Sunday, September 22, 2019

හෙට බලමු...!

දැන් අපි නාවලපිටිය නගරයෙන් ටික ටික ඈත් වෙන ගමන්...
වැහි වැටෙන සීතල හැන්දෑවක්!
''ගමන කොහොමත් අමාරුයි, එත් යන්නම වෙනවා...'
වංගුවක් සීරුවට ගන්න ගමන් මං කිව්වා. වම් අසුනෙ ඉන්න මගෙ සගයා කිසිවක් නොකියා වංගුවේ චලනය සමඟ හිස සලමින් එය අනුමත කරන වග, මං ඡායා මාත්රයක් විදිහට දැක්කා.
වැස්ස එක පාරටම අඩු වෙලා ආයෙ වැඩි වෙන්න අරන්.
'හාමුදුරුවො නං එහෙ මෙහෙ එක එක වැඩ වලනෙ...ඒත් වැඩ සංවිධානය කරන අය මීට වඩා හිතන්න ඕන මං නං කියන්නෙ...අඩු තරමෙ අද උදේවත් කිව්ව නං අපි එන්නෙ නැහැනෙ...පොඩි දුරක්ද? මං කියන්නෙ අපරාදෙ!''
සගයා එහෙම කියනකොට, ඇත්ත තමයි! කියල මටත් හිතෙනවා. අද දවල් 2. 30 ට නාවලපිටිය නගරයෙදි පැවැත්වීමට නියමිතව තිබුණු රැස්වීම ගැන පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවො මට කිව්වෙ සිකුරාදා වෙන්න ඕන. ඒ කියන්නෙ දින දෙකකට කලින්. ඊට පස්සෙත් හාමුදුරුවො සහ මං දුරකථනයෙන් කතා බහ කෙරුවා, උන් වහන්සෙත් හිටියෙ, අද වැඩේ ගැන, බලාපොරොත්තුසහගතව.
පක්ෂ බේදයකින් තොරව රටේ මහ ජනයා දැනුමෙන් බල ගන්වන්න ඕන කියන ජාතික වගකීම ගැන, අපි දෙන්නා අතර අවබෝධාත්මක එකඟතාවක් තියෙනවා.
''හාමුදුරුවන්ටත් කළමනාකරණය කර ගන්න අමාරු ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවානෙ...අපි එන විදිහක් බලමු!''
මං තනියෙන් කතා කරන ගානට කිව්වා. වැස්ස සහ ඒත් එක්කම විසිරෙන පිණි වළාවන් නිසා පාරත් එක පාරටම අපැහැදිලි වෙනවා. මං රිය වේගය ටිකක් බාල කෙරුවා.
අපි අද කොළඹින් එන්න පටන් ගත්තෙ උදේ 11 ට විතර, දවල් 2 ට කලින් ගමනාන්තයට ළඟා වෙන්නයි ඕන වුණේ. ගමනෙන් සෑහෙන ප්‍රමාණයක් වගෙ එන අතරෙ, රැස්වීම සංවිධානය කරන කණ්ඩායමෙන් කෙනෙක් කතා කරල, රැස්වීම කරන්න වෙන්නෙ නැති ප්‍රායෝගික තත්ත්වයක් ගැන දුර කථනයෙන් කිව්වා. හාමුදුරුවොත් දුර කථනයෙන් සම්බන්ධ වුණා. උන් වහන්සේ, වැඩ වගයකට නුවර ගිහිං නාවලපිටියට එන ගමන් කියල කිව්වා. මොකද්ද අපි කරන්නෙ? අපි කතා වුණා.
එහෙම නං අපි පුළුවං කට්ටිය එකතු කරගෙන, රටේ දේශපාලන තත්ත්වයන් ගැන විශේෂ සාකච්ඡාවක් කරමු! අපට මෙහෙම නාස්ති කරන්න කාලයක් නැහැ! අතර මගදි එහෙම එකඟතාවක් ඇති කර ගත්තත්, වැඩේ සාර්ථක වුණේ නැහැ.
ඉතිං අපි යනවා!
''දැන් නං බඩත් ගිනියි...අපි මොනවා හරි කාල යමු!''
පාර අයිනෙ කඳු බෑවුමක පිහිටා තිබුණු ඇහැට ප්‍රිය කුඩා හෝටලයකට වාහනය හරවන අතර මං කිව්වා. යාළුවාගෙන් කිසි ප්‍රතිචාරයක් නොලැබුණත්, වාහනය නවත්තන අතරෙ පපුව හරහා වැටී තියෙන හරස් ආරක්ෂක පටිය පන්නන වේගය අනුව ඔහුත් ඉන්නෙ බඩ ගින්නෙ බව මං තේරුම් ගත්තා.
යම් පිළිවෙළකට පවත්වාගෙන යන බව පෙනුණු කුඩා හෝටලය ඒ මොහොතෙ නං හරියට රංග ශාලාවක් වගෙ, හෝටලය මැද රඳවා තිබුණු රූපවාහිණී තිරය මත බඳ නළවමින් ආකර්ශනීය නර්තනයක යෙදෙන නාට්‍යාංගනාවන් නිසා, හෝටලයෙ වැඩ කරන තරුණයො කීප දෙනා ප්‍රමෝදයට පත් වෙලා හිටියෙ. ඒ දෙරණ රියැලිටි වැඩ සටහනක නැවත විකාශයක් වගෙ.
''දෙරණ බලන නිසා...මේගොල්ලො අළුත් පාර්ලිමේන්තුවත් බලනව ඇති...''
උණු උණු ආප්ප කන අතරෙ ගමන් සගයා හෙමින් මට කිව්වා. ඒ අතරෙ ඔහු, අපට තේ රැගෙන ආ, මුහුණ පුරා හීනි රැවුලක් වවා සිටි තරුණයාගෙන් ඒ ගැන ඇහුවා.
''අළුත් පාර්ලිමේන්තුව?''
තරුණයා පුදුමයෙන් වගෙ පුනරුච්ඡාරණය කෙරුවා.
''අපි හිතනවට වඩා පොදු සමාජය වෙනස්...නාවලපිටියෙ වැඩේ ඔහොම වුණෙත් අන්න ඒ අනවබෝධය නිසා...මිනිස්සු ඉන්නෙ වෙන වෙන තැන්වල...මං ගමනට ලෑස්ති වුණේ හාමුදුරුවො මට පණිවිඩය දීපු මොහොතෙ ඉඳලා...ඒත් මේ වැඩේ ලේසි නෑ...''
මං යාළුවට හෙමින් කියන්න පටන් ගත්තා.
''....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආෂංකර්....''
එතකොටම දෙරණ රූපවාහිනී තිරය මත පෙනී සිටි ජැක්සන් ඇන්තනීගෙ බාල පුතා විනිශ්චය මණ්ඩලය හඳුන්වා දෙමින් ඉන්දීය නිළි පූජා උමා ෂංකර් ට ප්‍රේමණීය ලෙස දකුණත් සංඥාවක් ලබා දුන්නා, ඇයත් අසුනෙන් නැගිට එය ආදරයෙන් පිළි ගත්තා. හෝටලේ තරුණයන්ටත් සතුටුයි!
අපිත් නැගිටලා එන්න ආවා!
අද දවසත් ඉතිං ගෙවිලා ගියා, හෙට බලමු!
CHAPA, Sept 22, 2019


1 comment:

  1. රූපවහිනියෙ දේශපාලනය මහා ලොකුවට කතා කරාට පොඩි මිනිහට එක අදාලම නෑ. දේශපාලුවෝ හිතා ගෙන ඉන්නේ මිනුස්සු උන් ගැන මාර විදිහට හිතනවා කියලා. උන් හිතාගෙන ඉන්නේ පොඩි මිනිස්සු full ආතල් එකේ කාල බීල ඉන්නවා කියලා. බත් පැකට් එකයි අරක්කු ටිකයි නිසා ඕනේ meeting එකකට සෙනග පිරෙන එක මහා ලොකු දෙයක් නෙවෙයි. පොඩි මිනිහට තියෙන්නේ " ළමය ඉස්කෝලෙට දා ගන්නේ කොහොමද? පාරට light දා ගන්නේ කොහොමද? town එකේ ඉදන් රෑට ගමට එන්න බස් එකක් නැති එක." උන් දන්නවා උන් හම්බ කරොත් විතරයි කන්න හම්බ වෙන්නේ කියලා. එක නිසා උන් අත්නොවිදින reality එකක් බලලා සතුටු වනවා ඇති.

    ReplyDelete