Thursday, August 29, 2019

මොකුත් නෑ!

''ආ!...කොහොමද ඉතිං?''
ඔහු වෙනදා නැති ලීලාවකින් මට කතා කරන්න ගත්තා.
යන එන ගමන් හදිසියකට යමක් මිලදී ගන්න, මං යන එන කඩයක් මේ. ආයෙ මොකෝ හංගන්නෙ, බත්තරමුල්ලෙ!
කතා නායකයා කඩේ මුදලාලි!
''ඉන්නවා ඉතිං...මට මේ...,''
වැස්සකුත් ළඟ ළඟ එන නිසා කඩේට ගොඩ වුණු කාරණය  කියන්න මං ඉක්මන් කරනකොට, ඔහු කවුන්ටරයෙන් නැගිටලා වෙනදා නැති උනන්දුවකින් මං ළඟට ආවා.
''මේ දවස්වල මං ඔබ තුමාව නිතර දකිනවා ෆේස් බුක් එකේ...හෙ හේ...''
ඔහු ඇත්තටම හෙ හේ කියල හිනා වුණේ නං නැහැ, මං ඒ මද සිනහව මගේ කර ගත්තු විදිහ, මට පුරුදු එහෙමනෙ.
''එහෙමද? මං හිතුවෙ නැහැ ඔයත් ෆේස් බුක් ඉන්නවා කියලා...''
ටික කාලයක් වුණත් වරින් වර එක දිගට ඔහු දකින නිසා, මං හිතුවෙ ඔහු පාඩුවේ කඩේ බලාගෙන ඉන්න සාම්ප්‍රදායිය වැඩිහිටියෙක් කියලා. ඔහු ගෙ කවුන්ටරය උඩ බණ පොත් එහෙමත් මං නිතර දකිනව.
''මං ඕවා ගැන දන්නෙ නෑ මහත්තයා, උනන්දුවකුත් නෑ...දන්නැද්ද අපේ මේ ළමයි තමයි ඉතිං...''
ඔහු කියාගෙන යනවා. සාමාන්‍යයෙන් ඔහු, මාත් එක්ක මෙහෙම කතා බහ කරන්නෙ නැහැ. නිහඬ කෙනෙක්. 
''එහෙමද?''
මට දැන්  ඇති වෙමින් තියෙන්නෙ එක විදිහක කුතුහලයක්!
''මං එක දිගට බැලුවා මහත්තයාගෙ විඩියෝ වගයක්...''
''එහෙමද?''
''මරු!''
''මෙහෙමයි ඒක වුණේ...ඔයා මේ කඩේට නිතර නිතර එනවා දැකපු අපේ මේ ළමයෙක් තමයි...මේ...පෙරේදා හැන්දෑවෙ..,මේ අරයා නේද? කියලා මට පෙන්නුවේ...මටත් පුදුම හිතුණා...''
''එහෙමද?''
කඩේ මං හැර දැන් වෙන කවුරුවත් නෑ, ආපු වැඩෙත් අමතකයි, මං දැන් මුදලාලිගෙ ශ්‍රාවකයෙක්.
''මෙහෙමයි...ඒ වැඩ සටහන් හොඳයි...කම්මැලි නැතුව එක දිගටම බලන්නත් පුළුවං...මං මේ කල්පනා කෙරුවෙ...අද කාලෙ තාක්ෂණය කොච්චර දියුණුද කියලා...ම්ම්ම්ම්''
ඔහුගෙ මූණෙ පොඩි හීනි හිනාවකුත් ඇඳිලා.
''මහත්තයා මෙහෙ...එතකොට එයා එහෙ...ම්ම්ම්....මහත්තයා මෙහෙ මොනවද ඉතිං කරන්නෙ?''
ඔහු කතාව මැද්දෙන් ප්‍රශ්නයකුත් ඇහුවා.
''මං මොනවද කරන්නෙ? නේද...''
ඒ මං! හිත ඇතුළෙන්. ඒත් ඒ අස්සෙන් මුදලාලි අර කියපු ''...එතකොට එයා එහෙ...'' කියපු කෑල්ල ඉස්සි ඉස්සි ඇහෙන්න ගත්තා.
එතකොටම හෙල්මට් එකත් ඔළුවෙ දාගෙනම තරබාරු පුද්ගලයෙක් කඩාගෙන බිඳගෙන ඇවිත් බඩු වගයක් ඉල්ලන්න පටන් ගත්ත නිසා, මුදලාලි මට ආයාචනාත්මක බැල්මක් දාලා වෙලාව ඉල්ල ගත්තා. 
ඔන්න ඊට පස්සෙ...
''මෙහෙමනෙ මහත්තයා...ඒ විඩියෝවල මහත්තයා ඉතාම ලයාන්විත විදිහට තමයි ඒ කාන්තාවට ආමන්ත්‍රණය කරන්නෙ...මං කිව්වෙ අපේ හිත්වල...''
''අහ්!''මට කියවුණා. 
මුදලාලිගෙ මූණට දැන් පොඩි මනමාල පෙනුමකුත් ඇවිත්.
ඔහුගෙ ළමයි ඇවිත් ඔහුට පෙන්නුවා කියන විඩියෝ මොනවද කියල, ඔන්න මට දැන් තමයි තේරුම් යන්න ගත්තෙ.
''ඔයා ඒ විඩියෝ ටිකද දැක්කෙ එතකොට?''
මං විමසිල්ලෙන් ඔහුගෙ මූණට එබුණා.
''ඇයි මහත්තයා...වෙන මොනවා හරි වැඩ සටහන් එහෙම ඒකෙ තියෙනවද...?''
''නෑ, නෑ, ඒවා විතරයි,,,මං මේ නිකමට කිව්වෙ?''
''ඒකනෙ මං බැලුවෙ, නැත්තං ඒ ළමයි මට ඒවා පෙන්නනවනෙ...මහත්තයා මොනවද කරන්නෙ එතකොට...''
''මොකුත් නෑ!''
එතකොටම එළියෙන් ඇතුළට පැනගෙන ආපු මිනිස් හඬවල් කීපය නිසා, ඔහු විපරමෙන් ඒ පැත්ත බැලුවා, මගේ ඒ උත්තරයත් ඒ හඬවල් අතරෙ එහෙ මෙහෙ වුණා.
''මහත්තයා එක්ක මෙච්චර කතා කරනවා...මං මහත්තයාගෙ නමවත් දන්නෙ  නැහැනෙ...මහත්තයා එතකොට මොනවද කරනවා කිව්වෙ...මේ...අනේ මහත්තයා ඉන්න ටිකක්..''
ගැහැනු පිරිමි කීප දෙනෙක් අර කලින් හඬවල් පිටිපස්සෙන්ම  එක වර කඩේට ගොඩ වුණා, මුදලාලි  ඒ අස්සෙ පේන්නැතුව වගෙ ගියා. මං හෙමින් එළියට ආවා. ම්ම්ම්ම්....මං මොනවා ගන්නද කඩේට ආවෙ? 
මොකුත් නෑ!
ඈ! ඒ අර මුදලාලිට අන්තිමට දීපු උත්තරේනෙ. ම්ම්ම්ම්...කමක් නෑ, මේකටත් ඒක හරි!
මොකුත් නෑ!
CHAPA, Aug 30, 2019 





 
 



අවංක ගනු දෙනුවක්!

ඊයෙ මහ රෑ යාළුවෙක් එක්ක මං පාර අයිනෙ! ගමනක් ගිහිං එන ගමන්. වාහන ප්‍රශ්නයක් නිසා ඉක්මනට යා ගන්න විකල්ප ක්‍රමයක් ඕන. ඒ අස්සෙ පොද වැස්සක්!
''ඉන්න! මං ටක් ගාලා ටැක්සියක් හරි වීල් එකෙක් හරි ගෙන්නන්නං..'' යාළුවා ෆෝන් ස්ක්‍රීනය එහා මෙහා කරන ගමන් කිව්වා.
කිව්වත් වගෙ විනාඩි කීපයක් ඇතුළත ත්‍රී රෝද රථයක් අපි ඉස්සරහ. දැන් මං එනවා. පාර නිදහස් නිසා ගමනත් ඉක්මන්, සියල්ල හොඳින්.
'හරි!''
සන්සුන් වැදගත් ඉරියව්වකින් ත්‍රී රෝද රථය පදවාගෙන ආපු කඩවසම් තරුණයා පාර අයිනට වෙන්න ත්‍රී රෝද රථය නවත්වමින් හෙමින් කිව්වා.
''ඒ කියන්නෙ?''
''මෙතනට තමයි ලොකේෂන් දාලා තියෙන්නෙ...''
''අහ්! ඒ වුණාට මං තව ඉස්සරහට යන්න ඕන...අපි යං!''
මට හිනා, මං නෙ, මං යන්න ඕන ලොකේෂන් එක දන්නෙ.
''ලොකෙෂන් එක පෙන්නන්නෙ මෙතනනෙ...මේ!''
ඔහු තමා ඉදිරියෙන් රඳවා තිබෙන සමාට් ජංගම දුර කථන ස්ක්‍රීනයට එබීගෙන ඔළුවෙ ඉරියව් වෙනස් කරමින්, මටත් පෙන්නනවා. මේ ඇප් එකේ විදිහට තමයි ඉතිං අපි යන්නෙ! කියමින් ඔහු දැන් මං බහින කල් බලං ඉන්නවා.
''මේ...! ගාන 164/- යි....''
ඔහු ආයෙත් ඒ ජංගම දුර කථන ස්ක්‍රීනයට එබුණා.
''ඉතුරු දුරටත් මං ගෙවන්නං...අපි යං...''
''එහෙම බෑ! මං එහෙම ගියොත් ඒ ටිකට මට සල්ලි ගන්න බෑ! මේකෙ පෙන්නන ගාන තමයි...එතකොට මට පාඩුයි...ඒකයි!''
තරුණයා මගෙ මුණට අවංක බැල්මක් දාන ගමන් අහිංසක විදිහට කිව්වා.
''ඒක මාර වැඩක්නෙ...කෙනෙක් කොහොමද මේ විදිහට හදිසි ගමනක් යන්නෙ? අනෙක යන ගමන්...යන පැත්ත වෙනස් කරන්න ඕන වුණොත්? ඔයාල ඔය වැඩ කරන ඌබර් ද මොකද්ද කම්පැණියට කියන්නෙ නැද්ද....ඔය වගෙ ඇප් එකකින් දෙගොල්ලොම අපහසුතාවට පත් වෙනවා කියල?''
මං තවම බැස්සෙ නැහැ.
''ඒ වුණාට ඉතිං ඔය දුර ගියොත් මට මහත්තයාගෙන් සල්ලි නං ගන්න බෑ, එතකොට මට පාඩුයිනෙ...ඒකයි!''
දැන් ඒ හඬ ටිකක් සැර වේගන වගෙත් එනවා. කෝකටත් මං බහිනවා! තව පොඩි දුරනෙ. විනාඩි පහෙන් යන්න පුළුවං!
මං ඔන්න ඒකෙන් බැස්සා.
''මේ ඉතුරු සල්ලි!'' තරුණයා, මගෙ අතේ රුපියල් 6/- ක් තිබ්බා. 5/- කුයි රුපියලකුයි. මොකද මං දුන්නෙ 100/- ක්, 50/- ක්, 20/- ක්.
ගනු දෙනුව නං තිතට කෙරුණා.
අවංක ගනු දෙනුවක්!
පොද වැස්ස යට පය ඉක්මන් කරන ගමන් මං හිතුවා!
CHAPA, Aug 29, 2019

'චූඌඌඌඌ' ටි කතාවක්!

