Saturday, July 6, 2019

මෙන්න තවත් මරාලයක්!

මේ ළඟදි, ලංකා ඊ නිව්ස් ඔස්සේ මට එරෙහිව සමාජ ගත කෙරුණු එක්තරා මඩ ප්‍රවෘත්තියකට ''ඇනීටා, ලංකා ඊ නිව්ස් සහ මම ( චාපා)'' කියල විධිමත් උත්තරයක් දුන්නා, ඔබට මතක ඇති!
2018 මැද හරියෙදි, ස්වීට්සර්ලන්තයෙ ජීවත් වන ඇනීටා චරිතානි කියන කාන්තාව මුණු පොත ඔස්සෙ හදිසියේ මට මුණ ගැහෙන හැටිත්, ඒ සම්බන්ධය ලංකා ඊ නිව්ස් දක්වා වනචාරී ආකාරයෙන් වර්ධනය වන හැටිත්, ඒ ගැන උනන්දු කෙනෙකුට, ඒ සටහන ඔස්සේ කියවා තේරුම් ගන්න පුළුවං. ඒ සියල්ල මැද, ජනමාධ්‍ය කරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට මට වැදගත් වෙන්නෙ, කාන්තාවන් හෝ වෙන කවුරු හරි රවට්ටලා මං මුදල් හෝ වෙන කිසිවක් ලබා නොගත් බව තහවුරු කිරීම පමණයි!
ඒ නිසා, මං ලියූ ඒ විශේෂ සටහන ඔස්සේ ලංකා ඊ නිව්ස් මඩ ප්‍රවෘත්තියට අභියෝග කරමින් ඇත්තටම සිදු වූ සියල්ල පැහැදිලි කෙරුවා.
ඊට පස්සෙ ඔන්න දැන්, ව්‍යාජ කාන්තාවක් ව්‍යාජ කතාවක් ගොතමින් ඇනීටා චරිතානිගෙ ලංකා ඊ නිව්ස් කොන්ත්‍රාත්තුව සාර්ථක කරවන්න හාස්‍යජනක උත්සහයක නියැලෙනවා. 
ඉතාම කෙටියෙන්, මං ඔහොම කාන්තාවක් ගැන දන්නෙ නැහැ, ඇය තටමමින් කියන්නෙ පට්ට බොරු ගොඩක්. මට එරෙහිව ඇයගෙන් ප්‍රශ්න අහන පිරිමියා(?) දරන, දැඩි එහෙත් අසරණ උත්සහය ගැන මට ඇත්තටම ඇති වෙන්නෙ අනුකම්පාවක්.
මේ මෝඩ මඩ කතා වලට මගෙ බිරිඳ ත් ඇදල දාන්න ගන්න උත්සහයත් හාස්‍යජනකයි, ඒත් නින්දිතයි!
ඇය, අතින් වියදම් කරගෙන දැඩි කැපවීමෙන් දරුවන් ට යහ මග පෙන්වන ගෞරවණීය, පළපුරුදු ගුරුවරියක්. ඇය, හුදු ගැහැනියක් නෙවෙයි දරුවන් සිය දහස් ගණනකට ජීවිතය කියාදෙන ජාතියේ නායිකාවක්. ''බිරිඳ කතා'' ''ගැහැනු පිරිමි කතා'' පැත්තක තියෙද්දි, ඒ විශිෂ්ට ගුරුවරියට මං ගරු කරනවා, කොන්දේසි විරහිතව ඇයට සහය දෙනවා. 
ඇනීටා චරිතානි ප්‍රමුඛ ලංකා ඊ නිව්ස් ''අපරාධ කරුවන්ට'' හෝ ඉන්දික තොටවත්ත වගෙ ''නරුමයන්ට'' ළං වෙන්න බැරි උසක ඇය ඉන්න නිසා මට කණගාටුවක් නැහැ, ඒත් මං නිසා ඇයට සිදුවන අපහසුතාව ගැන හිතේ කම්පනයක් තියෙනවා. 
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි!
ලංකා ඊනිව්ස්, ඉන්දික තොටවත්ත සහ ඔවුන් වටා ගොන් කරණම් ගහන තවත් දේශපාලන කොන්ත්‍රාත් කරුවො සහ ලිංගික අසහනයෙන් පෙළෙන අසරණ අපතයො කොහොම දැඟලුවත් මං දිගටම මගෙ දෙවුර මත පැට වී තිබෙන ඓතිහාසික කාර්‍යභාරය තව තවත් ශක්තිමත්ව කරගෙන යනවා. 
මගේ නිරීක්ෂණයෙ හැටියට, ඇනීටා චරිතානි කියන මගෙ හදිසි යෙහෙළියගෙ මානසික ආරාවුල දේශපාලන ගොදුරක් බවට පත් වෙලා, ඇය ම ඒ කොන්ත්‍රාත්තුව කරනවා කියල හිතන්න, මගෙ හිත මට තවම ඉඩ දෙන්නෙ නැහැ. ඒත් මං ඇය දෙස බලාගෙන ඉන්නවා!
කොහොමත්, ජනාධිපතිවරණය සහ තවත් සංකීර්ණ දේශපාලන තත්ත්වයන් වේගයෙන් පෙළ ගැහෙමින් තියෙන නිසා, මට එරෙහි මෙවැනි මඩ ප්‍රහාර එන්න එන්න වර්ධනය වෙයි!
මං ඔය ඕන සෙල්ලමකට ඔරොත්තු දෙන සහ ඕන අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් දේශපාලන ක්‍රියාකාරිකයෙක්, පුද්ගලිකත්වය අභිබවා පොදු අවකාශයක සැරිසරන කෙනෙක් - 'මම' කිව්වට ක්‍රියාවලියක්!
ඒ අතරෙ, හදිසියෙම මං නික්ම ගියොත්, රට බේර ගන්න කෙරෙන මේ මහා අරගලය ඔබට බාරයි! 
එහෙම ගියත් මං ආයෙ එනවා, 
ඒ මම නොවුණාට වෙන කෙනෙකුත් නෙවෙයි!
හාද?
CHAPA
July 6, 2019


    

Thursday, July 4, 2019

මොකද්ද එතකොට මං කියන්නෙ?

"කුණු කුණු කුණූඌඌඌඌ.....කුණු ගේන්ඩඅඅඅඅඅඅ...."
දුගඳ මුසු වූ සුපුරුදු හඬ ගේට්ටු අස්සෙන්, තාප්ප උඩින් සහ කානු දිගේ, ගෙවල් වලට ආරංචිය ගේනවා.
කුණු ට්‍රැක්ටරය ඇවිත්!
එක එක මාදිලියෙ ගැහැනු මිනිස්සු තම තමන්ගෙ කුණු භාජන සහ මලු ළඟට කරගෙන ඔන්න වීදිය දැපැත්තෙ හිට ගන්නවා. 
"බලන්නකො මේ මිනිස්සු අපේ කුණු ටික දාලා ගිහිං...ගේට්ටුව ඉස්සරහ පේන්නම තියෙද්දිත්...චිහ්! පොඩ්ඩක් එහා මෙහා වෙලා අපි පේන්න හිටියෙ නැත්තං කුණු දාලා යනවා, ජරා මිනිස්සු!
කාන්තාවක් තම අසල් වැසියාට කියනවා ඇහෙනවා.
"මටත් එහෙම අත්දැකීම් තියෙනවා...සමහර දාට කුණු දාලා යනවා...ඇත්ත තමයි!"
මං අල්ලපු ගෙදර හිතවතාට කිව්වා.
"මෙහෙමනෙ...කීයක් හරි දුන්නොත් තමයි වැඩේ කෙරෙන්නෙ...දන්නවනෙ අපේ රටේ හැටි!"
ඔහු කියන්න ගත්තා.
"මාත් අර හැමෝම කරන නිසා රුපියල් විස්සක් දෙනවා කුණු එක දෙන ගමන්"
අල්ලස් දීම ගැන හිතේ කණස්සල්ලකින් මම ඔහුට ප්‍රතිචාර දක්වනවා.
"මං නං 50 ක් 100 ක් වගෙ දෙනවා...එහෙම නැත්තං ඕකුන් එන්නෑ! අපි දන්නවනෙ..."
"අපි බදුත් ගෙවල... ඇයි අල්ලසුත් දෙන්නෙ?! අන්තිමට ඒ මිනිස්සු රාජකාරියත් පැහැර හරිනවා...."
මං කරුණු පැහැදිලි කරන්න ගත්තා.
"මේ යකාට පිස්සුද මන්දා!"
අල්ලපු ගෙදර හිතවතාගෙ ඇස් යට බැල්මෙ තිබුණෙ එහෙම කතාවක්, ඒත් ඔහු "අනේ මන්දා!" කියමින් හෙමින් ගේට්ටුව වහ ගත්තා.
"අපි කම්ප්ලේන් කරමුකො, එහෙම අල්ලස් ගන්න දෙන්න බැහැනෙ..."
"බලන්න! ඔයගොල්ලො කරන්නෙ වෘත්තියක්නෙ...නේද?"
කුණු ට්‍රැක්ටරයෙ අයගෙන් මං එහෙම අහනවා.
"ඔව්! ඉතිං...මොකද්ද අවුල?"
ඒ කෙනෙක් ඇහුවොත්?!
"ඇයි තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ නැත්තෙ?"
"ඒ කියන්නෙ?"
"ඔයාලට සල්ලි දුන්නෙ නැත්තං ඔයාල කුණු දාල යනවා...එහෙම බැහැනෙ, ඔය රාජකාරිය කරනවට රජයෙන් පඩි ගෙවනවනෙ...ඒ පඩි ගෙවන්නෙ අපේ බදු මුදල්වලින්...ඔය අල්ලස් ගැනිල්ලක්!"
මං එතකොට කියනවා.
"මහත්තයා මේ රටේ කෙනෙක් නෙවෙයිද? ඔළුව නරක් වෙලාද? එක්කො අපිව විහිළුවකට ගත්තද? ඈ!"
කුණු ට්‍රැක්ටරයෙ ගුජු ගුජු හඬ යටපත් කරගෙන කෙනෙක් උස් හඬින් අහනවා.
"අල්ලස් ගන්න එපා! ජොබ් එක කරන්න!"
මං අවධාරණය කරනවා.
"එතකොට අර මහ එවුන් කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් ගන්නවා...හොරකං කරනවා...මහත්තයාට හොඳයි! අපි කීයක් හරි ගන්න එක තමයි ලෙඩේ...අනේ නිකං යන්න මහත්තයා...!"
එහෙම කිව්වොත්?! එතකොට...
"ඔහොම කියනවා නං...ඒකම කරනවා නං...ඔයාලට විරුද්ධව පැමිණිලි කරනවා...අල්ලස් ගන්න එක නීති විරෝධියි! තේරුණාද?"
මං කියනවා.
"පැමිණිලි? අපිට විරුද්ධව? කාටද ඔය පැමිණිලි කරන්නෙ? අපේ ලොක්කොත් හොඳට ගහනවා...හිහීඊඊඊ..."
"උඩට උඩට පැමිණිලි කරගෙන යනවා...එතකොට?"
උඩට! උඩට! කියල බර කරල කියනකොට හිතට ලැජ්ජාවකුත් ආවා, ඒත් ඒක මෙයාලට පෙන්නන්න හොඳ නැහැ.
"අල්ලස් ගන්න බැහැ! එච්චරයි"
"අපිට පාට් දාන්න ආවොත්, අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා....එතකොට කුණු ගොඩ ගැහෙයි, හරිද?"
"වෘත්තීය සමිති ක්‍රියාමාර්ග?"
මොකද්ද එතකොට මං කියන්නෙ?!
"ගනං ගන්න එපා...කීයක් හරි දීල වැඩේ කර ගම්මු..."
අල්ලපු ගෙදර හිතවතා හෙමින් ගේට්ටුව ඇරල ඔළුව දාලා කිව්වා.
CHAPA
July 5, 2019

Tuesday, July 2, 2019

කළාපයෙන් මැඩම් කෙනෙක් ඇවිත්...


