Thursday, August 29, 2019


'චූඌඌඌඌ' ටි කතාවක්!

Image may contain: outdoor
මං යාළුවෙකුත් එක්ක මහරගම පැත්තෙන් බොරලැස්ගමුව පැත්තට යන්න පටන් අරං.
"මට චූඌඌඌටි අමාරුවක් තියෙනවා නිදහස් කර ගන්න.."
යාළුවා, වැහි වැටෙන එළිය දිහා රිය කවුළු වීදුරුවෙන් එබීගෙන කියනවා.
"ම්ම්ම්.. කොහේටද යන්නෙ?...නේද?"
ඔහු චූඌඌඌටි අමාරුවක්! කියල ඇඹරිච්ච විදිහට කාරණය තේරුම් ගත්තු මං දැන් වාහනය එළවන අතරෙ හෝටලයක් වගෙ තැනක් හොයනවා.
"කෝ...නෑනෙ අප්පා!"
යාළුවා කෙඳිරි ගානවා.
"ආආආ...මේ තියෙන්නෙ හෝටලයක්...!"
මං, මහරගම බොරලැස්ගමු පාරෙ හෝටලයක් ඉස්සරහ වාහනය අයින් කරන්න සිග්නල් දාන ගමං ඇස් වලිනුත් යාළුවාට පණිවිඩය දුන්නා.
"ෆුෂූඌඌඌඌඌ"
අහ්! පොලිසියෙන් මෙතන නවත්තන්න එපාලු! පොලිස් නලාවට අවනත වෙන අතරෙ මං හයියෙන් කිව්වා. ගහ අස්සෙ ඉන්නවා දැක්කෙත් නෑ! ඒ වචන නං මා තුළම, මටම.
"වෙන තැනක් බලමු!" වාහනය තව පාරට දාන අතරෙ මං කිව්වා. යාළුවා කතා නැහැ.
එහෙම කිව්වට එහෙම තැනක් හම්බ වුණේ නැහැ. ඊටත් වැස්ස.
"පාර අයිනෙ හරි මං කරනවා මේ වැස්ස නැත්තං...චිහ්!"
‍යාළුවාගෙ පුපුරු ගහන හඬ.
"අන්න! පෙරේරා ඇන්ඩ් සන්ස්....නවත්තන්න! නවත්තන්න!"
යාළුවා දැන් වාහනයෙන් පනින්න වගේ.
බොරලැස්ගමුව හනදිය දෙහිවල පැත්තට පහු කරනකොටම දකුණු පැත්තෙ තියෙන පෙරේරා ඇන්ඩ් සන්ස් හෝටලය ඉස්සරහ වාහනය නවත්තන්න ඉඩ හොයා ගන්න මං දැන් ලොකු සටනක. "හරි! හරි!..මේ පැත්ත හරි...යං යං..."
යාළුවා මාව ධෛර්‍යමත් කරනවා. හදිසි කරවනවා.
"මේ වගෙ ටිකක් හරි පිළිවෙළකට තියෙන හෝටල් වල අගය කොච්චරද කියල හිතෙන්නෙ මේ වගෙ වෙලාවට තමයි. නේහ්?"
අමාරුවෙන් සක්ක ක්‍රමයට ගාල් කර ගත්තු වාහනයෙන් එළියට පනින ගමන් යාළුවා උනන්දුවෙන් කිව්වා.
"අපි ඉස්සර වෙලා මොනවා හරි ඕඩර් කරමු...නැත්තං අපි ඒකටම ආවා වගෙ..."
යාළුවා කොර ගහමින් කවුන්ටරයට ඇදුණා. අපි කන්න කේක් කෑලි දෙකකුත් තේ දෙකකුත් මිළ දී ගත්තා. ඊට පස්සෙ, මං මේසයකට ආවා. ඔහු වොෂ් රූම් එකට පැන පැන දිව්වා.
"මදෑ!"
මං තනියෙන් හිතුවා.
"නෑ! නෑ! වොෂ් රූම් එකක් නෑ!"
ඒ හඬ කවුන්ටරය පැත්තෙන්.
"මොකක්?"
ඒ මගෙ යාළුවා.
මාව ඉබේම නැගිට්ටවුණා ( එහෙම වචනයක් තියෙනවද මන්දා! )
යාළුවා මං දිහාවත් නොබලා ආපහු දොර පැත්‍තට. මාත් ඔහු පස්සෙන්. හදිසියකට චූඌඌඌඌඌටි අමාරුවක් ආවොත් යන්න තැනක් නැති පෙරේරා ඇන්ඩ් සන්ස් බොරලැස්ගමු ශාඛාව.
එච්චරයි!
ඊට පස්සෙ මහ වැස්සෙ තෙමි තෙමී යාළුවා මහ පාර අද්දර සෑහෙන වෙලාවක් හිටගෙන හිටියා. ඒ අතර මං මේ සටහන තිව්වා.
ම්ම්ම්ම්...එක්කො, ඇත්තම කියන්නද?! යාළුවෙක් මාත් එක්ක හිටියෙ නැහැ, මං විතරයි. මොකෝ හිනා වෙන්නෙ? ඈ?!
ඕන විදිහකට හිතා ගන්න!
CHAPA
Aug 23, 2019

Monday, August 19, 2019

බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 23 වැනි හමුදාපතිවරයා ලෙස පත් කිරීමත් එක්ක දෙමළ ජාතික සංධානය, ඇමරිකානු තානාපති කාර්‍යයාලය සහ එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් එකවර කලබලයට පත්කිරීමට හේතු වෙලා. ඔවුන් වෙන වෙනම, එහෙත් එකම අදහසක් සංවිධානාත්මකව ඉදිරිපත් කරමින්, එකී පත්වීම හෙළා දැකීමටත් ඊට විරුද්ධවීමටත් පියවර අරගෙන. දෙමළ ජාතික සංධානය වෙනුවෙන් එකී විරෝධය දක්වන එම්.ඒ.සුමන්තිරන් ට අනුව ඒ පත් කිරීම දෙමළ ජනයාට කරන නිග්‍රහයක්. ඇමරිකානු තානාපති කාර්‍යයාලය, ඒ පත්වීම දිහා දැඩි සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කොමසාරිස්වරියටත් බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වෙලා. 

