Saturday, February 16, 2019

ආදරණීය කාලෝ...

ඔබේ උපන් දිනය මාර්තු 4!
මේ සටහන ලියැවෙන සුන්දර උදෑසන වෙනකොට ඔබ ට වයස අවුරුදු 86 පිරෙන්න තව වැඩිදවසක් නැහැ! 
ඇත්තට 1933 කියන්නෙ කොච්චර ඈත දවසක් ද! 
ඔබ දිගු ගමනක් ඇවිත්...
ඒත් ඔබ තරුණයි!
ආදරණීය කාලෝ...
මේ සටහන හදිසියෙම තියන්න හිත බල කරන්නෙ, සෑහෙන දවසකට පස්සෙ දුර කථනය දිගේ ඊයෙ ආයෙත් ගලාගෙන ආපු ඔබේ සොඳුරු වදන් වලින් මගෙ හිත ඇවිස්සුණු නිසා.
ඔබ දන්නවද, මට මුළින් ම මහාචාර්‍යවරයෙක් පිළිබඳ අත් දැකීමක් ලැබුණෙ ඉස්කෝලෙ යන කාලෙ, 9 පංතියෙදි. 
දවසක් විද්‍යා විෂය උගන්වපු ගුරුවරය කියපු දෙයක් සැක කරමින් එක එක ප්‍රශ්න අහන්න ගිය වෙලාවක ඔහු මට කිව්වා, එහෙම නං ඔයා මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩගෙන් ඔය ගැන අහල දැන ගන්නකො කියල. ඔහු මට ඒ මහාචාර්‍යවරයගෙ ලිපිනයත් හොයල දුන්නා. මං ඔහු ට ලිව්වා, සතියක්වත් ගියේ නැහැ. ඉතා පැහැදිලි පිළිතුරු සටහනක් බහා ලූ ලිපියක් මට ආවා. ඒ මගෙ නම ට තැපෑලෙන් එන මුල් ම ලියුම. එදා මගෙ ළමා හිතට දැනුණු හැඟීම මහ අමුතු එකක්, තවම ඒ හිතේ සටහන එහෙම ම තියෙනවා. මගෙ විද්‍යා ගුරුවරයා කියපු කතාව ඒ විශෙෂ ලිපියෙන් තහවුරු වෙලා තිබුණා. ගුරුවරයාටත් හරිම සතුටුයි. 
අනේ මට මුණ ගැහුණු එහෙම ගුරුවරු! මට කවදාවත් මුණ නොගැහුණු එහෙම මහාචාර්‍යවරු!
ඊළඟ ට ඔබ, මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා!
අපේ ගුරුවරු හරහා ම තමයි මං ඔබ ගැන ත් දැන ගන්නෙ. සම්ප්‍රදායන් ට අභියෝග කරන දැනුම ජීවිතය කර ගත්තු අමුතු වීරයෙක් එදා මං මවා ගත්ත. ඔබ සහ ඔබේ ක්‍රියාකාරකම් ගැන උනන්දුවෙන් හොයන්නත් පටන් ගත්ත. 
කවද හරි මට ඔහු මුණ ගැහෙයිනෙ! ඒ ළමයා හිතුවා.
ඒත් මට ඔබ මුණ ගැහෙන්නෙ ඊට හුඟ කාලයකට පස්සෙ. ඒ  මැද දවසක ඔබ, ඔබේ නෑ පුතෙක් වූ විජය කුමාරතුංඟ ඝාතනය කරපු වෙලාවෙ කරපු හැඟුම් සහ හැඬුම් බර කතාව තවම මට ඇහෙනවා ඇහෙනවා වගෙ. 
ඉතිං කොහොම හරි, අපි මූණට මූණ මුණ ගැහෙන්නෙ හරියටම 2006 මාර්තු 8 වැනිද. මතකද, එදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙ තිබුණු සංවාදය, අන්තිමට අපි දෙන්නගෙ වාදයකට පෙරළුණු? එදා තමයි මට හරියටම දැනුණෙ ඔබ කොච්චර තරුණ ද කියල. මං කතා කරල ඉවර වෙනකොට ම ඔබ ඉද්ද ගැහුව වගෙ නැගිටල ඇවිත් මං ඔබ ට එරෙහිව ඉදිරිපත් කරපු අදහස් වලට එරෙහිව අදහස් ඉදිරිපත් කරපු හැටි! මං ඉතා ආසාවෙන් සහ උනන්දුවෙන් අත් වින්ඳා! ඊට පස්සෙ ආයෙ මං, ආයෙ ඔබ...
වැඩේ ඉවර වෙලා ඔබ මට සුභ පතමින් සමු ගත්තු හැටි! ඔව්! ඔබ ඉතා තරුණ සහ සොඳුරු මිනිහෙක්! අපි ඊට පස්සෙ වතාවක් හෝ දෙවතාවක් මුණ ගැහෙන්න ඇති. දුර කථනයෙනුත් හුඟාක් කතා කරල නැහැ. ඒත් මට දැනෙනවා අපි අතර හොඳ සියුම් අවබෝධයක් තියෙන වග. 
ඔබ, මං සහභාගි වන රූපවාහිනී වැඩ සටහන් නොවරදවා ම බලනවා කියන කොට වෙන කවුරු හරි කියනව වගෙ නෙවෙයි, හිත ට අමුත්තක් දැනෙනවා. ඒ ඔබ මහාචාර්‍යවරයෙක් නිසා නං නෙවෙයි, වෙන මොකද්ද එකක්.  මං කැමතිම, මං දැකපු දක්ෂම, මගෙ ප්‍රියතම...වගෙ ඒවා ඔබ කියනකොට නං, ඔන්න අර ඉස්කෝලෙ යන ළමයා ඇවිත් මගෙ පිට ට තට්ටු කරල අහිංසක විදිහට හිනා වෙන්න ගන්නවා. 
ඔබමට කතා කරනකොට මට ඇහෙන්නෙ කවි කියනව වගෙ, මෘදු වචන සහ ලයාන්විත උච්ඡාරණය මගෙ හිත මොහොතකට ගැට ගහල දානව වගෙ. 
ඒ අස්සෙ, ඔබ SAITM විරෝධී සිසු අරගලය ධෛර්‍යමත් කරන්න අසනීප තත්ත්වයනුත් තියාගෙන වාරු අරං ආව ගිය හැටි! ඒ අර්බුදය සම්බන්ධයෙන් ඔබ සමඟ මට වෙන ම අවුළක් තියෙනවා, ඔබ ත් ඒ ඛේදවාචකය නිර්මාණය කරන්න සම්බන්ධ වුණා නේද කියල. ඔබ සම්බන්ධ තවත් වෙන වෙන නොවිසඳුණු ප්‍රශ්න! 
ඒත් මේ, ඒ සංවාදය නෙවෙයි. 
අහ්! ඔබ ඊළඟ ට ඔබේ චණ්ඩි නෑ පුතා රංජන් රාමනායක සමඟ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ට සම්බන්ධ ඔහු ගෙ නඩුව වෙනුවෙන් උසාවිය පැත්තෙ කරක් ගහන හැටි! මොනව වුණත් ඒක වැඩක්, අවුරුදු අසූ ගණන්වලදි ඔහොම ධෛර්‍යයක්, ඔහොම 'ගටක්' සහ ඔහොම උවමනාවක්! 
මාරයි, මට නං! 
ආදරණීය කාලෝ! ඔබ හැමදාම තරුණයි! ඇත්ත, ඔබ කාලයේ මිනිසා තමයි...
ඒත්, රුදුරු තුරු වදුළේ තියුණු කටු අතරේ රෝස කුසුම ට පෙම් බඳින ආදරවන්තයා ට යි මං දැන් නං කැමති! 
ඔබ දන්නවාද, හිත ට කාන්සියක් එන වෙලාවට මං අහන්න පුරුදු වෙලා ඉන්න ගී අතර ඔබේ මුදුමතිය අනිවාර්‍යයෙන් ම මට මුණ ගැහෙනවා.
කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි!
ඔබේ ප්‍රේමවන්තියගෙ විතරක් නෙවෙයි, ඒ අපි හැමෝගෙම පොදු කතාව.
''පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමි!''
ආදරණීය කාලෝ...
ඉක්මනින් එළැඹෙන දවසක ඉතිං අපි හමුවෙමු!
ඔබට දිගාසිරි!
CHAPA
Feb 17, 2019
 






No comments:

Post a Comment