Politics does mean civilization! so that POLITICS is a DIALOGUE, so is civilization! who? What? why? Where? When?...a lot of questions to be answered, Politics is a PROCESS finally!
Monday, July 31, 2017
සුජිත්! ඔබ මොනව ද දැන් කරන්නෙ?
හිතවත් සුජිත්!සුජිත් අක්කරවත්ත!
මම එක පාරට ම මෙහෙම ඔබට ලියන්න කල්පනා කෙරුවෙ, ඔබ දැන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ගෙ කතා ලියමින් ඉන්න බව කීප දෙනෙක්ම කියපු නිසයි. ඒ කතාව ඇත්ත ද? ඔබ සිංහල භාෂාව හසුරුවන්න දක්ෂ නිසා, එහෙම රාජකාරී කටයුත්තක්, ඔබට පැවරුණා වෙන්න පුළුවන්.
ඒත් මේ ආරම්භ කරන්න සුදානම් වන සාකච්ඡාව ඒ වෘත්තීය සීමාවෙන් එපිට ට විහිදෙනවා.
ඔබ සිංහල භාෂාව ප්රමුඛ රටේ අනන්ය සංස්කෘතිය ගැන දිගින් දිගටම අදහස් ඉදිරිපත් කරන පුද්ගලයෙක්. රටේ ඉතිහාසය සහ විශේෂයෙන් ම බුදු දහම ගැන ඔබේ උනන්දුව මා දැක තිබෙනවා. ඒ ගැන, ඔබ ලියන සහ කතා කරන දේ ගැන මගෙ පුද්ගලික අධ්යනයකුත් තියෙනවා.
ඔබට මතකද ? 2010 ජනාධිපතිවරණය ට පෙර දවසෙ රාත්රිය! ඔබ සහ මම ඒ මොහොතෙ හිටියෙ Max රුපවාහිනී සජීව මැදිරියෙ, නුගේගොඩ. පහුවැනි දා පැවැත්වීමට නියමිතව තිබූ ඒ ජනාධිපතිවරණය ගැන අපි දීර්ඝ සජීව සංවාදයක නියැලුණා.
ඔබ, නම් සඳහන් නොකර, එහෙත් ඍජුවම පෙනී හිටියෙ ජෙනරාල් ( එදවස ) සරත් ෆොන්සේකා වෙනුවෙන්. ඔබේ මුලික තර්කය වුණේ, රට තුළ ඒකාධිපති දුර්දාන්ත පාලනයක් පවතින නිසා, එය පරාජය කළ යුතු බවයි. ඔබ එදා පාලනය විස්තර කෙරුවෙ, අශිෂ්ට අසික්කිත ක්රියාවලියක් ලෙසයි. ඊට එරෙහිව, ජාතික සම්මුතියක් ඇතිකරගත යුතු බව සහ එමගින් ශික්ෂාකාමී දේශපාලන ප්රවාහයක් ඇතිකළ යුතු බව ඔබ අවධාරණය කෙරුවා. ඔබේ අවසාන ඉලක්කය වුණේ, යහ ගුණය පිරි ප්රජාතන්ත්රවාදයක් රට තුළ ස්ථාපිත කිරීමයි. ඒ සඳහා, මහින්ද රාජපක්ෂ ට එරෙහිව, ඒ මොහොතෙ ඔබේ තේරීම වුණේ සරත් ෆොන්සේකා.
මම, අද වගේම ඒ මොහොතෙත් කියමින් හිටියෙ, මේ පුද්ගල මාරුවෙන් රටේ කිසිදු වෙනසක් වෙන්නෙ නැහැ කියන එකමයි. රට වෙනස් කරන්න නං දීර්ඝකාලීන සමාජ පරිවර්තනයක් සඳහා ජනයා බලගන්වනන්න ඕන කියන යෝජනාව මම දිගට ම ඉදිරිපත් කරමින් හිටියා, ඔබට මතක ඇති.
එය මම දකින්නෙ, වෙළෙඳපොළ බලවේගයක් බවට පත්වන ගෝලීය දේශපාලනයට එදිරි ඓතිහාසික අරගලයක් විදිහට.
ඔබ එදා, මිනිස්සුන්ට කිව්වෙ, උදෙන්ම ගිහිං තමන්ගෙ බලගතු ඡන්දය, ඔබ යෝජනා කරන තේරීම සඳහා පාවිච්චි කරන්න කියලයි. එය තමන්ට ලැබෙන අවසන් අවස්ථාව වගෙ අදහසකුත්, ඔබ ඔවුන්ට ඒත්තු ගන්වන්න උත්සහ ගත්තා. මම කියමින් හිටියෙ, ඡන්දය දැමීම කෙසේවෙතත් එයින් රට වෙනස් දිශාවකට හැරවෙන්නෙ නැහැ කියන එක. අපි දෙන්නම හැබැයි, ප්රචණ්ඩත්වය ට විරුද්ධව පෙනී හිටියා.
එදා සංවාදයෙන් පස්සෙ අපි කොහෙදිවත් යළි මුණ ගැහුණේ නැහැ. ඔබ එදා මෙදා කරමින් හිටපු දේ ගැනත් මම දන්නෙ නැහැ.
ඒත්, මම ඔබෙන් දැන් සරල ප්රශ්නයක් අහනවා!
ඔබ එදා දිගින් දිගටම අවධාරණය කරපු, ''ජාතික සම්මුතියක් ඇතිකරගත යුතු බව, එමගින් ශික්ෂාකාමී දේශපාලන ප්රවාහයක් ඇති කළ යුතු බව, අවසන යහ ගුණය පිරි ප්රජාතන්ත්රවාදයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව'' මේ වනවිට ක්රියාවට නැංවී තිබෙනවා ද? එවැනි හෝඩුවාවක් හෝ ඔබට දැනෙනවා ද?
හැබැයි, ඔබ සම්බන්ධයෙන් මම දැනගත්තු අර ආරංචිය එහෙම නෙවෙයි නං ඒ කතාව පැත්තකට දාලා වුණත් අපට තවදුරටත් කතා කරන්න හුඟාක් දේවල් තියෙනවා.
හේතුව, මට අනුව නං අපේ රට වේගයෙන් යළි ගොඩ ගන්න බැරි මට්ටමේ අඳුරු අගාධයකට තල්ලු වෙමින් තියෙනවා!
එන්න! අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරමු! අපි කාටවත් මේ ඓතිහාසික සංවාදයෙන් ගැළවෙන්න බැහැ!
CHAPA
2017ජුලි 31
Sunday, July 30, 2017
ඔව්! අපි කොහොමත් මැරිලා!
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි! කියලා ඔබ ලියනකොටම, නෑ! මේ, අප ඔබ වෙන් කෙරුණු නගරයයි! කියලා, අපි ඔබට වෙඩි තියලා මරා දැම්මා.ඔබ කිව්වෙ, අපි වෙන්වෙමු අපේ රහස් අහස් තලයට පවරා! කියලා.
ඔව්! අපි ඒක ඒ විදිහටම කෙරුවා.
ඔබ මරා දාපු කතාව සදාකාලික රහසක් විදිහට එහෙම ම හිස් අහස් තලයට පැවරුණා!
1989 ජුලි 31!
හරියට ම අද වගෙ දවසක්...
අනේ ඒ මූසළ දවස උදා නොවුණා නං!
ඔබ මරා දැම්මෙ, ජවිපෙ ද, හඩ්සන් සමරසිංහ ද තවත් කවුරුහරි ද කියලා අපි තවම හරියට දන්නෙ නැහැ. ඒත්, සහතිකයි! අපි ඔබට වෙඩි තිව්වා, ඔබ මරා දැම්මා. කිසිවෙකුටත් හිංසාවක් නොකරපු ඔබ, කතා කියමින්, ගී ලියමින් අප සැනසූ ඔබ, අපි මරා දැම්මා.
අපට සමාව නං දෙන්න එපා!
ප්රේම්! ඔබ, වියෝව ගැන සහ විරහව ගැන අපට හුඟාක් දේවල් කියා දුන්නා. ඒත් ඔබට, ඔබේ වියෝව දැනුනෙ කොහොමද?
මම දන්නවා ඒක හරිම නරුම ප්රශ්නයක්. ඒත් ඔබ දැනගෙන හිටියද, දවසක අපි ඔබට ඔහොම කරයි කියලා? තුවක්කුව ඔබට ඉලක්කය ගන්නකොට, ඔබ මොහොතක් ගොළු වෙන්න ඇති, ඔබට ගැඹුරු සුසුමක් පිටවෙන්න ඇති. ඔබ පොඩි දරුවෙක් වගෙ ඉකි ගහන්න ඇති, ඒත් වැළපෙන්න කලින් උණ්ඩය ඔබ පසාරු කරන්න ඇති!
ඔබ මරා දැම්මෙ ඇයි? අපි ජීවත්වෙන්නෙ ඇයි? ඔබ කළ සහ අප නොකළ වැරැද්ද මොකද්ද? මේ ප්රශ්නය හරිම බරපතළයි. මුළු මානව ඉතිහාසය පුරාම ඔබ වගෙ අය දස දහස් ගණනින් ඇති.
දේශපාලනය, සමාජය, අරගලය, ජීවිතය!
අනේ ප්රේම්! මේ ගැන කතාකරන්න, ඔබ දවසක ආපිට එනව නං!? ඒත්, එපා! අපි අනිවාර්යනම ඔබට ආයෙත් වෙඩි තියයි, එක්කො එදා වගේම වෙඩි තියනවා බලාගෙන ඉඳියි!
අපි දන්න ජීවිතයක් නැහැ! ඔව්! අපි කොහොමත් මැරිලා...
CHAPA
2017 ජුලි 31
මාර කතා!
සමහරු කියනවා fb posts දදා ඉන්නෙ පාරට බහිමුකෝ! කියලා. තවත් අය, මම දැනටමත් යම් යම් සම්බන්ධතා පවත්වන, ජනප්රිය මාධ්ය ආයතන වලට බනිනවා, ඒවාට යන්නෙ මොකද? අහනවා.මාර කතා!
2001 දි 'රාවය' පත්තරෙනුත් අයින් වෙලා, ඒ වන විට ආ ගිය ජනප්රිය මාධ්ය ආයතනත් අත් හැරලා 'නිදහස්' මාධ්ය දේශපාලන පෙරමුණක් ගොඩ නගන්න, මම පාරට බැස්සනෙ. ඊට පස්සෙ වීදි දිගේ, නගර අහුමුළුවල, ගම් පුරා, ඔය එහෙ මෙහෙ ඇවිදිමින් 'මිනිස්සු' බලගන්වන්න පටන් ගත්තනෙ.
''දැන් රාවයෙ නැතිලු නේද? වෙන රස්සාවක් කරනවද?''
''පත්තර විකුණලා ජීවත් වෙන්න අමාරු ඇති නේද?''
''ඇයි දැන් tv වැඩසටහන් වලට එහෙම කතා කරන්නෙ නැද්ද?''
''පත්තරේ රුපියල් විස්සක් නේද? මේක ඉතිං නොමිලෙ දෙන්න බැරිද?''
''මේක NGO එකක්ද?''
ඔන්න එතකොට අහන ඒවා!
2001 - 2011, අවුරුදු 10 ක් ම වගෙ ඔය ''මාර කතා!'' අහපු නිසා, දැනට මෙහෙම හොඳයි!
මාර කතා! තමයි...
