Saturday, September 14, 2019

රට ගැන තමයි ඉතිං, නේද?

''ඔබ තුමා මේ ළඟදි අපේ ෂොප් එක පැත්තෙ ආවද?''
තරුණයෙක් මං ළඟටම ඇවිත් හෙමින් ඇහුවා.  
කොළඹින් ටිකක් ඈත කුඩා නගරයක රැස්වීම් ශාලාවක කෙළවරේ මං මේ ඉන්නෙ. සංවාදය පටන් ගන්න තව ටික වෙලාවක් තියෙනවා.
''ම්ම්ම්...ඒ කිව්වෙ?''
මං පුදුම වුණා.
''ආ...නෑ, නෑ...මට මතකයි...ටවුමෙ ඉස්කෝලෙ මොකක් හරි වැඩ සටහනකට ආව නේද?''
ඒ පාර නං හිතට සතුටුයි.
''මොකද්ද ඉස්කෝලෙ නම?''
මං උනන්දුවෙන් ඇහුවා.
''නෑ! නෑ! මෙතුමා ටීවී එකේ ඉන්නවා...එහෙම දැකල වෙන්න ඕන ඔය මතක...''
ඔහු පසුපස හිටගෙන හිටපු හීන්දෑරි තරුණයා ඔහුගෙ කණට කරල කියනවා මටත් යාන්තමට වගෙ ඇහුණා.
''හරි! මට දැන්නෙ මතක් වුණේ....! අර විනාඩියකට කොච්චරද ප්‍රමාණයක් වචන කතා කරන....! හරි...හරි...මට ඒක මතකයි...ඒකනෙ!''
''ඒ මොකද්ද ඒ?''
මං කුතුහලයෙන් ඇහුවා.
''නෑ, නෑ...මේ අර දේශපාලන වැඩ සටහන් මෙහෙයවන නිවේදක මහත්තයෙක්...''
ඒ අර හීන් දෑරි තරුණයා.
''මං කරන්නෙ නිවේදන කටයුතුම නෙවෙයි...මං...''
''ඇත්ත, ඇත්ත...මට මතකයි මට මතකයි...මට ටිකක් පටළැවුණා...මාත් කරන්නෙ නිවේදන කටයුතු...''
මුල් තරුණයා මගෙ කතාව මැද්දෙන් ආවා.
''අහ්! එහෙමද? හොඳයි...හොඳයි...''
මං ඔහුගෙ පිට ට තට්ටුවකුත් දැම්මා.
''මං ආසම පේෂල ට...එයා ඉන්න වැඩ සටහන් මං මාර ආසාවෙන් බලනවා...එක දවසක් ඔන්න ඒ එක්කෙනෙක්ගෙ කමිසෙ බොත්තං මාරු වෙලා...මං අපේ දුවට කිව්වා, ඔන්න බලන්න පේෂල දැන් කරන වැඩේ කියල...එතකොටම...''
''මේ අපේ ඉස්කෝලෙ විදුහල් පති තුමා...''
එතකොටම තරබාරු මැදි වයසෙ කෙනෙක් ඇවිත් මට තවත් තරබාරු මැදි වයසෙ කෙනෙක් හඳුන්වා දුන්නා, අර මුල් තරුණයා සහ ඔහු පිටුපස සිටි හීන් දෑරි තරුණයා, ඒ නිසා පැත්තකට තල්ලු වෙලා සෙනඟ අස්සෙ නොපෙනී ගියා.
''අපේ ඉස්කෝලෙත් වැඩ සටහනක් කර ගන්න ඕන...මං බැලුවෙ...''
විදුහල්පතිවරයා කතාව පටන් ගත්තා.
''ඔව්! අපි අනිවාර්‍යයෙන්ම කරමු!...පහළොවේ දහ අටේ වගෙ ළමයින්ට තමයි...''
මං කියන්න පටන් ගත්තා.
''...මං බැලුවෙ කණ්ඩායම් දෙකකට ගන්න...'' 
ඒ පාර ඔන්න ඔහු උඩින් ආවා.
''ඒත් කමක් නැහැ...හැබැයි ගුරුවරුත් ඕන...''
මං කිව්වා.
''ගුරුවරු?''
ඔහු විමතිය පළ කෙරුවා.
'' ඒ කියන්නෙ ගුරුවරුන්ටත් වෙනම තරඟයක් තියෙනවද? ම්ම්ම්...එහෙම නං අපිටත් සිංදු කියන්න පුළුවං...නේද.....හි හි...''
ඔහුගෙ සිනහව අස්සෙ මගෙ ඔළුව විකාර වෙලා ගියා.
''ඒ කියන්නෙ?''
මං කාගෙන් ආහුවද මන්දා!
'' ඒ කියන්නෙ...ඔබ තුමා දෙරණෙ නෙවෙයිද? මේ...''
ඔහු එහෙම කියන ගමන් අර ඔහු කැටුව ආ තරබාරු සගයගෙ මූණට එබුණා.
''ඔබ තුමා දෙරණෙ නිසා...මං කිව්වා අපේ ළමයින්ටත් සිංදු කියන්න මොකක් හරි අවස්ථාවක් ගන්න....''
ඒ ඔහුගෙ අනෙකා.
''අහ්! මං ඒ වැඩසටහන් වලට නං සම්බන්ධ නෑ...''
මගෙ කට හඬ ටිකක් හොඳ මදි.
''එතකොට අද මේ කරන සංවාදය මොකක් ගැනද...? මං හදිසි වැඩ වගයකුත් දාලයි ආවෙ...මේ...''
''රට ගැන තමයි ඉතිං නේද?''
දෙවැන්නාම උත්තර බැන්ඳා. මං බිම බලා ගත්තා!
CHAPA, Sept 15, 2019







No comments:

Post a Comment