Monday, June 19, 2017

  ඥාණසාර හාමුදුරුවන් ට ලියමි!


මේ මොහොත වන විට, ඔබ වහන්සේ ඉන්නෙ කොහෙද? කරන්නෙ මොනවද? කියල මං දන්නෙ නැහැ. ජනමාධ්‍ය ඔස්සෙ පේන ඇහෙන විදිහට නං, පොලිසිය ඔබ වහන්සේ ව අත් අඩංගුවට ගන්න හොයන අතරෙ ඔබ වහන්සේ කොහේ හරි සැඟවිලා ඉන්නවා.
ඒ අතර, ජනමාධ්‍ය තුළ මේ ගැන වැඩි වැඩියෙන් ප්‍රවෘත්ති මැවෙන්න පටන් ගන්නවා. පක්ෂ විපක්ෂ සෑහෙන පිරිසක් මාධ්‍ය කැමරා සහ මයික්‍රෆෝන් ඉස්සරහා ඔබ වහන්සේ ගැන විවිධ අදහස් ඉදිරිපත් කරමින් ඉන්නවා. 
සිංහල බෞද්ධ මතවාදයක් සහ එවැනි ජනතාවක් නියෝජනය කරන බව කියන, පාඨලී චම්පික රණවක සහ උදය ගම්මම්පිල ඇතුළු යම් සෑහෙන පිරිසකුත් ඒ අතර ඉදිරියෙන්ම ඉන්නවා.
මේ පසුබිම තුළ, ඔබ වහන්සෙගෙ භූමිකාව පිළිබඳ ''පොදු විග්‍රහයෙ, හරය'' මෙහෙම වෙන් කරගන්න කෙනෙකුට පුළුවන්;
1. රටේ සිංහල බෞද්ධ ජනතාව සහ ඊට සම්බන්ධ ජාතික උරුමයන් වෙනුවෙන් මෙන්ම ඊට එරෙහි අන්තවාදී මැදිහත්වීම්වලට එරෙහි අවංක මැදිහත්වීමක්.
2. ඉහත ( 1 හි සඳහන් ) සටන් පාඨය පෙන්වමින්, කලින් කලට විවිධ ''පක්ෂ දේශපාලන ව්‍යපෘති'' දියත් කිරීමක්.
3. ඊනියා ජාත්‍යන්තර උවමනාවන් වෙනුවෙන්, රට අවුල් කරන ඒජන්තවරයෙක්.
4. ඉහත සඳහන් 2 - 3 එකතුවක්.
මේ පිළිබඳ කියවීම කොහොමත් අයිති ඉතිහාසයට!
ඒ අතර, අවසානයේදී, මේ නිර්මාණය වී තිබෙන තත්වය කුමක් ද? රටට වැදගත් වෙන්නෙ එයයි.
රට මේ මොහොත වනවිට, එක පැත්තකින් දරුණු ආර්ථික ඝාතනයකට ලක් වෙමින් තියෙනවා. ඒ දේශපාලන කුමන්ත්‍රණයෙම කොටසක් විදිහට, තවත් පැත්තකින්, රාජ්‍යය දුර්වල කෙරෙන ව්‍යුහාත්මක වෙනස්කම් ක්‍රියාවට නැංවෙමින් තියෙනවා. 
දෙමළ බෙදුම් වාදය සහ මුස්ලිම් ව්‍යප්තවාදය කියවගන්න වෙන්නෙ මෙන්න මේ ''මූලික තත්වය'' තුළ. 
1960 දශකය වගෙ වෙනකොට දෙමළ සන්නද්ධ ව්‍යාපාරවල මුල් බීජ වැටිලා, අන්තිමට බිහිසුණු LTTE සංවිධානය නිර්මාණය වුණෙත්, එය මිලිටරිමය විදිහට පරාජය වෙනකොට, රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ඒ 'කොන්ත්‍රාත්තුව' භාර ගන්නෙ ත් අන්න ඒ දීර්ඝ කාලීන පසුබිම ට අදාළ ව තමයි. 
මේ කුමන්ත්‍රණකාරී දේශපාලනය, හරියටම ගත්තොත්, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහට පවතින කාලය හරහාත් ඉස්සරහට එනවා. එහි ඓතිහාසික මූලයන් තවත් එපිටට. තීරණාත්මක තැන තමයි, ලංකාවට ඡන්ද බලය ලැබෙන සහ ඒ නිසාම ජාතිය මුල් කරගත්තු පක්ෂ බිහිවෙන්න අවශ්‍ය පදනම වැටෙන හරිය. 
මේ '' ආගන්තුක දේශපාලනය'' ලංකාව බෙදා පාලනය කරන්න හොඳටම හොඳ බව එදා 'සුද්දා' දැනගෙන හිටියා. 
1948 න් පස්සේ ඇරඹෙන නව යටත් විජිත පාලනය තුළ, මේ අදටත් ක්‍රියාත්මක වෙන්නෙත් අන්න ඒ දේශපාලනය ම තමයි.
රටට සිද්ධවෙන්න යන මේ මහා ඛේදවාචකය හරියටම තේරුම් ගත්ත දේශපාලනඥයින් ඒ මඟ අතරින් පතර හිටියා. CWW කන්නංගර ඒ අතර ප්‍රධානයි. ඔහු එදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉස්සරහට එන්නෙ ''අනාගත ශක්තිමත් ජාතියක්'' ගොඩනගන්න. 
''Lasting Value to the Nation! - ජාතියට නියත වටිනාකමක්!''  කන්නංගර න්‍යාය! 
හිතන්න, අදටත් කිසි කෙනෙක්, කන්නංගර ජාතිවාදියෙක් කියල නං කියන්නෙ නැහැ. එදා ඔහු හඳුනවා දීපු සහ අද වන තෙක් මේ රට මෙහෙමවත් කෙළින් තියාගන්න හේතු වුණු ප්‍රධානම සාධකය, ''නිදහස් අධ්‍යාපනය'' මේ වෙනකොට ක්‍රමනුකුලව දියකර දැමෙමින් තියෙනවා. සිංහල බෞද්ධයො එහෙම නං පොළොවෙ පස් කාලා, ඒ වෙනුවෙන් සටන් කරන්න එපායැ! එහෙම වෙනවද?
රටේ කෘෂි ආර්ථිකය නගා හිටුවන්න ඕන කියලා කල්පනා කරපු DS සේනානායකලාත්, ඒ අර්ථයෙන් නං, ඒ 'ජාතිය ගොඩනගන්න දායක වුණු'' ලැයිස්තුවට ගන්න පුළුවන්. අතීත සිංහල ලෝකය මහා වංශයක් බවට පත් කරපු, රජවරුන්ගෙ ස්වීය ගොවිකම! අඩු තරමෙ DS ලා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා.
මේ සංවාදය තවත් පුළුල් කරන්න, නිකමට, පුරාවිද්‍යා ගවේෂක සෙනරත් පරණවිතාන ගැන හිතන්න. ඔහු මතුකරමින් හිටපු ''ලංකාවට අනන්‍ය ඉතිහාසය'' ලෝකය පිළිගත්තෙ නැද්ද?
එහෙම ගත්තොත් සුනිල් ශාන්ත ලා, එදිරිවීර සරත්චන්ද්‍ර ලා, මහගම සේකර ලා, අමරදේ ව ලා, තවත් විවීධ වෘත්තිකයන් සහ කලා කරුවන් සිය දහස් ගණනක්, එදා - මෙදා, මේ මෑත ඉතිහාසය තුළ, ''නුතන ජාතිකත්වයක්'' වෙනුවෙන් වූ, තම තමන්ගෙ ඓතිහික කාර්යභාරය සම්පුර්ණ කරලා තියෙනවා.
මේ කතාව ඔබ වහන්සේට අදාළ නොවෙන්න පුළුවන්!
ඒත්, කරන්න ඕනෙ ජාතිය ගොඩනගන එක, එතකොට ජාතිවාදි බෙදුම්වාදි ප්‍රශ්න එන්නේ නැහැ. සිංහල බෞද්ධ ගුරුවරු, ( අඩුම තරමෙ තමන්ගෙ ජාතියෙ දරුවන්ට ) උගන්වන්න අවංකව ම මහන්සි වෙනවද? අනෙක් වෘත්තිකයො? තම තමන් නියැලී සිටින ක්ෂේත්‍ර තුළ වත්! 
මේ රට ගොඩනගන්න පුළුවන් කෘෂිකාර්මික පදනමකමයි. කෝ? මොන සිංහල බෞද්ධ බලවේගය ද ඒකට මැදිහත්වෙන්නෙ? 
මම, දේශපාලන ක්‍රියාකාරිකයෙක් විදිහට මුහුණ දෙමින් සිටින තිත්ත අත්දැකීමක් ගැනත් කියන්න මට දැන් ඉඩ දෙන්න!
ලංකාව වැව් බැඳී රාජ්‍යයක්! සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ගොඩ නැගෙන්නෙ ම ජලය මුල් කරගෙන. ගමයි - පන්සලයි - වැවයි - දා ගැබයි කියන්නෙ අන්න ඒ සංස්කෘතික ආර්ථික සුත්‍රය. කොටින්ම, ලංකාව, ජලයෙන් පෝෂණය වුණු සංස්කෘතික මධ්‍යස්ථානයක්. මේ වෙනකොට, රටේ සියලු භූ ගත සහ මතු පිට ජලය ( ජල සම්පත්! ) ඒකක මිලකට නතු කරලා, විකුණුම් භාණ්ඩයක් බවට පත් කරන්න සැලසුම් ක්‍රියාත්මක වෙනවා, ඔබ වහන්සෙ දන්නව ද? මේ තමයි එහෙම ගත්තොත් සිංහල බෞද්ධකමේ මළ ගම! මොන බෞද්ධ බලවේගය ද! මොන බෞද්ධයා ද! මේ මහා ආර්ථික අපරාධයට විරුද්ධ වෙන්නෙ? 2000 අවුරුද්දෙ සිට මම කකුල් ගෙවෙනකම් ඇවිද ඇවිද මේ ගැන මිනිස්සුන්ට කියනවා. අතින් වියදම් කරගෙන ''ජල රකුසන්ට එරෙහිව!'' පොත ලියලා මුද්‍රණය කරලා නොමිලෙ ත් බෙද බෙදා මිනිස්සුන්ට කතාව කියනවා, කාටද මේක දැනෙනනෙ? ඒ පොතට විරුද්ධව, NGOs කල්ලියක්, 5 දෙනෙක් වෙනුවෙන් කෝටි 15 ගණනෙ අපහාස වන්දි ඉල්ලලා නඩු දැම්මා, එහෙම නං සිංහල බෞද්ධයො අධිකරණය වටකරන්න එපායැ! කෝ? කවුරුවත් ආවෙ නැහැ, මම විතරයි! 
අපට ඕන ඇති රටක්, ජාතියක් නැහැ! චම්පිකලා, උදයලා...ඔය තවත් අය සිංහල බෞද්ධ විදිහට සුදු ඇඳගෙන කරන්නෙ පට්ට බොරුවක්!
ඔබ වහන්සෙ අයිතිවෙන්නෙ අර ඉහත සඳහන් 1. විග්‍රහයට නං, ගන්න තිබුණෙ ජාතිය ගොඩ නගන ප්‍රවේශයක්. ඔබ වහන්සේ කොහොම හිතාගෙන හිටියත්, දැන් වෙලා තියෙන්නෙ, 2., 3. හෝ 4. අතර දෙයක්. එතකොට සිංහල ජාතිය තවත් පුංචි වෙනවා, ඊනියා ජාත්‍යන්තරය ඉදිරියෙ. ඔය රාජ්‍ය නොවන සංවිධාන නඩයට ඕනෙ අන්න ඒ දේ තමයි. 
දැනටමත්, නෝර්වේජියානු සහ තවත් විදේශ කණ්ඩායම්, ලංකාවෙ ආගමික නිදහස නැහැ සහ ඒ මර්දනය ක්‍රියාත්මක කරන්නෙ හාමුදුරුවරු කියන එක තහවුරු කරන්න අවශ්‍ය සාක්ෂි හදනවා. ඒ සඳහා, ඔවුන් යොදා ගන්නෙ ඔබ වහන්සේ ප්‍රමුඛ හාමුදුරුවරුන් ගෙ විවිධ ක්‍රියාකාරකම්. ඒ වෙනුවෙන් නිෂ්පාදනය කරන විවිධ විඩියො පට ඔවුන් අන්තර්ජාලය ට මුදා හැර තියෙනවා. 
එතකොට, ඔබ වහන්සේ දැන හෝ නොදැන ඔය කරන්නෙ ඓතිහාසික වැරද්දක්!
අපි මේ ගැන තව දුරටත් විවෘතව කතා කරමු!
CHAPA 
June 20, 2017

 

1 comment: