Tuesday, October 30, 2018


යාළුවෙක් කතා කළා!


දැන් ටිකකට කලින් යාළුවෙක් දුර කථනයෙන් කතා කළා. ඔහු කොළඹ කොටුව පැත්තෙ business කරන, සිංහල බෞද්ධ වගෙ කෙනෙක්. දුරකථනයේ ringing tone එක 'දන්නෝ බුදුන්ගේ..' ගීතයේ තනු වාදනයක්.
''මොකද් ද ඉතිං වෙන්නෙ?''
ඔහු ඉඳ හිට වගේම දැනුත් අහනවා.
''ඔය පේන දේවල් තමයි...''

''වැඩේ හොඳයි නේද? මහින්ද මෛත්‍රී එකතු වෙච්ච එක?''
''පිට ට පේන විදිහ එහෙම වුණාට...''
''නෑ ...නෑ ...ඔයා කියන මට්ටමෙන් නෙවෙයි, මම කියන්නෙ පිට ට පේන විදිහ තමයි...ඒක හොඳයිනෙ, රනිල් හරි යන්නෙ නෑ ! මහින්ද එහෙම නෙවෙයි..ළමයි වඩාගෙන, පන්සල් ගිහිල්ලා...දකින කොට ආස හිතෙනවානෙ...''
ඔහු කියාගෙන යනවා.
''එතකොට ඇත්තටම රට ට සිද්ධ වෙන දේ ගැන හිතන්න ඕන නැද්ද? ආ! මට අමතක වුණා, ඔයා දේශපාලනය ගැන හිතන්නෙ business පැත්තෙන්නෙ, නේද?''
''අනිවාර්යයෙන් ම! හැබැයි මට අර පිට ට පේන දේ ඕන...මෙහෙම හිතන්නකො, මට රනිල් ඉන්නකොට ලක්ෂ දහයක් හම්බ වෙනව කියල හිතමුකො, මහින්ද ඉන්නකොට හම්බ වෙන්නෙ ලක්ෂ අට වුණත් මට ඒ ඇති...''
''එතකොට රට?''
''මෙහෙමයි...රට ට යහපතක් වෙන ගමන් මට ත් යමක් ලැබෙනවා නං හොඳයි, ඒ නැතත් මට ඕන යන්තං පය ගහල ඉන්න රටක්...''
''එහෙමද?''
මම එහෙම ඇහුවද මන්දා!
CHAPA
Oct 31, 2018

Monday, October 29, 2018

අතුරලියේ රතන හිමි යනු ‘කුමක් ද’?


(සති අග ‘අරුණ’ ට ලියූ මුත්, ඔවුන් පළ නොකළ ලිපියකි!)
අතුරලියේ රතන හිමි යනු ශ්‍රී ලාංකේය දේශපාලනයේ අතිශය තීරණාත්මක සාධකයක් බව, මම ඔබට යෝජනා කරන්නෙමි!
මේ, ඒ හිමියන්, ”රට සුරැකීමේ ජන පවුර” නමින් සංවිධානය වූ විවිධ වෘත්තිකයන් පිරිවරාගෙන, සිංගප්පුරු ගිවිසුම ට එරෙහි ව, ජනාධිපති ලේකම් කාර්යාලය ට සංදේශයක් භාර දෙමින්, එහි ඉදිරිපිට දී කියන කතාව, දිනය 2018 ඔක්තෝබර් 2;
( උපුටා දැක්වීම )
”…මේක රට පාවා දෙන වෙළෙඳ ගිවිසුමක්, ඔබ තුමාගෙ ජනාධිපති ලේකම් කාර්යාලය මේක අත්සන් කරේ, මලික් සමරවික්‍රමගෙයි, අගමැති තුමාගෙයි ඕන කමට, ජනාධිපතිතුමාට අපි කල් දෙනවා, වහාම මේ ගිවිසුම මාසයක් ඇතුළත…මේක කරුණාකරලා අත්හිටුවන්න! එසේ නැත්තං දස දහස් ගණනින් ජනතාව එක්ක ඇවිල්ලා…ජනාධිපති ලේකම් කාර්යාලය…අගමැති තුමාගෙ අරලියගහ මන්දිරය වට කරන්න ප්‍රථම, අගමැති තුමා…ජනාධිපති තුමා ත් වහාම මේ සිංගප්පුරු ගිවිසුම අත් හිටවන හැටියට තමයි අපේ ඉල්ලීම තියෙන්නෙ!”
(උපුටා දැක්වීම අවසන් )
රතන හිමියන් ට අවශ්‍ය කුමක් ද?
ප්‍රශ්නයක් බඳු ඒ යෝජනාව හරි හැටි තේරුම් ගැනීමට නං, ඔබ ප්‍රථමයෙන් ”රතන හිමි යනු කුමක් ද?” යන වග තේරුම් ගත යුතුයි!
රතන හිමියන් අපට හමු වන ඉතිහාස කතාව, වෙලාවක රැඩිකල් වමට (?), වෙලාවක සිංහල බෞද්ධ ව්‍යාපාරවලට (?) කෙළින් ම සම්බන්ධයි. කොටින් ම උන් වහන්සේ, රට – ජාතිය (?) වෙනුවෙන් පෙනී හිටින බව කියන කණ්ඩායම් අතර ‘තියෙන’, තවමත් වලංගු ප්‍රධාන සාධකයක්.
ඒ අතර,  2012 ජුනි 30 අන්තර්ජාලයට මුදා හැර තිබෙන දෙරණ 360′ වැඩ සටහනට, රාජපක්ෂ ආණ්ඩුවේ කොටසක් ව හිඳිමින්, උන්වහන්සේ කියා හිටින්නෙ, ලෝක ප්‍රාග්ධන බලවේග වලට එරෙහිව, ආසියාව තුළින්, නව ආධ්‍යාත්මික සමාජ දේශපාලන ව්‍යාපාරයක් ලෙස හෙළ උරුමය ක්‍රියාත්මක වෙනවා කියල. උන්වහන්සේගෙ දේශපාලන භාවිතාව අන්න ඒ කතාව ට එක විදිහක විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඊට පස්සෙ, 2012 ඔක්තෝබර් 12 හෝ ඊට ආසන්න දිනක පැවැත්වෙන ”විද්වත් සමුළුව” ආමන්ත්‍රණය කරමින් ඒ හිමියන් කියන්නෙ, කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න කලින් ආණ්ඩුව ට රතන හාමුදුරුවො වැදගත්, දැන් ආණ්ඩුව ට 2/3 තියෙන නිසා රතන හාමුදුරුවන් ව ගණන් ගන්නෙ නැහැ…ජාතික ව්‍යාපාරයකට තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්…” කියල.
ඔය වෙනකොට ත්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මහින්ද රාජපක්‍ෂ, තුන් වෙනි වතාවට ත් ජනාධිපති කරන්න අවශ්‍ය සැලසුම් සකස් වෙමින් තිබුණා සහ ඊට සමගාමිව, ”රාජපක්‍ෂ ඒකාධිපති පාලනය” කට එරෙහි ව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ එහි බලය අඩු කිරීම ගැන, විරුද්ධ කණ්ඩායම් අතර යම් සාකච්ඡාවකුත් ගොඩ නැගෙමින් තිබුණා. අපේ කතානායක, රතන හාමුදුරුවොත් ඒ අතර – ඉදිරි පේළියේ ම හිටියා.
2014 ජුලි 9 දා, ඔන්න, ඒ හිමියන්, ජවිපෙ නායකයන් මුණ ගැහෙන්න, ජවිපෙ මුලස්ථානය ට යනවා. විධායකය ජනාධිපති ධුරය අහෝසි නොකර සංශෝධනය කරන හැටි තමයි එදා කතාව. පිවිතුරු හෙටක් ජාතික සභාව, රට ගත යුතු මග! තමයි එදා තේමාව. ඒ තේමාව එක්කම, පහු වෙනිදා උන්වහන්සේ මුණ ගැහෙන්නෙ රනිල් වික්‍රමසිංහ. ”සාකච්ඡාව සාර්ථකයි!” උන්වහන්සේ මාධ්‍යයට කියනවා.
2014 ජුලි 22, උන්වහන්සේ පාර්ලිමේන්තුව අමතා කියා හිටින්නෙ, පළිබෝධ නාශක සහ බිජ අධිකාරිය ජාතික ප්‍රශ්නයක් බවයි. එයින් පොළොව විනාශ වන නිසා ආණ්ඩු මාරුවක් නොව ප්‍රතිපත්ති මාරුවක් පිළිබඳ සමාජ සංකල්පයක් අද සමාජය ට අවශ්‍ය බව ඒ කතාවෙදි රතන හාමුදුරුවො අවධාරණය කරනවා.
ඔය වෙනකොට රාජපක්ෂ ආණ්ඩුව ට එරෙහි Regime Change ක්‍රියාදාමය සංවිධානය වෙමින් තිබුණු බව, 2014 ජුලි 12 ලන්ඩන් නුවර දී, ජයම්පති වික්‍රමරත්න පැවැත් වූ, අමිර්තලිංගම් අනුස්මරණ දේශනයෙන් හොඳින් පැහැදිලි වෙනවා. එළැඹෙන ජනාධිපතිවරණය ට, රාජපක්ෂ කඳවුර ට එරෙහි පොදු අපේක්ෂකයෙක් ඉදිරි පත් කර, එකී පාලනය පෙරලා, විධායක ජනාධිපති ධුරය අහෝසි කර දමා බලය බෙදා හැරීම හෙවත් දෙමළ බෙදුම් වාදය රට තුළ ස්ථාපිත කරන හැටි එදා ජයම්පති වික්‍රමරත්න තර්කානුකුලව පෙන්වා දෙනවා.
ඔන්න, දැන් රතන හිමියන් කියනවා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ට ඇත උස්සපු එක ගැන පසු තැවෙන්න ගන්නවා.
ඔය අතර, 2014 ඔක්තෝබර් 31 දා, නුගේගොඩ පැවැත්වුණු රාජපක්ෂ විරෝධී රැළිය අමතන රතන හිමියන් ද, විධායක ජනාධිපති ධුරයේ බලය අඩු කරන නව ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියන්න ගන්නවා. කැසිනෝ ආර්ථිකය වෙනුවට ජාතික ආර්ථික වැඩ පිළිවෙළක් හැදීමේ අවශ්‍යතාව ත් අවධාරණය කරනවා.
2014 නොවැම්බර් 10 හෝ ඊට ආසන්න දිනයක, පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව වෙනුවෙන් රතන හිමියන්,  ධර්ම විජය පදනමේ දී කණ්ඩායම් කීපයක් එක්ක විශේෂ රැස්වීමක් පවත්වනවා. දැනට අප අතර නැති මාදුළුවාවේ සෝභිත හිමි ත් එහි ප්‍රධාන පුටුවක ඉන්නවා. සෝභිත හිමියන්, සුපුරුදු පරිදි මෙතැන දී ත් කෙළින් ම කියා හිටින්නෙ විධායක ජනාධිපති ධුරය සම්පුර්ණයෙන් ම අහෝසි කරන්න ඕන කියල.
”විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම NGO වැඩක්! මහින්ද චින්තනය ජනාධිපති ගෙ චින්තනයනෙ, ඒක හැදුවෙ NGO කාරයෝ ද?” එදා එහෙම අහන්නෙ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ට උන්වහන්සේ ත් එකඟ වෙනවා! එක්කෝ, එහි බලය අඩු කිරීම හෝ සම්පුර්ණයෙන් ම අහෝසි කිරීම කියන වැඩ දෙකෙන් ඕන එකකට එකඟ යි කියන එක.
2014 නොවැම්බර් 12 ගංගාරාමය අසළ මුත්තයියා ක්‍රීඩාංගනයෙදි තමයි ඔන්න ”ඒකාධිපති බල තල අහෝසි කරන ජන රැල්ල” හරිය ම පටන් ගන්නෙ. රාජපක්ෂ පාලනය පෙරළා දාන්න සිහින මැවූ සියලු කණ්ඩායම් සහ පුද්ගලයන් එතැන ට ඒ මොහොතෙ රොක් වුණා. ඒ රැළිය රත්න හාමුදුරුවෝ හඳුන්වා දුන්නෙ ”පොදු අපේක්ෂකයා බිහි කිරීම ට අවශ්‍ය සමාජ බලය ප්‍රති නිර්මාණය” කරන ඓතිහාසික වැඩක් විදිහට.
”ජනාධිපති තුමනි! ඡන්දය තියන්න, ඔබ තුමා පරදිනවා! පරාජිතයෙක් විදිහට ගෙදර යන්න පුළුවන්. අපි දිනනවා! දිනන්නෙ අපි නෙවෙයි, මේ රටේ නිදහස! ජයග්‍රහණය කරනවා, ජයග්‍රහණය කරනවාමයි!”
රත්න හාමුදුරුවෝ, මුත්තයියා ක්‍රීඩාංගනය දෙවනත් වෙන්න කෑ ගහලා තමන්ගෙ ජනාධිපතිවරයා ට පණිවිඩය දුන්නා!
හරිනෙ! උන්වහන්සේ කියපු දේ ඒ විදිහට ම කරල පෙන්නුවා! ඒකයි කියන්නෙ රතන හාමුදුරුවො ”ශ්‍රී ලංකේය දේශපාලනයේ අතිශය තීරණාත්මක සාධකයක්” කියල.
ඒ සියල්ල අතර, උන්වහන්සේ 2015 ජනවාරි 4 දා, ඒ කියන්නෙ ජනාධිපතිවරණය ට දවස් හතරකට කලින්, විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසකට කරපු පැහැදිලි කිරීම අතිශය බැරෑරුම්. රාජපක්‍ෂ පවුල් කාමය, බල කාමය සහ ධන ලෝභය ගැන විස්තර කරන උන්වහන්සේ එදා කියා හිටින්නේ, රාජපක්‍ෂ පාලනය, බෞද්ධකම ගැන කියමින් ”අපේ බෞද්ධ හර පද්ධතීන්, පුරුෂාර්ථයන් සහ වටිනාකම් වලට විශාල හානියක් සිදු වෙමින් සිටිනවා!” යන්නය. ඒ පාලනය තුළ කුඩුකාරයන් 1 50 000 සිට 3 60 000 දක්වා වැඩි වී තිබෙන බව සහ ඊළඟටත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කෙරුවොත් තම පවුල ට සහ කෙළවර දී සමාජය ට එය සාපයක් වන බව, උන්වහන්සේ ඒ විශ්‍රාමික හමුදා නිලධාරීන් ට ඔප්පු කර පේනවා දෙනවා. කුඩු මෙරට ට ගෙන්වන ”දුරාචාර කටයුත්ත ට, ඒ දීන පාපතර කටයුත්ත ට රාජපක්‍ෂ පාලනය ආශීර්වාද කරනවා!” උන්වහන්සේ කම්පා වෙනවා. ඒ වෙනකොට ඉදිවෙමින් පැවති වරාය නගර උන්වහන්සේ විස්තර කෙරුවෙ ”මුහුද ගොඩකරලා චීනයක් හදනවා” කියලයි.
”ඒක සුඛෝපභෝගී නගරයක්, ගොල්ෆ් ක්‍රීඩාංගන, විශාල තටාක සහිත…සුඛෝපභෝගී හෝටල්, මේ සියල්ලෙන් සැදුම් ලත්, සුපිරි…කාමසුඛල්ලිකානු යෝගය සම්පුර්ණයෙන් ම අභ්‍යාස කරන්න පුළුවන් සුපිරි සමාජයක හෝටලයක් හදනවා…” මේ උන්වහන්සේගේම වචන. උතුම් වූ ස්වභාව ධර්මය ට එරෙහි ඒ ව්‍යාපෘතිය සඳහා කෝටි ගණනක කළු ගල් කියුබ් ප්‍රමාණයක් කැඩෙමින් රට විනාශ වෙන විදිහ ත් කියා දෙනවා.
”ලෝකයේ නොදෙවෙනි…ලෝකයේ සල්ලාලයන් ට විනෝදකාමී ජිවිත ගත කරන්න කාම පුරයක් ඇති කරනවා. නුදුරු දිනක, අපේ ඈත එපිට ගම්මානවල පුංචි දරුවො, මේ කාමාතුරයන් ට බිලි ගන්න සමාජයක් මේ ආණ්ඩුව යටතේ හදමින් පවතිනවා…” රත්න හාමුදුරුවන්ගෙ තීව්ර හඬ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙ හිත් කම්පාවට පත් කරනවා. ඒ අස්සෙ, ඒ සභාවේම ඉන්න, හිටපු හමුදාපති – එදවස ජෙනරාල් සරත් ෆොන්සේකා ට, ජාතිය ගොඩ නගන්න නං රට වැසියන් ට හමුදා පුහුණුවක් ලබා දෙන්න කියල ඉල්ලා හිටිමින් ඒ හමුදා හිත් ආඩම්බරයෙන් පුම්බන්න ත් උන්වහන්සේ ඉදිරිපත් වෙනවා. අන්තිම ට, ” චම්පික රණවක වගේ දේශ මාමක නායකයො, ඒ වගේම මේ රටේ මහා යුද වීරයා වෙච්ච..ඓතිහාසික පුද්ගලයෙක් වන සරත් ෆොන්සේකා වගේ අය ඉන්නතාක් මේ රට බෙදන්න අපි කිසිවෙකුටත් ඉඩ තියන්නෙ නෑ!” කියල උන්වහන්සේ සපථ කරනවා.
ඔන්න! ඉතිං 2015 ජනවාරි 8, එදා ට යෝජිත Regime Change ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස සම්පුර්ණ කෙරුණා!
ඊළඟට එතැන් සිට…
රතන හාමුදුරුවන්ට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක් ලැබුණා. මහජන මුදල් කෝටි ගණනින් වැය කරමින්, චම්පික රණවක පරපුරේ අශෝක අබේගුණවර්ධන ආරම්භ කරපු SEMA ( Strategic Enterprise Management Agency ) ආයතනයෙත්, උන්වහන්සේ ප්‍රධාන භූමිකාවක් කරමින් හිටියා. ඒ අතර, ”ධාර්මික ගොවි තැනක්, නීරෝගී ජනතාවක්, වස විස නැති රටක්” යනුවෙන්, 2016 මාර්තු 7 දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භුමියේ, මිල අධික මහා ප්‍රදර්ශනයක් පවත්වන රතන හාමුදුරුවො කියනවා, ” ජනාධිපති තුමා, අගමැති තුමා ස්ථාවර නායකත්වයක්…අධිෂ්ඨානයක් දුන් බව අවංකව කියන්න ඕන…” කියල, ඒ කියන්නෙ රතන හිමියන් කරගෙන එන වැඩ පිළිවෙළ ට එවර උපරිම රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙනවා. ඔන්න එතකොට ග්ලයිෆොසෙට් ( Glyphosate ) මාතෘකාව ට ත් විශාල ආකර්ශනයක් ලැබෙනවා. ඔය වෙනකොට, මහාචාර්ය නලින් ද සිල්වා ගෙ සිට මහාචාර්ය චන්න ජයසුමන දක්වා වූ සැලකිය යුතු වෘත්තිකයන් පිරිසක් ඔය ග්ලයිෆොසෙට් විරෝධී සටන ට විවිධ මට්ටම් වලින් අත ගහලයි තිබුණේ, ඒත් ඔය වෙනකොට, රතන හාමුදුරුවො ඒ සටනෙ නිල සන්නාම තානාපති විදිහට සමාජගත වෙන්න පටන ගන්නවා.
”ග්ල්යිෆොසෙට් නවත්තන්න ගිය ආණ්ඩුව කාලයෙ උත්සහ කෙරුවා. ආණ්ඩුව ඒ සමාගම්වලට යටවෙලා බැරි වුණා. ජනාධිපති තුමයි, අගමැති තුමයි එහෙම සල්ලිවලට යට වෙන්නෙ නෑ කියල අපට විශ්වාසයක් තියෙනවා…”
ප්‍රදර්ශන භුමියේ සිට, රතන හාමුදුරුවො සහතික කරනවා.
”ආසියාවෙ ග්ලයිෆොසෙට් නවත්තපු පළමු රට බවට ශ්‍රී ලංකාව ට පත් වෙන්න පුළුවන් වුණා. මං හිතන්නෙ මුළු ලෝකෙම මේ තීන්දුව ගත්ත එඩිතර නායකයන් දෙන්නට අත් පුඩියක් ගහලා, අපේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේදී අධිෂ්ඨානශීලිව පළ කර සිටින්න!”
හාමුදුරුවන්ගෙ ඉල්ලීම ට සභාව ම කණ පැළෙන්න අත්පුඩි ගහනවා. සභාවෙ අසුන් ගෙන ඉන්න මෛත්‍රී – රනිල් දෙන්නට ම හරි ආඩම්බරයි.
”ග්ලය්ෆොසෙට් දැනටමත් තහනම් කරලා. අවුරුදු දෙකකින් සියලු ම වල් මර්දන අපි තහනම් කරන බව අධිෂ්ඨානශිලිව මේ සභාවේ අපි ප්‍රකාශ කර සිටිනවා…”
රත්න හිමියන්ගෙ සැර කටහඬ, සභාව ට විශ්වාසය තහවුරු කරනවා.
ඔය කතා ඔහොම කියවෙන අතරෙ ඇත්තටම ග්ලයිෆොසෙට් තොග පටවපු කන්ටේනර්ස් තොග පිටින් රට ට ඇතුළු වෙමින් තිබුණා. ඒ ගැන අපේ රත්න හාමුදුරුවො දැනුවත් ද?ඔව්!
”..දැන් වරායෙ තියෙනවා කන්ටේනර් 32 ක්. තාම රිලීස් කරල නැහැ. මට පෙරේදත් කතා කෙරුවා වරායෙන්…”
උන්වහන්සේ එහම කියන්නෙ 2018 ජුනි 6 දා, ‘සේමා – SEMA’ ආයතනයෙ රැස්වීමකදී. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙ මහාචාර්ය සරත් ගුණතිලක තමයි එදා ඒ රැස්වීමෙ ප්‍රධාන කතිකයා. ග්ලයිෆොසෙට් කුමන්ත්‍රණය තුළ ඒ මහාචාර්යවරයාගෙ භූමිකාව ප්‍රශ්න කරන්න ත් ඉතිහාසය අප ට බල කරනවා.
කොහොම හරි, ඔය වෙනකොට, රබර් සහ තේ කර්මාන්තකරුවන්, රසායනික වෙළෙඳ තැරැව්කරුවන් සහ අදාළ වෘත්තිකයන් මෙන් ම රාජ්‍ය බලධාරීන්, අමාත්‍ය නවින් දිසානායක ප්‍රමුඛ මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ පුර්ණ අනුග්‍රහය ඇතුව, ඉතා උපක්‍රමශීලිව ග්ලයිෆොසෙට් මාෆියාව බලගන්වලා ඉවරයි!
මේ සියලු සිදුවීම එකට ගණන් බලනකොට අනිවාර්යයෙන් ම රත්න හාමුදුරුවො කරල තියෙන්නෙ, යෝජිත ග්ල්යිෆොසෙට් එරෙහි සටන සහ සමස්ත රසායනික කුමන්ත්‍රණකරුවන් ට එරෙහි සටන තමන් ගෙ අතට අරගෙන, එහි සන්නාම තානාපතිවරයා බවට තමා පත් කරගනිමින්, අර රසායනික කුමන්ත්‍රණය සාර්ථක කර ගන්න සුක්‍ෂම ලෙස මැදිහත් වීම කියල මම දැන් යෝජනා කරනවා!      
මෙන්න රතන හාමුදුරුවො!
”…ඔය ජනාධිපති උපදේශකකමට මින් පස්සෙ මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මට ලැජ්ජයි ජනාධිපති උපදේශක කමක් තියෙනවා කියන්න…”
( කාන්තා සමුපකාර සමිතියේ 30 වන සංවත්සරය, 2018 ජුලි 28, විහාර මහාදේවි උද්‍යානය )
කතාව ඉවර නැහැ අපෙ හාමුදුරුවනේ!
ඔබ වහන්සේ එදා කියපු කුඩු ජාවාරම දැන් තව තවත් වර්ධනය වෙමින් තියෙනවා. රාජපක්‍ෂ පවුල වෙනුවට දැන් පවුල් ගණනාවක් රටේ ධනය කොල්ල කමින් ඉන්නවා. අර, ඔබ වහ්සේ එදා කෑ ගහල කියපු, කාමසුඛල්ලිකානු යෝගය සම්පුර්ණයෙන් ම අභ්‍යාස කරන්න පුළුවන් සහ ලෝකයේ සල්ලාලයන් ට විනෝදකාමී ජිවිත ගත කරන්න අවශ්‍ය කාම පුරයක් ඇති කරන – නුදුරු දිනක, අපේ ඈත එපිට ගම්මානවල පුංචි දරුවො, කාමාතුරයන් ට බිලි වන වරාය නගරය, දැන් මුල්‍ය නගර නමින් ඊට ත් වඩා සාර්ථකව වේගයෙන් ඉදි වෙමින් තියෙනවා. ඔබ වහන්සේ කම්පාවෙන් එදා විරුද්ධ වුණු මහා කළු ගල් කැඩීල්ල සහ අනෙක් මහා පාරිසරික විනාශයන් ඒ විදිහට ම සිදුවෙමින් තියෙනවා. ඔබ වහන්සේ එදා ( සහ අද ත්! ) විශ්වාසයෙන් නිර්දේශ කරන ජාති මාමක නායකයා, ච්මපික රණවක ත් මේ ඊනියා සංවර්ධන ය පිටිපස්සෙ පුරෝගාමී කාර්යභාරයක් කරනවා.
එතකොට, දැන් ඔබ වහන්සේ ට මොනවද ඕන?
ඒ අතර, ජයම්පති වික්‍රමරත්න, සැලසුම්සහගත ව ලන්ඩනයේදී කියපු විදිහ ට ම, ඒකීය රාජ්‍ය දියකර හරිමින් – රට බෙදුම්වාදය කරා ගෙන යන ව්‍යවස්ථා කුමන්ත්‍රණය ට අදාළ සියල්ල සිද්ධ වුණා සහ සිද්ධ වෙමින් පවතිනවා, හාමුදුරුවනේ! ඒ දේශපාලන ඝාතකයන් සමඟ, ආර්ථික ඝාතකයන් එකට වැඩ, මේ දැනුත්! එතකොට ඔබ වහන්සේ?
අන්තර්ජාලයේ බහා තිබෙන හඬ පටයක, හෙළ උරුමය, චම්පික රණවක සහ රතන හිමියන් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න කර තිබෙන කෙටි පැහැදිලි කිරීම, ඕන නං අපට දැන් සලකා බලන්න පුළුවන්. ඔහු එහිදී කියන්නෙ, එදා 2015 ජනවාරි 8 බල පෙරළිය කුමන්ත්‍රණයක් කියල. දෙමළ සහ මුස්ලිම් ඡන්ද අයින් කරල, සිංහල බෞද්ධ ඡන්ද කඩල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කොටු කරන හෙළ උරුම ව්‍යාපෘතිය ගැන, ‘ගේම්’ එක ගැන, ඔහු එහි විස්තර කරනවා. එහිදී ‘ජාතික ප්‍රශ්නය (?)’ ට අදාළ ක්‍රීඩාව කරන හැටි අමාත්‍ය රාජිත සේනාරත්න මෙහෙම පැහැදිලි කරනවා.
(උපුටා දැක්වීම)
”..දැන් මාත් එක්ක ගිවිස ගත්තෙ…ඔක්කොම, මේවා විරුද්ධව කතා කරනවා…හරිද, ජාතික ප්‍රශ්නය පැත්තක තියනවා, දිනුවට පස්සෙ ඕගොල්ලො ජාතික ප්‍රශ්නය කර ගන්න, ඕගොල්ලො දෙමළ මිනිස්සුන් ට දෙන දේවල්….ඒවා ඔක්කෝම..සුළු ජාතින් ට කරන දේවල් ටික කරන්න, අපි විරුද්ධ වෙන්නං, ඕගොල්ලො කරන්න…අපිට ප්‍රශ්නයක් නෑ. චම්පික පවා ඕක තමයි කියන්නෙ. හරිද, ඒ ගොල්ලො පොලිටික්ස්…හරිද, ඒ කියන්නෙ මේ බලය ලබා ගැනීම සහ බලය මාරු කිරීම ට මේ ගේම් එකේ ඉන්නවා…මේ ගේම් එකේ ඉඳලා…ඒගොල්ලන්ගෙ වැඩේ කර ගත්තට පස්සෙ…ඒගොල්ලො කියන්නෙ, ඕගොල්ලො 13 දෙන්න…ඕගොල්ලො මේවා එක කරන්න…ඒක අපිට…අපි විරුද්ධ වෙනවා…නමුත් මේක රැල්ලක් එක්ක..ඕගොල්ලන් ට කරගතෑකිනෙ…අපි පොඩි කණ්ඩායමක්නෙ…”
(උපුටා දැක්වීම අවසන්
එතකොට උන්වහන්සේ, දස දහස් ගණනින් ජනතාව කැඳවා, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය වටලා, මෙදා සැරේ කරන්න හදන්නෙ ‘කුමක් ද?’
එහෙම නං, අතුරලියේ රතන හිමි යනු ‘කුමක් ද?’ 
චාපාබණ්ඩාර 
Oct 14, 2018

අබිං කමුද?

පසු ගිය සතියේ ආරම්භක සංවාදයේම දිගුවක් හැටියට, 2018 ඔක්තෝම්බරය වන විට අප, පෘථිවි වාසීන්, ඓතිහාසික වශයෙන් හිරවෙලා ඉන්න තැන යළි බරපතළ විදිහට සලකා බලන්න මම ඔබට යෝජනා කරනවා! ලෝකය පුරාම, පවතින මහපොළොවේ කටුක යථාර්ථය යටපත් කරන්න ”ඉතා සංවිධානාත්මක” එහෙත් ‘නොවිධිමත්’, ඒ නිසාම ඉතා බරපතළ සාධකයක් තිබෙනවා. ඊට මාක්ස් ගේ කියවීම අනුව යමින් ‘අබිං’ කියල කියන්නත් පුළුවන්. ඒ තමයි ‘ආගම’! හැබැයි, ආගම කියනකොට, ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ, පැරණි, නව, ලොකු, කුඩා කියන සියලු තරාතිරම් වල ආගම්, ඇදහිළි, ලබ්ධීන්, විශ්වාසයන්…හැම කළාපයක් ම අයිතියි. ‘ආගම’ කියන මිනිස් අවකාශය ගොඩ නැගෙන්නෙ, මානව ශිෂ්ටාචාරයේ ඈත දවසක, ඇතැම් විට ඒ අතීතය හෝමෝ ඉරෙක්ටස් ( Homo Erectus ) දක්වා, අවුරුදු ලක්ෂ ගණනක් ආපස්සට ඇදගෙන යන්නත් පුළුවන්. මානව විද්‍යාත්මක සහ තවත් ඉතිහාස සාක්ෂි අනුව, ඒ වන විට, විවිධ හේතු සහ තත්ත්වයන් මත, සමස්ත ශරීරය ම රසායනික විපර්යාසයකට බඳුන් වෙමින් සහ අදාළ සත්ත්ව මොළය වඩා පුළුල් වෙමින් – ඒ නිසාම සිතීමේ නිම් වළලු පුළුල් වෙමින්, අපේ අතීත මනිසා වැඩෙමින් හිටියෙ. ඒ සජීව ක්‍රියාදාමය තුළ ලෝකය විමසමින් එන ඔහු තමන් ට වටහා ගත නොහැකි දේ යම් දෘශ්‍ය හෝ අදෘශ්‍ය ‘බලවේගය’ කට ආරෝපණය කරන්න පටන් ගන්නවා, එය ‘පරාරෝපණය’ ලෙස හැඳින් වෙනවා . මෙන්න මේ පරාරෝපණය තමයි පසු කලෙක සංවිධානාත්මක ආගම් බවට පත් වෙන්නෙ.ඇදහිළි, ලබ්ධීන්, විශ්වාසයන්…බවට පත් වෙන්නෙ.

මානව ශිෂ්ටාචාරය වඩා වේගයෙන් ඉදිරියට එන අතරෙ, ගෝත්‍රික ආකෘතියෙන් එපිට ට යමින්, පවුල, පුද්ගලික දේපොළ සහ ඉනික්බිතිව රාජ්‍ය ද ඇතුළු සියලු සංවිධාන ව්‍යුහයන් ගොඩ නැගෙන්න ගන්න හැටි, 19 වැනි සිවසේ මැද හරිය වෙනකොට, කාල් මාක්ස් – ෆෙඩ්රික් එංගල්ස් ඒකාබද්ධව අධ්‍යනය කරනවා. ඒ අනුව, වඩා දේශපාලනික මානව ලෝකයක් ගොඩ නගන්න, ආගම හරස් වන බව ඔවුන් විග්‍රහ කරනවා, ආගම අබිං විදිහට විග්‍රහ කෙරෙන්නෙ, ඒ අවකාශය තුළ මිනිස්සු මත් වෙන නිසා. මිනිස්සු මත් කරන්න ඒ ඒ පාලකයන් ට ( නුතන තත්ත්වයන් ට අනුව සමස්ත දේශපාලන අධිකාරිය සහ එහි ගාමක බලවේගය වන වෙළෙඳ පොළ බලවේග ) හැකි වෙනවා. ඔන්න පැරණි රුසියාවේ සාර් රජ්ජුරුවො දෙවියන් ගෙ පුත්‍රයා වෙලා, පොදු රට වැසියා දේව භක්තිකයන් හෙවත් දේව – රාජ්‍ය අන්ධ අනුගාමිකයන් බවට පත් වෙනවා!

මේ මානව ඛේදවාචකය අද දක්වාම විවිධ ස්වරූපයන් ගෙන් වර්ධනය වෙමින් ඉදිරියට ඇදෙනවා. මානව ඉතිහාසය යුරෝපා ඇහෙන් බලනකොට, එහි ඉතාමත් ම සංවාදශීලි කාලාවකාශය තමයි ග්‍රීක – රෝම යුග. මේ කාලය ඕන නං ක්‍රි.පූ. 4 වැනි සියවස දක්වා විහිදුවා කියවා ගන්න ත් පුළුවන්. ඒ ඉතිහාස තීරුව තුළ සොක්‍රටීස් අතිශය තීරණාත්මක වෙන්නෙ, ඔහු දෙවිවරු සහ දෙවිවරුන්ගේ පුත්‍රයන් ‘දැනුම’ හරහා අභියෝගයට ලක් කරන්න ගිහිං, උදහසට ලක් ව, නියම වන දඬුවම ට අනුව, තම අතින් ම හලා හළ විෂ පානය කරමින් මරණය වැළඳ ගන්න නිසා. ඊළඟ ඓතිහාසික හැරවුම් ලක්ෂය තමයි, ක්‍රිස්තියානි ඉතිහාස සටහන් අතර මුණ ගැහෙන ජේසුස් වහන්සේගෙ ආගමනය. එය, අද දවසේ සමස්ත ලෝකය ම පිළිගන්න දින කාල සටහන හෙවත් කැලැන්ඩරය ආරම්භ කරන කාල තීරුව නිසා කිසි විටෙකත් අපට ‘එතැන’ මග හැර යන්න බැහැ. කතාවෙ හැටියට ජේසුස් වහන්සෙ, සියලු දෙවිවරු වෙනුවට, එක දෙවි කෙනෙක් හොයා ගන්නවා. ඔන්න ‘ඒක දේවවාදය’ යළි මුණ ගැහෙන්න ගන්නවා. මුළු ලෝකය ම අප නොදන්නා දෙවියෙක් පාලනය කරන බව ඇදහිල්ලෙන් පිළිගන්න! න්‍යාය එහෙමයි!

දැන් කෙනෙක් යෝජනා කරන්න පුළුවන් පැරණි ගිවිසුම එක්ක තව පස්සට කාලය ඇදගෙන යමු ද?! කියලා, ඔව්! එහෙමත් පුළුවන්! කොහොම හරි, පිඩිත ජනයා වෙනුවෙන්, තමන් දෙවියන්ගේ එකම නියෝජිතයා ලෙස පෙන්වා දෙමින් සමාජ යුක්තිය වෙනුවෙන් අරගල කරන අතර තුර, රාජ්‍ය උදහසට ලක්වන ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මර දාන්න එදා පාලකයන් තීරණය කරනවා. ඒ කතාවෙ මාරාන්තික තැන තමයි, එදා දවසෙ කුරුසියේ ඇණ ගසා මරා දාන්න තවත් කෙනෙක් හිටියා, බරබ්බස් කියලා, ඔහු මං පහරන්නෙක්. එක්කෙනාවයි මරා දාන්නෙ, කාවද බේරන්න ඕන? කියලා පාලකයින් එතකොට මිනිස්සුන්ගෙන් ඇහුවා, අනේ! මිනිස්සු බේර ගත්තෙ, බරබ්බස්! ඒ ඇයි කියලා ඉතිං වෙනම සාකච්ඡාවක්. කොහොම හරි, ඒ ඉතිහාස කතාව ට අනුව ජෙසුස්වහන්සේ පැතූ ලෝකය මරා දැමෙනවා. ඒ ලේ වැකුණු කුරුසය අත් පත් කරගත් පල්ලියේ ආධිපත්‍ය එතැන් සිට සියවස් කීපයක් ම යුරෝපය බියෙන් සලිත කරවනවා.

ඒ අතර, ක්‍රි. ව. 5 වැනි සියවස වෙනකොට සිද්ධ වෙන මහම්මද් ආගමනය අතිශය තීරණාත්මකයි, ඒ සමඟම 11 – 15 සියවස් අතර, යුරෝපය කඩා බිඳ දමන බිහිසුණු ආගමික යුද්ධ පෙළක් හට ගන්නවා. ඔය වෙනකොට පෙර අපරදිග වෙළෙඳ මධ්‍යස්ථානය බවට පත් වෙලා තිබුණේ කොන්ස්තන්තිනෝපලය ( Constantinople ), ඒ තමයි, රෝම යුගයේ අවසන් සටහන් තියන බයිසන්ටයින් ( Byzantium) අධිරාජ්‍යයේ අවසන් ප්‍රධාන නගරය. ක්‍රි.ව. 1453 දී ඔටෝමන් තුර්කිවරු ඒ නගර ආක්‍රමණය කරනවා. එය වෙළෙඳ – ආගමික ආක්‍රමණයක්. ඒ ක්‍රියාදාමය අතිශය තීරණාත්මක සහ ඓතිහාසිකයි. ලංකාවට ත් පෘතුගිසි කඩා වදින අපර දිග, පෙර දිග ආක්‍රමණය සිද්ධ වෙන්න අන්න ඒ නිසයි. මේ ඉතිහාස කතාව අනුව අපි තේරුම් ගන්න ඕන දේ තමයි, මානව ඉතිහාසය ම එක විදිහක ආගමික ඛේදවාචකයක්. හරියට ම ගත්තොත්, දේශපාලන ඛේදවාචකයක්.

එතකොට ඔබ අහන්න ඉඩ තියෙනවා, බුද්ධාගම ත් එහෙම ද කියලා.. බුදු දහම, බුධාගම බවට පත්වෙන තැනදී ම, එහි අන්තර්ගතයේ එක්තරා ආකාරයක විකෘතියක් හට ගන්නවා, ඒත් එහි සමාජ බලපෑම අර සෙසු ආගම් දේශපාලනය ට වඩා වෙනස්. අනෙක එහි සීමිත පැතිරීම තුළ වඩා වැඩියෙන් දකින්න පුළුවන් යහපත් සමාජ ගොඩ නැගීම්. හොඳම උදාහරණය තමයි, ලංකාව ට, පැරණි භාරතයෙන් රාජ්‍ය පණිවිඩයක් ලෙස ලැබෙන ‘බුද්ධාගම’ එදවස හෙළය වඩා විද්‍යාත්මක සශ්‍රික රාජ්‍යයක් බවට පත් කිරීම. අපි ඒ සාකච්ඡාවත් වෙනම කරමු. ඒ අතර ම මතක තියා ගන්න, වර්තමාන ලෝකය මෙහෙය වන ආගමික – දේශපාලන මධ්‍යස්ථාන අතර, ඔතොඩොක්ස්, වතිකානු සහ ඉස්ලාම් කඳවුරු ඉතා ප්‍රබල යි. ඊට අමතරව, විවිධ ආගම් නිකායන් සහ තවත් මිත්‍යා ව්‍යපෘති සිය දහස් ගණනක් ලෝකය විනාශ කරමින් තියෙනවා. බරපතළම ප්‍රශ්නය, ඒවාට නොදැන අහු වෙන පොදු ජනතාව බේරා ගන්නෙ කොහොමද කියන එක! මොකද, ආගම අබිං නිසා මිනිස්සු මත් වෙනවා.

ඒක තමයි මාක්ස් කියන්නෙ, මිනිස්සුන්ගෙ ආගම අබිං ( das Opium des Volkes) කියල!

( අරුණ, 2018 ඔක්තෝම්බර් 07 )

සුජිත් අක්කරවත්ත ට ලියමි!


පහු ගිය සති අග ‘අරුණ’ ට ලියපු ‘මං කෙළින් මිනිහෙක්!’ සටහන ට, එහි තැනක නම සඳහන්, සුජිත් අක්කරවත්ත යම් විදිහක ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා, ඒ ඔහුගෙ මුහුණු පොතේ. ඒ කෙටි සටහන උපුටා දක්වන්න දැන් මට ඉඩ දෙන්න!

( උපුටා දක්වීම )

සතිඅග අරුණ පුවත්පත 2018 සැප්තැම්බර් 30 ඉරිදා- පිටුව 51 මං කෙළින් මිනිහෙක්-චාපා බණ්ඩාර හිතාදර චාපා බණ්ඩාර මහතාණෙනි, ඉහත පුවත්පතින් ඔබ ලියා පළකර ඇති ලිපියෙන් මා ගැන සිදුකර ඇති සාවද්‍ය අඩමානය පිළිබඳවය ඔබට කැමති මතවාදයක් දැරීමට ලිවීමට ගැන වූ අයිතිය පිළිගනිමි.එනමුත් මා විසින් පළකර ඇති අදහසක් පිළිබඳ සාවද්‍ය විකෘතියක් පළ කිරීම හා වැරදි මානයක් ගොඩනැගීම උචිත නොවේ.අසංක සායක්කාරගේ “මං කෙළින් මිනිහෙක්’’ නාට්‍ය පිළිබඳව මම විවරණ කරන අදහස ඔබ වැරදි ලෙස උපුටනය කරයි.සායක්කාරගේ නාට්‍ය ගැන මිසක කේ.කේ.ශ්‍රීනාත්ගේ ‘’බුඳුන්ගේ රස්තියාදුව’’ කෘතිය ගැන මා කිසිවක් කියා නැත.අනික බුදුරජාණන් වහන්සේ ස්වකීය පුරුෂ රහසඟ ප්‍රදර්ශනය කිරීම ගැන මම ප්‍රකාශ කළ ශාස්ත්‍රීය මතය ගැන ඔබට ගැටළුවක් වේ නම් ඒ ගැන ඔබ ශ්‍රී ත්‍රිපිටකය කියවීමෙන් පසු විවාදාභිමුඛ විය හැකිය.බුදු දහම හෝ අන් ආගම් ගැන විචාරයෙන් තොර අදහස් පළකිරීමට තරම් අවිචාරයෙන් යුතු චර්යාවක් මට නැත.ඉතිහාසය හා වර්තමානය තුළද නිබඳව ශාස්ත්‍ර චර්යාවෙන් කටයුතු කරන මට ජාතිය ආගම ගැන අමුතු වදන් කියා දීමට පෙර ඔබ ඔබේ අතීත වත මෙනෙහි කිරීම මැනවී. මම කවදත් අරමුණ හා මොහොතට ආදාළව පරාර්ථ දේශපාලනයේ නියලෙන්නෙක්මි.මගේ භාවිතය සමාජමානී මිස ඇස් බැන්ඳුමක් නොවේ.ඔබකර ඇති සදොස් බව නිදොස් කරන්නේ නම් ඔබ පිළිබඳව ඇති බැඳීමට ගරු කටයුතුය.

සුජිත් අක්කරවත්ත 2018.09.30

( උපුටා දැක්වීම අවසන් )

ඉතිං දැන්, සුජිත් අක්කරවත්ත මිත්‍රයාගෙ ප්‍රතිචාරය ට මම, මුහුණු පොතේ ඒ පිටුවට ම දක්වපු ප්‍රතිචාරය ත් කියවන්න!

( උපුටා දැක්වීම )

ඔබ විවෘතව අදහස් ඉදිරිපත් කිරීම අගය කරනවා, එහෙත් ඔබ, අරුණ පුවත් පතේ පළ වූ මගේ ලියැවිල්ල ගැන කර තිබෙන උක්ත ප්‍රකශය වැරදියි! මම කියා තිබෙන්නෙ, ” …බුදුන්ගෙ රස්තියාදුව ගැන සමාජ මාධ්‍ය තුළ එහා මෙහා යන අදහස් අතර, සුජිත් අක්කරවත්තගේ අදහසකුත් කියවන්න ලැබෙනවා…” කියලයි. “එහා මෙහා යන අදහස්…” යනුවෙන් මං අදහස් කරන්නෙ, විශේෂයෙන් ම මං කෙළින් මිනිහෙක් සහ බුදුන්ගෙ රස්තියාදුව අතර සමාජ මධ්‍ය හරහා ගොඩ නැගෙන නොවිධිමත් සංවාදය ගැන. ඊළගට, සුජිත්, ඔබ බුදු දගම තුළ මානව භාෂණය අරුත් ගන්වන විදිහ බරපතළ අවුළක් වෙන්නෙ, අදාළ සංවාද සන්දර්භය අනුව. ඒ ගැන ඔබ සමග මුහුණ ට මුහුණ සාකච්ඡාවකට මම සූදානම්! එසේම, ඔබ පෙන්වා දීමට උත්සහ කරන මගේ “අතීත වත” ගැනත් විවෘත සංවාදයකට මම ඉතා උනන්දුවෙන් සූදානම්! එන්න, අපි, 2010 දි Max tv මැදිරියේදි අතර මැද නවත්තපු සංවාදය තව දුරටත් ගොඩ නගමු!

( උපුටා දැක්වීම අවසන් )

චාපාබණ්ඩාර
Oct 07, 2018

Sunday, October 28, 2018

මා නොවන මම

මේ කැළුම් ශ්‍රීමාලගේ වැඩ සටහන ගැන නො වෙයි. මා ඔහු හමු වී ඇතත් ඔහු කිසි වටෙක තම වැඩ සටහනට මා සහභාගි කරව ගන්න එකක් නැහැ. මට ගයන්න බැහැ. ඒත් ගී ගයන්න උගන්නන්න පුළුවන්. අර ඉංගිරිසි කියමනක් තියෙනවා Those who can do, those who can’t teach. මා එයට තවත් කොටසක් එකතු කළා Those who can’t teach instruct teachers කියලා. මෙහි සරල සිංහල තේරුම තමයි. පුළුවන් එකා කරනවා, බැරි එකා උගන්නවා. උගන්නන්න බැරි එකා ගුරුවරුන්ට උපදෙස් දෙනවා කියලා. කැළුම් මා ඉන් එකකටවත් ගන්න එකක් නැහැ. ඊනියා ශාස්ත්‍රීය ලෝකයේ වැඩිය ඉන්නෙ දෙවැනි තුන්වැනි ගණයෙ අය.
මේ කරුණ මා ගිය ඉරිදා සති අග අරුණ පත්තරේ නිකුත් කළ දවසෙ එහි මහින්ද ඉලේපෙරුමට කිව්වා. මහින්දලා පුළුවන් නිසා ජනමාධ්‍ය කරනවා. බැරි අය ජනමාධ්‍යවේදය උගන්වනවා. ඒ ඉගෙන ගත් අයට නැවතත් අර වෙළෙඳ දැන්වීමක තියනවා වගේ කරලා ම පුරුදු වෙන්න වෙනවා. මා ඒ පත්තරේ නිකුත් කළ දින එහි ගිය බව දැක්වෙන ඡායාරූප මුහුණු පොතේ සංසරණය වෙනවා. මා එහි ගියේ දිලිත් ජයවීරගේ ආරාධනයකින්. දිලිත් මා කොළඹ විශ්වවිද්‍යාලෙ උගන්වන කාලෙ එහි නීති පීඨ ශිෂ්‍යයෙක්. මාධව එහි විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙක්. අද ඔහොම හිටියට ඒ දවස්වල ශිෂ්‍ය ක්‍රියාකාරීන්. හැබැයි අර තකතීරු ජ වි පෙ අන්තරේටවත් සුවාදීන ශිෂ්‍ය සංගමයටවත් සම්බන්ධ නැහැ. විජිත් හිටියෙත් විද්‍යා පීඨයෙ. එදා ඒ තුන්දෙනා එක්ක ගත්ත ඡායාරූපයකුත් සංසරණය වෙනවා. ඒ එක්ක දිලිත් මට පත්තර පිළිගන්නපු ඡායාරූපයක් සහ තවත් ඡායාරූප සංසරණය වෙනවා. මුහුණු පොතේ පඬි පෝතකයන් මේ ඡායාරූප ප්‍රචාරය කරන්නෙ මට ඇති සෙනෙහසකට නො වෙයි. එක් අයකු කියා තිබුණා දෙකේ කොළේට වැටිල ඉන්න නාකියාට පොඩි ජොලියක් ගිහිල්ල කියලා. ඒකෙන් ම තේරෙනවා සිංහල බෞද්ධ විරෝධීන්ට මා කෙරෙහි ඇති වෛරය. සිංහල බෞද්ධ විරෝධී පඬියන්ට මා හිසරදයක්. ඔවුන් කැමතියි සමාජයට මගෙන් ඇති බලපෑම නවත්වන්න. ඔවුන් හිතනවා ඒ නැවතිලා කියා. එහෙත් අරුණෙන් ලැබුණු ආරාධනයෙන් ඔවුන්ට තම හිතළුව වැරදි බව තේරිලා. ඔවුන්ට කේන්ති ගිහින්. ඒ පඬි පෝතකයා කවදාවත් නාකි වෙන්නෙ නැතිව ඇති. මා නිතර ම වගේ ඉන්නෙ ජොලියෙන්. පඬි පෝතකයන් මගේ ඉන්ද්‍රිය පථයට ආව ම නම් කේන්ති යනවා.
අද දෙරණෙ 360 ඉන්න චාපා ඉස්සර රාවයෙ වැඩ කළ සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔහු මගෙන් දවසක් මා හිතන්නෙ ගෙදරදි ඇහුව ඇයි මගේ දරුවන් යුද්ධෙට යවන්නෙ නැත්තෙ කියලා. ඒ වගේ කසිකබල් ප්‍රශ්න අහන අය එදත් හිටියා. අදත් ඉන්නවා. එදා ඇහුව මගේ ළමයි රාජකීය විදුහලට යවන්නෙ මොක ද? මා අලුත් ජපන් කාරයකින් යන්නෙ මොක ද? ආදී වශයෙන්. අද අහනව මා අරුණ පත්තරේ නිකුත් වෙන එකට ගියේ මොක ද? මා හදවත් සැත්කමක් කර ගත්තෙ මොක ද? නාථ දෙවියන් මා සනීප කළෙ නැත් ද? මේ අයට ඕන කරන්නෙ මා වංක තක්කඩියකු කියලා පෙන්නන්නයි. චාපටත් එදා එහෙමයි. ඔහු අද වෙනස් වෙලා ද?. එහෙම නම් ඒ වෙනස වුණෙ කොහොම ද කියලා අප දන්නෙ නැහැ. මා නම් මාක්ස්වාදය අත්හරින වෙලාවෙ ඒ ගැන ලිපි ලියල තමයි එසේ කෙළේ. පස්සෙ පොඩි පොත් දෙකකුත් ලිව්වා. අවුරුදු විසිපහකට පස්සෙත් ඒවට උත්තර නැහැ.
මගෙන් වෛරී කසිකබල් ප්‍රශ්න අහන අයට මා තරකානුකුල පිළිතුරු දිල නිකම් ඉන්නෙ නැහැ. වාග් ප්‍රහාරයකුත් එල්ල කරනවා. ඔවුන් ප්‍රචාරය දෙන්නෙ වාග් ප්‍රහාරයට පමණයි. මගේ ළමයින් ඉගෙන ගත්තෙ මොනව ද කියන එකටවත් කරන රස්සාව මොකක්ද කියන එකටවත් ඔවුන්ගේ දේශපාලනය ගැනවත් විවාහය ගැනවත් එතෙර යෑම ගැනවත් මා හා මගේ භාර්යාව මැදිහත් වෙලා නැහැ. අවශ්‍ය වුණොත් අප උපකාරයක් කළා විතරයි. ඔවුන් එක් අයකුවත් ගණිතය භෞතික විද්‍යාව ඉතිහාසය දර්ශනය බුදුදහම දේශපාලනය ගැන හිත යොමු කෙළේ නැහැ.
මා පුතුන් රාජකීය විදුහලට යැව්වා. ඒක නම් මගේ තීරණයක්. අවුරුදු පහේ දි පමණ ඔවුන්ට ඒ ගැන තීරණයක් ගන්න බැහැ. මගේ ලොකු පුතා රාජකීය විදුහලට යවන්න ඉල්ලුම් පත් දාන දිනවල, 1979 දි, අප සිටියෙ මහනුවර වටපුළුවෙ. ලස්සන පළාත. අසළින් මහවැලිය ගලා බසිනවා. ඒත් පේරාදෙණියෙ වැඩ බැරි ගුරුවරු අපට එහෙ ඉන්න දුන්නෙ නැහැ. අවුරුදු දෙකක් පමණ පේරාදෙණියෙන් මා ප්‍රතික්‍ෂෙප කරලා රැකියාවක් නැතිව ඉන්න විට ස්ටැන්ලි විජේසුන්දර මහතා නිසා 1979 දි මට කොළඹ විශ්වවිද්‍යාලෙ රැකියාවක් ලැබුණා. අප කොළඹ කිට්ටුවට එන්න තීරණය කරලා තිබුණෙ. මා නුවර ලිපිනයක් සහිත ව රාජකීය විදුහලට ඉල්ලුම් පතක් එව්වා. මට අවශ්‍ය නම් පාණදුරේ ලිපිනය සඳහන් කරන්න තිබුණා. මා එසේ කෙළේ නැහැ. මා විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් බව ඔවුන් දැන සිටියා. මේක තරමක කයිවාරුවක් තමයි. හැමෝට ම ඇත්ත කයිවාරු ගහන්නත් බැහැ නෙ. ඔවුන් පුතා විදුහලට ඇතුළත් කර ගත්තා. ඔවුන් මගෙන් ඇහුව එකම ප්‍රශ්නය පුතා පාසල් එවන්නෙ කොහේ ඉඳලා ද කියලා. මා පඬි පෝතකයන්ට ඒ විස්තරය කිව්වා. ඒත් ඔවුන් ඒ පිළිතුරෙන් සැහීමට පත් වුණෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණා පුතා වෙනත් පාසලකට යැව්වෙ නැත්තෙ මොක ද කියලා දැනගන්න. මෙරට පාසල් සියල්ල අනුකාරක පාසල්. රාජකීය විදුහල තමයි එංගලන්තෙ ප්‍රභූ පාසල් අනුකරණය කළ ප්‍රධාන පාසල. අනෙක් පාසල් රාජකීය විදුහල අනුකරණය කරනවා. මා පුතා යවන්න ඕන අනුකාරක පාසල් අතරින් කී වැනි ගණයේ පාසලකට ද? මා ඡන්දය දෙන්න ඕන නරක දේශපාලනඥයන් අතරින් කාට ද? ඡන්දය නොදී ඉන්නවා ද? චාපා නම් ඒ ප්‍රශ්න ඇහුවෙ නැහැ. මා පුතාලට යුද්ධෙට යන්න කිව්වෙවත් මහණ වෙන්න කිව්වෙවත් නැහැ.
මා වයසින් නාකි තමයි. තව ටික කලකින් මා මිය යාවි. එහෙත් මා ක්‍රියාවෙන් නොහැකි අයකු නො වෙයි. තවමත් මට හැම දෙයක් ම වගේ පුළුවන්. මා හිතනවා මගේ නිර්මාණශීලීත්වය නම් දිනෙන් දින වැඩි වෙනවා කියලා. ඒ වුණත් දිලිත් මට අරුණ පත්තරේට ලියන්න ආරාධනා කරන එකක් නැහැ. ඒ නිර්මාණශීලීත්වය වැඩිකම හින්ද වෙන්න පුළුවන්. එක් පඬියකු කියලා තිබුණ පත්තරේ නිකුත් වීමට යෑම නලින් ද සිල්වාගෙ නොවන නලින් ද සිල්වාගේ ම දේශපාලනය කියලා. ඔහු නොදැනීම ඇත්තක් කියල තිබුණ. මේ රටේ මගේ නොවන මගේ ම දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා. මේ පඬියන්ටත් චතුස්කෝටික ප්‍රකාශ කරන්න වෙලා. මා සමාජයෙන් පිටස්තර ව ඉන්න එක්ක ඇත්ත. එහෙත් සමාජයට මගෙන් යම් බලපෑමක් වෙනවා.
මේ රටට මගේ බලපෑම ගැන මා කියන්න යන්නෙ නැහැ. ඒක මගේ වැඩක් නො වෙයි. දවසක අරුණ පත්තෙරේ ඒ ගැන කියාවි. ඒත් මා දන්නවා පඬියන්ටත් තරමක් හරි වෙනස් වෙන්න වෙලා කියලා. අද මහින්ද හා මෛත්‍රිපාල එකතු කර රනිල් ඉවත් කිරීම වෙනුවෙන් මා ලියනවා.ඒ හෙට සඳහා නො වෙයි. අද මහින්ද හා මෛත්‍රිපාල නිසා මහින්ද හා මෛත්‍රිපාල එකතු කරන එක තරමක් අපහසුයි. මා හිතන්නෙ අපි වෙනුවෙන් අපි කියන පාඨය දිලිත්ලගෙ නිර්මාණයක්. අද මෛත්‍රිපාල හා මහින්ද අපිට එරෙහිව අපි කිය කියා යනවා. මේ ප්‍රකාශ දෙක ම චතුස්කෝටිකයෙන් ගලා එන්නෙ. කැළුම්ටත් උත්තේජනයක් සපයලා තියෙන්නෙ චතුස්කෝටික ය. ඝරසර්ප කළුකුමාරයාත් චතුස්කෝටික වචනක්. මා ලියූ ඝරසර්ප කියවන්න. අද මිනිසුන් අවුරුදු පන්සියක පමණ බල පෑ බටහිර ද්විකෝටිකයෙන් නැවතත් ඈත් වෙන්න හදනවා. ඒකත් දේශපාලනයක්. අපේ පැරැන්නන් හිටියෙ චතුස්කෝටිකයෙ. මගේ නොවන මගේ ම දේශපාලනය ඒ වෙනසට පමණක් සීමා වෙලා නැහැ.
අද දෙමළ කතාකරන නිළියන් පඬියන්ට ටොකු අනිනවා. එක් අයකුට ඉනියවන් නිපදවලා නියවන් ඉන්න වෙලා. ඔවුන් කිසිවකු ජූඩ් රත්නම් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නාමික ව මෙකක් හරි කියල ජාම බේර ගන්නවා. තවමත් මේ පඬියන්ට දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය (ප්‍රශ්නය) කියන්න බැහැ. ඔවුන් දෙමළ කතාකරන ජනයාට වඩා දෙමළ වෙන්න හදනවා. ඒකෙන් ම පේනවා ව්‍යාජය. මේ පඬියන්ට ඇත්තේ හීනමානයක් නිසා සිංහල බෞද්ධ සමාජයට වෛර කිරීමක්. අපි එය පසුව විස්තර කරමු. ඔවුන් සිංහල සමාජයෙන් පළිගන්නත් පුහු පොරවල් වීමටත් දෙමළ ජාතිවාදයට උපකාර කරනවා. හොඳයි අපි අහමු ඔවුන්ට ඔපමණ වේදනාවක් තියෙනවා නම් කුලියට චිත්‍රපටි නිපදවන්නෙ නැතිව බයිලා කියන්නෙ නැතිව දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් කර ඇත්තේ කුමක් ද කියා. මේ පඬියන්ගෙන් රටට වෙලා තියෙන බලපෑම කුමක් ද? මංගල ඔවුන් සමහරකුට ඉස්සර ආධාර කළා. සමහරුන්ට තවමත් ආධාර කරනවා වෙන්න පුළුවන්. දේශපාලන අනාගතයක් නැති මංගලට ඔවුන් ගලවා ගන්න බැහැ.
දිලිත් හා මාධව මට අරුණෙ තියා දෙරණෙවත් ඉඩක් දෙන්නෙ නැහැ. ඔවුන්ගේ දේශපාලනය මගේ දේශපාලනයෙන් වෙනස්. ඉස්මයිල්වත් ඉලේපෙරුමවත් ජාතිකවාදීන් නො වෙයි. ජනමාධ්‍ය කියන්නෙ හොඳ තැනක් නොවන බව මා දන්නවා. පඬියන් පඬි පෝතකයන් බයිලා කියන ඊනියා සමාජයීය මාධ්‍ය හොඳ තැනක් ද? මගේ නොවන මගේ ම දේශපාලනයක් මෙරට ක්‍රියාත්මක වෙනවා. දිලිත්ට පමණක් නොව පඬියන්ටත් ඉන් ගැලවෙන්න බැහැ. ඒ අතර තවත් දේශපාලන ක්‍රියාත්මක වෙනවා.
ඒ දවස්වල අලුත් ජපන් කාරෙක දැන් පරණයි මට ඒකෙ අයිතියවත් නැහැ. අපට දැන් ජපන් තියා ඉන්දියන්වත් අලුත් තියා පරණවත් වාහනයක් අයිති නැහැ. මා සැත්කමක් කර ගත්ත එක්ක ඇත්ත. ඒ දිනවල මා රැක බලා ගත්ත වෛදවරුන් වරියන් අතර විජිත්ගේ භාර්යාවත් සිටියා. ඒ සියල්ලන්ට ම පින්! අප බටහිර දැනුම සම්පුර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. අප විරුද්ධ වන්නේ එහි ආධිපත්‍යයට, එයට දීන ලෙස යටවීමට හා යටවෙන අනුකාරකයන්ට. බටහිර දැනුම අප ප්‍රතික්‍ෂෙප කරනවා නම් මට මේ ලිපිය ලියා කාලය වෙබ් අඩවියට එකතු කරන්න බැහැ. අප බටහිර දැනුමත් අපට ඕන විධියට යොදා ගන්නවා එහි ආධිපත්‍යයට විරුද්ධව වැඩ කරන්න. මා පළමු හෘදයාබාධය වැළඳුණු වෙලාවෙ ගියෙ නාථ දෙවියන් ළඟට. මා එහි දී පැය ගණනකින් සුවපත් වූවා. මා හෘදයාබාධය වැළඳී ගියේ රාත්‍රියේ. පසුදින උදේ මා රැකියාවටත් ගියා. මෙවර ඒ වෙදකම ලබා ගැනීමට පහසුකම් තිබුණේ නැහැ.
කොළඹ විශ්වවිද්‍යාලයේ මා ගුරුවරයකු ලෙස ගතකල අවුරුදු දහතුනෙන් (මා වැඩි කාලයක් ගත කර ඇත්තේ එහි) අවසාන දහය තමයි මගේ ජීවිතයේ වැදගත් ම කාලය. තව අවුරුදු විස්සක් එහි හිටය නම් රටේ මිනිසුන් හිතන විධියෙ වෙනසක් වෙන්න තිබුණ. ඒ මගේ වැදගත් කාලය වුණාට සොඳුරු කාලය නොවෙයි. මගේ සොඳුරු කාලය පාසලේ හා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසත් පේරාදෙණියේ ගුරුවරයකු ලෙසත් ගෙවුණා. දිලිත් මාධව විජිත් මට හමුවුණේ කොළඹ දී. ඔවුන් නරුමයන් නො වෙයි. එහි සිටි ඇතැම් සුවාදීනයන් දැන් මහින්දවාදීන් වෙලා. එහි නරුමයන් ද සිටියා. එකල ජාතිකවාදීන් වූ සමහරු අද රනිල්ගේ සේවකයන් වෙලා. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ලොකු රතු අකුරින් ලියා තිබුණා ජාතික චින්තනය යනු අනුරාධපූයට බරකරත්තයෙන් යෑම කියලා. දිලිත්ලට මතක ඇති. ඒ තමයි සුවාදීනයන්ගේ දැන උගත්කම. දැන් අපට කාරයක් නැහැ. අනුරාධපුරයට යන්න නූනත් බක්කි කරත්තයක් ගන්න බලා ඉන්නවා. ඒ සඳහා මුහුණු පොතෙන් සිංහල බෞද්ධ විරෝධී නිරාගමික ගවයකු හොයනවා.
මහාචාර්ය නලින් ද සිල්වා, 2018 ඔක්තෝබර් 5
මහාචාර්ය නලින් ද සිල්වා යළි හමු වෙමි!
ඔබේ ලිපිය පුරා දිවෙන හුදු මමත්වය ගැන මම උනන්දු නොවෙමි! එහෙත් ඔබ මගේ දිගුකාලින දේශපාලන මැදිහත්වීම පිළිබඳ ප්‍රශ්න කරන බැවින් මමත්වය තුළ නොව යෝජිත දේශපාලන සවාදය ට අදාළව මෙසේ ප්‍රතිචාර දක්වන්නෙමි; 1. මම රාවය ට වැඩ කළ ආකාරය සහ එහි පුළුල් දේශපාලනය ඔබ මහන්සි වී අධ්‍යනය කළ යුතුය. එය ඔබේ පටු දැක්මට අහු නොවන බව මම අනුමාන කරමි. ඒ අතර ම මම සිංහල බෞද්ධ හෝ වෙනත් එවැනි වර්ගීකරණයකට හසු නොවන සමාජ අවකාශයක නිදහසේ සැරිසරන දේශපාලන ක්‍රියාකාරිකයෙක් බව පෙන්වා දෙමි. බුදු දහම ජීවිතය හරහා කියවා ගැනීමට සහ බුද්ධාගම දේශපාලනයක් ලෙස තේරුම් ගැනීමට, ඔබ ට වඩා මම පොහොසත් වන්නේ එබැවිණි. මෙම යෝජනාව ‘මම’ ඉවත්කොට විෂය කරුණක් ලෙස ගන්න. ලක්හඬ, රාවය, TNL, නිදහස්, දෙරණ සහ තවත් බොහෝ මාධ්‍ය ආයතන මට නං හදිසි නවාතැන් පොළවල් පමණක්මය. ඔබ නැවතී සිටියා ට මා නොවන මම ගමනේමය.
2. තමා, තමාගෙ පවුල සහ තමාගෙ දරුවන් රැකගෙන, තමා නොවන අනෙකා යුද්ධයට යවන්න කතා කරන ඕනෑම කෙනෙකුගෙන් මම හෝ වෙනත් සිහි බුද්ධිය ඇති යමෙකු ඇසිය යුතු පළමු ප්‍රශ්නය වන්නේ, මම එදා ඔබේ ගෙදර දී ඔබෙන් ඇසු ප්‍රශ්නයමයි. යුද්ධය වෙනුවෙන් හඬ නැගූ ඔබ, ඔබේ දරුවන් රට බේරා ගැනීම සඳහා යුද්ධය ට නොයැව්වේ ඇයි? මම මේ දැනුත් එය ඔබෙන් අසමි!
3. සියල්ල වෙනස් එන බව හොඳින් පසක් කර ගන්නා මම, වෙනස් වීමක් සම්බන්ධයෙන් ඔබ මගෙන් විමසීම, අදාළ වෙනත් දේශපාලන සන්දර්භයක රඳවා පිළිතුරු දෙමි. මම එදා, මෙදා, මතු දා, බුදු දහම තුළ ජීවිතය භාවිත කරන්නෙමි, ඒ නිසාම විද්‍යාත්මක සමාජවාදය ගැන උනන්දු වන්නෙමි, ඔබ වැන්නෙකු ඒ ඓතිහාසික සංවාදය, මාක්ස්වාදය ට ලඝු කිරීම ගැන පුදුමයට පත් වන්නෙමි. මේ සියල්ල තුළ, මම – මමත්වය බිඳිමින් විශ්වය තුළ අප අත්විඳින ලෝකය සහ එහි ජීවිතය අධ්‍යනය කරමින් පොදු ලෝකයක් ගැන සිහින මවන්නෙමි!
CHAPA
 , Oct 5, 2018

මං කෙළින් මිනිහෙක්!?



”මං කෙළින් මිනිහෙක්” කියපු ගමන්, ඔබ ට මතක් වෙන්නෙ අසංක සායක්කාරගෙ වේදිකා නාට්‍ය, ඇත්ත! මේ ලිවීමේ තේමාව ඒ වේදිකාවටත් අදාළයි. තවත් බොහෝ තැන් වලටත් අදාළයි.
අපි මෙහෙම බලමු!
 මේ වෙනකොට, අපේ රටේ අන් කවර රටකවත් නැති විදිහ ට ”කෙළින් මිනිස්සු!” පහළ වෙලා ඉන්නවා. කාටවත් නැවෙන්නෙ නැති, කාටවත් නවන්න බැරි අමුතු මිනිස්සු! බය නැති මිනිස්සු! හාමුදුරුවරුන් ට කුණුහරුපෙන් බනිනවා. බුදුන් වහන්සේ ට අපහාස කරනවා. පන්සලට ගල් ගහනවා. ඉතිහාසය කන්නද? අහනවා. මොකද සිංහල විතරක් ලොකු! කියල අභියෝග කරනවා. සිංහල බෞද්ධ කියන්නෙ අන්තවාදයක් කියල ගරහනවා. තමන් නිරාගමික බව කියනවා. එහෙම තවත් රටවල් තියෙන බව විශ්වාස කරනවා. මේ අමුතු වැඩේට අදාළ චිත්‍රපට, ටෙලි නාට්‍ය, වාර්තා චිත්‍රපට, කෙටි චිත්‍රපට, ගුවන්විදුලි නාට්‍ය, වේදිකා නාට්‍ය, ගීත, කවි, නව කතා, කෙටි කතා, ලිපි, රචනා, කාටුන්…මොනවද නැත්තෙ? සමාජ මාධ්‍ය පිරෙන්න එවැනි මැදිහත්වීම්, posts හැම මුල්ලකම.
කෙළින් මිනිස්සු! අමුතු මිනිස්සු!
ඔවුන් (?) ගේ මේ සමස්ත නිර්මාණකරණය (?) ප්‍රවේශමෙන් අධ්‍යනය කරනකොට, මුල් වටයේදීම එක දෙයක් පැහැදිලි වෙනවා. ඔවුන් වෙන් වෙන් ව සහ එක්ව පහර දෙන්නෙ බුදු දහම ට, බුද්ධාගම ට, සිංහල බෞද්ධකමට, පන්සල ට…ඒ සියල්ල සමඟ බැඳුණු මහා සම්ප්‍රදායන් සහ ඒවායේ ශේෂයන් ට! රෝමානු කතෝලික සහ ඊට සමගාමී අනෙක් නිකායන් ට, ඉස්ලාම් ආගම ට, හින්දු ආගමට හෝ ඒවා සමඟ බැඳෙන සංස්කෘතික තත්ත්වයන් ට, තවත් ආගමික විශ්වාසයන් ට, ලබ්ධීන් ට කිසිදු ආකාරයක හානියක් නොකරන්න මේ අමුතු – කෙළින් මිනිස්සු වග බලා ගන්නවා, හොඳට නිරීක්ෂණය කරන්න! එහෙම අවස්ථාවක් ඉඳ හිට ආවත් එය ඉබේම යටපත් කෙරෙනවා. හොඳම උදාහරණය තමයි, මංජුල වෙඩිවර්ධන ගෙ, ”මේරි නම් වූ මරියා” පොත, මේ පොත පළ කෙරෙන්නෙ, මම ත් මංජුල වෙඩිවර්ධන ත් එකට ‘රාවය’ පුවත්පත ට වැඩ කරන අතර තුර, 2000 අවුරුද්ද අවට දවසක. මේරි නම් වූ මරියා, රෝමානු කතෝලික කඳවුර ට කිසිදු අභියෝගයක් එල්ල කර නැහැ, ඒ ආගම් ශාස්තෘවරුන් ට කිසිම අපහාසයක් කරලත් නැහැ. එය එක විදිහ marketing වැඩක්. කොහොම වුණත්, ඒ ආගමික කඳවුරෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ට හෝ පොලිසිය ට, ඒ පොත ට එරෙහිව පැමිණිල්ලක් කෙරුවා කියන ආරංචිය එක්ක මංජුල වෙඩිවර්ධන, අපේ මිත්‍රයා! හොඳටම බය වෙලා චූ බර හැදිලා හිටියෙ, රාවය ඇතුළෙත් හැංගිලා හිටියා මතකයි. ඔය වගෙ දියාරු සිද්ධි හැර වෙනත් බරපතළ සිද්ධීන් ඉතිහාසය තුළ හොයා ගන්න නැහැ. තිබුණත් ඒවා සංවිධානාත්මක නැහැ.
අන්න යෙදුම! ‘සංවිධානාත්මක’!!
අර කලින් කියපු බුදු දහම වටා ගොනු වන සියලු සිදුවීම් අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා සහ ඒවා සංවිධානාත්මකයි. ඒවාට ඍජුව සහ වක්‍රව රාජ්‍ය නොවන සංවිධාන ( NGOs ) සම්බන්ධයි, වරෙක රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙන තරමට දේශපාලනිකයි. අවසන් විග්‍රහයේදී මේ සියල්ල, ලෝක දේශපාලනය ට හෙවත් ඊනියා ජාත්‍යන්තරය ට සම්බන්ධයි.
මේ යෝජනාව තේරුම් ගන්න එක හොඳ උදාහරණයක් තමයි, සුනිල් විජේසිරිවර්ධන පිටපත් කරන ‘රත්නවල්ලි’ වේදිකා නාට්‍ය, එය වේදිකා ගත වුණේ එක ම එක වතාවයි, මතකය හරි නං, මරදානෙ එල්ෆින්ස්ටන් වේදිකාවෙ, 2000 මුල් දශකයේ මැද හරියෙ වගෙ. ‘රත්නවල්ලි’ කියන්නෙ, ලංකා ඉතිහාසය ට ගහලා, දුටුගැමුණු මරා දාලා, එළාර ට විරයාගේ පණ දෙන නිර්මාණාත්මක වෑයමක්, ඔව්! සුනිල් විජේසිරිවර්ධන ඒ කොන්ත්‍රාත්තුව අකුරටම කෙරුවා. දැන් ඔන්න සුනිල් විජේසිරිවර්ධන කියන සාධකය පවතින දේශපාලන තත්ත්වයන් සමඟ ආපිට කියවා ගන්න වෙනවා, ඔහු මේ ”චන්ද්‍රිකා – මෛත්‍රී – රනිල්” ආණ්ඩුවේ මොන විදිහේ කෑල්ලක් ද? ඔහු කරමින් සිටින්නේ කුමක් ද? ටිකක් අමු ප්‍රශ්නයක්.
තවත් උදාහරණයක් විදිහට කේ. කේ. සමන් කුමාර ගෙ නිර්මාණ සටහන් අතර ත් මේ වගේ අතර මැද තැන් ඉතුරු වෙලා තියෙනවා, යළි විමසා බලන්න. ඔහු බුදු දහම සහ දේශපාලනය අතර නිරුවතින් ඉන්න විදිහ, දවසක විධිමත් ව විමසා බලන්න තියෙනවා. එතකොට ම ඔන්න තවත් අය පටලැවිලා එන්න ගන්නවා, උපුල් ශාන්ත සන්නස්ගල ගෙ වැඩ ගොඩකුත් මේ අස්සෙ වෙන ම ගොඩ ගැහිලා තියෙනවා, රැඩිකල් සිංහල ටියුෂන් මාස්ටර් – යූඑන්පී දේශපාලනඥයා – දැන්, වේශය මාරුකරගත්ත අමුතු – කෙළින් මිනිහා! මේ ගෙවෙන සාහිත්‍ය මාසය ඉතින් ඔහු වගෙ අයට මාර busy. ඔය අතර, ලූෂන් බුලත්සිංහල ගෙ ”වෙස් මුණ” ත් මේ අවකාශය තුළ ”ගැළවෙන්න” පටන් ගන්නවා. ලුෂන් ගෙ ”වෙස් මූණ ගලවන්න” කියන වේදිකාව ඉදි වෙන්නෙ LTTE ය හැර එන එහි සන්නද්ධ ක්‍රියාකාරිනියක් වටා. ඇය ගැන නොදැන ඇය ට ප්‍රේම කරන සිංහල තරුණයෙක්, අවසානයේදී ඇය කවුද කියල දැනගෙනත් ඇය ට ආදරණිය ආරක්ෂකයෙක් වෙන හැටි මේ කතා කරුවා අප ට කියා දෙනවා. ඒ ප්‍රේම කතාව හොඳයි! ඒත් ඒ අතර තුර, අදාළ තිස් වසරක යුද්ධය පිළිබඳ නියම තතු, ඒ වේදිකාව තුළ සුක්ෂම ව යටපත් කෙරෙනවා. ‘එය’ හුදු සිංහල – දෙමළ ප්‍රශ්නයක් ලෙස හකුළුවනවා. මේ නාට්‍යය පසුතලයේ වරින් වර රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය වෙනවා. ඒ හරහා අන්තිම ට පරමාදර්ශය බවට පත් කරන්නෙ එක්සත් ජාතින්ගෙ සංවිධානය. කොටින් ම, සිංහල බෞද්ධ සමාජය සහ ඒ මත ඉදිවන ඊනියා දේශපාලනය, මේ නිර්මාණකරුවාට ‘මාර’ වන ජාත්‍යන්තර දේශපාලනය(?) එකින් එක ගළපන්න පටන් ගන්නකොට ලුෂන්ලාගෙ වෙස්මුණු ඉතිං ඉබේම ගැළවෙන්න පටන් ගන්නවා. වැඩේ කියන්නෙ, ඔය නාට්‍ය මෙවර මුල් වතාවට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවෙ වේදිකාගතවෙනකොට ඉදිරිපෙළ අසුන්වල NGO ආරාධිත රොත්තක් ම අසුන් ගෙන හිටියා මතකයි. සර්ව ආගමික set එකකුත් ගෙන්නවලා තිබුණා.
දැන්, මොහොතකට, මම ඔබ කැටුව යනවා, අසංක සායක්කාර ගෙ ”මං කෙළින් මිනිහෙක්” ළඟට!
අසංක, ඔහුගෙ වේදිකාව ගොඩනගන්නෙ තවත් සුක්ෂම විදිහ ට, මේ සංවාදය ට අදාළ අරුතෙන් නියම ”කෙළින් මිනිහෙක්” විදිහ ට. ඔහු මෙරට වාමාංශික නායකයෙක් නිර්මාණය කරලා, ආණ්ඩු හදන යතුරත් ඔහුගෙ අත ට දීලා, ඔහු ට ව්‍යාඝ්‍ර ත් පොවලා, වම ඉවර කරලම දානවා. වම? මොන වමක් ද කියල ඔබ දැන් අහන්න ඉඩ තියෙනවා.
අපි මෙහෙම බලමු!
1948 දී මේ රට ට ඩොමිනියන් නිදහස ලැබෙනවා. ඒ කියන්නෙ බ්‍රිතාන්‍ය කිරීටය ත් පැත්තක තියාගෙන, රටක් විදිහට යම් අර්ධ නිදහසක් බුක්ති විඳින්න ඉඩ ලැබෙනවා. ඔය වෙනකොට, මහා බ්‍රිතාන්‍ය ඇතුළු පැරණි යටත්විජිත කඳවුරු එකින් එක ගරා වැටෙන්න පටන් අරගෙන තිබුණු අතර පැරණි සෝවියට් දේශය සහ ඊළඟ ට පැරණි මහජන චීනය හරහා ගොඩ නැගෙමින් තිබුණු වාමාංශික දේශපාලන පිබිදීම සහ එහි විද්‍යාත්මක සමාජවාදී සංවාදය, අඩුපාඩු එක්ක වුණත්, ලංකා සමාජය ට සහ එහි දේශපාලන චලනයන් ට, කොර ගසමින් හෝ සම්බන්ධ වෙන්න ගන්නවා, ඒ අනුව තමයි ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය එකට මුහු කෙරෙන ලාංකේය රාජ්‍ය නව ආකෘතිය ගොඩ නැගෙන්නෙ. එය, ලෝක ඉතිහාසය තුළ එක විදිහක පර්යේෂණාත්මක රාජ්‍ය ආකෘතියක්. හේතුව, දෙවැනි ලෝක මහා යුද්ධයෙන්, ලෝක වාණිජ ප්‍රජාව කුඩු පට්ටම් වන නිසා, ජනතා ව මත යැපෙන සහ පවතින සුභ සාධනවාදී රාජ්‍ය ආකෘතියක් පැන නැගී, එය ලාංකේය මහා පොළොවට යම් පමණකට හෝ හොඳින් ගැළපී විකාශය ආරම්භ කිරීම. එය අඩු පාඩු ගහන දේශපාලන අවකාශයක් වුණත්, නිශ්චිත ජනතාවාදී ගමන් මාර්ගයක් පිළිබඳ ඉඟි, ඒ තුළ තිබුණා. 72 සහ 78 ව්‍යවස්ථා කෙටුම්පත් කෙරෙන්නෙත් ඔය වට පිටාව තුළ නිසා තවම යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී – සමාජවාදී  ලක්ෂණ ඒ ක්‍රියාදාමය තුළ ශේෂව තියෙනවා. නිදහස් අධ්‍යාපනය සහ ඒ හා බැඳුණු සෞඛ්‍ය සේවාව ඊට සරල උදාහරණයක්. මේ වනවිට, ඒ ශේෂයන් පවා දියකර හරිමින් සියල්ල මුදලාලිකරණය කෙරෙන දේශපාලන ඝාතනය ආරම්භ වී අවසන්, සායක්කාරලා මේ කරන්නෙ අන්න ඒ යෝජිත සමාජ එකඟතාව ගොඩනගන එක.
ඔබට මේ සංකීර්ණ යෝජනාව තවත් සරල කරන්න, කේ. කේ. ශ්‍රීනාත් ගෙ ”බුදුන්ගෙ රස්තියාදුව” ට අවධානය යොමු කරමු. එහි අන්තර්ගතය දිහා බලනකොට ඉතාම පැහැදිලියි, රස්තියාදු ගහන්නෙ ශ්‍රීනාත්, ඔහුත් කේ. කේ. නිසාම ද, වෙන්න ඇති කේ. කේ. වගේම ආගම සහ දේශපාලනය අතර අතර මං වෙලා. කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. ප්‍රශ්නය එන්නෙ, එහෙම වීම ලෙහා ගන්නෙ නැතුව, එය ආකෘතියකට ඔබන එක. හැබැයි, සමහරු කියන විදිහට, ඔය වෑයම ත් කෙළින් ම සන්නස්ගල න්‍යාය අනුව යමින් කරන හුදු marketing ව්‍යාපෘතියක් විදිහට ගන්නත් පුළුවන්, එහෙම වුණත්, අර ඓතිහාසික සංවාදය ඊට ස්ථිරව ම අදාළයි, හේතුව ලාංකේය මහා පොළොව මත ‘යමක්’ සිදුවෙමින් පවතිනවා.
කතාව ඉවර නැහැ! ඔය බුදුන්ගේ රස්තියාදුව ගැන සමාජ මාධ්‍ය තුළ එහා මෙහා යන අදහස් අතර, සුජිත් අක්කරවත්ත ගෙ අදහසකුත් කියවන්න ලැබෙනවා. සුජිත් අක්කරවත්ත, ලංකා ඉතිහාසය තුරුළු කරගෙන ඉපිද එය බුදු දහමෙන් වර්ණවත් කරන්න කැප වූ සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට තමයි කෙනෙකුට පේන්න ගන්නෙ, පේන්න ගන්නවා කිව්වට ඔහු හැසිරෙන්නෙ එහෙමයි. අන්තිමට ඔහු දැන් යූඑන්පි සිරිකොතේ උපදේශකයෙක් ලු! ප්‍රශ්නය ඒක නෙවෙයි, බුදුන්ගේ රස්තියාදුව ගැන කෙරෙන විවේචන අතර, සුජිත් මාර විග්‍රහයකට යන එක. ඔහු කියන්නෙ බුදු දහම කොයි තරම් නිදහස් සහ විවෘත ද කියනවා නං, බුදුන් වහන්සේගෙ ලිංගේන්ද්‍රය පෙන්නන්න කිව්වොත්, සිවුර මෑත් කරලා එය පෙන්නන තත්ත්වයක් තියෙනවා ලු!
මේ සියල්ල තුළ එක දෙයක් නිශ්චිතව කියන්න පුළුවන්. මේ වගේ රස්තියාදුකාර කතාවක්, වෙනත් ආගමක ශාස්තෘවරයෙක් පටළවා කිව්වොත් බලා ගන්න පුළුවන්! කට්ටියට!! රස්තියාදුවේ තරම!!!
මේ සංවාදය ඉතා ම සංකීර්ණයි. ලොව සියළු ආගම් පහළ වන ඓතිහාසික තත්ත්වයන් සහ ඒ සමඟ මානව ශිෂ්ටාචාරය විකාශය වන ආකාරය විද්‍යාත්මකව – දේශපාලනිකව විමර්ශනය කෙරෙන මහා ඓතිහාසික සංවාදයක්, ඉතිහාසය තුළ, විශේෂයෙන් ම මාක්ස් ගොඩ නැගෙන 19 වැනි සියවස තුළ සිර වී තියෙනවා. විද්‍යාත්මක සමාජවාදය තුළ, ඕන නං ඒ සංවාදය ඉදිරිය ට ගන්න අපට මේ දැනුත් පුළුවන්, පුළුවන් නෙවෙයි, හරියට ම ගත්තොත් ඒ සංවාදය තව දුරටත් ගොඩ නගන්න, ඉතිහාසය අපට බල කරනවා. ඒ වෙනම දේශපාලන අවකාශයක්.  ඒත්, මේ අපි කෙළින් – අමුතු මිනිස්සු එක්ක අත් විඳින්නෙ, ඒ ඒ අයට ආර්ථික සහ තවත් භෞතික වාසි ලැබෙන, ඊනියා ජාත්‍යන්තර දේශපාලන ක්‍රියාන්විතයක්. ඒ අනුව, ඔතොඩොක්ස් පල්ලියත් බේරලා, වතිකනුවත් බේරලා, මක්කම ඇතුළු ඉස්ලාම් මුලස්ථානත් බේරලා, ඒ තියා ඊට පහළ සියළු ආගම් නිකායවල් බේරලා, ලංකාවෙ, බුදු දහම ට, බුද්ධාගම ට, සිංහල බෞද්ධකමට, පන්සල ට..පහර දෙන්නෙ, ඒ ඒ ‘තත්ත්වයන්’ joke කරන්න හදන්නෙ, දේශපාලන ( ආර්ථික ) ඝාතක  ක්‍රියාන්විතයකට අනුව. ඒක වෙනම වැඩක්.
ලාංකේය රාජ්‍ය සහ ඊට පදනම්වන ඓතිහාසික සංස්කෘතික පදනම බිඳින්න, මේ අමුතු – කෙළින් මිනිස්සු මෙහම මැදිහත් වෙද්දී, සුදු ඇඳගෙන සිංහල බෞද්ධ ඡන්ද කොල්ල කා අදාළ යෝජිත දේශපාලන ක්‍රියාන්විතයේ නිල ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ඊනියා සිංහල බෞද්ධ දේශපාලනඥයන්  රොත්තකුත් ඉන්න බව ඒ අතරම මතක තියා ගන්න!
ඔවුනුත් අමුතු – කෙළින් මිනිස්සු!
චාපාබණ්ඩාර 
( අරුණ, 2018 සැප්තැම්බර් 30 )