Saturday, September 9, 2017

ඒ ඉතිං කවදාහරි මම මැරුණොත්නෙ හලෝ!...


''මම නං කියන්නෙ...ඔය පාරවල් බ්ලොක් කරලා...සාමාන්‍ය මිනිස්සුන්ට අවහිර කරලා කරන උද්ඝෝෂණ නවත්තන්න ඕනෙ...මේක දැන් සෙල්ලමක් වෙලා!''
මැද වයසෙ ව්‍යාපාරික මිත්‍රයා කියන්න පටන් ගත්තා.
''අනෙක...මොකද්ද මේ සයිටම්  පිස්සුව? ලෝකෙ ප්‍රයිවට් මෙඩිකල් කොලේජස් ඔය ඕන තරං තියෙන්නෙ...''
ඔහුගෙ හඬ පැහැදිලියි.
''මෙහෙම ගියොත් රට අරාජික වෙනවා...ඇයි අනේ, අපට ගමනක් යන්න නෑ...වැඩක් කර ගන්න බෑ...හැමදාම උද්ඝෝෂණ, මොන පිස්සුවක් ද?''
ඔහු ප්‍රතිචාරයක් ලැබෙන තුරු මගෙ මුහුණ දිහා එබීගෙන බලාගෙන ත් ඉන්නවා. 
''උද්ඝෝෂණ සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන නිසානෙ...''
මම කියන්න ගත්තා.
''මොන ප්‍රශ්න ද?''
''උදාහරණයක් විදිහට, ඔබ ඔය සුළුවට හිතන සයිටම් විරෝධය...සයිටම් කියන්නෙ පොදු සමාජයේ ම අර්බුදයක්''
''ප්‍රයිවට් මෙඩිකල් කොලේජස් වලට මොකටද විරුද්ධ වෙන්නෙ, ඔය ඕන තරං ප්‍රයිවට් යුනිවර්සිටීස් ලංකාවෙත් තියෙන්නෙ...?''
ඔහු දිගට ප්‍රශ්න කරනවා.
''ඒකම තමයි අර්බුදය...පුද්ගලික විශ්ව විද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතන පටන් ගන්න එක එක ප්‍රශ්නයක්, හේතුව...ඒවායේ ප්‍රමිතිය! දැන් ඕන කෙනෙකුට සල්ලි දීලා සහතික ගන්න පුළුවන් තත්වයක් ඇතිවෙමින් තියෙනවා...ලෝකයෙ හැම තැනම මේ ව්‍යසනය පැතිරෙනවා...අධ්‍යාපනය කියන්නෙ මොකද්ද කියලා දැන් බරපතළ ප්‍රශ්නයක් ලෝකය පුරාම ත් තියෙනවා...උපරිම ලාභය වෙනුවෙන් අධ්‍යාපනය විකිණෙන එක භයානක තත්වයක්, ඒක වෛද්‍ය අධ්‍යාපනය ට අදාළව මාරාන්තික ප්‍රශ්නයක්...''
''ඒ කියන්නෙ ප්‍රමිතිය ගැන නෙ ප්‍රශ්නය...ජනාධිපති තුමා කියනවා...''
''නැහැ! ප්‍රමිතිය එක ප්‍රශ්නයක්...සල්ලි වලට ම අධ්‍යාපනය විකිණෙන එක තව ප්‍රශ්නයක්...විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනය! මොකද, ඊළඟට මෙතැන සෞඛ්‍ය සේවාව ට එල්ලවන විශාල අභියෝගයක් තියෙනවා!''
මම ටිකක් තදින් කතාකරන්න පටන් අරගෙන.
''ඒ කියන්නෙ? මට තේරෙන්නෙ නැහැ ඔබ තුමා කියන දේ!''
ඔහු අහනවා.
''ඔබ බෞද්ධ නේද?''
මම වෙනම ප්‍රවේශයක් ගන්න හිතුවා.
''ඔව්! ඔව්! අපි නියම සිංහල බෞධයො...ඇයි? මොකද්ද ඒකෙයි මේකෙයි සම්බන්ධය?''
''බුදු දහමට අනුව අපි මැරිලා නැවත උපදිනවා!''
''ඔව්! හරිනෙ..අපි මැරිලා නැවත උපදිනවා!''
ඔහු මගේ කතාවෙ අන්තිම කොටස බැරෑරුම් විදිහට පුනරුච්ඡාරණය කෙරුවා.
''ඔබ දැන් ව්‍යාපාරිකයෙක්...හොඳට සල්ලි තියෙන...සැප සම්පත් විඳින කෙනෙක්''
ඔහු ගෙ මුහුණෙ අමුතු සතුටක සේයාවක් ඇඳුණා.
''ඔබට රජයේ වෛද්‍ය විද්‍යාල...රජයේ රෝහල් දැන් අදාළ නැහැ...මම දන්නා විදිහට ඔබේ දරුවො දැනටමත් ඉගෙන ගන්නෙ පිට රට''
ඔහුගෙ, අර සතුට යටින් හීනි ආඩම්බරයකුත් මතුවෙලා එන්න පටන් ගත්තා.
''අපි හිතමු...ඔබත් පරම්පරා සල්ලි කාරයෙක් කියලා...එහෙම නං ඔබේ පුංචි කාලයෙදිත්, ඔබේ දරුවන් ට වගේම, ඔබට එහෙම අවශ්‍යතාවක් තියෙන්න නැතුව ඇති...''
ඔහුගෙ මුහුණට එකපාරටම වෙනස් අසරණ පෙනුමක් ආවා. ඒ, ඔහු ඉතාම දුප්පත් පවුලක ඉපදිලා පස්සෙ කාලයෙ එක එක වැඩ කරලා සල්ලි කාරයෙක් වෙච්ච බව මම ත් දන්නා බව ඔහු දන්න නිසා.
''ඒත් මෙහෙම හිතන්න! අපි ඔක්කොම මැරෙනවා...දවසක ඔබ මැරිලා, දුප්පත් තාත්තා කෙනෙකුට දාව දුප්පත් අම්ම කෙනෙකුගෙ බඩේ නැවත ඉපදුණොත්...මොකද වෙන්නෙ?''
මම නිතර නිතර හැමෝගෙන්ම අහන ප්‍රශ්නය ඔහුගෙනුත් ඇහුවා. එතකොට ඔහු අනිවාර්යයෙන්ම, ඔහුගේම අතීතය තුළ ගල් ගැහුණා. දුප්පත්කම දෝරෙ ගලන ගම, දුප්පත් අම්මා තාත්තා - සහෝදර සහෝදරියො, දුප්පත් නෑදෑයො! තමන් එදා දුව පැන දඟලපු පුංචි ඉස්කෝලෙ, තමාව කරේ තියාගෙන අම්මා නිතර නිතර ගාටපු ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ...අනිවාර්යයෙන්ම ඔහුට මැවෙන්න ඇති.
''ඔව්! මට මාව දැනෙනවා! මම පිළිගන්නවා, මේ ප්‍රශ්නය අපි හැමෝටම පොදුයි!''
ඔහු එහෙම නිහැඬියාව බිඳියි කියල මම කොහොමවත්ම හිතුවෙ නැහැ. 
''ඒ ඉතිං කවදාහරි මම මැරුණොත්නෙ හලෝ!''
ඔහු එහෙම කිව්වෙත් නැහැ. ඒ වුණාට, ඒ වෙලාවෙ, ඒ මුහුණෙ, එහෙම මොකක් හරි අමුතු කතාවක් තිබුණ ද කියල මම මේ දැනුත් කල්පනා කරනවා.
CHAPA 
Sept 10, 2017  




  


Sunday, September 3, 2017

  ඔව්! උඹලා ට ආයෙ ආයෙ පරදින්න දෙන්න බැහැ!?


SAITM විරෝධී අරගලය, මේ වන විට, ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙන මහා ජව සම්පන්න ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩ නගා තිබෙනවා. එය ඉතිහාසය තුළ, එක විදිහක තීරණාත්මක කඩ ඉමක්.
SAITM දැන් තව දුරටත්, මේ අරගලය තුළ එක ආයතනයක් නෙවෙයි, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කෙටි කාලීනව සහ දිගු කාලීනව පෙනී හිටින වඩා පුළුල් දේශපාලන ක්‍රියාවලියක තේමාවක්! 
ප්‍රංශ ඉතිහාසයෙ, 1229 දක්වා වූ කාල තීරුව ට ආපස්සට විහිදෙන, විශ්ව විද්‍යාල ශිෂ්‍ය නැගිටීම් පිළිබද ඉතිහාස කතාවෙ ත්, මේ SAITM විරෝධී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය, අතිශය වැදගත් පරිච්ඡේදයක් සටහන් කරනවා. පැහැදිලි අරමුණ, සංවිධානාත්මක බව, පොදු බව, අඛණ්ඩ බව සහ නිර්භීත බව; මේ ශිෂ්‍ය පෙරමුණ තුළ, මේ වනවිට, ඕනවාටත් වඩා ඔප්පුවෙලා ඉවරයි.
ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය ක් තුළ නං, ආණ්ඩුව සහ සමස්ත රාජ්‍ය තන්ත්‍රය ත් - දැනටම ත් මේ ශිෂ්‍ය බලය ඉදිරියෙ දණ නවලා ඉවරයි. එහෙම ගත්තොත් ලංකාව තුළ මේ ගෙවෙන්නෙ, ඓතිහාසික දේශපාලන සංක්‍රාන්ති කාලයක්. නීතියෙ ආධිපත්‍ය ට එල්ලවන මේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගය භාරගන්න, ආණ්ඩුව සහ එහි ස්වාමියා වූ රාජ්‍ය අසමත් වෙනවා. ඒ නිසා ම, ඊළඟට ඔවුන් දැන්, ශිෂ්‍ය නායකයන් ට එරෙහිව, ඒකාබද්ධ ව ඉතාමත් ම ප්‍රාථමික සහ දුර්වල දඩයමක යෙදෙමින් ඉන්නවා. ඒ සඳහා නීතිය අවභාවිත (?) කරමින් ඉන්නවා. නීතියෙ ආධිපත්‍ය, ත්‍රස්තවාදයක් බවට පත් කරමින් ඉන්නවා.
මේ ඓතිහාසික දේශපාලන තත්වය අපි - පොදු ජනයා හැටියට වඩා නිවැරදිව කියව ගත්තෙ නැත්තං, එය සහාසික දේශපාලන වැරද්දක් - අපරාධයක් වෙනවා විතරක් නෙවෙයි යළි පහසුවෙන් නිවැරදි කළ නොහැකි දේශපාලන ඉරි තැලීමකට ත් අනිවාර්යයෙන් ම හේතු වෙනවා.
අනිත් පැත්තෙන්, මේ යෝධ ශිෂ්‍ය ව්‍යාපාරය පිටුපස වරෙක ජනතා විමුක්ති පෙරමුණ සහ ඊළඟට එහිම දිගුවක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ක්‍රියාකාරී සහභාගීත්වයක ඉන්න බව රහසක් නෙවෙයි. යම් යම් එකඟතා සමඟ ඒ පක්ෂ දෙකම - ඒ සඳහා එකට වැඩ කරන විදිහකුත් හැදිලා තියෙනවා. මේ සියල්ල, ඓතිහාසික සාධනීය තත්වයන්. 
ඊට අමතරව, විශ්ව විද්‍යාල ගුරු සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන් සහ තවත් වෛද්‍ය කණ්ඩායම්, විවිධ වෘත්තීය සමිති සහ දෙමාපිය සංවිධාන වගෙ ජන සංවිධානගතවීම් වගේම විවිධ පුද්ගල මැදිහත්වීම් නිසාත්, මේ SAITM විරෝධී ශිෂ්‍ය ව්‍යාපාරය වඩා පුළුල් ව, වර්ණවත් වෙලා  තියෙනවා. 
මේ සියල්ල මෙහෙම වෙන්න අනිවාර්යයෙන් ම හේතු වෙන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ජවිපෙ ට කවදාවත් බැරිවුණු ''පොදු අරගල වේදිකාවක්'' SAITM පාමුළ ඉදිකරන්න ඔවුන් ප්‍රශස්ත විදිහට සමත් වෙනවා. SAITM විරෝධී අරගලය ට සම්බන්ධ වෙන්න, පුද්ගලික ව මටත් අවස්ථාව ලැබෙන්නෙ අන්න ඒ විදිහට. 
දැන් මේ ඓතිහාසික දේශපාලන සන්දර්භය තුළ මතුවන, ඉතාමත් ම වැදගත් සහ බරපතළ ම ප්‍රශ්නය තමයි, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය තුළ, විශ්ව විද්‍යාල ශිෂ්‍යා ගෙ 'ඉරණම(?)' මොකද්ද? කියන එක. ලෝක ඉතිහාසය තුළ, ගෙවී ගිය සියවස් ගණනාව තුළ ම, මේ මාරාන්තික ප්‍රශ්නය, ''නොඅසන ප්‍රශ්නය!'' ක් සේ හිර වෙලා. මරා දැමීම්, වද හිංසාවන් ට ලක් කිරීම් සහ සිර ගත කිරීම් අතර දේශපාලන සැමරුමක් පමණක් බවට පත්වන, වයස විසි ගණන්වල ( හෝ අරගලය ට ගෙවුණු නිසාම ඊට මදක් වැඩි! ) අති බහුතරයක් වූ ප්‍රධාන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් ගෙ ''වරෙව්! සටන් කරමු! සටන හැර වෙන තෝරා ගැනීමක් නැහැ!'' යන නිර්භීත හෘද සාක්ෂියෙ දෝංකාරය! ඔව්! අපට එක දිගට ඇහෙනවා. ඒ හඬ ඊළඟ ශිෂ්‍ය පරම්පරාව ට ජවය සහ බලාපොරොත්තු ලබා දෙනවා. ගමන දිගටම, හැමදාම! එක වගේම!
මේ අතර, ඒ ඒ දේශපාලන පක්ෂවලට අනුගතව, පුර්ණ කාලීන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසකුත් හැදෙනවා. ''ධනවාදී ක්‍රමය තුළ, ඊට අදාළ වෘත්තිකයො වෙලා වැඩක් නැහැ! ඒ අධ්‍යාපනයෙන් ධනවාදය ශක්තිමත් වෙනවා විතරයි! ඒ නිසා අපි අධ්‍යාපනය වෙනුවට, පවතින අසාධාරණ ක්‍රමය ට විරුද්ධව පුර්ණ කාලීනව සටන් කරනවා!'' කියල ඔවුන් කල්පනා කරනවා. ඒ ඒ පක්ෂත් එහෙම හිතනවා වගෙ.
මේ තත්වය ඉතාම බරපතළයි සහ සංකීර්ණයි!
එක පැත්තකින්, මේ තත්වය තුළ ම යෝජිත අරගලය දුර්වල වෙනවා, ඒ ඒ පුද්ගලයන් ගෙ පෞර්ෂය සහ ඊටම අදාළ පුද්ගල මනෝ භාවය ඇතැම් විට නොදැනීම යෝජිත දේශපාලන ක්‍රියාවලිය හකුළුවා දාන්න හේතු වෙන්න පුළුවන්. ඊළඟට ඔවුන් වටා මෝදුවන සංකීර්ණ සමාජ ප්‍රශ්න! මේ මාරාන්තික අභියෝගය ජය ගන්න නං අපි - අපේ මේ අරගල මාදිලිය තව සංවර්ධනය කරන්න ඕනමයි.
මෙතැන, පොදු  සහ පුද්ගලික ප්‍රශ්න දෙකක් එකට බද්ධ වන අර්බුදයක් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට, මේ පවතින ධනවාදී ක්‍රමය ට අදාළ, ලාංකේය දේශපාලන විකෘතිය ට එදිරිව හිට ගන්න හයිය තියෙන වෛද්‍යවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරු ප්‍රමුඛ වෘත්තිකයො පරපුරක් ඕන. ඒ විදිහෙ උගත්  - බුද්ධිමත් දේශපාලන  නියෝජිතයො ඕන. ඉතිං කෝ? 
මේ අරගල භුමිය අන්න ඒ මහා මෙහෙයුමට යොදාගන්න කියන එකයි මගෙ මේ යෝජනාව.
වසර 2000 ත් එක්කම, ඒ අසන්න කාලයෙදි, රුහුණ, සබරගමුව සහ රජ රට කියන විශ්ව විද්‍යාලවල විවිධ සංවාද වලට සහභාගී වෙන්න මට ත් අවස්ථාව ලැබුණා. එදා මට මුණ ගැහුණු අවුරුදු විසි ගණන් වල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ටත් මම මේ කතාව කියමින් හිටියා. ඔවුන් ට දැන් වයස හතළිස් ගණන්. හිතන්න! එදා ඔවුන් මේ දේශපාලන සංවාදයට ඇතුළු වුණා නං, මේ වෙනකොට රටේ අර්බුදය මෙහෙම දුර දිග යන්නෙ නැහැ. හේතුව, ශක්තිමත් ජනතාවාදී වෘත්තිකයන්ගෙ පවුරක් රට වටේ හැදිලා. ඒ කාලය තුළ ජවිපෙ ඉතාම අදේශපාලනික විදිහට ඊට හරස් කැපුවා, මගෙ ඒ පුද්ගලික අතීත අත්දැකීම් හරිම තිත්තයි. 
