Sunday, November 18, 2018

අන්තිම කැමැත්ත!

( සත්‍ය කතාවක් ඇසුරෙන් )

 ''ම්ම්ම්ම්...අපි එහෙම නං පාගොඩ පාරෙ ගෙදර ලොකු පුතාට ලියමු...එතකොට...කුරුණෑගල වත්තත් එයාටම ලියන්න...''
ව්‍යාපරිකයා දෙබැම පහත් කරමින් කිව්වා.
''හරි! එතකොට...මත්තෙගොඩ ගෙදර? අහ්...අපි ඒක ලිව්වෙ පොඩි පුතාට නෙ නේද?''
පෙරකදෝරුවා තම උපැස් යුවළ දකුණතින් සකස් කරන අතර තුර ප්‍රශ්නයක් නොවන ප්‍රශ්නයක් ඇහුවා,
''පෙරකදෝරු මහත්තයෝ... කල්පනාවෙන්...පටළවන්න එපා! පරිස්සමට! හ්ම්...ආයෙ පොඩ්ඩක් කියමු බලන්න මුල ඉඳලා...''
ව්‍යාපාරිකයා උගුර පාදන අතර තුර මේසය වටේ සීරුවෙන් බලාගෙන ඉන්න මහ පවුලේ කට්ටිය දිහා විමසිල්ලෙන් බැලුවා.
අපේ කතා නායකයා හෙවත්, මේ ව්‍යාපරිකයාගෙ මහ පවුලෙ කවුරුවත් ඔහු වගෙ සල්ලි කාරයො නෙවෙයි, සාමාන්‍ය රස්සාවල් කරන අය. ඒ අස්සෙ ඉතාම අමරුවෙන් ජීවත් වන ඔහුගෙ නැගණියකුත් ඉන්නවා. ව්‍යාපරිකයා දික්කසාද වෙලා. ඔය කියන පුතාලා දෙන්නම ඉන්නෙ යුරෝපයෙ. ඔය ලොකු පුතා කියලා කිව්වට ඇත්ත ලොකු පුතා උපන් මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක්. අවුරුදු තිස් ගණනක් වන ඔහු ඉන්නෙ රැඳවුම් මධ්‍යස්ථානයක. හදිසි හෘදයාබාධයකට ගොදුරු වී සැත්කමකට මුහුණ දුන් ව්‍යාපාරිකයා මේ දැන් සැරසෙන්නෙ තම අන්තිම කැමති පත්‍රය ලියන්න. ඒ කියන්නෙ ඔහු තම මරණය ට සූදානම් වෙනවා. වටේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඔය මහ පවුලෙ කට්ටිය ගෙන්වා ගත්තෙත් හදිසියෙන්. පෙරකදෝරු තැන නං අවුරුදු බර ගණනක් ඔහු ට වැඩ කරල තියෙන පළ පුරුදු කෙනෙක්.
''ඕකේ! අපි බලමු මුල ඉඳලා...මේ මහ ගේ ලොකු පුතාට, මහරගම ෂොප් එක පොඩි පුතා ට...නුවර ෆැක්ටරිය පොඩි පුතා ට....ම්ම්ම්ම්...හම්බන්තොට ලෑන්ඩ් එක ලොකු පුතාට...බදුල්ලෙ එස්ටේට් එක පොඩි පුතා ට...නුවරැළියෙ හොටේල් එක ලොකු පුතාට...රත්නපුරේ ස්කීම් එක...ආ! ඒක පොඩි පුතාට, ම්ම්ම්ම්ම්....ජීප් දෙක පොඩි පුතාට...''
''හරි...හරි...වාහන ටික බෙදපු විදිහ අපි කීප සැරයක් ම බැලුවනෙ...නේද?!''
ව්‍යාපාරිකයා, පෙරකදෝරුවාගෙ මූණට එබුණා.
''ඔව්, ඔව්!''
''හ්ම්..දැන්!''
ව්‍යාපරිකයා හඬ ටිකක් දැඩි කෙරුවා. පෙරකදෝරුවාත් දකුණතේ පෑන හරියාකාරව ඇඟිළි අතර රඳවාගෙන වැඩේ ට තව සූදානම් වෙනවා.
''ඔයා තමයි මගෙ පොල්මඃකාරයා,,,තේරුණාද?''
ව්‍යාපාරික අයියා තම බාල නැගනිය ට ඇඟිල්ල දික් කෙරුවා.