මොකද්ද මේ විකාරය? දෙමළ ජාතික සංධානය ඔච්චර දෙමළ ජාතියට ආදරය කරනවා නං ප්‍රභාකරන් කියන මස් වැද්දාට තම ජාතිය බිලි දීලා බලාගෙන හිටියෙ? ඒ දශක තුන තුළ සුමන්තිරන්ලා, සම්පන්තන්ලා මොනවද කෙරුවෙ? ඔවුන් එදා සිංහල සමාජය තුළ සුරක්ෂිතව හිඳිමින් සහ පෝෂණය වෙමින් මෙදා මෙහෙම නරුම ආකාරයෙන් හැසිරෙන්නෙ කොහොමද? 

ඒ වගේම, ඇමරිකානු තානාපති කාර්‍යයාලය ට මෙහෙම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න බලය දුන්නෙ කවුද? ජනාධිපති, අගමැති, අමාත්‍යවරු ඇතුළු ආණ්ඩුව, රට මෙහෙම නිවට තැනකට දාන්නෙ ඇයි? 

එක්සත් ජාතීන්ගෙ සංවිධානය, ඇමරිකාව සහ තවත් බලවත් බව කියන රටවල ග්‍රහණයෙ නටන රූකඩයක් බව නොදන්නේ කවුද? අර ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ තවත් කුඩා කුඩා රටවල් ප්‍රසිධියේ  විනාශ කරමින්, ඔවුන් අපට මේ කියන්නේ කුමක්ද? 

අපි, රටක් සහ ජාතියක් ලෙස මේ සියල්ල ඉවසා දරාගෙන සිටිය යුත්තේ ඇයි? ඇත්තට අපි මොක්කුද?ඒ අතරෙම, ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම, යම් සංවිධානාත්මක දේශපාලන උපක්‍රමයක් වෙන්නත් පුළුවං. ඒ වගේම ශවේන්ද්‍ර සිල්වා කියන ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියාගෙ භුමිකාව ගැනත් අපි අවදියෙන් ඉන්න ඕන, අතීතය එක මොහොතෙන් වෙනස් වර්ථමානයක් වෙලා වෙනස්ම අනාගතයක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ මොහොතේ නොවිය හැකි දේවල් අඩුයි! අපි පොදු ජනයා හැටියට සීරුවට බලාගෙන ඉම්මු!

CHAPA, Aug 20, 2019  


 


Friday, August 9, 2019

High Way නඩුවක්...

කලින් දවසක 'High Way කතාවක්!' කියල, මේ වෙබ් අඩවියේම තියපු සටහනේ දිගුවක් නොවුණත් ඒ - මේ එකම සංවාදයක්! 
ඊයෙ, ඒකියන්නෙ 2019 අගෝස්තු 9 වැනිදා උදේ 9 - 10 අතර කාලයෙ වෙලාවක මං අතුරගිරිය අධිවේගී මාර්ග පිවිසුමෙන් ඇතුළු වුණා කඩවත ට යන්න. කඩවත හරහා සීදූවේ රැස්වීමට ඉක්මනට යන්නයි මට ඕන වුණේ. දැනටත් පරක්කු වැඩියි...
 කඩවත් පිට වීමේ අන්තයට යනකොට තමයි මගෙ ඔළුවට ආවෙ, පිවිසුමේදි ප්‍රවේශපත්‍රයක් ගත්තෙ නැහැ නේද? කියල. ප්‍රවේශ පත්‍රයක් නැතුව කොහොමද මං ප්‍රවේශය ගත්තෙ? මං මගෙන් ම ඇහුවා!
'එහෙම එන්න බැහැනෙ...මොකද වුණේ?'
පිටවන ප්‍රවේශ පත්‍ර කුටියෙ නිලධාරියා ඒ ප්‍රශ්නයම වෙන විදිහකට ඇහුවා.
'මං ආවා! බැරියර් එක වැටිල තිබුණෙ නැහැ, ටිකට් එකක් ඔළුවට් ආවෙත් නැහැ, කවුන්ටරයෙ කෙනෙක් හිටියෙ නෑ වගෙයි මතකත්...ම්ම්ම්ම්...ඇත්තටම කිව්වොත් මට ඒක හරියට මතක නැහැ, වෙන කල්පනාවක එන්න ඇත්තෙ...'
'එහෙම නං....'
ඔහු කල්පනා කරන අතරෙ පොලිස් නිලධාරියෙකුත් එතනට ආවා.
'මේ මහත්තයා ටිකට් නැතුව ඇවිත්!'
'මට ටිකට් එකක් දුන්නෙ නැහැ....බැරියර් එකක් දාලත් නැහැ, මං ඔහේ එන්න ඇති...දැන් මොකද්ද කරන්න පුළුවං?'
අර නිලධාරියා පොලිස් නිලධාරියාට කියන අතරෙ මමත් මගෙ කතාව ඔහුට  කිව්වා. ඒ ගමන්ම හයි වේ නිලධාරියා දුරකථනයෙන් අතුරුගිරිය පිවිසුම් නිලධාරින් අමතනව ඇහුණා.
'ඔය අතුරුගිරියෙ එන්ට්‍රන්ස් එකේ නිතර ඔය ප්‍රශ්නය එනවා...එතන අවුළක් තියෙනවා, එක පැත්තක බැරියර් එකක් වැඩ කරන්නෙ නැහැ මයෙ හිතේ...'
පොලිස් නිලධාරියා ඉවසිලිවන්ත හඬකින් කිව්වා.
'මේ මහත්තයා අතුරුගිරියෙන් තමයි ඇතුළු වෙලා තියෙන්නෙ...මං චෙක් කෙරුවා...'
අර නිලධාරියා ඒ අතරෙ මගෙ ගමන ස්ථිර කර ගත්තා.
'එහෙම නං මගෙ ගාස්තුව අරගෙන මාව යවන්න පුළුවන් නේද?'
ප්‍රශ්නය මගෙන්.
'මේකයි සර් වැඩේ...අපේ චක්‍රලේඛයක් තියෙනවා...ඒකට අනුව ෆුල් පේමන්ට් එකම ගන්න වෙනවා...මාතර ඉඳල එනකොට ගන්න ගාස්තුවම, 650/- ක්...'
'ඒක අසාධාරණයි නේද? ඔයා චෙක් කරල දැන ගත්තනෙ මං ආවෙ අතුරුගිරියෙන් කියලත්...'
ඔහු සහ මං අදහස් හුවමාරු කර ගන්න අතරෙ පොලිස් නිලධාරියාත් සාවධානව අහගෙන ඉන්නවා.
'මෙතන මගෙ වැරැද්දක් තියෙනවා ටිකට් එක නොගත්ත එක...ඒත් එහෙම එන්න බැරි වෙන්න බැරියර් එක දාලා හෝ වෙන බාධාවක් ඇති කරල තිබුණෙත් නැහැනෙ...හිතන්න අද ඉස්සර වෙලාම මේ පාරෙ එන කෙනෙක් කොහොමද මේකට මූණ දෙන්නෙ කියල, මෙතන දෙපැත්තක් තියෙනවා...ඒ නිසා අදාළ ගාස්තුව විතරක් ගන්න...'
මං කරුණු පැහැදිලි කරන්න ගත්තා.
'එහෙම කරන්න බැහැ සර්! නීතිය ඒකයි...'
නිලධාරියාගෙ හඬ ස්ථිරයි.
'මං ගෙවන්නෙ මගෙ ගාස්තුව විතරයි!'
මගෙ හඬත් ස්ථාවර ගතියකට මාරු වුණා.
'එහෙම නං ඔයා පැමිණිල්ල දාන්න...ඒකනෙ කරන්න තියෙන්නෙ...'
ඔහු අර පොලිස් නිලධාරියාට කිව්වා. පොලිස් නිලධාරියා මගෙ රියදුරු බලපත්‍රය ඉල්ලගෙන එහි තොරතුරු ලියාගෙන වාහනයෙ ඡායරූපත් ගත්තා.
'මේ වගෙ ප්‍රශ්නයක් කතා කරන්න මෙතන කවුරු හරි උසස් නිලධාරියෙක් නැද්ද?'
මං එ අතර ඔවුන්ගෙන් ඇහුවා.
'ඕන නං සර් අපේ මූලස්ථානයට කතා කරන්න...'
හයි වේ නිලධාරියා අංකයක් දෙන ගමන් කිව්වා.
මං ඒ අංකයට කතා කෙරුවා. මගෙන් විස්තර අරගෙන ආයෙ කතා කරන්නං කිව්වා. එහෙමත් කතා කෙරුවා. විසඳුමක් නහැ. ඒත් සීදූවේ රැස්වීමට පරක්කු වෙන නිසා ඉක්මනට ගන යන්න ගියා.
හවස 3. 30 ට විතර ආපිට එන ගමන් මං ආයෙත් අර හයි වේ මූලස්ථාන අංකයට කතා කෙරුවා. ඇමතුම් දෙක තුනක් නාස්ති කරලත්, ඒත් සහනදායි විසඳුමක් නැහැ. මං කෝකටත් කියල කඩවත් පිවිසුමට ඇවිත් ඒ ගැන ව්පරම් කරන්න හිතුවා. ඒ අනුව අන්තිමට කඩවත පිවිසුම අසළ තියෙන කාර්‍යයාලයකට මාව යොමු කෙරුණා. 
'ෆුල් පේමන්ට් එක ගෙවනවා නං අපිට පුළුවං පැමිණිල්ල ඉවත් කරන්න...නැත්තං ටිකක් කරදර වෙනවා...අපිත් ඉතිං නීතියනෙ ක්‍රියාත්මක කරන්නෙ සර්...'
එතන හිටපු කාරුණික නිලධාරියෙක් සුහද විදිහට කිව්වා. එහෙම නං ඉතිං ගෙවන්නං, ඒත් මේක සාධරණ නැහැ කියලයි මට හිතෙන්නෙ...'
කාලය  එක්ක සටනක යෙදෙන අතර තුර, තවත් කරදර එපා කියල හිත කියන නිසා මං 650/- අසාධාරණ (?) ගාස්තුව ගෙවල දාන ගමන් ඒ නිලධාරියාට කිව්වා.
ඊට පස්සෙ මාව යොමු කෙරුණෙ ඒ අසළ පොලිස් ඒකකයට. 
'ඔබ තුමා ඒ ගාස්තුව ගෙවන්න තීරණය කරපු එක හොඳයි...නැත්තං මාර කරදරයක් වෙන්නෙ...මේ, අපි නඩු දාන්න ලෑස්ති කරල තියෙන්නෙ...'
පොලිස් නිලධරියෙක්, ලොකු පොතක් පෙරළා  පෙන්වමින් සැනසිලිදායක හඬකින් කියන්න ගත්තා. මගෙ නමින් පටන් ගත්ත පිටු දෙකකට කිට්ටු දීර්ඝ පැමිණිල්ලක් එහි ලියා තිබුණා.
'දැන් ඉතිං මේක අයින් කරන්න පුළුවං...'
'ඔය නීති අපිට විතරයි...දේශපාලකයන්ට මොන නීතියක්වත් නෑ මහත්තයා...'
එතන හිටපු තවත් පොලිස් නිලධාරියෙක් මාත් එක්ක කතාවක් පටන් ගන්න වගෙ කිව්වා. මට කතා කරන්න කම්මලියි වගෙ. ඔහු පෑන අතට ගන්න අතරෙ මං එන්න ආවා. 
'මට එරෙහි පැමිණිල්ල දැන් එහෙනං අයින් කරයි!'
එන ගමන් මට හිතුණා!
CHAPA, Aug 9, 2019









 

Tuesday, August 6, 2019

හපොයි!

'තමුන් මේ රටේ අගමැති?'
අගමැති රනිල් තම දිවුරුම දීලා ඉඳගන්නකොටම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පැත්තෙන් සෘජු ප්‍රශ්නයක්.
'ඔව්!'
අගමැතිවරයා තැති ගැන්වීමකින් වගෙ උත්තර දුන්නා. ප්‍රශ්නය අහපු ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා එක එල්ලෙම බලාගෙන ඉන්නෙ අගැමැතිවරයගෙ ඇස් දෙක දිහා.
'අගමැතිවරයා හැටියට තමුන් දැනගෙන හිටියද අප්‍රේල් 21 පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන?'
ප්‍රශ්නය නියෝජ්‍ය කතා නායක ආනන්ද කුමාරසිරිගෙන්.
'නැහැ, මං දැනගෙන හිටියෙ නැහැ, සත්තයි!'
අගමැතිවරයගෙ බිඳුණු හඬ.
'තමුන්ගෙ ආරක්ෂක අංශය?'
ඒ පාම නලින්ද ජයතිස්සගෙ තේජාන්විත හඬ.
'ඒ ගැන නං...මට.... මොකුත් කියන්න බැහැ...ඕනි නං...මට අහල බලන්න පුළුවනි...'
අගමැති දෑස් යොමු වෙලා තිබුණෙ සීලිම දෙසට. මුළු පාර්ලිමේන්තු කාරක සභාවවෙම ඇස් ඔහුගෙ මුහුණෙ.
'මොකක්?'
ඒ පාම ආෂු මාරසිංහගෙ කෝපාන්විත හඬ. අගමැතිවරයා ගැස්සිලා වගෙ බිම බලා ගත්තා.
'මහනුවර දිගන සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම් හට ගන්න අවස්ථාවෙ ඔබ යටතෙ තමයි පොලිසිය තිබුණෙ...මං හරිද?'
ෆීල්ඩ් මාර්ෂල්වරයාගෙ තද කට හඬ බිල්ඩිම තුළ දෝංකාර දෙන්න ගත්තා.
'ඒ සිද්ධීන් එක්ක...මේ සිද්ධීන්...සම්බන්ධයි කියල...මට නං තවම කවුරුවත්...'
අගමැතිවරයා පහත් හඬින් කියන්න පටන් ගන්නකොටම...
'හරි! අපි ඒ අතීතය පැත්තකින් තියමුකො...පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිදුවීම් අතර, මුස්ලිම් ඇමතිවරු තම තනතුරුවලින් ඉවත්වීම....'
නලින්ද ජයතිස්සට කතාව ඉවර කරන්න හම්බ වුණේ නැහැ...
'ආ! ඒ සියළු දෙනා ආපහු ඇමති ධූර බාර ගත්තා...දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ...රතන ස්වාමීන් වහන්සේත් ප්‍රශ්නයක් නැතුව හොඳට වැඩ කරගෙන යනවා...ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ...මේක...'
'මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්! අහපු දේට විතරක් උත්තර දෙන්න!'
අගමැතිවරයා කඩ කඩා වගෙ වුණත් එක දිගට කියාගෙන ගියා. ඒත් සභාපතිවරයා එක පාරටම මැද්දට පැන්නා.
'අපිට එහෙම කරන්න උපදෙස් දුන්නෙ ඔබ තුමා! පිළි ගන්නවද?'
හකීම්, තම දකුණු පුටු ඇන්ඳ දකුණු අතින් මිරිකා ගනිමින් ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවා.
'ම්ම්ම්ම්...උපදෙස් දුන්න කියන එක මෙතන කියන්න උවමනා නෑ, එහෙම නං...මටත් කියන්න පුළුවනි...මටත් වෙන කාගෙන් හරි උපදෙස් අ...අ...අ...ලැබෙනවා කියල...ඒකයි මං හැම වෙලේම කියන්නෙ...මේක...' 
'මේක සෙල්ලමකට ගන්න එපා, තේරුණාද?'
ඒ ආෂු මාරසිංහගෙ හීනි, එහෙත් සැර හඬ. ආෂුගෙ දකුණු දබරැඟිල්ල අගමැති මූහුණට හරි කෙළින්.
'ඔබ මේ මුස්ලිම් නායකයන් එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නවා, විදේශ බලවේග වල උවමනාවන් ඉෂ්ට කරල දෙන්න කියල මං ඔබට යෝජනා කරනවා!'
ෆීල්ඩ් මාර්ෂල්ගෙ උච්ච ස්වරය!
අගමැති රනිල් නිහඬව වට පිට බලන්න ගත්තා.
'කෙටියෙන් උත්තරයක් දෙන්න, ඔබ අගමැතිවරයා හැටියට මේ ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වුණාට පස්සෙ ඉල්ලා අස් වෙන්න තීරණය කෙරුවෙ නැත්තෙ ඇයි, ඈ!?'
නලින්ද ජයතිස්සගෙ තිර හඬ. අගමැතිවරයා එක වරම බිම බලාගත්තා.
'මේ ප්‍රහාරය ISIS එක්ක සම්බන්ධද?'
ජයම්පති වික්‍රමරත්න මැද්දෙන් ඇහුවා.
අගමැතිවරයා ඇහුනෙ නැහැ වගෙ ලිපි ගොනුවක් අදින්න පටන් ගත්තා.
'පිට රටවල ත්‍රස්ත ක්‍රියාවල යෙදුණු ත්‍රස්තවාදීන් මේ රටේදි අත් අඩංගුවට ගන්න මොකක් හරි නීතිමය බාධවක් තියෙනවද?'
ජයම්පති දෙවැනි ප්‍රශ්නයත් ඇහුවා.
අගමැති දැන් කොලයක් දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා.
'මිස්ටර් පීඑම්...'
‍රවී කරුණානායක රැල් බුරුල් අරිමින් කට හඬ අවදි කෙරුවා. අගමැති රනිල් දකුණු අතේ ඇඟිලි විහිදුවමින් නිකට අත ගෑවා.
'අර වනාතවිල්ලුව ප්‍රදේශයෙ අවි ගබඩාවක් වැනි තැනක් ආරක්ෂක අංශ විසින් අල්ලගත්තට පස්සෙ කුමක්ද එතැන සිද්ධ වුණේ කියල දැන ගන්න උවමනයි...'
රනිල් දිගටම නිකට පිරිමදිනවා, ඇස් දෙක එහෙ මෙහෙ කැරකෙනවා විතරයි, කතාවක් නැහැ.
'යූ මස්ට් ආන්සර් පීඑම්! මං නරක මිනිහා කියන්න එපා අන්තිමට, ප්ලීස්...කෝ! උත්තරයක් දෙන්න අවශ්‍යයයි...පීඑම්!!'
‍රවීගෙ හඬේ සැර වැඩි වුණා. රනිල් කට අරින පාටක් නැහැ.
'අපේ ඉවසීම උරගා බලන්න හදන්න එපා!තේරුනාද ප්‍රයිම් මිනිස්ටර්?'
ඒ ආෂු.
'ඔව්! අපිට තියෙන බලතල ගැන දන්නවා ඇතිනෙ?'
මේ ආනන්ද.
'අපි ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්නවා!'
නලින්ද එහෙම කියන කොට නං අගමැති රනිල් බිම බලාගෙන නිකං අමුතුවට වගෙ හිනා වුණා.
'මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් ගෙටාආආආආවුට්ට්ට්ට්ට්ට්!
ආෂු මාරසිංහ යටි ගිරියෙන් කෑගැහුවා. පාර්ලිමේන්තු කාරක සභාවම ඒ හඬට හෙල්ලුම් කෑවා. 
මාවත් හෙල්ලුම් කෑවා, ගැස්සිලා වීසි වුණා.
හපොයි! පුටුව උඩම මට නින්ද ගිහිං, චිහ්! ප්‍රවෘත්ති බලන්නත් බැරි වුණා, අර පාස්කු කාරක සභාවෙ මොන ගිනි විච්චුම්බරයක් වුණාද මන්දා! 
CHAPA, August 6, 2019

Saturday, July 6, 2019

මෙන්න තවත් මරාලයක්!

මේ ළඟදි, ලංකා ඊ නිව්ස් ඔස්සේ මට එරෙහිව සමාජ ගත කෙරුණු එක්තරා මඩ ප්‍රවෘත්තියකට ''ඇනීටා, ලංකා ඊ නිව්ස් සහ මම ( චාපා)'' කියල විධිමත් උත්තරයක් දුන්නා, ඔබට මතක ඇති!
2018 මැද හරියෙදි, ස්වීට්සර්ලන්තයෙ ජීවත් වන ඇනීටා චරිතානි කියන කාන්තාව මුණු පොත ඔස්සෙ හදිසියේ මට මුණ ගැහෙන හැටිත්, ඒ සම්බන්ධය ලංකා ඊ නිව්ස් දක්වා වනචාරී ආකාරයෙන් වර්ධනය වන හැටිත්, ඒ ගැන උනන්දු කෙනෙකුට, ඒ සටහන ඔස්සේ කියවා තේරුම් ගන්න පුළුවං. ඒ සියල්ල මැද, ජනමාධ්‍ය කරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට මට වැදගත් වෙන්නෙ, කාන්තාවන් හෝ වෙන කවුරු හරි රවට්ටලා මං මුදල් හෝ වෙන කිසිවක් ලබා නොගත් බව තහවුරු කිරීම පමණයි!
ඒ නිසා, මං ලියූ ඒ විශේෂ සටහන ඔස්සේ ලංකා ඊ නිව්ස් මඩ ප්‍රවෘත්තියට අභියෝග කරමින් ඇත්තටම සිදු වූ සියල්ල පැහැදිලි කෙරුවා.
ඊට පස්සෙ ඔන්න දැන්, ව්‍යාජ කාන්තාවක් ව්‍යාජ කතාවක් ගොතමින් ඇනීටා චරිතානිගෙ ලංකා ඊ නිව්ස් කොන්ත්‍රාත්තුව සාර්ථක කරවන්න හාස්‍යජනක උත්සහයක නියැලෙනවා. 
ඉතාම කෙටියෙන්, මං ඔහොම කාන්තාවක් ගැන දන්නෙ නැහැ, ඇය තටමමින් කියන්නෙ පට්ට බොරු ගොඩක්. මට එරෙහිව ඇයගෙන් ප්‍රශ්න අහන පිරිමියා(?) දරන, දැඩි එහෙත් අසරණ උත්සහය ගැන මට ඇත්තටම ඇති වෙන්නෙ අනුකම්පාවක්.
මේ මෝඩ මඩ කතා වලට මගෙ බිරිඳ ත් ඇදල දාන්න ගන්න උත්සහයත් හාස්‍යජනකයි, ඒත් නින්දිතයි!
ඇය, අතින් වියදම් කරගෙන දැඩි කැපවීමෙන් දරුවන් ට යහ මග පෙන්වන ගෞරවණීය, පළපුරුදු ගුරුවරියක්. ඇය, හුදු ගැහැනියක් නෙවෙයි දරුවන් සිය දහස් ගණනකට ජීවිතය කියාදෙන ජාතියේ නායිකාවක්. ''බිරිඳ කතා'' ''ගැහැනු පිරිමි කතා'' පැත්තක තියෙද්දි, ඒ විශිෂ්ට ගුරුවරියට මං ගරු කරනවා, කොන්දේසි විරහිතව ඇයට සහය දෙනවා. 
ඇනීටා චරිතානි ප්‍රමුඛ ලංකා ඊ නිව්ස් ''අපරාධ කරුවන්ට'' හෝ ඉන්දික තොටවත්ත වගෙ ''නරුමයන්ට'' ළං වෙන්න බැරි උසක ඇය ඉන්න නිසා මට කණගාටුවක් නැහැ, ඒත් මං නිසා ඇයට සිදුවන අපහසුතාව ගැන හිතේ කම්පනයක් තියෙනවා. 
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි!
ලංකා ඊනිව්ස්, ඉන්දික තොටවත්ත සහ ඔවුන් වටා ගොන් කරණම් ගහන තවත් දේශපාලන කොන්ත්‍රාත් කරුවො සහ ලිංගික අසහනයෙන් පෙළෙන අසරණ අපතයො කොහොම දැඟලුවත් මං දිගටම මගෙ දෙවුර මත පැට වී තිබෙන ඓතිහාසික කාර්‍යභාරය තව තවත් ශක්තිමත්ව කරගෙන යනවා. 
මගේ නිරීක්ෂණයෙ හැටියට, ඇනීටා චරිතානි කියන මගෙ හදිසි යෙහෙළියගෙ මානසික ආරාවුල දේශපාලන ගොදුරක් බවට පත් වෙලා, ඇය ම ඒ කොන්ත්‍රාත්තුව කරනවා කියල හිතන්න, මගෙ හිත මට තවම ඉඩ දෙන්නෙ නැහැ. ඒත් මං ඇය දෙස බලාගෙන ඉන්නවා!
කොහොමත්, ජනාධිපතිවරණය සහ තවත් සංකීර්ණ දේශපාලන තත්ත්වයන් වේගයෙන් පෙළ ගැහෙමින් තියෙන නිසා, මට එරෙහි මෙවැනි මඩ ප්‍රහාර එන්න එන්න වර්ධනය වෙයි!
මං ඔය ඕන සෙල්ලමකට ඔරොත්තු දෙන සහ ඕන අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් දේශපාලන ක්‍රියාකාරිකයෙක්, පුද්ගලිකත්වය අභිබවා පොදු අවකාශයක සැරිසරන කෙනෙක් - 'මම' කිව්වට ක්‍රියාවලියක්!
ඒ අතරෙ, හදිසියෙම මං නික්ම ගියොත්, රට බේර ගන්න කෙරෙන මේ මහා අරගලය ඔබට බාරයි! 
එහෙම ගියත් මං ආයෙ එනවා, 
ඒ මම නොවුණාට වෙන කෙනෙකුත් නෙවෙයි!
හාද?
CHAPA
July 6, 2019


    

Thursday, July 4, 2019

මොකද්ද එතකොට මං කියන්නෙ?

"කුණු කුණු කුණූඌඌඌඌ.....කුණු ගේන්ඩඅඅඅඅඅඅ...."
දුගඳ මුසු වූ සුපුරුදු හඬ ගේට්ටු අස්සෙන්, තාප්ප උඩින් සහ කානු දිගේ, ගෙවල් වලට ආරංචිය ගේනවා.
කුණු ට්‍රැක්ටරය ඇවිත්!
එක එක මාදිලියෙ ගැහැනු මිනිස්සු තම තමන්ගෙ කුණු භාජන සහ මලු ළඟට කරගෙන ඔන්න වීදිය දැපැත්තෙ හිට ගන්නවා. 
"බලන්නකො මේ මිනිස්සු අපේ කුණු ටික දාලා ගිහිං...ගේට්ටුව ඉස්සරහ පේන්නම තියෙද්දිත්...චිහ්! පොඩ්ඩක් එහා මෙහා වෙලා අපි පේන්න හිටියෙ නැත්තං කුණු දාලා යනවා, ජරා මිනිස්සු!
කාන්තාවක් තම අසල් වැසියාට කියනවා ඇහෙනවා.
"මටත් එහෙම අත්දැකීම් තියෙනවා...සමහර දාට කුණු දාලා යනවා...ඇත්ත තමයි!"
මං අල්ලපු ගෙදර හිතවතාට කිව්වා.
"මෙහෙමනෙ...කීයක් හරි දුන්නොත් තමයි වැඩේ කෙරෙන්නෙ...දන්නවනෙ අපේ රටේ හැටි!"
ඔහු කියන්න ගත්තා.
"මාත් අර හැමෝම කරන නිසා රුපියල් විස්සක් දෙනවා කුණු එක දෙන ගමන්"
අල්ලස් දීම ගැන හිතේ කණස්සල්ලකින් මම ඔහුට ප්‍රතිචාර දක්වනවා.
"මං නං 50 ක් 100 ක් වගෙ දෙනවා...එහෙම නැත්තං ඕකුන් එන්නෑ! අපි දන්නවනෙ..."
"අපි බදුත් ගෙවල... ඇයි අල්ලසුත් දෙන්නෙ?! අන්තිමට ඒ මිනිස්සු රාජකාරියත් පැහැර හරිනවා...."
මං කරුණු පැහැදිලි කරන්න ගත්තා.
"මේ යකාට පිස්සුද මන්දා!"
අල්ලපු ගෙදර හිතවතාගෙ ඇස් යට බැල්මෙ තිබුණෙ එහෙම කතාවක්, ඒත් ඔහු "අනේ මන්දා!" කියමින් හෙමින් ගේට්ටුව වහ ගත්තා.
"අපි කම්ප්ලේන් කරමුකො, එහෙම අල්ලස් ගන්න දෙන්න බැහැනෙ..."
"බලන්න! ඔයගොල්ලො කරන්නෙ වෘත්තියක්නෙ...නේද?"
කුණු ට්‍රැක්ටරයෙ අයගෙන් මං එහෙම අහනවා.
"ඔව්! ඉතිං...මොකද්ද අවුල?"
ඒ කෙනෙක් ඇහුවොත්?!
"ඇයි තමන්ගෙ රාජකාරිය හරියට කරන්නෙ නැත්තෙ?"
"ඒ කියන්නෙ?"
"ඔයාලට සල්ලි දුන්නෙ නැත්තං ඔයාල කුණු දාල යනවා...එහෙම බැහැනෙ, ඔය රාජකාරිය කරනවට රජයෙන් පඩි ගෙවනවනෙ...ඒ පඩි ගෙවන්නෙ අපේ බදු මුදල්වලින්...ඔය අල්ලස් ගැනිල්ලක්!"
මං එතකොට කියනවා.
"මහත්තයා මේ රටේ කෙනෙක් නෙවෙයිද? ඔළුව නරක් වෙලාද? එක්කො අපිව විහිළුවකට ගත්තද? ඈ!"
කුණු ට්‍රැක්ටරයෙ ගුජු ගුජු හඬ යටපත් කරගෙන කෙනෙක් උස් හඬින් අහනවා.
"අල්ලස් ගන්න එපා! ජොබ් එක කරන්න!"
මං අවධාරණය කරනවා.
"එතකොට අර මහ එවුන් කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් ගන්නවා...හොරකං කරනවා...මහත්තයාට හොඳයි! අපි කීයක් හරි ගන්න එක තමයි ලෙඩේ...අනේ නිකං යන්න මහත්තයා...!"
එහෙම කිව්වොත්?! එතකොට...
"ඔහොම කියනවා නං...ඒකම කරනවා නං...ඔයාලට විරුද්ධව පැමිණිලි කරනවා...අල්ලස් ගන්න එක නීති විරෝධියි! තේරුණාද?"
මං කියනවා.
"පැමිණිලි? අපිට විරුද්ධව? කාටද ඔය පැමිණිලි කරන්නෙ? අපේ ලොක්කොත් හොඳට ගහනවා...හිහීඊඊඊ..."
"උඩට උඩට පැමිණිලි කරගෙන යනවා...එතකොට?"
උඩට! උඩට! කියල බර කරල කියනකොට හිතට ලැජ්ජාවකුත් ආවා, ඒත් ඒක මෙයාලට පෙන්නන්න හොඳ නැහැ.
"අල්ලස් ගන්න බැහැ! එච්චරයි"
"අපිට පාට් දාන්න ආවොත්, අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා....එතකොට කුණු ගොඩ ගැහෙයි, හරිද?"
"වෘත්තීය සමිති ක්‍රියාමාර්ග?"
මොකද්ද එතකොට මං කියන්නෙ?!
"ගනං ගන්න එපා...කීයක් හරි දීල වැඩේ කර ගම්මු..."
අල්ලපු ගෙදර හිතවතා හෙමින් ගේට්ටුව ඇරල ඔළුව දාලා කිව්වා.
CHAPA
July 5, 2019

Tuesday, July 2, 2019

කළාපයෙන් මැඩම් කෙනෙක් ඇවිත්...


