Tuesday, January 9, 2018

   බෑ! ඇයි බැරි?

ලෝකය මේ මොහොත වන විට, දේශ සීමාවන් අතික්‍රමණය කරන ධනේශ්වර වෙළෙඳ පොළක් බවට පත් වෙලා! ලංකාව ත් ලෝකයේ ම කෑල්ලක් වුණත්, මෙන්න මේ සංකීර්ණ තත්වය නොදන්නා නිසා විශාල ඓතිහාසික දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා.
රටේ සියලු දේශපාලන පක්ෂ පටු සීමාවන් තුළ හිර වෙලා, අනිත් පැත්තෙන් ඔවුන් පොදුවෙ, පෙර කී නුතන දේශපාලනයෙ තැරව් කරුවන් වන NGOs සමඟ දැන හෝ නොදැන මුහු වලා.
'ජාතිකත්වය' දේශපාලන අර්ථයෙන් මේ ගෝලීය වෙළෙඳ මාෆියාවට එක විදිහක උත්තරයක් වුණත්, අපි ජාති, ආගම් සහ කුල ගෝත්‍ර ඊට පටලවා එය ත් දැන් විකෘතියක් වෙලා.
මේ සියල්ල සමඟ රටේ සුළු, මධ්‍යම සහ මහා පරිමාණ වෙළෙඳ ව්‍යාපාර ඒ ඒ තල වල සංකීර්ණ අර්බුදයන්ට ගොදුරු වෙමින් තිබෙනවා. 
මේ වර්තමාන ගෝලීය පරිමාණ අර්බුදයට, රටක් හැටිය සංවිධානය වෙන්න ඕනෙ!
ඒත් අපි ඒ ගැන හිතලවත් නැහැ. විධායකය සහ ව්‍යවස්ථාදායකය; පොදුවෙ පාර්ලිමේන්තුව තුළ තියෙන්නෙ විකාර රූපි ස්වභාවයක්. අධිකරණ ක්‍රියාවලිය තුළත් සමාජ යුක්තිය පසඳලීම පිළිබඳ සුදානමක සේයාවක්වත් නැහැ. මුළු රාජ්‍ය තන්ත්‍රයම දුෂණ, වංචා සහ අක්‍රමිකතා වලින් පිරිලා. රාජ්‍ය නාස්තිය - අධි පරිභෝජනය ඉහ වහා ගිහිං. කාර්යක්‍ෂමතාව එන්න එන්නම පහළට වැටෙමින් තියෙනවා. ඊට සමගාමීව, බහු ජාතික සමාගම්වලට සාපේක්ෂව, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශත් පිරිහෙමින් තියෙනවා. කෙටි සහ හදිසි උපරිම ලාභ ලැබීම පමණක් ඉලක්ක කිරීම නිසා සියලු සමාජ වටිනාකම් ඒ ඒ තැන් වලින් ගිළිහෙන්න පටන් අරං.
අවසන් වශයෙන් සියලු වෘත්තීය තත්වයන් සහ අදාළ ප්‍රමිතීන් වර්ධනය වෙනවා වෙනුවට එකින් එක දියවෙන්න පටන් අරං. වෘත්තිකයා, වෙළෙන්දා, ජාවාරම් කාරයා සහ  අපරාධකාරයා කියල දැන් බෙදුම් රේඛා නැති තරම්!
මෙහෙම ඉතිං සමාජයකට පවතින්න පුළුවන් ද?
මේ වනවිට, සෑහෙන කාලයක් තිස්සෙ, විශේෂයෙන් ම පුද්ගලික අංශය ට සම්බන්ධ යම් වැඩ කොටසකට සම්බන්ධ වෙන්න මට පුද්ගලිකව අවස්ථා ලැබී තියෙනවා, වඩා නිවැරදි ව, ඒ ඒ අවස්ථා මතුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. ''මාධ්‍ය සහ මානව සම්බන්ධතා'' කියන විධික්‍රමය ගොඩ නගන්න හැකි වෙන්නෙ එහෙමයි. වැඩකරන බල ඇණි සංවිධානය කරමින් ඒ ඒ ආයතනවලට අනන්‍ය නව මානව සම්බන්ධතා සංස්කෘතියක් ගොඩ නාග ගැනීම තමයි මෙතැන දි අරමුණු කෙරෙන්නෙ. එය එක විදිහක ප්‍රති සංවිධාන ක්‍රියාවලියක්. ඒත් ඊට හරස්වන විශේෂ තත්වයන් පෙළකුත් අත්විඳින්න ලැබෙනවා, ඒවා සැකවින් මෙහෙමයි;