කොහොම වුණත් දැන් කරන්න ඕනෙ මෙන්න මේකයි!
පන්ති වර්ජනය කරලා ඉන්න හය දහසකට වැඩි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වහාම පන්තිවලට සහභාගී වෙන්න ඕනෙ. ගුරුවරු වහාම උගන්වන්න පටන් ගන්න ඕනෙ. මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් වහාම ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ගුරු - ශිෂ්‍ය දෙගොල්ල එකතුවෙලා, අතිරේක පන්ති සහ විශේෂ වැඩමුළු හරහා මග හැරුණු අධ්‍යන කාලය වහාම ආවරණය කරන්න ඕනෙ. විශ්ව විද්‍යාල ප්‍රධානීන් සහ අදාළ කාර්ය මණ්ඩල,වඩා වේගවත් සහ කාර්යක්ෂම පරිපාලනයක් ආරම්භ කරන්න ඕනෙ. මේ සියල්ල හරියට සිද්ධ වෙන්න, අපි හැමෝම ආණ්ඩුවට බල කරන්න ඕනෙ, ඒ සඳහා ත් විවිධ ක්‍රියාකාරකම් අවශ්‍ය වෙයි. 
ඔන්න දැන් මේ අතරෙ, මෙතෙක් කරගෙන ආපු සියළු විරෝධතා, වඩා සංවිධානාත්මකව ඉස්සරහට ම යනවා. උදාහරණයක් විදිහට පන්තිවලට යන අතර පෙළපාලි යනවා, කණ්ඩායම් විදිහට උපවාසත් කරනවා, මාරුවෙන් මාරුවට අට්ටාල උඩත් ඉන්නවා, තවත් අලුත් ක්‍රියාකාරකම් හොයා ගන්නවා. එක හොඳ වැඩක් තමයි විරෝධය පෙන්වන්න 'කළු' පාට විතරක් අඳිනවා, කළු පටි පළඳිනවා. 
ඊට සමගාමීව, රට පුරා සම්මන්ත්‍රණ, වැඩ මුළු සහ සංවාද තියමින්, අරගලය වඩා විද්‍යාත්මකව සමාජ ගත කරනවා.
වඩාම අවශ්‍ය දේ තමයි, මේ අපේ මෝඩ ඊනියා පාලක රැළ මෙහෙයවන ඊනියා ජාත්‍යන්තර මහමොළකාරයො එක්ක, කරට කර හැප්පෙන එක. උන්ගෙ ආර්ථික සංහාරය ගැන ලෝකයට කියන එක. උන්ට එදිරි විදේශ රටවල තවත් දේශපාලන කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙන එක. කොටින්ම, මේ අරගලය 'ජාත්‍යන්තරකරණය' කරන එක. 
ඒක කරන්න නං උන්ට වඩා 'දැනුම' අපට ඕනෙ!
මතක තියා ගනිල්ලා! රටේ කොල්ලො කෙල්ලො ඉගෙන ගන්නෙ නැති එකට අපේ වනචාරී පාලකයො සහ උන්ගෙ විදේශ ආර්ථික ඝාතක හාම්පුත්තු මාර ආසයි! වැදගත්ම දේ, අන්න ඒ, උන් ලබන කාලකන්ණි සතුට නැතිකරමු! දැනුමෙන් සන්නද්ධව උන් එක්ක හැප්පෙමු! 
'උන්' පරාජය කරන 'අපේ' ඓතිහාසික අරගලය තීරණාත්මකව ජයග්‍රහණය කරන්න නං, කොල්ලනේ - කෙල්ලනේ වෙන කෙටි පාරක් නැහැ! ඔව්! උඹලා ට ආයෙ ආයෙ පරදින්න දෙන්න බැහැ!
මම දකින සිහිනය නං අන්න ඒකයි!
CHAPA
Sept 4, 2017