  ලියැවිල තියෙනව. ලාංකේය රාජ්‍ය විශ්ව විද්‍යාල වසාගත් මේ නවක වදය පිටිපස්සෙ ප්‍රමුඛව - දිගටම වගෙ ජවිපෙ දේශපාලනය තියෙනව කියන එක රහසක් නෙවෙයි, පස්සෙ පෙරටුගාමී කිව්වත්, ඒ අස්සෙ ආයෙත් තියෙන්නෙ ජවිපෙ අක් මුල්. නවක වදය හරහා තම කණ්ඩායම් සාමාජිකත්වය වැඩිකරගැනීම සහ තම අරමුණු ශක්තිමත් කර ගැනීම අපේක්ෂා කෙරෙන බව පොදුවෙ පේන්න තියෙනව. මේ අතර, විවිධ පවුල් පසුබිම්, බුද්ධි මට්ටම්, අධ්‍යාපනික මට්ටම්, ලිංගිකත්වය සහ තවත් බොහෝ සමාජ සාධක, නවක වද ක්‍රියාකාරකම් මෙහෙයවමින් හොල්මන් කරන බවත් දකින්න පුළුවං. මෙතැනදි සංවාදයට ගන්න ඕන අතිශය වැදගත් කාරණයක් තියෙනව. 20 වැනි ශතවර්ෂය මැද්දෙ වාමාංශික දේශපාලනය ලංකාවට එන්නෙ එක්තරා 'දේශපාලන විකෘතියක් විදිහට', ජවිපෙ ප්‍රමුඛ රැඩිකල් වාමාංශික ව්‍යාපාරයටත් මේ ආභාෂය ඍජුව බල පෑව. කාල් මාක්ස් ගෙන් පටන් ගන්න විද්‍යාත්මක සමාජ වාදය, වඩා නොගැඹුරු සහ මතු පිටින් අහුවෙන විදිහකට තමයි ලාංකේය පොළොව ස්පර්ශ කරන්නෙ - රාජ්‍ය ශක්තිමත් කරන උපකරණයක් විදිහට. පන්ති විෂමතාව, සූරා කෑම...වගෙ විද්‍යාත්මක සොයා ගැනීම් ලංකා සමාජය ඇතුළෙ එක්තරා සමාජ වෛරයක් බවට පත්වෙන්න පටන් ගන්නෙ එහෙමයි. මෙන්න මේ නොමේරූ සිල්ලර දේශපාලනයත් විශ්ව විද්‍යාල නවක වදය පෝෂණය කරනව, එක පැත්තකින් එය එහි ප්‍රධාන මුලක්!
මේ සියල්ල අතර, ලංකාවෙ සියලු නිදහස් අධ්‍යාපන අවස්ථා අවසාන කරන රතු එලි දැල්වෙන බව අපි කවුරුත් දන්නව. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව...තම ණය කොන්දේසිවල ප්‍රමුඛ තැන දෙන්නෙත් ඒ සහාසික කප්පාදුවටම තමයි. රටක් හිතේ හැටියට කොල්ල කන්න නං එහි අධ්‍යාපනය දියාරු කළ යුතු බව එක්සත් ජාතීන් පෙරටු කොටගත් 'ඔවුන්' හොඳාකාරවම දන්නව.
එහෙමනං මේ අපේ ශිෂ්‍ය ව්‍යාපාර කරන්නෙ, දැන හෝ නොදැන ඔවුන්ට උඩ ගෙඩි දෙන එක නෙවෙයිද? අපි කරන්න ඕනෙ, දැනුමෙන් සන්නද්ධ විශ්ව විද්‍යාල ප්‍රජාවක් ගොඩ නගන එක නේද? ඒ වගේම ලෝක දේශපාලනය තුළ වාමාංශික ව්‍යාපාරය ඓතිහාසික වශයෙන් මුහුණදෙමින් තියෙන සංකීර්ණ අර්බුදය ගැන සංවාදයක් ගොඩනගන්න විශ්ව විද්‍යාල පද්ධතිය තරං සරු භූමියක් තවත් තියෙනවද?
ඇයි අපි ඒ මහා අවකාශය මේ වගෙ ගොන් පාට් වලින් අවහිර කරල දාන්නෙ? නිදහස් අධ්‍යාපනය රැකගන්න දැන් ඔය එළියෙ කරන උද්ඝෝෂණ වලටත් මේ යෝජනාව අතිශය අදාළයි.
පවතින සහ වැඩිවන සමාජ අයුක්තියට එරෙහි අරගලය දිගටම පවතින්න ඕනෙ, එත් එහි මාදිලිය වෙනස් වෙන්න ඕන, දැන් අන්තිමට වෙන්නෙ පොලිසිය විශ්ව විද්‍යාල භූමියට රිංගන එක, ඊ ළඟට හමුදා! ඔන්න ආයෙත් 71, 88 - 89!
මතක තියා ගනිල්ලා අපිට ආපස්සට නං යන්න බැහැ!
වරෙල්ලා අපි දියුණු දේශපාලන සංවාදයක් ගොඩ නගමු!
නවක වදය වෙනුවට නව ආරම්භයක්!
CHAPA

Sunday, May 8, 2016

හිටපු නාවුක හමුදාපති, හිතවත් අද්මිරාල් වසන්ත කරන්නාගොඩට ලියමි, 

මා ආමන්ත්‍රණය කරන 2016 මැයි 6 දාතම ඔබේ ලිපිය සහ එදිනම අප අතර ඇතිවූ දුරකතන සංවාදය හා සැබැඳියි; 
මේ රටේ ප්‍රධානම හමුදා ධුරයක් දැරූ ඔබ වැනි නාවුක හමුදා ජ්‍යෙෂ්ඨයෙකු, මාධ්‍ය කරුවෙකුගෙ සහ දේශපාලන ක්‍රියාකරිකයෙකුගෙ මාධ්‍ය මැදිහත්වීමක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ලෙස මම දකිමි. 
ඊළඟට, ඔබ අපේක්ෂා කරන පරිදිම, අපේ සංවාදය තවත් ඉදිරියට ගෙනයනු වස් ඔබේ ලිපියෙන් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු දෙකක්  සම්බන්ධයෙන් මෙසේ සටහන් තබන්නෙමි - ඔබේ මුලික අවධානයට ලක්වන්නේ 2015 ජුලි 12, Sri tv  වෙනුවෙන් කළ Face to Face සජීව සාකච්චාවයි; 
1. අලිමංකඩ හමුදා කඳවුර, වරෙක මුළුමනින්ම බිඳ දැමීමට, එල්.ටී.ටී.ඊ. ය අදාළ කඳවුරු භුමියේ ජල සැපයුම කපා දැමීමේ ක්‍රමය අනු ගමනය කළ බවත්, ඒ ක්‍රමයම අනුගමනය කරමින් රටක් බිඳ දැමිය හැකි බවත් මම එකී සාකච්චාවේදී පැහැදිලි කළෙමි. ඒ, විදේශ ණය
මතම රැකෙන්න උත්සහ කරන මේ රට, එවැනි අනාගත අනතුරකින් ගැලවෙන්නට නම් ස්වීය ආර්ථිකයක් ගොඩනගාගත යුතු බව අවධාරණය කිරීමටය. ඔබ එහිදී අවධානයට ගන්නේ, අදාළ සටන් ක්‍රමය අලුත් එකක් නොව ඈත අතීතයේදී පවා යොදාගත් එකක් බවය. ඒ සඳහා Sun Tzu ගේ The Art of War කෘතියද ඔබ ගෙන හැර පා තිබේ, ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැත.
2. පෙර සඳහන් වැඩසටහනේම, එල්.ටී.ටී.ඊ. ය පරාජය කළේ මහින්දරාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යැයි මා පවසන බවක් ඔබ කියයි. එය ඔබේ වැරදි කියවීමක් ලෙස මම යෝජනා කරමි. 'ලංකා රාජ්‍ය, එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීම' යන  සාකච්චාවේදී, මම දිගින් දිගටම පෙන්වා දෙන්නේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලෙසද, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙසද එකී යුද ජයග්‍රහණයට 'දේශපාලන නායකත්වය' දුන් බවය. 
සරත් ෆොන්සේකා පිළිබද මාතෘකාවේදී, මම ප්‍රශ්න කරන්නේ, ඔහු කියන පරිදි යුද්ධය ජයග්‍රහණය කළේ ඔහු නම්, ඊනියා ජාත්‍යන්තරය හරහා එන යුද අපරාධ හෝ මානව  හිමිකම් උල්ලංඝනය කීරීම් පිළිබඳ චෝදනාවලින් ඔහු නිදහස් වන්නේත්, ඒ වෙනුවට, අදාළ පරීක්ෂණ පැවැත්වෙන අතරතුරම ඔහු ෆීල්ඩ් මාර්ෂල් තනතුරටත් උසස් වන්නේත් කෙසේද යන්නය. කෙසේ හෝ, යුද හමුදාව, ඔබ නායකත්වය දුන් නාවුක හමුදාව, ගුවන් හමුදාව මෙන්ම පොලීසියද ඇතුළු තවත් ආරක්ෂක ඒකක අදාළ යුද ජයග්‍රහණයට ජීවිත පරිත්‍යාගයෙන් මැදිහත් වූ බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. 
ඔබ ලියා තිබෙන 'අධිෂ්ඨානය' කෘතියෙන්  විස්තර කර පෙන්වන්නේ ද  යුද ජයග්‍රහණයේ ප්‍රධාන හවුල් කරුවෙකු ලෙස නාවුක හමුදාව කෙතරම් කාර්යක්ෂම ලෙස සටන් කළේ ද යන්නය. 
අවසාන වශයෙන්, මෙහිදීම සඳහන් කළ යුතු අතිශය වැදගත් කරුණ වන්නේ, මම කිසිදු අවස්ථාවක යුද්ධය වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බවය. මම සැරිසරන ඓතිහාසික මහා දේශපාලන සංවාදයේ දී War is WRONG! එනම්, සියලු ආකාරවල යුද්ධ දේශපාලන අපරාධ මිස අන් යමක් නොවේ. යුද විරුවන්ද නැත, සිටින්නේ යුද ගොදුරු පමණකි. ඒ අතර, රාජ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා පසුබිමකදී, යම් ව්‍යවස්ථානුකූල රාජ්‍යයක් ත්‍රස්තවාදී ක්‍රමයකට පෙරළා දැමීමට යම් පිරිසක් වෑයම් කරන්නේ නම්, ඔවුන්ට එදිරිව යුද ක්‍රියාමාර්ග ගැනීමට එකී රාජ්‍යයට සිදුවන බව පිළිගැනීමට ද සිදුවන බව දනිමි.  
කෙසේ වෙතත් ඔබ වැනි හිටපු හමුදා නායකයන් පවා යෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාදයට ඉදිරිපත්වීම මම යළි අගය කරන්නෙමි! 

ඔබට ජය!

චාපාබණ්ඩාර  

Saturday, May 7, 2016

දඩයම් එපා! 

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන්, මේ දිනවල සමාජ වෙබ් අඩවි තුළ වැඩි කතා බහක් ඇතිවෙමින් තියෙනව, පසුබිම් වෙන්නෙ 'දිවයින' පුවත් පතේ යම් ලිවීමක්. පහුගිය රෙජීම වෙනස් කිරීමට අදාළව සහ ඊට පෙරත් බොහෝ විට ඔහුට එරෙහි දැඩි ප්‍රහාර එල්ලවෙමින් තිබුණා, විශේෂයෙන්ම ජවිපෙ ගමන් දිශාව වෙනස් කෙරුව කියන එක ගැන, ආණ්ඩුව ඇතුළෙ හැසිරීම ගැන. යම් පුද්ගලයෙක්, විශේෂයෙන්ම දේශපාලන අවකාශයක් ඇතුළෙ දැඩිව විවේචනය කරන්න පුළුවං, ප්‍රශ්න කරන්නත් පුළුවං. හැබැයි ඒ මැදිහත්වීම් ගවේෂණාත්මක වෙන්න ඕනෙ, පොදු අරමුණකට අදාළ වෙන්න ඕනෙ,  පුද්ගල පළිගැනීම්, ද්වේශය - වෛරය බැඳගත්ත පහරදීම් වෙන්න බැහැ. කොටින්ම දේශපාලනික වෙන්න ඕනෙ!
අනුරගෙ සහ ඔහුගෙ නායකත්වය යටතෙ ජවිපෙ දේශපාලන භාවිතය ප්‍රශ්න කරන එක වැදගත්, ඒත් ඔහුට අපහාස කරන එක, විශේෂයෙන්ම ඔහුගෙ පවුලට හානිවන විදිහට මඩ ගහන එක සාධාරණ නැහැ. ඔහුගෙ විවාහ ජීවිතයට, දරුවන්ට සහ පවුලෙ සෙසු සාමාජිකයන්ට දැඩි අපහසුතා ඇතිවන ආකාරයට ක්‍රියාකරන එක යුක්තිසහගත නැහැ! මේ යෝජනාව අනිත් පැත්තෙන් අනුරටත් අදාළයි. ඔහු සමහර වෙලාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට, ඔහුගෙ පවුලට සහ නෑදෑයන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රමාණයකින් ප්‍රහාර එල්ල කරමින් ඉන්නව, ඒ තුළ ද්වේශ සහගත හැඩයක් තියෙන බවත් පේනව.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, විමල් වීරවංශට සහ ඔහුගෙ පවුලට විරුද්ධව ප්‍රාථමික මට්ටමේ ප්‍රහාර එල්ල කරනකොටත් ඇති වුණේ මෙහෙම තත්වයක්.
කොහොම හරි දේශපාලනය කියන්නෙ බුද්ධිමතුන්ගෙ සොයාගැනීමක්, මොන මොන මත වාද ඔස්සෙ වැඩ කෙරුවත් යම් නිශ්චිත මානුෂික මට්ටමක් පවත්වාගෙන යන එක දේශපාලන කොන්දේසියක්. එකිනෙකා දඩයම් කිරීමෙන් සියල්ල විනාශ කරන - සියල්ල විනාශවන තැන කිසිම දේශපාලනයක් නැහැ!
වැදගත්ම දේ 'ජීවිතය', හොඳට මතක තිය ගන්න! CHAPA 

ලංකාව දැන් ණය - මර උගුලක හිරවෙලා! 

එදා මෙදා හැම ආණ්ඩුවක්ම කොන්දේසිවලට යටත් වෙලා දිගට හරහට ණය ගන්නව, විශේෂයෙන් 1977 න් පස්සෙ එක දිගටම, මේ දැනුත්! රටේ මුළු අනාගතයම, නුපන් පරම්පරා ගණනාවක්ම ණයට හිරකරලා! ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, තවත් මුල්‍ය ආයතන, කළු කඩ... මේ හැම තැනකින්ම අපි ණය ගන්නව. මේ අනුව, අදාළ ණය කොන්දේසි පිළිපදිමින්, රාජ්‍ය ව්‍යවසායන් විකුණමින්, රටට නොගැලපෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකරමින් පාලකයො රට විනාශකරමින් ඉන්නව, උගත්තු - බුද්ධිමත්තු සහ වෘතිකයන් යැයි කියාගන්න අයත් විවිධ වේශයෙන් මේ කාලකණ්නි වැඩපිළිවෙළ සාධාරණීකරණය කරමින් පවත්වාගෙන යනව. ලංකාව කෘෂි ආර්ථික පදනමක් තියෙන සම්පත් පිරිච්ච සුන්දර රටක්! අපේ ආර්ථික පදනම වෙන්න ඕනෙ කෘෂිකර්මාන්තය, එත් අද වෙනකොට ගොවියො පණ අදිනව, එක පැත්තකින් රසායනික යෙදවුම් නිසා මාරාන්තික වකුගඩු රෝගීන් වෙලා, අනිත් පැත්තෙන් අස්වැන්න විකුණගන්න බැරුව විලාප තියනව. ගොවියන්ට සහනාධාර ඕන නැහැ, ඒ හිඟන්නො නෙවෙයි! නිසි ආර්ථික දැක්මක් නැති රටේ ඔවුන් අසරණ කරල. පොළොවත් විෂවෙලා. රටට අනන්‍ය ආර්ථික දැක්මක් එක්ක ලෝක ආර්ථිකය සමග හරි හරියට ගනු දෙනු කරන්න අපිට බැරිවෙලා තියෙන්නෙ අපේම අමන කම නිසා. දැන් මේ ණය අරගෙන මොකද්ද කරන්නෙ? ණය උගුලෙ කොන්දේසි හරහා රට ඉවර කරන අතරෙ රටට නොගැලපෙන ඊනියා සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක කරල රටේ විනාශය තවත් ඉක්මන් කරනව. අල්ලස්, දුෂණ, වංචා සහ අක්‍රමිකතා අතරෙ දේශපාලකයො, බලධාරීන් සහ නිලධාරීන් පිනුම් ගහනව. අපි කොහොමද ඉතිං රටක් හැටියට පවතින්නෙ? හිතන්න, මේ රජ්‍යවියදම් නාස්තිය ගැන! පාර්ලිමේන්තුවෙ දෛනික වියදම, මැති ඇමතිවරු නඩත්තු කරන්න යන වියදම්; ඇමතිවරු - නියෝජ්‍ය, රාජ්‍ය ඇමතිවරු දැන් කී දෙනෙක්ද? අමාත්‍යංශ කීයක්ද? මේ බුරුත්තම විදේශ ගමන් සඳහා නාස්තිකරන මුදල් කන්දරාව !?මේ කතාකරන මොහොත වෙනකොට ආණ්ඩුව, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලී පදනම මත රාජගිරියෙ මහා ගොඩනැගිල්ලක් අරගෙන, ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ සහ තවත් අය කුනු කුනු ගෑවට වැඩක් නැහැ, ඒ රට කන වැඩ දිගටම යනව, ණයට කන රටකට මේ මහා නාස්තිකාර වියදම් දරන්න පුළුවං ද?රාජ්‍ය නාස්තිය අවම කරගත්තොත් අපිට හුඟක් දේවල් කරන්න පුළුවං! අපි මේ ගැන හඬ නගමු! මැදිහත් වෙමු!! පුළු පුළුවං තැන්වල, පුළු පුළුවන් විදිහට. CHAPA

Friday, May 6, 2016


මොන 'බම්බුවක්ද'? 

පරිපුරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තුවෙ ඡන්දය විමසීමට යන අවස්ථාව ආපිට පරීක්ෂාවට ලක් කරනකොට තවත් වැදගත් දෙයක් කතා කරන්නම සිද්ධවෙනව. රුපියල් මිලියන 55 ක් වගෙ විශාල ජනතා මුදලක් වැය කරන්න හදන තීරණයක් ගන්න වේලාවෙ පාර්ලිමේන්තුවෙ ආසන මෙහෙම හිස් වෙන්න පුළුවන්ද? පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ, පොදු ජනයාගෙ නියෝජිත පාලන ක්‍රමයක්. පොදු ජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිත්, අසාධාරණ වාසි - වරප්‍රසාද සියල්ල ලබාගෙන, කෙටි කාලයකින් විශ්‍රාම වැටුපකුත් හදාගෙන මේ 225 කරන්නෙ මොන 'බම්බුවක්ද'? ලෝකය පුරාම මේ ප්‍රශ්නය අඩු වැඩි වශයෙන් තියෙනව තමයි, ඒත් ලංකාවෙ අපි මේ තත්වය වෙනස් කරගන්න මැදිහත් වෙන්න ඕනෙ - රට වෙනුවෙන්! ඕනෑම ආයතනයක රාජකාරියට එන යන වෙලාවක් තියෙනව, එහෙම නෙවෙයි නං රාජකාරී ඉලක්ක තියෙනව. ප්‍රජාතන්ත්‍රවාදය ඔසවාගෙන ඉන්න විධායකය - ව්‍යවස්ථාදායකය - අධිකරණය, බලන්න! මේ තැන් තුනටම වෙලාව හෝ ඉලක්ක අදාළ නැහැ! කැමති වෙලාවක එන්න යන්න සහ වැඩ  කරන්න හෝ නොකර ඉන්න ඔවුන්ට පුළුවං, කවූද ප්‍රශ්න කරන්නෙ? මෙහෙම වෙනකොට කොහොමද රට හැදෙන්නෙ? අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු නියෝජිතයන් නියම වෙලාවට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වෙලා ඒවා අවසන් වෙනකං  සභාවෙ රැඳී ඉන්න ඕනෙ, විනිසුරුවරුන්ටත් නිශ්චිත වෙලාවක් තියෙන්න ඕනෙ වැඩ පටන් ගන්න - රාජකාරී ඉලක්ක තියෙන්නත් ඕනෙ. හොර පනත් සම්මත නොවෙන්නෙත්, ඒ හරහා පාර්ලිමේන්තුව තුළ පොදු ජන අභිලාෂයන් නිරුපණය වෙන්නෙත්, නඩු ගොඩ ගැහි ගැහි සැක කරුවන්ගෙ ජීවිත විනාශ වෙන එක නවතින පසුබිම ගොඩ නැගෙන්නෙත් ඒ ව්දිහට තමයි. ඉතිං කොහොමද මේ තත්වය හදා ගන්න අපි මැදිහත් වෙන්නෙ? මිත්‍රවරුනි! මේ සාකච්චාව අතිශය වැදගත්...CHAPA

Thursday, May 5, 2016

හොර ඡන්ද එපා! හොඳ මැදිහත් වීමක්!  

අද පාර්ලිමේන්තුවේදී, රු.මිලි. 55 ක පරිපුරක ඇස්තමේන්තුව  31 ට 33 ලෙස සම්මත වීම බොරු මවා පෑමක් බව අදාළ කැමරා දර්ශන යළි පරීක්ෂා කරමින් තහවුරු කරගනීමට ඒකාබද්ධ විපක්ෂය සහ තවත් පක්ෂවල අය පියවර ගැනීම, ඉදිරි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. රට වඩා නිවැරදි දිශාවකට තල්ලු කරගන්න පුළුවන් වෙන්නෙ මේ වගෙ සජීව මැදිහත්වීම් වලින් විතරයි! ඒ මොන පැත්තද, මොන පක්ෂයද කියන එක වැදගත් නැහැ! පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීම හැම පැත්තෙම වගකීමක්. පසු ගිය දා පාර්ලිමේන්තුව තුළ සිදුවුණු ගැටුමට අදාළව ගත් පියවරත් අනිවාර්යයෙන්ම මෙලෙස අභියෝගයට ලක් විය යුතුයි! එය වැරදි පරීක්ෂණයක් සහ වැරදි ප්‍රතිඵලයක්! ජනමාධ්‍ය ගැනත් මේ මොහොතෙ යමක් කිව යුතුයි, විශේෂයෙන්ම රුපවාහිනී නාලිකා මේ සම්බන්ධයෙන් වග කිවයුතු මැදිහත් වීමක් කරන්න ඕනෙ, හිරු, දෙරණ..ප්‍රවෘති වාර්තාකරණය මේ අතර සැලකිය යුතු මට්ටමක තියෙනවා, අපි තව වැඩෙන්න ඕනෙ! මේ යෝජනාව සාමුහික මාධ්‍ය මැදිහත්වීමක් සඳහා!CHAPA 

පවුල ඇතුළෙ ගැහැනිය කවුද? කුමක්ද? with Vishrama Radio, April 2016

CHAPA on RAW web tv on May 4 , 2016