Wednesday, October 2, 2019

මට මගෙ ආත්මය සුද්ද කර ගන්න ඕන....!

''මං මහේෂ් සේනානායක ගැන ඔයා කරපු විඩියෝව බැලුවා...''
කමල් අද්දරාආරච්චි දුරකථනයෙන්. ඔහුට මං ඒ වැඩ සටහන බලන්න කිව්වෙ ඊට කලින් දවසක, ලින්ක් එකත් ඇරියා.
''එහෙමද, ඉතිං...?''
'' මෙහෙමයි...ඔයා යම් ෆ්‍රේම් වර්ක් එකක ඉඳගෙන කරුණු ඉදිරිපත් කරල තියෙනවා...ඒ සමහර ඒවා ගැන මටත් හිතන්න යමක් තියෙනවා...ඒත් මං වැඩ කරන්නෙ වෙන ෆ්‍රේම් වර්ක් එකක...''
ඔහු නිදහසේ කතා කරගෙන යනවා.
''මං එක පාරක්...රට හදන වැඩ පිළිවෙළක් හදලා මලික් සමරවික්‍රම අතටම දුන්නා...කරන හැටිත් කිව්වා...රනිල්ගෙ ඔෆීස් එකටත් පිටපතක් මම ම ගිහිං දුන්නා...ඒත් වැඩක් වුණේ නෑ!''
''ම්ම්ම්ම්ම්...''
මං මේ හු මිටි තියනවා.
''මගෙ තියෙන්නෙ එකම කොන්දේසියයි...ඒ මං ඉදිරිපත් කරන වැඩ පිළිවෙළේ මට බලය තියෙන තැනක් ඕන...නැත්තං බෑ!"
''එහෙමද?''
''මං කිව්වා මට රනිල් කතා කරන හැම වේදිකාවෙම කතා කරන්න දෙන්න කියල...මොකද මට මේ කතාව මිනිස්සුන්ට කියන්න ඕන...ඒත් වැඩක් වුණේ නෑ...!''
''ඊට පස්සෙ?''
මගෙන් කෙටි ප්‍රශ්නයක්.
''මං හිතුවා ආයෙ නං ඕවා ගැන හිතන්නෙ නැහැ...පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවා කියල...මොකද මං මේවා කරන්නෙ කිසිම වාසියක් ගන්න නෙවෙයි...අතිං වියදම් කරගෙන...කොටින්ම මට පාඩුයි...''
''ම්ම්ම්ම්....''
මගේ හූ මිටිය.
''එහෙම නිහඬව ඉන්නකොට තමයි මට මේකට ආරාධනාවක් ලැබුණෙ...මෙතන ඉන්නෙ අවංකව රට ගැන හිතන අය..වෘත්තිකයො...ඉතිං මං හිතන්නෙ මට යමක් කරන්න පුළුවං...''
''කමල් සමහර විට අවංකවම ඔහොම හිතනවා ඇති...ඒත් ප්‍රශ්න සේරම දේශපාලකයන්ට බැර කරලා ඔය වෘත්තිකයො කියා ගන්න අය කරන්නෙ බොරුවක්..කොන්ත්‍රාත්තුවක්...මෙහෙම හිතන්නකො කමල්...ඔය වෘත්තිකයන්ට ඔහොම ඇම්මක් ඒ ඒ තනතුරු දරනකොට තිබ්බා නං මෙලහකටත් රට ගොඩ...ඔය හමුදාපති පාස්කු ප්‍රහාරයට සෘ ජුව වග කියන්න ඕන නැද්ද? එතකොට...''
''ටිකක් ඉන්න මට එඩිටර්ගෙන් කෝල් එකක්...''
මගෙ කතාව කියාගන්න කලින් මාව ''හෝල්ඩ්'' වුණා.
''අනේ සොරි...කෝල් එකක් ආවා...ඉතිං මේකයි...මට ඕන රට වෙනුවෙන් යමක් කරන්න...මට තව ලොකු කාලයක් නෑ... අහ්! ඉන්න..ආයෙ ඒ කෝල් එක...''
ආයෙත් මාව හෝලඩ් වුණා.
''මෙහෙමයි..''
ඔන්න ආයෙ ඔහු!
''අහන්නකො කමල්...දැන් ඔය හිටපු විගණකාධිපති...එක පාරටම වීරයෙක් වෙලා රට හදන්න කතා කරන එකේ...''
මට කතාව ඉවර කරන්න බැරි වුණා.
''අනේ චාපා, ඉන්න, ආයෙ අර කෝල් එක...''
එහෙම කීප පාරක්ම වෙන දුර කථන ඇමතුම් ඇවිත් ඇවිත් අපේ සංවාදය දියාරු වුණා.
''හරි! අපි පස්සෙ කතා කරමු කමල්...''
''මට ඕන මගෙ ආත්මය පිරිසිදු කර ගන්න,,,රට වෙනුවෙන් මොකක් හරි කරන්න උත්සහ කෙරුවා කියල හිත හදා ගන්න...මොකද ඊ ළඟ ආත්මෙදි හැම එකාටම බයේ ජීවත් වෙන බල්ලෙක් හරි වෙන සතෙක් හරි වෙලා උපදින්න මට බැහැ...ඒකයි!'' 
ඔහු කලබල ගතියකින් එහෙමත් කිව්වා.
''එහෙම කියල වැරදි පාරවල් දිගේ යන්න එපා...අපෙ මේ ගැන ආයෙ කතා කරමු!''
''හරි! හරි! මට මේ එක දිගට කෝලස් එනවා..ඒකයි..ඕකේඒඒඒ...''
දුරකථන සංවාදය ඉවර වුණා. ඉතිං නිකමට මේ සටහන තිව්වා. 
එච්චරයි!
CHAPA
Oct 3, 2019


Sunday, September 22, 2019

හෙට බලමු...!

දැන් අපි නාවලපිටිය නගරයෙන් ටික ටික ඈත් වෙන ගමන්...
වැහි වැටෙන සීතල හැන්දෑවක්!
''ගමන කොහොමත් අමාරුයි, එත් යන්නම වෙනවා...'
වංගුවක් සීරුවට ගන්න ගමන් මං කිව්වා. වම් අසුනෙ ඉන්න මගෙ සගයා කිසිවක් නොකියා වංගුවේ චලනය සමඟ හිස සලමින් එය අනුමත කරන වග, මං ඡායා මාත්රයක් විදිහට දැක්කා.
වැස්ස එක පාරටම අඩු වෙලා ආයෙ වැඩි වෙන්න අරන්.
'හාමුදුරුවො නං එහෙ මෙහෙ එක එක වැඩ වලනෙ...ඒත් වැඩ සංවිධානය කරන අය මීට වඩා හිතන්න ඕන මං නං කියන්නෙ...අඩු තරමෙ අද උදේවත් කිව්ව නං අපි එන්නෙ නැහැනෙ...පොඩි දුරක්ද? මං කියන්නෙ අපරාදෙ!''
සගයා එහෙම කියනකොට, ඇත්ත තමයි! කියල මටත් හිතෙනවා. අද දවල් 2. 30 ට නාවලපිටිය නගරයෙදි පැවැත්වීමට නියමිතව තිබුණු රැස්වීම ගැන පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවො මට කිව්වෙ සිකුරාදා වෙන්න ඕන. ඒ කියන්නෙ දින දෙකකට කලින්. ඊට පස්සෙත් හාමුදුරුවො සහ මං දුරකථනයෙන් කතා බහ කෙරුවා, උන් වහන්සෙත් හිටියෙ, අද වැඩේ ගැන, බලාපොරොත්තුසහගතව.
පක්ෂ බේදයකින් තොරව රටේ මහ ජනයා දැනුමෙන් බල ගන්වන්න ඕන කියන ජාතික වගකීම ගැන, අපි දෙන්නා අතර අවබෝධාත්මක එකඟතාවක් තියෙනවා.
''හාමුදුරුවන්ටත් කළමනාකරණය කර ගන්න අමාරු ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවානෙ...අපි එන විදිහක් බලමු!''
මං තනියෙන් කතා කරන ගානට කිව්වා. වැස්ස සහ ඒත් එක්කම විසිරෙන පිණි වළාවන් නිසා පාරත් එක පාරටම අපැහැදිලි වෙනවා. මං රිය වේගය ටිකක් බාල කෙරුවා.
අපි අද කොළඹින් එන්න පටන් ගත්තෙ උදේ 11 ට විතර, දවල් 2 ට කලින් ගමනාන්තයට ළඟා වෙන්නයි ඕන වුණේ. ගමනෙන් සෑහෙන ප්‍රමාණයක් වගෙ එන අතරෙ, රැස්වීම සංවිධානය කරන කණ්ඩායමෙන් කෙනෙක් කතා කරල, රැස්වීම කරන්න වෙන්නෙ නැති ප්‍රායෝගික තත්ත්වයක් ගැන දුර කථනයෙන් කිව්වා. හාමුදුරුවොත් දුර කථනයෙන් සම්බන්ධ වුණා. උන් වහන්සේ, වැඩ වගයකට නුවර ගිහිං නාවලපිටියට එන ගමන් කියල කිව්වා. මොකද්ද අපි කරන්නෙ? අපි කතා වුණා.
එහෙම නං අපි පුළුවං කට්ටිය එකතු කරගෙන, රටේ දේශපාලන තත්ත්වයන් ගැන විශේෂ සාකච්ඡාවක් කරමු! අපට මෙහෙම නාස්ති කරන්න කාලයක් නැහැ! අතර මගදි එහෙම එකඟතාවක් ඇති කර ගත්තත්, වැඩේ සාර්ථක වුණේ නැහැ.
ඉතිං අපි යනවා!
''දැන් නං බඩත් ගිනියි...අපි මොනවා හරි කාල යමු!''
පාර අයිනෙ කඳු බෑවුමක පිහිටා තිබුණු ඇහැට ප්‍රිය කුඩා හෝටලයකට වාහනය හරවන අතර මං කිව්වා. යාළුවාගෙන් කිසි ප්‍රතිචාරයක් නොලැබුණත්, වාහනය නවත්තන අතරෙ පපුව හරහා වැටී තියෙන හරස් ආරක්ෂක පටිය පන්නන වේගය අනුව ඔහුත් ඉන්නෙ බඩ ගින්නෙ බව මං තේරුම් ගත්තා.
යම් පිළිවෙළකට පවත්වාගෙන යන බව පෙනුණු කුඩා හෝටලය ඒ මොහොතෙ නං හරියට රංග ශාලාවක් වගෙ, හෝටලය මැද රඳවා තිබුණු රූපවාහිණී තිරය මත බඳ නළවමින් ආකර්ශනීය නර්තනයක යෙදෙන නාට්‍යාංගනාවන් නිසා, හෝටලයෙ වැඩ කරන තරුණයො කීප දෙනා ප්‍රමෝදයට පත් වෙලා හිටියෙ. ඒ දෙරණ රියැලිටි වැඩ සටහනක නැවත විකාශයක් වගෙ.
''දෙරණ බලන නිසා...මේගොල්ලො අළුත් පාර්ලිමේන්තුවත් බලනව ඇති...''
උණු උණු ආප්ප කන අතරෙ ගමන් සගයා හෙමින් මට කිව්වා. ඒ අතරෙ ඔහු, අපට තේ රැගෙන ආ, මුහුණ පුරා හීනි රැවුලක් වවා සිටි තරුණයාගෙන් ඒ ගැන ඇහුවා.
''අළුත් පාර්ලිමේන්තුව?''
තරුණයා පුදුමයෙන් වගෙ පුනරුච්ඡාරණය කෙරුවා.
''අපි හිතනවට වඩා පොදු සමාජය වෙනස්...නාවලපිටියෙ වැඩේ ඔහොම වුණෙත් අන්න ඒ අනවබෝධය නිසා...මිනිස්සු ඉන්නෙ වෙන වෙන තැන්වල...මං ගමනට ලෑස්ති වුණේ හාමුදුරුවො මට පණිවිඩය දීපු මොහොතෙ ඉඳලා...ඒත් මේ වැඩේ ලේසි නෑ...''
මං යාළුවට හෙමින් කියන්න පටන් ගත්තා.
''....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආෂංකර්....''
එතකොටම දෙරණ රූපවාහිනී තිරය මත පෙනී සිටි ජැක්සන් ඇන්තනීගෙ බාල පුතා විනිශ්චය මණ්ඩලය හඳුන්වා දෙමින් ඉන්දීය නිළි පූජා උමා ෂංකර් ට ප්‍රේමණීය ලෙස දකුණත් සංඥාවක් ලබා දුන්නා, ඇයත් අසුනෙන් නැගිට එය ආදරයෙන් පිළි ගත්තා. හෝටලේ තරුණයන්ටත් සතුටුයි!
අපිත් නැගිටලා එන්න ආවා!
අද දවසත් ඉතිං ගෙවිලා ගියා, හෙට බලමු!
CHAPA, Sept 22, 2019


Saturday, September 14, 2019

රට ගැන තමයි ඉතිං, නේද?

''ඔබ තුමා මේ ළඟදි අපේ ෂොප් එක පැත්තෙ ආවද?''
තරුණයෙක් මං ළඟටම ඇවිත් හෙමින් ඇහුවා.  
කොළඹින් ටිකක් ඈත කුඩා නගරයක රැස්වීම් ශාලාවක කෙළවරේ මං මේ ඉන්නෙ. සංවාදය පටන් ගන්න තව ටික වෙලාවක් තියෙනවා.
''ම්ම්ම්...ඒ කිව්වෙ?''
මං පුදුම වුණා.
''ආ...නෑ, නෑ...මට මතකයි...ටවුමෙ ඉස්කෝලෙ මොකක් හරි වැඩ සටහනකට ආව නේද?''
ඒ පාර නං හිතට සතුටුයි.
''මොකද්ද ඉස්කෝලෙ නම?''
මං උනන්දුවෙන් ඇහුවා.
''නෑ! නෑ! මෙතුමා ටීවී එකේ ඉන්නවා...එහෙම දැකල වෙන්න ඕන ඔය මතක...''
ඔහු පසුපස හිටගෙන හිටපු හීන්දෑරි තරුණයා ඔහුගෙ කණට කරල කියනවා මටත් යාන්තමට වගෙ ඇහුණා.
''හරි! මට දැන්නෙ මතක් වුණේ....! අර විනාඩියකට කොච්චරද ප්‍රමාණයක් වචන කතා කරන....! හරි...හරි...මට ඒක මතකයි...ඒකනෙ!''
''ඒ මොකද්ද ඒ?''
මං කුතුහලයෙන් ඇහුවා.
''නෑ, නෑ...මේ අර දේශපාලන වැඩ සටහන් මෙහෙයවන නිවේදක මහත්තයෙක්...''
ඒ අර හීන් දෑරි තරුණයා.
''මං කරන්නෙ නිවේදන කටයුතුම නෙවෙයි...මං...''
''ඇත්ත, ඇත්ත...මට මතකයි මට මතකයි...මට ටිකක් පටළැවුණා...මාත් කරන්නෙ නිවේදන කටයුතු...''
මුල් තරුණයා මගෙ කතාව මැද්දෙන් ආවා.
''අහ්! එහෙමද? හොඳයි...හොඳයි...''
මං ඔහුගෙ පිට ට තට්ටුවකුත් දැම්මා.
''මං ආසම පේෂල ට...එයා ඉන්න වැඩ සටහන් මං මාර ආසාවෙන් බලනවා...එක දවසක් ඔන්න ඒ එක්කෙනෙක්ගෙ කමිසෙ බොත්තං මාරු වෙලා...මං අපේ දුවට කිව්වා, ඔන්න බලන්න පේෂල දැන් කරන වැඩේ කියල...එතකොටම...''
''මේ අපේ ඉස්කෝලෙ විදුහල් පති තුමා...''
එතකොටම තරබාරු මැදි වයසෙ කෙනෙක් ඇවිත් මට තවත් තරබාරු මැදි වයසෙ කෙනෙක් හඳුන්වා දුන්නා, අර මුල් තරුණයා සහ ඔහු පිටුපස සිටි හීන් දෑරි තරුණයා, ඒ නිසා පැත්තකට තල්ලු වෙලා සෙනඟ අස්සෙ නොපෙනී ගියා.
''අපේ ඉස්කෝලෙත් වැඩ සටහනක් කර ගන්න ඕන...මං බැලුවෙ...''
විදුහල්පතිවරයා කතාව පටන් ගත්තා.
''ඔව්! අපි අනිවාර්‍යයෙන්ම කරමු!...පහළොවේ දහ අටේ වගෙ ළමයින්ට තමයි...''
මං කියන්න පටන් ගත්තා.
''...මං බැලුවෙ කණ්ඩායම් දෙකකට ගන්න...'' 
ඒ පාර ඔන්න ඔහු උඩින් ආවා.
''ඒත් කමක් නැහැ...හැබැයි ගුරුවරුත් ඕන...''
මං කිව්වා.
''ගුරුවරු?''
ඔහු විමතිය පළ කෙරුවා.
'' ඒ කියන්නෙ ගුරුවරුන්ටත් වෙනම තරඟයක් තියෙනවද? ම්ම්ම්...එහෙම නං අපිටත් සිංදු කියන්න පුළුවං...නේද.....හි හි...''
ඔහුගෙ සිනහව අස්සෙ මගෙ ඔළුව විකාර වෙලා ගියා.
''ඒ කියන්නෙ?''
මං කාගෙන් ආහුවද මන්දා!
'' ඒ කියන්නෙ...ඔබ තුමා දෙරණෙ නෙවෙයිද? මේ...''
ඔහු එහෙම කියන ගමන් අර ඔහු කැටුව ආ තරබාරු සගයගෙ මූණට එබුණා.
''ඔබ තුමා දෙරණෙ නිසා...මං කිව්වා අපේ ළමයින්ටත් සිංදු කියන්න මොකක් හරි අවස්ථාවක් ගන්න....''
ඒ ඔහුගෙ අනෙකා.
''අහ්! මං ඒ වැඩසටහන් වලට නං සම්බන්ධ නෑ...''
මගෙ කට හඬ ටිකක් හොඳ මදි.
''එතකොට අද මේ කරන සංවාදය මොකක් ගැනද...? මං හදිසි වැඩ වගයකුත් දාලයි ආවෙ...මේ...''
''රට ගැන තමයි ඉතිං නේද?''
දෙවැන්නාම උත්තර බැන්ඳා. මං බිම බලා ගත්තා!
CHAPA, Sept 15, 2019







Friday, September 13, 2019

අද මං මෙහෙ ආවෙ නෑ!

මේ කොළඹ කොටුව!
''ම්ම්ම්ම්....බලමු යාළුවා ඉන්නවද කියලා...''
මං ටෙලිකොම් එක පැත්තට හැරුණා. අවුරුදු හය හතකට කළින් නං මං නිතර යන එන හුරු පුරුදු තැන් මේවා. 'නිදහස්' අතීතය! මගෙ හිත ඔන්න ඇවිස්සෙන්න ගත්තා. මෙහෙමයි,
යාළුවා කිව්වට අපි අතර පුද්ගලික මට්ටමේ යාළු කමක් තිබුණෙත් නැහැ. ඔහු, ඒ දවස්වල, ඒ කියන්නෙ 'නිදහස්' පටන් ගත්තු 2001 දි තමයි මුලින් ම මුණ ගැහුණෙ, අහ්! ඊටත් කලින් 2000 දි වගෙ, රාවය ට වැඩ කරද්දි.
ඔහු ටෙලිකොම් ආයතනයෙ ඉහළම පුටුවක හිටපු, ඒත් බැලූ බැල්මට එහෙම පෙනුමක් නොතිබුණු කෙනෙක්. ඔහු නිතර කියන්නෙත් මට මවාගෙන ජීවත් වෙන්න ඕන නැහැ කියල. නොදන්න ඕන කෙනෙක් ඔහු පෙන්නලා, මේ අහවල් ආයතනයෙ අහවලා කිව්වහම බොරු කියල තමයි හිතන්නෙ. වතාවක් කෙනෙක් ඇහුවා ඔය මිනිහට කොහෙන්ද බං ඔච්චර වටිනා වාහනයක් කියල. මං ඊට පස්සෙ යාළුවාගෙ වත ගොත කිව්වහම තමයි, පුදුමයෙන් වුණත් ඔහු කතාව තේරුම් ගත්තෙ. 
ඒ මදිවට ඔහු ඒ ආයතනයෙ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්. යම් යම් ක්‍රීඩා කටයුතු වලටත් සම්බන්ධයි, කොටින්ම ගැවසුණේ ටෙලිකොම් සාමාන්‍ය සේවකයෙක් වගෙ. ඒ නිසා තමයි ඔහු රාවය සහ නිදහස් ක්‍රියාකාරකම් එක්ක එක එක සටන් බිම්වලදි අපට මුණ ගැහුනෙ. 
ඔහු, මගෙ ''ඊ ළඟට...'' කියන මුල්ම පොත කොළඹ මහජන පුස්තකාලයෙදි සමාජ ගත කරපු සංවාදයටත් ආවා, එදා ඔහු අදහස් ප්‍රකාශ කරනවා දැකපු වෙන කෙනෙක් මගෙ කණට කරල ඇහුවා, ඔහු ජූලි වර්ජකයෙක්ද කියලත්. මං ඒ ගැන යාළුවට කිව්වහම, එහෙම හිතෙන එක හොඳයි කියල ඔහු සෙල්ලක්කාර හිනාවක් දැම්මා මතකයි. ඔහු කොහොමත් ඒ දවස්වල, මං නිතර වැඩ වලට කතා කරන ලැයිස්තුවෙ උඩම හිටියා.
''මෙහෙමයි චාපා...අපිට හැම වෙලාවෙම ලෝකය වෙනස් කරන්න බැහැ...සමහර තැන් වලදි අපට ඒ ඒ තත්ත්වයන්ට අනුගත් වෙන්න සිද්ධ වෙනවා...''
ඒ දවසක්, ඔහු.
''එහෙම කියන්න බැහැ! පොදු සමාජයට හානි කරන තත්ත්වයන් අනිවාර්‍යයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්න ඕන...ඒවාට අනුගත වෙනවා කියන්නෙ ඒ හානි වර්ධනය කරනවා කියන එක...''
ඒ එදා මම.
''මෙහෙමයි, දැන් බලන්න...! අපි එරෙහිව සටන් කරන, ඔය දූෂණ වංචා...අක්‍රමිකතා කියන දේවල් අපට සම්පුර්ණයෙන්ම නවත්තන්න බැහැ...''
''ඒ වුණාට අපි හිට ගන්න ඕන පුළුවං කියන තැන...එතකොට තමයි ලෝකය වෙනස් වෙන්නෙ...අපි හිතන්න ඕන ඒවා වෙනස් කරන්න ඕන සහ පුළුවං කියල...බලන්න මේ පොදු දේපොළ අවභාවිතය නිසා පොදු ජනතාව කොච්චර දුක් විඳිනවද?''
අපි එහෙම අදහස් හුවමාරු කර ගත්තා.
''අල්ලස් කිව්වට...යම් යම් වැඩ වලදි කමිෂන් දෙන එක සහ ගන්න එක අල්ලස් දීමක් හෝ ගැනිල්ලක් ද කියන ප්‍රශ්නය තියෙනවා...''
ඔහු තවත් කතාවකට දවසක් මුල පිරුවා.
''කමිෂන් කියන්නෙ, දූෂණ වංචා සහ අක්‍රමිකතා සඳහා හදපු නීතිමය හිඩැසක්...ධනවාදය එහෙමයි! එතකොට රාජ්‍යයක් හැටියට සහ ආයතන හැටියට ඒ කමිෂන් ප්‍රතික්ෂේප කරලා අදාළ මිල ගණන් අඩු කරගන්න උත්සහ කර ගන්න ඕන...පොදු යහපත වෙනුවෙන්...''
මං යෝජනා කෙරුවා.
''මෙහෙමනෙ...ලෝකය පුරාම කමිෂන් වැඩේ කෙරෙනවා....ඒක හොර කමක් හැටියට කවුරුවත් ගන්නෙ නෑ....ඒවා පිළිගත් ගනු දෙනු!''
ඔහු තම අදහස දිගටම තහවුරු කරන්න උත්සහ කරනවා.
''මං නං ඒක පිළි ගන්නෙ නැහැ...ධනවාදයෙ ආරාවුලත් ඕකම තමයි...''
යාළුවාගෙයි මගෙයි අතීත සංවාදය තුළ මං තවම නැවතිලා. ඉස්සර මං ආවහම යාළුවා මාව පිළි ගන්න උණුසුම් විදිහ, සංග්‍රහ! අද නං මිනිහා පුදුම වෙයි, අවුරුදු කීයකට පස්සෙද? දන්වන්නෙත් නැතුවනෙ ආවෙ. 
මගෙ මුහුණෙ සිහින් සිනහ රැල්ලකුත් ඇඳිල කියල මට ඒ ඉස්සරහ ලොකු වීදුරුවෙන් පේන්න ගත්තා.
''ඒ මහත්තයා නං දැන් මෙහෙ නෑ!''
ඒ නං අතීත හඬක් නෙවෙයි, මේ දැන් ටෙලිකොම් ප්‍රධාන ගේට්ටුවෙ මැදි වියේ ආරක්ෂකයෙකුගෙ හඬ.
''ඒ කියන්නෙ?''
මං පුදුමයෙන් වගෙ ඇහුවා.
''ම්ම්ම්ම්...මහත්තයා ඇත්තට දන්නැද්ද?''
ආරක්ෂක නිලධාරියා මගේ හිස සිට දෙපතුළ දක්වා තියුණු බැල්මක් හෙළමින්ම ඇහුවා.
''මොකද්ද?''
''එයා මාර හොරකමකට අහු වෙලා ඉන්ටඩික් කෙරුවනෙ...තාම පරීක්ෂණ කෙරෙනවා මයෙ හිතේ...''
''මොකක්?''
මාව එක පාරටම හිස් වුණා.
''දන්නැද්ද ඔය ලොකු ලොකු මිනිස්සුන්ගෙ වැඩ...මුං ඔක්කොම හොරු මහත්තයා...''
මං ආපහු එන අතරෙ ඒ වචන මගෙ පස්සෙන් ගාට ගාට එනවා ඇහුණා.
''නෑ, නෑ, අද මං මෙහෙ ආවෙ නැහැ, ඉස්සර ආපු ගමන් තමයි, ඒ ගමන් කොච්චර සුන්දරද? බලාපොරොත්තු සහගතද?'' 
CHAPA, Sept 14, 2019