Image may contain: outdoor
මං යාළුවෙකුත් එක්ක මහරගම පැත්තෙන් බොරලැස්ගමුව පැත්තට යන්න පටන් අරං.
"මට චූඌඌඌටි අමාරුවක් තියෙනවා නිදහස් කර ගන්න.."
යාළුවා, වැහි වැටෙන එළිය දිහා රිය කවුළු වීදුරුවෙන් එබීගෙන කියනවා.
"ම්ම්ම්.. කොහේටද යන්නෙ?...නේද?"
ඔහු චූඌඌඌටි අමාරුවක්! කියල ඇඹරිච්ච විදිහට කාරණය තේරුම් ගත්තු මං දැන් වාහනය එළවන අතරෙ හෝටලයක් වගෙ තැනක් හොයනවා.
"කෝ...නෑනෙ අප්පා!"
යාළුවා කෙඳිරි ගානවා.
"ආආආ...මේ තියෙන්නෙ හෝටලයක්...!"
මං, මහරගම බොරලැස්ගමු පාරෙ හෝටලයක් ඉස්සරහ වාහනය අයින් කරන්න සිග්නල් දාන ගමං ඇස් වලිනුත් යාළුවාට පණිවිඩය දුන්නා.
"ෆුෂූඌඌඌඌඌ"
අහ්! පොලිසියෙන් මෙතන නවත්තන්න එපාලු! පොලිස් නලාවට අවනත වෙන අතරෙ මං හයියෙන් කිව්වා. ගහ අස්සෙ ඉන්නවා දැක්කෙත් නෑ! ඒ වචන නං මා තුළම, මටම.
"වෙන තැනක් බලමු!" වාහනය තව පාරට දාන අතරෙ මං කිව්වා. යාළුවා කතා නැහැ.
එහෙම කිව්වට එහෙම තැනක් හම්බ වුණේ නැහැ. ඊටත් වැස්ස.
"පාර අයිනෙ හරි මං කරනවා මේ වැස්ස නැත්තං...චිහ්!"
‍යාළුවාගෙ පුපුරු ගහන හඬ.
"අන්න! පෙරේරා ඇන්ඩ් සන්ස්....නවත්තන්න! නවත්තන්න!"
යාළුවා දැන් වාහනයෙන් පනින්න වගේ.
බොරලැස්ගමුව හනදිය දෙහිවල පැත්තට පහු කරනකොටම දකුණු පැත්තෙ තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් හෝටලය ඉස්සරහ වාහනය නවත්තන්න ඉඩ හොයා ගන්න මං දැන් ලොකු සටනක. "හරි! හරි!..මේ පැත්ත හරි...යං යං..."
යාළුවා මාව ධෛර්‍යමත් කරනවා. හදිසි කරවනවා.
"මේ වගෙ ටිකක් හරි පිළිවෙළකට තියෙන හෝටල් වල අගය කොච්චරද කියල හිතෙන්නෙ මේ වගෙ වෙලාවට තමයි. නේහ්?"
අමාරුවෙන් සක්ක ක්‍රමයට ගාල් කර ගත්තු වාහනයෙන් එළියට පනින ගමන් යාළුවා උනන්දුවෙන් කිව්වා.
"අපි ඉස්සර වෙලා මොනවා හරි ඕඩර් කරමු...නැත්තං අපි ඒකටම ආවා වගෙ..."
යාළුවා කොර ගහමින් කවුන්ටරයට ඇදුණා. අපි කන්න කේක් කෑලි දෙකකුත් තේ දෙකකුත් මිළ දී ගත්තා. ඊට පස්සෙ, මං මේසයකට ආවා. ඔහු වොෂ් රූම් එකට පැන පැන දිව්වා.
"මදෑ!"
මං තනියෙන් හිතුවා.
"නෑ! නෑ! වොෂ් රූම් එකක් නෑ!"
ඒ හඬ කවුන්ටරය පැත්තෙන්.
"මොකක්?"
ඒ මගෙ යාළුවා.
මාව ඉබේම නැගිට්ටවුණා ( එහෙම වචනයක් තියෙනවද මන්දා! )
යාළුවා මං දිහාවත් නොබලා ආපහු දොර පැත්‍තට. මාත් ඔහු පස්සෙන්. හදිසියකට චූඌඌඌඌඌටි අමාරුවක් ආවොත් යන්න තැනක් නැති පෙරේරා ඇන්ඩ් සන්ස් බොරලැස්ගමු ශාඛාව.
එච්චරයි!
ඊට පස්සෙ මහ වැස්සෙ තෙමි තෙමී යාළුවා මහ පාර අද්දර සෑහෙන වෙලාවක් හිටගෙන හිටියා. ඒ අතර මං මේ සටහන තිව්වා.
ම්ම්ම්ම්...එක්කො, ඇත්තම කියන්නද?! යාළුවෙක් මාත් එක්ක හිටියෙ නැහැ, මං විතරයි. මොකෝ හිනා වෙන්නෙ? ඈ?!
ඕන විදිහකට හිතා ගන්න!
CHAPA
Aug 23, 2019

Monday, August 19, 2019

බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 23 වැනි හමුදාපතිවරයා ලෙස පත් කිරීමත් එක්ක දෙමළ ජාතික සංධානය, ඇමරිකානු තානාපති කාර්‍යයාලය සහ එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් එකවර කලබලයට පත්කිරීමට හේතු වෙලා. ඔවුන් වෙන වෙනම, එහෙත් එකම අදහසක් සංවිධානාත්මකව ඉදිරිපත් කරමින්, එකී පත්වීම හෙළා දැකීමටත් ඊට විරුද්ධවීමටත් පියවර අරගෙන. දෙමළ ජාතික සංධානය වෙනුවෙන් එකී විරෝධය දක්වන එම්.ඒ.සුමන්තිරන් ට අනුව ඒ පත් කිරීම දෙමළ ජනයාට කරන නිග්‍රහයක්. ඇමරිකානු තානාපති කාර්‍යයාලය, ඒ පත්වීම දිහා දැඩි සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කොමසාරිස්වරියටත් බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වෙලා. 

මොකද්ද මේ විකාරය? දෙමළ ජාතික සංධානය ඔච්චර දෙමළ ජාතියට ආදරය කරනවා නං ප්‍රභාකරන් කියන මස් වැද්දාට තම ජාතිය බිලි දීලා බලාගෙන හිටියෙ? ඒ දශක තුන තුළ සුමන්තිරන්ලා, සම්පන්තන්ලා මොනවද කෙරුවෙ? ඔවුන් එදා සිංහල සමාජය තුළ සුරක්ෂිතව හිඳිමින් සහ පෝෂණය වෙමින් මෙදා මෙහෙම නරුම ආකාරයෙන් හැසිරෙන්නෙ කොහොමද? 

ඒ වගේම, ඇමරිකානු තානාපති කාර්‍යයාලය ට මෙහෙම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න බලය දුන්නෙ කවුද? ජනාධිපති, අගමැති, අමාත්‍යවරු ඇතුළු ආණ්ඩුව, රට මෙහෙම නිවට තැනකට දාන්නෙ ඇයි? 

එක්සත් ජාතීන්ගෙ සංවිධානය, ඇමරිකාව සහ තවත් බලවත් බව කියන රටවල ග්‍රහණයෙ නටන රූකඩයක් බව නොදන්නේ කවුද? අර ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ තවත් කුඩා කුඩා රටවල් ප්‍රසිධියේ  විනාශ කරමින්, ඔවුන් අපට මේ කියන්නේ කුමක්ද? 

අපි, රටක් සහ ජාතියක් ලෙස මේ සියල්ල ඉවසා දරාගෙන සිටිය යුත්තේ ඇයි? ඇත්තට අපි මොක්කුද?ඒ අතරෙම, ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම, යම් සංවිධානාත්මක දේශපාලන උපක්රමයක් වෙන්නත් පුළුවං. ඒ වගේම ශවේන්ද්‍ර සිල්වා කියන ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියාගෙ භුමිකාව ගැනත් අපි අවදියෙන් ඉන්න ඕන, අතීතය එක මොහොතෙන් වෙනස් වර්ථමානයක් වෙලා වෙනස්ම අනාගතයක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ මොහොතේ නොවිය හැකි දේවල් අඩුයි! අපි පොදු ජනයා හැටියට සීරුවට බලාගෙන ඉම්මු!

CHAPA, Aug 20, 2019  


 


Friday, August 9, 2019

High Way නඩුවක්...

කලින් දවසක 'High Way කතාවක්!' කියල, මේ වෙබ් අඩවියේම තියපු සටහනේ දිගුවක් නොවුණත් ඒ - මේ එකම සංවාදයක්! 
ඊයෙ, ඒකියන්නෙ 2019 අගෝස්තු 9 වැනිදා උදේ 9 - 10 අතර කාලයෙ වෙලාවක මං අතුරගිරිය අධිවේගී මාර්ග පිවිසුමෙන් ඇතුළු වුණා කඩවත ට යන්න. කඩවත හරහා සීදූවේ රැස්වීමට ඉක්මනට යන්නයි මට ඕන වුණේ. දැනටත් පරක්කු වැඩියි...
 කඩවත් පිට වීමේ අන්තයට යනකොට තමයි මගෙ ඔළුවට ආවෙ, පිවිසුමේදි ප්‍රවේශපත්‍රයක් ගත්තෙ නැහැ නේද? කියල. ප්‍රවේශ පත්‍රයක් නැතුව කොහොමද මං ප්‍රවේශය ගත්තෙ? මං මගෙන් ම ඇහුවා!
'එහෙම එන්න බැහැනෙ...මොකද වුණේ?'
පිටවන ප්‍රවේශ පත්‍ර කුටියෙ නිලධාරියා ඒ ප්‍රශ්නයම වෙන විදිහකට ඇහුවා.
'මං ආවා! බැරියර් එක වැටිල තිබුණෙ නැහැ, ටිකට් එකක් ඔළුවට් ආවෙත් නැහැ, කවුන්ටරයෙ කෙනෙක් හිටියෙ නෑ වගෙයි මතකත්...ම්ම්ම්ම්...ඇත්තටම කිව්වොත් මට ඒක හරියට මතක නැහැ, වෙන කල්පනාවක එන්න ඇත්තෙ...'
'එහෙම නං....'
ඔහු කල්පනා කරන අතරෙ පොලිස් නිලධාරියෙකුත් එතනට ආවා.
'මේ මහත්තයා ටිකට් නැතුව ඇවිත්!'
'මට ටිකට් එකක් දුන්නෙ නැහැ....බැරියර් එකක් දාලත් නැහැ, මං ඔහේ එන්න ඇති...දැන් මොකද්ද කරන්න පුළුවං?'
අර නිලධාරියා පොලිස් නිලධාරියාට කියන අතරෙ මමත් මගෙ කතාව ඔහුට  කිව්වා. ඒ ගමන්ම හයි වේ නිලධාරියා දුරකථනයෙන් අතුරුගිරිය පිවිසුම් නිලධාරින් අමතනව ඇහුණා.
'ඔය අතුරුගිරියෙ එන්ට්‍රන්ස් එකේ නිතර ඔය ප්‍රශ්නය එනවා...එතන අවුළක් තියෙනවා, එක පැත්තක බැරියර් එකක් වැඩ කරන්නෙ නැහැ මයෙ හිතේ...'
පොලිස් නිලධාරියා ඉවසිලිවන්ත හඬකින් කිව්වා.
'මේ මහත්තයා අතුරුගිරියෙන් තමයි ඇතුළු වෙලා තියෙන්නෙ...මං චෙක් කෙරුවා...'
අර නිලධාරියා ඒ අතරෙ මගෙ ගමන ස්ථිර කර ගත්තා.
'එහෙම නං මගෙ ගාස්තුව අරගෙන මාව යවන්න පුළුවන් නේද?'
ප්‍රශ්නය මගෙන්.
'මේකයි සර් වැඩේ...අපේ චක්‍රලේඛයක් තියෙනවා...ඒකට අනුව ෆුල් පේමන්ට් එකම ගන්න වෙනවා...මාතර ඉඳල එනකොට ගන්න ගාස්තුවම, 650/- ක්...'
'ඒක අසාධාරණයි නේද? ඔයා චෙක් කරල දැන ගත්තනෙ මං ආවෙ අතුරුගිරියෙන් කියලත්...'
ඔහු සහ මං අදහස් හුවමාරු කර ගන්න අතරෙ පොලිස් නිලධාරියාත් සාවධානව අහගෙන ඉන්නවා.
'මෙතන මගෙ වැරැද්දක් තියෙනවා ටිකට් එක නොගත්ත එක...ඒත් එහෙම එන්න බැරි වෙන්න බැරියර් එක දාලා හෝ වෙන බාධාවක් ඇති කරල තිබුණෙත් නැහැනෙ...හිතන්න අද ඉස්සර වෙලාම මේ පාරෙ එන කෙනෙක් කොහොමද මේකට මූණ දෙන්නෙ කියල, මෙතන දෙපැත්තක් තියෙනවා...ඒ නිසා අදාළ ගාස්තුව විතරක් ගන්න...'
මං කරුණු පැහැදිලි කරන්න ගත්තා.
'එහෙම කරන්න බැහැ සර්! නීතිය ඒකයි...'
නිලධාරියාගෙ හඬ ස්ථිරයි.
'මං ගෙවන්නෙ මගෙ ගාස්තුව විතරයි!'
මගෙ හඬත් ස්ථාවර ගතියකට මාරු වුණා.
'එහෙම නං ඔයා පැමිණිල්ල දාන්න...ඒකනෙ කරන්න තියෙන්නෙ...'
ඔහු අර පොලිස් නිලධාරියාට කිව්වා. පොලිස් නිලධාරියා මගෙ රියදුරු බලපත්‍රය ඉල්ලගෙන එහි තොරතුරු ලියාගෙන වාහනයෙ ඡායරූපත් ගත්තා.
'මේ වගෙ ප්‍රශ්නයක් කතා කරන්න මෙතන කවුරු හරි උසස් නිලධාරියෙක් නැද්ද?'
මං එ අතර ඔවුන්ගෙන් ඇහුවා.
'ඕන නං සර් අපේ මූලස්ථානයට කතා කරන්න...'
හයි වේ නිලධාරියා අංකයක් දෙන ගමන් කිව්වා.
මං ඒ අංකයට කතා කෙරුවා. මගෙන් විස්තර අරගෙන ආයෙ කතා කරන්නං කිව්වා. එහෙමත් කතා කෙරුවා. විසඳුමක් නහැ. ඒත් සීදූවේ රැස්වීමට පරක්කු වෙන නිසා ඉක්මනට ගන යන්න ගියා.
හවස 3. 30 ට විතර ආපිට එන ගමන් මං ආයෙත් අර හයි වේ මූලස්ථාන අංකයට කතා කෙරුවා. ඇමතුම් දෙක තුනක් නාස්ති කරලත්, ඒත් සහනදායි විසඳුමක් නැහැ. මං කෝකටත් කියල කඩවත් පිවිසුමට ඇවිත් ඒ ගැන ව්පරම් කරන්න හිතුවා. ඒ අනුව අන්තිමට කඩවත පිවිසුම අසළ තියෙන කාර්‍යයාලයකට මාව යොමු කෙරුණා. 
'ෆුල් පේමන්ට් එක ගෙවනවා නං අපිට පුළුවං පැමිණිල්ල ඉවත් කරන්න...නැත්තං ටිකක් කරදර වෙනවා...අපිත් ඉතිං නීතියනෙ ක්‍රියාත්මක කරන්නෙ සර්...'
එතන හිටපු කාරුණික නිලධාරියෙක් සුහද විදිහට කිව්වා. එහෙම නං ඉතිං ගෙවන්නං, ඒත් මේක සාධරණ නැහැ කියලයි මට හිතෙන්නෙ...'
කාලය  එක්ක සටනක යෙදෙන අතර තුර, තවත් කරදර එපා කියල හිත කියන නිසා මං 650/- අසාධාරණ (?) ගාස්තුව ගෙවල දාන ගමන් ඒ නිලධාරියාට කිව්වා.
ඊට පස්සෙ මාව යොමු කෙරුණෙ ඒ අසළ පොලිස් ඒකකයට. 
'ඔබ තුමා ඒ ගාස්තුව ගෙවන්න තීරණය කරපු එක හොඳයි...නැත්තං මාර කරදරයක් වෙන්නෙ...මේ, අපි නඩු දාන්න ලෑස්ති කරල තියෙන්නෙ...'
පොලිස් නිලධරියෙක්, ලොකු පොතක් පෙරළා  පෙන්වමින් සැනසිලිදායක හඬකින් කියන්න ගත්තා. මගෙ නමින් පටන් ගත්ත පිටු දෙකකට කිට්ටු දීර්ඝ පැමිණිල්ලක් එහි ලියා තිබුණා.
'දැන් ඉතිං මේක අයින් කරන්න පුළුවං...'
'ඔය නීති අපිට විතරයි...දේශපාලකයන්ට මොන නීතියක්වත් නෑ මහත්තයා...'
එතන හිටපු තවත් පොලිස් නිලධාරියෙක් මාත් එක්ක කතාවක් පටන් ගන්න වගෙ කිව්වා. මට කතා කරන්න කම්මලියි වගෙ. ඔහු පෑන අතට ගන්න අතරෙ මං එන්න ආවා. 
'මට එරෙහි පැමිණිල්ල දැන් එහෙනං අයින් කරයි!'
එන ගමන් මට හිතුණා!
CHAPA, Aug 9, 2019









 

Tuesday, August 6, 2019

හපොයි!

'තමුන් මේ රටේ අගමැති?'
අගමැති රනිල් තම දිවුරුම දීලා ඉඳගන්නකොටම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පැත්තෙන් සෘජු ප්‍රශ්නයක්.
'ඔව්!'
අගමැතිවරයා තැති ගැන්වීමකින් වගෙ උත්තර දුන්නා. ප්‍රශ්නය අහපු ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා එක එල්ලෙම බලාගෙන ඉන්නෙ අගැමැතිවරයගෙ ඇස් දෙක දිහා.
'අගමැතිවරයා හැටියට තමුන් දැනගෙන හිටියද අප්‍රේල් 21 පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන?'
ප්‍රශ්නය නියෝජ්‍ය කතා නායක ආනන්ද කුමාරසිරිගෙන්.
'නැහැ, මං දැනගෙන හිටියෙ නැහැ, සත්තයි!'
අගමැතිවරයගෙ බිඳුණු හඬ.
'තමුන්ගෙ ආරක්ෂක අංශය?'
ඒ පාම නලින්ද ජයතිස්සගෙ තේජාන්විත හඬ.
'ඒ ගැන නං...මට.... මොකුත් කියන්න බැහැ...ඕනි නං...මට අහල බලන්න පුළුවනි...'
අගමැති දෑස් යොමු වෙලා තිබුණෙ සීලිම දෙසට. මුළු පාර්ලිමේන්තු කාරක සභාවවෙම ඇස් ඔහුගෙ මුහුණෙ.
'මොකක්?'
ඒ පාම ආෂු මාරසිංහගෙ කෝපාන්විත හඬ. අගමැතිවරයා ගැස්සිලා වගෙ බිම බලා ගත්තා.
'මහනුවර දිගන සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම් හට ගන්න අවස්ථාවෙ ඔබ යටතෙ තමයි පොලිසිය තිබුණෙ...මං හරිද?'
ෆීල්ඩ් මාර්ෂල්වරයාගෙ තද කට හඬ බිල්ඩිම තුළ දෝංකාර දෙන්න ගත්තා.
'ඒ සිද්ධීන් එක්ක...මේ සිද්ධීන්...සම්බන්ධයි කියල...මට නං තවම කවුරුවත්...'
අගමැතිවරයා පහත් හඬින් කියන්න පටන් ගන්නකොටම...
'හරි! අපි ඒ අතීතය පැත්තකින් තියමුකො...පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිදුවීම් අතර, මුස්ලිම් ඇමතිවරු තම තනතුරුවලින් ඉවත්වීම....'
නලින්ද ජයතිස්සට කතාව ඉවර කරන්න හම්බ වුණේ නැහැ...
'ආ! ඒ සියළු දෙනා ආපහු ඇමති ධූර බාර ගත්තා...දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ...රතන ස්වාමීන් වහන්සේත් ප්‍රශ්නයක් නැතුව හොඳට වැඩ කරගෙන යනවා...ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ...මේක...'
'මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්! අහපු දේට විතරක් උත්තර දෙන්න!'
අගමැතිවරයා කඩ කඩා වගෙ වුණත් එක දිගට කියාගෙන ගියා. ඒත් සභාපතිවරයා එක පාරටම මැද්දට පැන්නා.
'අපිට එහෙම කරන්න උපදෙස් දුන්නෙ ඔබ තුමා! පිළි ගන්නවද?'
හකීම්, තම දකුණු පුටු ඇන්ඳ දකුණු අතින් මිරිකා ගනිමින් ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවා.
'ම්ම්ම්ම්...උපදෙස් දුන්න කියන එක මෙතන කියන්න උවමනා නෑ, එහෙම නං...මටත් කියන්න පුළුවනි...මටත් වෙන කාගෙන් හරි උපදෙස් අ...අ...අ...ලැබෙනවා කියල...ඒකයි මං හැම වෙලේම කියන්නෙ...මේක...' 
'මේක සෙල්ලමකට ගන්න එපා, තේරුණාද?'
ඒ ආෂු මාරසිංහගෙ හීනි, එහෙත් සැර හඬ. ආෂුගෙ දකුණු දබරැඟිල්ල අගමැති මූහුණට හරි කෙළින්.
'ඔබ මේ මුස්ලිම් නායකයන් එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නවා, විදේශ බලවේග වල උවමනාවන් ඉෂ්ට කරල දෙන්න කියල මං ඔබට යෝජනා කරනවා!'
ෆීල්ඩ් මාර්ෂල්ගෙ උච්ච ස්වරය!
අගමැති රනිල් නිහඬව වට පිට බලන්න ගත්තා.
'කෙටියෙන් උත්තරයක් දෙන්න, ඔබ අගමැතිවරයා හැටියට මේ ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වුණාට පස්සෙ ඉල්ලා අස් වෙන්න තීරණය කෙරුවෙ නැත්තෙ ඇයි, ඈ!?'
නලින්ද ජයතිස්සගෙ තිර හඬ. අගමැතිවරයා එක වරම බිම බලාගත්තා.
'මේ ප්‍රහාරය ISIS එක්ක සම්බන්ධද?'
ජයම්පති වික්‍රමරත්න මැද්දෙන් ඇහුවා.
අගමැතිවරයා ඇහුනෙ නැහැ වගෙ ලිපි ගොනුවක් අදින්න පටන් ගත්තා.
'පිට රටවල ත්‍රස්ත ක්‍රියාවල යෙදුණු ත්‍රස්තවාදීන් මේ රටේදි අත් අඩංගුවට ගන්න මොකක් හරි නීතිමය බාධවක් තියෙනවද?'
ජයම්පති දෙවැනි ප්‍රශ්නයත් ඇහුවා.
අගමැති දැන් කොලයක් දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා.
'මිස්ටර් පීඑම්...'
‍රවී කරුණානායක රැල් බුරුල් අරිමින් කට හඬ අවදි කෙරුවා. අගමැති රනිල් දකුණු අතේ ඇඟිලි විහිදුවමින් නිකට අත ගෑවා.
'අර වනාතවිල්ලුව ප්‍රදේශයෙ අවි ගබඩාවක් වැනි තැනක් ආරක්ෂක අංශ විසින් අල්ලගත්තට පස්සෙ කුමක්ද එතැන සිද්ධ වුණේ කියල දැන ගන්න උවමනයි...'
රනිල් දිගටම නිකට පිරිමදිනවා, ඇස් දෙක එහෙ මෙහෙ කැරකෙනවා විතරයි, කතාවක් නැහැ.
'යූ මස්ට් ආන්සර් පීඑම්! මං නරක මිනිහා කියන්න එපා අන්තිමට, ප්ලීස්...කෝ! උත්තරයක් දෙන්න අවශ්‍යයයි...පීඑම්!!'
‍රවීගෙ හඬේ සැර වැඩි වුණා. රනිල් කට අරින පාටක් නැහැ.
'අපේ ඉවසීම උරගා බලන්න හදන්න එපා!තේරුනාද ප්‍රයිම් මිනිස්ටර්?'
ඒ ආෂු.
'ඔව්! අපිට තියෙන බලතල ගැන දන්නවා ඇතිනෙ?'
මේ ආනන්ද.
'අපි ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්නවා!'
නලින්ද එහෙම කියන කොට නං අගමැති රනිල් බිම බලාගෙන නිකං අමුතුවට වගෙ හිනා වුණා.
'මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් ගෙටාආආආආවුට්ට්ට්ට්ට්ට්!
ආෂු මාරසිංහ යටි ගිරියෙන් කෑගැහුවා. පාර්ලිමේන්තු කාරක සභාවම ඒ හඬට හෙල්ලුම් කෑවා. 
මාවත් හෙල්ලුම් කෑවා, ගැස්සිලා වීසි වුණා.
හපොයි! පුටුව උඩම මට නින්ද ගිහිං, චිහ්! ප්‍රවෘත්ති බලන්නත් බැරි වුණා, අර පාස්කු කාරක සභාවෙ මොන ගිනි විච්චුම්බරයක් වුණාද මන්දා! 
CHAPA, August 6, 2019