''පොල්මඃකාරයා,,,,,?''
වටේ හිටගෙන ඉන්න කීප දෙනෙක් ම ඒ අමුතු වචනය ප්‍රතිඋච්ඡාරණය කෙරුවා.
''පොල්මඃකාරයා,,,! ඔව්! ඒ කියන්නෙ මේ අන්තිම කැමති පත්‍රය හරියට ක්‍රියාත්මක කරන්න ඔයා වග බලා ගන්න ඕන!''
පෙරකදෝරු තැන ටිකක් උස් හඬකින් පැහැදිලි කෙරුවා.
ව්‍යාපාරික නැගණිය රජයේ කාර්‍යයාලයක වැඩ කරන ලිපිකාරිණියක්. ඇය එක පාරට ම ලොකු කල්පනාවකට වැටුණා. තම අයියණ්ඩිය ගෙ ලොකු පුතා හදිසියෙ ඇයගෙ මතකය ට ආවා. එතකොට ඔහු ට මොකුත් දෙන්නෙ නැහැ! ඇය ට අමුතු අනුකම්පාවක් දැනුණා.
''මගෙ ලොක්කා...''
අහ්! මං හිතන එකම අයියාටත් එකටම හිතිලා! ව්‍යාපාරික නැගනිය පුදුම වුණා.
''මගෙ ලොක්කා ගැන පුතාලා දෙන්නා බලා ගන්න ඕන!''
අයියා, තම නැගණිය දෙස බැරෑරුම් බැල්මක් හෙළමින් කිව්වා.
''අන්න ඒක තමයි ඔයාගෙ වගකීම! ඒ අය තම තමන්ගෙ කොටස් අරගෙන සාමදානයෙන් කටයුතු කරන සහ තම තමන්ගෙ වගකීම් ඉටු කරන්න අවශ්‍ය වට පිටාව....ඔයා තමයි හදන්න ඕන!''
පෙරකදෝරු තැන කතාව පටන් ගත්තා.
'' එයා මොකටද මේ පව් කර ගහන්නෙ? මොකෝ මේ අයියණ්ඩි නංගිලා ට මොනව කරාටද? ඈ!''
ටිකක් පස්සට වෙන්න ඉන්න ව්‍යාපාරිකයාගෙ ලොකු මස්සිනා, ව්‍යාපාරිකයාගෙ වැඩිමල් නැගණියගෙ හෙවත් තම බිරිඳගෙ කණ ට කරල අහනවා. ''කට, කට!'' ඇය, ඔහුට ඔරවන ගමන් හෙමින් තරවටු කෙරුවා. පවුලෙ හැමෝම වගෙ මේ ව්‍යාපරිකයා ට මොකද්දෝ අමුතු බයක් තියෙනවා, ආදරය, ගෞරවය, පිළිගැනීම...ඔය හැඟීම් එකතු වුණු මොකද්දෝ වෙනස් බැඳීමක්. ඒ නිසා ම, මේසා විශාල ධනයක හිමිකරුවෙක් වෙලත් තම මහ පවුලේ කිසිවෙකුට හරි හමන් උදව්වක් පදව්වක් කරල නැති පසුබිමකත් ඔහු තමයි පවුලේ වීරයා. ඔවුන් ගෙ අම්මා තාත්තා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ, ඔවුන් ජීවතුන් අතර සිටියදීත් ඔහු, ඔවුන් දිහා බැලුවෙ නැහැ, අන්තිම ට ඔහුගෙ තාත්තා නවත්තලා හිටියෙ වැඩි හිටි නිවාසයක. ඔබ විශ්වාස කරයි ද මන්දා, ඔහු ඒ සඳහා මාසික ගෙවීම කෙරුවෙත් පවුලෙ අනිත් අයගෙනුත් සමාන මුදල් කොටස ගණනෙ එකතු කරලා, මරණ ගෙදර වැඩ කටයුතු කෙරුණෙත් එහෙම තමයි. ඒ අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉද්දි කල්පනා කෙරුවෙ, අපේ ලොකු පුතා අපිව බලන්න ඇවිත් බැනලා ගියත් සැපයි! වගෙ. ඇත්තට ම සිද්ධ වුණෙත් එහෙම ම තමයි. ඒ වුණාට, ඔහු අම්මා තාත්තා වෙනුවෙන් බෞද්ධයා නාලිකාවටත් ලොකු මුදලක් ගෙවලා පුණ්‍ය කටයුත්තක් නං කෙරුවා. අහ්! තව පොඩ්ඩෙන් ඔබට කියන්න අමතක වෙනවා! ඔහු පන්සල් වල ජනප්‍රිය දාන මාන කටයුතු වලට අත පය දිග ඇරලා වියදම් කරනවා.
හරි! අපි දැන් ආයෙත් ඔහු අන්තිම කැමැත්ත ලියන කාමරයට එමු!
ඔන්න! ඒ ව්‍යාපාරිකයාගෙ හඬ.
''මද්දු!''
මද්දු කියන්නෙ ව්‍යාපරිකයාගෙ මැද නැගණිය, ඇය තමයි මේ අතර ඉන්න දුප්පත් ම කෙනා. තම පවුලේ ආරාවුල් මැද බොහෝ දුක් ගැහැට වින්ඳ ඇය දැන් ඉන්නෙ තම පවුලෙන් වෙන් වෙලා, තම වැඩි මහල් සොහොයුරියගෙ ගෙදර. ඇය ඉතාම අහිංසක ගැහනියක්. අයියගෙ ඇමතීම කණට වැටෙනකොට ම ඇය පිටිපස්ස පේළියෙ ඉඳන් ඉස්සරහා පේළිය ට ආවා. ''අයියේ...!'' ඇය අයියා දෙස ආදරයෙන් බැලුවා.
''අයියට එහෙම ඉක්මනට කරදරයක් වෙන්නෙ නැහැ අයියෙ! මම බෝධි පූජාවකුත් කරනවා අපෙ පන්සලේ...අයියා වෙනුවෙන් ම...''
ඇය කියාගෙන ගියා. ඇයගෙ ඇස් හීනි කඳුලු කැටවලින් තෙත් වෙලා.
''මද්දු...මං මේ හිතුවෙ, උඹට දැන් ගෙදරක් කියල තැනකුත් නැහැනෙ,,,නේද?''
ඒ 'උඹ' හඬ ඇතුළෙ තියෙන්නෙ මොකද්දෝ අනුකම්පාවක්!
''ඇති යන්තං මේකිටවත් ගේ කෑල්ලක් ලියල දෙනවා නං...ඉන්න තැනකුත් නැති එකේ...''
ඒ පාරත් අර මස්සිනා තම බිරිඳගෙ කණට කරලා මුමුණනවා.
'' මං මැරෙන්න කලින් ඒකත් කරන්න ඕන,,,එතකොට සේරම හරි!''
''අයියේ! ඔහොම කතා කියන්න එපා!''
අයියගෙ බර හඬ ඇහෙනකොට ඇය ට හයියෙන් ඇඩෙන්න එනවා,
''එහෙම නෙවෙයි මද්දු...මම මැරුණාම මගෙ අවසන් වැඩ කටයුතු සේරම කරන්න ඕන උඹ, ඔය අපේ කොල්ලන් ට කරදරයක් වෙන්න මම ආස නැහැ...උඹට දැන් කරදරයක් නැහැ, තනි එකී නිසා, තේරුණාද?''
නංගිගෙ ඉකි බිඳෙන හඬ යටපත් වෙමින් අයියගෙ හඬ කාමරය පුරා පැතිරෙනවා.
''ඈ! එතකොට මුගෙ පව් සේරම මේ අසරණීට? මූ මිනිහෙක් ද සතෙක් ද ඇත්තට?''
ඒ අර කට පාලනය කර ගන්න බැරි මස්සිනා. ඇයගෙ බිරිඳ මේ පාර ඔහුගෙ වම් අත වැළමිට හරියෙන් අල්ලලා හයියෙන් කෙනිත්තුවා.
''අපි ඒකට එහෙම නං ලක්ෂයක් දෙකක් එකවුන්ට් එකකට දාලා තියමු!''
පෙරකදෝරු තැන මොකද්දෝ ලියන ගමන් හයියෙන් කිව්වා.
'' එච්චර නං යන එකක් නැහැ... අනික ඉතිං පවුලෙ අනිත් අයත් ඉන්නවනෙ...මොකෝ පවුලෙ තව අයියලා ඉන්න එකක්යැ...හැ හැ හැ''
අමුතු හිනා හඬක් එක්ක ව්‍යාපාරිකයා කිව්වා.
ව්‍යාපාරික සහොදරයාගෙ හිනා කතා හඬ සහ ඔහුගෙ අර නැගෙණියගෙ ඉකි බිඳුම එකට මුසු වෙලා ඔන්න දැන් වෙන මොකද්දෝ හඬක් නැගෙනවා!
CHAPA
Nov 18, 2018






 


No comments:

Post a Comment