1. ආයතන හිමිකරුවන් හෝ කොටස් කරුවන් තවමත් වැඩ කරන්න කැමති කේවල ව්‍යාපාර ක්‍රමයට, ඒ කියන්නෙ ''මුදලාලි වටා පවතින කඩ ක්‍රමයට'', ඔවුන්ගේ පවුල් ප්‍රශ්න ත් කෙලින්ම ව්‍යාපාර පැවැත්ම ට බලපෑම් කරනවා. ඥාති සංග්‍රහය බරපතළයි. පවුල් නාස්තිය සහ අධි පරිභෝජනය ඊළඟට! උපරිම ලාභය පමණක් ඉලක්ක කරන පසුබිමක - අදාළ ආයතනයක ඉදිරිය අනාරක්ෂිතයි. 
2. ඉහළ තනතුරු දරන බොහෝ පුද්ගලයන්, බොහෝ ආයතනවල ඉහළ වැටුප් සහ වාසි ලබමින් නිකරුණේ කාලය ගෙවන්න පුරුදුව ඉන්නවා, ඒ නිසාම ඒ සඳහා කල්ලි නිර්මාණය කරගෙන ඉන්නවා.
3. දුෂණ, වංචා සහ අක්‍රමිකතා නිසා ත් බොහෝ ආයතන තුළ, විවිධ තල වල කල්ලි නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන් පිටත පුද්ගලයන් සහ කණ්ඩායම් සමඟ ත් සම්බන්ධතා පවත්වනවා. තරඟකාරී ව්‍යාපාරික ආයතන සමඟත් රහසිගත සම්බන්ධතා පවත්වන අවස්ථා සුලබයි.
4. නාස්තිය සහ අධි පරිභෝජනය විවිධ මට්ටම් වලින්.
5.  නිලධාරීවාදය නිසා ආයතන ගමන බාල වෙනවා.
6. පුහුණු කටයුතු නොසලකා හැරීමෙන් සහ නුසුදුසු අය ඒ ඒ තැන්වලට පත් කිරීමෙන් බොහෝ ආයතනවල වෘත්තීය මට්ටම පහළට වැටෙමින් තියෙනවා.
7. බහුතරයක් වූ ආයතනවල ක්‍රියාත්මක වන වෘත්තීය සමිති, අදාළ දේශපාලන ව්‍යාපෘති තුළ සිටිනවා, ඔවුන්ට ත් වෙන තේරීමක් නැහැ. ඒ නිසා අර්බුද නිර්මාණය කරමින් ඒවා සමඟ ආයතනවලට දැඩි හානි කරනවා. NGOs වල සම්බන්ධතාවකුත් දැන් තියෙනවා.
8. පොදුවේ ආයතන ප්‍රතිරූපය සමඟ බැඳෙමින් සහ ආයතන පදනම මත හිඳිමින් සංවිධානය වෙන්න බොහෝ ආයතන අපොහොසත් වෙලා. සංවිධානVision Mission වෙනුවට පුද්ගලික තත්වයන් ඉස්මතු වෙලා.
මීට සමගාමීව, ආයතන හිර කරගෙන තියෙන තවත් සාධක රැසක් හඳුණා ගැනෙමින් තියෙනවා. මේ සියල්ල එකිනෙක සසඳා බලනකොට රටේ අනාගතය යහපත් දිශාවකට යොමු වෙන්නෙ නැති බව පැහැදිලියි.
ඒ සඳහා බරපතළ සංවාදයක් අවශ්‍යයයි!
එත් ඒ කොහොමද?
CHAPA 
Jan 9, 2018   


No comments:

Post a Comment