Thursday, August 29, 2019


'චූඌඌඌඌ' ටි කතාවක්!

Image may contain: outdoor
මං යාළුවෙකුත් එක්ක මහරගම පැත්තෙන් බොරලැස්ගමුව පැත්තට යන්න පටන් අරං.
"මට චූඌඌඌටි අමාරුවක් තියෙනවා නිදහස් කර ගන්න.."
යාළුවා, වැහි වැටෙන එළිය දිහා රිය කවුළු වීදුරුවෙන් එබීගෙන කියනවා.
"ම්ම්ම්.. කොහේටද යන්නෙ?...නේද?"
ඔහු චූඌඌඌටි අමාරුවක්! කියල ඇඹරිච්ච විදිහට කාරණය තේරුම් ගත්තු මං දැන් වාහනය එළවන අතරෙ හෝටලයක් වගෙ තැනක් හොයනවා.
"කෝ...නෑනෙ අප්පා!"
යාළුවා කෙඳිරි ගානවා.
"ආආආ...මේ තියෙන්නෙ හෝටලයක්...!"
මං, මහරගම බොරලැස්ගමු පාරෙ හෝටලයක් ඉස්සරහ වාහනය අයින් කරන්න සිග්නල් දාන ගමං ඇස් වලිනුත් යාළුවාට පණිවිඩය දුන්නා.
"ෆුෂූඌඌඌඌඌ"
අහ්! පොලිසියෙන් මෙතන නවත්තන්න එපාලු! පොලිස් නලාවට අවනත වෙන අතරෙ මං හයියෙන් කිව්වා. ගහ අස්සෙ ඉන්නවා දැක්කෙත් නෑ! ඒ වචන නං මා තුළම, මටම.
"වෙන තැනක් බලමු!" වාහනය තව පාරට දාන අතරෙ මං කිව්වා. යාළුවා කතා නැහැ.
එහෙම කිව්වට එහෙම තැනක් හම්බ වුණේ නැහැ. ඊටත් වැස්ස.
"පාර අයිනෙ හරි මං කරනවා මේ වැස්ස නැත්තං...චිහ්!"
‍යාළුවාගෙ පුපුරු ගහන හඬ.
"අන්න! පෙරේරා ඇන්ඩ් සන්ස්....නවත්තන්න! නවත්තන්න!"
යාළුවා දැන් වාහනයෙන් පනින්න වගේ.
බොරලැස්ගමුව හනදිය දෙහිවල පැත්තට පහු කරනකොටම දකුණු පැත්තෙ තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් හෝටලය ඉස්සරහ වාහනය නවත්තන්න ඉඩ හොයා ගන්න මං දැන් ලොකු සටනක. "හරි! හරි!..මේ පැත්ත හරි...යං යං..."
යාළුවා මාව ධෛර්‍යමත් කරනවා. හදිසි කරවනවා.
"මේ වගෙ ටිකක් හරි පිළිවෙළකට තියෙන හෝටල් වල අගය කොච්චරද කියල හිතෙන්නෙ මේ වගෙ වෙලාවට තමයි. නේහ්?"
අමාරුවෙන් සක්ක ක්‍රමයට ගාල් කර ගත්තු වාහනයෙන් එළියට පනින ගමන් යාළුවා උනන්දුවෙන් කිව්වා.
"අපි ඉස්සර වෙලා මොනවා හරි ඕඩර් කරමු...නැත්තං අපි ඒකටම ආවා වගෙ..."
යාළුවා කොර ගහමින් කවුන්ටරයට ඇදුණා. අපි කන්න කේක් කෑලි දෙකකුත් තේ දෙකකුත් මිළ දී ගත්තා. ඊට පස්සෙ, මං මේසයකට ආවා. ඔහු වොෂ් රූම් එකට පැන පැන දිව්වා.
"මදෑ!"
මං තනියෙන් හිතුවා.
"නෑ! නෑ! වොෂ් රූම් එකක් නෑ!"
ඒ හඬ කවුන්ටරය පැත්තෙන්.
"මොකක්?"
ඒ මගෙ යාළුවා.
මාව ඉබේම නැගිට්ටවුණා ( එහෙම වචනයක් තියෙනවද මන්දා! )
යාළුවා මං දිහාවත් නොබලා ආපහු දොර පැත්‍තට. මාත් ඔහු පස්සෙන්. හදිසියකට චූඌඌඌඌඌටි අමාරුවක් ආවොත් යන්න තැනක් නැති පෙරේරා ඇන්ඩ් සන්ස් බොරලැස්ගමු ශාඛාව.
එච්චරයි!
ඊට පස්සෙ මහ වැස්සෙ තෙමි තෙමී යාළුවා මහ පාර අද්දර සෑහෙන වෙලාවක් හිටගෙන හිටියා. ඒ අතර මං මේ සටහන තිව්වා.
ම්ම්ම්ම්...එක්කො, ඇත්තම කියන්නද?! යාළුවෙක් මාත් එක්ක හිටියෙ නැහැ, මං විතරයි. මොකෝ හිනා වෙන්නෙ? ඈ?!
ඕන විදිහකට හිතා ගන්න!
CHAPA
Aug 23, 2019

No comments:

Post a Comment