තෙල්දෙණියෙ සිදුවීම මුල් කරගෙන, fb ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලා කීපයකට තාවකාලික වාරණයක් පැන වූ ආණ්ඩුව, අවසානයේ දී එය පුර්ණ මාධ්‍ය මර්දනයක් දක්වා රැගෙන යෑම අපි තරයේ හෙළා දකින්නෙමු! ඊට එරෙහි වන්නෙමු!
ජනාධිපති ලේකම් ඔස්ටින් මුණසිංහ ප්‍රමුඛ ව, ජනාධිපති ලේකම් කාර්යාලය ට සහ විදුලි සංදේශ නියාමන කොමිසම ට සම්බන්ධ නිලධාරීන් යොදවා, ආණ්ඩුව අදාළ සමාගම් නියෝජිතයන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත්තේ, මෙරට සමාජ මාධ්‍ය නියාමනය කළ හැකි ක්‍රම වේදයක් සහ ඊට අනුරූප ආයතනික ව්‍යුහයක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව බව, 2018 මාර්තු 15 දින, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයෙන් සනාථ වේ.
එම නිවේදනයේ අන්තර්ගතය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු ප්‍රකාශකයන් ඉදිරිපත් කරන අදහස් එකිනෙක ගළපා බැලීමෙන් පැහැදිලි වන්නේ, ''වර්ගවාදී ආගම්වාදී වෛරී ප්‍රකාශන පැතිර යෑම නියාමනය කිරීම'' ට මුවා වී, පොදුවේ ආණ්ඩුව ට එරෙහිව මේ වන විට වර්ධනය වෙමින් තිබෙන පුළුල් ජන විරෝධය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැවෙන බවය.
ආණ්ඩුව මෙවැනි ක්‍රියා මාර්ග ගැනීම ට ප්‍රධාන හේතුව, පසු ගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් ආණ්ඩුව ට එල්ල වූ දැඩි ජන විරෝධය බව අවිවාදිතය. ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් සැබෑ ජනමතය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා මෙවැනි සියලු උත්සාහයන් පරාජය කිරීම ට, ප්‍රජාතන්ත්‍රවාදය අරුත් ගැන්වීම ට උත්සහ කරන සියලු දෙනා මැදිහත් විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු!
එසේම, සමාජ පරිහානිය ට හේතු වන ක්‍රියාකාරකම් කරමින් ආණ්ඩුවේ මෙම මර්දනකාරී ක්‍රියාදාමය ශක්තිමත් නොකර, පොදු සමාජ ප්‍රගමනය සඳහා මෙම නුතන මාධ්‍ය අවකාශය යොදා ගන්නා ලෙස ද, පොදුවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු!