Friday, February 22, 2019

 නෑ! මිනිස්සුන්ට මෙහෙම වෙන්න දෙන්න බෑ!

''කොහොමද ඉතිං...?'' යාළුවෙක් කාලයකට පස්සෙ හදිසියෙ දුරකථනයෙන් ඇවිත්.
''එහෙනං අපිවත් මතක් වෙනවා?''
මං අහනවා.
''මොකද නැත්තෙ! පහු ගිය ටිකේ කතා කරන්න නං බැරි වුණේ එක එක වැඩ නිසා...''
''මොනවද ඉතිං අළුත් වැඩ?''
මං එහෙම අහන්නෙ නිකමට වුණත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවක වැඩ කරන විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු නිතර අළුත් යමක් කරන්න හදන බව මං අත්දැකීමෙන් දන්නවා. එහෙම වැඩකට මටත් ආරාධිතයෙක් විදිහට සහභාගි වෙන්න ලැබුණා ඒ දවස් වල.
''මං මේ කතා කෙරුවෙ...''
ඔහුගෙ හඬ වෙනද වගෙ නෙවෙයි, දියාරුයි. කළකිරීමක් වගෙ මොකක් හරි දෙයක් ඒ අස්සෙ තියෙනවා. 
''මට මාරු වීමක් ලැබිලා...මේ එහෙ යන්න සූදානම් වෙන ගමන්...''
''ම්ම්ම්ම්...බලාපොරොත්තුවෙන් හිටපු එකක් ද, නැත්තං....''
''මං ඉස්සර මාරුවීමක් නං ඉල්ලලා තිබුණා, ගෙදර ප්‍රශ්න වගයක් නිසා...ඒත් මේ ඒක නෙවෙයි, අනෙක මං ඉල්ලපු තැනට නෙවෙයි, මේ වෙන දිහාවකට,,,''
ඔහු ඉන්නෙ කළකිරීමක බව දැන් මට පැහැදිලියි!
''මාරු වීම් ප්‍රශ්නයක් නෙවෙයි...රාජ්‍ය සේවයෙ හැම දාම එක තැනක ඉන්න බැහැ...මට නං එහෙම ඕනත් නැහැ...ඒත් මේ වෙන කතාවක්...''
ඒ ''වෙන කතාව'' ගැන මටත් යම් අවබෝධයක් තියෙනවා, වරින් වර එහෙ ආ ගිය නිසා.  
මේ යාළුවා මට හම්බ වෙන්නෙ අහම්බෙන්. එක දවසක් ඒ ආයතනය, තරු පන්තියේ හෝටලයක සංවිධානය කරපු වැඩ සටහනකට  දේශනයක් කරන්න මටත් අවස්ථාවක් ලැබුණා. ඒ මගෙ තවත් යාළුවෙකුගෙ මැදිහත්විමකින්. කොහොම වුණත් ඒ වැඩ සටහන මට එක විදිහක අමාරු අත් දැකීමක් වුණා. මං තේරුම් ගත්ත විදිහට, ඒ වැඩ සටහන ට සහභාගි වුණු නිලධාරි කණ්ඩයම ඒ වෙලාවෙ, ඒ කියන්නෙ එහෙම සුපිරි පරිසරයකදි - එහෙම සංවාදයකට සූදානමින් හිටියෙ නැහැ. 
''මං දන්නවා මෙහෙම වෙන බව...මං අමාරුවෙන් වගෙ මේ වැඩේට ආවෙ, වැඩ සටහන විඩියෝ කරන වගකීම් බලෙන් වගෙ අරගෙන...ඒ ඔයා එනව කියපු නිසා...''
එදා වැඩේ ඉවර වෙලා නිකං විකාර වෙලා වගෙ ආපහු එන්න හදන කොට මේ කතා නායක යාළුවා මගෙ ළඟට ඇවිත් හෙමින් කිව්වා.
''අපේ කට්ටිය ඔහොම තමයි...ඇඳගෙන ඉන්නෙ...පව් ඉතිං...මේ වැඩ සටහනට මගෙ නම දැම්මෙ නැත්තෙත් මං වෙන විදිහකට හිතනව කියල එයාල හිතන නිසා...''
අන්න ඒ වෙන විදිහකට හිතන නිසා තමයි, යාළුවට මේ යන්න වෙලා තියෙන්නෙ. ඔහු තම රාජකාරිය උපරිම ආකාරයට කරන ගමන් තම සේවය වඩා ජනතාවාදී කරන්න, ඉතාම නිර්මාණශීලී අත් හදා බැලීම් කරන්න පුරුදු වෙලා හිටියා. කෝච්චියෙ යන එන සරල සහ කරුණාවන්ත පුද්ගලයෙක් වූ ඔහු ඒ ආයතනය තුළ ත් බොහෝ දෙනෙකුගෙ ජනප්‍රිය හිතවතෙක්.
ඒ නිසාම, ඔහු ඒ ආයතනයෙ සමහර පාලකයන් ට එක විදිහක අභියෝගයක් වෙලා තියෙන්න ඇති. මං හිතනවා.
''අපේ ලොක්ක මට එන්න කියපු නිසා අද මං එයා හම්බ වෙන්න ගියා...මගෙන් අහනවා ඇපීල් එකක් දාන්නෙ නැත්තෙ ඇයි කියල...බලන්නකො, මාව මාරු කරල මගෙන් ම අහනවා ඇයි ඇපීල් නොකරන්නෙ කියල...මං සද්ද නැතුව හිටියා...මං අන්තිමට කිව්වා, මං යන්න ලෑස්ති වෙනවා කියල, මිනිහ මට කිව්වා...එහෙ ගිහිං බදාගෙන වැඩ නොකර පාඩුවෙ ඉන්න කියල...මාර වැඩක් නේද!''
''ඔය ඔබේ කතාව නෙවෙයි...රාජ්‍ය සේවයෙ කතාව, රටේ කතාව....ඒකනෙ රට ට මෙහෙම වෙලා තියෙන්නෙ...වැඩ කරන එවුන් ට ජීවිතය එපා කරවනවා, හොරු තක්කඩි පවතිනවා...දිගු කාලීනව නං උන් එක්කම රට ඉවර වෙනවා, ඒත් කෙටි කාලීනව එහෙම අය පවතිනව වගෙ පේනවා...රට ට ආදරය කරන හොඳ මිනිස්සු ඒකෙන් අධර්‍ය්‍යමත් වෙනවා...''
''මං කොහොමත් රාජ්‍ය සේවයෙ දිගට ඉන්නෙ නැහැ...පුද්ගලික අංශයට යන්න තමයි හිතාගෙන ඉන්නෙ...''
''පුද්ගලික අංශය ඔයිට එහා...අයියෝ! මට එහෙම අත් දැකීම් කොච්චර තියෙනවද, මේ වෙනකොට පුද්ගලික අංශයෙත් ඉහළ මට්ටමේ තනතුරු අතර, දක්ෂතාව, කැපවීම, වෘත්තීය මට්ටම...ආයතනයට කොච්චර අදරෙන් වැඩ කරනවද වගෙ කාරණා වලට වැඩිය ගේම් ගහන්න දක්ෂ අයට තමයි වැඩි අවස්ථා ලැබෙන්නෙ...ඊළඟට සම්බන්ධතා...පොඩි මිනිස්සුන්ගෙ කතාවත් ඒකමයි, උන් එක එක්කෙනාගෙ ගොදුරු...ඒක උන් ට තේරෙන්නෙත් නෑ! අන්තිමට මොකුත් නෑ!!''
මං කියාගෙන යනවා. ඒ, එහෙම අත් දැකීම් සහ ඒ අතර පීඩාවට පත් විවිධ මුහුණු මැවෙන්න ගන්න නිසා.
''ඔව්! හිතේ දුකට එහෙම හිතුවට මටත් එහෙම දැනෙනවා...''
''ඔය කතාව ඔයාගෙ කතාව කියල හිතන්න එපා, ඔය අපේ පොදු කතාව...ඉතිං අධර්‍ය්‍යමත් වෙන්න එපා...අපි දිගටම උත්සහ කරමු...''
''ඒක හරි...ඒත්, එන්න එන්න අපේ වයස යනවා...කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු පහළොවකට වැඩියි...රාජ්‍ය සේවයෙත් ඊට සමාන කාලයක්...අන්තිමට කරපු දෙයකුත් නැහැ, වෙච්ච දෙයකුත් නැහැ වගෙ...''
මං දැන් මොකද්ද ඔහු ට කියන්නෙ?
හිතට නිකං හිස් ගතියක් දැනෙන්න ගන්නවා.
නෑ! මිනිස්සුන්ට මෙහෙම වෙන්න දෙන්න බෑ! අපි මොනවා හරි කරන්න ඕන!
මං ඔහුට එහෙම කිව්වද නැද්ද කියල හරියට මතක නැහැ.
''මගෙ වැඩ වලදි උපරිම විදිහට ඔයත් උදව් කෙරුවනෙ...හුඟාක් ස්තූතියි කියන්නත් එක්ක මේ කතා කෙරුවෙ...''
මං දැන් හොඳටම හිස්!
''අපි ආයෙ කාලයකට මුණ ගැහෙන එකක් නැහැ...ඉතිං...''
ඔහු මොන මොනවදෝ කියාගෙන යනවා, මං හිස් වෙලා නිසා කිසි දෙයක් ඇහෙන්නෙ නෑ!
නෑ! මිනිස්සුන්ට මෙහෙම වෙන්න දෙන්න බෑ! අපි මොනවා හරි කරන්න ඕන!
මං හිස්කම යන්නත් එක්ක කෑ ගහනවා, ඔබ ට ඇහෙනවද?
CHAPA
Feb 23, 2019