CHAPA
2017 ජුලි 30
Saturday, July 29, 2017
ගමේ සුවඳ!
2017 ජුලි 26, පහු ගිය බදාදා, මම හිටියෙ කුලියාපිටියෙ.ඊට කලින් කතා කරගත්තු විදිහට එදා රෑ මම බුද්ධික ගෙ ගෙදර ගියා. ADLanka ආයතන හිමිකරු, අරියදාස ත් ඒ ගමනට එකතු වුණා.
බුද්ධික පදිංචි ඒ නගරය ට යාබද තැනක.
බුද්ධික, බුද්ධික ගුණවර්ධන වැඩ කරන්නෙ විශ්රාම දෙපාර්තමේන්තුවෙ, ඔවුන්ගෙ වැඩමුළුවකට ආමන්ත්රණය කරන්න ලැබෙන අවස්ථාවක දී තමයි, මට ඔහු මුණ ගැහෙන්නෙ.
මේ ලියාගෙන යන්නෙ, ඔහු ගැන නෙවෙයි.
ඔහුත් ජීවත්වෙන ඔහුගෙ මහගෙදර ගැන. ඔහුගෙ අම්මා සහ තාත්තා ගැන.
ඔහුගෙ ගේ පිහිටලා තියෙන්නෙ හරිම නිස්කලංක වටපිටාවක, වටේට ම ගහ කොළ. හරිම සුවදායක යි. ගමේ සුවඳ ඒ හැමතැනම තියෙනවා. නගරයෙ හති වැටෙන ජීවිතය, මොන ජීවිතයක් ද! කියලා එහෙදි ඉබේම හිතෙන්න ගන්නවා.
බුද්ධිකගෙ අම්මා අපට රසම රස කෑම හදලා තිබුණා. ඇය ඉතාම කරුණාවන්ත අම්මා කෙනෙක්. තාත්තා ත් එහෙමයි. ඔවුන්ගෙ මනුස්සකම මට නං තවම හොඳටම දැනෙනවා. එදා රෑ එහෙ ගතකරන්න, වයඹ විශ්වවිද්යාලයෙ කථිකාචාර්යවරයෙක් වන කිත්සිරි ත් ගිහිං හිටියා. අපුරු මුණ ගැහීමක්.
කෑම කන්න කලින් බුධික, සර්පිනාව වයමින් ගී ගැයුවා. ඒ අතර ඒ ගීත ගැන විචාරයකුත් කෙරුවා. බුද්ධිකගෙ ගෙදර ඉන්න පූසා ත් ගෙදරම සාමාජිකයෙක් වගෙ. බුද්ධික කතා කරන, ගයන වයන දිහා එයා ත් බැරෑරුම් බැල්මක් දාගෙන බලාගෙන හිටියා, ''වරද්දන්න නං එපා පුතෝ!'' වගෙ ගතියක් ඒ බළල් ඉරියව්වෙ තිබුණා. කොච්චර සුන්දර රාත්රියක් ද?
අපි රෑට කාලා ඉවර වෙලා මිදුලට වෙලා සීනි අනෝදා ත් හොඳට කෑවා. පුදුම රසක්. බුද්ධිකගෙ අම්මා සීනි අනෝදා ගෙඩි කීපයක් ඒ වෙලාවෙම මට කඩලා ත් දුන්නා. මම ඒවා කාලා ඇට ටික අපේ වත්තෙ තැන තැන විසි කරනවා, ඒවා පැළ වුණා ම බුද්ධිකලාගෙ අම්මාට කියන්නංකො!
අපි එකිනෙකා සමුගත්තෙ එක විදිහක මිහිරි අත් දැකීමක් අහිමි වෙන හිස් හැඟීමකුත් එක්ක, ඔව්! ආයෙ දවසක එහෙ යන්න ඕනෙ!
CHAPA
2017 ජුලි 29
Subscribe to:
Posts (Atom)



