Friday, May 4, 2018

විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක්!?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වෙනකොට විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් හදමින් ඉන්නවා ලු!
මුළින්ම කියන්නං මේ නං තවත් විහිළුවක්, ඒත් හිනා වෙන්න බැරි, මේ විහිළුවට ත්  රට වනසමින් මහජන මුදල් තොග පිටින් නාස්ති කරන නිසා. 
අපි අපේ සාකච්ඡාව මෙහෙම ආරම්භ කරමු!
කැබිනට් මණ්ඩලය හෙවත් අමාත්‍ය මණ්ඩලය ගැන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හි සඳහන් වන්නේ මෙසේය;
VIII වැනි පරිච්ඡේදය
විධායකය
අමාත්‍ය මණ්ඩලය
අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය
42. (1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය. 
      (2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමුහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේය. 
      (3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේය. 
      (4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය.
මේ අනුව කැබිනට් මණ්ඩලයේ කාර්යභාරය ඉතා පැහැදිලියි, එනම්, ජනාධිපති, අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය ප්‍රතිපත්ති සහ රටේ ඉදිරි ගාමන් මග පිළිබඳ අවශ්‍ය තීරණ ගනිමින් ව්‍යවස්ථාදායකය සමඟ සංවාදයක යෙදෙමින් රට පාලනය කිරීමයි. එය විද්‍යාවක්. ඒ නිසාම කැබිනට් මණ්ඩලය විද්‍යාත්මකව හදන්න දැන් කවුරු හරි කල්පනකරනවා කියන්නෙ ම ඔහු 'දේශපාලනය' විද්‍යාවක් බව දන්නෙ නැහැ කියන එක, 'විද්‍යාත්මක' කියන වචනය කොහෙන් හරි අල්ලගෙන තව නැටුමක් නටන්න හදන එක. 
මේ තිත්ත ඇත්ත වටහා ගන්න, 2017 ජුනි 15, දා වන විට ප්‍රකාශිත කැබිනට් මණ්ඩලය සහ ඒ ඒ විෂය පථයන් මොනවා ද යන්න අපි දැන් සොයා බලමු!
1. ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පාරිසරික, ජාතික සංකලන හා සංහිඳියාව - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන.
2. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු - රනිල් වික්‍රමසිංහ.
3. සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු - ජෝන් අමරතුංග.
4. තිරසාර සංවර්ධන, වනජීවී - ගාමිණි ජයවික්‍රම පෙරේරා.
5. ප්‍රවාහන හා ගුවන් සේවා - නිමල් සිරිපාල ද සිල්වා.
6. මුදල් හා ජනමාධ්‍ය - මංගල සමරවීර.
7. සමාජ බල ගැන්වීම්, සුභ සාධන සහ කන්ද උඩරට උරුමය - SB දිසානායක.
8. කම්කරු, වෘත්තීය සමිති සම්බන්ධතා, සබරගමුව සංවර්ධන - WDJ සෙනෙවිරත්න.
9. උසස් අධ්‍යාපන, මහා මාර්ග - ලක්ෂමන් කිරිඇල්ල.
10. විශේෂ ව්‍යපෘති - සරත් අමුණුගම.
11. නගර සැලසුම්, ජල සැපයුම් - රවුෆ් හකීම්.
12. ආපදා කළමනාකරණ - අනුර ප්‍රියදර්ශන යාපා.
13. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ - සුසිල් ප්‍රේමජයන්ත.
14. සංවර්ධන ව්‍යපෘති - තිලක් මාරපන.
15. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න.
16. විදේශ කටයුතු - රවී කරුණානායක.
17. වරාය හා නාවුක - මහින්ද සමරසිංහ.
18. ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන.
19. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන, සංස්කෘතික කටයුතු - SB නාවින්න.
20. කර්මාන්ත හා වාණිජ - රිෂාඩ් බදුර්දීන්.
21. මෙගා පොලිස්, බස්නාහිර සංවර්ධන - චම්පික රණවක.
22. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන - මහින්ද අමරවීර.
23. වැවිළි කර්මාන්ත - නවීන් දිසානායක.
24. විදුලි බල හා පුනර්ජනන බලශක්ති - රංජිත් සියඹලාපිටිය.
25. කෘෂිකර්මාන්ත - දුමින්ද දිසානායක.
26. වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ - විජිත් විජිතමුණි සොයිසා.
27. බුද්ධ ශාසන, අධිකරණ - විජයදාස රාජපක්ෂ.
28. ග්‍රාමීය ආර්ථික - P. හැරිසන්.
29. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන - කබීර් හෂීම්.
30. මහජන පරිපාලන හා කළමනාකරණ - රංජිත් මද්දුම බණ්ඩාර.
31. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ - ගයන්ත කරුණාතිලක.
32. නිවාස හා ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස.
33. ඛනිජ සම්පත් සංවර්ධන - අර්ජුන රණතුංග.
34. කඳුරට නව ගම්මාන, යටිතල සහ ප්‍රජා සංවර්ධන - U පලනි දිගම්බරම්.
35. කාන්තා හා ළමා කටයුතු - චන්ද්‍රානි බණ්ඩාර.
36. විදේශ සේවා - තලතා අතුකෝරළ.
37. අධ්‍යාපන - අඛිල විරාජ් කාරියවසම්.
38. තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු - MHA හලීම්.
39. පළාත් සභා සහ පළාත් පාලන - ෆයිසර් මුස්තාෆා.
40. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, යළි පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු - DM ස්වාමිනාදන්.
41. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු - චන්දිම වීරක්කොඩි.
42. ක්‍රීඩා - දයාසිරි ජයසේකර.
43. නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන - සාගල රත්නායක.
44. සංනිවේදන සහ ඩිජිටල් යටිතල පහසුකම් - හරීන් ප්‍රනාන්දු.
45. ජාතික සංවාද සහ නිල භාෂා - මනෝ ගනේෂන්.
46. ප්‍රාථමික කර්මාන්ත - දයා ගමගේ.
47. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳාම - මලික් සමරවික්‍රම. 
48. ග්‍රාමීය සංවර්ධන - සරත් ෆොන්සේකා.
මේ තමයි එදා සම්පුර්ණ කෙරුණු අමාත්‍ය මණ්ඩලය! 
මේ සමහර අමාත්‍යංශ සහ අදාළ පත්කිරීම් දැන් යම් පමණකට වෙනස් වුව ද පොදු ආකෘතිය එසේමය. රටේ ආර්ථිකය මෙහෙයවීමට පමණක් අමාත්‍යංශ 9 ක්! මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අපේ පළපුරුදු දේශපාලන නියෝජිතයන් සිටින්නේ මොන තරම් මුග්ධ තැනකද යන්න ඔබට මේ අනුව සිතා ගත හැකි ද? දේශපාලනය, විද්‍යාවක් ලෙස නොව සිල්ලර කඩයක් කරන ගමේ දැනුමෙන් වත් තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබෙන බව ඉතිං අමුතුවෙන් තර්ක කර පෙන්වා දිය යුතු නැත.
මේ අමාත්‍යංශ සියල්ලම පාහේ පිහිටුවාගෙන ඇත්තේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම සඳහාය. අපේ රටේ මේ වනවිට මන්ත්‍රීකම වැඩක් නැති බවට මතයක් නිර්මාණය කොට තිබේ. ''මට ඇමතිකමක්වත් දුන්නෙ නැහැ!'' ''මට ලැබුණේ වැඩකට නැති ඇමතිකමක්!'' වැනි කතා ඇහෙන්නේ ඒ නිසාවෙනි. එනම්, අමාත්‍ය ධූර, අමාත්‍යංශ සහ විවිධ ජාවාරම් අතර ඍජු සම්බන්ධයක් නිර්මාණය වී තිබේ. හොඳ අමාත්‍යංශ යනු හොඳට මුදල් සොරා කෑ හැකි අමාත්‍යංශ බව මේ සියලු දෙනා එක්ව පෙන්වා දී තිබේ.
අපේ වැඩි අවධානයට ලක් නොවූ තවත් බරපතළ ප්‍රශ්නයක් ද මේ නරුම තත්ත්වයට ඈඳී තිබේ. එනම්, අමාත්‍යංශ සඳහා පුද්ගලික ගොඩනැගිලි කුලී පදනම මත ලබා ගැනීමේ ජාවාරමයි. ජයසිංහ - සබීතා පවුලේ රාජගිරි ගොඩනැගිල්ල ඊට ආසන්න හොඳම උදාහරණය පමණි. ඊට අමතරව මේ දේශපාලකයන් සහ ඔවුන්ගේ තැරව්කරුවන් ට අයත් විශාල ගොඩනැගිලි රාශියක් මිලියන ගණනින් කුලිය ට ගෙන තිබෙන බව තහවුරු වේ. 
මේ සියලු සිදුවීම් එකින් එක පෙළ ගැසෙන්නේ 1977 සිට ය. JR, ප්‍රේමදාස, DB, චන්ද්‍රිකා, මහින්ද, දැන් රනිල් - මෛත්‍රී! ඔවුන් සියලු දෙනා කරමින් සිටින්නේ මේ ක්‍රිඩාවමය. 
වඩා භායනක කාරණය වන්නේ, මොවුන් ට මේ ජාවාරම්කාර දේශපාලනය කර ගැනීමට, රට වට කර සිටින ආර්ථික ඝාතකයන් උපරිම සහය ලබා දීමය. එනම්, ඔවුන් ට සුපිරි ගොඩ නැගිලි, යාන වාහන කාර්ය මණ්ඩල, ආරක්ෂක කණ්ඩායම්, විදේශ ගමන් සමඟ උපරිම සැප ලබා දීමට අවශ්‍ය වට පිටාව සකස් කර, කෙටි කාලීනව සහ දිගු කාලීනව, රටේ ස්වභාවික සම්පත් කොල්ල කමින්, භූගෝලීය සුදුසුකම් වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් සහ තම වෙළෙඳ අරමුණු ව්‍යාප්ත කරමින් ඒ ආර්ථික ඝාතකයන් රිසි සේ තම දේශපාලන බලය පතුරුවති. අපි එට ප්‍රජාතත්‍රවාදය හෝ යහ පාලනය යැයි කියමු!
මේ සන්දර්භය තුළ, අද හෝ හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රට ට හඳුන්වා දෙන විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය කුමක්ද යන්න අපි විමසා බලමු! එනම්, ඔහුට මේ පැවරී තිබෙන්නේ, ශ්‍රීලනිප - එජාප - ජවිපෙ - දෙමළ සන්ධානය - මුස්ලිම් කණ්ඩායම් එකට එකතු කොට, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ද කැටුව, රාජ්‍ය නොවන සංවිධාන ජාලයේද උදව් ඇතිව, තම ඉතිරි පාලන කාලය සම්පුර්ණ කරමින්, ආර්ථික ඝාතකයන් ප්‍රමුඛ ඊනියා ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි රටේ පැවැත්ම තහවුරු කර දීමයි, ඔව්! අපි බලමු! ඔහුගේ විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය අද හෙටම දකින්න ලැබෙයි! 
CHAPA, May 1, 2018   

No comments:

Post a Comment