''මිස් මේ බලන්න! මේ ළමයගෙ උත්තරය සම්පූර්ණ නැහැ....ඒත් හරියක් දාලා!''
පන්ති භාර ගුරුවරිය දෙස නොරිස්සුම් බැල්මක් හෙළමින් ප්‍රාථමික අධ්‍යක්ෂවරිය කියන්න පටන් ගත්තා.
''මේ ළමයා ටිකක් දුර්වලයි...හෙමින් හෙමින් තමයි ගොඩ නැගෙන්නෙ...එතකොට....''
ගුරුවරිය කරුණු පැහැදිලි කරන්න ගත්තා.
''එහෙම බැහැ! මිස් තේරුම් ගන්න...මෙහෙම ළමයෙකුට පුළුවං ද ශිෂ්‍යත්වයට ලකුණු ගන්න...මං නිසා හොඳයි වෙන ඩිරෙක්ටර් කෙනෙක් ආව නං මිස්ට විරුද්ධව ලියුමකුත් ගහනවා, තේරුණාද?''
කළාපයෙන් පාසලේ ප්‍රාථමික අංශය අධීක්ෂණය කරන්න වරින් වර ආපු අධ්‍යක්ෂ වරු, ඒ රළු හඬ අතරින් ගුරුවරියට මතක් වුණා.
''මිස් උගන්වන විදිහ ඉතාම හොඳයි...මේ වගෙ උප සංස්කෘතියක් තියෙන පැත්තක දරුවො පාසල් එන එකම ඇති...නේද මිස්!''
මීට පෙර පන්තියට ආපු කළාප අධ්‍යක්ෂවරිය තම පන්තිය තුළ දීර්ඝ වේලාවක් රැඳෙමින් කියපු කතාවක් ඇයට ඒ අස්සෙ මතක් වුණා.
''මේ සමහර දරුවො ඉන්නෙ ළමා නිවාස වල...එක්කො අම්මා තාත්තා දෙන්නම නැහැ...ඉන්නෙ ආච්චි කෙනෙක් එක්ක...සමහර ගෙවල් වල තාත්තා බීගෙන ඇවිත් රෑ තිස්සෙ කලබල කරනවා...මේ පුංචි ගැහැනු දරුවන්ගෙ ජීවිත කොහොමවත් සුරක්ෂිත නැහැ....මේ අවට සමාජ තත්ත්වය මැඩම් ට පේනවනෙ...හරිම කරදරකාර ජීවිත!''
'' මං මේ ඒ ගැන තමයි හිතන්නෙ...අපි කළාප කාර්‍යයාලයෙ කාමරයක ඉඳගෙන විවිධ දේවල් හිත හිතා හිටියට කොළඹ වෙලත්, පොළොවෙ තත්ත්වය කොච්චර වෙනස්ද! නේද මිස්? ඇත්තටම අපට මිස්ලගෙන් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා...මේ ඉතිං අපේ රටේ අනාගතයනෙ...''
ඒ අධ්‍යක්ෂවරිය කුඩා දරුවෙකුගෙ හිස අත ගා තමන්ට තුරුළු කර ගනිමින් කිව්ව හැටි ගුරුවරියට මතක් වුණා.
'' මෙහෙම නං වැඩ කරල බහැ මිස්! බලන්න මේ ළමයගෙ අකුරු ඇදයි...මේ මේ...මේ අකුරු රූලෙන් පැනලා...ඒකටත් මිස් හරි දාලා....කිසිම අවධානයක් නැතුවනෙ වැඩ කරන්නෙ, එහෙම බැහැ! ගුරු වෘත්තිය කරනවා නං උනන්දුවෙන් කරන්න...මමත් ඉස්සර ගුරුවරියක් හැටියට වැඩ කෙරුවා....මිස්ට ඉන්නෙ ළමයි කී දෙනාද? ආ? මගෙ පන්තිවල හැම පාරම හතළිහ පැනලා...ඒ මේ වගෙ ඉස්කෝල නෙවෙයි...ලොකු ඉස්කෝල! තේරුණාද?''
අධ්‍යක්ෂවරියගෙ මුහුණ බැරෑරුම්!
''මං මේ කෙටි වෙලාවට තේරුම් ගත්තා,,,මිස් ළමයින්ට කොච්චර ආදරය කරනවද කියල....එයාලත් මිස්ට සලකන්නෙ අම්මා කෙනෙකුට, අක්කා කෙනෙකුට සලකනවා වගෙ...මිස් උගන්නනවා කියල හිතෙන්නෙ නැහැ, හරිම මෘදු අධ්‍යාපනික වැඩ පිළිවෙළක්...මට දුයිෂෙන් මතක් වුණා...''
එදා අර අධ්‍යක්ෂවරිය ආපු වෙලාවෙ පන්ති භාර ගුරුවරියට තුරුළු වුණු පන්තියෙ පුංචිම පුංචි ගැහැනු ළමයා දිහා ආදරයෙන් බලමින් කියපු කතාව!
''මේ තමයි මැඩම් මං කියපු අර දක්ෂ ගැහැනු ළමයා! මෙයා හරි ලස්සනට අකුරු ලියනවා, ගණන් හදන්නත් හරි හපනී...ආ! මේ තියෙන්නෙ එයාගෙ ලියන පොත...මේ බලන්න!''
අධ්‍යක්ෂවරිය සහ පුංචි ගැහැනු ළමයා ගුරුවරියත් එක්ක එකට, ඒ පොතට එබුණා. සමහර අකුරු අනිත් පැත්තට ලියලා. සමහර අකුරු බෝල පෙට්ටි සහ ඉරි කෑලි එකතු කරල හදපු අමුතු රූප වගෙ.
''ම්ම්ම්ම්....හරිම දක්ෂ ළමයෙක්නෙ...මේ දුව ලොකු වෙලා කවුද වෙන්න හිතාගෙන ඉන්නෙ?''
''ටීචර් කෙනෙක්...''
දැරියගෙ හුරතල් හඬ ගුරුවරියගෙ හිත අස්සෙ ගුළි වුණා.
''අපි ගුරුවරු වුණාම ළමයින්ගෙ වැරදි වැරදි විදිහට පෙන්නන්න ඕන...වැරදි දේවල් හරියි කියන්න එපා! තේරුණාද?''
''ඒ වුණාට වඩා වැදගත් වෙන්නෙ දරුවන්ගෙ හිත හදන එක,,,දරුවන්ගෙ පෞර්ෂය වර්ධනය කරන එක...මේ වගෙ අඩු පහසුකම් තියෙන සහ උප සංස්කෘතික වට පිටාවක් තියෙන පැත්තක දරුවො පාසල් ගෙන්නවා ගන්න එකම ලොකු වැඩක් මිස්...''
ඒ අර එදා ආපු කළාප ප්‍රාථමික අධ්‍යක්ෂවරිය.
'',,,.දරුවො තේරුම් ගන්න එක තමයි වැදගත්, එයාලට ඕන ආදරය, රැකවරණය... අධ්‍යාපනය සාර්ථක වෙන්නෙ එතකොට තමයි...අකුරු ඉලක්කම් උගන්වන එක එතකොට ඉබේම සිද්ධ වෙනවා...''
ඒ ගුරුවරිය!
 ''මිස් මීට පස්සෙ වගකීමෙන් වැඩ කරන්න ඕන...මං සෙක්ෂනල් හෙඩ්ටත් උපදෙස් දෙනවා මිස් ගැන ටිකක් බලන්න කියල...''
රළු මුහුණ පන්තිය වටා කරකවමින් අධ්‍යක්ෂවරිය ආපහු යන්න නැගිට්ටා,
''මං ගැන?''
ගුරුවරිය ඇහුවා.
''මිස් ගැන  මං දන්නවා...මේ අපේ මිස්...''
ගුරුවරියට ඇහුනෙ එදා ආපු අර  අධ්‍යක්ෂවරියගෙ හඬ. ඒත් ඒ හඬ කතාවක් විදිහට සටහන් වෙලා තිබුණෙ අර ඇයට තුරුළු වෙලා ඉන්න දැරියගෙ ඇස් දෙකේ.
මොකද, අර ඇයට මතක් වන අධ්‍යක්ෂවරිය කවදාවත් ඒ ඉස්කෝලෙට ආවෙ නැහැ!
CHAPA
July 3, 2019