Saturday, November 18, 2017

                                     හෘද සාක්ෂිය කන්නද?

'' ඔය කියන විදිහ හරි වුණා ට එහෙම පවතින්න බැහැනෙ...''
ගුරුවරිය කතාව පටන් ගත්තා!
''පුද්ගල පැවැත්ම සඳහා වැඩ කරලා හරියන්නෙ නැහැ ටීචර්...අපි සමාජයක් විදිහටම පවතින්න තමයි වැඩ කරන්න ඕනෙ...''
මගෙ සුපුරුදු ප්‍රතිචාරය!
''දැන් බලන්න ඔය බැඳුම්කර සිද්ධිය...එයාල කොච්චර සල්ලි හොයාගෙන ද? පරම්පරා ගණනාවකට...අපි මොන කතා කිව්වත් එයාලා දිනුම්!''
''ඒ මොන දිනුමක් ද? ලැජ්ජාව, සමාජ ප්‍රශ්න...පවුල් ප්‍රශ්න! අනෙක ඒ අයගෙ හෘද සාක්ෂිය! එයාල හිත ඇතුළෙන් තැවෙනවා ඇති...''
''මොන පිස්සුද? එයාල හිතන්නෙ එයාලා දිනුම් කියල...අනෙක ඔයාම දවසක් ලියල තිබුණු විදිහට...ඔය මහා ලොකු හොරකං එක විදිහක නම්බුවක්...පොඩි එකෙක් මොකක් හරි හොරකං කෙරුවොත් නං ඔන්න ලැජ්ජාව...''
මේ ගුරුවරිය සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය හරහා පෙනී හිටින්නෙ වඩා යහපත් සමාජයක් වෙනුවෙන්!
''එහෙම නං ඔයා ඇයි ඔය කතාව කියල post දාන්නෙ නැත්තෙ?''
''මොන කතාව ද?''
ඇය කුතුහලයෙන් අහනවා.
''පුළුවන් තරං හොරකං කරපල්ලා! පුළුවන් තැන හොරකං කරපල්ලා! පවතින්න පුළුවං එහෙම තමයි!..වගෙ කතා...''
''අපෝ! එහෙම ලිව්වොත් අනිත් එවුන් මාව මරාගෙන කයි! මම කියන්නෙ ප්‍රසිද්ධියෙ කියන්න ඕන දේ නෙවෙයි, කරන්න ඕන දේ...''
''ඒ කියන්නෙ?''
''මෙහෙම හිතන්න...ඔය බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අය දැන් ගොඩනෙ...ඇති තරං හොයාගෙන තියෙන්නෙ...කාලයක් යනකොට මිනිස්සුන්ට ඕක අමතක වෙනවා...එතකොට?''
ඇයගෙ හඬ සැහැල්ලුයි!
''ඔයා ඔහොම අවංකව සමාජය හදන්න කෑ ගැහුවට...මම දැකල තියෙනවා ඔයාට දාන සමහර comments...මහින්දට සපෝර්ට් ලු, එයාලගෙන් සල්ලි අරන් ලු...දෙරණ ට විතරක් යන්නෙ ඒකලු...එතකොට? මම ඇත්ත දන්නා නිසා දන්නවා..ඔයා සමාජය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවීමෙන් වැඩකරනවා කියල...අනිත් පැත්තට ලැබෙන්නෙ තෘප්තිය විතරයි කියලත් දන්නවා...''
''ඒ අවබෝධය තමයි වැදගත්...''
''ඒ වුණාට එහෙම දන්නෙ...එහෙම හිතන්නෙ කීයෙන් කී දෙනා ද? ඔය හුඟාක් අයට මේ කිසිම දෙයක් වැඩක් නැහැ, fb එකේ comments දානවා විතරයි...''
''ඒක නං ඇත්ත...ඒක මම සෑහෙන කාලයක් අත්විඳිනවා...''
''fb posts...comments බලන්න! දැන් ඔය අර්ජුන මහේන්ද්‍රන්ලා...ඇලෝසියස්ලා...එයාලගෙ හොරකං ආරක්ෂා කරන අනිත් අය ගැනත් කට්ටියක් බනිද්දි...කට්ටියක් හොඳ කියනවා...ඒකයි මම මේ කියන්නෙ...''
ගුරුවරිය කියාගෙන කියාගෙන යනවා.
''මම නං අපේ මහත්තයා හොරකං කරලා හරි පවුල ගොඩ නගන්න හැදුවොත් විරුද්ධ වෙන්නෙ නැහැ...මොකද, අපි කොච්චර හොඳ වුණත් අපිට කවුරුවත් මොකුත් දෙන්නෙ නැහැ...''
''මට පුදුම ගුරුවරියක් වෙලත් ඔහොම හිතන එක ගැන...''
'' මේ තම්යි ඇත්ත! ඔය සමාජය හදන්න කතා කරන හුඟාක් අය කරන්නෙත් එහෙම තමයි...''
''එතකොට මේ තත්වය වෙනස් කර ගන්න ඕන නැද්ද?''
''ඒක මට විතරක් කරන්න බැහැ! එහෙම කරන්න ගත්තොත් ඒ කෙනා තනි වෙනවා...''
ඇය කතා වේගය බාල කරන්නෙ ම නැහැ.
''කෙනෙකුගෙ හෘද සාක්ෂිය?''
''ඒක කන්නද අනේ...''
ඇයගෙ හඬේ මොකද්දෝ උපහාසයකුත් තිබුණා.
''එක උදව්වක් කරන්න!''
''මොකද්ද?''
''ඔය කතාව ළමයින්ට නං කියන එපා!''
''අපෝ නෑ...මම ඕවා කියන්න යන්නෙ නැහැ, පාඩුවෙ ඉන්නවා මිසක්...''
''පාඩුවෙ!''
මගෙ පුනරුච්ඡාරණය ඇයට ඇහුණා ද මන්ද!
CHAPA
Nov 19, 2017 



1 comment:

  1. හැමෝම ඔහොම හිතන නිසා තමයි රට ආපස්සට යන්නෙ.

    ReplyDelete