 

Sunday, September 8, 2019

ප්‍රතිචාර දිගටම...!

'' ඔබ තුමා කඩේ යන්නෙ ගෝඨාට නේද?''
මැසෙන්ජර් පණිවිඩයක්.
''ඒ ඔබේ ඔළුව පුංචි නිසා බ්‍රෝ! මට ඔය කවුරු ජනාධිපති වුණත් එකයි, තේරුනැයි?"
මං අකුරු ගැළපුවා.
''මං නං සජිත් ට..''
''ඒ ඔබේ කැමැත්ත...මං කරන්නෙ ජනතාව දැනුමෙන් බල ගන්වන එක...ඒක දිගු කාලීන වැඩක්...මං කරන වැඩ සටහන් එහෙම ඉඳ හිටවත් බැලෙනවද?''
''ඔබ තුමා හිතන විදිහට රනිල්, සජිත්ට ඉල්ලන්න දෙයිද?''
''ඔය ඕන දෙයක් වෙන්න පුළුවං...මං අන්තිමට කෙරුවෙ ජනාධිපති මෛත්‍රීපාල කියන බොරු ගැන...ඊ ළඟ විධායක ජනාධිපතිට බලය නැහැ කියන බොරුව ගැන...''
''අපේ සජිත්ට නං ඔය විධායක ජනාධිපතිකං තිබුණත් එකයි නැතත් එකයි...එතුමාට බලය ඕන නැහැ...ජනතා සේවය විතරයි ඕන...දැන් බලන්න...''
මං මැසේජ් කිරිල්ල නැවැත්තුවා. කම්මැලියි!
''මොකද මේ දවස්වල වැඩිය සද්දයක් බද්දයක් නැත්තෙ...මොකක් හරි අවුලක් ද?"
කෙනෙක් ඒ පාර දුරකථනයෙන් ඇවිත්!
" ඇයි අනේ, මේ සෝෂල් මීඩියා හරහා...මං එක දිගට එක එක වැඩ සටහන් කර කර යම් යම් දේවල් කියමින් ඉන්නවානෙ...ඔබ ඒවා බලන්නෙ නැද්ද?"
" කෝ ඉතිං ඕවට වෙලාවක්? මේ දැනුත් වැඩ කරන ගමන් කතා කෙරුවෙ...''
ඔහු මහන්සි අරින ගමන් වගෙ කිව්වා.
''ඉස්සර නං ටීවී එකේ දකිනවානෙ...ඒකයි මං එහෙම ඇහුවෙ?''
ඔහු ආයෙත්.
''ගිය සතියෙ දෙරණ අළුත් පාර්ලිමේන්තුව බැලුවෙ නැද්ද?''
ඒ මං.
''අනේ මං දැන් ටීවී බලන එක අතෑරලා...එපාම වෙලා...ඉතිං දැන් රටේ මොකද්ද වෙන්නෙ? අපි කාටද ඡන්දෙ දෙන්නෙ?''
මං සද්ද නැතුව හිටියා.
''මං බැලුවෙ ඕන එකක් වෙන්න කියල නාගානන්ද මහත්තයට ඡන්දෙ දෙන්න...ඔබ තුමා මොකද කියන්නෙ?''
මං මොනවා කියනද? ඒත් මං එහෙම කිව්වෙ නැහැ.
''හොඳ විදිහක් කරන්න...''
එහෙමයි කිව්වෙ.
''එහෙම නෙවෙයි...ඒ ගැන ඔබ තුමාගෙ මොකක් හරි විවේචනයක් තියෙනවා නං අපට කියන්න...නිකං ෂේප් වෙන්න එපා...''
''නෑ! නෑ! මට කිසිම විවේචනයක් නෑ!''
මං හෙමින් කිව්වා.
''මේ ව්‍යවස්ථාව එක්ක රට හදන්න බෑ! අපි ඒක වෙනස් කරන්න ඕන...නාගානන්ද මහත්තයා එක්ක සෙල්ලං බෑ පුතෝ! අපි එතුමා බලයට ගෙනල්ලා මේ රට හදනවාමයි...''
මං කෝල් එක කට් කෙරුවා.
''ආ! කොහොමද සහෝදරයා!''
ඒ වෙන කෙනෙක්, වට්සඇප් කෝලර් කෙනෙක්.
''ඉන්නවා ඉතිං...කවුද මේ?''
''මං අර එක දවසක් කතා කෙරුවෙ...( නම ) මතකද? දැන් අවුරුදු දෙකකට කලින් වගෙ...අර අපි ඉන්දික තොටවත්ත ගැන කතා කෙරුවෙ...''
''මට එහෙම මතකයක් නං නැහැ...ඉතිං...''
මට ඇත්තටම එහෙම කෙනෙක් මතක නැහැ.
''මිනිහා කියනවානෙ මේ පාර ජනාධිපති...''
''අනේ මට ඔය එක එක බොරු අනාවැකි කාරයො ගැන කියන්න එපා!''
මං ඔහුට බාධා කෙරුවා.
''මං නං ඡන්දෙ දෙන්නෙ අනුර සහෝදරයාට...බලන්න දැන් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා කෝප් එකෙන් හොරු අල්ල ගන්නවා...අනුර සහෝදරයා ජනාධිපති වුණොත් ඒ හොරුන්ට දඬුවම් දෙන්න පුළුවං...නැද්ද මං අහන්නෙ?''
''අනේ මන්දා!''
''එහෙම කියන්න එපා සහෝදරයා! ඉන්දික තොටවත්ත සහෝදරයත් 2015 වැඩ කෙරුවෙ ජවිපෙ ට පක්ෂව...''
''ඉතිං දැන් මට මොකද්ද කරන්න කියන්නෙ?''
''නෑ ඉතිං මේ ගැන ඔබ තුමාගෙ අදහස කියන්න...ඔබ තුමා හැමෝටම බනිනවා. විතරයි...එදා වියන්ගොඩටයි...ජනරංජනටයි කතා කරන්න දුන්නෙත් නැහැ...අළුත් පාර්ලිමේන්තුවේදි....අනිද්දා පත්තරේට ආණ්ඩුවෙන් දැන්වීම් දෙන එකද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය සහෝදරයා? අර මොකද්ද කැලයක් ගිනි ගන්න කතාවකුත් ඇද ගත්තා! ඒවා අපේ රටේ ප්‍රශ්නද? නෑ!''
ඔහුගෙ හඬ එන්න එන්න වැඩි වෙනවා.
''මං ජවිපෙ ගැන කරපු වැඩ සටහන දැක්කද?''
''නෑ! ඒත් ඒවා වැඩක් නෑ සහෝදරයා...''
මං ඒ කෝල් එකත් කට් කෙරුවා. ආයෙ නං දුර කථන ඇමතුම් වලට උත්තර දෙන්නෙ නැහැ! අදට ඇති! මං තීරණයක් ගත්තා.
අහ්! ඔන්න එතකොටම ආයෙ ඇමතුමක්!
ඕන නෑ! ගන්නෙ නෑ! මං හිත තද කර ගත්තා. 
ඒත් ආයෙ වදිනවා, ආයෙ ආයෙ වදිනවා.ම්ම්ම්ම්....හරි! අන්තිම කෝල් එක, මං දුරකථනයට ඉඩ දුන්නා. 
''මං මේ කෝල් එක ගත්තෙ හුඟාක් හිතලා...''
ඒ, එෆ්බී කෝලර් කෙනෙක්.
''මං ලංකාවෙ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ගෞරව උපාධියක් ගත්තු කෙනෙක්...''
''ඉතිං?''
ඔහුගෙ හඬේ තිබුණු නොරිසුම් ගතිය නිසා මගෙ හඬත් එච්චර හොඳ නෑ!
''අර චම්පිකට විරුද්ධව දාපු පෝස්ට් එක!''
''ඉතිං?''
''ඔබ තුමා හැමෝටම එක එක ඒවා කියනවා...අපහාස කරනවා, මොකද්ද ඔය කැත වැඩේ? අපිටත් දේශපාලනය තේරෙනවා...හරිද? චම්පික ඈමති තුමා ලොකු වැඩක් කරලා ඒක ප්‍රචාරය කරන එක වැරදිද...පන්නරය කියන තේමාවම කොච්චර ලස්ස්නද...එහෙම ජාතික වැඩ පිළිවෙළකට ජනතා බදු මුදල් ගියහම මොකද? ඇයි හැම එකක්ම හරහට දකින්නෙ? මෙහෙමයි මිස්ටර් චාපා, මමත් මෝඩයෙක් නෙවෙයි...''
''මට දැන් මොකද්ද කරන්න කියන්නෙ?''
මං ඔහුට හරස් කැපුවා.
''ඔබ තුමාට කේන්ති යනවනෙ...එහෙම වෙන්න එපා! අර ස්වීස් ගෑනු හුට පටේ වෙලාවෙ මං ඔබ තුමාට කිසිම දෙයක් කිව්වද? නෑ! මං ඒ වීඩියෝ බලල නිකං හිටියා....අඩුම තරමෙ ලංකා ඊ නිව්ස් පෝස්ට් එක ශෙයාර් කෙරුවද...නෑ! එහෙම තියෙද්දි...''
''හරි! මට මොකද්ද කරන්න කියන්නෙ?''
''මතකද අර නිව්සීලන්ඩ් වල පල්ලියකට ඇටෑක් එකක් ආපු වෙලාවෙ...ඔයා දාපු පෝස්ට් එකකට කට්ටිය වට කරගෙන ගැහුවා...මං ඒ පාරත් සද්ද නැතුව හිටියා...මං කියන්නෙ...'' 
මං කියන්න කලින් මං ම ඒ කෝල් එකත් කට් කෙරුවා!
''හෙලෝඕඕඕඕඕ.....!'' අහ්! නෑ, නෑ, ඒ මගේ හිතේ දෝංකාරයක්! වෙන කෝල් එකක් නෙවෙයි....
හාපෝඕඕඕඕඕ...අදට ඇති!
CHAPA, Sept 8, 2019




Thursday, August 29, 2019

මොකුත් නෑ!