Saturday, February 16, 2019

ආදරණීය කාලෝ...

ඔබේ උපන් දිනය මාර්තු 4!
මේ සටහන ලියැවෙන සුන්දර උදෑසන වෙනකොට ඔබ ට වයස අවුරුදු 86 පිරෙන්න තව වැඩිදවසක් නැහැ! 
ඇත්තට 1933 කියන්නෙ කොච්චර ඈත දවසක් ද! 
ඔබ දිගු ගමනක් ඇවිත්...
ඒත් ඔබ තරුණයි!
ආදරණීය කාලෝ...
මේ සටහන හදිසියෙම තියන්න හිත බල කරන්නෙ, සෑහෙන දවසකට පස්සෙ දුර කථනය දිගේ ඊයෙ ආයෙත් ගලාගෙන ආපු ඔබේ සොඳුරු වදන් වලින් මගෙ හිත ඇවිස්සුණු නිසා.
ඔබ දන්නවද, මට මුළින් ම මහාචාර්‍යවරයෙක් පිළිබඳ අත් දැකීමක් ලැබුණෙ ඉස්කෝලෙ යන කාලෙ, 9 පංතියෙදි. 
දවසක් විද්‍යා විෂය උගන්වපු ගුරුවරය කියපු දෙයක් සැක කරමින් එක එක ප්‍රශ්න අහන්න ගිය වෙලාවක ඔහු මට කිව්වා, එහෙම නං ඔයා මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩගෙන් ඔය ගැන අහල දැන ගන්නකො කියල. ඔහු මට ඒ මහාචාර්‍යවරයගෙ ලිපිනයත් හොයල දුන්නා. මං ඔහු ට ලිව්වා, සතියක්වත් ගියේ නැහැ. ඉතා පැහැදිලි පිළිතුරු සටහනක් බහා ලූ ලිපියක් මට ආවා. ඒ මගෙ නම ට තැපෑලෙන් එන මුල් ම ලියුම. එදා මගෙ ළමා හිතට දැනුණු හැඟීම මහ අමුතු එකක්, තවම ඒ හිතේ සටහන එහෙම ම තියෙනවා. මගෙ විද්‍යා ගුරුවරයා කියපු කතාව ඒ විශෙෂ ලිපියෙන් තහවුරු වෙලා තිබුණා. ගුරුවරයාටත් හරිම සතුටුයි. 
අනේ මට මුණ ගැහුණු එහෙම ගුරුවරු! මට කවදාවත් මුණ නොගැහුණු එහෙම මහාචාර්‍යවරු!
ඊළඟ ට ඔබ, මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා!
අපේ ගුරුවරු හරහා ම තමයි මං ඔබ ගැන ත් දැන ගන්නෙ. සම්ප්‍රදායන් ට අභියෝග කරන දැනුම ජීවිතය කර ගත්තු අමුතු වීරයෙක් එදා මං මවා ගත්ත. ඔබ සහ ඔබේ ක්‍රියාකාරකම් ගැන උනන්දුවෙන් හොයන්නත් පටන් ගත්ත. 
කවද හරි මට ඔහු මුණ ගැහෙයිනෙ! ඒ ළමයා හිතුවා.
ඒත් මට ඔබ මුණ ගැහෙන්නෙ ඊට හුඟ කාලයකට පස්සෙ. ඒ  මැද දවසක ඔබ, ඔබේ නෑ පුතෙක් වූ විජය කුමාරතුංඟ ඝාතනය කරපු වෙලාවෙ කරපු හැඟුම් සහ හැඬුම් බර කතාව තවම මට ඇහෙනවා ඇහෙනවා වගෙ. 
ඉතිං කොහොම හරි, අපි මූණට මූණ මුණ ගැහෙන්නෙ හරියටම 2006 මාර්තු 8 වැනිද. මතකද, එදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙ තිබුණු සංවාදය, අන්තිමට අපි දෙන්නගෙ වාදයකට පෙරළුණු? එදා තමයි මට හරියටම දැනුණෙ ඔබ කොච්චර තරුණ ද කියල. මං කතා කරල ඉවර වෙනකොට ම ඔබ ඉද්ද ගැහුව වගෙ නැගිටල ඇවිත් මං ඔබ ට එරෙහිව ඉදිරිපත් කරපු අදහස් වලට එරෙහිව අදහස් ඉදිරිපත් කරපු හැටි! මං ඉතා ආසාවෙන් සහ උනන්දුවෙන් අත් වින්ඳා! ඊට පස්සෙ ආයෙ මං, ආයෙ ඔබ...
වැඩේ ඉවර වෙලා ඔබ මට සුභ පතමින් සමු ගත්තු හැටි! ඔව්! ඔබ ඉතා තරුණ සහ සොඳුරු මිනිහෙක්! අපි ඊට පස්සෙ වතාවක් හෝ දෙවතාවක් මුණ ගැහෙන්න ඇති. දුර කථනයෙනුත් හුඟාක් කතා කරල නැහැ. ඒත් මට දැනෙනවා අපි අතර හොඳ සියුම් අවබෝධයක් තියෙන වග. 
ඔබ, මං සහභාගි වන රූපවාහිනී වැඩ සටහන් නොවරදවා ම බලනවා කියන කොට වෙන කවුරු හරි කියනව වගෙ නෙවෙයි, හිත ට අමුත්තක් දැනෙනවා. ඒ ඔබ මහාචාර්‍යවරයෙක් නිසා නං නෙවෙයි, වෙන මොකද්ද එකක්.  මං කැමතිම, මං දැකපු දක්ෂම, මගෙ ප්‍රියතම...වගෙ ඒවා ඔබ කියනකොට නං, ඔන්න අර ඉස්කෝලෙ යන ළමයා ඇවිත් මගෙ පිට ට තට්ටු කරල අහිංසක විදිහට හිනා වෙන්න ගන්නවා. 
ඔබමට කතා කරනකොට මට ඇහෙන්නෙ කවි කියනව වගෙ, මෘදු වචන සහ ලයාන්විත උච්ඡාරණය මගෙ හිත මොහොතකට ගැට ගහල දානව වගෙ. 
ඒ අස්සෙ, ඔබ SAITM විරෝධී සිසු අරගලය ධෛර්‍යමත් කරන්න අසනීප තත්ත්වයනුත් තියාගෙන වාරු අරං ආව ගිය හැටි! ඒ අර්බුදය සම්බන්ධයෙන් ඔබ සමඟ මට වෙන ම අවුළක් තියෙනවා, ඔබ ත් ඒ ඛේදවාචකය නිර්මාණය කරන්න සම්බන්ධ වුණා නේද කියල. ඔබ සම්බන්ධ තවත් වෙන වෙන නොවිසඳුණු ප්‍රශ්න! 
ඒත් මේ, ඒ සංවාදය නෙවෙයි. 
අහ්! ඔබ ඊළඟ ට ඔබේ චණ්ඩි නෑ පුතා රංජන් රාමනායක සමඟ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ට සම්බන්ධ ඔහු ගෙ නඩුව වෙනුවෙන් උසාවිය පැත්තෙ කරක් ගහන හැටි! මොනව වුණත් ඒක වැඩක්, අවුරුදු අසූ ගණන්වලදි ඔහොම ධෛර්‍යයක්, ඔහොම 'ගටක්' සහ ඔහොම උවමනාවක්! 
මාරයි, මට නං! 
ආදරණීය කාලෝ! ඔබ හැමදාම තරුණයි! ඇත්ත, ඔබ කාලයේ මිනිසා තමයි...
ඒත්, රුදුරු තුරු වදුළේ තියුණු කටු අතරේ රෝස කුසුම ට පෙම් බඳින ආදරවන්තයා ට යි මං දැන් නං කැමති! 
ඔබ දන්නවාද, හිත ට කාන්සියක් එන වෙලාවට මං අහන්න පුරුදු වෙලා ඉන්න ගී අතර ඔබේ මුදුමතිය අනිවාර්‍යයෙන් ම මට මුණ ගැහෙනවා.
කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි!
ඔබේ ප්‍රේමවන්තියගෙ විතරක් නෙවෙයි, ඒ අපි හැමෝගෙම පොදු කතාව.
''පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමි!''
ආදරණීය කාලෝ...
ඉක්මනින් එළැඹෙන දවසක ඉතිං අපි හමුවෙමු!
ඔබට දිගාසිරි!
CHAPA
Feb 17, 2019
 






Wednesday, February 13, 2019

අරූන් ආවා!

ලෝකයෙ අනිත් රටවල මෙන් ම අපේ රටෙත්, පක්ෂ දේශපාලනය දඩ බිමක් සහ ඒ නිසාම ගොදුරු බිමක්!
විවිධ සිදුවීම් සහ පුද්ගලයන් එකිනෙකට සම්බන්ධ වන ''මේ දේශපාලනය'' සමඟ මුළු ලෝකයම ඓතිහාසික අර්බුද ගොන්නක හිරවෙලා - එකම ඛේදවාචකයක් බවට පත් වෙලා.
මේ පසුබිම තුළ තමයි ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් පවතින 'දේ' හරියට තේරුම් ගන්න පුළුවං.
මේ මොහොත වෙනකොට 'අපේ රට' ආර්ථික සහ දේශපාලන ඝාතකයන්ගෙ මර උගුළකට අහු වෙලා. ඊනියා ජාත්‍යන්තරය ප්‍රමුඛ බහු ජාතික සමාගම් සහ ඒවායේ තැරැව් කරුවන් රට පුරාම වැඩ. ඔවුන්, සියළු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් පිටි පස්සෙ දැන් හොල්මන් කරනවා. රටේ ප්‍රධාන දේශපාලන චරිත සියල්ලමත්, දැන සහ නොදැන ඔවුන් ගෙ ග්‍රහණයට ලක් වෙලා. 
ඒ අස්සෙ, තම පටු උවමනාවන් වෙනුවෙන් එකී ආර්ථික සහ දේශපාලන ඝාතකයන්ගෙ නියෝජිතයන් බවට පත් ව සිටින දෙමළ නායකයන් ට ගල් ගැසීමට තොරා ගෙන තිබෙන අළුත් ම සාධකය තමයි, අරූන්!
'අරූන්' නිෂ්පාදනය කරන කට්ටිය මේ උත්සහ කරන්නෙ ඔහු ලවා සම්ප්‍රදායික දෙමළ නායකයක් අවමානයට සහ ජනතා අප්‍රසාදයට ලක් කොට ඒ මතින් දෙමළ ඡන්ද ගොඩ වෙනත් පැත්තකට හරවා ගැනීම බව පැහැදිලියි!
එතකොට මේ අරූන් කියන්නෙ කවුද?
ඔහු ම කියන දේවල් අනුව, ඔහු යම් සංවිධානයකුත් හදාගෙන, උතුරේ දෙමළ ජනයා වෙනුවෙන් පෙනී හිටිනවා. ඔහු ට අනුව, දැනට ඉන්න දෙමළ නායකයො ඔක්කොම එකයි සහ ඔවුන් දෙමළ ජනයා රවට්ටනවා. ඒ අතරෙ, 2015 මහ මැතිවරණය සඳහා, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යාපනයෙන් තෝර ගන්න කණ්ඩායම තුළ මේ අරූනුත් ඉන්නවා. මේ ගැන පුබුදු ජාගොඩගෙන් ඇහුවම, ඔහු කිව්වෙ, ඒ කෙටි කාලය තුළ ඔහු තම පක්ෂය සමඟ වැඩ කෙරුවා සහ ඊට පස්සෙ ඔහු සහ පක්ෂය අතර කිසිදු ආකාරයක සම්බන්ධයක් නැහැ කියල.
අරූන්, හිරු සලකුණ හරහා කියපු විදිහට, ඔහු කුඩු ළඟ තබා ගැනීමේ වරදට මාස ගණනාවක් බන්ධනාගාර ගත වෙලා ඉඳල තියෙනවා. ඔහු කියන්න උත්සහ කරන්නෙ තමන් එහෙම කෙරුවෙ නැහැ වගෙ එකක්. මේ වැඩ සටහන ආසාවෙන් බලපු දන්න කියන කෙනෙක් කියනවා ඇහුණා, පොලිසිය ඔය ඕන තරං අහිංසකයො අල්ලගෙන කුඩු දාලා ඇතුළට දාන්නෙ! කියල. 
ඒ සියල්ල එහෙම ම තියෙද්දි, අරූන් කියන්නෙ 'මොකද්ද!' කියල අර හිරු සළකුණ වැඩ සටහනෙන් යම් මූලික අවබෝධයක් ගන්න පුළුවං. කොටින්ම ඊට සහභාගි වූ අනෙක් ආරාධිතයා වූ MK ෂිවාජිලිංඟම් සහ අපේ සාකච්ඡාවෙ කතා නායකයා -  අරූන්, අතර වෙනස කියවා ගැනීමෙන් තමයි ඒ අවබෝධය ගන්න පුළුවං.
ෂිවාජිලිංඟම් ට අවශ්‍ය, අර ඉස්සර වෙලා විස්තර කරපු තත්ත්වයන් ට අදාළ ව තම පැවැත්ම තහවුරු කර ගන්න. හිටපු, දැන් මේ ඉන්න හැම දෙමළ ජනතා නියෝජිතයාටම අවශ්‍ය එකම දේ, ඒක තමයි, ඔබ එතකොට අහයි සිංහල සහ මුස්ලිම් අය එහෙම නෙවෙයි ද කියල, එහෙම තමයි! කිසිම වෙනස නැහැ! ප්‍රශ්නය ඒක නෙවෙයි!
එවැනි දෙමළ නායකයන් ට අවිචාරවත් ලෙස අභියෝග කරමින් හදිසියෙම මාධ්‍ය තුළින් මතු වන අරූන් ට අවශ්‍ය කුමක් ද? කියන එක. ඔහු ට ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය බලය බෙදීම සහ ෆෙඩරල් ක්‍රමය වගෙ දේවල් ගැන විධිමත් දැනුමක් නැහැ කියන එක හිරු සළකුණේදි පැහැදිලි වුණා. වඩා භායානක, 'ආවා' නමින් උතුරේ අපරාධ කල්ලියක් නැති බව ඔප්පු කරමින් එහි ඇත්ත තත්ත්වය යටපත් කරල දාන්න, ඔහු ගන්ත උපක්‍රමශීලි වෑයම. එකී අපරාධ ක්‍රියාදාමය මෙහෙම හෑලුකර, හාස්‍යයෙන් බැහැර කරන්න ඔහු ට ඇති උවමනාව මොකද්ද? මොන නමින් වුණත් එකී කල්ලිය, කඩු ඇදගෙන මිනිස්සුන්ට කෲර ලෙස ප්‍රහාර එල්ල කරන බව කියන්න උත්සහ කරන ෂිවාජිලිංඟම්, යටපත් කරන මේ අරූන් නැමති පුද්ගලයා පෙරළා අහන්නෙ, ඔවුන් - එනම් එදා ෂිවාජිලිංඟම්ලා ප්‍රහාර සඳහා කඩු ඇද්දෙ නැද්ද? වගෙ කතාවක්. ''ටෙලෝ පටන් ගත්තෙ මල් පොකුරු අරන් ද?'' කියලත් ඔහු තම වැඩිහිටි දේශපාලන නියෝජිතයා ප්‍රශ්න කරනවා.
ඒ කියන්නෙ, අරූන් නැමැත්තා, කල්ලියේ නම මොකක් වුණත් ඒ ප්‍රචණ්ඩත්වය අනුමත කරනවා හෝ ඊට සම්බන්ධයි කියන එකද? ඒක සරල ප්‍රශ්නයක් ම නෙවෙයි!
ඔහු, තමා මුහුණ දුන් අධිකරණ ක්‍රියාදාමය ගැන කියූ සමහර කරුණු ඇත්ත තමයි. උතුරු - දකුණු වෙනසක් නැතුව ඒවා රට පුරාම එහෙමයි. lawyers ලා ගැන කියන කතාවත් අමුතු එකක් නෙවෙයි, ඒවා ඇත්ත! ඔන්න ඔය කෑලි අහුල ගන්න පොදු ජනයා බොහෝ විට අරූන් ට ආකර්ශන වෙන්න ඉඩ තියෙනවා. සමහරුන්ට දැනටමත් අරූන් උණක් වගෙ එකක් ඇවිත්. ඔහු, දෙමළ නායකයන්ට අපහාස කර කර, එහෙන් මෙහෙන් අල්ල ගත්තු අමුතු කෑලි සහ ඉංග්‍රීසි එහෙමත් ටිකක් දාන නිසා කෙනෙක් දෙන්නෙක් හිතන් ඉන්නවා, අරූන් තමයි රට බේර ගන්න ඉන්න අළුත් ම කෙනා කියලත්.
දේශපාලන දැනුම නැතුව ආගමික අර්ථයෙන් දේශපාලනය කරන අපේ බහුතරයට අන්තිමට වෙන්නෙ, ප්‍රශ්නය හරියට නොදැන ම වැරදි උත්තරයක් හොයා ගන්න එක. මේ සංවාදයට අදාළව නං ප්‍රශ්නය ෂිවාජිලිංඟම්ලා, ඒත් උත්තරය අරූන් නං නෙවෙයි!
මේ සටහන හදිසියෙ තියන්න හිතුවෙ, අරූන් කියන Political Project එක දිහා කල්පනාවෙන් බලාගෙන ඉන්න කියල, ඔබ ට කියන්න. නාගානන්ද කොඩිතුවක්කු ගැන ඔහු කරන වර්ණනාව ගැනත් සමහර විට අපට නැවත කල්පනා කරන්න වෙයි, අපි බලමු!
එකක් නං කොහොමත් පහැදිලියි, අරූන් තවත් එක දේශපාලන ගොදුරක් විතරයි! 
අවාසනාවන්ත ම තත්ත්වය තමයි, මිනී කන්ඳක් බඳු වූ යාපනය මත මේ මූසල වර්තමානය යළි ඉතිහාසය බවට පත් වෙමින් තියෙන එක...
CHAPA 
Feb 14, 2019

 


Monday, February 11, 2019

Fake මිනිස්සුන්ගෙ...

සමාජ මාධ්‍ය තමයි නූතන මානව ශිෂ්ටාචාරය තේරුම් ගන්න හොඳම මෙවලම.
ලෝකය පුරාම fake ගිණුම් කොහොම පාලනය කෙරුවත් පාලනය කර ගන්න බැරි වෙලා. මොකද fake සහ real අතර වෙනස ඉතා සියුම්. 
ලංකාවෙ මේ fake ලෙඩේ දැන් නිකං වසංගතයක් වගෙ. ලෙඩක් හෝ වසංගතයක් කිව්වට මේ ඊට ත් එහා යන සමාජ ව්‍යසනයක්. 
fake ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් හෝ කණ්ඩායම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන්. එකක්, විවිධ මානසික තත්ත්වයන් මත සහ අනෙක සංවිධානාත්මක වැඩ සඳහා. ඒ අතර එක විදිහක සහසම්බන්ධයකුත් තියෙනව. ඒ කියන්නෙ විවිධ මානසික තත්ත්වයන් නිසා තමයි අර සංවිධානාත්මක fake ලෝකය නිර්මාණය වෙන්නෙත්.
''විවිධ මානසික තත්ත්වයන්'' කියනකොට, කුඩා කල අතහැර දැමුණු බිඳුණු මානසික වට පිටාවක් නිසා පෞර්ෂය දුර්වල වීම වගෙ හේතු ප්‍රබලයි. එහෙම වැඩිහිටියෙක් බවට පත්වන පුද්ගලයෙක් අන්තිමට ඇත්ත සහ බොරු ලෝක අතර හුදකලා වෙන්න ඉඩ වැඩියි. එවැන්නන් මේ සමාජ මාධ්‍ය තුළ සැඟව තම මානසික උවමනාවන් සන්තර්පනය කර ගන්න ඉතා අසරණ උත්සහයන් ගන්න අවස්ථා සුලබයි. ලිංඟික ඊර්ෂ්‍යාව වගෙ ඉතා සියුම් මානසික සංකීර්ණ නිසා එවැනි තත්ත්වයන් වඩා දරුණු වෙනවා.
බලන්න! මේ සමාජ මාධ්‍ය හරහා කොච්චර අසභ්‍ය වචන, ඒ කියන්නෙ සාමාන්‍ය සමාජය තුළ පරිහරණය නොවන 'කුණුහරුප' හුවමාරු වෙනවද? එය අසාමාන්‍ය තත්ත්වයක්. හිතන්න, එහෙම දේවල් ලියමින් විඳින පුද්ගල මනෝ භාවයක් ගැන! 
ඊළඟට, සංවිධානාත්මක fake වැඩ වලට පහසු ගොදුරු බවට පත්වෙන්නෙත් එහෙම අය තමයි. මේ වෙනකොට fake ගිණුම් පවත්වාගෙන යන 'ඒජන්සිස්' හෙවත් ව්‍යාපාරික ආයතන ත් බිහිවෙලා නිසා වැඩේ සංකීර්ණයි. එහෙම ආයතන වලට, පෞර්ෂය තුළ අවතැන් වූ එහෙම පුද්ගලයන් කුලියට අරගෙන තම තමන්ගෙ ව්‍යාපෘති සාර්ථකව දියත් කරන්න ලේසියි. ඒ ව්‍යාපෘති අතර පක්ෂ දේශපාලන වැඩ, විශේෂයෙන් ම මැතිවරණ ඉලක්ක සපුරා දීම විශේෂයි. ඒ අස්සෙ ප්‍රතිමල්ලවයන් ට මඩ ගසා සමාජ අවමානය ට පත් කිරීමේ කොන්ත්‍රාත් වැඩියි. ඒවා බොහෝ විට අතිශය පුද්ගලික මට්ටමටම යන නිසා ඒ ඒ පුද්ගල ජිවිතවලට මාරාන්තික විදිහට බලපානවා. 
ඒ වගේම කෙනෙකුගෙ දේශපාලන මතයක් සමාජගත වීම වළක්වන්න ත් මේ ක්‍රමය යොදා ගන්නවා, ඒවා නිකං හරියට, යම් කථිකයෙක් සභාවක් අමතන අතරෙ කෙනෙක් දෙන්නෙක් යොදවලා හූ කියවනව වගෙ වැඩ. 
එක දිගටම, යම් ඉලක්ක ගත පුද්ගලයෙකුට සභ්‍ය හෝ අසභ්‍ය comments දාමින් දැඩි මානසික පීඩනයක් එල්ල කිරීමවගෙ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් තමයි, ඒ අතර වඩා සුලබ.
ඊට අමතරව නීත්‍යානුකූල මෙන්ම නීති විරෝධී විවිධ ව්‍යාපාරික අරමුණු සඳහා ත් මේ fake ව්‍යාපෘති දියත් කෙරෙනවා. 
සමහර පුද්ගල පළි ගැනීම් තවත් පැත්තක! 
අපට මේ අයහපත් සමාජ ප්‍රවණතාව මග හරින්න බැහැ, හේතුව තරුණ පරම්පරාව විතරක් නෙවෙයි ළමා පරම්පරාවත් මේ සමාජ වසංගතයෙන් පරිහාණිය කරා ගමන් කරනවා, විශේෂයෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්. එතකොට කාටවත් ජීවත් වෙන්න සමාජයක් ඉතුරු වෙන්නෙ නැහැ!  
fake මිනිස්සුන්ගෙ fake සමාජයක්! 
CHAPA
Feb 12, 2019 

Sunday, February 10, 2019

ඒත් එතකොට උදුල්...


සංවිධානාත්මක අපරාධ සඳහා කාලයක් තිස්සේ අත් අඩංඟුව ට ගැනීමට නියමිතව සිටි මාකඳුරේ මධූෂ් ඇතුළු තවත් පිරිසක් ඩුබායි පොලිසිය සහ අධිකරණය අතර කොටු වී සිටින ප්‍රවෘත්තිය මේ වනවිට අපේ රටේ විවිධ උණුසුම් ප්‍රවෘත්ති, අමුතු කතා සහ තවත් කට කතා නිර්මාණය කරමින් තියෙනවා. 
සමාජ මාධ්‍ය පුරාමත් ඒවා තටු ලැබ පියාඹන බව පේනවා. 
මේ අතර තුර, මාකඳුරේ මධූෂ් ට සම්බන්ධ බව කියන තවත් විවිධ පුද්ගලයන් රටේ තැන් තැන් වලින් අත් අඩංඟුවට ගන්න බවත් මාධ්‍ය වාර්තා කරනවා. ''ජනාධිපති මෛත්‍රී, පොලීසිය අතට අරගෙන කුඩු ජාවාරම ඉවරම කරනවා!''වගෙ කතාවක් ඒ අස්සෙ. ඒ කියන්නෙ, පොලීසිය ට මෙච්චර කල් වැඩ කරන්න දීල නැහැ, දැන් ඉතිං කිසිම බාධාවක් නෑ! කුඩු කාරයො ඉවරයි! වගෙ කතාවක්. ''කාටද මේ ජයග්‍රහණයෙ සම්මානය?'' තවත් අය අහනවා.
සිදුවන සියල්ල දකිනකොට පේන්නෙ නං මේ, ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගත්තු සංවිධානාත්මක ව්‍යාපෘතියක් කියල. ඒත් එහෙම ස්ථිර නිගමනයකට එළැඹෙන්න තවම කල් වැඩියි. අපි සීරුවට බලාගෙන ඉම්මු!
ඒ අතර අපේ අවධානය යොමු කරන්න ඕන තවත් පැති ගණනාවක් තියෙනවා. අමල් පෙරේරා සාධකයක් විදිහට ඉලක්ක කරගෙන ''නම නොදන්නා හීනයට ඉඩ දෙන්න...'' කියන සංවාදය ගොඩ නගන්න උත්සහ කරන්නෙ ත් අන්න ඒ අනුව. 
ඔව්! ඒ සංවාදය ඔබට දිගටම විවෘතයි! 
තවත් උණුසුම් ප්‍රශ්නයක් කරළියට ඇවිත් ඒ අව් අස්සෙ.  නිරෝෂන් ප්‍රේමරත්න මංත්‍ර්‍රිවරයා ට මාකඳුරේ මධූෂ් විශාල වශයෙන් මුදල් ලබා දී තියෙනවා ද? ඔහු තම ව්‍යාපාර කටයුතු ආරම්භ කරල තියෙන්නෙ ඒ අපරාධ මුදල් වලින් ද? ඒ ප්‍රශ්නය ත් ඉතාම බරපතළයි. හේතුව මේ සංවිධානාත්මක අපරාධවලට දේශපාලන බල අධිකාරිය සම්බන්ධ බව අනිවාර්‍ය වුණත් එවැනි සම්බන්ධතා ලේසියෙන් හෙළිදරව් වෙන්නෙ නැහැ. නිරෝෂන් ප්‍රේමරත්න දැන් කියන්නෙ, පහත් තැනින් ජලය ගලා බහින කතාවක්. ඒ කියන්නෙ තව කට්ටිය ඉන්නවා, ඒත් තමා සමාජ තත්ත්වයෙන් ටිකක් පහළ නිසා අන්තිම ට තමන් විතරක් බිල්ලට අහුවෙලා කියන එකද? එහෙම නං ඊ ළඟ ට ඔහු හරහාත් සංකීර්ණ සාකච්ඡාවක් ගොඩ නැගෙන්න නියමිතයි. 
ලක්ෂ්මන් යාපා අබේ වර්ධන සහ ඔහුගෙ පුත්‍රයාගෙ නමත් මෙතැනට ගෑවෙනවා, ඒ සාධකත් දැන් මග හැර යන්න බැහැ.
අහ්! එතකොට අර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බල පත්‍ර්‍ය! ඒ ප්‍රශ්නය තවම එහෙමමයි!
මේ සටහන තියන්න ප්‍රබලම හේතුව ඒ එකක්වත් නෙවෙයි!
අදාළ සිදුවීම් ගලාගෙන යන අතරෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ, මේ අපරාධ පසුබිම ගැන මාධ්‍ය ඉස්සරහ කරුණු පැහැදිලි කරන හැටි බොහෝ මාධ්‍ය වාර්තා කෙරුව. කුඩු ඇතුළු මේ සංවිධානාත්ම අපරාධ සඳහා දේශපාලන සම්බන්ධතා තියෙන බව තම පක්ෂය දිගින් දිගටම කියමින් ඉන්න බවත් දැන් ඒවා ඔප්පු වෙමින් තියෙන බවත් තමයි ඔහු කිව්වෙ. ඒ කතාව හරිනෙ! ඔවුන් වමේ (?) පක්ෂයක් විදිහට අපරාධ සිදුවන සමාජ වට පිටාව පිළිසකර කරන්නනෙ හදන්නෙ. ඒ සඳහා ධනවාදය තුළ උත්තරයක් නැති බවත්, උත්තර හොයා ගන්න පුළුවන් වමේ බලවේග එකතු කිරීමෙන් පමණක් බවත් තමයි ඔවුන් දිගටම කියන්නෙ. ඒ කතාව න්‍යායිකව හරි වුණත්, න්‍යායිකව මෙන් ම ප්‍රායෝගිකව ත් ඔවුන් එතැන නැහැ කියන චෝදනාව තමයි මං වරින් වර එල්ල කරමින් ඉන්නෙ. දැන් මේ කතාව ත් ඒ සංවාදය ට අදාළයි.
අද මාධ්‍ය වාර්තා කෙරුවා, ඩුබායි අත් අඩංඟුවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඩුබායි අධිකරණයෙ පෙනී හිටින්න නීතීග්න උදුල් ප්‍රේමරත්න සහ තවත් කවුද කට්ටියක් එහෙ ගියා කියල. උදුල් ප්‍රේමරත්න විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල හරහා ජවිපෙ සහ දැන් පෙරටුගාමි සමාජවාදී දේශපාලනය කරන ඉදිරි පෙළ සාමාජිකයෙක්. SAITM විරෝධී අරගලයෙදි මට ත් ඔහු මුණ ගැහුණා, ඊ ළඟ ට රුහුණු විශ්ව විද්‍යාලයෙ සවාදයකදි, විදර්ශන කන්නන්ගර එක්ක, අපි තුන් දෙනා. ඒ විඩියෝව YouTube ගිහිං CHAPA at Universities, Ruhuna...කියල ඔබ ට දැන් වුණත් බලන්න පුළුවන්. 
දැන් මතුවන ප්‍රශ්නය ඉතා බරපතළ වගෙම සංකීර්ණයි! 
නීතීග්නවරයෙක් හැටියට, තම වෘත්තීය සීමාවන් තුළ උදුල් ප්‍රේමරත්න ට ඕනම පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් අධිකරණයක් ඉදිරියෙ පෙනී හිටින්න අයිතිය තියෙනවා. වරදක් වෙනුවෙන් නීතියට හසුවන ඕනෑම පුද්ගලයෙකුටත් අවශ්‍ය නීතීග්න සහය ලබා ගන්න ඒ හා සමාන අයිතියක් තියෙනවා, ඒ ගැන තර්කයක් නැහැ!
ඒත් එතකොට උදුල්...
ඒත් අපි කොහොමද මේ සංකීර්ණ තත්ත්වය කියවා ගන්න ඕන?! පුබුදු, මං ඔබෙන්ම අහන්නං! මොකද්ද ඔබේ පැහැදිලි කිරීම?
පවතින ප්‍රජාතන්ත්‍රවාදය තුළ හෝ යෝජිත සමාජවාදය තුළ මේ සංකීර්ණ ප්‍රශ්නය විශ්ලේෂණය කර ගැනීම අතිශය වැදගත් සහ තීරණාත්මකයි.
දැනට මේ ඇති! 
එන්න අපි විධිමත් විදිහට මේ සංවාදය ගොඩ නගමු!
CHAPA
Feb 10, 2019 
Note - පුබුදු ජාගොඩ මේ දැන් දුරකථනයක් කතාකොට, උදුල් ප්‍රේමරත්න 2013 සිට තම පක්ෂය සමඟ සම්බන්ධ නැති බව දන්වා සිටි අතර ඔහු තවමත් තම පක්ෂයේ මිතුරෙක් බව ද පැහැදිලි කෙරුවා! 
(Feb 11, 2019, 10. 30 am ) 



   

Thursday, February 7, 2019

නම නොදන්නා හීනයට ඉඩ දෙන්න

අමල්! ඔබ මේ වන විට තවත් කණ්ඩායමක් එක්ක ඩුබායි පොලිස් අත් අඩංගුවේ ඉන්න බව මාධ්‍ය වාර්තා හරහා දැන ගත්තා. ඒ,  මාකඳුරේ මධූෂ් නම් වූ කුප්‍රකට මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවාගෙ සාදයකට සහභාගී වී සිටියදී බවත් කියැවෙනවා.
මේ සටහන ලියැවෙන්නෙ, ඒ සිදුවීම් මාලාව ගැන නෙවෙයි. ඔබ ඒ සාදයට ගියේ දැනගෙනද නැද්ද? ඔබ ඒ මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ද නැද්ද? වගෙ ප්‍රශ්න සඳහා උත්තර හොයන්නත් නෙවෙයි.
ඔබ, ජවිපෙ සමඟ සම්බන්ධයක් තියෙනවද නැද්ද? කියන සමාජ මාධ්‍ය කතා ගැන ත් දැනට මගෙ විශේෂ උනන්දුවක් නැහැ.
මගෙ කල්පනාව වෙන පැත්තක!
ඔබ ඇත්තට ම දක්ෂයෙක්. ඔබේ හඬ සහ ගායන විලාශය අපූරුයි. ඔබේ පියා, මර්වින් පෙරේරා ගෙ හඬ පෞර්ෂය සමඟ පෑහුනත් ඔබේ හඬ ඔබ ට අනන්‍යයයි. ඔබේ සංගීත දැනුම සහ විවිධ පර්‍යේෂණාත්මක අත් හදා බැලීම්හරහා ඔය''අමල් පෙරේරා'' ගොඩ නැගුණා කියලයි මම තේරුම් ගන්නෙ. ඒ වගේම ජනප්‍රිය මාධ්‍ය, විශෙෂයෙන් ම රූපවාහිණී නාලිකා ඔස්සේ ඔබ සෑහෙන ජනප්‍රියත්වයක් අත් පත් කරගෙන තියෙනවා. කොටින් ම ඔබ දැන් ලාංකේය සංගීතය තුළ වෙනම ලකුණක්.
ඒත්, සමහර දක්ෂ සහ ජනප්‍රිය ශිල්පීන් සෑහෙන ප්‍රමාණයක් වගෙම, ඔබ ත් ඔබ හඳුණා ගත්තෙ නෑ කියලයි, මං නං හිතන්නෙ. ඒ කියන්නෙ ජීවිතය හරියට කියවා ගන්න ඔබ අපොහොසත් වුණා, ඒ අනුව ඔබ හිතු මතේ ජීවිතයක් ගත කරන්න ගත්ත කියල මං අනුමාන කරනවා. ඒ අනුමානය ට විවිධ තොරතුරු සහ එක එක කරුණු ගණනාවක් සම්බන්ධයි. ඒවා ගැන දිගට කතා කරන එකේ තේරුමක් නැහැ. 
ඊ ළඟ ට, මං මෙහෙම ලියාගෙන යනකොට කෙනෙක් අහන්න ඉඩ තියෙනවා, මොකද මේ අනිත් අයගෙ පුද්ගලික දේවල් හොයන්නෙ, ඔබ ට එහෙම අයිතියක් තියෙනවද කියල. ඔබ වුණත් එහෙම අහන්න බැරි නැහැ. ඒ ප්‍රශ්න සාධාරණයි. ඒත් අමල් පෙරේරා හෝ වෙන යම් ඕනෑම කලා කරුවෙක් අවසන් විග්‍රහයෙදි පොදු වස්තුවක් බවට පත් වෙනවා. එතකොට පුද්ගලික - පොදු බෙදීම අභියෝගයට ලක් වෙනවා. 
අන්න ඒ හරියෙදි තමයි මං මේ සංවාදය ගොඩ නගන්නෙ!
ලෝකය පුරාම සහ ඉතිහාසය පුරාම වගෙ, ඉතා දක්ෂ කලා කරුවන් හදිසියෙ පිපිලා හදිසියෙ පර වෙලා යන අවස්ථා එමටයි. ඒ දුක්බර ගමනාන්තවලට විවිධ හේතු බලපානවා. ඒ අතර ජීවිත කළමණාකරණය කර ගැනීමේ නොහැකියාව ඉතා පොදුයි. එහෙම වෙන එක ඒ ඒ ශිල්පීන්ගෙ පුද්ගලික ජීවිතවල ප්‍රශ්නයක් වුණාට, එය ඒ ඒ කලාකරුවන් විඳින සහෘදයන් ට කරන ලොකු අසාධාරණයක් කියල මං යෝජනා කරනවා. 
මොකද ඔබ ඇතුළු කලා කරුවන් ඔබ ඔබ ට වඩා අයිති ඔබ වැන්නන් විඳින සමාජයට. එහෙම ගත්තොත්, ඔබ ට මීට වඩා වැඩි වගකීමක් තියෙනවා තම පැවැත්ම ගැන. පොදු ජන සමාජයත් කලකරුවන් ආරක්ෂාකරන පිළිවෙතක් අනුගමනය කරන්න ඕන වෙනවා ඒ අතරෙ. 
උදාහරණයක් විදිහට තමන් ආදරය කරන කලා කරුවන්, මත් පැන් සහ මත් ද්‍රව්‍ය සඳහා පොළඹවන්න සමාජය ට කිසිම අයිතියක් නැහැ. මං මීට කලිනුත්  අන්තර්ජාලය ඔස්සේ මේ විදිහෙම සටහනක් මුදා හැරියා, ඉතා දක්ෂ සගීත වේදියෙකුට, යන යන ප්‍රසංග වලදි හොඳට ම බොන්න දෙන තත්ත්වයක් මුල් කරගෙන. ඔබ ට මතක ද? ඊටත් ඒ ශිල්පියා ඉන්නෙ බීම කොහෙත්ම නොකළ යුතු අසනීප තත්ත්වයක. ඔහුගෙ සමීපතයන් දැන දැන එහෙම කරන එක මොන තරම් අපරාධයක් ද?
මේ සේරම කතා සමහර විට ඔබ ට අදාළ නැතුව ඇති. ඒත් දැන් ඔය හිරවීම, විරාමයක් විදිහට අරගෙන ජීවිත යළි කියවන්න උත්සහ කරන්න. ඔබ යා යුතු මග ඕකද? හිතන්න පටන් ගන්න.  
මට වරක් දෙවරක් ඔබේ පියා, මර්වින් පෙරේරා මුණ ගැහිල තියෙනවා. එක කාලයක් මට ගී පද රචනා පිස්සුවක් හැදිල තිබුණා. ඔබෙ පියාගෙන් සංගීතය ඉගෙන ගනිමින් හිටපු මගෙ යාළුවෙක් එක්ක ඔබේ මහ ගෙදර ට ගිහිං, එහෙම කුරුටු ගාපු ගී රචනාවක් ඔහුටත් දුන්නා දවසක්. ඔබේ පියා ට එදා ඔබ මට හඳුන්වා දෙන්න හොඳටම උවමනාව තිබුණත් ඔබ ඒ අහලක පේන්න හිටියෙ නැති නිසා එහෙම වුණේ නැහැ,  අපි ඉතිං එකිනෙකා මග හැරුණා.
කෙටියෙන් මෙච්චරයි!
ඔබේ ගී අහන්න මං ආසයි!
''හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක් ද මේ හිත කීවා...''
ඒ ගීතය තුළ මම නැවතිලත් ඉන්නවා, ඔබ දන්නවද?
ඒ ගීතයෙ මැද කොටස ඉවර වෙන්නෙ...
''නම නොදන්නා හීනයට ඉඩ දෙන්න!''
ඒත් අමල්!  මං දැනට මෙහෙම කියන්නං!
''නම නොදන්නා හීන වලට ඉඩ නොදෙන්න!''
CHAPA
Feb 8, 2019


 

 





Wednesday, February 6, 2019

ගමේ වින්කලේ!

බත්තරමුල්ල පැත්තෙන් එනකොට මාලබේ නගරය ට පෙර හම්බ වෙන තලාහේන හංදිය ට වමෙන් වැටෙන අතුරු පාරෙ ළඟම තියෙන හංදියෙ තමයි මේ 'වින්කලය' දකින්න ලැබෙන්නෙ.
වින්කලය කියන පදය කොහොම ආවත් ඒ නම කියනකොටම ගම්වල මිනිස්සු දන්නවා ඒ මොකද්ද කියල.
පා පැදි හෙවත් පුස් ( පුෂ් ? ) බයිසිකල් හදන තැන තමයි වින්කල් එක! වින්කලය!
ගම්වල විතරක් නෙවෙයි නගර අවටත් තැන් තැන් වල තියෙන මෙහෙම තැන් වලට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. වැඩ ත් ඕන තරං. 
පා පැදිය කියන්නෙ, දුප්පතා ගෙ හිතවතා! කියලනෙ ජන වහරට පුරුදු. ඔව්! මේ වෙනම සමාජ තීරුවකට අදාළ කතාවක්. ඒත් පොදු කතාවක්,
ළගදි දවසක් මං මගෙ පා පැදිය 'සර්විස්' කර ගන්න තලාහේනෙ මේ තැන ට  ආවා. මං නමින් දන්නෙ නැති මේ ශිල්පියා, ඒ කියන්නෙ වින්කලේ හිමිකරු, ඉතා ම දක්ෂ විදිහට තමන්ගෙ රාජකාරිය කරගෙන යන හැටි මං උනන්දුවෙන් බලාගෙන හිටියා. ඔහු ඇත්තටම ''බයිසිකල් ලවර්'' කෙනෙක්.
ඒ කියන්නෙ පා පැදි ආදරවන්තයෙක්!
විවිධ වයස්වල පිරිමි, ළමයි, අම්මලා තාත්තලා එක්ක බබාලා මෙතැනට එනවා තම තමන්ගෙ බයිසිකල් හදා ගන්න, සර්විස් කර ගන්න. මේ ශිල්පියා ඉතා සීරුවට සහ වගකීමෙන් ඒ ඒ ප්‍රශ්න විසඳන හැටි මං සෑහෙන වෙලා බලාගෙන හිටියා. ළමයින් ට සහ බබාලාට ඔහු මැජික් කාරයෙක් වගෙ. ඇයි මේ ටිකකට කලින් ලෙඩ වෙලා තිබ්බ පුංචි බයිසිකල් යාළුවා ට දැන් හොඳටම හොඳයිනෙ, එකයි!
ඒ අස්සෙ, එතැනින් යන එන ත්‍රී රෝද රථ, යතුරු පැදි, අත් ට්‍රැක්ටර්ස් සහ පුංචි ලොරි එහෙමත් පැච් එකක් දා ගන්න, ඇණයක් තද කර ගන්න හෝ වෙන මොකක් හරි පොඩි වැඩක් කරගන්න මෙතැන ට එන්න පුරුදු වෙලා. ඒ කවුරු කවුරුත් වැඩි කතා බහ නැහැ, පුරුද්ද ට වගෙ වැඩ ටික ඉක්මනට කෙරෙනවා.  ඒ කියන්නෙ බහු කාර්‍යයන් සාර්ථකව කරන ''අපේ ගමේ ශිල්පියෙක්''!
ඔන්න ගෙදරක හදන කෑම මොනවා හරි අරගෙන වෙළඳාමෙ යන මැදි වයසෙ කාන්තාවක් එනවා. ම්ම්ම්...ඔහු ඇයගෙන් කෑමට යමක් මිලදී ගන්නවා. එතකොටම අසනීප පෙනුමක් තියෙන වියපත් පුද්ගලයෙක් වින්කලය ඉස්සරහ හිටගත්තා, අපේ කතා නායකයා උඩ සාක්කුවෙන් ඇදල ගත්තු  මුදල් නෝට්ටුවක් ඔහුගෙ අත තියලා ආයෙත් වැඩ ට බැස්සා. අර අසරණ පුද්ගලයා වින්කලය ට කෘත ගුණ බැල්මක් දාලා හෙමින් හෙමින් යන්න ගියා. මේ සිද්ධි වෙනදටත් මෙහෙම ම වෙනවා ඇති! මට හිතෙනවා.
''අයියා! මේ අර සල්ලි...ඊයෙ මට දීලා යන්න බැරි වුණා...''
තවත් පුද්ගලයෙක් හති දාගෙන ඇවිත් එතකොට ම වගෙ මේ ශිල්පියාට පරණ ගනු දෙනුවක් බේරනව. ''වැඩේ හරි නෙ, ආයෙ අවුලක් වුණේ නෑනෙ?''  ශිල්පියා මද සිනහවකින් ඔහු ට සමු දෙනවා.
එක එක මිනිස්සු, එක එක සිදුවීම්, එක එක ගනු දෙනු, වෙනස් මානව සම්බන්ධතා, පොදු මුදල් සංසරණය...
මේ එතකොට එක විදිහක ගමේ මෙහෙයුම් මධ්‍යස්ථානයක්!
සුළු පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන් මේ විදිහට කොච්චර ලොකු වැඩ කොටසක් රට වටේ කරමින් ඉන්නවාද?! 
මං හිතන්න පටන් ගන්නවා.
මෙගා පොලිස් දවල් හීන අස්සෙ අප ට මග හැරෙන, මහ පොළොවෙ මේ යථාර්ථය ලාංකිකයන් හැටියට අපට මෙහෙම අමතක කරන්න පුළුවං ද? 
මේ වැඩකරන අපේ ම මිනිස්සු රටේ පොදු සමාජ දේහය පවත්වාගෙන යන්න කරන කාර්‍යභාරය නිවැරදිව තක්සේරු කර ගන්න, පාලකයන් සමත් නං මේ ශිල්පීය ශ්‍රම බලකාය ආරක්ෂා කරගනිමින් පෝෂණය කරන්න, මොන තරං නං දේවල් පහසුවෙන් කරන්න පුළුවං ද? කරන්න ඕන ද?
කෝ මේ ග්‍රාම සේවකලා? කෝ මේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාල නිලධාරීන්? කෝ මේ අර නිලධාරීන් - මේ නිලධාරීන්? අහ්! ප්‍රාදේශීය සභා සෙට් එක! කෝ? පළාත් සභා ඡ්න්ද නැති එකමයි කාරිය! 
ගම පවත්වාගෙන යන්නෙ මෙහෙම වැඩ කරන සමාජ තීරුව, ඒ මදිවට අර කමකට නැති නිලධාරි රොත්ත බුරුත්ත නඩත්තු කරන්න වෙන්නෙත් මේ පොදු ශ්‍රම බලකායටමයි. පුදුම සමාජයක්!
අපි යන මේ පාර වැරදියි! මං කල්පනා කරනවා.
''මහත්තයා, වැඩේ හරි! මොනව හරි තිබුණොත් ආයෙ ගේන්න...ටක් ගාලා කරල දෙන්නං!''
අපේ කතා නායකයා එහෙම කියනකොට මං ඒ මූණට එබුණා.
''අපේ බොරු නෑ මහත්තයා!''
ඒ, එවිට ඔහු නොකියූ සහ මට ඇහුණු කතාව!
CHAPA
Feb 7, 2019