Sunday, May 29, 2016

CHAPA on CSN with Lalith Ellawala, May 25, 2016

මුස්ලිම් අන්තවාදයට එරෙහිව! 

මහනුවර, මඩවල, මදීනා ජාතික පාසලේ සිංහල ගුරුවරුන්ට එරෙහිව ක්‍රියාත්මක බව කියැවෙන මුස්ලිම් අන්තවාදී ක්‍රියාන්විතය ( ? ) සම්බන්ධයෙන් අපේ දැඩි අවධානය යොමුවෙන්න ඕනෙ. අපේ කියන්නෙ, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝගෙම. මේ පුංචි ලංකාව ඇතුළෙ සියවස් ගණනාවක්ම - මේ හැම ජාතියක්ම එකට ජීවත් වුණා.
1930 දශකය වගෙ වෙනකොට බ්‍රිතාන්‍ය කිරීටය යට සර්වජන ඡන්ද බලය පිළිබඳ සාකච්චාව ඇතුළෙ තමයි මේ ජාතිවාදී හැඩතල මුලින්ම නිල වශයෙන් ලංකාවෙ මතු වෙන්න පටන් ගන්නෙ. ඊට පෙර රටේ ජාතීන් අතර තිබුණු ආරවුල් ඒ තරමට සංකීර්ණ නැහැ. එහෙම බලනකොට පැහැදිලි වෙනව, මේ රට, යටත් විජිත සමයෙදි ලේසියෙන් ගොඩ එන්න බැරි ආරවුල් ගණනාවක පටලැවෙන වග. රටේ සිංහල - දෙමළ ඡන්ද සටනක් ඇතිවෙලා ගොඩනැගෙන අස්ථාවර තත්වය ඒ අතර තීරණාත්මකයි. දෙමළ අන්තවාදයක් නිර්මාණය වෙලා එය අන්තිමට බිහිසුණු ත්‍රස්තවාදයක් බවට හැරෙන්නත් ඔය පසුබිම හේතු වෙනව. හරියටම බැලුවොත් මේ තමයි බ්‍රිතාන්‍යයන්ගෙ එදා සිහිනය, dividing and governing! බෙදා පාලනකිරීම. ලංකාවෙ අපිට මේ අදටත් ඒ මර උගුලෙන් ගැලවෙන්න බැරිවෙලා. ඒ වගේම දැන් එංගලන්තය ඇතුළු යුරෝපා රටවල්, විශේෂයෙන්ම ඇමෙරිකාව මේ තත්වයෙන් අපිට ගොඩ එන්න බැරිවෙන්නම හිට ගන්නව. වෙළඳ පොළ පුළුල් කර ගැනීම සහ සම්පත් කොල්ලය තමයි ඔවුන්ගෙ අරමුණ, ඒ අතරෙ ඒ ඒ රටවල ක්‍රියාත්මක දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් ඒ ඒ රාජ්‍යයන්ට බලපෑම් කරන්න පුළුවං තත්වයට අද වර්ධනය වෙලා.
 ලංකාවෙ දෙමළ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කෙරුණත් එහි සෙවණැලි දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් දැන් සංවිධානාත්මකව ඉස්සරහට යනව. ඔය අතර තමයි මුස්ලිම් අන්තවාදය රට තුළ හිස ඔසවන්නෙ. කොහොමත් ලෝකය පුරාම විවිධ නම් වලින් මේ මුස්ලිම් අන්තවාදීන් ක්‍රියාත්මකයි. ISIS කියන්නෙ මේ මොහොතෙ වැඩි අවධානයක් දිනාගත්ත ත්‍රස්තවාදය, ඒ හැර තවත් කණ්ඩායම් ඉන්නව. දේවත්වයට ම්ලේච්ඡත්වය ආදේශකරන මේ ආගමික අන්තවාදය වර්තමාන ලෝකයම අස්ථාවර කරනව, මේ පිටිපස්සෙත් නැවත තියෙන්නෙ අර නුතන යටත් විජිත බළල් අත් - ඛනිජ තෙල් සම්පත මෙතැනදි ප්‍රධාන සාධකයක් බවට පත්වෙලා, හරියටම ගත්තොත් මේ ආගමික අන්තවාදීන් නුතන ලෝක දේශපාලනයෙ ගොදුරු, ඒත් නුගත් ඔවුන්ට මේ යථාර්තය කොහොම වැටහෙන්නද?
මේ පසුබිම යටතෙ ලංකාවෙ නැගෙනහිර පළාතෙන්, මධ්‍යම පළාතෙන් ළඟ ළඟ එන මේ සංඥා මීට වඩා සීරුවෙන් අපි තේරුම් ගන්න ඕනෙ, ඒ සඳහා ලංකා රාජ්‍ය මීට වඩා සංවිධානාත්මකව සුදානම් වෙන්න ඕනෙ. ඒත් එකිනෙකා මරාගෙන තමන්ගෙ තැන පමණක් හදාගන්න හදන නරුම දේශපාලනඥයන් ඉන්න රටක එහෙම කොහොම වෙන්නද? අඩුම තරමෙ ව්‍යාපාරිකයන් කියන්නෙ ධනවාදී සේනාංකය, එත් මේ රටේ Halal මාෆියාව හරියටම ක්‍රියාත්මක වෙන්න ඇරල අනිත් ව්‍යාපාරිකයො ඔළුව පහත් කරගෙන ඉන්න එකෙන්ම පේනවා අපි ධනවාදයවත් හරියට තේරුම් අරගෙන නැති වග. ඊළඟට ඉඩම් මිලදීගැනීම් හරහා මුස්ලිම් අන්තවාදීන් රටපුරා වේගයෙන් ව්‍යාප්ත වෙනව. ව්‍යාපාරික ලෝකය වේගයෙන් අත්පත් කරගන්නව. දීර්ඝ කාලීන ව්‍යප්තවාදයකට වට පිටාව සකස් කරනව. කවුරුවත් විරුද්ධ නැහැ!
ඒ අස්සෙ විවිධ නම් වලින් සිංහල බෞද්ධ කණ්ඩායම් හැදිල තත්වය තවත් සංකීරණ කරනව. මේ අනුව රට එන්න එන්නම අවිනිශ්චිත දිශානතියක් කරා ගමන් කරන බව පේනව.
අපි කොහොමද මේ මහා ඛේදවාචකයෙන් ගොඩ එන්නෙ? සිංහල, දෙමළ, මුස්ලිම් අපිට එකම ජාතියක් විදිහට, ඒකීය රටක් විදිහට නව යටත්විජිතවාදයට එරෙහිව හිටගන්නම වෙනව, එත් ඒ කොහොමද?  CHAPA  

Friday, May 27, 2016

වසන්ත මොරගොඩ දැක්කද?
වසන්ත මොරගොඩ දක්ෂ නළුවෙක්, රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහටත් හොඳයි, ඒ කියන්නෙ ඔහුට ඕන නං මේ හුඟක් මාධ්‍ය තුළ යමක් කරන්න පුළුවං. මම, ඔහුගෙ මේ හැකියාවට කැමතියි.
මට කාලය හරියටම මතක නැහැ, 2004 දී වගෙ දවසක ඔහු නුගේගොඩ, නාවල පාරෙ 'නිදහස්' කාර්යාලයට ගොඩවුණා. ඒ එකවිදිහක අහම්බයක්. ඔහු හිටියෙ තවත් කෙනෙක් දෙන්නෙක් එක්ක. අපි ඉතිං හුඟක් දේවල් ගැන කතා කෙරුව, 'නිදහස්' කිසිම ස්ථිර අදායමක් නැති, රාජ්‍ය නොවන ආයතනවල අරමුදල් ගන්නෙත් නැති, මාධ්‍ය අත්හදා බැලීමක්, පුවත් පත සහ වෙනත් ප්‍රකාශන විකිණීම හරහා සහ වරින් වර කරන වාණිජ නිර්මාණ කටයුතු වලින් ලැබෙන අදායම පදනම් කරගෙන අඛණ්ඩව කෙරෙන දේශපාලන මාධ්‍ය මැදිහත්වීමක්! 'මේක මාර වැඩක්!' වසන්තගෙ ඇස්  පුදුමයෙන් ලොකු වුණා, ' මම මේ පාර පත්තරේට රුපියල් 10 000/- ක් දෙනව...' ඔහු ඒ අතරෙ අධිෂ්ඨානශීලීව කිව්ව. ඒක ලොකු දායකත්වයක් වෙලාවෙ හැටියට, අපිට සතුට දරාගන්න බැහැ. 'මම පොඩි වැඩ වගයක් කරගෙන යනව, පත්තරේ ඒ ගැන ප්‍රචාරණ දැන්වීමකුත් දාමුකො. ඉතිං හොඳනෙ! අපි හිතුව. අපි ඒ වෙනකොට අදාළ මාසයෙ පත්තරය සැලසුම් කරල ඉවරයි, එත් මේ අවස්ථාව වැදගත් නිසා මුද්‍රණය ටිකක් පරක්කුකරගෙන බලාගෙන හිටිය, දවස, දෙක, තුන ගෙවෙනව...ම්හු! වසන්තගෙන් ආරංචියක් නැහැ, දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේත් නැහැ, මිනිහට කරදරයක්වත්ද? අපි කතාවුණා.
'අය්යෝ..ඔයගොල්ලො මිනිහගෙ ජෝක් එකකට අහුවෙලා..පිස්සුනෙ!' වසන්තව දන්න කියන පාසල් ගුරුවරයෙක් මට කිව්ව. ඈ! ජෝක් එකක්! 'නිදහස්' කාර්යාලය ඇතුළෙ ඒ දවස්වල ඒ වචන දෝංකාර දුන්න, එච්චරයි! ඔන්න ඉතිං අවුරුද්දෙන් අවුරුද්ද කාලය ගෙවුණා, 2010 වගෙ වෙනකොට නිදහස් ක්‍රියාකාරකම් නැවතුණා, වසන්ත මොරගොඩවත් ඉබේම අමතක වෙලා ගියා. එත් සෑහෙන කාලයකට පස්සෙ, ගිය අවුරුද්දෙදි ආයෙත් ඔන්න වසන්ත මගෙ ඔළුවට එනව. ඒ,ඔහු මොකද්ද ටීවී චැනල් එකක් කරනව කියල කෙනෙක් කියපු නිසා, දවසක මම ඉතිං වසන්තට දුරකථන ඇමතුමක් දුන්න, අපිට වැඩකරන්න වේදිකානෙ ඕනෙ.
'මචාං චාපා...කොහොමද?' වසන්තගෙ සුහද වදන් - වසන්ත පිළිබඳ අමිහිරි අතීත මතකය එකවර මකල දැම්ම. 'උඹ ආවෙ නියම වෙලාවක...ඒක නං කතා කරගෙන සිද්ධ වුණා වගෙ. මාරයි!' ඔහුගෙ ගෙදරදී අපි හම්බ වුණාම ඔහු කියාගෙන ගියා, ඉතාම සුහද පිළිගැනීමක්! ඔන්න ඉතිං අපි කතාකරන්න පටන් ගත්ත. මම නොදන්න කාලය ඇතුළෙ ඔහු අසනීප වෙලා, ඔත්පලවෙලා වගෙත් හිටියලු, ඔහු කතාකරනකොට ඇස් දෙකෙන් කඳුළු කැට කඩා වැටුණ, මට පුදුමාකාර දුකක් ඇතිවුණා. ඔහු චිත්‍රපටයක් කරන්න ගිහිං ලොකු නීතිමය ප්‍රශ්නයකටත් කොටුවෙලා. 'මාර පව් වැඩක්!' ටීවී චැනල් වැඩෙත් අසාර්ථක වෙලා. ඔහු ඊළඟට කියන්න ගත්තෙ දැන් කරන අළුත් වැඩක් ගැන, ඔහු පුද්ගලික බැංකුවක් එක්ක, ආර්ථිකය කළමනාකරණය කරගන්න හැටි මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් මාලාවක් පටන් ගන්න යන්නෙ. මටත් ඒ වැඩේට සම්බන්ධ වෙන්න කිව්ව. 'අපිට එකතු වෙලා ලොකු වැඩක් කරන්න පුළුවං...' ඔහු කියනව. මගෙ මැදිහත්වීමට ඔහුගෙ ව්‍යාපෘතියෙන් නිශ්චිත ගෙවීමක් වෙන් කරන හැටිත් ඔහු පැහැදිලි කරනව. ඔව්! එහෙම දේවල් ඉතිං කරන්න වෙනව මේ වගෙ වැඩ ඇදගෙන යන්න නං...මමත්  එකඟ වෙනව. ඔන්න ඉතිං අපි වැඩේට බැස්ස.
පළවැනි වැඩසටහන කුරුණෑගල. අපි ගියා, වැඩේ හොඳට කෙරුණා, පාන්දර ගිහින් මහා රෑ ආපහු ආව. 'වැඩේ නියමයි, අපි දිගටම මේක කරමු, මම හෙට උදෙන්ම චෙක් එක කෑෂ් කරල ඔයාගෙ පේමන්ට් එක කරන්නං..' වසන්ත සමු ගන්න අතරෙ කිව්ව. ඒ පහුවෙනිද ආයෙ කවදාවත් ආවෙ නැහැ.' මචං තව පොඩ්ඩකින් මම උඹට ගන්නවා..' ' ම්ම්ම්..හරි දැන් එන්න පුළුවංද? එක්කො..නෑ! ඉන්න මම ටක් ගාල අනිත් පැත්තට ඔයාට ගන්නං..' ඔය වගෙ කතා, එක වෙලාවක ඔහු චෙක් එක මාරු කරගන්න බැංකු පෝලිමක ඉන්න හින්ද රහසෙන් වගෙ උත්තර දෙනව. මට හිතාගන්න බැරි අර බැංකු සේවක වැඩමුළුවෙදි මිනිස්සු ගොඩනැගෙන්න ඕන විදිහමනෙ මේ මනුස්සය කතා කෙරුවෙ.
 'ආ..උඹත් ඌට අහු වුණාද? අය්යෝ..' ඒ පාර ඔය 'අය්යෝ' කතාව කියන්නෙ සේපාල් අමරසිංහ. 'මිනිහ උඹ එක්ක කතා කරද්දී ඇඬුවද?' සේපාල් බලාගෙන හිටිය වගෙ අහනව. අරහෙම කිව්වද - මෙහෙම කිව්වද? ඔහු තවත් ඒව අහනව. හරි නේන්නං! ඒ ඔක්කොම හරි!! 'ඔය වසන්ත මොරගොඩගෙ හැටි, මිනිහ හැමෝටම ඕව කරනව...' ඒ සේපාල්. 'එතකොට මිනිහ ලැජ්ජවෙනවනෙ, හැමෝම දැනගන්නවනෙ, එතකොට...' එතකොට තමයි එයා ආසා, මිනිහට ඒ ලැජ්ජාව හරි මොකක් හරි එක තමයි ඕන..සේපාල් කියනව. ඈ!? මේ...ඔය කවුරු හරි වසන්ත මොරගොඩ දැක්කද?
CHAPA