''ආ!...කොහොමද ඉතිං?''
ඔහු වෙනදා නැති ලීලාවකින් මට කතා කරන්න ගත්තා.
යන එන ගමන් හදිසියකට යමක් මිලදී ගන්න, මං යන එන කඩයක් මේ. ආයෙ මොකෝ හංගන්නෙ, බත්තරමුල්ලෙ!
කතා නායකයා කඩේ මුදලාලි!
''ඉන්නවා ඉතිං...මට මේ...,''
වැස්සකුත් ළඟ ළඟ එන නිසා කඩේට ගොඩ වුණු කාරණය  කියන්න මං ඉක්මන් කරනකොට, ඔහු කවුන්ටරයෙන් නැගිටලා වෙනදා නැති උනන්දුවකින් මං ළඟට ආවා.
''මේ දවස්වල මං ඔබ තුමාව නිතර දකිනවා ෆේස් බුක් එකේ...හෙ හේ...''
ඔහු ඇත්තටම හෙ හේ කියල හිනා වුණේ නං නැහැ, මං ඒ මද සිනහව මගේ කර ගත්තු විදිහ, මට පුරුදු එහෙමනෙ.
''එහෙමද? මං හිතුවෙ නැහැ ඔයත් ෆේස් බුක් ඉන්නවා කියලා...''
ටික කාලයක් වුණත් වරින් වර එක දිගට ඔහු දකින නිසා, මං හිතුවෙ ඔහු පාඩුවේ කඩේ බලාගෙන ඉන්න සාම්ප්‍රදායිය වැඩිහිටියෙක් කියලා. ඔහු ගෙ කවුන්ටරය උඩ බණ පොත් එහෙමත් මං නිතර දකිනව.
''මං ඕවා ගැන දන්නෙ නෑ මහත්තයා, උනන්දුවකුත් නෑ...දන්නැද්ද අපේ මේ ළමයි තමයි ඉතිං...''
ඔහු කියාගෙන යනවා. සාමාන්‍යයෙන් ඔහු, මාත් එක්ක මෙහෙම කතා බහ කරන්නෙ නැහැ. නිහඬ කෙනෙක්. 
''එහෙමද?''
මට දැන්  ඇති වෙමින් තියෙන්නෙ එක විදිහක කුතුහලයක්!
''මං එක දිගට බැලුවා මහත්තයාගෙ විඩියෝ වගයක්...''
''එහෙමද?''
''මරු!''
''මෙහෙමයි ඒක වුණේ...ඔයා මේ කඩේට නිතර නිතර එනවා දැකපු අපේ මේ ළමයෙක් තමයි...මේ...පෙරේදා හැන්දෑවෙ..,මේ අරයා නේද? කියලා මට පෙන්නුවේ...මටත් පුදුම හිතුණා...''
''එහෙමද?''
කඩේ මං හැර දැන් වෙන කවුරුවත් නෑ, ආපු වැඩෙත් අමතකයි, මං දැන් මුදලාලිගෙ ශ්‍රාවකයෙක්.
''මෙහෙමයි...ඒ වැඩ සටහන් හොඳයි...කම්මැලි නැතුව එක දිගටම බලන්නත් පුළුවං...මං මේ කල්පනා කෙරුවෙ...අද කාලෙ තාක්ෂණය කොච්චර දියුණුද කියලා...ම්ම්ම්ම්''
ඔහුගෙ මූණෙ පොඩි හීනි හිනාවකුත් ඇඳිලා.
''මහත්තයා මෙහෙ...එතකොට එයා එහෙ...ම්ම්ම්....මහත්තයා මෙහෙ මොනවද ඉතිං කරන්නෙ?''
ඔහු කතාව මැද්දෙන් ප්‍රශ්නයකුත් ඇහුවා.
''මං මොනවද කරන්නෙ? නේද...''
ඒ මං! හිත ඇතුළෙන්. ඒත් ඒ අස්සෙන් මුදලාලි අර කියපු ''...එතකොට එයා එහෙ...'' කියපු කෑල්ල ඉස්සි ඉස්සි ඇහෙන්න ගත්තා.
එතකොටම හෙල්මට් එකත් ඔළුවෙ දාගෙනම තරබාරු පුද්ගලයෙක් කඩාගෙන බිඳගෙන ඇවිත් බඩු වගයක් ඉල්ලන්න පටන් ගත්ත නිසා, මුදලාලි මට ආයාචනාත්මක බැල්මක් දාලා වෙලාව ඉල්ල ගත්තා. 
ඔන්න ඊට පස්සෙ...
''මෙහෙමනෙ මහත්තයා...ඒ විඩියෝවල මහත්තයා ඉතාම ලයාන්විත විදිහට තමයි ඒ කාන්තාවට ආමන්ත්‍රණය කරන්නෙ...මං කිව්වෙ අපේ හිත්වල...''
''අහ්!''මට කියවුණා. 
මුදලාලිගෙ මූණට දැන් පොඩි මනමාල පෙනුමකුත් ඇවිත්.
ඔහුගෙ ළමයි ඇවිත් ඔහුට පෙන්නුවා කියන විඩියෝ මොනවද කියල, ඔන්න මට දැන් තමයි තේරුම් යන්න ගත්තෙ.
''ඔයා ඒ විඩියෝ ටිකද දැක්කෙ එතකොට?''
මං විමසිල්ලෙන් ඔහුගෙ මූණට එබුණා.
''ඇයි මහත්තයා...වෙන මොනවා හරි වැඩ සටහන් එහෙම ඒකෙ තියෙනවද...?''
''නෑ, නෑ, ඒවා විතරයි,,,මං මේ නිකමට කිව්වෙ?''
''ඒකනෙ මං බැලුවෙ, නැත්තං ඒ ළමයි මට ඒවා පෙන්නනවනෙ...මහත්තයා මොනවද කරන්නෙ එතකොට...''
''මොකුත් නෑ!''
එතකොටම එළියෙන් ඇතුළට පැනගෙන ආපු මිනිස් හඬවල් කීපය නිසා, ඔහු විපරමෙන් ඒ පැත්ත බැලුවා, මගේ ඒ උත්තරයත් ඒ හඬවල් අතරෙ එහෙ මෙහෙ වුණා.
''මහත්තයා එක්ක මෙච්චර කතා කරනවා...මං මහත්තයාගෙ නමවත් දන්නෙ  නැහැනෙ...මහත්තයා එතකොට මොනවද කරනවා කිව්වෙ...මේ...අනේ මහත්තයා ඉන්න ටිකක්..''
ගැහැනු පිරිමි කීප දෙනෙක් අර කලින් හඬවල් පිටිපස්සෙන්ම  එක වර කඩේට ගොඩ වුණා, මුදලාලි  ඒ අස්සෙ පේන්නැතුව වගෙ ගියා. මං හෙමින් එළියට ආවා. ම්ම්ම්ම්....මං මොනවා ගන්නද කඩේට ආවෙ? 
මොකුත් නෑ!
ඈ! ඒ අර මුදලාලිට අන්තිමට දීපු උත්තරේනෙ. ම්ම්ම්ම්...කමක් නෑ, මේකටත් ඒක හරි!
මොකුත් නෑ!
CHAPA, Aug 30, 2019 





 
 



අවංක ගනු දෙනුවක්!

ඊයෙ මහ රෑ යාළුවෙක් එක්ක මං පාර අයිනෙ! ගමනක් ගිහිං එන ගමන්. වාහන ප්‍රශ්නයක් නිසා ඉක්මනට යා ගන්න විකල්ප ක්‍රමයක් ඕන. ඒ අස්සෙ පොද වැස්සක්!
''ඉන්න! මං ටක් ගාලා ටැක්සියක් හරි වීල් එකෙක් හරි ගෙන්නන්නං..'' යාළුවා ෆෝන් ස්ක්‍රීනය එහා මෙහා කරන ගමන් කිව්වා.
කිව්වත් වගෙ විනාඩි කීපයක් ඇතුළත ත්‍රී රෝද රථයක් අපි ඉස්සරහ. දැන් මං එනවා. පාර නිදහස් නිසා ගමනත් ඉක්මන්, සියල්ල හොඳින්.
'හරි!''
සන්සුන් වැදගත් ඉරියව්වකින් ත්‍රී රෝද රථය පදවාගෙන ආපු කඩවසම් තරුණයා පාර අයිනට වෙන්න ත්‍රී රෝද රථය නවත්වමින් හෙමින් කිව්වා.
''ඒ කියන්නෙ?''
''මෙතනට තමයි ලොකේෂන් දාලා තියෙන්නෙ...''
''අහ්! ඒ වුණාට මං තව ඉස්සරහට යන්න ඕන...අපි යං!''
මට හිනා, මං නෙ, මං යන්න ඕන ලොකේෂන් එක දන්නෙ.
''ලොකෙෂන් එක පෙන්නන්නෙ මෙතනනෙ...මේ!''
ඔහු තමා ඉදිරියෙන් රඳවා තිබෙන සමාට් ජංගම දුර කථන ස්ක්‍රීනයට එබීගෙන ඔළුවෙ ඉරියව් වෙනස් කරමින්, මටත් පෙන්නනවා. මේ ඇප් එකේ විදිහට තමයි ඉතිං අපි යන්නෙ! කියමින් ඔහු දැන් මං බහින කල් බලං ඉන්නවා.
''මේ...! ගාන 164/- යි....''
ඔහු ආයෙත් ඒ ජංගම දුර කථන ස්ක්‍රීනයට එබුණා.
''ඉතුරු දුරටත් මං ගෙවන්නං...අපි යං...''
''එහෙම බෑ! මං එහෙම ගියොත් ඒ ටිකට මට සල්ලි ගන්න බෑ! මේකෙ පෙන්නන ගාන තමයි...එතකොට මට පාඩුයි...ඒකයි!''
තරුණයා මගෙ මුණට අවංක බැල්මක් දාන ගමන් අහිංසක විදිහට කිව්වා.
''ඒක මාර වැඩක්නෙ...කෙනෙක් කොහොමද මේ විදිහට හදිසි ගමනක් යන්නෙ? අනෙක යන ගමන්...යන පැත්ත වෙනස් කරන්න ඕන වුණොත්? ඔයාල ඔය වැඩ කරන ඌබර් ද මොකද්ද කම්පැණියට කියන්නෙ නැද්ද....ඔය වගෙ ඇප් එකකින් දෙගොල්ලොම අපහසුතාවට පත් වෙනවා කියල?''
මං තවම බැස්සෙ නැහැ.
''ඒ වුණාට ඉතිං ඔය දුර ගියොත් මට මහත්තයාගෙන් සල්ලි නං ගන්න බෑ, එතකොට මට පාඩුයිනෙ...ඒකයි!''
දැන් ඒ හඬ ටිකක් සැර වේගන වගෙත් එනවා. කෝකටත් මං බහිනවා! තව පොඩි දුරනෙ. විනාඩි පහෙන් යන්න පුළුවං!
මං ඔන්න ඒකෙන් බැස්සා.
''මේ ඉතුරු සල්ලි!'' තරුණයා, මගෙ අතේ රුපියල් 6/- ක් තිබ්බා. 5/- කුයි රුපියලකුයි. මොකද මං දුන්නෙ 100/- ක්, 50/- ක්, 20/- ක්.
ගනු දෙනුව නං තිතට කෙරුණා.
අවංක ගනු දෙනුවක්!
පොද වැස්ස යට පය ඉක්මන් කරන ගමන් මං හිතුවා!
CHAPA, Aug 29, 2019