''මිස් මේ බලන්න! මේ ළමයගෙ උත්තරය සම්පූර්ණ නැහැ....ඒත් හරියක් දාලා!''
පන්ති භාර ගුරුවරිය දෙස නොරිස්සුම් බැල්මක් හෙළමින් ප්‍රාථමික අධ්‍යක්ෂවරිය කියන්න පටන් ගත්තා.
''මේ ළමයා ටිකක් දුර්වලයි...හෙමින් හෙමින් තමයි ගොඩ නැගෙන්නෙ...එතකොට....''
ගුරුවරිය කරුණු පැහැදිලි කරන්න ගත්තා.
''එහෙම බැහැ! මිස් තේරුම් ගන්න...මෙහෙම ළමයෙකුට පුළුවං ද ශිෂ්‍යත්වයට ලකුණු ගන්න...මං නිසා හොඳයි වෙන ඩිරෙක්ටර් කෙනෙක් ආව නං මිස්ට විරුද්ධව ලියුමකුත් ගහනවා, තේරුණාද?''
කළාපයෙන් පාසලේ ප්‍රාථමික අංශය අධීක්ෂණය කරන්න වරින් වර ආපු අධ්‍යක්ෂ වරු, ඒ රළු හඬ අතරින් ගුරුවරියට මතක් වුණා.
''මිස් උගන්වන විදිහ ඉතාම හොඳයි...මේ වගෙ උප සංස්කෘතියක් තියෙන පැත්තක දරුවො පාසල් එන එකම ඇති...නේද මිස්!''
මීට පෙර පන්තියට ආපු කළාප අධ්‍යක්ෂවරිය තම පන්තිය තුළ දීර්ඝ වේලාවක් රැඳෙමින් කියපු කතාවක් ඇයට ඒ අස්සෙ මතක් වුණා.
''මේ සමහර දරුවො ඉන්නෙ ළමා නිවාස වල...එක්කො අම්මා තාත්තා දෙන්නම නැහැ...ඉන්නෙ ආච්චි කෙනෙක් එක්ක...සමහර ගෙවල් වල තාත්තා බීගෙන ඇවිත් රෑ තිස්සෙ කලබල කරනවා...මේ පුංචි ගැහැනු දරුවන්ගෙ ජීවිත කොහොමවත් සුරක්ෂිත නැහැ....මේ අවට සමාජ තත්ත්වය මැඩම් ට පේනවනෙ...හරිම කරදරකාර ජීවිත!''
'' මං මේ ඒ ගැන තමයි හිතන්නෙ...අපි කළාප කාර්‍යයාලයෙ කාමරයක ඉඳගෙන විවිධ දේවල් හිත හිතා හිටියට කොළඹ වෙලත්, පොළොවෙ තත්ත්වය කොච්චර වෙනස්ද! නේද මිස්? ඇත්තටම අපට මිස්ලගෙන් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා...මේ ඉතිං අපේ රටේ අනාගතයනෙ...''
ඒ අධ්‍යක්ෂවරිය කුඩා දරුවෙකුගෙ හිස අත ගා තමන්ට තුරුළු කර ගනිමින් කිව්ව හැටි ගුරුවරියට මතක් වුණා.
'' මෙහෙම නං වැඩ කරල බහැ මිස්! බලන්න මේ ළමයගෙ අකුරු ඇදයි...මේ මේ...මේ අකුරු රූලෙන් පැනලා...ඒකටත් මිස් හරි දාලා....කිසිම අවධානයක් නැතුවනෙ වැඩ කරන්නෙ, එහෙම බැහැ! ගුරු වෘත්තිය කරනවා නං උනන්දුවෙන් කරන්න...මමත් ඉස්සර ගුරුවරියක් හැටියට වැඩ කෙරුවා....මිස්ට ඉන්නෙ ළමයි කී දෙනාද? ආ? මගෙ පන්තිවල හැම පාරම හතළිහ පැනලා...ඒ මේ වගෙ ඉස්කෝල නෙවෙයි...ලොකු ඉස්කෝල! තේරුණාද?''
අධ්‍යක්ෂවරියගෙ මුහුණ බැරෑරුම්!
''මං මේ කෙටි වෙලාවට තේරුම් ගත්තා,,,මිස් ළමයින්ට කොච්චර ආදරය කරනවද කියල....එයාලත් මිස්ට සලකන්නෙ අම්මා කෙනෙකුට, අක්කා කෙනෙකුට සලකනවා වගෙ...මිස් උගන්නනවා කියල හිතෙන්නෙ නැහැ, හරිම මෘදු අධ්‍යාපනික වැඩ පිළිවෙළක්...මට දුයිෂෙන් මතක් වුණා...''
එදා අර අධ්‍යක්ෂවරිය ආපු වෙලාවෙ පන්ති භාර ගුරුවරියට තුරුළු වුණු පන්තියෙ පුංචිම පුංචි ගැහැනු ළමයා දිහා ආදරයෙන් බලමින් කියපු කතාව!
''මේ තමයි මැඩම් මං කියපු අර දක්ෂ ගැහැනු ළමයා! මෙයා හරි ලස්සනට අකුරු ලියනවා, ගණන් හදන්නත් හරි හපනී...ආ! මේ තියෙන්නෙ එයාගෙ ලියන පොත...මේ බලන්න!''
අධ්‍යක්ෂවරිය සහ පුංචි ගැහැනු ළමයා ගුරුවරියත් එක්ක එකට, ඒ පොතට එබුණා. සමහර අකුරු අනිත් පැත්තට ලියලා. සමහර අකුරු බෝල පෙට්ටි සහ ඉරි කෑලි එකතු කරල හදපු අමුතු රූප වගෙ.
''ම්ම්ම්ම්....හරිම දක්ෂ ළමයෙක්නෙ...මේ දුව ලොකු වෙලා කවුද වෙන්න හිතාගෙන ඉන්නෙ?''
''ටීචර් කෙනෙක්...''
දැරියගෙ හුරතල් හඬ ගුරුවරියගෙ හිත අස්සෙ ගුළි වුණා.
''අපි ගුරුවරු වුණාම ළමයින්ගෙ වැරදි වැරදි විදිහට පෙන්නන්න ඕන...වැරදි දේවල් හරියි කියන්න එපා! තේරුණාද?''
''ඒ වුණාට වඩා වැදගත් වෙන්නෙ දරුවන්ගෙ හිත හදන එක,,,දරුවන්ගෙ පෞර්ෂය වර්ධනය කරන එක...මේ වගෙ අඩු පහසුකම් තියෙන සහ උප සංස්කෘතික වට පිටාවක් තියෙන පැත්තක දරුවො පාසල් ගෙන්නවා ගන්න එකම ලොකු වැඩක් මිස්...''
ඒ අර එදා ආපු කළාප ප්‍රාථමික අධ්‍යක්ෂවරිය.
'',,,.දරුවො තේරුම් ගන්න එක තමයි වැදගත්, එයාලට ඕන ආදරය, රැකවරණය... අධ්‍යාපනය සාර්ථක වෙන්නෙ එතකොට තමයි...අකුරු ඉලක්කම් උගන්වන එක එතකොට ඉබේම සිද්ධ වෙනවා...''
ඒ ගුරුවරිය!
 ''මිස් මීට පස්සෙ වගකීමෙන් වැඩ කරන්න ඕන...මං සෙක්ෂනල් හෙඩ්ටත් උපදෙස් දෙනවා මිස් ගැන ටිකක් බලන්න කියල...''
රළු මුහුණ පන්තිය වටා කරකවමින් අධ්‍යක්ෂවරිය ආපහු යන්න නැගිට්ටා,
''මං ගැන?''
ගුරුවරිය ඇහුවා.
''මිස් ගැන  මං දන්නවා...මේ අපේ මිස්...''
ගුරුවරියට ඇහුනෙ එදා ආපු අර  අධ්‍යක්ෂවරියගෙ හඬ. ඒත් ඒ හඬ කතාවක් විදිහට සටහන් වෙලා තිබුණෙ අර ඇයට තුරුළු වෙලා ඉන්න දැරියගෙ ඇස් දෙකේ.
මොකද, අර ඇයට මතක් වන අධ්‍යක්ෂවරිය කවදාවත් ඒ ඉස්කෝලෙට ආවෙ නැහැ!
CHAPA
July 3, 2019