Saturday, September 9, 2017

ඒ ඉතිං කවදාහරි මම මැරුණොත්නෙ හලෝ!...


''මම නං කියන්නෙ...ඔය පාරවල් බ්ලොක් කරලා...සාමාන්‍ය මිනිස්සුන්ට අවහිර කරලා කරන උද්ඝෝෂණ නවත්තන්න ඕනෙ...මේක දැන් සෙල්ලමක් වෙලා!''
මැද වයසෙ ව්‍යාපාරික මිත්‍රයා කියන්න පටන් ගත්තා.
''අනෙක...මොකද්ද මේ සයිටම්  පිස්සුව? ලෝකෙ ප්‍රයිවට් මෙඩිකල් කොලේජස් ඔය ඕන තරං තියෙන්නෙ...''
ඔහුගෙ හඬ පැහැදිලියි.
''මෙහෙම ගියොත් රට අරාජික වෙනවා...ඇයි අනේ, අපට ගමනක් යන්න නෑ...වැඩක් කර ගන්න බෑ...හැමදාම උද්ඝෝෂණ, මොන පිස්සුවක් ද?''
ඔහු ප්‍රතිචාරයක් ලැබෙන තුරු මගෙ මුහුණ දිහා එබීගෙන බලාගෙන ත් ඉන්නවා. 
''උද්ඝෝෂණ සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන නිසානෙ...''
මම කියන්න ගත්තා.
''මොන ප්‍රශ්න ද?''
''උදාහරණයක් විදිහට, ඔබ ඔය සුළුවට හිතන සයිටම් විරෝධය...සයිටම් කියන්නෙ පොදු සමාජයේ ම අර්බුදයක්''
''ප්‍රයිවට් මෙඩිකල් කොලේජස් වලට මොකටද විරුද්ධ වෙන්නෙ, ඔය ඕන තරං ප්‍රයිවට් යුනිවර්සිටීස් ලංකාවෙත් තියෙන්නෙ...?''
ඔහු දිගට ප්‍රශ්න කරනවා.
''ඒකම තමයි අර්බුදය...පුද්ගලික විශ්ව විද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතන පටන් ගන්න එක එක ප්‍රශ්නයක්, හේතුව...ඒවායේ ප්‍රමිතිය! දැන් ඕන කෙනෙකුට සල්ලි දීලා සහතික ගන්න පුළුවන් තත්වයක් ඇතිවෙමින් තියෙනවා...ලෝකයෙ හැම තැනම මේ ව්‍යසනය පැතිරෙනවා...අධ්‍යාපනය කියන්නෙ මොකද්ද කියලා දැන් බරපතළ ප්‍රශ්නයක් ලෝකය පුරාම ත් තියෙනවා...උපරිම ලාභය වෙනුවෙන් අධ්‍යාපනය විකිණෙන එක භයානක තත්වයක්, ඒක වෛද්‍ය අධ්‍යාපනය ට අදාළව මාරාන්තික ප්‍රශ්නයක්...''
''ඒ කියන්නෙ ප්‍රමිතිය ගැන නෙ ප්‍රශ්නය...ජනාධිපති තුමා කියනවා...''
''නැහැ! ප්‍රමිතිය එක ප්‍රශ්නයක්...සල්ලි වලට ම අධ්‍යාපනය විකිණෙන එක තව ප්‍රශ්නයක්...විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනය! මොකද, ඊළඟට මෙතැන සෞඛ්‍ය සේවාව ට එල්ලවන විශාල අභියෝගයක් තියෙනවා!''
මම ටිකක් තදින් කතාකරන්න පටන් අරගෙන.
''ඒ කියන්නෙ? මට තේරෙන්නෙ නැහැ ඔබ තුමා කියන දේ!''
ඔහු අහනවා.
''ඔබ බෞද්ධ නේද?''
මම වෙනම ප්‍රවේශයක් ගන්න හිතුවා.
''ඔව්! ඔව්! අපි නියම සිංහල බෞධයො...ඇයි? මොකද්ද ඒකෙයි මේකෙයි සම්බන්ධය?''
''බුදු දහමට අනුව අපි මැරිලා නැවත උපදිනවා!''
''ඔව්! හරිනෙ..අපි මැරිලා නැවත උපදිනවා!''
ඔහු මගේ කතාවෙ අන්තිම කොටස බැරෑරුම් විදිහට පුනරුච්ඡාරණය කෙරුවා.
''ඔබ දැන් ව්‍යාපාරිකයෙක්...හොඳට සල්ලි තියෙන...සැප සම්පත් විඳින කෙනෙක්''
ඔහු ගෙ මුහුණෙ අමුතු සතුටක සේයාවක් ඇඳුණා.
''ඔබට රජයේ වෛද්‍ය විද්‍යාල...රජයේ රෝහල් දැන් අදාළ නැහැ...මම දන්නා විදිහට ඔබේ දරුවො දැනටමත් ඉගෙන ගන්නෙ පිට රට''
ඔහුගෙ, අර සතුට යටින් හීනි ආඩම්බරයකුත් මතුවෙලා එන්න පටන් ගත්තා.
''අපි හිතමු...ඔබත් පරම්පරා සල්ලි කාරයෙක් කියලා...එහෙම නං ඔබේ පුංචි කාලයෙදිත්, ඔබේ දරුවන් ට වගේම, ඔබට එහෙම අවශ්‍යතාවක් තියෙන්න නැතුව ඇති...''
ඔහුගෙ මුහුණට එකපාරටම වෙනස් අසරණ පෙනුමක් ආවා. ඒ, ඔහු ඉතාම දුප්පත් පවුලක ඉපදිලා පස්සෙ කාලයෙ එක එක වැඩ කරලා සල්ලි කාරයෙක් වෙච්ච බව මම ත් දන්නා බව ඔහු දන්න නිසා.
''ඒත් මෙහෙම හිතන්න! අපි ඔක්කොම මැරෙනවා...දවසක ඔබ මැරිලා, දුප්පත් තාත්තා කෙනෙකුට දාව දුප්පත් අම්ම කෙනෙකුගෙ බඩේ නැවත ඉපදුණොත්...මොකද වෙන්නෙ?''
මම නිතර නිතර හැමෝගෙන්ම අහන ප්‍රශ්නය ඔහුගෙනුත් ඇහුවා. එතකොට ඔහු අනිවාර්යයෙන්ම, ඔහුගේම අතීතය තුළ ගල් ගැහුණා. දුප්පත්කම දෝරෙ ගලන ගම, දුප්පත් අම්මා තාත්තා - සහෝදර සහෝදරියො, දුප්පත් නෑදෑයො! තමන් එදා දුව පැන දඟලපු පුංචි ඉස්කෝලෙ, තමාව කරේ තියාගෙන අම්මා නිතර නිතර ගාටපු ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ...අනිවාර්යයෙන්ම ඔහුට මැවෙන්න ඇති.
''ඔව්! මට මාව දැනෙනවා! මම පිළිගන්නවා, මේ ප්‍රශ්නය අපි හැමෝටම පොදුයි!''
ඔහු එහෙම නිහැඬියාව බිඳියි කියල මම කොහොමවත්ම හිතුවෙ නැහැ. 
''ඒ ඉතිං කවදාහරි මම මැරුණොත්නෙ හලෝ!''
ඔහු එහෙම කිව්වෙත් නැහැ. ඒ වුණාට, ඒ වෙලාවෙ, ඒ මුහුණෙ, එහෙම මොකක් හරි අමුතු කතාවක් තිබුණ ද කියල මම මේ දැනුත් කල්පනා කරනවා.
CHAPA 
Sept 10, 2017  




  


No comments:

Post a Comment