මේ වන විට ත් සම්මත කර ගැනීමට නියමිත ව තිබෙන, 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත, මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තව දුරටත් විකෘති කිරීමට බරපතළ ලෙස හේතු වන බැවින් එය පරාජය කළ යුතු බව අපි අවධාරණය කරන්නෙමු!
 
විෂය භාර අමාත්‍යවරිය, තලතා අතුකෝරල මගින් 2017 සැප්තැම්බර් 19 දින ඉදිරිපත් කරන ලද අදාළ සංශෝධනය අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පිහිටුවන අතර ඊට නඩු යොමු කිරීම, නීතිපතිවරයා සහ අල්ලස් හෝ දුෂණ වැළක්වීමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් සිදු කෙරේ. එවැනි නඩුවකට එරෙහිව ඉදිරිපත් කෙරෙන අභියාචනයක් සලකා බැලෙන්නේ, සාමාන්‍ය පරිදි අභියාචනාධිකරණය විසින් නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
මේ අනුව, අදාළ නව අධිකරණය, මෙරට ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය සහ එහි පිළිගත් යුක්තිය පසිඳලන ක්‍රම වේදය මුළුමනින් ම අභියෝගයට ලක් කරන අතර එකී විශේෂ අධිකරණය  පිහිටුවීමේ අරමුණ ද, පවතින දේශපාලන තත්වයන් ට අනුකුලව පොදු සමාජ යහපත වෙනුවෙන් නොව පුද්ගලවාදී ඉලක්ක අරමුණුකොට ගත් ද්වේශ සහගත වූවක් බව පැහැදිලි වේ.
මේ පනත් කෙටුම් පතට එරෙහි පෙත්සම් 7 ක් ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙමින් තිබෙන අතර, රටේ යෝජිත යහ පාලනය, දේශපාලන විකෘතියක් වීම වළක්වා ගැනීම සඳහා, අදාළ පනත් සංශෝධනය ට එරෙහිව මහජන විරෝධයක් වහා මතු විය යුතුය.
සැබවින් ම සිදු විය යුත්තේ, පුද්ගල පළිගැනීම් හෝ විරුද්ධ වාදීන් දඩයම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලිය යොද ගැනීම නොව, සමාජ යුක්තිය තහවුරු කිරීම සඳහා එකී ක්‍රියාවලිය ශක්තිමත් කිරීමය, විධිමත් කිරීමය. අවසන් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන නීතියේ ආධිපත්‍ය තුළ යහ පාලනයක් සහ යහ සමාජයක් ගොඩ නගා ගැනීමය. ඒ සඳහා පුළුල් දේශපාලන සංවාදයක් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ.