Wednesday, May 16, 2018

විජේදාස යනු 'කුමක්ද?'

අමාත්‍ය විජේදාස රාජපක්ෂ යනු, මේ මොහොත ගෙවා දමමින් තිබෙන ලාංකේය දේශපාලනය තේරුම් ගැනීම සඳහා අවධානයට ගත හැකි - ගත යුතු තවත් එක් ප්‍රබල දේශපාලන සාධකයෙකි!
හදිසියේ ම යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකළාපය හෙළා දකිමින් සහ එහි අමාත්‍ය ධුරයක් දැරීම ලැජ්ජාවක් බව පවසමින් ''එළියට බහින'' විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා, ඒ මොහොතේ පටන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පන්සල් වල හැසිරෙනු පෙනිණි, ගෝඨාභය සහ බැසිල් වැන්නවුන් සමඟ ද සම ව සැරිසරන ගතියක් පෙනිණි. ඒකාබද්ධයේ කතිකයෙන් වහා, වේගවත් කතා පවත්වමින් තම විප්ලවීය සගයා වර්ණනා කරන්නට පටන් ගත්හ. ගත වුයේ ඉතාමත්ම කෙටි කාලයකි, මෙන්න දැන්! හිටිහැටියේම ඔහු යළිත්, ඒ ප්‍රතික්ෂේපිත රනිල් - මෛත්‍රී ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් බවට පත්ව තිබේ. 
මෙය පුද්ගලික ප්‍රශ්නයක් යැයි ඔබ නිකමටවත් සිතන්නේ ද? නැත! මේ, රට මුහුණ දෙමින් තිබෙන මහා දේශපාලන ඛේදවාචකයේ තවත් එක පැති කඩකි. 
අපි මුලින්ම විජේදාස රාජපක්ෂ ට පැවරෙන අමාත්‍යංශ වගකීම සැලකිල්ලට ගනිමු;
යහපාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනයෙන් ( විද්‍යාත්මක?), එනම් 2018 මැයි 1 දා, ඔහු උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය. එකී කැබිනට් සංශෝධය ට අදාළ ව, 2018 මැයි 12 දින මධ්‍යම රාත්‍රියේ දී නිකුත් කෙරුණු, අමාත්‍යංශ විෂයයන් සහ කාර්යයන් පැවරීමේ ගැසට් නිවේදනයට අනුව, ඔහුට, ඊළඟට, පහත සඳහන් ආයතන ද පවරා තිබේ;
අමාත්‍ය අඛිල විරාජ් යටතේ තිබු අධ්‍යාපන අමාත්‍යංශය ට අයත්;
1. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව.
2. මධ්‍යම සංස්කෘතික අරමුදල.
3. ටවර් හෝල් රඟහල පදනම.
4. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය.
5. ජාතික ප්‍රසාංගික කලා මධ්‍යස්ථානය.
6. ජාතික කලා මණ්ඩලය.
7. ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රය.
8. අපේ ගම.
9. ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය SB නාවින්න යටතේ තිබු;
10. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
11. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම යටතේ පැවති;
12. මහපොළ භාරකාර අරමුදල.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ට අයත්ව තුබූ;
13. ජාතික චිත්‍රපට සංස්ථාව.
මේ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විජේදාස රාජපක්ෂ ට අදාළ අමාත්‍ය වගකීම් පවරන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ප්‍රබලයන්ගේ ද අනු දැනුම ඇතිව බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ තුන් පාර්ශවය අතර එවැනි එකඟතාවක් ඇතිවන්නේ කෙසේද? ඒ පදනම කුමක් විය හැකිද? ඊ ළඟට, ඔහු ජාතික ආණ්ඩුවෙන් බැස, නියම දේශප්‍රේමියෙකු ලෙස රාජපක්ෂ කඳවුර ට එන බව කියමින් විජේදාස වීරයෙක් බවට පත් කළ විමල් වීරවංශ ද ඇතුළු ඒකාබද්ධ කණ්ඩායම මේ සම්බන්ධයෙන් දැන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි? 
එය නිහඬ සම්මුතියක ප්‍රතිඵලයක් ද? එසේනම් සිදුවෙමින් පවතින්නේ කුමක් ද?
මේ තත්වය තවත් වෙනම පැත්තකින් ද විමසා බැලිය යුතුය!
2015 ජනවාරි 8, Regime Change මෙහෙයුම ට එකාබද්ධ වූ, චීන විරෝධී, ඉන්දියානු - ඇමරිකානු - NGOs ක්‍රියාන්විතය තුන් වසරකට ආසන්න කාලයක් ගෙවී යද්දී තම අරමුණු සෑහෙන ප්‍රමාණයක්; එනම් රාජ්‍ය, බෙදුම්වාදය කරා තල්ලු කරන ව්‍යුහාත්මක වෙනස්කම් මෙන්ම ආර්ථික ඝාතක ප්‍රතිසංස්කරණ ක්‍රියාදාම එකිනෙක ට බද්ධව සාර්ථක මට්ටමෙන් මෙතෙක් දුර පැමිණියේ, මෛත්‍රීපාල ප්‍රමුඛ විජේදාසලා ද ඇතුළත් සිංහල බෞද්ධ   ඊනියා ජනතා නියෝජිතයන්ගේ පුර්ණ දායකත්වය මතය. එහෙත්, කුමන හේතු මත හෝ රටේ ජනතාව ඒ ගමන තව දුරටත් ඉදිරියට යෑමට කිසිසේත් ම  ඉඩ නොදෙන බව, පසු ගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් වටහා ගැනීමට, අදාළ දෙස් විදෙස් දේශපාලන මහ මොළ කරුවන් ට සිදු විය. එසේනම්, ජනතාව ගොනාට අන්දවා ඒ ගමන යෑම ට, ඔවුන් ට වෙනත් අලුත් උපක්‍රමයක් යොදා ගැනීමට සිදු වේ. ''විජේදාස භූමිකාව'' ක්‍රියාත්මක වන්නේ අන්න ඒ උපක්‍රමයේ එක් ඉදිරි පියවරක් ලෙස බව මම දැන් ඉතිහාසය වෙනුවෙන් මෙසේ සටහන් කර තබමි. එනම්, මේ,''උන් ව නසන්නට, උන්ගේ ම කෙනෙක් යොදා ගත යුතුය!'' යන, මෛත්‍රී තෝරා ගැනීම සඳහා ද යොදා ගනු ලැබූ  ඉපැරණි දේශපාලන උපක්‍රමය ම බව අවිවාදිතය.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඒ පැත්තෙන් ඉතාමත් ම දක්ෂයෙකි. පෙර කි සියලු තත්වයන් එසේ ම තිබියදී, ඔහු වෙනුවෙන් මියැදෙන්නට වුවත් සුදානම් ගිහි පැවිදි විශාල බෞද්ධ පිරිසක් රටේ සිටීමෙන් ම ඒ බව කෙනෙකුට වටහා ගැනීම අපහසු නොවේ. එකී ජනයා ට අනුව, වරෙක ඔහු රැඩිකල් ජනතා නියෝජිතයෙකි, උගතෙකි, අසාමාන්‍ය බුද්ධිමතෙකි, දුෂණ විරෝධියෙකි, රටේ ඒකීය භාවය වෙනුවෙන් සටන් කරන ජාතික වීරයෙකි. එය එසේ නම්, ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය ඉතා සරලය. එවැනි ජාතික වීරයෙක් සිටින ආණ්ඩුවක් රට මේසා කණගාටුදායක විනාශයකට ඇදගෙන යමින් සිටින්නේ කෙසේද? ඊට එදිරිව, අධිකරණ අමාත්‍ය ධූරය ද ඇතුළු ආණ්ඩුවේ ප්‍රබල තැන් උසුලමින් ඔහු කළේ කුමක් ද? කිසිත් නැත! ඔහුත් එකී ඛේදවාචකයේ ම ප්‍රබල කොටසක් වූවා මිස! 
මේ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ මැදිහත්වීමෙන් ජනගත වුණු දුෂිත ඉඩම් ගනු දෙනුව සහ ඊට සමගාමිව කරළිය ට ආ ඇවන්ගාර්ඩ් ගනුදෙනුව ඇතුළු, තවමත් නොවිසඳුණු තවත් වෙනත් කතාවලට අමතරවය. විශේෂත්වය වන්නේ මේ සියලු කතා මැද, සියලු පාර්ශව සමග එක්ව වැඩ කිරීමට ඔහුට ලැබෙන අසාමාන්‍ය අවස්ථාවයි. මෙය සාමාන්‍ය තත්වයක් විය හැකි ද? 
කොටින්ම, විජේදාස රාජපක්ෂ සාධකය මේ සියල්ලන්ටම ''නැතුව ම බැරුව'' තිබෙන්නේ ඇයි? ඔහු අසාමාන්‍ය දක්ෂයෙකු නිසා ද?
මේ ප්‍රශ්නය, ඔහු පිළිබඳ පුද්ගලික ප්‍රශ්නයක් නොව, ඔහු නිරූපානය කරන ලාංකේය දේශපාලනයේ ප්‍රශ්නයකි. ඊටත් වඩා, රටේ සිංහල බෞද්ධ ජන නියෝජනයේ විකෘතිය විදහා පාන සාධකයෙකි!
ඔව්! අපි බලා සිටිමු! රටේ උසස් අධ්‍යාපනය සහ සංස්කෘතිය සමඟ විජේදාස දේශපාලන සාධකය ගළප්පවන හැටි! 
රටේ නිදහස් අධ්‍යාපනය ට සහ සෞඛ්‍ය සේවාව ට මාරාන්තික බලපෑම් ඇති කරන SAITM අපරාධය සහ බෙදුම්වාදී උවමනාවන් වෙනුවෙන් පුරාවිද්‍යා භුමි විනාශකිරීමේ අපරාධ වැළ ඉදිරියේ විජේදාස සාධකය වැඩ කරන හැටි අපි එහෙනං දැන ට බලමු! 
CHAPA, May 14, 2018 

No comments:

Post a Comment