Sunday, November 18, 2018

අන්තිම කැමැත්ත!

( සත්‍ය කතාවක් ඇසුරෙන් )

 ''ම්ම්ම්ම්...අපි එහෙම නං පාගොඩ පාරෙ ගෙදර ලොකු පුතාට ලියමු...එතකොට...කුරුණෑගල වත්තත් එයාටම ලියන්න...''
ව්‍යාපරිකයා දෙබැම පහත් කරමින් කිව්වා.
''හරි! එතකොට...මත්තෙගොඩ ගෙදර? අහ්...අපි ඒක ලිව්වෙ පොඩි පුතාට නෙ නේද?''
පෙරකදෝරුවා තම උපැස් යුවළ දකුණතින් සකස් කරන අතර තුර ප්‍රශ්නයක් නොවන ප්‍රශ්නයක් ඇහුවා,
''පෙරකදෝරු මහත්තයෝ... කල්පනාවෙන්...පටළවන්න එපා! පරිස්සමට! හ්ම්...ආයෙ පොඩ්ඩක් කියමු බලන්න මුල ඉඳලා...''
ව්‍යාපාරිකයා උගුර පාදන අතර තුර මේසය වටේ සීරුවෙන් බලාගෙන ඉන්න මහ පවුලේ කට්ටිය දිහා විමසිල්ලෙන් බැලුවා.
අපේ කතා නායකයා හෙවත්, මේ ව්‍යාපරිකයාගෙ මහ පවුලෙ කවුරුවත් ඔහු වගෙ සල්ලි කාරයො නෙවෙයි, සාමාන්‍ය රස්සාවල් කරන අය. ඒ අස්සෙ ඉතාම අමරුවෙන් ජීවත් වන ඔහුගෙ නැගණියකුත් ඉන්නවා. ව්‍යාපරිකයා දික්කසාද වෙලා. ඔය කියන පුතාලා දෙන්නම ඉන්නෙ යුරෝපයෙ. ඔය ලොකු පුතා කියලා කිව්වට ඇත්ත ලොකු පුතා උපන් මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක්. අවුරුදු තිස් ගණනක් වන ඔහු ඉන්නෙ රැඳවුම් මධ්‍යස්ථානයක. හදිසි හෘදයාබාධයකට ගොදුරු වී සැත්කමකට මුහුණ දුන් ව්‍යාපාරිකයා මේ දැන් සැරසෙන්නෙ තම අන්තිම කැමති පත්‍රය ලියන්න. ඒ කියන්නෙ ඔහු තම මරණය ට සූදානම් වෙනවා. වටේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඔය මහ පවුලෙ කට්ටිය ගෙන්වා ගත්තෙත් හදිසියෙන්. පෙරකදෝරු තැන නං අවුරුදු බර ගණනක් ඔහු ට වැඩ කරල තියෙන පළ පුරුදු කෙනෙක්.
''ඕකේ! අපි බලමු මුල ඉඳලා...මේ මහ ගේ ලොකු පුතාට, මහරගම ෂොප් එක පොඩි පුතා ට...නුවර ෆැක්ටරිය පොඩි පුතා ට....ම්ම්ම්ම්...හම්බන්තොට ලෑන්ඩ් එක ලොකු පුතාට...බදුල්ලෙ එස්ටේට් එක පොඩි පුතා ට...නුවරැළියෙ හොටේල් එක ලොකු පුතාට...රත්නපුරේ ස්කීම් එක...ආ! ඒක පොඩි පුතාට, ම්ම්ම්ම්ම්....ජීප් දෙක පොඩි පුතාට...''
''හරි...හරි...වාහන ටික බෙදපු විදිහ අපි කීප සැරයක් ම බැලුවනෙ...නේද?!''
ව්‍යාපාරිකයා, පෙරකදෝරුවාගෙ මූණට එබුණා.
''ඔව්, ඔව්!''
''හ්ම්..දැන්!''
ව්‍යාපරිකයා හඬ ටිකක් දැඩි කෙරුවා. පෙරකදෝරුවාත් දකුණතේ පෑන හරියාකාරව ඇඟිළි අතර රඳවාගෙන වැඩේ ට තව සූදානම් වෙනවා.
''ඔයා තමයි මගෙ පොල්මඃකාරයා,,,තේරුණාද?''
ව්‍යාපාරික අයියා තම බාල නැගනිය ට ඇඟිල්ල දික් කෙරුවා.
''පොල්මඃකාරයා,,,,,?''
වටේ හිටගෙන ඉන්න කීප දෙනෙක් ම ඒ අමුතු වචනය ප්‍රතිඋච්ඡාරණය කෙරුවා.
''පොල්මඃකාරයා,,,! ඔව්! ඒ කියන්නෙ මේ අන්තිම කැමති පත්‍රය හරියට ක්‍රියාත්මක කරන්න ඔයා වග බලා ගන්න ඕන!''
පෙරකදෝරු තැන ටිකක් උස් හඬකින් පැහැදිලි කෙරුවා.
ව්‍යාපාරික නැගණිය රජයේ කාර්‍යයාලයක වැඩ කරන ලිපිකාරිණියක්. ඇය එක පාරට ම ලොකු කල්පනාවකට වැටුණා. තම අයියණ්ඩිය ගෙ ලොකු පුතා හදිසියෙ ඇයගෙ මතකය ට ආවා. එතකොට ඔහු ට මොකුත් දෙන්නෙ නැහැ! ඇය ට අමුතු අනුකම්පාවක් දැනුණා.
''මගෙ ලොක්කා...''
අහ්! මං හිතන එකම අයියාටත් එකටම හිතිලා! ව්‍යාපාරික නැගනිය පුදුම වුණා.
''මගෙ ලොක්කා ගැන පුතාලා දෙන්නා බලා ගන්න ඕන!''
අයියා, තම නැගණිය දෙස බැරෑරුම් බැල්මක් හෙළමින් කිව්වා.
''අන්න ඒක තමයි ඔයාගෙ වගකීම! ඒ අය තම තමන්ගෙ කොටස් අරගෙන සාමදානයෙන් කටයුතු කරන සහ තම තමන්ගෙ වගකීම් ඉටු කරන්න අවශ්‍ය වට පිටාව....ඔයා තමයි හදන්න ඕන!''
පෙරකදෝරු තැන කතාව පටන් ගත්තා.
'' එයා මොකටද මේ පව් කර ගහන්නෙ? මොකෝ මේ අයියණ්ඩි නංගිලා ට මොනව කරාටද? ඈ!''
ටිකක් පස්සට වෙන්න ඉන්න ව්‍යාපාරිකයාගෙ ලොකු මස්සිනා, ව්‍යාපාරිකයාගෙ වැඩිමල් නැගණියගෙ හෙවත් තම බිරිඳගෙ කණ ට කරල අහනවා. ''කට, කට!'' ඇය, ඔහුට ඔරවන ගමන් හෙමින් තරවටු කෙරුවා. පවුලෙ හැමෝම වගෙ මේ ව්‍යාපරිකයා ට මොකද්දෝ අමුතු බයක් තියෙනවා, ආදරය, ගෞරවය, පිළිගැනීම...ඔය හැඟීම් එකතු වුණු මොකද්දෝ වෙනස් බැඳීමක්. ඒ නිසා ම, මේසා විශාල ධනයක හිමිකරුවෙක් වෙලත් තම මහ පවුලේ කිසිවෙකුට හරි හමන් උදව්වක් පදව්වක් කරල නැති පසුබිමකත් ඔහු තමයි පවුලේ වීරයා. ඔවුන් ගෙ අම්මා තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ, ඔවුන් ජීවතුන් අතර සිටියදීත් ඔහු, ඔවුන් දිහා බැලුවෙ නැහැ, අන්තිම ට ඔහුගෙ තාත්තා නවත්තලා හිටියෙ වැඩි හිටි නිවාසයක. ඔබ විශ්වාස කරයි ද මන්දා, ඔහු ඒ සඳහා මාසික ගෙවීම කෙරුවෙත් පවුලෙ අනිත් අයගෙනුත් සමාන මුදල් කොටස ගණනෙ එකතු කරලා, මරණ ගෙදර වැඩ කටයුතු කෙරුණෙත් එහෙම තමයි. ඒ අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉද්දි කල්පනා කෙරුවෙ, අපේ ලොකු පුතා අපිව බලන්න ඇවිත් බැනලා ගියත් සැපයි! වගෙ. ඇත්තට ම සිද්ධ වුණෙත් එහෙම ම තමයි. ඒ වුණාට, ඔහු අම්මා තාත්තා වෙනුවෙන් බෞද්ධයා නාලිකාවටත් ලොකු මුදලක් ගෙවලා පුණ්‍ය කටයුත්තක් නං කෙරුවා. අහ්! තව පොඩ්ඩෙන් ඔබට කියන්න අමතක වෙනවා! ඔහු පන්සල් වල ජනප්‍රිය දාන මාන කටයුතු වලට අත පය දිග ඇරලා වියදම් කරනවා.
හරි! අපි දැන් ආයෙත් ඔහු අන්තිම කැමැත්ත ලියන කාමරයට එමු!
ඔන්න! ඒ ව්‍යාපාරිකයාගෙ හඬ.
''මද්දු!''
මද්දු කියන්නෙ ව්‍යාපරිකයාගෙ මැද නැගණිය, ඇය තමයි මේ අතර ඉන්න දුප්පත් ම කෙනා. තම පවුලේ ආරාවුල් මැද බොහෝ දුක් ගැහැට වින්ඳ ඇය දැන් ඉන්නෙ තම පවුලෙන් වෙන් වෙලා, තම වැඩි මහල් සොහොයුරියගෙ ගෙදර. ඇය ඉතාම අහිංසක ගැහනියක්. අයියගෙ ඇමතීම කණට වැටෙනකොට ම ඇය පිටිපස්ස පේළියෙ ඉඳන් ඉස්සරහා පේළිය ට ආවා. ''අයියේ...!'' ඇය අයියා දෙස ආදරයෙන් බැලුවා.
''අයියට එහෙම ඉක්මනට කරදරයක් වෙන්නෙ නැහැ අයියෙ! මම බෝධි පූජාවකුත් කරනවා අපෙ පන්සලේ...අයියා වෙනුවෙන් ම...''
ඇය කියාගෙන ගියා. ඇයගෙ ඇස් හීනි කඳුලු කැටවලින් තෙත් වෙලා.
''මද්දු...මං මේ හිතුවෙ, උඹට දැන් ගෙදරක් කියල තැනකුත් නැහැනෙ,,,නේද?''
ඒ 'උඹ' හඬ ඇතුළෙ තියෙන්නෙ මොකද්දෝ අනුකම්පාවක්!
''ඇති යන්තං මේකිටවත් ගේ කෑල්ලක් ලියල දෙනවා නං...ඉන්න තැනකුත් නැති එකේ...''
ඒ පාරත් අර මස්සිනා තම බිරිඳගෙ කණට කරලා මුමුණනවා.
'' මං මැරෙන්න කලින් ඒකත් කරන්න ඕන,,,එතකොට සේරම හරි!''
''අයියේ! ඔහොම කතා කියන්න එපා!''
අයියගෙ බර හඬ ඇහෙනකොට ඇය ට හයියෙන් ඇඩෙන්න එනවා,
''එහෙම නෙවෙයි මද්දු...මම මැරුණාම මගෙ අවසන් වැඩ කටයුතු සේරම කරන්න ඕන උඹ, ඔය අපේ කොල්ලන් ට කරදරයක් වෙන්න මම ආස නැහැ...උඹට දැන් කරදරයක් නැහැ, තනි එකී නිසා, තේරුණාද?''
නංගිගෙ ඉකි බිඳෙන හඬ යටපත් වෙමින් අයියගෙ හඬ කාමරය පුරා පැතිරෙනවා.
''ඈ! එතකොට මුගෙ පව් සේරම මේ අසරණීට? මූ මිනිහෙක් ද සතෙක් ද ඇත්තට?''
ඒ අර කට පාලනය කර ගන්න බැරි මස්සිනා. ඇයගෙ බිරිඳ මේ පාර ඔහුගෙ වම් අත වැළමිට හරියෙන් අල්ලලා හයියෙන් කෙනිත්තුවා.
''අපි ඒකට එහෙම නං ලක්ෂයක් දෙකක් එකවුන්ට් එකකට දාලා තියමු!''
පෙරකදෝරු තැන මොකද්දෝ ලියන ගමන් හයියෙන් කිව්වා.
'' එච්චර නං යන එකක් නැහැ... අනික ඉතිං පවුලෙ අනිත් අයත් ඉන්නවනෙ...මොකෝ පවුලෙ තව අයියලා ඉන්න එකක්යැ...හැ හැ හැ''
අමුතු හිනා හඬක් එක්ක ව්‍යාපාරිකයා කිව්වා.
ව්‍යාපාරික සහොදරයාගෙ හිනා කතා හඬ සහ ඔහුගෙ අර නැගෙණියගෙ ඉකි බිඳුම එකට මුසු වෙලා ඔන්න දැන් වෙන මොකද්දෝ හඬක් නැගෙනවා!
CHAPA
Nov 18, 2018






 


Tuesday, November 6, 2018

බුදු අම්මෝ...එපෝ!



''මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි...''
උදෙන්ම දුරකථන ඇමතුමක්.
''ඔව්! මම දන්නවා...''
දන්නවා කියන්නෙ, ඔය කතා කරන නොම්මරය මෙහෙ එකක් නෙවෙයි නිසා. මම මට ම කියා ගන්නවා.
''මහත්තයෝ අපේ රට ගැන දුකයි...''
''මට තේරෙනවා...''
ඔහුගෙ හැඟීම් බර කතාව ට මම ත් එකතු වෙනවා.
''මට පේනවා ඔබ තුමා යමක් කරන්න උත්සහ කරනවා...ඒකයි මම මේ කතා කරන්නෙ...ඒ අතරෙ මට පේනවා ඔබ තුමා අර ඇබෑර්තු ගැන දාන ඇඩ්වටිස්මන්ට්ස් එහෙම, කමක් නැහැ...ඒවත් කර ගන්න, ඒ වුණාට රට ට මොකක් හරි වැඩ පිළිවෙලක් හදා ගන්න බලන්න...''
''මොකක්?''
මට එහෙම කියවුණේ, මම රැකියා ඇබෑර්තු දැන්වීම් පළ කරනවා කියන නිසා.
''මොකද්ද ඒ ඇඩ්වටිස්මන්ට්ස් කතාව?'' 
''නැහැ, නැහැ, කමක් නැහැ...ඒවා කරගන්න...කමක් නැහැ...මං කියන්නෙ...''
''මම එහෙම දැන්වීම් කරන්නෙ නැහැ, මොකද්ද ඔය කතාවෙ තේරුම?''
''අර දාලා තියෙන්නෙ...අමාත්‍ය බ්‍රෝකර්වරු ද මොකද්ද වේකන්සි එකක් එහෙම...මොකක් හරි ආදායමක් එන මාර්ගයක් නිසා ඒවා කර ගන්න...ඒ වුණාට...''
''අයියෝ...ඒ දැන්වීමක් නෙවෙයි අනේ, පෝස්ට් එකක්...ඒ කියන්නෙ...''
''මේකයි මහත්තයෝ...අපිටත් යමක් තේරෙනවා...මම දකුණෙ...මං කියන දේ පොඩ්ඩක් අහන්නකො..ඔබ තුමාලා, ඔය නායක හාමුදුරුවරු එහෙම එකතු වෙලා රට ට හොඳ වැඩ පිළිවෙළක් හදන්නකො...''
මගුලක් කියනවා! 
මගේ ඔළුවෙ තවම වැඩ කරන්නෙ අර දැන්වීම් කතාව. ඒත් දැන් ඉවසීමෙන් වැඩ කරන්න ඕන.
''මෙහෙමයි..අර ඇඩ්වටයිසින්ග් කතාව ඉස්සර වෙලා පැහැදිලි කර ගන්නකො, ඒක ඔබ හිතන විදිහේ රැකියා ඇබෑර්තු දැන්වීමක් නෙවෙයි, ඒකෙ තියෙන්නෙ උපහාසාත්මක පණිවිඩයක්...ඒ වගේ පෝස්ට්ස් හරහා සමාජය තුළ යම් සංවාදයක් ගොඩ නගා ගන්න උත්සහ කරනවා...අනෙක..''
''මහත්තයෝ...මගේ ළමයි නං ඔය රට ට එන්නෙ නෑ, මම ආවත් ඉන්න බලාපොරොත්තුවක් නෑ, මේකයි මහත්තයා, යම් ජාතික...''
අනේ! මං කියන එක අහපන්කො!
මට එහෙම කියවෙන්න ගියා, කිව්වෙ නෑ.
''ඔබ තුමා දැන්වීම් නෙවයි මොනවා කළත් මට කමක් නෑ, මං කියන්නෙ...''
ඕයි!
එහම කියවෙන්නෙත් නෑ.
''ජාතික වැඩ පිළිවෙළක්...''
යකෝ!
කෝ? වචන පිටවෙන්නෙත් නෑ.
''මං මේ වැඩ කරන අතරෙ පොඩි බ්‍රේක් එකක් ඇවිත් ඔබ තුමාට කතා කෙරුවෙ ඔය පණිවිඩය කියන්න...''
බම්බු ගහපන්!
කියන දේ තේරුම් ගන්න උත්සහ නොකර මොකද්ද ජාතික මගුලක් කියන නිසා මගෙ ඔළුව විකාර වෙනවා. ඒත් පරිස්සම් වෙන්න ඕන.
''කතා කෙරුවට සතුටුයි!''
ඔව්! එහෙම හොඳයි!
''මම ආයෙ කතා කරන්නං...''
''බුදු අම්මෝ...එපෝ!''
චිහ්! ඒ ටිකවත් කියාගන්න ලැබුණා නං!
CHAPA
Nov 7, 2018  
 

Friday, November 2, 2018

කන්ටෑක්ස් නෑ යකෝ!


"කොහොමද?"
දන්න කෙනෙක් වගෙ! මම හිතනවා.
"වැඩ කරගෙන යනවා..."
ජංගම දුරකථනය සජීව සංවාදයකට සූදානම්.
"මං දවසකුත් කතා කෙරුවෙ...අර ඇඩ්වර්ටයිසින්ග් කම්පැනි එකක? මතක ද මන්දා! අපි මාර්කටින්ග් ෆීල්ඩ් එකේ සෑහෙන්න දේවල් කරනවා..."
"ම්ම්ම්ම්...මතකයක් තියෙනවා...අර..."
මම එහෙම කියන ගමන් මතකය අවුස්සනවා.
"360' නං ඇදලා යනවා නේද? මම නොවරදවාම බලනවා!"
"යමක් කරන්න පුලුවන් ද කියාල උත්සහ කරනවා ඉතිං...දන්නෙ නැහැ, බලමු!"
"පුලුවන් පුලුවන්...ඔබ තුමාට පුලුවන්...මේ අපිත් ඉන්නවා..."
ඔහුගෙ කතාව උණුසුම්.
"ඒ වුණාට මිනිස්සුන්ට ඕන මේ දේවල් නෙවෙයි...කට්ටිය එකතු වෙලා මට බනින බැණුම්! පේන්නෙ නැද්ද!"
"එහෙම තමයි හොද වැඩ කරනකොට...ගණන් ගන්න එපා, අපි ඉන්නවා ඔබ තුමත් එක්ක..."
"ඒ වුණාට..."
"ඒක නෙවෙයි...ඔබ තුමාට මීඩියා එක්ක හොද කන්ටෑක්ස් තියෙනවානෙ නේද, බැරිද අපට ඔය මොනවා හරි වැඩ ටිකක් හොයා ගන්න?"
ඔහු මාතෘකාව වෙනස් කෙරුවා.
"ඒ කියන්නෙ?"
"මං කිව්වෙ ඔය මීඩියාවල ඇඩ්වර්ටයිසින්ග් වැඩ එහෙම...අපට ඕන ප්‍රොඩක්ෂන් එකක් කරන්න පුලුවං..."
"අපෝ මං ඒවා ගැන උනන්දු නැහැ...මට එහෙම කන්ටෑක්ස් නැහැ..."
"මං කියන්නෙ...ඔබ තුමාටත් ප්‍රතිලාභ ලැබෙන විදිහට...මොනවා හරි..."
"ඒක හරියන්නෙ නැහැ..."
"ඔබ තුමා රට වෙනුවෙන් කරන මේ සේවය ට අපිත් ඉතිං මොනවා හරි උදව්වක් කරන්න ඕනනෙ..."
"අනේ නැතුවට කමක් නැහැ..."
"හරි හරි...අපිත් ඔබ තුමා එක්ක!"
"හා.."
යන්තං ඇති! මං හිත සැහැල්ලු කර ගත්තා.
ඔන්න! තව call එකක්.
"හෙලෝ!"
"හෙලෝ...චාපා මහත්තයා...මේ වෙලාවෙ කතාකෙරුවට කමක් නැද්ද? අනේ කියන්න..."
අහ්! මේ අර වරින් වර කතාකරන කෙනා. ඔහු අවුරුදු හැත්තෑ ගණනක පුද්ගලයෙක්. මගේ වැඩ සටහන් නිසා වෙනස් විදිහකට ලෝකය දකින කෙනෙක් ලු!
"කමක් නෑ...අපි කතා කරමු..."
"මං අර ඊයෙ ලයිව් එකත් බැලුවා...ඇත්තටම මේ රට ගැන දුකයි! මට නං ඉතිං කරදරයක් නෑ. ළමයි මට වියදම් කරනව..."
ඔහු ඔය විස්තර කියන ගමන් දුකෙන් වගෙ කියනව, "අනේ ඉතිං ඔබ තුමාට උදව්වක් කරන්න බැහැනෙ!" කියල. මම එතකොට කියනවා " අපෝ කමක් නැහැ, ඔහොම හිතන එකත් කොච්චර දෙයක් ද!" කියල.
"මං මේ කතා කළේ...අපේ ළමයෙකුගෙ බිල්ඩිමක් තියෙනවා තට්ටු තුනක... ඒක විකුණන්න දාලා තියෙන්නෙ, ඒක විකුණ ගත්තොත් නං ඔබ තුමාට ලොකු උදව්වක් කරන්න පුලුවන් ඔය සෝෂල් මීඩියා වැඩේ හොදට කරගෙන යන්න..."
අද ඔහුගෙ කතාව වෙනස්, හඩ ත් වෙනස්.
"එහෙම කිව්වට ඒ බිල්ඩිමේ කිසි අයිතියක් එහෙම මට නැගැ..ඒත් මට පුලුවං දරුවට කතා කරලා ඔය මිලියන පහක් හයක් වගෙ එහෙ මෙහෙ කරල ඔබ තුමාට දෙන්න..."
"මොකක්? ඒ කිව්වෙ?"
"මං කියන්නෙ ඔබ තුමාට කන්ටෑක්ස් එහෙම තියෙනවනෙ... කවුරු හරි බයර් කෙනෙක් මට හොයල දුන්නොත්...මට පුලුවං..."
"අපෝ මං බ්‍රෝකර් වැඩ නං කරන්නෙ නෑ!"
" නෑ නෑ එහෙම නෙවෙයි..."
මං දන් මොකද්ද ඔහුට කියන්න ඕන?!
" කන්ටෑක්ස් නෑ යකෝ!"
චි: එහෙම කියන්න හොද නෑ! call එක cut කරනවා.
"හෙලෝ...හෙලෝ..."
ඒ පාර කවුද?
CHAPA, Nov 3, 2018